Wednesday, May 29, 2013

ඔහු ඇවිදින් ( බි‍දෙන නොබිදෙන ... බිඳින නොබිඳින තහංචි )



තුන් වෙනි දවස

එලාමය කන්කෙඳිරි ගාන හඬ දරා ගන්න බැරි තැනමයි මං නැගිට්ටෙ. යාන්ත්‍රිකව කාලසට‍හනේ රාජකාරි සම්පූර්ණ කළත් හිත කිව්වෙ ගෙදර නවතින්නමයි. ඒත් දරුවන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ කොහොමද? ලෑස්ති වෙලා, අත්බෑගයයි, පොත් ටිකයි අරගෙන පුංචි ලියමනකුත් ලියාගෙනමයි මං ඉස්තෝප්පු කාමරේට එබුණෙ. නිදි නොනිදි මුහුණෙ විඩාපත් බවක් දැවටිලා. ''පව්'' හිත කිව්වා. මං අතින් පව් කියවෙන්නෙ අනුකම්පාවට විතරක්ම නෙවෙයි. කරුණාවට... ළෙංගතුකමට.. ආදරයටත් පව් කියල කියවෙනවා. ඒත් ඒ වචනෙ එයාගෙ හැීම් වර්ගීකරණයට අහුවෙන්නෙ අනුකම්පාව විදියට. දවසක් ඒ ගැන වාද උණ හැටි මතක් වෙලා ‍කම්මුල් සැළුණා හිනාවකින්.

''ඔයා පව් ඇත්තටම පව්... මට දුකයි..'' මං හිතින් කිව්වා..

හෙමිහිට ලියුම තියල එන්නයි හැදුවෙ.. ඒත් හුළග දාංගලේට සාරි පොට අරන් ගිහින් අතටම අල්ලල දීල. මං ඒ බව දැන ගත්තෙත් ආපහු එන්න හැරෙද්දි සාරි පොට ඇදිල ගිහින් මං යහනේම පසෙකින් ඉන්දවෙද්දි.

'' අද ඉන්න...'' සාරි පොට අරන් සුව බලල පෙරව ගන්නෙ පුංචි ළමයෙක් වගේ.

'' කොහොමද ඉන්නෙ ? ළමයි පව්... බලන් ඉන්නවනේ.. හෙට නිවාඩුවක් දාලා එන්නම්...'' ඒ ළමයි ඔක්කොටම වඩා මට මේ ළමයා ගැන පව් කියල හිතෙමින් තිබුණෙ.

'' එතකොට........ හෙට ළමයි පව් නැද්ද? බලන් ඉන්නෙ නැද්ද? '' ඒ නං සරදම් හිනාවක්.  විහිළු කරන්න ගියාමත් කෙළවරක් නැහැ. වාද කරන්න ගියාමත් කෙළවරක් නැහැ.. පරාජය නං මට ම තමයි.  

'' නිවාඩු දැම්මම දන්නවනේ.. බලන් ඉන්නෙ නැහැ.. මං ගිහින් එන්නං....''  මං නැගිටිද්දි සාරි ‍පොටත් අකමැත්තෙන් මං පස්සෙ වැටුණා. හිත ආපස්සටම ඇදෙද්දි මං පසු නොබලාම ඇවිදගෙන ගියා. ඇස්වල උණුහුමට කුළු කැට ‍තෙරපුණා.

දවස අලසයි. සුසුමින්ම පිරුණා. හිත මං ළග තිබුණෙම නැහැ. '' මිස් ට අද සනීප නැද්ද? මූණ කළු වෙලා.. '' දැරිවියක් ඇවිත් කිව්වම මං හිනා වෙලා හිස අත ගෑවා. දුවම් දීමත් දුවම් විඳීම තරම්ම දුකක්ද?  එක් විටම දුවම් දෙන්නාම දුවම් විින්නා වෙන්නෙ කොහොමද?

නොහිතු විදියට හවස අමතර පන්තියක් බාර ගන්න උණේ. බැහැයි කියන්න හිත නැමෙන්නෙ නැති කම ගැන අද නං දැණුනෙ පසුතැවීමක්. ඒ බව කියන්න ඇමතුමක් ගනිද්දි  කවදාවත් නැති විදියට හිත ගැහුණෙ.. අතැගිලි වෙව්ලුවෙ. එක්සැණින්ම දුරකථනය සම්බන්ධ උණා.. මොහොතක නිහතාවයක්. උණුසුම් හදවතක ‍නොඉවසුම් සුසුම් දහරක් සුළං රැල්ලක් වෙලා සවන් පෙතිවල වැදුණා.....

'' මං අද එන්න ටිකක් පමා වෙනවා.. ඔයා කෑම කන්න.. බඩගින්නෙ ඉන්න එපා?..'' වරදකාරී හැගීමක් මට දැණුනෙ.

'' හ්ම්...'' දිගු හුස්මක්.. කල්පයක් තරං දැණුන නිමේෂයක නිසලතාවයක්.. අනතුරුව දුරකථනය විසන්ධි වන හ..

පන්තිය නිම වෙලා කවදාවත් නැති පුදුමාකාර හදිසියකින් මං ගෙදර දුවගෙන ආවෙ.. තුන්කාසෙන් දාඩිය හලාගෙන. 

තවදුරටත් දුරස්ථීකරණය වූ බ්‍රෙෂ්ට්ගෙ නාට්‍යයක ජවනිකාවක් වගේ ගලා යන්න ඉඩ දිය යුතුයි ද ජීවිතයට. මුවින් නොකියන එක වචනයක් වෙනුවෙන්  දෑසින් ගලා හැලෙන අසංඛ්‍ය වූ  වචන පිරුණු කතන්දරයක් නොතකා හැරිය යුතු ද? අප්‍රමාණ බැතියකින් සෙනෙහසකින් පරාජය පිළිගන්නද මම.. එවන් සිතුවිලි දැහැනක කෙළවර මං උන්නෙ ලියන කුටියේ දොරකඩ...

පොතකට සමවැදිල උන්නත් මගේ පා ගැටෙන හ නොඇසී තියෙන්න විදියක් නම් නැහැ... සෙරෙප්පුවලින් නිදහස් වෙලා සීරුමාරුවට අඩි තියල පිටිපස්සෙන් ගිය මං අත් දෙකින් ඇස් දෙක වහ ගත්තා. පුංචි කාලෙ කරන සෙල්ලමක්.. අත් දෙක අත ගාල බලල කවුද කියන්න ඕන.. හරියටම කිව්වෙ නැත්නම් ‘‘රැවටිච්චී පොල්කිච්චී - රෑන ගලේ හැංගිච්චී  කියනවා.. ඒ ළමා වියේ සෙල්ලං ගතියයි මගෙ හිතේ තිබුණෙ...

ඒත් ?

‘‘පිස්සුද ? වැඩක් බව පේන්නෙ නැද්ද?

මගෙ අත් දෙක විසි කරල කෑ ගහපු සද්දෙටත් වඩා මං තිගැස්සුණේ ඇස්වල නපුරු බැල්මට. ඇස් කොහොමද වෙස් පෙරළන්නෙ මේ තරං... හිනාවෙන ඇස්... කතා කරන ඇස්... ළෙංගතුකම ගලා හැලෙන ඇස්.. මේ විදියට ගිනි ගන්නෙ කොහොමද?

මං නතර උණේ කාමරේ.. කුළු හිර කර ගත්තෙ ළිට යනකල්.. කාටවත් පේන්න අන සිරිතක් පුංචි කාලෙවත් මට තිබුණෙ නැහැ. කොයි තරම් වෙලා කුළු ගැලුවද.... ඒ තරම්ම වෙලා මං නෑවා.. රතු උණු ඇස් එක්ක ගෙට යන්න බැරි නිසා කුස්සියෙ පිටිපස්සෙ පඩිය උඩ වාඩි උණා.. දීප්තිමත් රතු ඔටුන්නක් දා ගත්ත කොට්ටෝරුවෙක් පොල් ගහකට කොටමින් උන්නා.. කොට්ටෝරුවා ඇයි මේ තරං ආඩම්බර.. රතු ලස්සන ඇුම හින්දද?

හතරවටින් අුරත් වැටීගෙන... ඒත් නැගිටල යන්න හිතක් තිබුණෙ නැහැ. ජීවිතේ හැමදාමත් සතුටත් එක්ක මහා දුකක් එන්නෙ ඇයි? පුංචි බලාපොරොත්තුවක් උණත් කුලක් වෙලා ගිලිහිලා යන්නෙ ඇයි? මං හිතමින් උන්නා.

හිසෙත් යංතමට වැදීගෙන උකුලට වැටුණු කොල ගුලියක් නිසා මං ගැස්සුණා. හැරිල බලන්න ඕන උණේ නැහැ දෙපා මං ළගම නතර වෙලා. මං හෙමිහිට උණ්ඩි වෙලා තිබුණ කොල ගුලිය දිග හැරියා..

තිගැස්සෙන ඇස්.... බර ද කොතරම් හිතට
දඩබ්බර වචන ... බර ද එතරම් හිතට...

කවි සිිත්තක්.. මං හිස එසෙව්වෙ නැහැ. කවියේ ඇද අකුරු පිරිමදිමින් උන්නා.. රතු ඇස් පෙන්නන්නවත්, කුළු හලල බොළ හිතේ තරම මේන් කියන්නවත් මට ඕන උණේ නැහැ. මුනිවත බිුණෙ ඔහුගෙන්මයි.

‘‘ මට රුපියල් විස්සක් විතර දෙන්න.. ඒ ඇයි කියන පුදුමයෙන් මං හිස එසෙව්වෙ.

‘‘කඩේට ගිහිල්ලවත් තේ එකක් බීල එන්න... බරපතළ හඬකින් එහෙම කියද්දි මගේ හිනාව පිට පැන්නෙ නොදැනීම... මං හෙමිහිට නැගිටල ගෑස් ලිප පත්තු කරල වතුර එකක් රත් වෙන්න තිබ්බා..

‘‘ඇඬුව නේද?” වේදනාත්මක හඬක් මා අසලින්ම...

‘‘කඳුළු හරිම වටිනවා... ඇඬුවට කමක් නෑ අර්ථයක් ඇති දේකට.. මා වෙනුවෙන් නිකරුණේ කඳුළු නාස්ති කර ගන්න එපා.... ” ඒ කතාව නිම වෙද්දි ආයෙම මගේ ඇස්වල කඳුළු... විණාඩි කිහිපයකට පස්සෙ ආපහු හැරෙද්දි කුස්සියේ මං විතරයි.

පළමු දවසෙ වගේම දෙන්නත් එක්ක රෑ කෑම කෑවෙ ඉස්තෝප්පුවෙ බිම වාඩි වෙලා.. හෙළු කඳුළු පරද්දන්න වගේ හිනා වැහි වස්වන රස කතා සාගරයක් එක්ක. හැමදාම ඔය විදියටම හිනා වෙලා ඉන්න මං හිතින් කිව්වා.

මං කුස්සියත් අස් කරල දොරවල් වහල එද්දිත් ඔහු තාම ඉස්තෝප්පුවේ බිම දිගා වෙලා.. අත් දෙක නවලා හිස යටින් තියාගෙන කල්පනා සාගරයක.

‘‘ඇයි අද ලියන්නෙ නෑ ?” මමත් ඒ ළගින්ම වාඩි වුණා.

‘‘අද දවසටම එක වාක්‍යයි..” කට කොණකට නැගුණෙ ලැජ්ජාශීලී හිනාවක්.

‘‘ ඒ මොකෝ ?”

‘‘ ලියවුන්නෑ... හිත හරි නැති උණාම ලියවෙන්නෑ..” 

ඔහු කිව්වෙ ඈතක බලාගෙන. මමත් ඒ ඇස් පාර දිගේම බැල්ම ගෙන ගියා. පෝය හඳ තාම පිරිපුන්. ඒත් අන්ධකාර වළාවකින් හඳ මුවා වෙමින් යනවා... හල්මිල්ල ගහ පිරෙන්න පුංචි කණාමැදිරි එළි... තොරණක් වගේ... හඳ එළිය හැංගුණාමයි කණාමැදිරි එළි තරු එළි වගේ බැබළෙන්නෙ. ඒ ඇස් නැවතිලා තියෙන්නෙ කණාමැදිරි එළි ළග...

‘‘ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයලු..” ඒ කතන්දරේ හිතට එබුණෙ අකුණු සැරක් වගේ.

මං හෙමිහිට පපුව උඩින් නිකට තියල ඇස්වලට එබුණා.

‘‘ ඔන්න කණාමැදිරි නාඩගමක් ඇස්වල ”

ඇස් දිලිසෙන හැටියට එහෙම කියන්න හිතුණත් මං කිව්වෙ නැහැ..

‘‘මං කණාමැදිරි එළියක්වත්, ගිනිපෙනෙල්ලක්වත් නෙවෙයි...”

ඒත් සිතුවිල්ලක් විතරයි... වචන උණේ නැහැ.

‘‘ ඔන්න ඇස්වලින් තහනම් වචනෙ දෝරෙ ගලනවා...”

කියන්න හිතුවත්... මං හිත හිර කර ගත්තා. 

තවදුරටත් වචනවල අර්ථයක් තියෙනවද? හුළගට... හඳ එළියට.. කණාමැදිරියන්ට... අන්ධකාරෙට පවා.... වචන නැති උණත් කොයි තරං දේ කියනවද? ඒව පපුව අස්සටම දැනෙන්නෙ නැතුවද?

නෙත් ධ්‍යානයේ ගැඹුර දරා ගන්න බැරිකමට මං ඇස් පියාගෙන පපුව මතින් හිස තියා ගත්තා. පිණි තැවරුණු හුළගට තෙත් කැවිල තිබුණ කම්මුල උණුහුම් වෙන්න ගත්තා. තහංචි නොතකන උණුසුම් හදවතක ගැස්ම දැනෙන්න ගත්තා. දීර්ඝ සුසුමක් හිස් මුදුනත දැවටිලා විසිරිලා ගියා. ඒ සුසුමේ ලියවුණු දිග කතාන්දරය මං මයේ හිතටම පහදවා දෙමින් ඉන්න අතර නොදැනීම මං උණුසුම් දෑතක වෙලිල පැටලිලා හිර වෙලා හිටියා....

ඒ රැය පුරාම ඉස්තෝප්පු කාමරෙන්  නිදන කුටියට ගලාන ආ පහන් එළි තීරු පවා ප්‍රේමණීය නිද්‍රාවක සුවසේ සැතපුණා...

................................................................

නොනිමි දිවි ගමනක, එක්සොදුරු හීනයක් නිමා වුණ වගයි..


Tuesday, May 28, 2013

ඔහු ඇවිදින් ( පාට පොවන හීන )




 දෙවෙනි දවස...



'' මම ඉස්කෝලෙ යනව හොදේ.. එද්දි තුන විතර වෙයි. ‍කෑම මේසෙ උඩ ආහාර පාන හැමදේම. ගොඩක්ම බඩගිනි නොවුණොත් මං එනකල් ඉන්න කෑම කන්න... වැඩි වැඩියෙන් කැතම කැත අකුරුවලින් කොල පිරෙන සුබ දවසක් වේවා...''

හිමිදිරි දෛනික රාජකාරි නිම කරල, ලෑස්ති වෙලා කාමරේට එබිල බැලුවම ගැඹුරු නින්දක.. සුදු කඩදාසි කීපයක්ම ඇද අකුරුවලින් පිරිලා.. කණ්ණාඩි කුට්ටමයි, පෑනයි ඒ මත ඇණ තියාගෙන විවේක සුවයෙන්... ඇහිපියන් ය‍ට සුන්දර හීනයක් කැටි කරගෙන වගේ මුහුණ පුරාම සන්සුන්කම ඉහිරිලා... අත තියල හෙමිහිට හිස පිරිමදින්න හිතුණත් මං හිත පැත්තකින් තියල අත ඉක්මන් කරල පුංචි ලියමනක් ලිව්වා.. හිනාවෙන බලි රූපෙකුත් ඇන්දා... මල් වාස් එකට පිච්ච මල් පොකුරක් දාලා ලියමන උඩින් තිබ්බා හුළගේ නොයන්න. 

දවස පුරාම පුංචි උන්ගෙ හිනා මූණු අස්සෙන් මං එහෙ මෙහෙ පාවුණා විතරයි. කොයි තරං හිත පන්ති‍යෙ තියා ගන්න හැදුවත් ගිහින් නතර වෙන්නෙම ඉස්තෝප්පු කාමරේ පියවුණු සන්සුන් ඇස් දෙකක් ළග... සුදු කඩදාසිවල පෙරහැරක් යන ඇද කළු අකුරු ළග... 

'' වෙසක් මාසෙ හින්දද මූණ තොරණක් ‍වගේ බැබළෙන්නෙ..'' චිත්‍ර සර් ඇහුවෙ විවේකාගාරෙදි. මං උන්නෙ තනියෙන් හිනා ‍වෙවී.. ඇයි කියල මතකත් නැති කාරණයකට... 

'' ඔව්නේ......... සම්බුලා ජාතකය... හොදයි නේද?'' 

'' සම්බුලා ජාතකය නම් වෙන්න බෑ... ඒක පතිවත රකින පතිනියක් ගැනයි කියවෙන්නෙ... තනිකඩ ජීවිතේකට අදාළ නැති කතාවක්...'' චිත්‍ර සර්ගෙ මූණ ඇදවෙලා පිකාසෝගෙ චිත්‍රයක් වගේ...

'' තනිකඩ දෙකඩ වෙන වෙලාවලුත් තියෙනවනේ... කාන්තාරවලත් ඔය මල් පිපෙන්නෙ...'' 

හිනාවකින් සංවාදෙට විරාමයක් තියල  මං පොත් ටික අරන් එළියට බැස්සා. අහිතකට නෙවෙයි. කා එක්ක හරි කතා කරනවට වඩා මට ඕනෙ මා එක්කම කතා කරන්න.. හීන දකින්න.. මං කැමති කැමති විදියට ඒ හීන පාට කර ගන්න. චිත්‍ර සර්ට උණත් බැහැ මගේ හීනවලට පාට දෙන්න. ඒක කරන්න පුළුවන් කවියෙකුට විතරයි.. එකම එක කවියෙකුට විතරයි.. 

වෙනදට හැන්දෑ වෙනකල් තාවර වෙවී ඉස්කෝලෙම ඉන්න මං අද වේලපහින්ම ගෙදර.. තුනටත් නැති තරං.. එක්කෙනෙක් ඉන්නවා ඉස්තෝප්පුවේ වේවැල් පුටුවකට බර වෙලා. මුහුණ හැරුණත් පාරට ඇස් පියවිලා. පෙරළුණ පොතක් පපුව උඩ.  

'' මං ආවා...'' මගේ අතැඟිලි හිතුවක්කාර කෙහෙරැලි තවත් අවුස්සල දැම්මා.... ඒ ඇහි පිය ලෙහුණෙ හෙමිහිට. ඇස්වල ඇස් ඇමිණුනේ හෙමිහිට. හිනාවක් පිපුණෙ හෙමිහිට. ඒත් ම‍ගේ හිත ගැහෙන්නෙ නං අධිවේගෙන්. සාමාන්‍යකරණය වෙන්න කොයි තරං උත්සාහ කළත්...

'' කෑවෙ නැද්ද..... තාම.. ? '' ළගින් තිබුණ වේවැල් පුටුවට බර දීල මං ඇහුවා.

''හරි පාලුයි... කුරුල්ලන‍්ගෙ සද්දෙ විතරයි.. '' 

''ඉතින් හොඳනෙ ලියන්න...ඔයා කියන්නෙ හුදකලාව තමයි අතිශය ආස්වාදනීය කලාව කියල.. හැම නිර්මාණයකම උපත එතැන කියල... '' 

දැන් මං මංම නෙවෙයිද මන්ද? මං කතා කරන්නෙ එයාගෙ වචන. මං දකින්නෙ එයාගෙ ඇස්වලින්. මං හිතන්නෙ එයාගෙ හදවතින්.. මේක නං හරියන වැඩක් නෙවෙයි කියල හිත මට අනතුරු අඟවනවා. මම අපි වීම හොඳ දෙයක් උණත් මට මම අහිමි වීම හොඳ දෙයක් නෙවෙයිනේ. 

''හුදකලාව ගැන මගේ නිර්වචනයේ කිසිම වෙනසක් වෙලා නැහැ.. ඒත් අද මට හරි පාළුවක් දැණුනා..'' 

මාතෘ ‍සෙනෙහසක් අවදි කරන විදියේ අහිංසක බැල්මක්. ඒත් ඕනැවට වඩා හුරතල් කරන්න හොඳ නැහැ. පුංචි දඬුවමක් දෙන්න ඕන. නොකියන වචනෙකින් අපි දෙන්න මැද්දෙන් බැම්මක් බැන්‍දෙ එයාමනෙ. ඒ වරදට දඬුවමක් තියෙන්නම ඕන. උගුරට හොරා බේත් බොන්න බැරි බව තේරුම් ගන්නෙ නැතැයි...  මං හිතින් හිනාවෙලා නැගිට්ටා..

'' යං එන්න.. කමු..''

දිවා ආහාරයෙන් පස්සෙ මං ඕනෑවටත් වඩා වෙලාවක් ගත කළා කුස්සියෙ.. අස්පස් කිරීම් මැද්දෙ.. කවදාවත් නැතිව සඳුදා වෙලත් මුළු ගේම අස් කළා අතුගෑවා.. ඉන්පස්සෙ ළමයින්ගෙ ප්‍රශ්න පත්‍ර මිටියක් අරන් සාලෙන් වාඩි වෙන්න කළින් කර පොවල බැලුව කාමරේට... 



ලියනවා.. ලියනවා.. ආයෙම හිතනවා.. බලා ගත් අතේ බලන් ඉන්නවා.. ආයෙම ලියනවා.. ලියන්න ගත්තම උල්පතකින් වගේ වචන ගලන්නෙ හරි හැඩට. ඒ නිර්මාණ උල්පත හරි විස්මයක්. තමන් ලියන දේට ඒ තරං අවංක, ඒ තරම් කැපවෙන ‍ලේඛකයෙක් මං දැක්කමයි.. 

'' ජීවිතේ හැම දෙයක්ම අත හැරිල ඉවරයි. අත් නොහැරිය එකම දේ ලිවීම විතරයි. මං මැරෙනකල් ලියනවා...'' 

වරක් කියූ කතාවක් සිහි වෙද්දි නං ඇස්වලට කඳුළුත් පිරුණා. එදා මං මටම දුන්න පොරොන්දුවක් තියෙනවා. තහංචි බිඳින්න කොයි තරං හිතට ඕන උණත් ළඟින් ඉන්නව මිස වධයක්.. කරදරයක් වෙන්නෙ නෑ කියල. 

තනියෙන් ඉන්න අපේ ගෙදර ඇත්තටම අපේ ගෙයක් වෙලා...ඒ ගැන හිතද්දිත් හිතේ මල් යායක් පිපෙනවා දැනෙනවා.  ''තනියෙන් ඉන්න අපේ ගෙදර'' ඒකත් එයා දුන්න නමක්. 

මුලින්ම මං මගේ ගේ කිව්ව දවසෙ ''ධනපති පන්තියේ ආකල්ප'' කියල ඔහු හිනැහුණා. 

''ඉතින් මහ ගේ තියෙනවා.. නංගිලගෙ ගෙවල් තියෙනවා.. මේ ගෙට මගේ ගේ නොකියා මොනවද කියන්නෙ.. මං විතරනෙ ඉන්නෙ.'' මං ඇහුවා. 

''තනියෙන් ඉන්න අපේ ගේ.. මගේ කියනවට වඩා එහෙම හොදයි. '' එදා ඉඳන් මමත් එහෙම කියන්න පුරුදු උණා.  

අඳුර සොඳුරුයි. ඒත් විදුලි එළි දල්වන්න කළින් මං පුරුද්දට මල් තියල සුරුවම් කූඩුවෙ පහන පත්තු කළා. 

කුස්සියෙන් කාමරයට..කාමරයෙන් සාලයට.. සාලයෙන් ඉස්තෝප්පුවට...  මගේ පාද චාරිකාවට අරමුණක් තිබ්බෙ නැහැ.. ඒත් පුටුවටම ඇළුණ එක්කෙනෙකුට නං ඒ ගැන වගක්වත් තිබුණෙ නැහැ. මම හෙමිහිට එකින් එක ප්‍රශ්න පත්‍තර බැලුවා. වැඩේ ඉක්මණින් ඉවර නොවෙන්නයි මට ඕන උණේ. ඉස්තෝප්පු කාමරේට හිත දුවන එක නවත්ත ගන්න.  

ඔරලෝසුවෙ පැයේ කටුව නමය ළග. .. කන්නවත් නැගිටින පාටක් නැහැ. 

'' කමු ද? '' 

කාමරේ දොරකඩට ගිහින් මං ඇහුවෙ හෙමිහිට. වචනත් එක්ක පැටලෙන්න හිතට ධෛර්යයක් තිබුණත් ඒ නිහඬතාවය, මුනිවත බිඳින්න නං මං හරිම බයයි. වචනවලට වඩා අර්ථයක් එයාගෙ නිහඬතාවයෙ තියෙනවා, මගේ හිත මට කියනවා..

'' මට බඩගිනි නෑ.. අපි කද්දිත් හවස් වෙලානෙ.. ඔයා කන්න..'' 

හිස නොඋස්සාම එහෙම කියද්දි දුකක් නොදැණුනාමත් නෙවෙයි. ලියද්දි එහෙම වෙන්න ඇති කියල මං මටම කියා ගත්තා. 

උණුසුම් බෝතලයට තේයි, බිස්කට් පැකට්ටුවයි අරන් ආයෙම මං කාමරේට ගියා. 

'' රෑ වෙලා බඩගිනි උණොත් කන්න. බෝතලේ තේ. කුස්සියෙ කෑමත් තියෙනවා. මං නිදා ගන්න යනවා..'' හෙමිහිට හිසට අත තියල මං එන්න හැරුණා. උණුසුම් අතක් මගේ දකුණත පටලැවුණ නිසා මං එහෙමම නැවතුණා. හද ගැස්මත් නැවතුණා. ලෝකයම නැවතුණා.

'' ඇයි...'' කියල මං ඇහුවෙ ඇස්වලින්.

'' කතාව හරි හැඩට ලියවෙනවා... ''  හීන්සීරුවෙ අත අත් හැරල ඔහු කිව්වා. 

'' ඔයා නිදා ගන්න... මං තව ටිකක් ඉන්නවා..''

ඇස්වල තිබුණෙ වෙන කතාවක්. ඒත් කිව්වෙ වෙන කතාවක්.. මන්දා? මට හිතුණ හැටි වෙන්න ඇති. මං ආපහු හැරිලා ආව හිත කාමරේ තියල. 

මගේ හිත පිරිසිදුය... තැන්පත්ය... සන්සුන්ය...

මම නිදුක් වෙම්වා....

නමෝ මරියනි.. ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි... 

ඇස් නිදි.. ඒත් හිත නිදි නෑ.. මොන දේ කළත් සිතිවිලි නැවතුණේ නෑ... නින්ද අහලක නෑ... ඉස්තෝප්පු කාමරෙන් මගේ කුටියට ගලන එළිය තීරු පවා ඊයෙට වඩා අද නොසන්සුන්... නිවි නිවී දැල්වෙනවා..

Monday, May 27, 2013

ඔහු ඇවිදින්


පළමු දවස


ත්‍රීවීලයක් නිවස ඉදිරිපිට නතර වන හින් දෙපයටත් කළින් හිත දිව්වා පෙරමගට.. සාලයේ දොරින් මං එබෙද්දිත් ඔහු එළිමහන් ආලින්දයේ.. ත්‍රීවීලය ආපසු ගමනේ.. 

එක් උරිස්සක රෙදි මල්ල පුරුදු විදියටම.. අනික් උරිස්සෙ පරිගණක බෑගය... එය නම් ඇහැට නුහුරුයි නුපුරුදුයි..කාලය ඇති කළ වෙනසක්.. අතේ තවත් පොඩි ගමන් මල්ලක්... පෙරදිග නැවුම් අරුණැල්ලත් එක්කම හිනා වෙන ඇස් .. ඉර දහක් එක විට පෑව්වා වගේ.. 

'' මොකෝ මේ කුකුලත් අතේ අරංම...'' මේ තරං කළින් බලාපොරොත්තු උණේ නෑ වගේ, මග බලන් උන්නෙ නෑ වගේ මං එහෙම ඇහුවෙ බෑග්මලු වලින් නිදහස් වෙන්න උදව් කරන ගමන්.. ඩිග් ඩිග් ගාල ගැහෙනවා හිත. ඒත් වෙනසක් නොපෙන්න ඉන්න අරගලයක මම.. තාමත් ඒ ඇස් හිනාවෙනවා.. උත්තර නෑ..

''නොකියන වචනේ තහංචිය තාම බලපානවද? '' මං ඇහුවෙ සරදමට..

'' මං ආවෙ නිදහසේ ලියන්න.. තහංචි කඩන්න නෙවෙයි..'' ආලින්දයේ වේවැල් පුටුවකට බර දීලා නිදහසේ අතපය හතර අතේ විසි කරන ගමන් ඔහු කීවෙ. 

'' ඔන්න එහෙනං නිදහසේ ලියන්න.. තහංචිත් රකින්න.. මේ කාමරේ හොයි..'' බෑග් මලු ටික ඉස්තෝප්පු කාමරෙන් තියන ගමන් මං කිව්වෙ. හොර බැල්මකුත් බලල. ඇස් මං පිටිපස්සෙම්ම කාමරේටත් ඇවිත්..

''ඒ කියන්නෙ ගේ තහනංද?'' ඒ ඇස් අහනව මගෙන්.. 

'' ඕන තැනක ඉන්න යන්න කිසි තහනමක් නෑ හොදේ... තහංචි දා ගත්තෙ මං නෙවෙයි ඔයානෙ.. මං ඒව රකින්න උදව් කරනව විතරයි...'' මං කිව්වෙ හිනා වෙලා... 

''හිනාව තමයි ඉනාව...'' 

ඔහු කියන්නෙ හිනාව හින්ද සන්තකයම අහිමි උණ ගානට දිග හුස්මකුත් හෙළල... ඇස් දෙකත් පියාගෙන.. වැඩිපුර හිනාවෙන්න එපා කියල කොයි තරං කියල දුන්නත් මේ හිතට මතක නැති හැටි.. මට මං ගැනම දැණුනෙ නොරිස්සුමක්.. මං සැහැල්ලුවෙන් හිනා වෙන වාරයක් ගානෙ ඒ හිතේ සැහැල්ලුව අහිමි වෙලා යනව කියල මට හිතෙනවා.. අන්තිමේ ඔහු කියනවා වගේ ''සැහැල්ලුවම බරක්..''

''මොනවද බොන්නෙ'' මං ඇහුවෙ හෙමිහිට කෙහෙරැලි අතින් අවුස්සන ගමන්..

'' මිදි යුෂ කුසලානක් තිබුණනං අගෙයි..'' ඔහු කිව්වෙ ඇස් පියාගෙනම.

'' මේ උදේ පාන්දර !!........... හොුරු තේ එකක් බොමු.. '' මං කිව්වෙ ගෙට යන ගමන්. 

'' ඒ කියන්නෙ මිදි යුෂ කුසලාන වඩා සුදුසු වෙලාවට ලැබෙනව කියන එකද? '' ඒ ගමන ඔහු සැහැල්ලුවෙන්.. 

හිනාවක් ආවත් මට අන්න ඕන වගේ හැීමකුත් දැනෙමින් තිබුණා...  ආගන්තුක ගතියක් එක්ක තිගැස්මක් දැනෙමින් තිබුණා. කල්පයක් පෙරුම් පිරුව ආගමනයක් නොසිතූ මොහොතක ඇස් ඉදිරිපිට... මේ ඇත්තක්ද? හීනයක්ද? තාමත් විශ්වාස නෑ මට.

දවස ගෙවුණෙ හරිම ඉක්මණින්.. කාලය අල්ලල නවත්ත ගන්න පුළුවන් නං කියල හිතුණු වාර අනන්තයි. හවස් වරුවම ඔහු කළේ නිදා ගන්න එක.. ආගන්තුක ගෙරවුම් හට මුළු ගේම තුෂ්නිම්භුත වෙලා බලන් උන්නා. අමුතු රහසක් හංගගෙන වගේ. පොතක් අරන් සාලෙ පුටුවකට බර දුන්නත් පෑ දෙකකට පස්සෙත් මුලින් පෙරළපු පිටුව එහෙමම තිබුණා. කියවපු අකුරක්වත් මතකයේ නෑ. මං උන්‍නෙ ඇස් ඇරගෙනම හීන දකිමින්... හීන කියවමින්.

අපි කෑවෙ බිව්වෙ ඉස්තෝප්පුවෙ සිමෙන්ති පොළවෙ ඉගෙනම. මං සාලෙ දොරකඩ පඩියට හේත්තු වෙලා. ඔහු ඉස්තෝප්පු කාමරේ පඩියට හේත්තු වෙලා. 

පා පතුල් එකට වැදී වැදී.. පා ඇිලි ‍දබර වෙවී... 

අපි මැද සමචතුරස්‍ර ඉ‍ඩෙත්, අපි වටෙත් විහිදිලා විසිරිලා සුදු කඩදාසි මත කවි. අළුත් කතාවෙ පළමු පරිච්ඡේදෙ... සේකර, රත්න ශ්‍රී එක්ක තනියට ඇවිදින් පාවුලෝ කොයියෝ, මිලාන් කුන්දේරා. ඒ අස්සෙ විටින් විට ඇවිත් යනව මාලතී බූන්දිය අරන්.. හිතේ කෙටූ ටැටූ එක්ක ඉන්දික. මහින්ද චින්තනේ කර තියාගෙන විමල් වීරවංශ... කාදිනල්ලට අභියෝග කරන හරිත පාප්තුමා.. 

වයින් වීදුරුව එහෙමමයි... ඒත් මත් ගතිය හුළ‍ගෙත්.. හ එළියෙත්.. කවියෙත්.. පා ඇිලි දබරයෙත්.. 

'' මං කියන්නෙ කවියකට වචනයක්, අකුරක්, කමාවක්, තිතක් උණත් එකතු කරන්න ඕන අර්ථයක් ඇතුව.. පරිස්සමට... හරියට රහස් බේතකට හරියටම ආනුපාන එකතු කරනවා වගේ... කතාවක උණත් මුලින් ලියපු වාක්‍යයක්වත් ආයෙ ලියන්න ඕන නැහැ. අළුත් වෙන්න ඕන... කවියක් කියන්නෙ කතාවක් කියන්නෙ අකුරු හරඹෙට, වචන හරඹෙට.. ඒක හරි සියුම් වෙන්න ඕන.. සූක්ෂම වෙන්න ඕන... අවස්ථාවට අනුව මටසිලිටි වෙන්න ඕන.. තියුණු වෙන්න ඕන..   '' ඔහු කියනවා.

මහපටැිල්ලක් කිති කවනවා මගේ පා පතුල්. මං ඉක්මණින් දෙපා අරන් හංග ගත්තා මල් ඉහිරුණු ගවොම් සාය ඇතුළෙ... පා ඇිලි දබරයෙන් පරදින්නෙ මං... මට කිති... ඔහු හිනාවෙනව.. හක හක ගාලා.. මහ හයියෙන්.. පිණි බින්දුත් තිගැස්සෙනවා. ගහකොලත් සැලෙනවා.. හ එළියත් අන්ධකාර වළාවෙන් මිදිල එබිල බලනවා.. 

''හිනාව තමයි ඉනාව.. '' 

ඔහු‍ගේම වචනවලින් මං දමා ගසනව ඔහුටම. ඇත්තත් ඒකම තමයි ඉතින්...

මුදුන් වේගන එනවා. ‍

''දැන් ගමේ කතාවක් හැදෙන්නෙ නැද්ද ඔයාට.. මං මෙහෙම ඇවිත් ඉද්දි. '' 

ඒ කතාව විහිළුවටද? ඇත්තටද? මූණ දිහා බලද්දි නම් පෙණුනෙ බැරෑරුම් ගතියක්. මේ වන තෙක් මමත් ඒ ගැන හිතල තිබුණෙ නැහැ.. හිතන්න උවමනාවක් තිබ්බෙත් නැහැ. ජීවිත කාලෙම බලන් උන්නෙ මේ පැමිණීම වෙනුවෙන් නෙවෙයිද? එය කතන්දර දහසකට නිමිත්තක් උණත් ඉතින් මොකද?

හිත පිළිතුර ගොනු කළා සැණෙකින්. 

'' එක පදයක්.. එක කතාවක්.. එක මනුස්සයෙක්... ඉතින් මොකෝ.. මං ආසයි කතාවක් හැදෙනවට. අපි ඒකත් ලියමු අළුත් කතාවක් විදියට...'' මං සැහැල්ලුවෙන් හිනා වෙලා කියල දැම්මට එතරම් ඉක්මණීන් ඒ ඇස්වල බැරෑරුම් ගතිය මැකිල ගියේ නැහැ. 

'' මං යනවා නිදා ගන්න.. ඔයා ලියන්න..'' 

ඇත්තටම නිදිමත නිසා නෙවෙයි මං එහෙම කිව්වෙ ලියන්න ඉඩ දෙන්න ඕන නිසා. අපේ කතා කෝච්චියට නැවතුම්පළවල් නැති බව අත්දැකීමෙන්ම දන්න නිසා. ඒ වගේම අළුත් මාතෘකාවෙ බරින් මේ සැහැල්ලුව පළවා හරින්න ඕන නැති නිසා.

''හෙට නං අට වෙද්දි නිදා ගන්න යන්න ඕන හරිද? කයිය ගගහ හිටියොත් ආව වැඩේ කෙරෙන්නෙ නෑ..අද එක පිටුවක්වත් ලිව්වෙ නෑ මං.'' ඒ තර්ජනය මට.

'' ආ..... මෙන්න වැඩක්. දැන් මංද කයිය ගැහුවෙ. ඔයානෙ කයිය ගැහුවෙ. මං අහන් හිටිය විතරයි...'' 

මං කිව්වෙ ‍දණ  ගහගෙනම පොත්පත් එකතු කරන ගමන්. ප්‍රහාරයකට අතක් දිග ඇරෙනව දැක්ක නිසා මං හිනාවේගනම ගෙට පැන ගත්තා. දකුණත යාංතමට ගවොම් සායෙ වැදිල මල් පෙති සැළුණා...

මො‍හොතකට පස්සෙ මං හිටියෙ ඇදේ වැතිරිලා.. අුරත් එක්ක හිනා වෙමින්. ඉස්තෝප්පු කාමරේ දැල්වෙන පහන් එළිය හීන් තීරු තීරු වෙලා ඇවිත් මගේ කුටියෙ වහළෙ නැවතිලා. තනි මකන්න වගේ. විටින් විට ඇහැ ඇරෙද්දිත් ඒ පහන් එළි තීරු එහෙමම තිබුණා. පාන්දර හතරට එළාමය ඇහැරිලා හ තලද්දිත් පහන් එළි තීරු නිදි නැහැ.. 

සැනසුම් සුසුමක් එක්ක මං නැගිට්ටෙ හිනාවක් පිපෙද්දිමයි.