පිටු

Sunday, September 15, 2013

කිරිලි හිත සසැලවූ කුරුලු හිත


සතිඅන්තයේ ගම්බිම් බලා යන හුදකලා දුම්රිය ගමනට ඈ හැමදාමත් කාව හරි කැන්දගන්නවා.. කාව හරි කිව්වට අප්‍රාණවාචී කවුරු හරි.. ඒ කියන්නෙ පණ නැති මුද්‍රිත අකුරු අතරින් සුසුම් ඇහෙන, කඳුළු හැළෙන, සිනා නැගෙන පණ ඇති මිනිස්සුන්ගෙ හදගැහෙන රිද්මය අහුවුණ පොතක් වගේ දෙයක්.. වගේ දෙයක් කිව්වට ඇත්තටම පොතක්.. නැත්නම් පත්තරයක්...

කිරිල්ලියක් වගේ හෑල්ලු හදවතින් මෙදා වංගියෙ ඈ දුම්රියට නැගුණෙ ‘කුරුලු හදවත’ත් එක්ක. සරල කතන්දරයක හැඩරුව දැණුනා මුලින්ම. එක හුස්මට කියවන් යතෑකි. ඇයට හිතුණා. ඒත් මුල් පරිච්ඡේදයෙදිම කිරිල්ලිගෙ හිත සැළුණා අසාමාන්‍ය විදියට.. මෙන්න මේ අකුරු අහුර නිසා...

‘‘ඇදේ දිගා වී සිටි දිනසිරිට දීගල්ල කියන ගමේ නම ඇසුණ විගසම හරි මිහිරි හැඟීමක් ආවා. ගිය අවුරුද්දෙ ලොකු මාම බැන්දෙ කුලියපිටිය වළං හදන පොඩි ගමකින්. ඒ ගමටත් මිනිස්සු කියන්නෙ වළංගංගොඩ. ඒ නැන්දලාගෙ පොඩි ගමේ වලං හදන ගෙවල් දෙක තුනයි තියෙන්නෙ. ඒත් වළංගංගොඩ. පුදුමයකට වගේ ඒ ගමත් වෙල් යායක් අද්දර...”

පුදුමයකට වගේ මේ කියන වළංගංගොඩ තියෙන්නෙ කිරිල්ලිගෙ ගම කිට්ටුවමයි. ඈ ගියෙත් දීගල්ල රේවත මහා විද්‍යාලයටමයි. පුංචි කාලෙ  ඉස්කෝලෙ පිටිපස්සෙ දෙවට පාර දිගේ ඇවිත් වෙල් යායට ගොඩ වෙලා, ගඩාගෙඩි කඩමින්, රණ්ඩු සරුවල් වෙමින් වළංගංගොඩ මැදින් යන ගුරුපාරට ගොඩවෙලා, කොහුමෝල්, පොල් වතු  මැදින් ගෙදර ආ හැටි මතක් උණා.. ඒ තමයි ගෙදර එන්න තිබුණ දිගම, දුෂ්කරම මාර්ගය... ඒත් පුංචි කොක් රෑනට ඒ පාර තරම් හිත් ගත්තෙ නැහැ වෙන කිසිම පාරක්.

දැන් නම් නැන්දෙ මාමෙ කියල කතා බහ කරන ළෙංගතුකම් තිබුණත් ඒ කාලෙ හදිසියකටවත් වළංගංගොඩේ ගෙදරකට ගොඩ නොවදින උද්දච්චකමක් තිබුණා. අඩුම තරමෙ වතුර ඩිංගක්වත් බිව්වෙ නැහැ. ඒ ළමයි එක්ක මිත්‍රකම් වුණත් ඈතින්.. රණ්ඩුසරුවල් වුණාමත් කුලකතන්දර කියවුණා. පුංචි කමට කොහෙන් ආවද එහෙම සිතුවිලි. අනික තමන් පවා කුල පීඩනයක ගොදුරක් වෙලා ඉද්දි...

ඒ ගම් පළාතෙ අප්පුහාමිල, දිසානායකල, බස්නායකල, රාජපක්ෂල අතර ප්‍රනාන්දුල, පෙරේරල, කුරේරල වුණත් අහසින් වැටුණ වගේ මිනිස්සු. පරම්පරා තුනහතරකට එහායින් වගා කරන්න සිංහලේ යනව කියල ගෝණවිල, දංකොටුව, නයිනමඩම, බෝලවත්ත පැත්තෙන් ආව මිනිස්සු. දැන් නම් ආවාහ විවාහ වෙලා, නෑමිත්‍ර සම්බන්ධතා තහවුරු වෙලා, කාලය ගතවෙලා ගම්කාර පිටගම්කාර වෙනසක් නෑ. නැත්තෙමත් නෑ...

කිරිල්ලිත් ප්‍රනාන්දු කෙනෙක් වීම නිසා සිද්ද වෙච්ච හිත් තැවුල් මතක් උණා.. කුරුළු හදවතේ පිටුවෙන් පිටුව පෙරළෙද්දි...

ඈ ශිෂ්‍යත්වෙ පාස් වුණ වෙලාවෙ බස්නායක වලව්වෙන් එන්න කියල පණිවිඩයක් එවල තිබුණා. කොළඹින් කැන්දන් ආව සීදේවි මැණිකෙ. තාත්තගෙ බයිසිකලේ වාඩිවෙලා එහෙ ගිය හැටි තාමත් මතකයි.  ඒ මැණිකෙ කිව්වෙ විශාකාවට දාල දෙන්නම්. ඉන්න තැනකුත් හොයල දෙන්නම්. ළමයට හොඳට උගන්නන්න කියල. ඇගේ දුවත් ඒ විභාගයම ලියල ගොඩක් අඩු ලකුණු අරන් තියෙද්දිත් කිරිල්ලි වෙනුවෙන් දක්වපු කරුණාව වලව් අත්දැකීම්වල නොකිළිටි මතකයක්...

කිරිල්ලිගෙ ඉස්කෝලෙ ඒ කියන්නෙ දීගල්ල රේවත මහා විද්‍යාලයෙ ගුරුදෙවිවරු හිටිය ඒ කාලෙ. වැඩිදෙනෙක් ගමේම මිනිස්සු. ගම්කාර මාන්නයෙන් හිස උදුම්මා නොගත්. ඒ අතර කීප දෙනෙක් හිටිය කුරුලු හදවතේ සිරිමලී මැණිකෙ වගේ අයත්.. ඇයට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකකමත්, වසරේ හොඳම ශිෂ්‍යාව නාමයත් අහිමි වෙන්න බලපෑව එකම නුසුදුසුකම සිංහල කතෝලිකකම.... ඒ වෙනුවෙන් අරගල කළ ගුරුවරු පිරිසක් හිටිය බවත් ඈ දැනගත්තෙ ගුරුවරුන්ගෙන්මයි. ඒ නිසා සම්මාන සහතික නොලැබුණත් ඒ ආදරය ඇගේ හිතේ කෙටිල තියෙනවා. තාමත් මගතොටක දැක්කත් නැමිල වඳින්න හිතෙන්නෙ ඒ දක්වපු මනුස්සකම නිසාමයි.

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමෙදි ඇයට වැරදීමකින් පළඳවල තිබුණෙ ප්‍රධාන ශිෂ්‍ය නායිකා බැජ් එක. ලැබිය යුතුව තිබුණෙ නිකම්ම ශිෂ්‍ය නායිකා බැජ් එකක්. පහුවදා ඒකත් අරන් විදුහල්පතිතුමා ළගට ගියාම ‘‘ වැරදීමකින් උණත් ඔය ළමයට ලැබිල තියෙන්නෙ හරි බැජ් එක.. ඔන්න ඕක තියාගන්න..” කිව්වා. ඉන්පස්සෙ ඉස්කෝලෙන් අස් වෙනකල්ම ඈ පැළැන්දෙ ප්‍රධාන ශිෂ්‍ය නායිකා බැජ් එක.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එද්දි කිරිල්ලි හිටියෙ පිට්ටනියෙ. එල්ලෙ මැච් එකකට ලෑස්ති වෙමින්. ඒ දවස්වල ඈ එල්ලෙ ටීම් එකේ කැප්ටන්. සමස්ත ලංකා පවා ගියා එල්ලෙ ගහන්න. ඉස්කෝලෙ දෙපැත්තක්ම වටවෙලා තිබුණෙ කැලෙන්. උණ බම්බුවක් හොයා ගන්න එක මහ දෙයක් නොවුණ ඒ පළාතෙ රබර්  බෝලයක් ඇරෙන්න වෙන පහසුකමක් ඕන උනෙත් නැති නිසා එල්ලෙ තමයි ඔවුන්ට ගැළපුණම ක්‍රීඩාව. කොන්වන්ට් එකේ කෙල්ලො බිංදුවට පැරදුණාම ඔච්චමට කියන්න පුරුදු වෙලා හිටියා ‘‘ මේගොල්ලො ඉතින් එල්ලෙ පිති කපල තියෙන්නෙ පෙකණිවැල උඩ තියාගෙනනෙ ” කියල.

‘‘අන්න ප්‍රතිඵල ඇවිත් ගිහිල්ල බලල එනවලා...” ක්‍රීඩා සර් කෑගැහුවා. ‘‘එල්ලෙ ගැහුවට පාඩුවක් වෙලා නැහැ” කිරිල්ලි ගුරුතුමා ළගින් විදිල්ල වගේ ඉගිලෙද්දි ඔහු හිනැහිලා එහෙම කිව්වා.

ප්‍රතිඵල බලල ආපහු හැරෙද්දි සිරිමලී මැණිකෙ.. නෑ ඒ කුරුළු හදවතේ සිරිමලී මැණිකෙ නෙවෙයි. ඒ වගේම බොහොම හිතට ගත්තු වෙන මැණිකෙ කෙනෙක්.

‘‘හොඳයි සන්තෝසයි. විභාගෙ පාස්වෙලා තියෙන්නෙ හොදට. සයන්ස් කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා. ඔය ළමයින්ගෙ දෙමව්පියන්ට බෑ ඕවට වියදම් කරන්න. පන්ති යන්න ඕන. කුරුණෑගල නැත්නම් මීගමුවෙ. පොත්පත්වලට හුගක් සල්ලි ඕන.. කලා හරි කොමස් හරි කරන්න.”

අතක පයක ඇණුන කටුවක්වත් ගන්න බැරි කිරිල්ලිට දොස්තර හීනයක් තිබුණෙ නැහැ කවදාවත්. එහෙව් එකේ මෙහෙව් කතන්දර මොකටද? ඒ උද්දච්ච කතාව ඇගේ හිතේ කොණක ඇමිණිලා තියෙනවා අමතක නොවෙන්නම.

‘‘ඔයාගෙ ඇගේ ලේවලත් තියෙන්නෙ කලාව. ඒ හින්ද ඔය ළමයා කලා විෂයන් කරන්න.” එහෙම කිව්වෙ සිංහල ගුරුතුමී. ඒ අවවාදෙ නොකිළිටි ගොයිගම හදවතකින් පැන නැගුණක් බව කිරිල්ලි දන්නවා.

ආයෙම කිරිල්ලිගෙ හිත සැලෙන්න ගත්තා දිනසිරි කුරුලුගංගොඩ ගුවන් විදුලියට තැපැල්පත් දාන සිදුවීමෙන්...

ඇගේ ඉරණමත් කණපිට පෙරලුවෙ ඔය වගේම තැපැල්පතක්.. සෙලාන් ගී සාදයට කවියක් දැම්ම තැපැල්පතක 96 උඳුවප් මහේ දවසක... ඊළඟ ශනිදාවෙම ඒ කවිය කියැවිලා තිබුණා කමල් දේශප්‍රියගෙ හඬින්.. කිරිල්ලිගෙ කූඩුවෙ ලිපිනයත් වැරදියට ලිව්ව ලියමනක් මග අහගෙන කොහොමින් කොහොමින් හරි කැදැල්ලටම ඇවිත් තිබුණා. ඉමක් කොණක් නැති කතාවක ආරම්භයක් වුණා ඒ තැපැල්පත... අවුල්තැවුල් ගිරිදුර්ගය තරණයක අවසානයෙ දැන් ඈ සුවිසල් අහසක් හිමි කිරිල්ලියක්.. හිතේ හැටියට පියඹන්න නිදහස තියෙන. ඒත් ඒ අහසෙ ඈම ලකුණු කර ගත්ත සීමා මායිම් තියෙනවා. ඒ ආත්මාරක්ෂාවට කියලයි ඈ කියන්නෙ. ඒත් ඇත්තම කතාව නම් ඈ හරිම බයගුල්ලියක්..

දැන ගියොත් කතරගම.. නොදැන ගියොත් අතරමඟ කිව්වට කිරිල්ලි ඉගිල්ලුණේ කොහෙත්ම දන්න අහසක නෙවෙයි. මගතොටක් අහගෙනත් නෙවෙයි. හිතේ හෝදිසියට ඔහේ ආව ගමනක්... වෙලාවකට කිරිලි හිත යකඩ පිහාට්ටක් කර ගත්තත් ඒකත් ඉරිතැළිල කඳුලු ගලන වෙලාවල් තියෙනවා. ආපහු හැරිල බලද්දි හිතෙනවා. කුරුලු හදවත වගේම කිරිල්ලිගෙ හදවතත් නවකතාවක් නේද කියල.

දුම්රිය ගමන නිමවෙද්දිත් කුරුලු හදවතේ කිචිබිචිය නිමි නෑ.. ඇත්තටම එක හිතින් කුරුලු හදවතත් එක්ක ගමන යන්න බැරි තරමට අතීත මතක එබි එබී හිත අවුල් කළා. ඒ හින්ද ‘කුරුලු හදවත’ ගැන වෙනම සටහනක් ලියන්න කිරිල්ලි එක හිත් හිතා ගත්තා.



මතුපිටින් පෙනෙන සරල සුන්දර කතන්දරයට එහා ගිය කටුක යථාර්ථයක් ලියනගේ අමරකීර්ති ‘කුරුලු හදවත’ ඇතුළෙ ගැඹුරින් ස්පර්ශ කරන්න උත්සාහ දරනවා. අපි හැමෝම ඉන්නෙ හතරවටින්ම හංස ගීත ඇහෙන කාලෙක නේද කියලත් කුරුලු දියවන්නා ඔයේ හැංගිලා යද්දි කිරිල්ලිට හිතුණා. 

Tuesday, September 10, 2013

සිකුරා නළල් තලේ...






අම්මපා සිකුරු කියන්නෙ නම් මහම මහ අමාරුකාරයෙක්... සුන්දර කරදරකාරයෙක්.... ඔලමොට්ටලයෙක්... මෝඩයෙක්... දුෂ්ටයෙක්....  

ඇත්තමයි මේ කියන්නෙ. අද්දැකීමෙම්ම යි.... 
කාලෙකට ඉන්නවා උන්නද මළාද වත් නොබලා.. ආයෙම හතර අතේ විසිරිලා තියෙන හිත් අවුස්සල දානවා පුළුන් ගෙඩියක් ඉහිරවනවා වගේ... 

එකම දවසක් ඇතුළෙ මේ හැටිම පෙම් කතන්දර.. සිකුරු උච්ච වෙලා දෛවය තුච්ච බව මතක් කරල දුන්නු උද්දච්ච දවසක්... පෙම්බර සැප්තැම්බරයේ නපුරු නමය ....

මැදි වයසත් පේන නොපේන මානෙ කොලොප්පම් කර කර ඉද්දි, නර කෙසුත් එබිකම් කර කර ඉඟි බිඟි පාද්දි සිකුරුටත් ඔල්මොරොන්දන්ද මන්ද ? ළපටි කොලු කෙලිත්තියො ඕන හැටියෙ ඉද්දි මං වටේ පෙම් උගුල් අටවන්න මේ හැටිම අර අදින්නෙ...

උදෙන්ම නිසොල්මනේම පියාඹගෙන ඇවිත් කවියක් දුරකථන තිරයේ ලැගුම් අරගෙන... මල්පියල්ලක් සුළං රැල්ලකින් සැලිලා ... වෙළිලා .. කිතිකැවිල යනව වගේ හිතත් සිලි සිලියෙ සෙලවිලා ගියා..

මම රාත්‍රිය නිසා .... ඔබ තරු ලකුණක් වීදෝ
ඔබ තරු මිණක් නිසා ... මම රාත්‍රියම වීදෝ
මම රාත්‍රියම වීදෝ.........
ඔබ මට නොදිසෙන දිව නිල් අහසේ
නෙත් වෙහෙසන්නැහැ මං
වෙනස් නොවී ඔබ ... පෙරදා වාගෙම
එතැනම ඉන්නව නම්....
ඉන්නා බව දැනෙනවනම්....

කවියක්ද? ගීතයක්ද? තාලයක් මතුවුණා හදවතින්ම... මං හෙමිහිට මිමිණුවා... ( දන්නවා බලන බව මේ සටහන. ලියා එවන්න ඉතිරියත්. මගේම තාලෙකට මුමුණ මුමුණ ඉන්න බැරියැ.. තනිකම කන්දොස්කිරියාවක් වෙලා හිත ළග මැසිවිලි නගන වෙලාවට... )  

මේ තරම් සුන්දර පෙම්බර කවි හිතක් මග ඇරෙනකල් මර නින්දෙ හිටිය සිකුරු අල්ල ගන්න ඇත්නම් මට.....

හවස් යාමෙ තුන් හතර වතාවක්ම ඇමතුම්... ඉපැරණි සොල්දාදු පෙම්වතා... හීනියට හිත ඉරි තැළෙනව නම දකිද්දි තාමත්... පිස්සුද හැටිද අනේ මන්ද? කොහොම උණත් ‍වසර 15 ක නොකැඩී කැඩි කැඩී යන මිතුදමේ නිල උරුමකරු ඔහුම යි. මම දිය යට හංගන මිත්‍රත්වයේ, සෙනෙහසේ රබර් බෝලෙ අරන් හිටි ගමන් උඩ මතුවෙනවා... ඔහු ම... එපා කිව්ව‍ට අහන්නෙත් නැතිවම...

''ඇයි මේ කවදාවත් නැතුව.. ඔයාට මොනා හරි ප්‍රශ්නයක් ද? නැත්නම් මොකුත් උදව්වක් ඕනෙ වෙලාද?" මනුස්සයගෙ තරම දන්න හින්දම මං ඇහුවා... ‍සෞම්‍ය එළඹීමකින් නම් නෙවෙයි පොල්ලෙන් ගහන්න වගේ...

ඔයා තමයි මේ ලෝකෙ මට ඉන්න එකම දුෂ්ටයා... විහිළුවට වගේ මං එහෙම කියද්දි හක හක ගාලා සැහැල්ලුවෙන් හිනා වෙන්න පුළුවන් තරමට  කිසිම වගකීමක් නැති තක්කඩි මිත්‍රයෙක් ඔහු.

''අයියෝ....... නෑ පිස්සුද? නිකං කතා කළේ... දුක සැප බලන්න..." එහෙම කිව්වත් දිග්ගැහෙන කතාබහේදි දැනෙනවා ප්‍රශ්නයක් බව... මංසලකට ඇවිත් කොහේ යන්නද අහනව මගෙන්... '' මට වෙන කවුරුත් නෑනෙ මේ වගේ දේවල් කතා කරන්න.. "

හිත කොණක සොහොන්ගත කරල ඇටසැකිල්ලත් දිරල ගිය ප්‍රේමයකට පණ දෙන්න හදනව ද? ඔහොම්මමයි හැමදාම.....  හිත හදාගෙන සැනසිල්ලෙ එක මගක යද්දි මැදින් කඩන් පනින කඩාකප්පල්කාරයෙක්.. මේ සැරේ නම් බැරි වෙයි පැහැර ගන්න හිතෙන් අංශුවක්වත්...

'' මං සීරියස්මයි කියන්නෙ.. දැන් මං මගේ ජීවිතේ යන්න ඕන පාර තීරණය කරල ඉවරයි. ආයෙම හැරෙන්න මට බෑ.. ඔයාගෙ වගකීමක් නැති වැඩ හින්ද ඔයා ඔයාටමත් කර ගන්නෙ අසාධාරණයක්.. ජීවිතෙන් අවුරුදු ගාණක් බලාපොරොත්තුවකට යට කරල බලන් ඉන්න වෙන එක කොයි තරං අපරාධයක්ද? ආයෙ නම් මං එහෙම මෝඩකමක් කරන්නෙ නැහැ. ඇත්තමයි... ඔයා මට හොද යාළුවෙක්.. යාළුවෙක්.... යාළුවෙක් විතරමයි...''

මගේ ආදරයට, ඇණුම්බැණුම්වලට හැදෙන කෙනෙක් නම් මේ වෙද්දි අපේ ළමයි ඉස්කෝලෙත් යනවා.   ඒ හින්දා ඇවිළෙන්න හදන හිත සන්සුන් කරගෙන සාමකාමී ධර්ම දේශනාවක් අවසා‍නයේ මං යාළුකම තහවුරු කළා... එයාට ව‍‍ගේම මටත් ඒත්තු ගන්වන්න. යාළුකමෙන් එහාට කවදාවත් යන්න බැරි අපේ හිත් ගැන ..

හපෝ මේ සිකුරු, හිත එක තැනක තියාගෙන ඉන්න දෙන්නෙම නැති හැටි... .....

පාවුලෝ කොයියෝගෙ ''මා නොවන මා" නිදි පෙත්තක් විදියට අතේ තියාගෙන සයනාසනාරෑඪ වෙලා ඉද්දි ආයෙම නාඳුනන අංකයකින් ඇමතුමක්... නමක් ගමන් නොකියා නැළවෙන්න හදන පිරිමි හඬ ගැන මට දැණුනෙ නොරිස්සුමක්... සහෝදර ප්‍රේමයෙන් ළං වෙලා මානසික වධ බන්ධන පමුණුවන කෛරාටික පිරිමි පරාණයක් ගැන සංකා සිතින් මං ටිකක් තදින් කතා කළා...

'' ඒයි මචෝ මං .................. කැම්පස් එකේ...'' එවර ඔන්න නාඳුනන්නා බය වෙලා හැඳුනුම්පත ඉදිරිපත් කළා. මදෑ... අහිංසකයා... තව ඩිංගෙන් මං බැනල ඇමතුමත් විසන්ධි කරනවා.

දෑසම නොපෙණුනත් හදවතින් ලෝකෙම දැක්ක අපූරු යාළුවෙක් ඔහු. ගීතයෙන් සරසවි බිම ගීතවත් කළ, කොයි වෙලේ බැලුවත් මල් යායක් මැද උන්නු හැන්ඩි කොළුවා... අතේ සුදු සැරයටියයි, මුවේ පෙම් ගීතයයි වැරදුණේ නැති...

'' අද ෂෝ එකකට ආවා හොටෙල් එකක. ගෙදර ගියෙ නෑ බං... කම්මැලිකමට කතා කළේ. ''

 බං බොලං මිත්‍රත්වයෙන් අතීතයට ගිය අපි නතර වුණේ සරසවි පෙම් කතන්දර මැද. අන්ධ අඳුරට පෙම් බැන්ද හිත අයිතිව තිබුණෙ මගේ හොඳම යෙහෙළියකට. ඒ නිසා ඒ පෙම් කතාවෙ අගමුල මං දැනන් උන්නා... මගේ කතා දැනන් උන්නෙ මං ම විතරයි. ඉතින් තනිකඩ ජීවිතේ නිධාන කතා, අතීත කතා, වර්තමාන කතා මැද දන්නෙම නැතිව හදවත් කතා කරන්න අරගෙන.

''හැමදෙයක්ම ලැබිල තියෙනවා බං.. ඒත් ජීවිතේ මොකක්දෝ හිස්තැනක් තියෙනවා. අඩුවක්. කොහෙද ඉතින් උඹ ඒ කාලෙ අපිව ගණන් ගත්තෙ නෑනෙ. "

වැඩි බජනයක් නොතිබුණත් අපි අතර අදෘශ්‍යමාන රැහැනකුත් තිබුණා මිත්‍රත්‍වයේ.. . ඒ දවස්වලත් මට මතකයි කෙල්ලො සීයක් මැද හිටියත් මං කතා කළ ගමන් මගේ හඬ අඳුන ගන්නවා. ගී හඬ ඇහුණොත් මමත් නැවතිලා අහන් ඉන්නවා.. එතනින් එහාට දෙයක් තිබුණෙ නෑ.

'' ඒ කාලෙ අපි මොකටද කොච්චරවත් හිටියෙ මල් කුමාරය වගේනෙ... වටේටම කෙල්ලො...'' මං හිනා උණා.

'' ඇස් පේන්නෙ නැති එකා මමනෙ. උඹට තිබුණනෙ මල් යාය පීරගෙන ළගට එන්න. ''

ඔන්න සිකුරු පාර වරද්දගන්නයි හදන්නෙ... මං රතු එළි දැල්ලුවා. අදෘශ්‍යමාන තරංග වෙලා ගිහින් හිත ළග දැල්වෙන්න.   

'' එන්නං වෙලාවක ඒ පැත්තෙ.. ආසයි මට උඹේ ප්‍රිය බිරින්දෑ අඳුන ගන්න..ඒ පින්වන්ති... පෙම්වන්ති... දැන් පත්නි.. ''
ඒ මගේ යෙහෙළිය නෙවෙයි. වෙනත් ස්ත්‍රියාවක්.... මෑත දිනෙක යෙහෙළිය හමු වුණා දුම්රියක.. දරුවයි ඒ දරුවගෙ තාත්තයි එක්කම.

ඉක්බිති ප්‍රිය භාර්යා වර්ණනාව... මමත් ප්‍රීති නාද දෙමින් අහන් උන්නා.

ඇමතුම විසන්ධි කරන්න කළින් බලහත්කාරයෙන්ම ගීතයක් අහ ගත්තා.. සරසවියෙ මතක මල් පෙති හිතින් පිරිමදිමින්...

මං ළග පිරිල ඉතිරිලා පිටාර ගලන ආදර උල්පතක් තියෙනවයි කියල ප්‍රේම පාරාදීසෙ අතරමං වෙලා ඉන්න මේ අහිංසක නරපණුවො හිතන් ඉන්නවද මන්ද? දෙයියො දනී. මමත් මේ යන එන මං නැතිව හිස් හදවතත් අරගෙන ළතැවිල්ලෙ බලන් ඉන්නවා මගේ ප්‍රේම උල්පත ළග.... කොයි වෙලේ වෑහෙයිද කියල ආදරේ බින්දුවක්.... 
හිත සැ‍නහෙන එක වචනයක් ඇහුණත් හිතේ පිපෙනවා මල් දහසක්... මනින්න බැරි තරම් දුරක හිටියත් රැකවල් දේවදූතයෙක් වගේ ජීවිතේ ළගින්ම ඉද්දි හිතෙනවා අයිතියක් මොකටද ඉතින් මෙහෙව් පෙමකට කියලා....

ඕන්න ඔහොමයි ජීවිතේ හැටි.. චක්කරේ වගේ කැරකෙනවා එක තැන... එකම විදිහට... . හිස් හදවත් තියාගෙන වට වන්දනාවෙ යනවා අපි. අහිංසක නර පණුවො නෙවෙයිද මේ හැමෝම කොහෙදෝ තියෙන ජීවිතයක් හොය හොයා දුව ඇවිදින...

අම්මපා අහුවුණෝතින් සිකුරු මට අල්ලලා හකුරු කරල හංගනවා වක්කඩේ සත්තමයි... මෙන්න කැට...


2013.09.09

Saturday, September 7, 2013

‘‘මා ඔබේ සහෝදරී”



ඇස් කෙවෙණි රිදුම් දෙයි. බලහත්කාරයෙන් සිර කළ කඳුළු කැට ඇස් අගිස්සේ පෙරළි කරයි. සුසුමකට මුවා වී හුස්ම ද හිර වෙනු ඇතැයි මට සිතේ.

‘‘මට සමාවෙන්න.. හැමතිස්සෙම මට අමතක වෙනවා. මං විතරයි ආදරේ කියල.” හතර අතේ දුවන සිතුවිලි එක්තැන් කොට වචන බවට පෙරළන්නට මම වෙර දරමි. හිත අකීකරුය.

‘‘දැන් මං කිව්වද එහෙම කතාවක් ” නොරිස්සුම් වේදනාවක් කැටි වු වදන් යළි හිත මත පතිත වේ.

‘‘ ආදරේ නෑ කිව්ව නං මට හිත හදා ගන්න පුළුවන්... ඒත් ඔයා නොකියා  කියන්නෙ ආදරේ කරන්න එපා කියල. ආදරේ කොන්දේසි විරහිත වෙන්න ඕන කියන ඔයාම මට කොන්දේසි දානවා..........   කොන්දේසි විරහිතව ආදරේ කරන්න කියන එකම බරපතළ කොන්දේසියක් නෙවෙයිද ? ”

සියුම් කේන්තියක් මතු වෙමින් එනු දැනේ. කෝපයක් අවුලුවා ගැනීම යහපතක් විය හැකිය. නෙතග කඳුළු අරගලයට ඉන් සෙතක් සැලසෙනු ඇත. 

‘‘ආදරේ කියන්නෙ නිදහසට කියන තවත් නමක් කියන ඔයාට බැරි ඇයි මගේ හිතට දැනෙන්නෙ මොනවද කියල අඩු තරමෙ අහන් ඉන්නවත්... එහෙම කියන්න නිදහසක් .... අඩු තරමෙ මගෙ හිතේ තියෙන දේවල් ඔයාට ලියන්න නිදහසක්වත් මට නැද්ද? ... ”

රිදුම් දෙන සිත අතීත මතක මත එල්ලෙයි.

‘‘මට මෙයා කියන්න එපා...” කතා බහක අතරතුර මගෙන් ගිලිහුණ වදනක් අල්ලාගෙන ඔහු සැර විය. අනතුරුව වැරදීමකින්වත් එයා මෙයා නොකියන්නට මම පරිස්සම් වූයෙමි. එල්ලෙන්නට වැලක් අවැසි නම් එය මම ම සපයා ගනු මිස ඔහු සමග එල්ලෙන්නට මට උවමනා නැත. පිළුණු ප්‍රේමයක නීරස වැළඳීම ජීවිතය ම අජීර්ණ කරවන්නකි.

‘‘ සහෝදරී කියන වචනෙට මං පොඩ්ඩක්වත් කැමති නෑ. ” දිනක් මම ලියා තැබුවෙමි.

නමුත් හැරෙන තැපෑලෙන් ආ ලියමන ඇරඹී තිබුණේ ද සිත මත දුක අතුරමිනි.

‘‘ සහෝදරී ”

මම ඇතුළතින් දැවී ගියෙමි. මා ප්‍රේමය යැයි සිතා සිටින දෙය මේ හෘද සංවාදය මත දිග හැරිය හැක්කක් නොවන බව මසිත පුන පුනා මට ම අනතුරු අඟවයි.

ඉදින් මුනිවත ම මගේ ආත්මයේ දෝංකාරය බවට හරවා ගනිමි.


ඔහු ගේ දහසක් සහෝදරියන් අතර එකියක වන්නට මට අවැසි නැත. එසිත මත ලැගුම් ගෙන, නික්ම ගිය ප්‍රේමයේ සුළං රැළි බොහෝ කවිවල අකුරු අතරින් එබිකම් කරනු මම දැක ඇත්තෙමි. එබඳුම තවත් කවියක සුසුමකට නිමිත්තක් වී රැදෙන්නට මට අවැසි නැත.

අපේ බැඳුම ඔහුගේ ජීවිතයේ අතිවිශිෂ්ඨතම බැඳුම නොවන බව මම දනිමි. නමුත් මගේ දිවියේ සුන්දරතම, විශිෂ්ඨතම බැඳුම ය  මෙය. සදහටම එය එසේ නොවිය හැකි මුත් අද මට දැනෙන්නේ එලෙසිනි.

පුරුෂ ලෝකයේ අවලස්සන ආත්මාර්ථයට නැවතත් සිත රිදවන්නට ඉඩ නොදෙමියි කොතරම් සිතා සිටිය ද කරුමය වන්නේ ප්‍රේමය නොදන්නා අහුමුළුවලින් හීන් සීරුවේ හදවතට රිංගා ගැනීම ය.

මම දැන් සෑම ලිපියක්ම මෙලෙස අවසන් කරමි.

‘‘මා ඔබේ සහෝදරී”

එලෙස ලියන හැම විටකම මගේ හද දෙදරවා ඉරි තැළී යනු මට දැනේ. 

දෝතින්ම ගෙන හිස දරා ගත් කටු ඔටුන්න මම තව තවත් හිසට ම තද කර ගනිමි. කටු ඇනී, සිදුරු වී හදවතින් ලේ ගලන යුරු සිත්පිත් නැත්තියක සේ බලා හිඳිමි.


Friday, September 6, 2013

නිම් නොවන රිදුම්



සිත මත හතර අත
පහුරු ගා වදන් සැත
නිම් නොවන රිදුම් දෙත...


රන් කිණිසි තුඩ
පෙමින් පණ ලැබ
පළයි හදවත....


රන් හුයෙන් යළි
ගෙත්තමින් දිලි
පෙම් වදන් සැලි
ගෙනෙයි සැනසිලි


සැදැත් විල් තෙර
හදත් මල්වර
සැදැත් කුලවර
කොහිද ඇත්රද....












Tuesday, September 3, 2013

පොත්ගුල්ලන්ට ආරාධනාවක්...

ආදරණීය ආරාධනාවන් දෙකක් ඇත.

දෙකම හෙට ය. එකම විට ය. දෙතැනම එක විට පෙනී සිටින්නට මනෝකායකුත් වී නම් අගේ යැයි සිතේ. එවැන්නක් නොවන නිසා දෙතැනටම කාලය බෙදා දෙන්නට සිතා සිටිමි. මක්නිසාද යත් වැඩ දෙකම අපේ වන නිසාය.




වසර 15 ක පමණ අතිදුෂ්කර එහෙත් සුන්දර ක්‍රියාවක ප්‍රතිඵලයක් වන යොවුන් පියවර සගරාව/යොවුන් පියවර එකමුතුව මගින් පළ කර ඇති ‘‘සොුරු නව යෞවනය පෝස්ටර් ඇල්බමය ජනගත කිරීම  හෙට (2013.09.04 ) සවස 3.00 ට මරදාන ඩීන්ස් පාරේ සමාජ හා සාමයික කේන්ද්‍රෙයේ දී පැවැත්වේ.

ප්‍රධාන දෙසුම් මහාචාර්ය ප්‍රණිත් අබේසුන්දර සහ කර්තෘ මහින්ද නාමල් විසිනි.


සොඳුරු සැරිසර හනමිචිය දිගේ ජපානයටත්, සොඳුරු සැරිසර සේද මාවත දිගේ චීනයටත් අප කැන්දන් ගිය ඇත්තෝ දැන් සූදානම් වන්නේ සොඳුරු සැරිසර සරවක් නදිය දිගේ අප මැලේසියාවට කැන්දන් යන්නට ය. සමන් අතාවුදහෙට්ටි නම් වන සුන්දර රස්තියාදුකාරයාගේ නවතම කෘතිය එළිදැක්වීම හෙට ( 2013.09.04 ) සවස 3.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.





රිසි සිතැති, ඉඩ ද ඇති පොත් කැමැත්තෝ සහභාගි වෙත්වා.

Sunday, September 1, 2013

වරදකාරී හෘදය සාක්ෂියක රිදුම




වරදකාරී හෘදය සාක්ෂියක රිදුම ද සමග මම කුරණ ‘‘ගාමිණි පාර නැවතුමෙන් බසයෙන් බැස ගතිමි. ඉකුත් පෙබරවාරියේ දවසක මුල් වරට මේ මග ම මා ඔහු හමුවන්නට ගියේ මෙවැනි ම සුන්දර උදෑසනක ය. අධ්‍යයන කටයුත්තක් සහා අවැසි ලියවිලි කිහිපයක් සොයා ගන්නට ය.

ඔහු චිත්‍ර ශිල්පියෙකි. චිත්‍ර ගුරුවරයෙකි. චිත්‍ර සාහිත්‍ය කලා විචාරකයෙකි. කවියෙකි. ලේඛකයෙකි. බොහෝ කලාවන්හි දස්කම් පෑවෙකි. ‘‘ශ්‍රී ලංකාවේ නූතන චිත්‍ර මූර්ති කලාවේ නව ප්‍රවණතා කෘතියේ කතුවරයා ය. ඒ සියල්ලටම වඩා සුන්දර මිනිසෙකි. අප හමු වුයේ එකම දිනක් පමණක් වුව ද එය සදාතනික මතක සැමරුමකි.

ඒ ෂෙල්ටන් ආරච්චිගේ මහතාය.

මා සොයා ගිය ලිපි ලේඛන කිසිවක් ම හමු නොවුණත් මට තවත් සොඳුරු මව්පිය යුවළක් හමුවිණි.

එදා ගන්ධාරි කලායතනය අබියස වැසී තිබුණු ගේට්ටු පියන් අද මුළුමනින්ම විවෘතව තිබිණි. සුදු රැළි පාලම් කොඩියක් හිසට ඉහළින් ලෙළ දුනි. සදාකාලික වියෝ වේදනාවේ තරම අකුරු කළ බැනර් හතර වට ය.

එදා මා සමග වාඩි වී කතා කළ, විහිළු කළ, සෙනෙහස පෑ වේවැල් පුටුව ඉස්තෝප්පුවේ හුදකලාවම ළතවෙමින් සිටියේය.

‘‘අනේ මහත්තයා බලන්නකො මේ තරංගි ඇවිත්.. ඔයා කිව්වෙ තරංගි එයි කියල නිසල දෙන අබියස ඈ හඬා වැළපුණි. 

ඒ ඔහුගේ ප්‍රිය බිරින්දෑ ය. 

‘‘ ටෙලිෆෝන් එකෙන් කතා කළ හැටියට මං හිතුවෙ සාරි අදින, සෑහෙන වයස කෙනෙක් කියල... බැලුවම මේ බටු ඇටයක් නෙ....“ එසේ කියා හිනැහෙන්නට අද ඔහු අවදි වන පාටක් නැත. 

මවිසින් ම දල්වා ලූ සිහින සැබෑ කරලන්නට පමා වීම පිළිබදව මම සිතින් සමාව යැද්දෙමි. එසේම එකී සිහිනය ඉටු වන තුරු නොඉ අප හැර යාම පිළිබව දොස් කියන්නට ද මට අවැසි විය.

‘‘ පෙරේදා ඔයා කතා කළාට පස්සෙ මං කිව්ව තරංගි කතා කළා. එයාගෙ පොතකට ඔයාගෙ ලිපියක් ගන්නව කිව්වා. ඔයාගෙ විස්තරත් ඇහුවා ඔයාගෙ පොතක් පළ කරල උපහාර උත්සවයක් කරන්නත් එයාලගෙ අදහසක් තියෙනවා කියල. ඉතින් හරි සන්තෝස උණා...

සැබවින්ම මා කතා කළේ සිකුරාදා සවස ය. ඔහු සමුගෙන ඇත්තේ එදින ම රාත්‍රියේ ය. කොතරම් දෛවෝපගත ද?

පෙර කී අධ්‍යයන කටයුත්ත වෙනුවෙන් අවැසි ලිපි සොයමින් ඉපැරණි රාවය පත්තර පෙරළන විට මම ෂෙල්ටන් මහත්මයා විසින් ලියා තිබූ ලිපි, කවි ද එකතු කළෙමි. ආර්.ආර්. සමරකෝන්, සුනිල් ශාන්ත, මහගමසේකර, කෝකිලදේවි වැනි කලාකරුවන්ගේ අනුස්මරණ වෙනුවෙන් ඔහු ලියූ කවි, ලිපි ඒ අතර බොහෝ විය. එවන් කළගුණ දත් අපුරු කලාකරුවකු සාහිත්‍ය කලා ලොවේ බොහෝ දෙනෙකුට අමතක වී තිබිණි. වසර දහයක පමණ කාලයක් ඔහු රෝගාතුර නිහැඬියාවක ගිලී සිටීම එයට හේතුව ද?

‘‘ පෙරේදා රෑ දොළහමාරට විතර දාඩිය දාලා හොදටම නැගිට්ටා.. අමාරු ගතිය දැණුනා. එයාම පන්සිල් අරගෙන, මෛත්‍රී භාවනාව කරල, මම නිදුක් වෙම්වා කියල තුන්සැරයක්ම කිව්වා... ඉන්පස්සෙ ඉතිපිසෝ ගාථාව කිව්වා..ගෙයින් එළියට බහිනකල්ම. ඉස්පිරිතාලෙ යන්න බැහැම කිව්වා.. ඒත් අපි අරගෙන ගියා... මගදි නැති වුණේ...

පහුගිය කාලෙ දිගටම ඇහුවෙ බෞද්ධයා චැනල් එක. කියෙව්වෙ බෞද්ධ පොත්පත්... අන්තිමට කියව කියව හිටියෙ නිවන් මග කියල පොතක්...”

ඇය පොත මවෙත ගෙනෙන්නී ය. මම නිවන් මග පෙරළා බලමි. ඒ මග අපට කොතරම් දුර ද?

‘‘හරිම ආසයි අර සින්දුවට.... ඇසේ මධුර ජීවනයේ ගීතා... එදත් මුණුබුරු මිණිබිරියො වට කරගෙන ඔය සින්දුව කිව්වා...”

‘‘ එයා මරණයට සූදානම් වෙලා හිටියෙ. මටත් බණ දහම් කියල දිදී මාවත් සූදානම් කළා. මහත්තයා සැනසීමෙන් මරණයට මුහුණ දුන්නෙ.. එයා වාසනාවන්තයි...”

සෙවණැල්ල සේ ළග සිටි ඔහු ගේ දයාබර බිරිඳ පවසන්නී ය. අපේ උපහාර නැතිවාට අඩුවක් වී නැතැයි මට සිතේ. නිවී සැනසුණු සිතින් ඔහු මෙලොව අත්හැර ගොස් ඇත. එයම කොතරම් වාසනාවක් ද?

‘‘ let go… අත්හරින්න... මරණයට බය වෙන්න හොද නෑ.. ඒ ගමනත් සතුටින් යන්න ඕන. ” වරක් ඇලොයි පියතුමා කී කතාවක් මට සිහිපත් වේ.


නිසල දෙණ අබියස හිඳ මම ඔහුගේ පළ වී ඇති එකම පොත පෙරළමි. එය දෙස් විදෙස් චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ පිළිබදව ලියැවී ඇති අපූරු ලිපි එකතුවකි. ලිපි 135 කි. සාහිත ගුණයෙන් ද පිරිපුන් ය. සිතුවම් පිළිබඳව වචනයෙන් මැවූ තවත් සිත්තමකි. ඒවායේ මාතෘකා ද හරි කදිම ය. 

කලාගාරයක දැවෙන කල්පනා....
සිවුරක්, කැන්වසයක්, තෙලිතුඩක්... 
තෙලිකුඩු ඉහිරුණි.... 
භක්තිමත් අනුරාගයේ තෙලිතුඩ....

ඔහු පිළිබදව ලිපියක් ලියන්නට සිතා සිටියෙමි. පත්තර මිතුරන්ට ඔහු ගැන ලියන්නැයි ඉල්ලන්නට සිතුවෙමි. ඔහුගේ නිර්මාණ එළිදැක්වීමක් සමග උපහාර උළෙලක් කරන්නට සැලසුම් කළෙමු. නමුත් ඒ සිහින සිහින ලෙස තිබියදී ම ඔහු නික්මී ඇත.

පමාව ජීවිතයේ බොහෝ කාරණාවන් සමග බද්ධ වී තිබේ. ඒ බොහෝ පමාවන් ගැන ළතැවිල්ලක් නැත ද, මේ පමාව කලක් ගතවන තුරු හිත පාරවනු ඇතැයි සිතේ...

නමුත් එක් සැනසුමක් ද ඇත. අපේ සිහින පිළිබඳ දැන සිටි ඔහු ඒ පහන් හැඟුම ද සිත්හි දරාගෙන සන්තොසින් නික්මෙන්නට ඇත.


ඇසේ මධුර ජීවනයේ ගීතා... නාමු අමාදහරේ

ෂෙල්ටන් ආරච්චිගේ මහත්මයාණෙනි....  ආදරණීය පියාණෙනි ඔබට නිවන් සුව....

2013.09.01