Thursday, January 31, 2013

ඈ මට කතා කළා...



අද 2013 ජනවාරි මාසෙ අන්තිම දවස... මධ්‍යහනයේ නාඳුනන අංකයකින් ඇමතුමක්..

‘‘ අක්කා නාන් කවීතා ”

‘‘ ඕ ගෝඩ් කවීතා ” ........... ! මගේ හිතේ හිනා මලක්. 

ඈ ඔබට මතක ඇති ජීවිතේ සුන්දරද මෙතරම්  ලිපියේ 2013.01.20 දාතමින් ලියැවුණු දින සටහනේ කතා නායිකාව ඇය..

ඥාති විවාහ මංගල්‍යයේ දෙවෙනි දවස යෙදී තිබුණේ 24 රෑ. මා වැඩ නිමවී යන විට රාත්‍රියත් උදා වී ගෙන. මා දුටු මතින්ම කවීතාගේ මූණ පුරා  පාළොස්වක සඳ පිපුණා. දුව විත් දෝතින්ම මා අත ගත්තෙ කිරිල්ලියක් වගේ. නිතරම මා ගැන විමසූ බවයි මගේ නැගණියද පැවසුවේ. ආදරණීය සොයුරියක් විදියට මා ඇගේ සිතේ රැඳී සිටින්නට ඇති. එය මට අපරිමිත සතුටක්. එක් හිතක හෝ සැබෑ ආදරයක්, සංහිඳියාවක් ගොඩ නැගෙනු දැක්ම මට සැනසුමක්....

රාත්‍රී සාදය පුරාම ඈ උන්නෙ මා අසල දැවටි.. දැවටි.. මා ඇය මගේ පවුලේ අයට හඳුන්වා දුන්නෙ මගේම යෙහෙළියක් ගාණට. පසුදා පාන්දරින්ම යාපනේ ගමනට පිටත් වූ නිසා මට ඇයට සමුදෙන්නටවත් නොහැකි උණා... ආපසු යන්නට පෙර ඈ නංගීගෙන් මගේ දුරකථන අංකය ඉල්ලාගෙන තිබුණා.

ඉතින් අද මා ඇමතුවේ ඇයයි මගේ මතකයෙන් ගිලිහී යමින් සිටියදී...

‘‘ කවීතා............ එප්පඩි සුහම් තංගච්චී ”

‘‘ නල්ලම් අක්කා...” තේරුණේ එපමණයි. තවත් දිග හෑල්ලක්.. අණ්ඩර දෙමළ වගේ... මම කමල් සොයා ගෙන දිව්වා. ඔහු දමිළ යාපනේ වැසියෙක්. වැඩ කරන්නෙ අපිත් එක්ක කොළඹ. සිංහල දමිල භාෂා දෙකම මැනවින් හසුරුවනවා...

ඔන්න දැන් භාෂා පරිවර්තක කමල්.

‘‘ අක්කා... ඇන්ටිගෙ පෝන් එක නැති උණා.. එයාට කෝල් එකක් ආවා. මමයි ෆෝන් එක ගෙනිහින් දුන්නෙ. එයා ළිඳ ළඟ ඉඳන් කතා කළේ. ළිඳ ළඟ තියන්න ඇති. වඳුරො ගෙනිච්චද දන්නෙ නෑ. ළිඳට වැටුණද දන්නෙ නෑ. මම හොරකම් කළා කියල හිතල මට ගැහුවා. මාව ගෙදරින් යැව්වා.. ”

ඈ කී දිගු කතාව කමල් මට සාරාංශ කළේ එලෙසින්.

“ දැන් ඔයා කොහෙද ඉන්නෙ. ” මගේ සිංහල ප්‍රශ්නය කමල් දෙමළ බසට හරවනවා.

‘‘ පුංකුඩතිව්... මේ අම්මගෙ ෆෝන් එක. අක්කා ඕන වෙලාවක කතා කරන්න. මම හොරකම් කළේ නෑ අක්කා. ”

කමල් සහ කවීතා අතර සංවාදය අතරතුර මගේ හිත දැවෙනවා.. ඈ අහිංසක කෙල්ලක්. කෙසේවත් මෙවන් වරදක් සිදු විය නොහැකි යැයි මට විශ්වාසයි.  ඇය ඇන්ටී ලෙස හඳුන්වන්නේ මගේ ඥාති නැන්දණියවයි. ඈ සිංහල. ඇගේ ස්වාමියා දමිළ. ඔවුන් වව්නියාවේ වාසයට ගියේ එබැවින්. ෆෝන් එකක් නිසා අහිංසක පුංචි කෙල්ලව තලා පෙළන්නට තරම් ඈ දරුණු වේවිද?

කිසිවක් සිතා ගත නොහැකිය. 

නමුත් ඈ මට කතා කළා ඇගේ දුක කියන්නට. මගේ දෙනෙත් තෙත් වන්නේ ඒ ආදරය, ගෞරවය සහ විශ්වාසය නිසයි.

‘‘ අක්කා.. සී යූ.. බායි... ” මට වැටහෙන බසින් ඈ මට සමු දුන්නා.

‘‘ දෙවි පිහිටයි. සතුටින් ඉන්න නංගී. මම ඔයාට කතා කරන්නම් ” මගේ සිංහල සිතුවිලි කමල්ගේ පිහිටෙන් දමිල බසට හරවාගෙන මම ද ඇයට සුබ පැතුවා.  

නමුත් මහා හිස්තැනක් හිතේ ඉතිරි වුණා වගේ මට දැණුනා..

හිතේ හැටියට ඇගේ දුකට සවන් දෙන්නට, ඇගේ හිත හදන්නට නොහැකි උණේ භාෂා ප්‍රශ්නය හරස් වූ නිසා. ඒ ළතැවිල්ල තාමත් හිත පුරා..

Tuesday, January 29, 2013

ඊට කම් නෑ




මිනිසුන් අයුක්තිසහගතයි.
තර්කානුකූල නොවෙයි.

ඊට කම් නෑ.... 
ඔවුන්ට ප්‍රේම කරන්න.

යහපත කළත්, යටිකූට්ටි අරමුණින් ආත්මාර්ථකාමියැයි මිනිසුන් ඔබට චෝදනා කරනු ඇත.

ඊට කම් නෑ... 
යහපතම කරන්න.

ඔබ සාර්ථක නම්, බොරු මිතුරන් හා සැබෑ සතුරන් දිනා ගනු ඇත.

ඊට කම් නෑ.... 
සාර්ථක වන්න.

ඔබ කරනා යහපත හෙට දින අමතක කෙරෙනු ඇත.

ඊට කම් නෑ....
 යහපතම කරන්න.

අවංකබව හා විවෘත බව නිසා ඔබ පීඩාවට පත් කරනු ඇත.

ඊට කම් නෑ....
අවංක වන්න. විවෘත වන්න.

දොළොස්මහේ නිර්මාණය එක් රැයෙන් විනාශ කරනු ඇත.

ඊට කම් නෑ....
 නිර්මාණ කරන්න.

මිනිසුන්ට උපකාර අවැසියි. එහෙත් උපකාර ක‍ළහොත් ඔබටම පහර ගසනු ඇත.

ඊට කම් නෑ....
උපකාර කරන්න.

ඔබ සතු හොඳම දේ ලොවට දෙන්න. ඒ වුවත් පා පහරින් ඔබේ දත් බි‍‍දෙනු ඇත.

ඊට කම් නෑ....
ඔබ සතු හොඳම දෙය ලොවට දෙන්න.

භාග්‍යවන්ත තෙරේසා මව්තුමිය

( මෑත දිනක යෙහෙළියකගේ පොත් එකතුවක් අස්පස් කර දෙන විට ඇස ගැටුණු සටහනක්... පිටපත් කරගෙන ආවෙ නිතර නිතර ඇස ගැටෙන තැනක තබා ගත යුතු වටිනා අදහස්වලින් පොහොසත් යැයි හැගුණු නිසා... කෙතරම් අසීරු වුවත් කළ යුතු හොඳම දේ සහ සිදු විය යුතු හොඳම විදිය මේ යැයි හැගෙන නිසා.... )

Wednesday, January 23, 2013

ජීවිතේ සුන්දරද මෙතරම්...




මිනිස්සු තමන්‍‍ගෙ වාසනාවන්ත බව මනින්‍නෙ එක එක කාරණාවලින්.. වාසනාව තියන්‍නෙ වස්තුව, දේපළ, යාන වාහන, තනතුරු ඔය ව‍ගේ ‍දේවල් මත කියල හිතන අය‍‍‍නෙ වැඩි...

මම ගොඩක් වාසනාවන්තයි කියල ‍මට හි‍තෙන්‍‍නෙ  අතිශයින් දයාබර මිනිස්සු ඇසුරු කරන්න ලැබුණු නිසා, ආදරවන්ත පවුලක නෑසිය හිතමිතුරන් මැද ජීවත් ‍‍වෙන්න ලැබුණු නිසා.... ජීවි‍තේ විවිධාකාර අත්දැකීම් ලබන්නත්... විවිධාකාර මිනිසුන් අතර, ගම්දනව් අතර සැරිසරන්නත් ලැබුණු නිසා.... ‍කොටින්ම එක තැන පල් ‍නොවන ආදරවන්ත ජීවිතයක් ලැබුණු නිසා...

මේ තවත් ඒ වාසනාවන්ත බව අත්දකින්න ලැබුණු අපූරු සති අන්තයක්...

2013.01.18 සිකුරාදා....
හැන්දෑ‍‍‍වෙ නිර්මල මරිය නිකා‍යේ ගරු තිස්ස බාලසූරිය පියතුමා‍ට ‍‍ගෞරව දක්වන්න අවස්ථාව ලැබුණා මරදාන සමාජ හා සාමයික ‍කේන්ද්‍රයෙදි. එතුමා ‍බො‍හෝ කලක සිට දන්නා හදුනන දයාබර පියතුමෙක්.. ( ඒ මතකයන් වෙනමම ලිවිය යුතුයි. ) රාත්‍රී 10 පමණ වන තුරු එතැන සිටි නිසා දිගු කලකින් හමු‍නොවුණ දයාබර හිත් රැසක් හමු වුණා... අවමංගල්‍ය සංවේගාත්මක හැගීම් පරයා මංගල සිරියක් මතුවු‍ණා. කා‍ලෙකින් හමුවන විට මිතුරු මිතුරියන් ප්‍රීති‍යෙන් ඉපි‍ලෙන හිත අවමංගල්‍ය අවස්ථාවකට ගැළ‍පෙන විදියට සංවර කර ගැනීම හරිම අමාරුයි. බාලසූරිය පියතුමා උණත් සතුටින් ‍මේ සමාගමය දිහා බලන් ඉන්න ඇති...

පියතුමා‍ගේ නිසල ‍දේහය ඉදිරිපිට ලියා තිබූ ‍මේ කතාව ම‍ගේ සිත් ගත්තා... එය එතුමා විසින්ම කරන ලද ප්‍රකාශයක්...

‘‘ පීඩිතයන්ට සේවය කිරී‍මෙන්ද, ඔවුන්ගේ අවශ්‍යතාවන්හිදී උපකාර කිරීමෙන්ද, තමා සතු වස්තුව හා හැකියාවන් ‍බෙදා ගැනී‍මෙන්ද, සිතින් හා හදවතින් ඔවුන්ගේ  දුක් හා කරදරත් ඒවාට මූලික ‍හේතුත් ගැඹුරින් විමසා ‍බලා ‍‍තේරුම් ගැනීමෙන්ද, ඔවුන්‍ගේ අරගලයට මැදිහත් වීමෙන්ද, දැනීම දියුණු වන ‍පොදු මත ඇති කිරී‍මෙන්ද, සමානාත්මතාවය හා සාධාරණය කරා ළගා විය හැකිය.

2013.01.19 ‍සෙනසුරාදා
අවදි වු‍ණේ පාන්දර තුනට. විවාහ මංගල්‍යයකට සහභාගි ‍වෙන්න බගවන්තලා‍වේ යාමට තිබුණු නිසා. තුනහමාරට විතර සමාජ හා සාමයික ‍කේන්ද්‍රය ඉදිරිපිට සිටින විට විවෘත ජනෙල් පියන් අතරින් බාලසූරිය පියතුමා‍ගේ තනි වුණු නිසල ‍දේහය දකින්නට ලැබුණා.  ‍කොතරම් පිරිසක් පිරිවරා සිටියත් අවසන් ගමන යන්නට වන්නේ  තනිවම ‍නො‍වේද?

හැටන් හරහා බගවන්තලාව දක්වා ගමන් මග සැබවින්ම සුන්දරයි. පළමු වතාවට කිතුනු ‍‍දේවස්ථානයක දමිළ විවාහ මංගල්‍යකට සහභාගි වෙන්න ලැබු‍‍ණේ. ‍ ඒ ව‍ගේම මුල්ම වතාවටයි මම ‍තේ වතු ආශ්‍රිත මංගල අවස්ථාවකට සහභාගි වුණේ. මෙම මංගල උත්සවය පුරාම කිතුනු, හින්දු, බටහිර සංස්කෘතින්වල කලවමක් දක්නට ලැබුණා. ‍

තේ ව‍‍ත්‍තට අයත් ‍පොදු ශාලාවකයි විවාහ උත්සවය පැවතු‍ණේ. ශාලාවට ඇතුල් ‍වෙන තැන කෙ‍සෙල් ගස් දෙකකින් සහ ‍ගොක් ‍කොලවලින් සරසල තිබුණා. අපි හැමදෙනාවම පිළිගත්‍තෙ පැන් ඉහළ, නළ‍ලේ තිලක තියල හින්දු සම්ප්‍රදායානුකුලව. ඔබට සිතා ගත හැකිද ප්ලාස්ටික් පිගානක ආහාර අසුරනයක් එලල ව්‍යංජන කිහිපයකින් සංග්‍රහ කරන, අතුරුපසට ඇඹුල් ‍කෙ‍සෙල් ‍ගෙඩියක් ‍දෙන ‍වෙඩිමක් අප අවට. 

නමුත් ඒ විවාහ උ‍ළෙල අතිශයින් සරලයි. අවම වියදමක් දරන්න උත්සාහ කරල තිබුණා. නිස්කාරණේ මගුල්වලට වියදම් කරන සල්ලිවලින් දුප්පත් ‍කෙල්‍ලො කී ‍දෙනෙක්ව නම් බන්දල ‍දෙන්න පුළුවන්ද?

මනාලිය වසර පහක් පමණ අප සමග ‍කො‍ලො‍ම්පු‍රේ ළමා සංවිධාන‍යේ කටයුතු කළ නැගණියක්. ‍යෝජනාවක් අනුව ඇය විවාහ උ‍ණේ ඇ‍ගේ බාල ‍සොයුරියන් ති‍දෙනාටත් අවස්ථාව සලසා දිය යුතු නිසයි. ඉතින් මුළුමනින්ම ආගන්තුක මේ අළුත් ජීවිතයට කො‍තෙක් දුරට සාධාරණයක් ඉටු කරන්නට ඇයට හැකි ‍වේවිද? හදවතින්ම සුබ පතන අතරම මට ඈ ගැන මහත් සං‍වේගයක්ද දැණුනා....

2013.01.20 ඉරිදා
පාන්දරින්ම ‍කොළොම්පුරන් පිටත් උණා. ‍දෝණි‍‍‍ගෙ අකුරු කියවීම යෙදිල තිබුණ නිසා. පුංචි සුරංගනාවියක් වගේ ඈ... ‘‘ අ” ‍වෙනුවට කිව්‍වෙ අයන්න කියන්න ‍ලොවටම ඇ‍හෙන්න සින්දුව. ඒකත් නරක නෑ. අම්මල, මම්මල ව‍ගේම ඇයත් සින්දු පිස්සියක්.


ඥාති ‍සොයුරෙකු‍ගේ ‍විවාහ මංගල්‍යක් වෙනු‍වෙන් වව්නි‍යාවේ සිට තවත් ඥාති පිරිසක් පැමිණියා. ඔවුන්ගේ  නිවසේ ‍සේවය කරන දමිළ යුවතියකුත් පැමිණ සිටියා.. අහිංසක පුංචි ‍කෙල්‍ලෙක්.

 දන්නා ‍දෙම‍ලෙකුත් නැතත් ඈ සමග හිතවත් වන්නට මා දන්නා මිනිස්ක‍මේ භාෂාව උදව්වක් උණා. 
‘‘පේර් එන්න තංගච්චි?”

‘‘ කවීතා ”

“ ඌර් එන්න ”

‘‘නයිනතිව්”

ඔන්න ආරම්භය.

රාත්‍රී 11 පමණ වන විට බිත්තියකට ‍හේත්තු වී ඈ නිදා වැටෙමින් සිටියා.

‘‘ කවිතාව අ‍පේ ගෙදර එක්ක යන්නද? නිදා ගන්න. ” මම ඥාති ‍සොයුරිය‍ගෙන් විමසූවා.

‘‘ ඔයා ‍දෙමළ දන්‍නෙත් නෑ. ඒ ළමයා සිංහල දන්නෙත් නෑ. අපූරුවට ති‍යෙයි.” ඈ කිව්වා.

‘‘අවුලක් නෑ. මට මැ‍නේජ් කර ගන්න පුළුවන්.. දැනටත් අපි කතා කළා ”

කවීතා කිසිම පැකිලීමක් නැතිව සතුටින් මාත් එක්ක ආවා. ‍ගෙදරට ආවම ඇයට කුතුහලයක් දැ‍නෙන්න ඇති. ‍ගෙදරට ඉන්න එකම මිනිස් ප්‍රාණියා මම‍‍නෙ. ඇය දීර්ඝ ‍ලෙස දමිල බසින් ඇසූ දේවල් මම ‍තේරුම් ගත්‍තෙ ඉ‍වෙන් ව‍ගේ.

‘‘ තමිල් ‍තෙරිය ඉල්‍ලෙ.” මා කීවත් ඇ‍ගේ කතාව නැවතු‍ණේ නැහැ.

ඇත්තටම ඇ‍ගේ දීර්ඝ කතා‍වේ වචනයක් දෙකක් අල්ල‍ගෙන මම අනුමාන කළා ඇය අහන්නෙ ‍‍‍කුමක්ද යන්න.

‘‘ අම්මා අප්පා?”

‘‘නෝ අම්මා අප්පා... ” අංග චලනත් ඉංග්‍රීසි කෑලිත් උදව් කර‍ගෙන මම ඇ‍ගේ ප්‍රශ්නවලට උත්තර දුන්නා.

‘‘මැ‍රේජ්” එවර ප්‍රශ්නයට එක වචනයයි.

‘‘‍නෝ මැ‍රේජ්”

ඉන්පස්‍‍සෙ ඇය දීර්ඝ කතාවක්... ‍මොනවත්ම ‍නො‍තේරුණත් මම ‍තේරුණා ව‍ගේ හිනැහුණා.

එකම පුංචි ඇඳයි කාම‍රේට ති‍යෙන්‍‍නෙ. ඇයට රාත්‍රී නිදන ඇඳුමකුත් දීල, බිමට පැදුරක් දාල, මදුරු දැල එලල නිදා ගන්න සැලැස්සුවා.

‘‘ තැන්ක් යූ අක්කා.. ” ඇය හිනා‍වෙලා කිව්වා.

‘‘ ගුඩ් නයිට් තංගච්චි” මමත් කිව්වා.

නිදා ගන්න ඇඳට ගියාම නම් පුංචි දුකක් හිතුණා ඇයි මම කවීතාට ඇඳ දීලා බිම නිදා ගන්න ‍නොගි‍‍‍යෙ කියල. ඒත් ඒ ‍වෙද්දිත් ඈ සුව නින්දක.

හිත් යා‍වෙන්න භාෂාවක් ඕනමද? ඕන‍වෙන්‍නෙ උවමනාවයි ආදරයයි ‍නේද?

පසුවදා උදේ මංගල උත්සවයට මම සැරසුණේ සල්වාරියකින්. මා දුටුමතින්ම කවීතා‍ගේ මුහු‍‍ණේ ලස්සන සිනා මලක් පිපුණා. ඇය තමන් ඇඳ සිටි සල්වාරියටත් මා ‍දෙසටත් ඇගිල්ල දිගු ක‍ළේ ඒ සුන්දර සිනා‍වෙන්මයි. 

Wednesday, January 16, 2013

සුන්දර සති අන්තේ...




ඒකාකාරී දවස් පහකට පස්සෙ එන සති අන්තයට මං හරිම ආදරෙයි.. ‍ගමේ ගියත්, වෙනත් වැඩක නිරත උණත් සති අන්තය සැබවින්ම සුන්දරයි. ආදරණීයයි. සිකුරාදා හැන්දෑවට කාර්යාලීය හිතමිත්‍ර නඩයෙන් සමුගන්නෙ මං ''සුබ සති අන්තයක් වේවා...'' කියලමයි.. ඒ වෙලාවට මට දැනෙනවා මගේ හිත අමුතු නිදහසකින් සතුටකින් පිරිල යනව ව‍ගේ... එකම කාලසටහනකට ගලා ගෙන යන සතියේ දවස් පහට ජීවත් වෙන්න හුස්ම දෙන්නෙ සති අන්තය.. ධෛර්යය දෙන්නෙ සති අන්තය... 


දීපවාලි නිවාඩුවත් ආව නිසා මේ සති අන්තය ටිකක් දීර්ඝ උණා.. 

ළ.ක්‍රි.වී. එකතුවක්... 

සිකුරාදා හැන්දෑවෙ ළ.ක්‍රි.වී. එකමුතුවකට සහභාගි වෙන්න ලැබුණා. කාලෙකට  පස්සෙ කට්ටිය එකතු වෙලා හිනා, කඳුළු, රස කතා, ජීවිතේ ගැන කතා එක්ක සෙනසුරාදා දවසත් ගත වුණා. ( ළ.ක්‍රි.වී. කියන්නෙ ‍මොකක්ද කියල බ්ලොගය බලන කවුරුත් අහන නිසා මේ සමගම ඒ ගැනත් ලියන්න ඕන. ) අවුරුද්ද පටන් ගනිද්දිම ළමා එකමුතු කරන්න සූදානම් වෙන නවක අනුශාසකවරු පුහුණු කරන්න ඕන.. ඒ ගැනයි මේ එකමුතුවෙදි කතාබහ උණේ. 

අපට තියෙන ලොකුම ගැටලුව තමයි දැන් සමාජ වැඩවලට ‍නව යොවුන්, තරුණ තරුණියන් සම්බන්ධ කර ගන්නට තියෙන අසීරුකම.. විශේෂයෙන්ම ළමා ලොවට ගිහින් ළමයින්ව ‍තේරුම් අරන් ඒ අය එක්ක වැඩ කරන්න කැමැත්තක් තියෙන කොල්ලෙක්, කෙල්ලෙක් සොයා ගැනීම අභියෝගයක්.. තමන්ගේම වූ ඉලක්ක හඹා යන සමාජයක අනෙකා වෙනුවෙන් පුංචි කාලයක් වත් වෙන් කරන්න සූදානම් අය කොයි තරම් අඩුද? 

පියතුමාගෙ ගෙවතු වගාව

මරදාන දේවස්ථානයේ පුංචි පියතුමා පල්ලිය වත්ත පුරාම වගා කරල. ඇපල්, පෙයාර්ස්, තේ පැල, රම්පෙ කරපිංචා, දඹල, ගොටුකොල, මඤ්ඤොක්කා, බතල, කතුරු මුරුංගා, සලාදකොල, මිංචි, ගස්ලබු... පුංචි ඉඩකඩේ නොයෙක් වගාවන්. '' අක්කෙ කොහාමද මගෙ ගෙවත්ත " කියල බොහොම ආඩම්බරෙන් වත්ත වටේම කැන්දන් ගිහින් පෙන්නුවා. ඇත්තටම අපූරු වගාවක්. ආදර්ශ ගෙවත්තක්. මරදාන වගේ පරිසරයක මේ වගේ වගාවක් පවත්වගැනීම අපුරුයි. 

'' මල්ලියෙ අස්වද්දන්න ඕන මනුස්ස හදවත්. ඒක අමතක කරන්න එපා.. '' මම එහෙම කිව්වෙ නැහැ. ඒත් ආ‍යෙම මුණ ගැහුණ දවසක ඒ ගැන සංවාදයකට යන්න ඕන....

''ධනවාදය බරපතල පාපයකි."

කිතුසර කණ්ඩායමේ අජිත් හැඩ්ලි පෙරේරා ලියූ ''ධනවාදය බරපතල පාපයකි'' පොත එළිදැක්වීම තිබුණෙ 13 හවස මාරිස්ටෙලා විදුහලේ. ඒ ගැන මූණුපොතේ දාපු සටහන දැකල ( හරීගෙ හීනලන්තය ලියන ) හරී මල්ලි අහල තිබුණ එන්නෙ කොහොමද කියල. ඉතින් මම එන්න පාරත් ලියල, මගේ දුරකතන අංකයත් එක්ක මූණුපොතේ පණිවිඩයක් තිබ්බා. හරී මල්ලිත් ආව පොත එළිදැක්වීමේ උත්සවයට. ආවමයි මම දන්නෙ මම මේ පාර කියල තියෙන‍්නෙ එයා ඉගෙනගත් ඉස්කෝලෙටම එන්නනේ. 

කථිකාචාර්ය චමීර පෙරේරාගෙ කතාවෙදි හිතට අල්ලපු කාරණය තමයි එතුමා ''දේශපාලනය'' ගැන කළ විග්‍රහය. මිනිසාගෙ පොදු යහපත වෙනුවෙන් වෙනුවෙන් වැඩ කිරීමලු දේශපාලනය. දේශපාලනය කියන්නෙ හරිම උත්තරීතර කාර්යයක්ලු. ආර්ථිකයයි, ‍දේශපාලනයයි එකට යන්න බැරි කාරණා දෙකක්ලු. නමුත් අද දේශපාලනය යොදා ගන්නෙ ආර්ථිකය තමන්ට වාසි වෙන විදියට කළමනාකරණය කර ගන්නලු. ඒ නිසාම දේශපාලනයේ මුඛ්‍ය පරමාර්ථය යටපත් වෙලා ධනේෂ්වර සමාජයේ අතකොළුවක් බවට පත්වෙලාලු. මේ ආර්ථිකය කළමනාකරණය කරන දේශපාලන බලය පවුලක් වටා කේන්ද්‍ර වීමලු වඩාත්ම භයානක. 

හ්ම්...හ්ම්.. ඇත්ත තමයි. මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කිරීමයි දේශපාලනය කරනවා කියන්නෙ. එහෙමනම් හැම කෙනෙකුටම අයිතියක්, යුතුකමක්, වගකීමක් තියෙනවා දේශපාලනය කරන්න.

මහින්ද නාමල් සොයුරාගෙ දේශනයෙදි තහවුරු කළේ බයිබලයේ පැරණි ගිවිසුමේවත්, නව ගිවිසුමේ ජේසුතුමාගෙ දේශනාවලදිවත් කිසිම විටක ධනවාදය අනුමත කරල නැති බවයි. කිතුනු දහම ධනපති පන්තියේ දහමක් බවට පත් වෙන්නෙ ක්‍රම ක්‍රමයෙන්. ක්‍රි.ව. 500 පමණ වන විට. 


ඔන්න ඉරිදා දවස ගෙවුණා. ආදරණීය මිනිසුන් මුණ ගැහුණ, හිතන්නට බොහෝ කාරණා ජීවිතයට එක් කළ දවසක්.


සෙනෙහසේ නවාතැනක්


දීපවාලි නිසා සඳුදා නිවාඩුනේ. මගේ හොදම යෙහෙළියක් කුලී නවාතැනින් නැවතත් මහගෙදරට සම්ප්‍රාප්ත වුණ නිසා ඒ දවස වෙන් කළේ ඇගේ ගෙය අස්පස් කරල දෙන්න. මගේ පවුලේ අයගේ නිවෙස් හැරුණම මගේ වගේ ආදරණීය නිවෙස් කිහිපයක්ම තියෙනවා මට ඕනෑම වෙලාවක දොරටු විවෘතව පවතින. මගේ යෙහෙළියගේ ගෙයත් එයින් එකක්. 


ඇගේ තාත්තට වයස 80ක්. කතා සාගරයක්. ආදරයේ උල්පතක්. අම්මාට 78 ක්. ඈ දාන පාරමිතා පුරන්නියක්. ඒ වගේම සෙනෙහස් සාගරයක්. පුදුමාකාර විදියට මැදිහත්ව ජීවිතේ දිහා බලන අකම්පිත චරිතයක්... ධෛර්යවන්තකම, මෙත්සිත උතුරනවා කොයි මොහොතෙත්. ඒ අම්මගෙයි, තාත්ත‍ගෙයි මූණ දැක්කත් හිත පිරෙනව. දෙමව්පියො නම් මෙන්න මේ වගේ වෙන්න ඕන කියල උදාහරණයකට ගන්න පුළුවන් අපූරු මව්පිය යුවළක්. 


සාලෙත් පිළිවෙලක් කරල, යාළුවගෙ පොත් එකතුවක් ‍වෙන් කරල කබඩ් එකට දාලා, කාමරෙත් අස් කරල දීලා මමත් පොත් කීපයක් උස්සන් ආව. හිතට සතුටුයි. 


නෙත් අගට කඳුලක් ගෙනා ''නේත්‍රා ''


උපුල් ශාන්ත සන්නස්ගලගෙ නේත්‍රා අරන් ආවෙ යාළුවගෙ පොත් එකතුවෙන්. අන්තිමට නම් හිතුණෙ ඇයි මං මේ පොත කියෙව්වෙ කියල. පොත නරකයි කියනව නෙවෙයි. මිනිස්කමේ යථාර්ථය වෙන්න ඇති‍ මේ. ඒත් ඒ ඇත්ත මට දරා ගන්න අමාරුයි. විශ්වගෙ අම්මගෙ මරණෙන් පස්සෙ මම පොත කියෙව්වෙ නැති තරම්. උඩින් පල්ලෙන් පෙරළගෙන ගිහින් අන්තිම පිටු ටික විතරයි නැවත කියෙව්වෙ. විශ්ව ගැන මහා අනුකම්පාවක්, දුකක්, දුල්ලෑව ගැන අප්‍රසාදයක්, නේත්‍රා ගැන කේන්තියක් එක්ක දැණුනු කම්පනය කොයි තරම්ද කියනවනම් නිදිදෙව්දුවත් අමනාප වෙලා ආවෙ බොහොම පමා වෙලා. 


ඔන්න සති අන්තය නිමා වුණ හැටි. 


මේ හැමදේම අතර කවියක් දැවටි දැවටි උන්නා හිත ළඟ. තවමත් හරියට පද ගැළපුණේ නැහැ. සමහරවි‍ට කවමදාවත්ම කවිය ලියා ගන්න බැරි වේවි. ඒ උනත් මේ කවියට මං හරිම ආදරෙයි. 

( පසුගිය සති අන්තෙ ගමේ ඉදන් ආවෙ චුටි දෝණි එක්ක රණ්ඩුවක් දාගෙන හිතේ දුකෙන්නෙ. මේ සැරේ  දුරකථනයෙන් කතා කළාම දෝණි කියනවා '' මම්මෙ ඔයා පයින් එන්න එපා. අම්මයි, මායි ඔයාව එක්කන් යන්න එනවා " කියල. පව් මගේ රන් කැටේ. එයාගෙ හිතේ මම ගෙදර එනව කියල.  ඒ වෙලාවෙ නම් මට ඉගිල්ලිලා ගෙදර යන්න හිතුණා. )