පිටු

Friday, July 26, 2013

ලොකු නංගී...






''ලොකූ" ඇය මා අමතන්නීය. 

''ලොකූ'' මම ද ඇය අමතමි. සැබවින්ම ඈ ලොකුය. ආත්ම විශ්වාසයෙන්, ධෛර්යයෙන්, ජීවිතාවබෝධයෙන්, මානව දයාවෙන් පිරිපුන් සුවිසල් හදවතකි ඈ සතුව ඇත්තේ. 

ඈ මගේ ලොකු නංගීය.

සති දෙකකට වරක් පමණය, මම ගමේ මගේ නිවසට යන්නේ. ( මගේ කියන්නේ ආත්මාර්ථයෙන් නොවේ. නමුත් සැබවින්ම එය තනියෙන් සිටින අ‍පේ ගෙදරය. ) ගෙමිදුලට වන් විගස සිත සුවදායක මිහිරියාවක වෙලී ගිලී යයි. 

උඳුපියලිය යාය හරිත සළුව දිග හරිමින් මිදුල පුරා සක්මන් කරයි. සුළඟට පාවී එන තේක්ක මල් උඳුපියලිය යායේ ලැගුම් ගන්නේ හරිත සළුව පුරා මුතු අහුරක අසිරිය අතුරමිනි. සීනියාස්, දවල්කුමාරි, දාස්පෙතිය, අටපෙතිය, කහපැහැ තාරකා මල් ලෝබ නැතිවම මල් ගවසාගෙන හිඳියි. අඹ පැළය දළුලා ‍යෞවනයට පියමං කරයි. ඇඹරැල්ලා පැළය සිඟිති ගෙඩි පොකුරක් දරා සිටින්නේ කුළුදුලේ දරුවකු හුරතල් කරන මවක් මෙනි. සති දෙකකට පෙර පල්ලියේ මංගල්‍යය දින මිල දී ගෙනා සමන්පිච්ච පැළයද සිටවා ඇත. ඇය මල් කැකුළු දරා හිනැහෙන්නීය. 

මේ සියල්ල  ලොකු නංගීගේ වැඩ ය. පැළ සිටවන්නේ, රැක බලා ගන්නේ ඈ ය. රස විඳින්නී, සුව විඳින්නී මා ය. 

'' මේ මල්වල නම දන්නෙ නැහැනෙ.. ඉතින් මං නමක් දා ගත්තා. 'තාරුකා මල්' '' ලොකු නංගීත්, චූටි දෝණිත් මමත් එක්ව සිට වූ කහ මල් පාත්තිය අසල හිඳ මම කියමි. 

'' ඔව් ඉතින්.. කැමති නමක් දාගන්න එකනෙ තියෙන්නෙ. මල්වලට නම් දැම්ම කියල කවුරුත් නඩු දාන එකක්යැ.'' ලොකු නංගී සීරියස් වෙමින් කියන්නීය. මගේ සිනහව පිට පනියි. අපි දෙදෙනාම එක්ව සිනාසෙන්නෙමු.

නිවසක් ඇතත් ගමේ ගිය විට ඉවුම්පිහුම් නැත. කෑම බීම සපයන්නී ලොකු නංගී ය. උදෑසන අවදි වීමට පමා වුවහොත් ''ලොකූ'' ඇය ගෙමිදුලේ සිටම කෑ ගසන්නීය. ඒ හිමිදිරි තේ කෝප්පය වෙනුවෙනි. තේ එක සමග අවම වශයෙන් මාරි විස්කෝතුවක්වත් වරදින්නේ නැත. 

'' දැන් අම්මට බලා ගන්න ළමයි දෙන්නෙක් ඉන්නව නේද සෝනු'' තේ කෝප්පය ලැබෙන තුරු කුස්සියේ වාඩි වී වල්පල් දොඩවමින් හිඳින අතර මම නංගිගේ එකම පුත්‍ර රත්නයෙන් විමසමි. පුතුද හිනැහෙයි. සැබවින්ම ලොකු නංගී මා රැක බලා ගන්නේ තවත් දරුවකු රැක බලා ගන්නාක් මෙනි. 

''මොනාද අද උයන්නෙ.. මං මොනාද කරල දෙන්න ඕන.." ඈ ඉවුම්පිහුම් කටයුතුවලට සූදානම් වන විට මම අසමි. 

''ඔයා පොතපතක වැඩක් කරගන්න.. ලියන්න.. තුන්දෙනෙකුට උයන එක මහ වැඩක්යැ..'' ඈ පවසන්නීය. පොල් ටිකක් ගෑම, ගොටුකොළ ටිකක් කඩා දීම වැනි වැඩක් හැර අන් යමක් මා අතින් සිදු නොවේ. 

මම නිවසට වී පාඩුවේ සිතමින්, කියවමින්, ලියමින් සිටින විට කන්නට දෙයක්ද සමග හකුරු කෑල්ලක් තේ කෝප්පයක් රැගෙන ලොකු නංගී එන්නේ ඇගේ තේ කෝප්පයද සමග ය. අනතුරුව අපි තේ බොමින් පොතපත, ජීවිතය, පරිසරය ගැන සංවාද වෙමු. 

'' ඇයි අර වත්ත එහෙම් පිටිම්ම පිච්චිලා ගිහින්. '' හාත්පස නිල්ල පවතින විට වේලී කර වී ගිය ඇස් මානයේ වන ඉඩම් කෑල්ලක් පෙන්වමින් මම අසමි.

''අනේ මන්ද මේ මිනිස්සුන්ට පිස්සු.  කැලෑ තෙල් ගහල. ළිංවලටත් එනවනෙ ඔය වහ. අනුරාධපුරේ වකුගඩු ලෙඩෙන් මිනිස්සු මැරෙන්නෙත් වගාවලට ගහන තෙල්‍ පෝර හින්දලු. ගොවිතැන්බත් කරල ජීවත් වෙන මිනිස්සු නේද? කොහොම මහපොළව විනාස කරනවද මන්ද?''

ලොකු නංගී පවසන්නී කෝපයෙනි. ඈ මහා පරිසරවේදිනියකි. ගහකින් වැටෙන කොළ පවා ගස මුලටම එක් කරනවා මිස කිසිදිනක පුළුස්සා දමන්නේ නැත. විසි ගහන, කැති ගහන කැලය පවා ගස්වලට ‍පොහොර වන්නට ඉඩ හරින්නීය. පැළ සිටුවා ආදරයෙන් රැක බලා ගන්නාක් මෙන්ම ඇය පැළ සමග කතා කරන්නීය. ''ගහකොලවලටත් ආදරේ ඕන. එයාල එක්ක කතා කළාම සරුසාරෙට හැදෙනවා. ඵල දරනවා..'' ඇය සිතන්නී එලෙසිනි. 

ඇගේ නිවස අසල කුරුළු ලෑල්ලකි. දිනපතා එහි එන ලේන්නුය. කුරුල්ලන්ය. ඒ ලොකු නංගීගේ මිතුරු මිතුරියන් ය. 

මා ලියමින්, කියවමින්, හීන දකිමින් හිඳින අතර නිවසේ අපමණක් වැඩ ද කරමින් ඇය පොත් කිහිපයක් ද කියවන්නීය. අනතුරුව අපි පොත් ගැන කතා බහ කරන්නෙමු. පොත් සම්බන්ධ ඇගේ විචාර අපූරුය. ඒ විචාර ඇගයීම් මතුවන්නේ පොත් කියවීමෙන්ම ලද දැනුමෙන් මෙන්ම ජීවන අරගලයෙන් ලද පන්නරයෙන්ය. 

'' ඔයත් ලියන්නකො පොතක්...ඔයාගෙ ජීවිතේමත් පොතක් වගේනෙ.. ඒ ගැන ලියන්න... අපි පබ්ලිශ් කරමු.'' සිරගෙයක්, කඳුළු ගගක් වූ විවාහ දිවියෙන් විමුක්තිය ලද ඈ දැන් ගෙවන නිස්කංලක දිවිය සිහිපත් කරමින්  මම පවසමි.  

විටක ඇය පේර ගෙඩියක් හෝ කටට දා ගන්නට අන් යමක් රැගෙන එන්නීය. කොස් ඇට තම්බා ගෙනෙන්නීය. තැම්බූ කොස් ඇට මිරිස් ගලේ තලා එයට මිරිස්කුඩු, ලුණු දමා පදම් කර පසුව ගැඹුරු තෙලේ බැද රස අහරක් සාදන්නීය. මීවිත සප්පායම් වන අයකුට නම් කදිම කටගැස්මකි.
''ලොකූ.. රෑට රොටියි ලුණු මිරිසුයි... හා ද? '' මම අසමි. ඇය හිස සලන්නීය.  රාත්‍රියට පුතාත් මමත් වාඩි වී හිඳිමු. උණු උණු රොටී කදිම ලුණුමිරිස සමග වරදින්නේ නැත. 

''ලොකූ හෙට උදේට කොළකැඳ හදමුද?'' ඉල්ලීම මගෙනි. පසුදින හිමිදිරියෙම වට්ටියත් අතින් ගෙන ඇය වත්ත පුරා සැරිසරනු දකින්නට ලැබේ. මම ද ඇය පසුපසින් යමි. ‍ඉරමුසු, වැල්පෙනෙල, පොල්පලා, කරපිංචා ඇති තැන් දන්නේ ඈ ය. මා දන්නේ ගොටුකොළ තිබෙන තැන් පමණි. ඒ වත්ත පුරාම ගොටුකොළ යහමින් ඇති නිසා මිස මගේ දක්ෂකමක් නිසා නොවේ.

පලා සොයමින් යන අතර මම මගේ සිහින ඇයට පවසමි.

'' පතහට එහා පැත්තෙ.. කොස් ගහ යට තමයි පුස්තකාලයක් හදන්න කියාපු තැන. අගල තව ටිකක් පළල් කරල පාලමක් දැම්මම ලස්සනයි. රවුම් ගොඩනැගිල්ලක් පත්තිරිප්පු හැඩේට. වටේට කණු දාලා වහළයක් ගහන්න ඕන... එළියෙ තමයි පුටු මේස දාන්න ඕන. ලියන්න.. කියවන්න... ඇතුළ බිම වාඩි වෙන්න... '' මම සිහින හැඩ කරමි.
'' හීන තමයි ඉතින්... දෙයියො තමයි දන්නෙ කවදා හැබෑ වෙයිද කියල '' දිගු හුස්මක් හෙළා මම පවසමි. 

'' ඕන හැටියෙ හීන දකින එකනෙ තියෙන්නෙ.. මොකෝ සල්ලි යන එකක්යැ.. අනික හීන තමයි කවද හරි හැබෑ වෙන්නෙත්. '' ලොකු නංගී හිනැහෙමින් කියන්නීය. 

'' අම්මේ .. ඔයත් දැන් හරි හරි කතානෙ කියන්නෙ.. පොත් බලල දියුණු වෙලා...'' මම ද ඇගේ හිනාවට එක් වෙමි. 

දිනක් මිතුරෙකු සමග මගේ පුස්තකාල සිහිනය බෙදා ගත් විට '' ඒ ඉඩම කාගෙදැ''යි ඔහු ඇසුවේය. ''ලොකු නංගිගෙ'' මම කීවෙමි. 

''කීයක් විතර ගෙවන්න වෙයිද ඉතින් ඉඩමට?'' 

'' ඒ මොකටද? ලොකු නංගිගෙනෙ. දැන් ඔය මං ගේ හදල තියෙන පර්චස් විස්සත් එයාම තමයි මට දුන්නෙ. සතපහක්වත් අරන් නෙවෙයි.. එහෙමයි මගේ නංගි..'' මම කීවෙමි. සැබවින්ම ඈ එහෙමය. ''මගේ කියල ඉඩම් නැහැ. තියෙන්නෙ අපේ ඉඩම් '' ඈ කියන්නේ එලෙසිනි. 


රාත්‍රී ආහාරයෙන් පසුව ඇය මා නිවසට ඇරලවන්නට පැමිණෙන්නීය.

අපි මිදුලේ හිඳ රාත්‍රී සිරි විඳින්නෙමු. කණාමැදිරි රැඟුම් බලන්නෙමු. කතාබහක යෙදෙන්නෙමු. සිහිල් සුළඟ හමායයි. කෘතිම විදුලි පහන් නැති බැවින් අන්ධකාරය මැකෙන්නේ සඳ එළියෙන් හෝ තරු එළියෙන්ම පමණි. ලොකු නංගී ආපසු යන්නට පෙර විදුලි පන්දම අල්ලා නිවසේ අහුමුළු පරීක්ෂා කර බලන්නීය. ඒ මගේ සර්ප බිය තුරන් කරනු සදහාය. හොල්මන් අවතාරවලට නැති බියක් සර්පයින් කෙරෙහි වන්නේ ළමා වියේදීම බාප්පා සර්පයකු දෂ්ට කර මිය යාම හිතේ හොල්මන් කරන නිසා වන්නට පුළුවන. මුල්වරට මරණය පිලිබඳ හැඟීමක් ඇති වූයේ එදිනය. බිම හැපි හැපී වැළපෙන නෑසියන්ගේ දුක් අ‍දෝනා ජීවිත ගමනේ මුල්වරට ඇස ගැටෙන බියකරු මතකය එය ය. ඉතින් අදටත් සර්පයින් දැක්ම බියෙන් වෙව්ළුවා හරින, උන්හිටි තැන් අමතක වන මහත්ම කරුමයක් වී ඇත. 

''දැන් හරි...ඔයා දොර වහගන්න... රෑට උවමනාවක් උණොත් කෝල් එකක් දෙන්න... ජේසු පිහිටයි... ගුඩ් නයිට්..." රාත්‍රියේ කියවන්නට පොතක් හෝ පත්තරයක් ගෙන ඇය ආපසු යන්නීය. 


''හැමෝම අහනවා.. මේ තරං ආර්ථික ප්‍රශ්න තියෙන කාලෙක කොහොමද ජීවත් වෙන්නෙ කියල. සමෘද්ධි නියාමක කියනවා.. ස්වයං රැකියාවක් පටන් ගන්නලු. ණය අරන් දෙන්නංලු.'' ලොකු නංගී කියන්නීය.

''ඉතින් හොඳයිනෙ... ගෙදර ඉන්න එකේ ඔයාට මොනා හරි කරන්න පුළුවන්නෙ.'' මම ද එය අනුමත කරමි. 

'' පුතා පොඩිකාලෙ නම් මමත් නැහුණා රැයක් දවාලක් නැතුව. ඒත් දැන් එහෙම දුක් විඳින්නෙ මොකටද ලොකූ. ලැබෙන තරමට ජීවත් වෙනවා. ජීවිතේ වෙනුවෙන් කියල නැහෙන්න මං කැමති නෑ. මේ අවුරුද්ද දෙක දෝණිව බලා ගන්නවා. ඉන්පස්සෙ මොනා හරි බලනවා...'' ඈ නිවී සැනසුණු ස්වරයෙන් පවසන්නීය. 

මේ දිනවල පොඩි නංගීගේ දියණිය ‍මොන්ටිසෝරි ගෙන යන්නේ, නංගී වැඩ ඇරී එනතුරු දියණිය රැක බලා ගන්නේ ලොකු නංගී විසිනි. ඉඩ ලද විට මහගෙදර ගොස් අම්මාගේ වැඩවලට සහය දෙන්නී ද ඈ මය. කොතරම් වැඩ කන්දරාවක් කළ ද ඈ කිසිවිට මැසිවිලි නොනගන්නීය. වෙහෙස බවක් නොපෙන්වන්නීය. නිරතුරු සිනාවෙන්ම පසුවන්නීය. කෝප ගන්නේ නම් ඒ අකටයුත්තක්, අසාධාරණයක් හෝ පුතාගේ හිතුවක්කාරකමක් වෙනුවෙන්ම පමණි. 

පල්ලියේ සන්ක්‍රිස්තියන් ඇය ය. දහම්පාසලේ ප්‍රධාන දහම් ගුරුද ඈම ය. ගමේ පොදු වැඩවලදී ද ඈ ඉදිරියෙන්ම සිටින්නීය. 

ඒ මගේ ‍ලොකු නංගී ය. එවැනි ලොකු නංගිලා තවත් සිටීදැයි මා දන්නේ නැත. 

මට නම් ඇගේ ජීවිතය කියවා නිම නොවන මහා පොතකි. 

අද ඇගේ උපන්දිනයයි. මේ සටහන ඇගේ අසීමිත මනුස්සකමට, සුවිසල් හදවතට පිදෙන උපහාරයයි. 



පොසොන් මාසයේ පැවති චුටි දෝණිගේ උපන්දිනය දා ලැබුණූ තෑගි අතර පුළුන් පිර වූ හුරතල් වලස් පැංචෙක් විය. ලොකු නංගී ඒ වලස් පැංචා ගෙන තුරුල් කර ගත්තාය.

''මං හරිම ආසයි මේ වගේ ටෙඩී බෙයා කෙනෙකුට. ඒත් කවදාවත් කවුරුවත් මට අරන් දීල නෑනෙ.. '' ඒ ස්වරය ජීවිතයේ කප්පරක් දුක් ඉහිළු දිරිය ගැහැණියකගේ නොවේ. සිහින බොඳ වී ගිය කුඩා දැරියකගේ ය.

මට පුදුම සිතිණි. ඈ තුළ එවැනි ආශාවක් ඇතැයි මා කිසිවිටක සිතා තිබුණේ නැත. සෑම උපන්දිනයකටම ඇඳුම් පැළඳුම්, පොත් හෝ මුදල් මිස එවන් තිළිණයක් ලබා දෙන්නට සිතකවත් නොතිබිණි. 

මෙවර ලොකු නංගීගේ උපන්දින තිළිණය ඇගේ ඒ අහිංසක සිහිනය සැබෑ කරලනු ඇත. 


සුබ උපන්දිනයක් ලොකූ.... 

මතු ආත්ම භවයක් වේ නම් මට, මගේ ම සොයුරිය වී ඔබ නැවත නැවත හමුවේවා.... ජේසු පිහිටයි..

Thursday, July 18, 2013

සමනල් ආත්මයක මරණ මංචකය අබියස





කුටුම්බයක පාමුල
පණ ගැහෙන සමනල් ආත්මයකි..

මල් වඩම් අනවැසිය
ශෝක ගී අනවැසිය
ලියා ඇත කවියෙන්ම...

''සිගතිමි ගෙල සියතින්ම මම

පණ ගැහෙන කවි සිතට

පැන් වඩනු මිස

පැන් ඉසිනු නොමැනවි... ''


ුලත් ඉකි බිියි...

සුසුමත් හද දවයි...

පැන් වඩන්නට නොව
පැන් ඉසින්නට ම ආයෙමි..
ඉසිවර හදක තෙත මිස
කවි චිතක දල්වන
සුසුම් ගිනි නැත මා සතුව...

''සමනලයෝ ඇසෙන්නෙද මෙය
ඔබට
නොදෙමි කිසි දින මම
මගේ හිත නම් කිසිවකුට
සින්නක්කර අයිතියට...''

2013.07.18

Tuesday, July 16, 2013

ජීවිතයෙන් දවසක්...






'' ටොරිංටන් බහින්න.. ටොරිංටන් බහින්න..'' උදෑසන බවවත් නොසලකා කොන්දොස්තර කරච්චල් කාක්කකු ‍සේ කෑ ගසයි. 

නිදහස් චතුරස්‍ර මාවතේ දී මම බසයෙන් බැස ගනිමි. අරුණැල්ල හෙමි හෙමින් අඩි තියා පැමිණියද උදෑසන තවමත් සිහිලැල්ය. තාප්ප වැටකඩුළු අහිමිව නිරුවත් වූ කුරුඳුවත්ත පොලිසියේ ධවලවර්ණ සිනහව එක්වරම නෙතට හසු වේ. සුවිසල් සොහොන්ගැබක් සිහි ගන්වන ඒ දසුනින් නෙත් මුදා ගනිමි.

නිදහස් මාවතේ නිද‍හසේ පා‍ වෙමි. පා පැදියෙන් සරඹ දක්වන ‍පොඩි උන්ට ඉඩ දී පා පැදි මං තී‍රුවෙන් අච්චුගත කළ කොන්ක්‍රීට් කැට මතට පිවිසෙමි. සීමා මායිම් නැති තණ නිල්ල නෙතට සඳුන් සිසිල අතුරමින් හිඳියි. තාප්ප, වැට කඩුළු, මායිම් බිඳුණු අවකාශය සිහිලෙන් නහවමින්, තුරු ලිය ළා දළු සමග කෝලිත්තම් පාමින් මඳ සුළං රැළි හමා එයි. නිදහසේ සරන්නට සුළඟට ඇති හිමිකම  අපට කොයින්ද? සුළග වුවද චරපුරුෂ සේවයක නොයෙදෙන්නේ යැයි කාට නම් කිව හැකිද?

අසිරිමත් තණ බිස්සේ හිතුවක්කාර ගහකොළ මුදා හළ වියළි කේන්තිය රැස් කරමින් හිඳින ළාබාල රණ විරු‍වෙක් නොදැමුණු හිනාවක් පිරිනමයි. 

නිදහස් චතුරස්‍රය ඈතින් දිස් වේ. චතුරස්‍රයක නිදහස යනු හුදු වදනක්ම පමණක් නොවේදැයි සිත කොඳුරයි. මම ජාතික පුස්තකාලය දෙසට හැරෙමි. පා පැදි මං තී‍රුවේ චොපර් බයිසිකලයක නැගී එන්නේ කිළිටි කමිසයකින් සැරසුණු හීන්දෑරි කොලු පැට්ටෙකි. සිනාවෙන් පිපිරෙන්නට තරම් වන දෑසකි. සිනා පිරි මුවකි. අහිංසක වත මඩලකි. බයිසිකලය ඔහුගේම නම් කොතරම් අපූරුදැයි මට සිතේ. එවැනි බයිසිකලයක, මෙවැනි මං තීරුවක යාමට උරුමයක් ඇති බවක් බාහිර රූපයෙන් පළ නොවේ. එනිසාම ඒ සිඟිති සතුට මටද බෝ වෙන්නාක් වැනිය. 

 මුරකුටියේ හිඳ බලා සිටින වැඩිහිටි මුවගටද ඒ සිනහව බෝ වේ. තවමත් මෙලෙස හදවතින්ම සිනා සෙන්නට හැකි වීම කොතරම් අපූරුද? 

පුවත්පත් අංශයට නික්මෙමි. හුරුපුරුදු සුවඳක් සොයා ඉපැරණි පත්ඉරු අතර සැරිසරමි. ඒ අතර සුපුරුදු නම් ගම් ද හමු වේ. 

සොයුරු ‍ලේඛකයෙකුගේ මග හැරී ගිය කවි හිතක ඇස නතර  වේ.  

කවියක් නොවූ ආවේග පෙළක්

ගොළුබෙල්ලන් වෙමු අපි

කාගෙ හෝ පයකට

පෑගෙන තුරා පමණක්

ජීවත් වෙන



කිසිදාක

පණ පිටින් හමු නොවුණු

මිත්‍රයෙක් නිදයි පස් පිඩැලි යට



ජනේලෙන් එපිට

පුංචි කොල්ලෙක්

තාලයට කවියක් කියයි

උගේ පා යටත් බිම් බෝම්බයක්

කාටවත් ඒ ගැන වගක් නැති



දුම් වැටියක් මිලට ගන්නා මුදලින්

ටොපි හය හතක් හෝ චොකලට් පෙත්තක්

මිලට ගත හැකියි

එහෙත්

දුම්වැටි මිලට ගැනීමේ පුරුද්දෙන්

නොමිදෙමි.



ටොපි චොකලට් මිහිරියි

ජීවිතයට ඇලුම් උපදවයි

ගොළුබෙල්ලන් නම් අප

කාගෙ හෝ පයකට

පෑගෙන තුරා පමණක් ජීවත් වෙන

ටොපි චොකලට් කුමට?



සාදුකට කැඳ ඉල්ලන

දරුවන්ට

මුදලාලිලා

පතුරොම් නොමිළයේ දෙති.



යුධ පුවත් තලුමරා අවසන

මිනිස්සු

දොර වසාගෙන

නිදියහන් වැද

කකුල් පටලවා ගනිති.



හැම පෑනක්ම

වඳ ගැහැණියක් වැන්න

කවි ලියන මගේ මිතුරන්ට

පුංචි ආරාධනාවක් කරන්නට හිතාගෙන ඉමි.



හැම සාක්කුවකම

පෑනක් නොවෙයි

පිස්තෝලයක්

රුවා ගත යුතුයි

අනුන්ට වෙඩි තබන්නට

නොහැකි නම්

පිස්තෝ‍ලයේ තොල්වල පහස

තම තමුන්ගේ

කන්මුලට තබා විඳ ගත යුතුයි.

අනුර කේ. එදිරිසූරිය
2002.01.27 රාවය මංජරිය

හෘද සාක්ෂිය ප්‍රශ්න කරන තවත් කවියක් ඇස් කොනිත්තයි. මෙ’කව එදාට මෙන්ම අදටත් වලංගු නොවේද?

යාපනේ අඹ

දකුණුලකෙන් පේවීගෙන

නාගදීපෙට වන්දනාවේ එන

මහත්වරුනි, ගන්න මේ අඹ

ගන්න, නෝනාවරුනි මේ අඹ



කර්තකොලොම්බම් මේ අඹ

ලැබුණේ නැති කොළොම් තොටට

ගන්න, මහතුනි මේ අඹ සැක හැර

නීරස නොවෙයි සහතිකයි. මේ අඹ

යාපනේ අපේ ජීවිතය තරමට



අනේ මහතුනේ මේ අඹගස් යට

අපේ ලේ කඳුළු සේසත යට වී ඇත.

පලා ආ විට ප්‍රාණය අතට ගෙන

අනේ, අපිට සෙවණ දුන‍්නේ මේ අඹ ගස්ය.



කපා දෙන්නං පළුවක්

රස බලන්නට මහතුන්ට

කකා යන්න, එපා සල්ලි

අනේ අපිටත් දෙන්න මහත්වරුනි

ජීවිතය ටිකක් හුස්ම ගන්න......


සාමිනාදන් විමල්
2002.08.25 රාවය මංජරිය

එදවස රාවය අදට වඩා පිරිපුන් යැයි මට සිතේ. සාහිත කලා ඇසුරටම වෙන් වූ මංජරිය  හරබර රස ගුලාවකි. මකරන්දය කවි රොනින් බරය. අද මකරන්දයෙහි රොන් සිඳී ගිය ලෙසකි. අතීතයේ රාවය අතපත් සැණින් පෙරළා බලන්නේ කවි තීරුවය. දැන් එය දෙවෙනි තු‍න්වෙනි තැනට වැටී, මකරන්දයෙන් ඇස මගහැරී යන අවස්ථා වැඩි වෙමින් පවතී. 

අතීත මුද්‍රිත අකුරු අතර සොඳුරු සැරිසර නිමවා මම ජාතික පුස්තකා‍ලයෙන් පිටවෙමි. 

නිදහස් චතුරස්‍ර මාවතේ සිට, නෙළුම් නොපිපෙන නෙළුම් පොකුණ අද්දරින් වැට කඩොළු බිඳ අත පය දිගැර හිරි අරින විහාර මහාදේවිය පසු කරමින් මරදාන දෙව් මැදුර දක්වා පා ගමනින් ඇවිද එමි. භෞතිකව බිඳ දමන සීමා මායිම්,  පවුරු පදනම්, වැට කඩුළු ඊට වඩා සියදහස් ගුණයක් දැඩිව නැගී හිඳිමින් අධ්‍යාත්මික, මානසික සිර කඳවුරු ඉදි නොකරන්නේද? 

ළ.ක්‍රි.වි. පියසෙදිත්, කන්‍යාරාමයෙදිත් සොයුරු සිත් මුණ ගැසෙමි. අපමණ ආදරයක සිසිලස විඳිමි.

මරදාන මරිය කඩේ මග හැර යාම පහසු මුත් පොත්කඩ මග හැර යා නො‍හැකිය. පොත් අතරේ නෙත් අතරමං වේ. නමුදු පසුම්බිය කරබාගෙනම හිඳියි. මාසික පඩිපත ලැබෙන දිනය ගැන සිහි කැඳවයි. පොත් අත ගා බලා ආපසු හැරී එමි. 

දුම්රිය ලැසි ගමනකය. සිත අතීත කතාබහක මතක සුවඳ අවුස්සමින් හිඳියි. විටක සිතුවිලි දුකින් බර වේ. තවත් විටෙක සිත පොපියා සිනහවක් මුව මත නළියයි. මම වටපිට බලා වත මත පිපි සිනහව සිත මත සතපා හුරතල් කරමි. 

සැඳෑ අඳුරට පෙර නිසංසලේ... නවාතැනේ ගිමන් නිවේ.

දුරකථනය නද දෙයි. ඒ ඔබ යි.

ප්‍රශ්නාර්ථ, විස්මයාර්ථ, කොමා මිස නැවතුම් තිතක් දකින්නට රිසි නැති දෙහෝරාවකුත් හරි අඩක් වූ හෘද සංවාදය අ‍තරේ දවස වියපත් වෙමින් තිබේ. කඳුළු.. සුසුම්.. රිදුම්.... සිනාවන්.. අතර අපමණ අපේක්ෂා, අභියෝග ඔබේ වදන් අතරින් ගලා විත් හදවත සිඹියි. 

ඔබේ ඇස් නොදකිමි. සිත ම දකිමි. ඔබේ වත නොදකිමි. සිත මත පොපියන බලාපොරොත්තුවේ පහන් එළි ම දකිමි. 

ඔබේ හදවත ‍මගේ ජීවිතයේ සදාකාලික නවාතැන්පළ විය යුතු නැති බව ඉඳුරාම පවසන ඔබේ ප්‍රේමණීය හදවතම විනිවිදිමි. 

ඉදින් මේ අතිශය සුන්දර, පිරිපුන් දවසක් නොවේ යැයි කාට නම් කිව හැකි ද?

මම සැනසිල්ලේ දෙනෙත් පියා ගනිමි.

2013.07.13