Wednesday, April 25, 2012

තරු ලකුණක්ද ? ගිනි දළුවක්ද ?



විරහ කඳුලැලි ගඟක පාවී
වියෝ දුක් ගිනි සුළ රැ‍ල‍්ලේ
අතරමං වී ඔහේ පාවී
පාළු නිම්නෙට ඇදී ආවෙම්...

මගේ දුක් ගිනි මටම පවරා
අනුන් දුක් ගිනි නිවනු රිසියෙන්
ලොවේ යහපත නිසා කැප වී
ජීවිතේ දිගු කලක් ගෙව්වෙම්....

සැනසුමෙන් දිවි ගෙවෙන අතරේ
හුදකලාවම මිහිරි සැපකැයි
සිතා දිවි මග තනිව යන්නට
පෙර දවස මා පැතුම් පිරුවෙම්....


නොසිතු මොහොතක සෙමින් පතිතව
ප්‍රේමයේ නව අරුණු දහරක්
හුදකලා ලොව එළිය කරනට
මෙත් සිතින් අද කරයි ඇරයුම්.....

අවසරයි හද දොර අරින්නට
හදේ සපුරා ලැගුම් ගන්නට
ජීවිතේ දිගු ගමන යන්නට
ආදරේ තරු ලකුණ වන්නට.....

Thursday, April 19, 2012

අනේ අපොයි... අපේ ස්වාමි....



ස්වාමි ගැන අහිතක් හිතන එක, දොසක් ලියන එක ස්වර්ග සම්පත්තිය අහිමි වෙන්න තරම් පාපයක්ද මන්ද? එයාලත් අපි වගේම පෘතග්ජන මිනිස්සුනෙ... අපි කොයි කා අතිනුත් වැරදි සිද්ධ වෙන්න පුළුවන්... වැරදි කරන එක මිනිස් ගතියක් සමාව දෙන එක දේව ගතියක්... මේ උපහැරණ හැමදේම දැනගෙන හිටිය උණත් අපේ ස්වාමි එන්න එන්නම දුෂ්ට වෙනවා ව‍ගේ දැනෙන නිසාත් මට ඉරිදට විතරක් හරි පල්ලි යාම වහකදුරු වගේ තිත්ත වෙමින් පවතින නිසාත් මේ ගැන ලියන්න හිතුණා.. අපේ ස්වාමි නම් බ්ලොග්ස් බලන්නෙ නැතිව ඇති.. ඒත් බලන කොයියම්ම ස්වාමි කෙනෙක් හරි ඩිංගක් මේ ගැන හිතුවොත් මට ඇති....

අපේ ස්වාමි හරිම‍ හොදයි.. ශ්‍රද්ධාවන්තයි... භක්තිවන්තයි... අපේ ශ්‍රද්ධාව, භක්තිය වැඩි දියුණු කරන්නත් බොහොමයක් දේ කරනවා... ඒත් එන්න එන්නම ඉරිදා පූජාවට සෙනග අඩුවෙනවා... හැබැයි මාසෙ පළවෙනි අහරුවාදා ශු. අන්තෝනි මුනිතුමාගෙ නු‍වානෙට නම් වාහනවලින් දුර බැහැරින් පවා සෙනග ඇදෙනවා... එක අතකින් ස්වාමිට විතරක්ම දොස් කියල වැඩක් නැහැ.. අපේ මිනිස්සුන්ට ඕනෙ දේව දයාව නෙවෙයිනෙ.... ලෞකික සම්පත්ති වැඩි දියුණු කර ගන්න එක... ශු අන්තෝනි මුනිතුමාට අල්ලස් දුන්නම ඒ වැඩේ කර ගන්න පුළුවන් කියල තමයි මිනිස්සු හිතන්නේ.

අපේ ස්වාමි පල්ලියට එද්දි මිනිස්සු, ළමයි ගල්බීත වෙලා ඉන්නෙ... කොයි වෙලේ මොනාට බනියිද දන්නෙ නැහැ කියල ... ඒ වෙලාවට හැමෝම කොන්තෙ කියනවා... ස්වාමිට බයේ අමාරුවෙන් ගොඩ නගාගන්න භක්තිය ගැන ‍දේව මෑණියන්ට උණත් අනේ කියල හිතෙනව ඇති...

පුටු සද්ද උණත් දොස්...( මොන එහෙකට ප්ලාස්ටික් පුටු අරන් දුන්නද මන්ද පල්ලියටමම නම් ඒකට හරි විරුද්ධයි... ඉස්සර වගේ හැමෝම බිම වාඩිවෙලා පූජාව ඇහුවනම් මොකද වෙන්නෙ... පුටු අරන් දීලා නම් පිනක් නෙවෙයි කරගෙන තියෙන්නෙ පවක්... පූජාව පටන් ගත්ත වෙලාවෙ ඉල අවසන් වෙනකල් පුටු සද්ද වෙනවා.. මට නම් කේන්ති එනවා ඒ වැඩේට...  )

ළ‍මයෙක් ඇුවත් දොස්... ළමයි ඉතින් එක තැනක තියා ගන්න පුළුවන්ද? දේව රාජ්‍යය අයිති බාලයන්ට උණාට පල්ලිය නම් ළමයින්ට අයිති නෑ වගේ... ඉස්සර පූජාව ඉවර උණ ගමන් ළමයි ‍හැමෝම අල්තාරෙට දුවල ගිහින් ස්වාමිට ජේසු පිහිටයි කියල විනවා.. ස්වාමිත් ළමයින්ගෙ ඔලුව අතගාලා ආශිර්වාද කරනවා.. අපේ පල්ලියේ මේ කටයුත්ත චාරිත්‍රයක් වෙලා තිබුණෙ... ආව ස්වාමිලා ටික දවසකින්ම ඒකට පුරුදු උණා.. අකුල් හෙළුවෙ නැහැ.. හැබැයි මේ ස්වාමි ඇවිත් ටික දවසකින්ම ළමයින්ව නැවැත්තුවා.. අල්තාරය ශුද්ධවු තැනක්.. ළමයි එතෙන්ට ඇවිත් දලන එක හො නෑ කියල... අනේ ‍ජේසු අද වගේ දවසක හිටිය නම් !

ඊළට තේමාව, දේශනය, දැන්වීම් මේ කොයියම්ම අවස්ථාවකදිත් කාට හරි බැණ වදිනවා... සමහර වෙලාවට ‍දේශනාවෙදි පාදක කර ගන්නෙ කාගෙන් හරි අහගත්ත ඕපදුපයක්... මිනිස්සුන්ව හොින් නැත්නම් නරකින් දේව රාජ්‍යයට ඇදගෙන යන්න ඕන කියල වෙන්න ඇති ස්වාමි හිතන්නෙ... පල්ලි එන්නෙ නැති මිනිස්සුන්ට බණිද්දි ආව මිනිස්සු බොහොම අමාරුවෙන් ඒව අහගෙන ඉන්න ඕන. මිනිස්සුන්ගෙ වැරදි කියන්නෙ දේශනාවෙදි ප්‍රසිද්ධියෙම... නමක් ගමක් නොකිව්ව උණත් කවුද කැමති තමන්ගෙ කුණු රෙදි ප්‍රසිද්ධියෙ අපුල්ලනවට. අනික ගමක් උණාම ඕනම කෙනෙක් දන්නවා ස්වාමි කා ගැනද මේ කියන්නෙ කියල... ඉතින් මිනිස්සු කේන්තියටයි, ලැජ්ජාවටයි පල්ලියෙන් ඈත් වෙලා යනවා... අනේ ඉතින් මීට වඩා දයාන්විත, මානුෂික ක්‍රමයක් නැද්ද මිනිස්සුන්ගෙ හරි වැරැද්ද පහදල දෙන්න. මට නම් හිතෙන්නෙ නාස්තිකාර පුත්‍රයා බාර ගත්තා වගේ දයාවකින් වැළ ගන්න ඕන මිනිස්සුන්ව  ස්වාමි කොන් කරල දානවා කියලයි... මේ මිනිස්සුන්ගෙ ජීවිතවලට ළං වෙලා පුද්ගලිකව හොද නරක පහදලා දුන්න නම් කොයි තරම් හො? පවෙන් අත්මිදෙන්නත්, දෙවියන්ට ළංවෙන්නත්, ස්වාමිට ගරු කරන්නත් හිත් පැහැදේවිනෙ එහෙම උණොත්...

දවස් හයක් ජීවිත සටනෙ හෙම්බත් වෙලා ඉරිදට පල්ලි යන්නෙ ඇණුම් බැණුම් අහගෙන ඉන්න නෙමෙයි හිතට සැනසීමක් එකතු කර ගන්නය කියලා ඒකවත් නැති පූජාවකින් කුමන ඵලයක් ද කියල දැන් බොහෝ දෙනෙක් අල්ලපු මීසමේ පුංචි පල්ලියක ඉරිදා පූජාවට යනවා.... හැබැයි අපේ තාත්ත  '' අපි පල්ලි යන්නෙ දෙවියන් හින්ද මිසක ස්වාමි හින්ද නෙවෙයි '' කියල පුරුදු විදියට අපේ පල්ලියෙ පූජාවටම යනවා... ඒත් මට නම් ස්වාමිගෙ දේශනාව අහන් ඉන්න සමහර වෙලාවලට හිතෙනවා අපරාදෙ පල්ලි ආවෙ ගෙදරට වෙලා ගහක් කොලක් දිහා බලන් උන්න නම් මීට වඩා හොදයි කියල.

තවත් ලොකු වැරැද්දක් සිද්ධ වෙනවා අපේ ස්වාමිගෙන්... ඒ තමයි වැඩි ඇසුර ඇති හැකි අය එක්ක... නැති බැරි අය ගැන තැකීමක් නැති එක... ඇති හැකි අයගෙ දුකට සැපට ගෙදරටම ඇවිත් සම්මාදම් වෙන ස්වාමි නැති බැරි මිනිස්සුන්ගෙ වග විස්තර වත් අහල බලන්නෙ නැහැ... මහ බ්‍රහස්පතින්දා පූජාවෙ පාද දෝවනයට අඬ ගහල තිබුණ ගෝලයොත් ඇති හැකි පවුල්වලම තමයි... ස්වාමි අප්පිරියාවක් නැතිව ඒ පාද දෝවනය කරන්න ඇති... මොකද යානවාහනවලින් යන්න, ටයිල් පොලොවෙ ඇවිදින්න පින් කරල තියෙන පංචස්කන්ද නිසා...

කුලී වැඩ කරන ගමේ කොළුවෙක් විහිළුවට කියන්නෙ මෙන්න මෙහෙම...
'' අපි තාම උත්සාහයෙන් නැගිටින අයනෙ.. අපේ ‍‍‍‍පෝන්වලට ාදගෙන් කෝල් එකක් එන්න තව සෑහෙන කාලයක් යයි....."  කියලයි.
මේක විහිළු කතාවක් උණාට හිත් අමාරුවක ලකුණුත් ගෑවිලා තියෙනවනෙ.

ස්වාමි කාන්තාවකට ආදරය කරනවා නම්, හැන්දෑවට පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවනම්, දුම්වැටියක් බොනවනම්, ඒක මැදිහත් හිතකින් බලන්න පුළුවනි අපි හැමෝම මනුස්සයොනෙ කියල... පව්නෙ දෙවියන් වෙනුවෙන් ජීවිතේම කැප කළා උණත් තනිකමක් දැනෙන අවස්ථා ඇතිනෙ... යාම්තමට හිත් කොණකට හරි දැනෙන ආදරයක උණුසුමක් නැතිව ජීවිතේ කොයි තරම් අමාරුද?

ඒත් ඉහතින් දක්වපු කාරණා නම් බොහොම බරපතළයි කියලයි මට හිතෙන්නේ... මොකද මිනිස්සු ඈත් වෙන්නෙ ස්වාමිගෙන් පල්ලියෙන් විතරක් නෙවි.... දෙවියන්ගෙනුත් ඈත් වෙනවා ‍නොදැනීම... ස්වාමිගෙ කල්ක්‍රියාව නිසා...... ලංකාවෙ අස්සක් මුල්ලක් නෑර ගම්වල විවිධාකාර මිනිස්සුන්ගෙ හිත්වලට කතා කරන්න පුළුවන් දේව ධර්මයක් දූත කාර්යයේ යෙදිල ඉන්න ගිහි පැවිදි පූජක හැමෝම වෙනුවෙන් නිර්මාණය විය යුතු කාලය ඇවිදින් කියල මට හිතෙනවා....  

Wednesday, April 11, 2012

නව අවුරුදු කුමරියත් අසරණයි....






එරබුදු මල් සිනා සලන සොුරු වසන්තේ
කොවුල් ගීත මියුරු සරින් ඇසෙයි දසන්තේ
සුසුම් හෙළන හිත් බෝමයි සතර දිගන්තේ
අවුරුදු කුමරිය ළතවෙයි තනිව වසන්තේ....

දිළිු පැළේ සිිති මුවට සිනා කොයින්දෝ
දිළිු පැළට කළඑළි ගෙන එන්නෙ කවුරුදෝ
රසමසවුළු නොව කුසගිනි නිවන්නෙ කවුදෝ
අවුරුදු කුමරිය කොයි අත සොයන්නෙ කවුදෝ......

නැකැත් නැතත් හැමදා හිත ගිනි ඇවිළෙන්නේ
හාල් මිටක් නැති නැකතක් කුමට වඩින්නේ
දො‍ළොස්මහේ පැතු පැතුම් බොවී යන්නේ
සුසුම් රැගෙන නව අවුරුදු කුමට ලබන්නේ......

උහුළන්නට බැරි බදු බර දුරු වී යන්නයි
වංචා, දූෂණ, නාස්ති නැති වී යන්නයි
සුදු වාහන, අතුරුදහන් යළි නොඇසෙන්නයි
උතුරුකරේ දමිළ සොයුරු සිත් සැනහෙන්නයි

අගති අයුක්තිය දුරු වී ඇත්ත දිනන්නයි
භේද බින්න දුරු වී සැනසුම ලැබ දෙන්නයි
නැති බැරි අත මිට සරු වී සතුට ලැබෙන්නයි
තුන්සිය හැටපස් දවසෙම අවුරුදු වෙන්නයි......