Thursday, March 28, 2013

කැන්ගරුවෝ




දෙතුන් වතාවක්ම කියවා ඇති නව කතාවක්... නැවතත් වසර කිහිපයකට පසු කියෙව්වා... ඒත් දැණුනෙ මුල් වරට කියවනව වගේ හැගීමක්... 1997 යුද්ධය පවතින කාලයක ලියවුණු පොතක තියෙන දේශපාලන සමාජ කාරණා යුද්ධය නිමි යැයි කියන අදටත් වලංගුයි නේද කියල හිතෙනවා... අළුත් කියවීමකට යන්න පුළුවන් උණේ පශ්චාත් යුධ සමයක පෙරපර සන්ධි ගළපමින්, අනාගතය කෙලෙස වේවි ද සිතමින් කිය වූ නිසාද කියලත් හිතෙනවා... 

ඒ පොත සෝමා ජයකොඩිගෙ කැන්ගරුවෝ... මේ එහි පෙරවදන

දයාබර පාඨකය,

ආයුධ වෙළදාමෙන් විනිමය සොයනු ලබන බටහිර බොහෝ බලවත් ජාතීන් තුන්වෙනි ලෝකය යැයි හදුන්වනු ලබන දුප්පත් රටවල, තමන්ට ගැතිකම් කරන නිවට පාලකයින් රජ කරවීම සදහා උත්සාහ ගනු ලබන්නේ කුමක් නිසා දැයි මැනවින් සොයා බැලීමේ කාලය උදා වී ඇත.

ජාති, ආගම්, ගෝත්‍ර, පක්ෂ ආදී වශයෙන් එකිනෙකා අතර ගැටුම් ඇති කර යුදගිනි අවුළුවා, රට දැයට හිතැති පාලකයින් ඝාතනය කරවා, නව ආයුධ සංස්කෘතියකින් ‍තුන්වෙනි ලෝකයේ ජනතාව ග්‍රහණයට ගැන්මට ඔවුන් එන්නේ ආක්‍රමණික වේෂයෙන් නොව සංක්‍රමණික වේශයෙන් නිසා ඔවුන්ගේ කූඨ උපාය ඥානයන් වටහා ගැනීමේ හැකියාවෙන් ද අපි දිනෙන් දින දුර්වල වෙමු.

ආධාර, සහනාධාර, ණය ආධාර දෝතින් ගෙන ඔවුන් සංක්‍රමණය වන විට බලය උදෙසා ඕනෑම‍ දෙයක් බිලි දෙන්නට සූදානම් පාලකයින් සේම, නිකන් ලැබෙන ඕනෑම දෙයකට දෝත පාන රටවැසියන් ද ඔවුන් අභියස නිවටුන් වන්නේ තමන් දෙපා තබා සිටිනා මහ පොළවද ලැජ්ජාවට පත් කරවමිනි.

අවදි මනසින් වත්මන් ලෝකය දෙස බලා ස්වකීය ජන්ම භුමියේ අනාගත සුරක්ෂිත භාවය ගැන සිතන කවරෙකු වුව ද ආත්ම ලාභයෙන් හා බලකාමයෙන් තොර වීමේ උදාර ලක්ෂණය තුළ ශ්‍රේෂ්ඨත්වයට පත්වීම නිතැතින්ම සිදුවන්නකි. ධනය, බලය, ශක්තිය මෙහෙයවා ලබන  කීර්තිය ප්‍රශංසාව සැබවින්ම හිස්ය.
මිනිසකු ශ්‍රේෂ්ඨයකු වීමට නම් ආත්ම ලාභයෙන් ‍තොරව, ස්වකීය දේශයට, දැයට, වර්ගයාට ආදරය කළ යුතු අතර එමගින් මුළු මිනිස් ප්‍රජාව කෙරෙහිම ආදරයක් ඇති කර ගත යුතුය. 

''කැන්ගරුවෝ'' නවකතාව පෙරවදන

කතුවරිය සෝමා ජයකොඩි

1997 මුල්වරට මුද්‍රණය ( අදටත් වලංගු නොවේද මේ කියමන්.... )

කැන්ගරුවෝ හිතට දැණුනු එක් සිදුවීමක්.... 

ඒ......... අත්අඩංගුවේ පසුවන, එල්ටීටීඊ ත්‍රස්තවාදියෙක් යැයි සැක කරමින් දින ගණනාවක් ප්‍රශ්න කිරීම්වලට ලක්වුණ රහල් කුමාරස්වාමි බලන්නට බිම්බා අමන්‍දොළුව තරුණිය  ගිය අවස්ථාව.... 

''....... තමන්ගෙ ජාතිය බලයට පත් වෙනවා දකින්න ඔයා කැමති නැද්ද? ''

බිම්බාගේ අතුරු ප්‍රශ්නය දමිළ තරුණයා සිත ඇති කළේ කෝපයකට වැඩි දුකකි.

'' මෙච්චර කල් මං හිතුවා ඔයත් මමත් එකම මනුෂ්‍ය ජාතියකට අයිති අය කියලා. ඒත් දැන් ඔයා මට මතක් කරල දුන්නා මගේ අදහස වැරදි බව. බිම්බා මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් තවත් ඉතුරු වෙලා නැහැ. කරුණාකරල දැන් ඔයා යන්න. මං මේ කරදරේ වැටුණෙ වරදක් කරල නෙමේ. ඒක නිසා මට මං ගැන බයක් නැහැ. මං නිසා ඔයා කරදරේ වැටෙනව දකින්න මං කැමති නැහැ. ඔයා යන්න..."

බිම්බා මලානික වුවාය. රහල් නැගී සිටියේය.

'' අපේ හොද හිත් විනාශ කළේ ඔයාගෙ ඇමරිකන් යාළුවා. ඔයා එයාගෙන් පරෙස්සම් වෙන්න. ඇමරිකන් යාළුවො තමා මුළු ලෝකෙම විනාශ කරන්නෙ. ඒක ප්‍රභාකරන්ට තේරුම් යන දවසත් වැඩි ඈතක නෙමේ...'' ( 213 පිටුව )

'' මෙච්චර කල් මං හිතුවා ඔයත් මමත් එකම මනුෂ්‍ය ජාතියකට අයිති අය කියලා. ඒත් දැන් ඔයා මට මතක් කරල දුන්නා මගේ අදහස වැරදි බව.'' 

මේ කෙටි වැකිය මට සිහිපත් කළේ පුදුවෙයි රත්නතුරෙයි කවියාගෙ මෙන්න මේ කියමන... 

" මා කොමියුනිස්ට් පක්ෂයේ ඉන්න යුගයෙදි මම කීවා මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. එතකොට සිංහල මහා ජාතිවාදය කීවා , නෑ උඹ ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයි , උඹ දෙමළෙක් කියලා. මම නැවත නැවතත් කීවා , නෑ මම දෙමළෙක් නෙමෙයි , මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. නෑ උඹ දෙමළෙක් , ඔවුන් කීවා. පසුව මම කියන්න ගත්තා , " ඔව් මම දෙමළෙක් " කියලා. එතකොට ඔවුන් කියනවා , නෑ නෑ උඹ දෙමළෙක් නෙමෙයි , උඹ ශ්‍රී ලාංකිකයෙක් කියලා... "
- පුදුවෙයි රත්නතුරෙයි - ( 2002 )

ලේඛිකාව චරිත තුළට ආරෝපණය වී තම දේශපාලන මති මතාන්තර ප්‍රකාශ කරන්නට දරන උත්සාහය විටෙක ඒකාකාරී බවක් දැනවුවද කැන්ගරුවෝ අගය කළ හැකි දේශපාලන නවකතාවකැයි මම සිතමි. ‍දේශපාල‍නයෙන් තොර නවකතාවක් සෝමා ජයකොඩිගේ ලේඛන කලාව තුළ සොයා ගත නොහැකිය.



 බොහෝ විට දේශපාලනය සමග ගලා යන ප්‍රේම කතාවක් ද ඇත. ඇගේ ප්‍රේම කතාද මගේ සිත් ගනියි. නමුත් කැන්ගරුවෝ තුළ ප්‍රේම කතාවක් නැත. 

වසරින් වසරට පොත බැගින් එළි දක්වන්නට හදිසියක් ඇතැයි විටක සිතුණද, එනිසාම ඇගේ නවකතා කලාවේ යම් පසුබෑමක් දිස්වන්නේ යැයි සිතුණද මම ඇගේ පොත පතට ඇලුම් කරමි.

Friday, March 22, 2013

'' අබ්බගාත කවි''





පාළු දුම්රිය නැවතුමේ මා තනි කර දුම්රිය අලස ගමනින් ඉදිරියට ඇදී ගියේය. ඉමක් නොපෙනෙන දුරට විහිදුණු කෙත් යාය සිප ගෙන නිසංසලේ ඇදී ආ සිහිල් සුළං රැල්ලක් පිළිගැනුම් හාදුවක් පිරි නමයි. දුම්රිය නැවතුම කුඩා වුවද සිත්කළුය. නැවතුම දෙපසින් ඇරඹී යකඩ වැටට සමාන්තරව දිවෙන දාස්පෙතියා මල් යායකි. තැනින් තැන එළවළු පළා වර්ගය. ඉන් එපිට පහත් බිමේ රන් පැහැ ගත් කුඹුරු යාය ය. 

දුම්රිය නැවතුමට ඉදිරියෙන් රේල් පාරට සමාන්තරව ගලා යන ඇල පාරකි. අලස දිය දහරක් තුරුළු කර ගෙන එය නිසොල්මනේ ගලා බසියි. ඉන් එපිට තුන්මංහන්දියට සෙවණ දුන්නේ අතුපතර විහිදී ගිය දැවැන්ත නුග ගසකි. කුඩා කඩමණ්ඩිය මල්ගුඩිය සිහි කරවයි. කෙසේ නමුත් සැනසිලි සුසුමක් නැගුණේ ත්‍රීවීලයක් නවතා ඇති බව දක්නට ලැබීමෙනි. 

අතීතයට අයිති කතාවක් වත්මනෙහි ර දක්වන නළුවක කොටස්කාරියක් වෙමින් ඉන්නාක් බඳු හැඟීමකි මා තුළ ඇති වූයේ... 

මුලින්ම යමක් කුසට දා ගත යුතුය. පාන්දරම නවාතැනින් පිට වූයේ හිස් බඩට හලා ගත් ඇල් වතුර වීදුරුවකින් සෑහෙමිනි. ත්‍රීවීල් සොයුරාට සිනහවක් තිළිණ කරමින් මම කුඩා තේ කඩයට ගොඩ වීමි. ලැවරියා එක සහ පදමට ඉඟුරු මුසු කළ තේ කෝප්පය සිත ද, ගත ද තෘප්තිමත් කළේය. 

සුළු මොහොතකට පසු මම ත්‍රීවීලයේ රියදුරු සොයුරාට මා යා යුතු ඉසව්ව විස්තර කරමින් සිටියෙමි. 

'' නිවටන් සමරසිංහ කියල කෙනෙක්.. දැන් අවුරුදු 75 ක් විතර ඇති. ඉස්සර කවි ලියපු කෙනෙක්. කවි, චිත්‍ර විචාර එහෙම ලියපු කෙනෙක්..පොත් එහෙමත් පළ කරල තියෙනවා...  '' 

මම තෙවරක් පමණ මේ එකම විස්තරය පැවසූවෙමි. පිටසක්වල ජීවියෙක් ගැන මුල් වරට අහන්නාක් වැනි බැල්මකි ඔහුගේ දෑස් වල වූයේ. 

''එහෙම කෙනෙක් නං මේ හරියෙ නෑ මිස් '' 

''වෙන්න බැහැනෙ.. මට කිව්වෙ මේ ස්ටේෂන් එකෙන් බැස්සම ළගයි කියලනෙ..'' 

කඩයේ මුදලාලි ද ස්වේච්ඡාවෙන්ම උදව් කරන්නට ඉදිරිපත් විය. නමුත් කුමන ඵලක් ද? 

''මේ අවට නං ඔය කියන විදියෙ කෙනෙක් නෑ නෝනා..'' ඔහු පවසන්නේද එයම ය. 

මම තුන්වෙනි වරටත් දුරකථනය ගෙන අංකනය කොට මූණත දෙස බලා සිටියෙමි.  නිස්සාර ගමනක් පැමිණියේ ද යන හැගීම මසිත විඩාපත් කරමින් තිබිණි. 

දිගින් දිගටම නාද වන රූං රූං ශබ්දය පිළිබ කණස්සළු හැඟීමෙන් ''ෂිහ්'' කියවෙත්ම දුරකථන රැහැන් සම්බන්ධ විය. මසිත විකසිත විය. ඇමතුම එහා කෙළවර සිටියේ නිව්ටන් මහතාගේ ප්‍රිය බිරින්දෑය. 

''  මම සුරංගි... දවසක් කතා කළේ විචාර ලිපියක් ගැන... '' 

''අනේ ඔව් මතකයි.. ඒ ලිපිය තාම හොයා ගන්න බැරි උණානෙ. මට එදා දුන්න අංකයට කතා කළා. ඒත් ඒක වැඩ කළේ නැහැ...'' 

'' ආ ඒකට කමක් නැහැ..ලිපිය හදිසි නැහැ. රවී සහෝදරය කිව්ව මට නිව්ටන් මහත්තයව ටිකක් බලල එන්න කියල... අසනීපෙන් කිව්ව නිසා..''

ඇගේ දයාවන්ත හිනාවක් සවනත රැ‍දෙයි. 

''මම දැන් ස්ටේෂන් එක ළග ඉන්නෙ.. මට කියන්නකො කොහොමද එන්නෙ කියල...'' 

ඇය මට ගමන් මග විස්තර කරන්නීය. අනතුරුව ඇමතුම විසන්ධි කළ මම ත්‍රීවීලයට ගොඩ වීමි. 

''වමට ගිහින් පාලමෙන් අනිත් පැත්තට දාලා ගියාම පන්සලක් තියෙනවද?'' මම අසමි. රියදුරු මල්ලී හිස සළයි. 

''පන්සල ළගින් දකුණට දාලා කෙළින්ම ගියාම සරස්වතී කලායතනය කියල තියෙනවලු. එතන.'' 

''මිස් කිව්වේ මේ ළග කියලනෙ.. ඒ කොයි තරම් දුරද? පන්සල හරියෙ කලායතනය කිව්ව නම් මං දන්නවනෙ...'' එවර ඔහු සිනාසෙමින් පවසයි.

සැබෑවකි. වැරදුණේ මටය. කවියකු, විචාරකයකු ගැන දැන ගන්නට තරම් අවස්ථාවක් වී නම් ඔහු පාළු කඩමණ්ඩියක ත්‍රීවීල් රියදුරෙක් වේද?

ගමටත් අමතක වී ඇති මේ කවියා රටට අමතක වීම ගැන කවර කතා ද? 
  
පාලමෙන් එතෙර වූ තීවීලය කුඹුරු යායක් මැදින් ඉදිරියට ඇදේ. 

මගේ සිත ඔහු සොයා ඇදේ. දැන් මේ මොහොතේ ඔහු කුමක් කරමින් ඉන්නවා ඇත් ද? අද මා මේ ගමන ඔහු වෙනුවෙන් යන බව ඔහු දනී. ආලින්දයේ කෙළවර රෝද පුටුවට බර වී ඔහු ගෙමිදුල දෙස බලා  සිටිනවා විය යුතුය, උකුල මත ඇති සටහන් පොතත් පෑනත් පිරි මදිමින්. හදවතින් ඔහු මා සමග ම යනවා ඇති. නමුත් ජීවය අහිමි වූ දෙපා මත දුක්බර සුසුමක් දැවටෙනවා ඇති. ඒ අතර නොලියවුණු කවියක පද පේළි ගළපනවා ඇති. අද හෙටම විද්‍යුත් තැපෑලෙන් කවියක් මා සොයා එනවා ඇති. 

''හෙට එහෙ ගියාම නිව්ටන් මහත්තය මුණ ගැහුණම වෙන හැමදේම.. කතා කරන හැමදේම මට සජීවීව ලියල එවන්න..'' 

ඊයේ ඇමතුම විසන්ධි වීමට පෙර ඔහු කළ ඉල්ලීම එයයි. සිනහවක් සමග සුසුමක් ද මවෙතින් ගිලිහිණි. ඒ රාත්‍රිය ද  බොහෝ දිගු විය. මතක එකින් එක පෙළ ගැහුණු තවත් දිගු රාත්‍රියක් විය. 

.......................................................

පුදුමාකාර අහඹු හමුවීමක්. තවමත් දෑසින් ස්පර්ශ කළ නොහැකි වූ.... දෑතින් ස්පර්ශ කළ නොහැකි වූ.. සයිබර් ගුවන මතුපිට ලියැවූණු ප්‍රේමණීය සහෝදරත්වයක ස්පර්ශය.... කොතරම් වටනේ ද මට. 

මටත් මාව අහිමි වෙමින් පැවති අඳුරු නිමේෂයක දැල්වුණු තරු එළිය...    
  
ඉකුත් වසරේ පොත් ප්‍රදර්ශනයේ සැරිසරමින් සිටින විට කැටපත් පවුර අසල කවි කුටිය ඇස ගැටිණි. එහි එතරම් සෙනගක් සිටියේ ද නැත. කවි පොතක් ගන්නට අවැසිතාවක් ද විය. ''හිරුත් හිම පියල්ලක'' අතැඟිලි දැවටෙමින් තිබෙන මොහොතක රාක්කයේ පහළ තට්ටුවක තිබුණු ඔහුගේ අළුත් කවි පොත දෑසට හමු විය. 

'' අබ්බගාත කවි'' තිගැස්මක් ඇති කරන මාතෘකාවකි. 

මුල් කවරයේ වූයේ ‍හැඩි වුණු පාළු ගෙමිදුලක හුදකලා වූ රෝද පුටුවක් සහ ඒ වටා විසිර පවත්නා කඩදාසි ගොන්නකි. රෝද පුටුව මත කවියක් ලියූ කඩදාසියක් ඇත. ඒ මත බෝල්පොයින්ට් පෑනකි. කවරයේ පින්තූරයම නිහ කවියකි. 

පසුපිට කෙටි සටහනක් සමග රෝද පුටුව මත සිටින ඔහු‍ගේ ඡායාරූපයකි. සිනහවක් නොවන මුත් දෑසේ බැල්ම කාන්තිමත්ය. අපේක්ෂා සහගතය. මම අතරින් පතර පෙරළා උඩින් පල්ලෙන් කවි කිහිපයක් නෙත ගා බැලුවෙමි. ඒ කවි කිහිපයේ වුව ද තැවරී තිබුණු සාංකාබර හුදකලාවක දෝංකාරය...... දෙවරක් නොසිතා පොත මිළ දී ගන්නට මා පෙළඹවීය.     


අබ්බගාත කවි පොතේ මුල්ම කවියේ මුල්ම පද හරි ඉක්මණින් මගේ මතකයේ නිදන් විය.

අබ්බගාත සිතක - මන්දහාස කවිකම්

වදනකු දු නොනගින පාළු මන්දිරයකි
හුස්මකු දු නොනගින නිසල ආලින්දෙකි
රෝද පුටු සිහසුනක සසල සිතුවිලි රළෙකි
වාරු නැති දෙපා මත වතළ පිණි බින්දුවකි

හෙලනා සුසුමන් ද අබ්බගාතය
නැගෙනා කඳුලැල් ද අබ්බගාතය
මැවෙනා සිත්තම් ද අබ්බගාතය
පූදින කවිකම් පමණි මන්දහාසය




 ........................
 
මේ නිමාවක් නොවේ.

 ( කෙටි කතාවක් නොවේ.. නව කතාවක් ද නොවේ... නමුත් කතාවකි. ප්‍රබන්ධයකි. )

Wednesday, March 20, 2013

සොඳුරු සැරිසර - හනමිචිය දිගේ...





නුහුරුය මට සාහිත්‍ය විචාර 

පැටි වියේ සිටම පොත් සම්භාරයක් කියවා ඇති අව‍බෝධය මිස පොතපත ගැන විවාර ලියන්නට තරම් සමත්කමක් මා සතුව නැතැයි මට සිතේ. මා ලියන්නේ පොතක් කියවීමෙන් මා විින, මට දැනෙන රසය, රමණීයත්වය සහ අපූර්වත්වය පිළිබවය. මට දැනෙන අඩුලුහුුකම් පිළිබවය. මාගේ මිනුම් දු අනුව, මාගේ බුද්ධි ප්‍රභාවේ තරම අනුව හො යැයි මා අගය කරන පොත පත පිළිබව මෙ‍සේ සටහන් තබන්නේ මගේ මතක සංචිතයට රස පොත් මතකයන් එක් කර ගැනීමට මෙන්ම, පොතපතට ළැදි අන් අයගේද අවධානය ඒ සහා යොමු කිරීමටය. 

පෙරපර දෙදිග සාහිත්‍ය විචාර සංකල්ප හෝ ක්‍රමවේද ගැනද මට අවබෝධයක් නැත. 

එබැවින් සාහිත්‍ය විචාරිකාවක් ලෙස මා දෙස නොබලන්නේ නම් මැනවි. 

සොුරු සැරසර - හනමිචිය දිගේ...

සුරස නව පොත් මැදුර මරදානේ විවෘත වූ බවට ලද ආරංචිය ( මනෝරමට තුති ) අනුව එහි ගිය මම මුලින්ම මිල දී ගත් පොත සමන් අතාවුදහෙට්ටි මහතා ( සමන් සන් ) විසින් රචිත සොුරු සැරිසර - හනමිචිය දිගේ කෘතියයි. එම කෘතිය මිල දී ගන්නට හේතු වූ කරුණු කිහිපයක් තිබිණි.



  • ප්‍රමුඛ වන්නේ ජපානයට හා එහි සංස්කෘතියට මගේ ඇති අසීමිත ළැදියාවයි. කලෙක මගේ සිහින දේශයක් වු ජපානයේ මාස තුනක් වැනි කෙටි කලක් දිවි ගෙවීමෙන් ලද ආස්වාදනීය මතකයන් සිත තුළ නොමැකී පැවතීමයි.   
  •  
  • අනෙක දෙස් විදෙස් සංචාර සටහන් කියවීමට, අන්‍ය සංස්කෘතීන් ගැන දැන ගැන්ම‍ට ඇති ඉමහත් ආශාවයි. 
  •  
  • එසේම ''හෘද සූත්‍රය'', ''එය මෙසේ සිදුවිය'' පොත් කියවීමෙන් සමන් සන්ගේ සරල සුගම ලේඛන ශෛලිය මා සිත් ගෙන තිබීමයි. 


ඉහත කී කාරණාවන් සමග පණ පෙවූණූ අප්‍රමාණ ආදරණීය අපේක්ෂාවන් රැසක් කියවන්නට පෙරම පොත ගැන විය. නමුත් පොත කියවීමෙන් එය මුළුමනින් සන්තර්පණය වූයේ නම් නැත. අඩුවක් දැණිනි. ඒ මන්දැයි මට ද නොතේරේ. 

ජපන් බුදු දහම හා එහි ව්‍යාප්තිය පිළිබද පර්යේෂණ  කාර්යයක් සහා ජපානයට ගිය අවස්ථාවක කළ සංචාරයන්, ලද අත්දැකීම්, හමු වු පුද්ගලයන් පිළිබව ''හනමිචිය දිගේ'' හි සරලව සුන්දරව සටහන් වී ඇත. එහෙයින් වැඩි වශයෙන් බුදු දහම හා සම්බන්ධ විහාර ආරාම, පිළිම, වත්පිළිවෙත් සම්බන්ධ ආකර්ශණීය සටහන් අන්තර්ගතය. 

මාළු දැලේ රන් පිළිමය, මෛත්‍රී දෙවන, යෝධ බුදු බ, තෙන්දයි නිකායේ මහ පන්සල වැනි තේමාවන් යටතේ ලියැවී ඇති සටහන් ‍ඉතිහාසය, වර්තමානය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය වැනි බොහෝ කරුණු එක්තැන් කොට ගෙන ඇත. 

ඒ අතර ආගමික පසුබිමෙන් බැහැර වූ ‍‍සටහන්ද රැසකි. මුල්ම සටහන අපූරු අත්තම්මා කෙනෙක් ගැනය. ඇය අවුරුදු 86 ක් වයසැති කිකුනො එනොඔ නම් වන රංගන ශිල්පිණියයි. ඇය පවසනුයේ රංගනය ඔස්සේ තමන්තුළ ඇති බෝධිසත්වවරයා සොයා ගත හැකි බවය. 

''රංගනය කියන්නේ ශරීරය වගේම සිතත් පිරිසිදු කරන භාවනාවක්'' ඇය පවසයි. 

රංගනය මුදලට විකුණන, විකිණෙන අපේ කලා ලෝකයට නැවත නැවතත් සිතා බැලිය යුතු කරුණක් නොවේද මේ? තමන් තුළ සිටින බෝධිසත්වවරයා කලාව තුළින් සොයා ගැනීම.... සියල්ල මුදල මත තීරණය වන සමාජයක එය අසීරු නමුත් අපූරු වැඩකි. 

තෝකියෝවේ තොකි ෂිසුඉ කිමොනො ප්‍රදර්ශනාගාරයේ නිර්මාණ ශිල්පී ෂිනෝ බු බාබා ගැන ලිපියද ජපාන‍‍යටම ආවේණික සුන්දර ඇුම් විලාසිතාව ගැන නව මානයකින් බලන්නට ඇරයුම් කරයි. 

( තනබතා උත්සවය දවසේ කිමෝනෝ ඇ තේ පානෝත්සවයකට සහභාගි වූ සුන්දර මතකය මසිත දැල්වේ. )



කබුකි රහලක ප්‍රේමය දිනා ගත නොහැකි වූ අවාසනාවන්ත පෙම්වතුන් යුවළක් ගැන කියැවෙන කබුකි ශෝකාන්තය නැරඹීම සමන් සන් විස්තර කරන්නේ අපද එහි කැවා ගනිමිනි. 

අවසානයේ සුසුමක් නැගෙන්නේ පෙම්වතුන්ගේ ශෝකාන්තය වෙනුවෙන්ම නොවේ. වසර 120 ක් පැරණි ඒ කබුකි සා රහලද කඩා දමා තට්ටු 49 ක විසල් ගොඩනැගිල්ලක් එහි ඉදි වන බව දැන ගන්නට ලැබීමෙනි. එහි පහත මාලයන් 4 ක් රහලට වෙන් වන බව දැන ගත්තද දුක්බර බව පහ වූයේ නැත. .......

සම්ප්‍රදායට ඇළුම් කරන සිතක්ද මා සතුව ඇත්තේ.......''සයෝනාරා කබුකි සා'' ........  

යෞවන නගරය නමින් හැදින්වෙන ෂිබුයා දුම්රිය ‍පොළ ඉදිරිපිට දඩෝරි වාඩියද අපූරු කතා පුවතකි. ඒ මැද තැනූ දඩෝරියාගේ ප්‍රතිමාව යහපත්, ගුණවත් හචිකෝ නම් බල්ලකුගේය. එය දඩෝරියාගේ ගුණවත්කම මෙන්ම කළගුණ දත් ජපන් මිනිසුන්ගේ ගුණවත්කම ගැනද සංවේදී කතාවකි. 


පෞද්ගලිකව මෙන්ම පොදුවේ නිරුවත්ව උණු පැන් ස්නානය කරන ජපන් සිරිත ''නිරුවත් ඔන්සෙන් සුවය'' අපට නම් ලැජ්ජාවෙන් හැකිළෙන්නට කාරණයකි. නමුත් එහි සැබෑ අරුත, විිත හැකි සුවය වදනින් විස්තර කරන්නේ කෙසේද? ඒ පිළිබද සමන් සන් ගේ සටහන සිනා කැන්දන්නකි. ඔන්සෙන් සුවය විින්නට ආශාවත් කුතුහලයත් දල්වන්නකි. 

'' පොදු නාන තඩාගයකදී නම් ඔබට සිිත්තන් තුවා පිංචක් ලැබේ. එයින් යන්තමට ඉදිරිපස විළිය මුවා කර ගැනීමට හැකිය. පෞද්ගලික තඩාගයන්ට නම් තුවා අදාළ නොවේ. ''....... ( පිටුව 185 ) 

( සැමට හොරෙන් බයෙන් සැකෙන්, නමුත් අළුත් අත්දැකීමක් විීමේ අපේක්ෂාවෙන් ඔන්සෙන් සුවය විි,  උණු පැනින් සැනහුණු අත්දැකීමක් මතකයේ නිදන්ව ඇත. කෝල හැගුම් පසෙකලා එය ලිවිය යුතු යැයි සිතමි. ) 

මෙවැනි සුන්දර අත්දැකීම් සමූහයක් ආකර්ශණීය මාතෘකා තුළ බහා ඇත. ලිපිය කියවන්නට පෙරම මාතෘකාවේ ආකර්ශණීය බවත් කෙටි සටහනත් සිත් ඇ බැ ගනියි. අත්තම්මා, මාළු දැලේ රන් පිළිමය, අකලට වට හිම වරුසා, අමු මාළු හරි රසයි, සයොනාරා කබුකි සා, නිරුවත් ඔන්සෙන් සුවය, ජපන් අපාය එවැනි සිත් ගන්නා මාතෘකා කිහිපයකි. 

භාෂාව සරලය. සුන්දරය. සොබාදහම වර්ණනා කරන අවස්ථාවල එය වඩ වඩාත් කාව්‍යාත්මක ‍වේ. සොබාදම් වැනුම් තවත් බොහෝ වී නම් අගේ යැයි සිතේ. 

නමුත් කෘතිය කියවා අවසන් වන විට දැණුනු අඩුව කුමක් දැයි මම විග්‍රහ කර ගන්නට උත්සාහ ගනිමි. ජපානයේ ප්‍රතිපත්තිගරුක ධෛර්යවන්ත මිනිසුන්, අතීතයේ ඔවුන් විි දුක් කන්දරාවක අසීමිත කැපකිරීමක ප්‍රතිඵලයක් ලෙස වත්මනේ ලබා ඇති දියුණුව, කලාවට සොබාදහමට ඔවුන්ගේ ඇති ආදරය, සීඝ්‍රයෙන් ඇමරිකානු වන වත්මන් තරුණ පරපුර ............ මෙවන් වූ පොදු ජන ජීවන රටාවන්, ඔවුන්ගේ හදගැස්ම මගේ අධ්‍යයන කටයුතුවලදී සමීපව ඇසුරු කරන්නට ඉඩ ලැබිණි. 

මේ මා අපේක්ෂා කළ නමුත් සමන් සන්ගේ සංචාර සටහනේ ඉස්මතු නොවන කරුණු කාරණා වන්නට පුළුවන.

සමන් සන්ගේ චීනයේ චාරිකාවන් ගැන ලියවුණ ''සොුරු සැරිසර - සේද මාවත දිගේ'' කෘතිය ලැබුණේ උපන් දින තිළිණයක් ලෙසිනි. දැන් එය කියවා අවසන්ය. ''හනමිචිය දිගේ'' කෘතියට වඩා ''සේද මාවත දිගේ'' ‍බොහෝ සුන්දර යැයි සිතේ. වඩාත් සිත් ගත්තා යැයි කීම නිවැරදිය. සැරිසරක අපූර්වත්වය මනා සේ විිය හැකිය. ඒ ගැන පසුව ලියමි.