Sunday, June 30, 2013

හිරුත් හිම පියල්ලක

දින කීපයක්ම ගමේ ගත වුණ නිසා ලිවීමට කාලය දෙන්න නොහැකි වුණා.. මේ තියෙන්නෙ ළ.ක්‍රි.වී. යෙන් ළමුන් සමග වැඩ කරන අනුශාසකවරුන් සදහා තෛමාසිකව පළ කරන ‘‘සබඳ” සඟරාවේ පොතපත හදුන්වා දෙන ‘‘ඇසුර” විශේෂාංගයේ පසුගිය වසරේ පළ වූ ලිපියක්. මෙය නව යොවුන් පිරිසක් වෙනුවෙන් ලියවුණක්...

ඇසුර

දෙනෙත ගැටුණ, මනස රැඳුණ පොත පතක අසිරිය ඔබ හා ඛෙදා ගනු රිසියෙන් zz ඇසුරZZ අකුරු කරන්නෙමු. ළමුන් කැටුව යන අනුශාසකවරුන් ලෙස පොතපතට ළැදිව, පොතපත තුළින් ගුරුහරුකම් ලබමින් ජීවිතය වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වන්නේය. දරුවන් කියවීමට යොමු කිරීමට නම් මුලින්ම අපි ඒ සඳහා නැඹුරුව සිටිය යුතු නොවේද? අතට අමතර මුදලක් ලැබුණ විට පොතක්  මිළ දී ගැනීමට, තිළිණයක් ලෙස පොතක් ලබා දීමට, නිතර පොතක් ළඟ තබා ගනිමින් කියවීමට, කියවන පොත පත අන් අය සමග හුවමාරු කර ගැනීමට, පොත් ගැන කතා බහ කිරීමට අපි පුරුදු පුහුණු විය යුතු වෙමු. එය නිසැකවම ළමුන් කැටුව යන අපගේ දිවියට ආලෝකයක් වනු ඇත.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශනයේ දොරටුවෙන් ඇතුළු වූ පසුව වම් පසට වන්නට දිගු කැටපත් පවුරක් සමග කවි පොත් කුටියක් තිබිණි. හතර අතේ සොයා ඇවිදින කවි පොත් එකම තැනකින් මිළ දී ගන්නට පහසුවක් මේ නිසා සැලසිණි. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ zz හිරුත් හිම පියල්ලක ZZ අත පත් වූයේ එහිදීය.



‘‘හිරුත් හිම පියල්ලක
කවියා           :- මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
ප්‍රකාශනය     :- සන්ථව ප්‍රකාශන
මිල                :- රු. 200.00

2010 වසරේ විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහය ලෙස zzහිරුත් හිම පියල්ලකZZ සම්මානයට පාත්‍ර විය. අතිශයින් සංවේදී තේමාවන් රැසක් කවියට නැගුණු මෙම කෘතිය සැබවින්ම අපූරුය. කවි පොත පුද කර ඇත්තේ කවියාගේ මව්පියන් වෙතය. එයද අපූරු කවියකිනි. එහි සිත් ගත් කොටසක් මෙලෙසිනි.

.... බිදෙන වීදුරු රාමුවක මුවා වී
බිත්තියේ සිනා සී නොඉඳ
හද බිතෙහි සදා කැටයම් වූ
ඉසුරුමුණි පෙම් යුවළ
අම්මටයි.... තාත්තටයි...

සිය මව්පියන් හද බිතෙහි සදා කැටයම් වූ ඉසුරුමුණි පෙම් යුවළ ලෙස දැකීමම අපූරු කාව්‍ය සංකල්පනාවකි. මව්පියන්ගේ ප්‍රේමයෙහි සුන්දරත්වය, ගැඹුර මෙන්ම කවියා ඒ බැඳීමට දක්වන ආදරය සහ ගෞරවයද එයින් ධ්වනිත වන්නේය.

විද්‍යුත් දෘශ්‍ය මාධ්‍ය හා එළිමහන් වේදිකාව තුළ අද නර්තනය ඉතා ප්‍රසිද්ධ අංගයක් බවට පත් වී තිබේ. ඉඟසුඟ නළවමින්, දුහුල් සලූ පිළියෙන් සැරසී නර්තනයේ යෙදෙන රූමතියන් කොතෙකුත් දක්නට ලැබේ. ඔවුන් පිළිබඳව වැඩි දෙනෙක් තුළ ඇත්තේ සුබවාදී ආකල්පයක්ද නොවේ. එලෙස නර්තන කණ්ඩායමක මුදලට නර්තනයේ යෙදෙන තරුණියක් තම අම්මාට යවන හසුන් පතක් ලෙස ලියැවී ඇති zz ලියමනZZ යන කවි පෙළෙන් හිරුත් හිම පියල්ලක කවි ගඟුල ඇරඹේ. නව යොවුන් වියේ සිටින අප බොහොමයක් අනුශාසකවරුන්ට අද තාරුණ්‍යයේ බාහිර අලංකාරවත්, සාටෝප ජීවිත තුළ සැඟවී ඇති කඳුළු කතාන්දර හඳුනා ගන්නට ඉවහල් වේ යැයි සිතන බැවින් ඒ සම්පූර්ණ කවියම මෙහි දක්වමු.



ලියමන

නෙළුම් කවි ලී කෙළි ඔළිඳ කෙළි
මෙහෙත් නැතුවා නොවෙයි අම්මේ
ඒත් ඒවා වෙනස් කර කර
අළුත් අයිටම්ස් හදනවා

උත්සවත් දැන් වැඩි නිසා
ෂෝස් දිගටම තියෙනවා
නින්ද නෑ රෑ පුරා නටනවා
උදේ ප්‍රැක්ටිස් කරනවා

ඇගේ හැඩ නැති වෙයි කියා
කන්න දෙන්නෑ රෑට බත්
කෙල්ලො දහයක් ඉන්නවා
හොරෙන් අපි තේ හදනවා

සිංදු විෂුවල්වලට ගියොතින්
දාහ ගානේ ලැඛෙනවා
ඒක අමතර ඒ උණත්
විලූඹ තුනටිය රිදෙනවා

අලූත් නැටුමක දුහුල් ඇඳුමට
වශීවුණ පොහොසත් කෙනෙක්
තෑගි දෙන්නට හදනවා
මම එපාමයි කියනවා

උත්සවේ දවසේ මගේ මට
අම්ම කී දේ මතක් වෙනවා
ඇත්තමයි සමහර දෙනෙත්වල
හරි අමුත්තක් තියෙනවා

දවස් නවයක් ෂෝස් දිගටම
ඊයෙ මට අර ලෙඩේ හැදුණා
ඒත් අම්මේ ගණන් නොගෙනම
ගෙදර ගැන හිත හිතා නැටුවා

අම්මගේ විටමින් ටිකයි
තාත්තගෙ දානෙට බඩුයි
ගන්න සල්ලිත් ඔන්න අම්මේ
මේත් එක්කම එවනවා

නිසරු අත්පුඩි විසිල් ඝෝෂා
අතර පසුපස තැනක කෙළවර
නොලා ඇසිපිය බලා මා දෙස
අම්ම ඉන්නව පේනවා....

ඇය නාටිකාංගනාවකි. නමුත් පොළවේ පය ගසා සිටින දිරිය දියණියකි. ඇය කරන්නේ රැකියාවකි. නමුත් එය තරුණ විය වල්මත් කරවන සුළු අවදානම් පිරුණු රැකියාවකි. මේ තරුණියට උගුල්වල හසු නොවී සිටින්නට ධෛර්යය වී ඇත්තේ අම්මාගේ ආදරයයි. අම්මාගේ ආශීර්වාදය සහ ගුරුහරුකම් ඇය නිරන්තරයෙන් සිහිපත් කරයි. ඇගේ පියා මිය ගොස් ඇති බව zz තාත්තගෙ දානෙට බඩුයි ZZ යන පද පේළියෙන් පැහැදිලි වෙයි. නාටිකාංගනාවක් වුවද ඇය ජීවිතයේ වටිනාකම තේරුම් ගත්, සමාජය ගැන අවබෝධයෙන් සිටින ආත්ම ශක්තියෙන් පිරිපුන් තරුණියකි.

අප බොහෝ විට දකින්නේ මිනිසුන්ගේ ජීවිතයේ මතු පිට පොත්ත පමණි. ඒ මතු පිට ස්වභාවය මත අප කොතරම් නම් අන් අයව විනිශ්චය කරනවාද? හෙළා දකිනවාද? ප්‍රතිෙක‍ෂ්ප කරනවාද? මුදලට නර්තනයේ යෙදෙන තරුණියක දෙස මානුෂිකව, දයා පෙරදැරිව බලන්නට කවියා සමත් වී ඇත. සාහිත්‍ය කලා නිර්මාණයකින් සිදු විය යුතු සමාජ මෙහෙවරත් මනුෂ්‍යත්වය පුබුදුවාලීම නොවේද?

මෙවන් වූ අතිශය සංවේදී කවි රැසක් හිරුත් හිම පියල්ලක කවි පොත තුළින් රස විඳිය හැක. එය විටෙක මිනිසුන්ගේ අනේක විද දුක් දොම්නස් කවි පද හරහා අප වෙත ගෙනෙමින් අප කම්පනයට පත් කරයි. තවත් විටක අප සිත් තුළ දයාන්විත හැඟීම් සහ මනුෂ්‍යත්වය පිළිබඳව මහත් වූ ආදරයක් ඇති කරවයි.

නමුත් මෙහි එකම කවියක හෝ බරපතළ වදන් හරඹ දක්නට නැත. ඉතාම සරල භාෂා රටාවක් කවියට යොදා ගෙන ඇත. අපූර්වත්වය ඇත්තේ කවියා තමා තෝරා ගත් තේමාව දයාන්විත සිතකින් විනිවිද දකිමින්, හෘද සංවේදී කාව්‍ය ආකෘතියකට ගොනු කරලීමයි.


බොහෝ විට අපේ කවි රස විඳීම පාසල් විෂය නිර්දේශයට අයත් කවිවලට පමණක් සීමා වී ඇත. එයින් මිදී කවියේ අළුත් මං පෙත් සොයා යන්නට උත්සාහ ගනිමු. එය ජීවිතය නවතාවයෙන් යුතුව විඳින්නට අපට මග පෙන්වනු ඇත.  

Wednesday, June 26, 2013

පෙර පිනක්දෝ මේ....!



මම හිතන්නෙ මම හරිම වාසනාවන්තියක් කියලයි... මගේ දහමට අනුව නම් දෙවියන්ගේ නොමද ආසිරි ලබන්න තරම් මම වාසනාවන්ත වෙලා... බුදු දහමට අනුව නම් මම ගොඩක් පෙර පින් කරල ඇති පොත පත දන්දීමෙන්.. ධර්ම දානයෙන්... මං අහල තියෙනවා උතුම්ම දානය ධර්ම දානය කියල.. පොතක් කියවන්න දීමත් ධර්ම දානයේම එක් පැතිකඩක් විදියට ගන්න බැරිද?

මට නිතරම මං ආස කරන පොත් ලැබෙනවා කියවන්න නොමිලයේම. එයම කොයි තරම් වාසනාවක්ද?  ආස කරන හැම පොතක්ම සල්ලිවලට ගැනීම හීනයක් වෙද්දි... කෙහෙන් හරි පොත් ලැබීම !!!!!! 

සමහර පොත් ලැබීම් හිතාගන්නත් බැරි විදියේ ඓශ්චර්යයන්...

අපේ ෆාද මල්ලි වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට විදෙස් ගත වෙන නිසා එයාගෙ විශාල පොත් බෑග් තුනක්ම ගෙදර ගෙනත් දැම්මා.. කවි පොත්, පරිවර්තන, ආගමික පොත්, විවිධ විෂයන්ට අයිති පොත්... මට නිධානයක් ලැබුණ වගේ... තවම ඒ නිධානයේ කිමිදෙන්න වෙලාව හොයා ගන්න බැරි උණා...

අදත් ලැබුණා පොත් දෙකක්.........මං වගේම පොත් පිස්සියෙකුගෙන්,  ගාමිණී වියන්ගොඩ පරිවර්තනය කළ මිහායිල් බුල්ගාකොව්ගෙ‘‘බල්ලෙකුගේ හදවත ..............

සාහිත්‍යයට හිතැති දයාබර සොයුරෙකුගෙන් “තාත්තයි මමයි “ රෝල් ඩාල් ගෙ ඩැනී.. පරිවර්තනය අනුර කේ එදිරිසූරිය...

තාත්තෙකුගෙයි පුතෙකුගෙයි ආදරණීය ජීවන අන්දරයක්.. 

ඉතාමත් සුන්දර පොතක්. මේ වෙද්දි ‘‘තාත්තයි මමයි ‘‘ කියවමින් ඉන්නෙ... විශේෂයෙන් හැම තාත්ත කෙනෙක්ම මේ පොත කියනවනම් හොදයි කියල හිතෙනවා.. එතකොට තාත්තල  ටිකක් නැවතිල්ලෙ හිතල බලාවි මගේ දරුවො මං ගැන මොනාද හිතන්නෙ කියල... ලෝකෙ ඉන්න හොදම තාත්ත වෙන්න මට මොනවද කරන්න පුළුවන් කියලත් තාත්තල හිතන්න ගනීවි....

‘‘ මගේ තාත්තා දෙනෙතින් සිනාසෙන්නෙකු වීම ගැන එකල මම උද්දාමයට පත් වූයෙමි. තාත්තා සිනාසුණේ දෙනෙතින් නිසා ඔහු මා සමග මූනිච්චාවට සිනා නැගුවේ නැත. හදවත සිනාසෙන්නේ නැති විට ඇස්වලින් සිනාසෙන්නට කිසිවකුට හැකියාවක් නැත. 

මුවින් සිනාසීම මීට වෙනස්ය. කැමති ඕනෑම විටක දෙතොල් පළල් කර මුවට සිනාවක් නගා ගන්නට ඔබට පුළුවන. ඒ නිසා නියම සිනා මුවත් සමග දෙඇසක් සිනාසෙන බව ඔබ මතක තබා ගත යුතුය. ඒ නිසා මම ඔබට කියමි. යමකු ඔබ සමග සිනාසෙන විට ඔබ ඔහුගේ දෙනෙත් දෙස බලන්න. මුව සමග දෙනෙතද සිනාසෙන්නේ නැති නම් එය සිනාවක් නොව මවා පෑමකි....“

තාත්තයි මමයි - 17 පිටුව


Sunday, June 23, 2013

කවි සිහිනයක්...


මං කවි පිස්‍සියෙක් කියල අමුතු‍වෙන් කියන්න ‍දෙයක් නැහැ‍නෙ.. ම‍ගේ ‍බ්‍ලොග් එක බලන හැ‍මෝම ඒ ගැන දන්නවා.. කවි ලියන්න ඒ තරං සමත්කමක් නැතත් කවි විඳින්න ‍බො‍හොම සමර්තයි... කවි නිසා ‍වෙලා ති‍යෙන අලකලංචිත් ‍බොහොමයි... ඒත් නැහැ‍‍නෙ තාමත් හැදිලා...

අද .. ඒ කියන්‍‍‍නෙ  ‍‍පො‍සොන් පො‍හොය දා ඉරිදාවක්නෙ.. මං උ‍දේ පූජාවට ගියා. සාමාන්‍යයෙන් පූජාවට ගියාම මං ඉන්නෙ මේ ‍ලෝ‍‍කෙ නෙ‍වෙයි. පල්ලි‍‍යෙ  වාඩි ‍වෙලා ඉන්න පැය හිතුම‍තේ හිත සැරිසරනවා. ඒක ‍හොද ‍දෙයක් ‍නෙ‍වෙයි කියල මගේ සාම්ප්‍රදායික ආගමික හැදියාව මට ‍දොස් පවරනවා.. ඒත් මා තුළ ඉන්න හිතුවක්කාර ‍‍‍දේව දියණිය නම් කියන්නෙ  ඒ ස්වර්ගීය සැලසුම් අනාවරණය වෙන දිව්‍යමය ‍‍මො‍හොතක් කියලයි...

අද මම දැක්ක ස්වර්ගීය සිහිනය නිකම්ම සිහිනයක් ‍නෙ‍වෙයි කවි සිහිනයක්.. ඇත්තටම නම් ‍මේ කවි සිහිනය ඕපපාතික සිහිනයකුත් ‍නෙ‍වෙයි. මෑත කාල‍යේ කවියත් එක්ක තිබුණු ‍පෙම් පටලැවිලිත් එක්ක උපන් සිහිනයක්. මිතුරු කවියෙකු‍ගේ කවි ‍පොතක ‍පෙරවද‍නෙහි වූ ‘‘කවි තරම් හුරුබුහුටි නොවන කතා කිහිපයක් ” කියවී‍මෙන් අළුත් වුණු සිහිනයක්....   

කවි‍යො ‍බො‍හොමයි.. කවි ‍පොත් එළිදැක්වීමුත් ‍බො‍හොමයි.  කවි වැහි වහිනවා මූණූ‍පො‍තේ. කවි‍යෙන් කරන හුදකලා සටන් මූණු‍පොත පුරාම... මං හීනයක් දකිනවා ‍මෙන්න ‍මෙ‍හෙම...

කවි‍යො හැ‍මෝම එකතු ‍වෙන දවසක්... කවිය ගැන, ජීවිතය ගැන, ‍ලෝකය ගැන කතා කරන දවසක්....

හුදකලා කවි සටන් එක් අරමුණුකට ‍ගොනු ‍වෙන දවසක්....
කවිය සෞන්දර්යාත්මක ආත්ම ප්‍රකාශනයක් ‍ව‍ගේම සමාජ වෙනසකට අත්වැලක් වෙන්න හැමෝම එකතු වෙන දවසක්....

ප්‍රබල සමාජ කාරණා පසුබිම් කර ගත් අතිශය සං‍වේදී සිදුවීම් කවි‍යෙන් ඔපමට්ටම් කරල හිත පත්ළෙම තැන්පත් කරන මහින්ද ප්‍රසාද්, රුවන් බන්දුජීව, සමිත බී අටුවන්දෑල, නදුන් යසිත..........

ළිං මැඩි කවි චින්තන‍යෙන් උදම් ‍වෙමින් ජාත්‍යන්තරයට ගල් ගහන, එලෙසින්ම ළිං පතුළත් ඉන් එපිටත් කවියෙන් විනිවිදින්නට අකුරු අමුණන  ඉසුරු ප්‍රසංග...

වෙඩි වැදී ලේ ගලන හිතකින්ම.....  කවියෙන් වෙඩි තියන මංජුල වෙඩිවර්ධන....

රසට, රතට, තිතට බූන්දියේ අකුරු අමුණන අපූරු කිවිඳිය මාලතී කල්පනා....

සැගවූ සුසුමින්... නිර්දය උපහාසයෙන්... විප්ලවීය උණුහුමින් මනුෂ්‍යත්වය විනිවිදින දෑසින් හිතේ ටැටූ කොටන්නට කල් යල් බලන ඉන්දික ගුණවර්ධන....

හිතුවක්කාර තාරුණ්‍යෙය් දඩබ්බර කවියා කසුන් මහේන්ද්‍ර....

ජීවිතයෙන් අංශු මාත්‍රයක් පත අට එකට සිදවා කවියක නිමහම් කරන රසිකා ගුණවර්ධන...

මුදු සුමුදු කවි පබඳින, කවි රැහැනින් හිත වෙලන සෞම්‍ය සදරුවන් ලියනගේ....

සොබාදහමත්, ජීවිතයත් ඒකාත්මික කරමින් කවි ඇසකින් ලොව දකින්නට මටසිලිටිව අකුරු අමුණන කපිල... විහග... ධනුෂ්කා... ලීරා.... 

මේ මූණුපොතේ නිතර ඇස ගැටෙන කවියන්.... මේ අයත් එක්ක කවි ලොවේ ප්‍රවීණයන්....

තව මට නම් අමතක වූ බොහෝ කවියන්...

මේ හැමෝම එක් වන දවසක්...

සිහිනයක් ම ද?


ඒ වෙනුවෙන් වේදිකාවක් තනන්නට හැකි නම් මට..... 

Thursday, June 20, 2013

විරාමයක අසිරිය...






දෙතුන් දිනකට පෙර මම සාහිත්‍ය ලිපි කිහිපයක සෝදු පත් බැලුවා. සදොස් තැන් නිවැරදි කළත් යම් තැන්වල අදහස්වල අවුල් බවක් තිබුණා. එයට ප්‍රබලව බලපාල තිබුණේ  අවැසි තන්හි කමාව, තිත නිවැරදිව තබා නොමැති වීම. එය පරිගණකකරණයේ දී ඇති වූ ප්‍රමාද දෝෂයක් ද විය හැකියි. 

එබැවින් නිවැරදි කළ පිටපත සමග මා මෙලෙස ලියා යැව්වා. 

'' නිවැරදි කිරීම්ද සැකමුසු තැන්ද රතු පාටින් ලකුණු කළා. තිත් කොමා අවශ්‍ය තැන්වල නැති වීමෙන් අර්ථ වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න. '' 

මෙය ලිපියක් ලියන්නට තරම් දෙයක් නොවේ යැයි ඔබට සිතෙන්නට පුළුවන්. මට ද එය ඉක්මණින්ම මතකයෙන් ගිලිහී ගිය කාරණාවක් වුණා. නමුත් කොන්ස්ටන්ටයින් පවුස්තොවුස්කිගේ ''රන් රෝස'' කියවමින් ඉන්න අතර ඇස ගැටුණු අපුරු කතාවක් නිසා මෙය ලිවිය යුතු යැයි හැුණා. 

'' ඔන්න ඒ කාලෙ පවුස්තොවුස්කි වැඩ කරමින් උන්නෙ ''මුහුදු නැවියා'' පත්තරේ. පුවත්පතට ලිපි ලේඛන සැපයූ ඇන්ඩ්‍රි සොබොල් කියන වැඩිමහල් ලේඛකයා  දවසක් පත්‍රයේ පළ කිරීමට කෙටි කතාවක් ගෙනත් දී තිබෙනවා. බැලූ බැල්මටම එය කිසි පිළිවෙලක් නැති අවුල් ජාලයක්. නමුත් අන්තර්ගත විෂය ‍ඉතාම වැදගත් දක්ෂ ලෙස ගොතන ලද අපූරු කතාවක්. එය පළ කළ යුතුම කතාවක් උණත් එහි අවුල් සහගත බව නිසා පළ කිරීමද අසීරුයි. සංස්කරණය කරන්නත් කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. යමක් ලියූ පසුව එය මුළුමනින්ම අමතක කර දමන ලේඛකයාගෙන්ද සංස්කරණයක් බලාපොරොත්තු විය නොහැකි වෙලා...

මේ කාලයේ පත්තරේ වැඩ කළාලු මහලු සෝදුපත් බලන්නෙක්. නම බ්ලොගොව්. පුවත්පත් කලාව පිළිබ ඇසු පිරෑ තැන් ඇත්තෙක්. ඔහු ඉදිරිපත් වෙනවා කෙටි කතාව සංස්කරණය කරන්න. 

'' මං අර සොබොල්ගේ කතාව ගැන තව පාරක් හිතුවා. ඒක ‍හොද කතාවක්. මොකක් හරි කරන්න ඕනෑ ඒකට. දන්නවනෙ මට ඔය පත්තර රාජකාරිය හොදට හුරුයි. නිකං අහක දාන්න හොද කතාවක් නෙවෙයි ඒක..''

''ඉතින් මොකක්ද ඒකට කළ යුත්තේ'' 

'' මට දෙන්න අත් පිටපත මං පොරොන්දු වෙන්නම් ඒකෙ එක අකුරක්වත් වෙනස් කරන්නෙ නැති බවට...... මං එක අකුරක්වත් කපන්නෙ නෑ. එක අකුරක්වත් අලුතින් එකතු කරන්නෙ නෑ...'' 

පුරා රැයක් වෙහෙසී ඔහු කතාව සංස්කරණය කරනවා. අනතුරුව එය පළිගු සේ පැහැදිලි, සුමට, විචිත්‍ර, නිරවුල් කතාවක් වූ බවයි පොතේ කියවෙන්නෙ. එකම වචනයක්වත් කපන්නේවත්, අලුතින් එක් කරන්නේවත් නැතිව. නියම තැනට විරාම ලක්ෂණ යෙදීමත්, ඡේද වෙනස් කිරීමත් පමණයි ඔහු කර ඇත්තේ.

'' විරාම ලක්ෂණ හරියට සංගීත රටාවක එන සංකේත වගේ. වාක්‍යයක ඒකමිතිය ඇති කිරීමටත්, වාක්‍යයේ ඒ ඒ ‍කොටසක් ඇතුළත නියම සමමිතිය පවත්වා ගැනීමටත් විරාම ලක්ෂණ හරිම වැදගත්..'' පුෂ්කින් විරාම ලක්ෂණවල වැදගත්කම කියා ඇත්තේ එලෙසින්. 

කෙටිකතාව පුවත්පතේ පළ වූ පසුව සොබොල් ඇස් දෙකෙන් ගිනි පුළිගු විසි කරමින් කාර්යාලයට කඩා වැදී තියෙනවා,  කතාව අතපත ගෑම ගැන මහත් කෝපයෙන්. 

'' අතපත ගෑව කියන එකෙන් ඔහේ අදහස් කරන්නෙ නියම තැනට නියම විරාම ලක්ෂණ යෙදීම නම් ඒක කළේ මමයි. පත්තරේ සෝදු පත් කියවන්නා හැටියට ඒක මට අයිති රාජකාරිය..'' බ්ලොගොව් සන්සුන්ව එහෙම කීවම ලේඛකයා දුවගෙන ඇවිත් ඔහුව සිප වැළදගෙන තියෙනවා. 

'' බොහොම ස්තුතියි.. මට ඉගැන්නූ පාඩමට. මං ටිකක් පරක්කු වැඩියි ඔය පාඩම ඉගෙන ගන්න. මට දැනෙන්නෙ මම මගේ ම ලියුම් කියුම් අවුල් කර ගත්තු අපරාදකාරයෙක් ව‍ගේ.'' 

ඉතින් එදා හැන්දෑවෙ මේ කට්ටිය එකතු වෙලා සව්දිය පිරුවලු පොදුවේ සාහිත්‍යයටත්, විශේෂයෙන් විරාම ලක්ෂණවලටත්.  නිසි තැන නිසි ලෙස යොදන ලද නැවතීමේ තිතකට පුදුම විස්කම් කළ හැකි බවට හැමදෙනාම එකග වුණාලු. 

විරාම ලක්ෂණ... ඒ වචන තුළම කොතරම් විසල් අරුතක් ගැබ් වෙනවාද? වචන දාස් ගණනක කොයි තරම් සුන්දර ලියවිල්ලක් උණත් අවුල් ජාලයක් වෙන්න පුළුවනි විරාම ලක්ෂණ නිවැරදිව නොයෙදීමෙන්. 

ජීවිතයත් දිගු කතාන්දරයක්.. හැල්මේ දිවෙන. වෙලාවකට හරිම අවුල්.. වෙලාවකට හරිම දුෂ්කරයි. වෙලාවකට සන්සුන්.. ප්‍රීතිමත්... ඉතින් දිගු ජීවිත කතාවටත් විරාම ලකුණු අවැසිමයි, විචිත්‍රවත් වෙන්න. නිරවුල් වෙන්න.  ප්‍රශ්නාර්ථ, විස්මයාර්ථ, ‍කොමා, තිත්... ජීවිත කතාවටත් නැතුවම බෑ. විරාමය, විවේකය, නැවතුම අවශ්‍යමයි  දිනෙන් දින.. නිමේෂයෙන් නිමේෂය අලුත් වෙන්න. 

සාහිත්‍ය ලෝකයේ සැරිසරන, නිර්මාණකරණය ගැන හීන දකින කාටත්  කියවන්න අපූරු පොතක්.. 

රන් රෝස ( නිර්මාණය පිළිබද අත්පොතක් )
කර්තෘ - කොන්ස්ටන්ටයින් පවුස්තොවුස්කි
පරිවර්තනය - ආරියවංශ රණවීර
මිල රු. 350/- ( ගොඩගේ ප්‍රකාශන )

Tuesday, June 18, 2013

විසිරුණු රන්සුණු






කෝ කොහිද ඔබගේ රන්සුණු? 

කොහිද ඔබ නිමවන බව කී රන් රෝස මල?

මම තැන තැන විසුල ඔබ ගේ රන් සුණු එක් කරමින් හිිමි. ඒ ඔබ නිම වන බව කී රන් රෝස මල වෙනුවෙනි. ඔබගේ දියණිවරුන් වෙනුවෙන්, ලොවේ සුවහසක් දූ පුතුන් වෙනුවෙන් නිම වන බවට පිළිණ දුන් රන් රෝස මල වෙනුවෙනි. 

නමුදු, ඔබ නැත.

සුසුමක්වත් නොතබාම සැව ගොසිනි. 

අවන්හලක සීතල බියර වීදුරුවක් තොල ගාමින් කඩදාසි අත්පිස්නාවක කුරුටු ගානා කවියක් දකින්නට මග බලා හිිමි. මත්පැන් අබිමුව දැඩි ලෙස විරෝධය පානා මම ඔබේ මධුලෝලය අබියස මුනිවත රකින්නට හුරු වීමි. ඒ මධු බුනක ඉහිරෙන පෙණ කැටිති සමග පණ ගැහෙන කවියක අසිරිය විිනු රිසියෙනි. 

ඒ අවන්හල හුදකලා වී ඇත්ද? කඩදාසි අත් පිස්නා පෑන් තුඩක පහස පතමින් ළතවෙමින් ඇත්ද? මසිත වධ වෙයි. 

''  නිකමට හිතන්න... මේ විශ්වයේ ඉන්න මිනිස්සුන්ගෙන් කී දෙනෙක් නම් එකම තරුව දිහා බලාගෙන ඉන්නව ඇත්ද? ඒත් තරුව කවදාවත් ඒක දන්නෙ නැහැ...'' 

දුරකථන මතකයේ පමණක් නො‍ව හදවතේද එවදන් නිධන් වී ඇත.

'' ඔයා නිකමටවත් හිතල තියෙනවද මේ තරම් යෝධ හක් අහසෙ තියෙද්දිත් ඇයි සමහරු පුංචි තරුවකට ආදරේ කරන්නෙ කියල. ඇයි කියල දන්නවනම් මට කියල එවන්න...''

එදත් ඒ පැණයට පිළිතුරක් මවෙත නොවිණි. හිත තිගැස්සුණා පමණි. අදත් පිළිතුරක් ගොනු කරමින් වෙහෙසෙමි. රන්සුණු එක් කිරීමටත් වඩා එය දුෂ්කරය. ඒ ඇයි දැයි ඔබෙන්ම විමසා දැන ගත යුතුය. ජීවිතයේ කෙදිනක හෝ එවැන්නකට ඉඩක් ලැබේදැයි සිත සංකාබර ය. 

හිම මිදෙන සීතල තරම් දැඩි නිසලතාවය කටුකය. දුක්බරය. අවිනිශ්චිතය. 

මගේ මිත්‍රත්වයේ දෑත ශක්තිමත් නැති බැව්.... සහෝදරත්‍වයේ දෑත දිගු මදි බැව් ඒ නිසලතාවය වරින් වර සිතට කොුරමින් හිීම දරා ගැනීම බෙහෙවින් අසීරුය. 

ඉදින්, රන් රෝස මල රැගෙන කොයියම්ම මොහොතක හෝ ඔබ එතැයි මම මග බලා හිිමි.