පිටු

Friday, November 30, 2012

සීනු හඬින් ‍ලොව පිබි‍දෙනවා - නත්තල ‍දොර ළඟ හිනැ‍හෙනවා...




අද උුවප් ම‍‍හේ පළමු‍වෙනිදා... ‍මේ තමයි මාස ‍දොළ‍හෙන් මම වැඩි‍යෙන්ම ආස කරන මාසය... ආදරය කරන මාසය... ඒ ඇයි දන්නවද? නත්තල් මාසය එළ‍ඹෙන හින්දා... උුවප් මා‍‍සෙ හිමිදිරි‍‍යෙ හමන සීතල සුළං රැල්‍‍ලෙ ඉලම ති‍යෙන්‍‍නෙ අපූරුබවක්. නිවාඩුවක් අරන් පවු‍ලෙ අයත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න ලැ‍බෙනවා... සතුට ලබන්න ව‍ගේම ‍සතුට ‍බෙදන්නත් ලැබෙන අනගි අවස්ථාවක්.

ලිහිණී‍ගෙ නත්තල් මතකය  දැක්කම මටත් හිතුණා ම‍ගේ නත්තල් සැමරුම් ඔයාල එක්ක ‍බෙදා ගන්න. පුංචි කා‍‍ලෙ ම‍ගේ නත්තලත්... දැන් නත්තලත් අතර ‍‍ලොකු ‍වෙනසක් නැහැ... එදා ව‍ගේමයි අද සතුටත්... අද සතුට වැඩි ‍වෙන්‍‍නෙ පවුලට සාමාජික‍යො වැඩි ‍වෙලා තියන නිසයි.

නත්තලට අපි නත්තල් ගහ හදන්නෙ බට අතුවලින්. නත්තල් ග‍හේ සැරසිලි අවුරුදු ගාණක් පාවිච්චි කරනවා පරිස්සම් කරල තියා‍ගෙන. අම්ම නම් පුංචි ළම‍යෙක් ව‍ගේ නත්තලට ‍මොනාද ඕන කියල ඇහුවම හැමදාමත් කියන්‍නෙ නත්තල් ගහට සැරසිලි ටිකක් ‍ගේන්න කියලයි. චයිනා ස්ට්‍රීට් එ‍කෙන් මොනා හරි ටිකක් ‍ගෙනිහින් දුන්නම එයාට හරිම සතුටුයි.

අ‍පේ මල්ලි හතර ව‍ටේ ගව‍ලෙන් හදල ‍දෙනවා.. අන්තිමට අම්ම‍ගෙන් බැනුම් අහල තමයි ගෙදර ගව‍ලෙ‍න හදල ‍දෙන්‍‍නෙ. ගවලෙන හදන එක එයා‍ගෙම රාජකාරියක් ‍වෙලා. ‍මොකද එයා තමයි අවුරුද්‍දෙන් අවුරුද්දට අළුත් වැඩ දාලා ගව‍ලෙන ලස්සනට හදන්‍‍නෙ. අපිට ති‍යෙන්නෙ පුංචි සහ‍යෝගයන් ‍දෙන්නත් අගය කරන්නත්, අදහස් ‍දෙන්නත් විතරයි. ඔයාල හිතන්න එපා ‍ලොකු ගවලෙනක් කියල. පුංචි ග‍ව‍ලෙන් බඩු ‍සෙට් එකක් අපට ති‍යෙන්නෙ. ‍ජේසු ඉපදු‍ණෙත් මහ‍ලොකු තැනක ‍නෙ‍වෙයි‍නෙ නේද? ගව‍ලෙන හැදුවට ‍ජේසු බබා තියන්නෙ නැහැ. ‍ජේසු බබාව තියන්‍නෙ රෑ පූජාවට ගිහින් ආවට පස්සෙයි.

වැව මැද ගව‍ලෙන

අපේ පවු‍ලෙ අය ග‍මේ පල්ලි‍‍යෙ යාවජීව සාමාජික‍යො. ඒ නිසා ‍ගෙදර වැඩ විතරක්ම ‍නෙවෙයි පල්ලි‍‍යෙ වැඩත් කරන්න ‍වෙනවා. ඉතින් නත්තල් වැඩ ‍දෙගුණ ‍තෙගුණ ‍වෙනවා.

අ‍පේ ගම්පළා‍‍‍තෙ කතෝලික අය අඩුයි. ඉතින් සිංහල අවුරුද්දට අපිට පිරිල ඉති‍රෙන්න කැවිලි ‍පෙවිලි ලැ‍බෙනවා. නත්තලට අපිත් පුළුවන් විදියට ඒ හැ‍මෝටම කැවිලි පිගානක් ‍දෙනවා. කැවුම්, ‍කොකිස්, මුංකැවුම්, අතිරස, ආස්මී, බටර් ‍කේක්, කිරිබත් තමයි අ‍පේ ‍ගෙදර හැ‍දෙන්‍‍නෙ. පවු‍ලෙ සාමුහික ආර්ථික‍යේ සරු බවේ හැටියට තමයි ‍මේ කැවිලි පිගාන තීරණය ‍වෙන්නෙ. සමහර නත්තල් තිබුණා, කිරිබතුයි, කැවුම් ‍ගෙඩියි විතරක්ම දුන්න. ‍මොකුත්ම ‍නොදුන්න නත්තලුත් තිබුණා. ඒත් අපට අවුරුදු හිග උ‍ණේ නම් නැහැ.

නත්තල් ‍කේක්...

නත්තල් ‍කේක් කියල ‍වෙනම ජාතියක් ති‍යෙන බව මම දැන ගත්‍තෙ‍ කොළඹ බෝඩිම් වුණාට පස්‍‍සෙයි. අ‍පේ ‍ගම්වල නත්තල් ‍කේක් හදන සිරිතක් නැහැ. අ‍පේ ගෙදර නම් හැමදාම හදන්‍‍නෙ බටර් ‍කේක් තමයි. කැවිලි හදන එක අම්ම‍ගෙ රාජකාරිය. කේක් එක දාන්‍නෙ තාත්තා.. ‍කේක් නැත්නම් අ‍පේ තාත්තට නත්තල් නෑ. ඉතින් ‍කේක් තැටියක්වත් දානවමයි. ‍බේකරි‍යෙන් පුළුස්සගන්න ‍කේක් එක ‍ගෙනාව ගමන් ‍අම්ම‍ගෙ  බැනුම් මැද්දෙ ලොකු පලුවක් කපාගෙන කන එක තමයි තාත්ත‍‍‍ගෙ පළ‍වෙනි රාජකාරිය.

නත්තල් සැමරුම

විසි හතර රෑ පූජාවට යන නිසා විසිපස්වෙනිදා අ‍පිටම ‍වෙන්වුණ දවසක් ‍වෙනවා... නත්තල් පූජාවට ගියාමත් හරිම සතුටුයි. පල්ලියට එන හැ‍මෝම ග‍මේ අය.. ඒ ව‍ගේම හැ‍මෝම නෑදෑ‍යො. ඉතින් පූජාව ඉවර උණාම හැමෝටම නත්තල් සුබපැතුම් පිරි නමන්න ‍‍ලේසියි. පූජාව ඉවර‍වෙලා ‍ගෙදර ආවම ‍‍ජේසු බබාව ගවලෙ‍නෙන් තියනවා.

නත්තල් දා උ‍දේ පළමු රාජකාරිය තමයි කිරිබත් හදන එක. ඉන්පස්‍‍‍සෙ කැවිලි පිගන් හදල අහල පහල අයට ‍බෙදල ‍දෙන එක. කැවිලි පිගන් හදන වැ‍ඩේ බාර ‍වෙන්නෙ මට. තියන හැටියට පිරිමහල ඒ වැ‍ඩේ කරන්න මට දැන් අවුරුදු විස්සක විතර පලපුරුද්දක් ති‍යෙනවා. අතමිට තියන හැටියට අම්ම කැවිලි හදනවා. කැවිලි ති‍යෙන හැටියට කිරල මැනල ‍බෙදන මිම්ම මා ළග ති‍යෙන බවයි ‍ගෙදර අය‍‍ගෙ විශ්වාසය.

පුංචි කා‍ලෙනම් වැඩියම ආස කැවිලි පිගාන අරන් ‍ගෙවල්වලට යන්න. ‍මොකද වැල කතා කළාම සබන් කෑල්ලක්, ‍පොතක් එ‍හෙමත් නැත්නම් මුදලක් තෑගි විදියට ලැ‍බෙන නිසා. දැන්නම් ඒ තෑගි ලබන අවස්ථාව බාල පරම්පරාවට දීලයි ති‍යෙන්‍‍නෙ. අනික දැන් තෑගි ‍ලබන වයස ‍නෙවි දෙන වයසනෙ. මම නත්තලට නිවාඩු අරන් ‍ගෙදර යද්දි අ‍‍පේ අය කියන්‍‍නෙ “නත්තල් ආච්චි ආව කියලයි.

අහල පහලට කැවිලි ‍බෙදුවට පස්සෙ මහ‍ගෙවල්වල යන එකයි සිරිත. යන්න කළින් ‍ගෙදර අයට වැල කතා කරනවා. මුලින්ම අම්ම තාත්තට විනවා. ඉන්පස්‍සෙ අපි අම්මට, තාත්තට වැල වැඩිමහල්ක‍මේ පිළි‍වෙලට විනවා...   අම්ම‍‍ගෙ මහ‍ගෙයත්, තාත්ත‍‍‍ගෙ  මහ ‍ගෙයත් ති‍යෙන්‍නෙ ග‍මේම නිසා ළගම ඥාති‍යො බැහැදකින එක හරිම පහසුයි. දැන් ඉන්‍‍‍නෙ අම්ම‍‍ගෙ අම්මත්, තාත්ත‍‍ගෙ අම්මත් විතරයි. වැල කතාබහ කරල, තෑගි‍බෝග හුවමාරු කරගෙන, සංග්‍රහ විල අසුරු සැණින් ආපහු ‍ගෙදර එන්‍‍නෙ ඊළග රාජකාරිය නත්ත‍ලේ වඩාත් ප්‍රීතිමත්ම අවස්ථාව නිසා.

නත්තල් සීයා එක්ක ගම ව‍ටේ...

මුලින්ම අ‍පේ ගමට නත්තල් සීය ‍කෙනෙක් ආවෙ 2004 අවුරුද්‍දෙ. ( ඒක ‍වෙනම ලියන්න වටින ලස්සන සං‍වේදී අත්දැකීමක්. ) එදා ආව දුප්පත් නත්තල් සීයව ටිකක් ‍පො‍හොසත් කරල දැන් ගම ව‍ටේම එක්කරන් යන එක අ‍පේ වගකීමක් ‍චාරිත්‍රයක් වෙලා. නත්තල් ගීතිකා ගයමින් අපිත් නත්තල් සීය එක්ක යනවා. පුංචි ළමයිනුත් ආසා‍වෙන් බලා ඉන්නවා නත්තල් සීය තෑගි අරන් එනකල්. නත්තල් සීය‍‍ගෙ තෑගි මල්ල පි‍රෙන්නෙ අපි හැ‍මෝ‍ගෙම දායකත්ව‍යෙන්. ‍

කෝච්චි‍යෙ සීයට පහයි කියල විකුණන පුංචි කතන්දර ‍පොත්, ‍‍‍කොටුවෙන් තොග මිලට ගන්න පුංචි ‍සෙල්ලම් බඩු, නත්තල් සැරසිලි.... අර‍ගෙන යන්නෙ මම. ( ඒකයි මට නත්තල් ආච්චි කියන්නෙ. ) නත්තල් සීයා අතින් ඒ පුංචි තෑග්ගක් ‍‍ගන්න පොඩි එ‍කෙක්ගෙ මූණ ඇදෙන හිනාව දැක්කම මට නත්තලට අළුත් ඇදුම් නැති එක ගැන ‍පොඩි දුකක්වත් දැ‍නෙන්‍නෙ නැහැ. පහුගිය අවුරුද්‍‍‍දෙ  ඉදන් අපි ‍කොහු‍මෝල් ‍තුනක ළමයින්ටත් නත්තල් තෑගි අරන් යනවා.

නත්තල් සීය එක්ක වැඩිහිටි නිවා‍සෙට ගිහින් ආච්චිල, සීයල එක්ක ගීතිකා කියල, සින්දු කියල නටල එන එකත් අපූරු පින්වන්ත වැඩක්. නත්තල් දව‍සෙ එයාලට දැ‍නෙන තනිකම ටිකක් හරි අඩු ‍වෙනවා. එයාල අ‍පේ ‍පොඩි උන්ව ළං කර‍ගෙන කදුළු පිරුණ ඇස්වලින් හුරතල් කරනවා. තමන්ගෙ  දරු මුණුබුරන් මතක් වෙනව ඇති. දැන් දැන් ආච්චිල සීයල ටිකත් ‍පොඩි උන් ව‍ගේ මග බලන් ඉන්නවා නත්තල් සීය එක්ක අපි එනකල්.

ඔය ගමන ගිහින් ‍ගෙදර එද්දි රෑ ‍වෙනවා. සතුට නිසා මහන්සියක් දැ‍නෙන්නෙ නැහැ. එයින් පස්සෙ දැ‍නෙන්නෙ  නත්තල් ඉවර වුණා ව‍ගේ හැගීමක්.. ඇත්තටම කිව්වොත් පුංචි දුකක්.....

නත්ත‍ලෙන් පස්සෙ   නත්තල් කෑම ‍ගෙයින් ‍ගෙට. දවසින් දවස ‍ගෙවල් වැඩි ‍වෙනවා. මුලින්ම ‍ලොකු නංගි ‍ගේ හදා‍ගෙන ‍වෙනම පදිංචි උණා. නත්තලට ‍ගෙයක් වැඩි උණා. ඊළගට ‍‍පොඩ්ඩි. ‍තවත් ‍ගෙයක්. 

මේ අවුරුද්දෙ මම  නත්තල සමරන්නෙ ම‍ගේ දාඩිය මහන්සි‍යෙන් හදා ගත් ම‍ගේ ‍ගෙදර... ( තාම බා‍ගෙට උණත්...) මම ‍පෙරුම් පුරමින් ඉන්නෙ නත්තල් ගහක්, පුංචි ගව‍ලෙනක් හදන්න. පවුලෙ අයට ම‍ගේ අතින්ම උයල රස කෑම ‍වේලක් ‍දෙන්න.. ‍

වෙනම පවුල් පන්සල් ‍වෙලා හිටිය උණත් අපි තාමත් මහ‍ගෙවල්වල යන්නෙ හැ‍මෝම එකට. නත්තල කියන්නෙ ආදරය, සාමය, සතුට ‍බෙදා ගන්න උතුම් අවස්ථාවක්... ඒ උතුම්බව විඳින්න මට වාසනාව ලැබිල ති‍යෙනවා. 

නත්තල් සීයා ගමන පටන් ගන්න කළින්..  

පුංචි බබාලට නංගිට... මල්ලිට... ‍දෙන්න තමයි ‍ගෙන ආ‍වෙ මා...

බය‍වෙන්න එපා බබෝ මම නත්තල් සීයා

අ‍පේ නත්තල් සීයා වැඩිහිටි නිවාස‍යේ

අනේ රත්තරං ?




ඊ‍‍‍‍‍යෙ ‍බෝඩිමට හොරු පැනල. ම‍ගේ කාම‍රේ පිස්සන් ‍කොටුවක් ‍ව‍ගේ අවුස්සල දාලා... සන්ත‍කේට තිබුණ පුංචි පුංචි රත්තන් බඩු කෑලි ටිකයි, අත් ඔර්ලෝසු ‍තුනකුයි තව ඉමි‍ටේෂන් මාල වලලු කරාඹු ඔක්කොමයි අරන් ගිහින්... කුඩු ටිකකට සල්ලි ‍හොයන්න ඕන උන ‍කෙ‍නෙක් ‍වෙන්න ඇති.

හිතට හරි දුකයි. ‍පුංචි මාල ‍පෙත්ත ගත්තෙ මම 10 පන්තියෙ  විතර ඉද්දි පො‍තේ එකතු ‍වෙලා තිබුණ ශිෂ්‍යත්ව සල්ලි අරන්..... පුංචි ලස්සන කුරුසිය ම‍ගේ මම්මා දුන්නු තෑග්ගක්... ඒකත් අවුරුදු විස්සක් විතර පරණයි. සුදු ගල් අල්ලපු කරාඹු කුට්ටමට මං හරිම ආසයි. මුද්ද ගැන, අනිත් ‍දේවල් ගැන හිත හදා ගන්න පුළුවන් වුණත් අර මාල ‍පෙත්ත, කුරුසිය, කරාඹු ‍දෙක තමයි හැම ‍වෙ‍ලේම හි‍‍තේ මැ‍වෙන්න. ‍මේව‍ වටින්නෙ රත්තරං නිසාම ‍නෙ‍වෙයි. ඒවත් එක්ක බැදුණු මතකයන් ව‍ගේම දාඩිය මහන්සිය නිසා.

අතීතයට එක් වුණු ආදර කතාවක සුන්දර මතක සටහනක් වුණු අත් ඔර්ලෝසුව ‍ලැබුණු දා අ‍තේ දාලා හැඩ බැලුව විතරමයි. ඒක කවදාවත් අ‍තේ  බඳින්නෙ නැහැ කියලයි හිතන් හිටි‍යෙ. දැන් ඉතුරු ‍පෙට්ටිය විතරයි... ඒ ගැන නම් හිත හදා ගන්න පුළුවනි. ආදරය නැති ‍‍කොට තෑගි ‍මොකටද?

හැම‍දෙයක්ම අනිත්‍යයිනෙ කියල හිත හදා ගන්න හැදුවට හිත දුකින් බර‍වෙන එක නවත්තගන්න පුළුවන්කමක් නෑ. ඒත් මට නැති උ‍‍ණේ නම් ‍මොනාද කියල හිතු‍ණෙ, වෙච්ච ඇබැද්දිය බලන්න ‍ගෙදරට ආව ‍කෙ‍නෙක් නිසයි. අද උ‍දේ අ‍පේ ෆාද මල්ලි ( ‍බෝඩි‍මේ ඇන්ටි‍‍ගෙ පුතා ‍) ත්‍රීවීලයකින් ආ‍වා අ‍පේ දුක සැප බලන්න. එයා ආව ත්‍රීවීල් එ‍කේ ඩ්‍රයිවර් ළාබාල තරුණ‍යෙක්. ආපහු යද්දියි දැක්කෙ කකුලක ‍කොරයක් ති‍යෙන වග.

‘‘ ඇයි මල්ලි ‍කොර ගහන්නෙ” මම ඇහුවා.  

‘‘ ඇක්සිඩන්ට් එකක් උණා අක්‍කෙ. බස් ‍හෝල්ට් එ‍කේ ඉද්දි කාර් එකක් යට කර ‍ගෙන ගියා. ඔහු කලිසම් කකුල නවල ‍පෙන්නුවා. පව් ‍දෙයිය‍නේ විලුඹ ‍කො‍ටේ විතරයි ති‍යෙන්‍නෙ. දරු ‍දෙන්නෙකුත් ඉන්නවලු. ත්‍රීවීල් එ‍කෙන් තමයි ජීවත් ‍වෙන්නෙ.

ඒ මල්ලිට නැති ‍වෙලා ති‍යෙන ‍දේ හැටියට ම‍ගේ රත්තරං ‍මොනාද රත්තරං කියල හිතුණා.

මේ ව‍ගේ දුක් අමාරුකම් මැද දාඩිය මහන්සි‍යෙන් ජීවත් වෙද්දි තරුණ පිරිසක්... තවත් තරුණ පිරිසක් ‍හොරමැරකම්, අපරාධවලට ‍යොමු ‍වෙලා ඉන්නෙ කා‍ගේ වරදින්ද? සමස්තයක් විදියට දැන් අපේ ර‍ටේ අපරාද වැඩියි. ‍හොරකම් වැඩියි. ‍මේ පිරිහීම වළක්වන්න නීතිය, ‍පොලිසිය විතරක්ම මදි කියලයි මට හි‍තෙන්නෙ.

මනුස්සකම සංවර්ධනය කරන වැඩපිළි‍වෙලක් ති‍යෙන්න ඕන. ආගම දහම, පාසල, පවුල, මාධ්‍ය, රජය ‍මේ හැම ‍දෙනාම එකාවන්ව එකමුතු ‍වෙලා තමයි ‍මේ ව්‍යාපෘතිය දියත් කරන්න ඕන. ඒක ඉතින් ‍කොන්ක්‍රීට් සංවර්ධ‍නේ තරම් ලේසි නැහැ. ‍කොමිස් ගහන්න විදියකුත් නෑ. ක්ෂණිකව ලාබ ලබන්නත් බැහැ. කැපවීමයි, ‍හොද හිතයි, ඉදිරි දැක්මකුයි ති‍යෙන්න ඕන. 

Wednesday, November 28, 2012

විකිණෙන සොඳුරු අප්සරාවිය.... ( 01 )


බොහොමයක් දෙනා සිහින දකිනවා සුදුපාට මීදුම් රැල්ලක් දවටගෙන සීතලෙන් ගැහී ගැහී, පිපී හිනැහෙන මල් බල බලා සුන්දර නුවරඑළියේ සැරිසරන්න... හාත්පස දිලෙන හරිත වර්ණයෙන් ‍දෙ‍නෙත නිවා ගන්න... දිය ඇල්ලක සිලි සිලි ගීතය අහන්න.... හැබෑවටම එය නැවත නැවත දකින්න කැමති හීනයක් තරමට සුන්දර අත්දැකීමක්... රාජකාරි කටයුත්තකට නුවරඑළි යන්න ලැබුණ නිසා පහුගිය දවස් කීපයක අපූරු අත්දැකීම් රැසක්ම විඳින්න ලැබුණා... ගම්නියම් ගම්වල සැරිසරන අතරතුර නුවරඑළි අප්සරාවි‍යගේ දිදුලන නෙත් කැල්ම යට හැංගිලා තියෙන කඳුළු කැටත් හිත පත්ළටම ගිහින් ලැගුම් ගත්තා....

අපි නවාතැන් ගත්තෙ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් සංචාරක නිවාසයක... රාත්‍රිය සීතලයි.. නමුත් එය දරා ගන්න බැරි තරම් කටුක සීතලක් නෙවෙයි.. උණුසුම් පපුවක හිස ති‍යාගෙන ඇස් දෙක පියා ගන්න හිතෙන සෞම්‍ය සීතලක්.... කරාමයෙන් උණුවතුර ගැලුව නිසා, විල්ලුද ඇතිරිල්ලක සුවය ‍ගෙනෙන බ්ලැන්කට් තිබුණ නිසා සීතලට බැරි උණා කරදරකාරයෙක් වෙන්න නම්... සමහර වෙලාවට කකුලෙන් ඇදල ටිකක් කිතිකවනවා ඇරෙන්න....

අප්සරාවියගේ අරුණැල්ලක අසිරිය



හැමදාමත් උදේ හය වෙද්දි නුවරඑළියේ සුන්දර උදෑසන පිළිගන්න මම එළියට බැස්සා... මුල්ම දවසෙ වටපිටාව මීදුමෙන් පිරිලා. රෝස මල්වල දිලිසෙන පිණිකැට.. වැස්සක පෙරනිමිති කියන තෙතබරිත බවක් හාත්පස තිබුණෙ...  එදා දවස ගෙවුණේ ලබුකැලේ, කොත්මලේ ප්‍රදේශයේ.. දවසම මීදුම... අසුරු සැණෙකින් හාත්පසින් මීදුම අපිව වට කර ගත්තෙ හදිසියෙම කඩා වැටුණ අමුත්තො ගැන විපරම් කරන්නට වගේ. එතැන් සිට එදා දවසම අපි හිටියෙ සීතල මීදුම් සලුව පොරවගෙන. පොද වැස්සේ මුණු මුණුව අසමින්..... කුඩෙත් අල්ලගෙන, සාරිත් උස්සගෙන, කඳු පල්ලම් නගිමින් බහිමින් ගෙයින් ගෙට යද්දි විඩාවක් දැණුනෙ නම් නෑ කොහෙත්ම... සුන්දර නුවරඑළියේ ඇතුළට යන්න යන්න ජීවිතය කොයි තරම් දුෂ්කරද කියලයි හිතුණෙ.

හවස දෙකට විතර මුණ ගැහුණෙ මේ පුංචි පැටව් ටික

දෙවෙනි දවසෙ උදෑසන හාත්පසින්ම වෙනස්... ඈත කඳු පේළි අතරින් හිරු රැස් එබිකම් කර කර මෑත කඳු පේලි රිදී පාට කරනවා... මෑත කඳු යායක ගස්වල තෙත් කඳන් හිරු එළියෙන් දිලිසුණේ රිදී කුළුණු වගේ. බලාන ඉද්දිම වගේ කඳු මුදුන්වල වැතිරිලා ගිමන් නිවූ මීදුම හෙමිහිට හෙමිහිට බොඳ‍ වෙලා ගියා... මනාලියකගේ සුදු සේලයක් පාවී යන්නාක් වගේ. පිණී බින්දු තවර ගත්ත රෝස, ඩේලියා ඉර එළියේ දිලුණෙ සතුටින් ඉපිලෙන්නා වගේ...

හිරු රැසින් බොඳ වෙන මීදුම් සේලය 

'' අද නම් අහස පැහැදිලියි.. හොඳ දවසක් වේවි'' අපි හිතුවා.. ඒත් පැයක් වත් ගියේ නෑ. මෙන්න අහස ඉකි බිඳිනවා. පොද වැස්ස.... '' මේ තමයි නියම නුවරඑළිය.. වැස්සයි, මීදුමයි නැත්නම් නුවරඑළියෙන් වැඩක් නෑ" රාජකාරිය සඳහා අප හා එක්වුණු නුවරඑළි මිතුරෙක් පැවසුවා.

නුවරඑළි අහසත් මගේ හිත වගේ.. වෙලාවකට හරිම පැහැදිලියි. හිනාවෙන් පිරිලා. ඒත් හිතා ගන්නත් බැරි තරම් ඉක්මණට අඳුරු වෙනවා... නුවරඑළි අහසට ඒ වෙනස ලස්සනක් උණාට ජීවිතේට නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.....

අප්සරාවියගේ රුසිරු

නුවරඑළි යන කිසිවෙකුට අමතක නොවෙන දසුනක් තමයි ග්‍රෙගරි වැව.... ග්‍රෙගරි වැව ළග ගත කළ හැන්දෑවත් සුන්දර මතකයක්... රු. 50 ක් දීල ඇතුළට ගිය අපට රු. 100 දීලා පැයකට බයිසිකලයක හිමිකරුවකු වෙන්න පුළුවන් වුණා. ග්‍රෙගරි වැවේ එක් කොණක සිට අනික් කොණට බයිසිකලයෙන් යන එක අපූරුයි. විවේකයක් ගන්න ඕනෙයි කියල හිතුණොත්, සුන්දර දසුනක අසිරියෙන් නෙත් දැහැන්ගත කර ගන්නට අවැසිතාවක් දැණුනොත් බයිසිකලය පසෙක නවතා ලී බංකුවක වාඩි වෙන්නත් පුළුවනි.  වටපිටාව හරිම ලස්සනට සැලසුම් කරල තිබුණ වුණත්, වැව් තලය අයිනෙ එක් වෙලා තියන ප්ලාස්ටික් බෝතල්, ෂොපින්කවර, කුණු කසල දකිද්දි නම් හිතට දුකයි... ලස්සන තැනක මේ දේවල් නොදා රැක ගන්න එක සංචාරකයින්ගෙ වගකීම වගේම, සුන්දරත්වය මුදලට අලවි කරන තැනක ඒ සුන්දරත්වය නඩත්තු කරන්නත් කැපවීමක් කළ යුතුයි නේද?




බෝට්ටුවෙ වැව වටා සවාරියක් යන්නත් අවස්ථාවක් තියෙනවා. ( නුවරඑළියෙ කොතැනකට ගියත් පර්ස් එකට තට්ටු වෙන්න තියෙන ඉඩ වැඩියි. හැම දේටම මිලක් නියම වෙලා තියෙනවා.. ඒ නිසා එහෙ යන්න ඕන සල්ලි ටිකක් වැඩිපුර අතේ තියාගෙන තමයි. ) වේග රිද්ම ගීයකට නටන නව රැල්ලේ කොලු කෙල්ලන්ටත්, දරුවන් අතින් අල්ලන් ඇවිදගෙන යන මව්පියන්ටත්, සොබාදහමේ අසිරියෙන් නෙත් සිත් සනසන දෙස් විදෙස් සංචාරකයින්ටත්, සෙනෙහසේ සුවදායක නි‍මේෂයක් පතන පෙම්වතුන්ටත් ග්‍රෙගරි වැව අපූරු තැනක් කියලයි මට හිතුණෙ...


රෑ අඳුර වැවට එපිටින් කැලෑවේ ඉඳන් වැව් තලය උඩින් අඩි තියාගෙන එන කොට වැව අයිනෙ පුංචි දුපතක් මවන පඳුරු ගොන්නෙ රාත්‍රිය ගත කරන්න කොක්කු රෑන් පිටින් එනවා.. තැනින් තැන විදුලි පහන් දැල්වෙනවා... හිමිදිරියෙ ග්‍රෙගරි වැව මවන සුන්දර දසුනට නොදෙවෙනි දසුනක් තමයි මේ හැන්දෑකරේ මැවෙන්නෙත්.... නුවරඑළි‍ ගියොත් හිමිදිරියකත්, හැන්දෑවකත් ග්‍රෙගරි වැව ළගට යන්න අමතක කරන්න එපා.... සුන්දරත්වයේ රටාව වෙනස් කරන්න ඉරට ඇත්තේ පුදුමාකාර හැකියාවක්...

( තවත් නුවරඑළි මතක සැමරුම් එක්ක ආයෙම හමුවෙමු. )

Tuesday, November 20, 2012

ආරෙල් මේ ඔබේ ෂෝෂා...




ආරෙල්ය ඔබ,
මදාරා පරසතු අතර හිඳ
නිදිකුම්බා මලකට ආදරෙයි කියන...

ෂෝෂා නොවෙද මා ඔබේ
ළදරු හිතකින් ජීවිතේ දිග, පළල මනින
තනිකම් දොසින් ඇවිළුණත් සිත
කටු තුඩු අමෝරා
ස්නේහයේ පියවර අවුරා තබන....

ආරෙල්ය ඔබ,
අනුරාගයේ සඳ කිරණින්
ප්‍රේමයේ කොඳ කැකුළු ප්‍රමුදිතව
විකසිත වන බව කියන...

ෂෝෂා වෙමි මම,
ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය යැයි අදහන...
නමුදු උණුසුම් පපුතුරක සතපවා හිස
නෙත් පියා ගන්නට පෙරුම් පුරන..

ආරෙල් ඔබ,
විශ්වයේ ඉම සොයා යන්නට පෙරුම් පුරන
සීතල සුළං රැල්ලක්...
ෂෝෂා මම.....
පුංචි නිදිකුම්බා මලක්
මද සුළඟටත් හැකිලෙන පත් අතර
ජීවිතය දකින්නට වෙර දරන...

නැවතිය හැකිද ඔබට මා සමග?
පියාපත් කොහිද මට ඉගිලෙන්න ඔබ සමග? 


( මේ පද පේළි අතර එබිකම් කරන ආරෙල් සහ ෂෝෂා සොයා ගන්නට අවැසි නම් ඉෂාක් බෂෙවිස් සින්ගර් ගේ ‘‘ ෂෝෂා ” කියවන්නට වේවි. පරිවර්තනය ගාමිණී වියන්ගොඩ. විජේසූරිය ග්‍රන්ථ පදනමේ ප්‍රකාශනයක්... සැබවින්ම එය අපූරු ආදර කතාවක්, අදහා ගන්නටත් අසීරු..)


Monday, November 12, 2012

මළවුන්ගෙ මාසේ මතක සැමරුම්




ජීවිතය තාවකාලික නවාතැන්පළක් පමණි. ආ‍වොත් යා යුතුමය. පැමිණීම ඉපදීම ලෙසත් සමුගැනීම මරණය ‍ලෙසත් අපි හඳුන්වමු. සමුගත්තවුන් මළවුන්ය. මැරුණ අය මත්තේ නහින්නට ඕනෑ නැතැයි අ‍පේ ගම්වල මතයක් ති‍බේ. නමුත් මළවුන් අමතක කර දැමීම සුදුසු නැත. ඔවුන් වෙනුවෙන් පින් දහම් කරමින්, යාච්ඤා කරමින් යන තැනක සතුටින් අළුත් දිවියක් ආරම්භ කරන්නට ඔවුන් ගේ සිත් පහන් වන ‍සේ කටයුතු කිරීම ජීවත් වන්නවුන්ගේ වගකීමකි.

ඉල් මහ කිතුනු බැතිමතුන් වි‍ශේෂාකාර‍‍යෙන් මළවුන් සිහිපත් කරන සමයයි. මළවුන් වෙනු‍වෙන් පින් දහම් කරන කාලයයි. මළවුන්ගේ මාසය ගැන ලියැවුණු හරීගේ හීනලන්තයේ   සටහන බලන්න. ධර්මෝපදේශකයාගේ මළවුන් සිහිගන්වන නොවැම්බරය බලන්න. ඔබට මළවුන්ගේ මාසය ගැන බොහෝ තොරතුරු දැන ගන්නට ලැබේවි. ( මෙම තොරතුරු ලබා දුන් හරී මල්ලීට බෙහෙවින් ස්තුතියි. )

ඉහත සටහන් හේතුවෙන් මළවුන්ගේ මාසය පිළිබදව මා නැවත නැවතත් ලිවිය යුතු නැතැයි සිතේ. මළවුන්ගේ මාසයේ මගේ අත්දැකීම් ඔබ හා බෙදා ගන්නටයි මගේමේ වෑයම. පුංචි කාලයේ මළවුන්ගේ මාසය ඉමහත් ආශාවෙන් පිළිගැනීමට අපට හේතු දෙකක් තිබිණි.

පළමුවැන්න දිනපතා සැඳෑවේ යාච්ඤා කරන්නට සිදු වන කාලය අඩුවීමය.  එදවස අද මෙන් රූපවාහිනියට නිවෙස්වල තැනක් නොවිණි. සෑම දිනකම සැඳෑවේ කිතුනු නිවෙස්වල ජපමාලය උච්චාරණය කරන්නට කාලය වෙන්විය. මෙය දේව මාතාවන් වෙනුවෙන් සිදු කරන යැදුම් පිළිවෙතකි. නවගුණවැල ගනිමින් භාවනා කිරීම හා සමානය. මේ සඳහා පැය භාගයක්වත් ගත වේ. පුංචි අපිට කඩිකුලප්පුවය. එක තැනක පැය භාගයක් සිටීම ඉතාමත් අසීරුය.  එනිසා මේ යැදුම් කාලය පුංචි අපට කටු ඔටුන්නක් මෙන් විය. මළවුන්ගේ මාසයේදී කියන්නේ පුංචි කොන්තයයි. කොන්තයේ සෑම බුබුලක් පාසා කියන්නේ.. ‘‘ ජේසුනී මරියනී” – “ ජේසු මරිය ජුසේතුමෙනි” යනුවෙන් පමණි. ඉතින් මළවුන්ගේ මාසයේදී ජපමාලය කීමට පැය කාලක්වත් ගතවන්නේ නැත. මෙය අපට ඉතාමත් ප්‍රීතිමත් කාරණයක් විය.

අනෙක් සතුට නම් මළවුන්ගේ මාසයේදී බොහෝ විට කන්නට ලැබෙන කෙසෙල් කොලේ ඔතන ලද දානෙ බත් මුලයි. ඒ බත් මුලේ සුවඳ, රසය සිහිපත් කිරීමද චමත්කාරයකි.

අපි පුංචි කාලයේ මළවුන්ගේ දානය දෙන දවසේ ළඟම ඥාතීන් නිවසට රැස් වේ. දානය පිසින්නේ සැමගේ දායකත්වයෙනි. වැඩිහිටියන් ඉවුම් පිහුම් සහ අනෙකුත් රාජකාරි සිදු කරන අතරේ ළමා අපි සිත් සේ සෙල්ලම් කළෙමු. අපට ඇරයුමක් ලැබෙන්නේ දානය බෙදන්නට පෙර සිදු කරන යාච්ඤාවට සහභාගි වීමටයි. මෙහදී මළවුන් වෙනුවෙන් විශේෂයෙන් කරන යැදුම් පවතින අතර, දානය ආසිරි ගැන්වීමද සිදු වේ. දානය බෙදන්නේ යාච්ඤා කිරීමෙන් අනතුරුවය.

දානය දීම සඳහා තෝරා ගන්නේ දුප්පතුන්ය. එසේත් නැතිනම් මිය ගිය ඥාතීන් හා සම වයස් මට්ටම්වල සිටින අයය. පවුලේ ආර්ථික ශක්තිය අනුව දානය දීම සඳහා තෝරා ගන්නා පුද්ගලයින් සංඛ්‍යාව තීරණය වේ.

දානය පිළිගැන්වීම

සාලයේ එක දිගට පැදුරු එළා දානය බෙදා දෙන අය වාඩි කරවන අතර ඔවුන් ඉදිරිපිට පත්තර පිටු හෝ වට්ටි තබා විශාල කෙසෙල් කොල එලනු ලබයි. ඒ මතට මුලින්ම බෙදන්නේ බත්ය. දානය පිළිගන්නා පුද්ගලයාගේ පවුලේ සංඛ්‍යාව සැලිකිල්ලට ගෙන ඔවුන් සියල්ලන්ට ප්‍රමාණවත් වන තරමට බත් බෙදීමට වග බලා ගැනේ. අනතුරුව එක් එක් අය විසින් ව්‍යංජන, අතුරු පස බෙදනු ලැබේ.  රෙදි පිළි පවා පිළිගන්වන අවස්ථා ඇත.



මෙහිදී දානය බෙදීමෙන් අනතුරුව එය ඉඳුල් කිරීම සිදු වේ. එයින් අදහස් වෙන්නේ දානය පිළිගත් තැනැත්තා එයින් බත් කටක් අනුභව කිරීමයි. අනතුරු කාඩ් බෝඩ් පෙට්ටිවල හෝ පන් පෙට්ටිවල සීරුවට අසුරන ලද දානෙ බත්මුල රැගෙන ඔවුහු පිටව යති. අද නම් ප්ලාස්ටික් බේසමට දානෙ බෙදන අවස්ථාද ඇත. ව්‍යංජන ෂොපින් කවරවල දමා බත්පතින් තබයි.

කෙසෙල්කොලයට බත් බෙදා ඒ වටා ව්‍යංජන බෙදූ එදවස අදට වඩා අපූරු යැයි මට සිතේ. ඒ බත් පතක් දිග හරින විට විහිදුණු සුවඳ ප්ලාස්ටික් බේසමකින් කෙසේ නම් ලබන්නද? ගමේ වැවේ නෙළුම් කොලවලින් අඩුවක් නොවුණු නිසා දානය බෙදන්නට අපි නෙළුම් කොලද විටක යොදා ගත්තෙමු.

නිවැසියන්, නෑ හිතවතුන් කෑම ගන්නේ දානය පිළිගත් අය නිවෙසින් පිට වු පසුවය. බොහෝ විට අසල්වැසියන්ට, ගැබිණි මව්වරුන්ට දානෙ බත්මුලක් ගෙන ගොස් දීමද සිරිතකි. දානෙ බත් එකක් පල්ලියේ පියතුමාටද යැවීම  සිදු වේ. ( මත්පැන් ගැන කිසිවක් නොලීවේ අප නිවසේ මත්පැන් පානය කරන කවුරුත් නොමැති නිසා අපේ දානය අමද්‍යප වන නිසා මිස දාන ගෙදරක මත්පැන් භාවිත නොවන නිසා නොවේ. )

දානය දීමෙන් පසු හවස් යාමයේ  පල්ලියේ මළවුන් තැන්පත් කර ඇති පිට්ටනියට ගොස් ඉටිපහන් දල්වා, යාච්ඤා කිරීමටද අමතක නොකළෙමු. සොහොන් පිටි කළඑළි වන්නේ මළවුන්ගේ මාසය එළඹෙන්නටත් මත්තෙනි. සොහොන් කොත්, සොහොන් ගෙවල් සුදු හුණු ගා පිරියම් කෙරේ. අළුත් පස් දමා මළවුන් වැළලූ තැන් නැවත සකස් කරනු ලැබේ. මුහුදුකරයේ නම් සොහොන් කන්ද නැවත සකස් කරන්නේ මුහුදු වෙරළෙන් ගෙනෙන සුදු වැලි දමා පිරියම් කරමිනි. එය සැබවින්ම අපූරු දසුනකි.

එදාට වඩා අද  සිරිත් විරිත් බෙහෙවින් වෙනස් වී ඇත. අපේ ගම්වල බොහෝ දෙනෙකුට හිතේ හැටියට දානෙ වේලක් දෙන්නට අද වත්කමක් නැත. ඇති හැකි අය දෙන්නේ දාන පාටිය. ඇති අයම කති බොති. හිත් රවටා ගන්නට කාට හෝ සුළුවෙන් දන් දෙති.

දානය උයන්නේ කෝකියෙකි. නැත්නම් කේටරින්ය. එදා පැවති සාමුහිකත්වය සහජීවනය අද නැත. කෙසෙල් කොලයේ බත්පත, ප්ලාස්ටික් බේසමට, ලන්ච් ෂීට් ෂොපින්කවරවලට මාරු වී ඇත.

වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් දුප්පත් පවුල්වලට ලබා දීමද දැන් බොහෝ විට සිදු වේ. එහි යහපත් පැතිකඩක් ඇත. දිළිඳු පවුලකට දින කිහිපයක් පිරිමසා ගන්නට එය ප්‍රමාණවත්ය.  වැඩිහිටි නිවාස, ළමා නිවාස සඳහා දානය දීමද සිදු වේ. තමතමන්ටම දාන පාටි දමා ගන්නවාට වඩා එයද හොඳය.

නමුත් මළවුන් වෙනුවෙන් යාච්ඤා කිරීම, සද්භාවයෙන් දානමාන දීම, දිව්‍ය පූජා පැවැත්වීම අද කාර්යබහුල ජීවන රටාවත් එක්ක වියැකෙමින් පවතී. එම නිසා කර ගන්නා පිනක් ජීවතුන් අතර සිටියදීම කර ගත යුතුය. මළාට පසු අප වෙනුවෙන් පින් දහම් කරන්නට කාලයක් හෝ වත්කමක් ඉදිරියේ ජීවත් වන පරම්පරාවන්ට ඉතිරි නොවනු ඇත.

Thursday, November 8, 2012

පා තබා ඔබ එන්න හුදකලා මාවතේ



මළවුන්ගෙ ලෝකයේ මල් පිපෙන

ඉටි පහන් දැල්වෙන මලානික වසන්තය ඇවිදින්..

කුණු කසල නිකසලව සිනාවෙන් විකසිතව
හෙළි පෙහෙළි තණ පලස පිවිතුරුව
වසරකට වරක් මලානික වසන්තයේ එන
අමුත්තන් පිළිගන්න සැරසී බලා හිී...

මළවුන්ගෙ ලෝකයේ මල් පිපෙන
ඉටි පහන් දැල්වෙන මලානික වසන්තය ඇවිදින්..

සොහොන් කොත් සුදු සළු පැළ
සුදු වැලි අතුල අසුන් පනවාගෙන
මල් පහන් දෝතින් දරාගෙන
අමුත්තන් පිළිගන්න සැරසී බලා හිී...

මළවුන්ගෙ ලෝකයේ මල් පිපෙන
ඉටි පහන් දැල්වෙන මලානික වසන්තය ඇවිදින්..

මළගිය මතක කැටි කොට
මිලට ගත් මල් පොකුරක රන්දගෙන
වසරක් පුරාවට  මිලින හිත අසල තබා යන්නට
අමුත්තෝ ගාටමින් එති යති....

මියෙන බව දැන දැනම
නොමියෙන සේ දිවි ගෙවන
පණ ඇති මළවුන් දැක දැක
මළගිය ඇත්තෝ හිනැහෙති.. විටක වැළපෙති...

මළ ගිය මතක පණ එන
ඉල් මහේ මළවුන්ගෙ මාසයේ
පා තබා ඔබ එන්න හුදකලා මාවතේ
ස්නේහයේ මල් මතක අරගෙන හදවතේ... 


Tuesday, November 6, 2012

මඩු වන්දනාවේ - 02 කොටස

මඩු පල්ලියේ සිට ආපසු..


අපේ පවුලෙ අය මඩු පල්ලි ගියේ ඇත්තටම ලොකු භක්තියකින්.. ආදරයකින්... අරක්කු සිගරට් බොන කවුරුවත්ම හිටියෙත් නැහැ අපේ නඩේ. ඒ නිසාමද මන්ද? වැස්සත් අපිට කරුණාවන්ත වුණා. ඉර අපිත් එක්ක හිනාවුණා. මොකද අපි පල්ලියට ගිහින් ටික වේලාවකින් පෑව්වට පස්සෙ ආයෙම වහින්න පටන් ගත්තෙ අපි පහුවෙනිදා පල්ලියෙන් පිටත් වෙලා එද්දි. ඒ නිසාම නැවුම් අව් රැල්ලෙන් මුලදි තෙතබරිත කිළිටි පරිසරය නිසා දැණුනු අප්‍රසන්න ගතිය මැකිල ගියා.

අපි මඩු පල්ලියෙන් පිටත් වෙලා ඒ ළගපාත තිබුණු අළුතෙන් හැදුව පල්ලියක් බලන්න ගියා. ඒ පල්ලියත් යුද්දෙ වෙලාවෙ සුන්බුන් ගොඩක් වෙලා. මාස අටක් වගේ කෙටි කාලයකින් විශාල, ඉතාම අලංකාර පල්ලියක් ගොඩ නගල තියෙනවා නැවත. අල්තාරය ඉදිරියේ පූපය අතින් ගත් ජේසුගේ රුව අතිසුන්දර සුවිසල් ලී කැටයමක නිරෑපණය කරල තියෙනවා.. කොතරම් විශාල මුදලක් වැය වන්නට ඇත්ද?

පල්ලි පන්සල් හැදෙන්නට ඕන තමයි.. ඒත් ඉතින් වැඩියෙන්ම හැදෙන්න ඕනෙ මිනිසුන්ගෙ අධ්‍යාත්මය නේද? ගොඩ නැගෙන්න ඕන මනුෂ්‍යත්වය නේද? යුද්ධය නිසා අසරණ වුණු මිනිස්සු තාමත් ටකරන් මඩුවල.. අව්වෙන් වැස්සෙන් පීඩා විඳ විඳ ඉන්නවා. තමන්ගේ ගම්බිම්, ගේදොර අහිමිව අසරණ වෙලා ඉන්නවා කිසිම දෙයක් කර කියා ගන්න නොහැකිව. එහෙම වටපිටාවක මහ විසාල පල්ලියක් ඇතුළෙ වැඳ වැටුණම දෙවියන් අපිට ආශිර්වාද කරයි කියල හිතන්නෙ කොහොමද? මං දන්නවා මගේ හිත මෙහෙම හිතුවට ඒ පැත්තෙ යුද්දෙන් බැට කෑව මිනිස්සු නම් තමන්ට යන එන මං නැති වෙලා දෙවියන්ට මහ මන්දිරයක් හැදුණට කවදාවත් අහිතක් හිතන්නෙ නැහැ.

මඩු පල්ලියෙන් පිටත් වෙලා තලෙයි මන්නාරම් යන අදහසිනුයි අපි ඉදිරියට ගියේ. නමුත් දිගටම මහ වැස්ස. මග දිග හරිම පාළුයි. පාරවල් නම් ඉදි වන බව පේනවා. ඒත් තැනින් තැන තිබුණ ටකරන් මඩු, දිළිඳු පැල්පත් අපේ රටේ සංවර්ධනය සාමාන්‍ය දුප්පත් මිනිස්සුන්ගෙ ජීවිතවලින් කොයි තරම් ඈතද කියන එක නැවත නැවත සිහිගැන්වුවා. මට හිතා ගන්න බැරි උණා ඒ පැත්තෙ මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද කියල? හේන් ගොවිතැනින්ද? කුලියක් මලියක් කර ගන්න පුළුවන් බවක්වත්, රස්සා කරන්න කර්මාන්ත ශාලා ඇති බවක්වත් පෙණුනෙ නෑ. නිදැල්ලේ හැසිරුණු හරක් රංචු... නිරන්තරයෙන් හමා ආව තෙත ගොම ගන්ධය, ඉඳ හිට පාර දෙපස මුණ ගැහුණු එළු රෑන් එක් ජීවනෝපායක් ගැන ඉඟියක් දුන්නා... ඔවුන්ගේ ජීවිත බෙහෙවින්ම දුෂ්කර ඇති.  

මන්නාරම් යන අතරෙ යෝධ වැවත් දැක බලා ගත්තා. අපූරු දර්ශනයක්.. යෝධ වැව වැස්සෙන් ආශිර්වාද ලබල තමන්ගෙ යෝධ බව පෙන්න පෙන්න බොහොම ආඩම්බරෙන් උන්නා.



මහ වැස්ස නිසාම තලෙයි මන්නාරම් යන අදහස අත් හැරල අපි තාල්පාඩු වෙරළ සොයන්නට පටන් ගත්තා. අපි කාටවත් දෙමළ දන්නෙ නැහැ. හමුවුණ ගොඩක් අයට සිංහල දන්නෙ නැහැ. භාෂා ප්‍රශ්නය නිසාම අපිට මුහුදු වෙරළ හොයා ගන්න බැරි උණා. එක් පාරක් ඉවර වුණේ කලපුවක් වැනි තැනකින්. වාහනෙන් බැහැල බලපු මල්ලි කිව්වෙ ඒක ඔයක් කියලයි. ඉතින් අපි ආපහු හැරුණා. මගදිත් දැන ගන්නට ලැබුණෙ අපි ගියේ නිවැරදි පාරෙ බව. ඒත් මුහුදු වෙරළ අපෙන් මග හැරුණා.

මන්නාරමේදි ආසියාවේ විශාලම ගහ ( මම හරිද දන්නෙ නැහැ), දහදෙනෙකුටවත් බදන්න බැරි විශාල බයෝබැබ් ගහ දැක බලා ගත්තා. ඒ වෙලාවෙ හොඳටම වැස්ස. ඒ නිසා වාහනේ ගහ වටේ කැරකිලා ගහ පෙන්නල එක්කරන් ආවා.



බොන වතුර ඉවර වෙලා අපි හරි පිපාසෙන් ඉද්දි ආයෙමත් අපේ වතුර බූලිය පුරව ගත්තෙ මන්නාරම රදගුරු නිවසින්. ඔයාල දන්නවනෙ මන්නාරමේ රදගුරුතුමා රායප්පු ජෝෂප් රදගුරුතුමා බව. දෙමළ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න ආන්දෝලනාත්මක චරිතයක්නේ.

හැමදේම වෙන්නෙ හොදටයි කියනවනේ. රෑ අටට විතර මැදවච්චිය පල්ලියට ආවට පස්සෙයි අපි දැන ගත්තෙ කුණාටු තත්වයක් තියෙන බව. මුහුද රළු බව. ඉතින් හැමෝම මල්ලිට විහිළු කළා ‘‘ ඒක තමයි ජේසු ඔයාට මුහුද ඔයක් කරල පෙන්නුවෙ කියල ” නැත්නම් අපේ අය මුහුදෙ නාන්න ගත්ත නම් කොහෙන් කෙළවර වේවිද දන්නෙ නැහැ.

මැදවච්චියෙ පල්ලියෙ ඉන්නෙ මම කාලයක් සිට දන්නා හඳුනන ගරු ලක්සිරි පියතුමා. මම මල්ලි කියල අමතන හිතවත් පියතුමෙක්. ඒ වගේම පියතුමාගෙ අම්මත්, ඩේමියන් සහෝදරතුමත්, කාරුණික සිස්ටර්ල දෙන්නෙකුත් අවේලාවෙ කඩා වැටුණ අපට ගොඩක් උදව් වුණා. පහුවෙනිද උදේ පියතුමා අපි වෙනුවෙන්ම දිව්‍ය පූජාවකුත් තිබ්බා.

රසවත්ම කතන්දරේ තියෙන්නෙ මැදවච්චියෙන් පිටත් උණාට පස්සෙ. අපි පිටත් උණේ දවල්ටත් බත් උයාගෙන, පූජාවටත් සහභාගි වෙලා එකොළහට විතර. ඔන්න අපේ කට්ටියට ඕනලු හොඳ පිට්ටනියක් සෙල්ලම් කරන්න. ගඟක, වැවක, ඇලක දොලක බැහැල ඇති වෙන්න නාන්න ඕනලු. මේ විදියට වැඩ සිද්ධ උණොත් ගෙදර යන්න වෙන්නෙ මහ රෑට. ඊළග දවසත් නිවාඩු දාන්නයි වෙන්නෙ. ඉතින් මම කිව්වා මම අනුරාධපුරෙන් කෝච්චියකට හරි බස් එකකට හරි නගින්නම් කෙළින්ම කොළඹ යන්න... ඔයාල ඇති වෙන්න සෙල්ලම් කරල, නාලා හිතුණු වෙලාවක ගෙවල්වලට යන්න කියල.

අනුරාධපුරෙන් කෝච්චි බැලුවම පැය දෙකකට පස්සෙලු කෝච්චි තියෙන්නෙ. කට්ටිය කියනවා තව දුරක් යන් කියල. මොකද මම තමයි ප්‍රධාන ගායිකාව.. ඒ වගේම මුල ඉඳන් අගට සින්දුවක් පාඩමින් කියන්න පුළුවන් කෙනෙකුට හිටියෙත් මම තමයි. අත්පුඩියක් ගහල ෂේප් වෙන අයයි, එහෙන් මෙහෙන් කෑලි අල්ලන අයයි තමයි වැඩි. ශ්‍රාවක ප්‍රතිචාර නොසලකා හරින්නත් හොද නැති නිසා මම තව ටික දුරක් එයාලත් එක්ක යන්න හිත හදා ගත්තා.

ඔන්න ඔහොම අපි තඹුත්තේගමටම ආවා. එතන නැවැත්තුවෙ කැවිලි පෙවිලි ගන්න. ඒ අතරෙ කොළඹ බස් එකක් ගියා. ආයෙම මට හිතුණා මහ රෑ ගෙදර ගිහින් පහුවෙනිද ආයෙ පාන්දර නැගිටගෙන, ගෙදර අයටත් කරදර දීල කොළඹ එනවට වඩා හොඳයි දැන්මම කොළඹ බස් එකක නගින එක කියල.  ඉතින් කට්ටියට කියල සමු අරගෙන මගේ පොඩි ඇඳුම් කැඩුම් මල්ලත් අරන් මම වාහනෙන් බැස්ස. කට්ටිය මට අත වන වනා යන්න ගියා. දැන් මට ඇ‍ෙඬන්න වගේ. පපුවෙ ගලක් හිර වෙලා වගේ. ඇස්වල කඳුළු ගලන්න ඔන්න මෙන්න. ‘‘ මොන මෝඩකමක්ද මේ කර ගත්තෙ ” කියල හිතෙනවා. එක දවසක් නිවාඩු දැම්මත් මොකද මට කට්ටියත් එක්කම ගෙදර යන්නනෙ තිබුණෙ. ඔය වගේ සිතුවිලි වැල නොකැඩී එනවා.

ඒ අතරෙයි මට මතක් උණේ මේ යන කොළඹ බස් කුරුණෑගල හරහා නුවර පාරෙන්නෙ කොළඹ යන්නෙ කියල. මදෑ... කර ගත්ත දෙයක්. ඒක මහ වටයක්. කෙළින්ම අනුරාධපුරෙන් කොළඹ බස් එකක නැග්ග නම් එකම බස් එකයි කොළඹ නොගිහින්ම නවාතැන කිට්ටුවෙන් බහින්න තිබුණා. දැන් ඉතින් මොනා කරන්නද? ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බැහැ කියනවනෙ. හොඳම දේ කුරුණෑගල ගිහින් එතනින් කොළඹ පහ පාරෙ යන එක. ඔහොම තීරණය කරල මම කුරුණෑගල බස් එකක නැග්ගා. ටිකට් එකත් ගත්තා රු. 140. බස් එක හැටට හැටේ වේගෙන් යනවා. ඒත් මගේ ඇස් දෙක මහපාරෙ ඇලවිලා. මග දිගටම අපේ කට්ටියගෙ වාහනේ හමුවෙයි කියන බලාපොරොත්තුව හිතේ පොදි කනවා.

පැය භාගයක් විතර යන්න ඇති. මෙන්න දෙවියනේ වාහනේ නවත්තල බඩඉරිඟු කඩයක් ළඟ. ‘‘ හා..... කට්ටිය මං නැතිව බඩ ඉරිඟු කනවා...” කොහොම හිත හදා ගෙන යන්නද? දෙවරක් හිතුවෙ නැහැ මම. සමහරවිට මේ මග හැරෙන අවස්ථාව නිසා සෑහෙන කාලයක් මගේ හිත දුක් වෙයි කියල හිතුණා. රියදුරු මහත්තයට කිව්ව මාව ඉස්සරහින් දාල යන්න කියල. බස් එකෙන් බැහැල ආයෙම ආපස්සට පයින් ආවා බඩ ඉරිඟු කඩේ ළඟට එනකල්... ඉන් පස්සෙ හිතා ගන්න පුළුවන්නෙ තත්වෙ. දෙවි පිහිටෙන් ආපහු බස් එකට නගින්න හිතෙන තරමට විහිළු කළේ නම් නැහැ. කට්ටියම මං ආයෙම ගමනට එකතු වුණ එක ගැන සතුටු වුණ බවයි පෙණුනෙ.



අතරමග පාර අයිනෙ තිබුණ ඉස්කෝලෙක පිට්ටනියකට බැහැල ක්‍රිකට් ගහල, ලෙස්සල ගිහින් මඩේ වැටිලා මඩත් නාලා, අඹන්වැව නෑදෑ ගෙදරක ගිහින් එහෙ වැවේ හිත පිරෙන්න නාල රෑ දහයයි ගෙදර  එද්දි. පහුවෙනිදා වැඩටත් ආවා කෙටි නිවාඩුවකින් ජාමෙ බේර ගන්න පුළුවන් උණා...

( පින්තූර අන්තර්ජාලයෙනි. කැමරාව අරන් ගියත් ෆොටෝ ගන්න උණේ බොහොම අඩුවෙන්. වැස්ස නිසත්, චූටි දෝණි නිසත්. කැමරාවක් දැක්ක ගමන් එයාටත් ඕන වෙනවා ෆොටෝ ගන්න. කැමරාවේ හිතසුව පිණිස බෑග් එකේම තියා ගන්න සිද්ධ උණා.. )