පිටු

Thursday, October 31, 2013

රස්තියාදු ගමනක අතරමග ග්ලැඩියේටර් ප්‍රේමය





( සති දෙකක විතර ඉඳන් කම්මැලිකමට ටික ටික ලිව්ව සටහනක්.. )

කාලෙකින් රස්තියාදු සටහනක් ලියන්න බැරි උණා.. සති අන්තෙ ගමේ දුවන සිහියෙන්මයි ඉන්නෙ.. ඒ නිසා රස්තියාදු ගමනක් යන්නත් බැරි උණා... සෙනසුරාදා දවසම චූටි මිමීගෙ අත්අඩංගුවට පත්වෙන එක තරම් වටින දෙයක් තවත් නැහැ මට මේ දවස්වල... ඒ හුරතල් වයස අල්ලල නවත්ත ගන්න පුළුවන්කමක් නැහැනෙ. ඒ හින්ද සෙල්ලම් බත් උයන්න, සෙල්ලම් පොත් කඩේ දාන්න, කතන්දර කියන්න, බයිසිකල් පද්දන්න, සින්දු කියන්න, සින්දු දාගෙන නටන්න, තවත් අප්‍රමාණ විකාර වැඩ කරන්න මම්මයි දුවයි එකතු වෙන සතිඅන්තේ එකම දවස මග ඇරගන්න ලෝබයි මට. 

සෙල්ලම් පොත් කඩේ වෙලාවකට මම මුදලාලි. වෙලාවකට එයා මුදලාලි. තාම අකුරු කියවන්න බැරි උණත් පොතක් ඉල්ලුවාම පින්තූර දිහා බලල දෙන්න එයා දන්නවා. ඒ පුංචි මුදලාලි නෝනගෙ කඩේ හැම පොතක්ම තුනයි. කල්පකාලයක් මං පරිස්සම් කරපු කතා පොත් ටික අරගෙන එහෙ මෙහෙ විසිකරද්දි නම් පපුව හෝස් ගාල යනවා.. මොනා කරන්නද ඒත්.. ඒ මුදලාලි නෝනා වසයි.. මං කියන දෙයක් අහන්නෙ නෑ.... 

බයිසිකල් පද්දවන එක තමයි අමාරුම වැඩේ. කොන්ද කැඩෙනකල් තල්ලු කරන්න වෙනවා.. ‘‘අයියෝ... සංසාරේ....” බයිසිකල් පැද්දිල්ලෙ කෙළවරක් නැති තැන දවසක් මං කිව්වා... ‘‘සංසාරෙ එපා වෙනවා නේද?” ඇදල පැදල එයා මගෙන් අහනවා. ‘‘කාගෙද?” මං ඇහුවා. ‘‘ඔයාගෙනෙ” ඇස් බෝල කරකවල දෝණි මට කියනවා. අනේ ඇත්තට දැන් කාලෙ පුංචි උන්ගෙ ඇඟ හැමතැනම මොලේ. 




ගමේ නොයන සති අන්ත ශනිදාවල ඉතින් සිඟිති බෝල ඇස් දෙකක් හිතට එබි එබී වධ දෙනවා.. මම්මියෝ, අම්මී සමහර වෙලාවට ලොකූ කියන සිහින් කට හඬක් ඇහෙනවා...දැනෙනවා...  කැරලි කෙහෙරැලි සුසුමක එතෙනවා.. පැංචියක්ව තුරුලට අරගෙන ඇති වෙනකල් උම්මා දෙන්න නොහැකියාවෙන් හිත සොවින් බර වෙනවා... 

අම්ම ළග නැති උණාම, අම්මව මතක් වුණාම හැඬුම්බර වෙන චූටි දෝණිගෙ අසරණ ඇස් දෙක දැක්කම පුදුමාකාර දුකක් දැනෙන්නෙ... අඩුතරමෙ මේ පුංචි පැටව් ඉස්කෝලෙ යනකල්වත් අම්මලට එයාල එක්ක ඉන්න අවස්තාවක් තියෙනවනම් කියල හිතෙන වාර අනන්තයි... එහෙම ආර්ථිකයක්, සමාජයක්, අධ්‍යාත්මයක් ගොඩනැගීම මේ රටේ නම් හීනයක්ම තමයි.. 

පහුගිය සතියෙ ( මේ කියන්නෙ ඔක්තෝම්බර් 16 - 20 දින ගැන ) එක නිවාඩුවක් දැම්මම දීර්ඝ සතිඅන්තයක් උදා වුණා. ඉතින් හිතුණා පොඩි රස්තියාදුවක යන්න. වෙන්නප්පුව පැත්තෙ. එහෙ ඉන්නවා මං එනකල් ඇඟිලි ගනින අම්මෙක්, මගේම අම්ම වගේ. චූටි දුවෙක්.. මගේම දුවක් වගේ. තව තාත්ත කෙනෙක්, මල්ලි කෙනෙක්. එහෙ හිටියා තව මගේම නංගි කෙනෙක්. දැන් එයා ඉන්නෙ දුර රටක. ඉස්සර කාලෙ හිතේ හැටියට අඬන්න ඕන උණාමත්, කල්පනා කරන්න ඕන උණාමත්, දුක කියන්න ඕන උණාමත් මං එහෙ යනවා. දැන් නම් යන්නෙ දුක අහන්න. සතුට බෙදා ගන්න. එකම දුව ළඟ නැති අම්මට දුවෙක් වෙන්න. අම්ම ළඟ නැති චූටි දුවට අම්ම වෙන්න.... 

‘‘අද මගේ තරංගි නැන්දි එනවා” නෙතු දුව උදේ නැගිටල තියෙන්නෙ එහෙම කියාගෙන. එදා නිවාඩු දවසක්.. ඇයත් දවසම ගෙදර.. උදේ වරුවම ළමා සමිතියෙ ළමයි ඇවිදින් නාට්‍යයක් පුරුදු වුණා. රීට නැන්දා ගෙදර කරන ළමා සමිතියට දැන් අවුරුදු විස්සකටත් වැඩියි. ඒ නම් සැබෑම ළ.ක්‍රි.වී. පවුලක්. 

පුංචි උන් පුරුදු උණේ මහදැනමුත්තගෙ කතාවක් වාර්ෂික නේවාසික වැඩමුලුවේ ගිනිමැලය වෙනුවෙන්. මමත්, ශානක මල්ලිත් දර්ශන වාරයක් නරඹල පුංචි පුංචි උපදෙස් ටිකක් දුන්නා... ( ශානක මල්ලි කියන්නෙ එහෙ ඉන්න මගෙ මල්ලි... එයා ළඟදිම දක්ෂ වේදිකා නළුවෙක් වෙන පෙර ලකුණු තියෙනවා. අපි හමුවුණාම කතා කරන්නෙත් නාට්‍ය, පොතපත, සින්දු ගැන තමයි...) 

හවස්වරුවෙ නෙතුයි මමයි ගියා තවත් ළ.ක්‍රි.වී. පවුලේ හිතමිතුරන් ටිකක් මුණ ගැහෙන්න ලංසිගම. කට්ටිය වෙන්නප්පුව දිසාවේ නේවාසික වැඩමුලුවට සූදානම් වෙමින් හිටියෙ. වැටවල් හදනවා, බිම හෝදනවා.. පුටු ගේනවා.. තණකොල කපනවා.. වැසිකිලි හෝදනවා.. වැඩ කෝටියයි.. මේ විදියට වැඩ කළ සුන්දර අතීතයක් මටත් තිබුණ නේද? 

නේවාසික සති අන්තයක් කියන්නෙ ළමා සමිති කීපයක ළමයි එකතු කරල කරන දින දෙකක වැඩසටහනක්.. මමත් පුංචි කාලෙ එහෙම නේවාසික වැඩමුළුවකට සම්බන්ධ උණා මතකයි... ජීවිතේ මුල්වරට ළමයි ඉදිරියෙ විවිධ වැඩසටහන් කළෙත්, කුස්සියට වෙලා පළමු වතාවට මාළු කැපුවෙ, මැල්ලුම් ලිව්වෙ, දැලි නාගෙන මහා කල්දේරම් හේදුවෙ, සීයකට විතර කෑම බීම හැදුවෙ, අම්ම කෙනෙක් වගේ දරුවො බලා ගත්තෙත් මේ වගේ නේවාසික වැඩමුළුවලදිමයි.. එවැනි දවස් ආයෙ කවදාවත් එන එකක් නැති වෙයි..

කොම්පියුටරෙයි, පොත් ටිකයි බදාගෙන ‍මේ ගෙවන ජීවිතේ මොකක්ද කියලත් වෙලාවකට හිතෙනවා.. 

එතැන හිටියා පුංචි පැංචියක් රිදීෂා... ළ.ක්‍රි.වී. පවුලේම දුවණියක්. අපි ආදරේට කියන්නෙ රිදී. නෙතුටයි, රිදීටයි  ඇති වෙන්න වැල්ලෙ සෙල්ලම් කරන්න දීල මං මුහුදු රැල්ලෙ දාංගලේ දිහා බලාන උන්නා. 

ඉර ඈත මුහුදෙ හැංගිලා යන  වෙලාවට ප්‍රාර්ථනාවක් කළාම ඒක ඉටු වෙනවලු. මං එහෙම අහල තිබුණා. ඉටු වීම ගැන කිසිම විශ්වාසයක් නැති බලාපොරොත්තුවක් ඉරත් එක්කම සිතිජයේ හැංගිලා ගියා. ඒක හරියට භාවනාවක් වගේ හිත නිවුණු වෙලාවක්.... 

නිවී සැනහී යාද ජීවිතය යම් තැනක
එතැන්හිම වේ නිවන...

නිවන ගැන මෙලෝ අවබෝධයක් නැති හිරිමල් සන්දියෙ මං ලියපු කවියක එහෙම තිබුණා... මට මතක් උණා...

ආපහු එන අතරෙ ඇස ගැටුණ නොමැකෙන සිත්තමක්.. උල්හිටියාව සුසානභුමිය.. සොහොන්කොත් අතරින් ඉහළ නැගුණු විසල් අරලියා ගස් සුදු පාට මලින් පිරිලා තිබුණා... නොසෑහෙන්න අරලියා ගස්.. නොසෑහෙන්න අරලියා මල්.. මළවුන් වුණත් මුහුදු හුළග එක්ක අරලිය මල් සුවඳ විඳිමින් සමාදානයේ සැතපෙනවා ඇති. පුංචි පැංචි නොහිටින්න කුරුස සලකුණු හිස දරාන අරලිය මල්පෙති යට නිදන මළවුන් අතර සක්මන් කරන්න තිබුණා...  

ජීවිතයේ මගහැරී ගිය දේ අපමණයි. ඒ අපමණක් මගහැරීම් අතර ලිවිම මගහැරුණු එක අපරාදෙ කියල හිතෙනවා.. නමුත් තාමත් ප්‍රමාද නෑ කියන සිතුවිල්ලයි අකුරක් ගළපන්න හරි හිතට ධෛර්යයක් වෙන්නේ... ප්‍රේමය වගේම ''ග්ලැඩියේටර් ප්‍රේමය'' ත් මට මගහැරිලා.. ශානක මල්ලි තමයි නිතරම මතක් කළේ ''අක්කෙ.. ග්ලැඩියේටර් ප්‍රේමය යූ ටියුබ් දාල තියෙනවා බලන්න..'' කියල.. ඉතින් මේ රස්තියාදුව අතර ග්ලැඩියේටර් ප්‍රේමයත් රස විඳින්න කාලවේලාව හොයා ගත්තා.. ලියවිල්ල‍ බොහොම දිග වැඩි වුණා.. ඒ නිසා ග්ලැඩියේටර් ප්‍රේමය ගැන සටහන හෙට...

Wednesday, October 30, 2013

ග්ලැඩියේටර් පෙම්වතී මම....





එනු සටනට...!
ප්‍රේමය නැත්නම් මරණය..

හලාහල විස මුසු ප්‍රේමයේ
මී විත ම තොල ගෑ
ග්ලැඩියේටර් පෙම්වතී මම....

අසිපත සුරත දරමින්
සිතුවිලි මුවහතින්
පලිහ ද ලෙළවමින්
කවිකම්හි උණුහුමින්
සටන් බිම බට
ග්ලැඩියේටර් පෙම්වතී මම....

දණ නමා කවියෙන්
හිස නවා සෙනෙහෙන්
මුනිවත තබා උකසට
ගිනිගත් අතීතයක
දැවුණු හිත දෝතට ගෙන
හංස ගීතය ම මුමුණන
ප්‍රේමණීය ම සතුරා අබියස

අසිපත සැලෙත - හුණු වී වැගිරෙත...
පලිහ ගිලිහී - කවි ද ඉකි බිඳුමෙක...

දේවදූතයින් මංගලම් ගයන
තටු පිරිමදින
ස්වර්ගයෙන් ආසිරි පැන් ඉහින...
සටන් බිම මැද
දණ හොවා ළය හොවා
සිපගනිමි...
මගේ ආදර කඳුළු බින්දුව...

ඉදින්,
සදාකල්හිම
නියත පැරදුම ම හිමි
ග්ලැඩියේටර් පෙම්වතී මම....



( ‘’ග්ලැඩියේටර් පෙම්වතී’’ සොරා ගතිමි නාමල් ජයසිංහ ගේ ග්ලැඩියේටර් ප්‍රේමයෙන්... )

Sunday, October 27, 2013

මග හැරුණු තරු කැටයක්...


හිස්ම හිස් අහස යට
තෙත් කැවුණු ඇස් දෙකක්
සාංකාවෙන් සලිත වෙයි...

සුරත හෙමිහිට තබා ළය මත
මේ රිදුම් දෙන හදවතත්
මගෙම දැයි...
මොහොතකට කවියක්
විපිළිසර වෙයි...

ඇස් දෙකක් කඳුලකට අත වනයි...

රිදෙන්නට තවත්... තව තවත්
තිබුණා ද හදවතක්..?
කුමකට ද හදවතක්..?
සුසුමක් කඳුලකින් විමසයි..

මන්දාකිනියකට මග හැරී ගිය
පුංචි තරු කැටයක්
අහස් ග ඉවුරු පැන
පොලෝ ගැබ වැද
දූවිලි  පියලි අතර
සැව යයි....

2013.10.27

Saturday, October 26, 2013

අති සුන්දර දවසක්...

අද අතිසුන්දර දවසක්....



මම හැමදාමත් කියන්නෙ මගේ ජීවිතයේ දෙවැනි අම්මා ළ.ක්‍රි.වී. කියලනෙ. 1954 වසරෙදි මේ ළමා ව්‍යාපාරය ලංකාවේ ආරම්භ කළ ප්‍රංශ ජාතික ගරු ෆීලික්ස් මෙවල් (නි.ම.නි.) පියතුමාගෙ අනුස්මරණ දිව්‍ය පූජාව අද මරදාන පාතිමා දෙව්මැදුරෙදි පැවැත්වුණා. 1951 වසරෙදි ලංකාවේ ධර්මදූත සේවයට පැමිණි එතුමා ස්වර්ගස්ත වෙලා තියෙන්නෙ 1984 වසරේ ඔක්තෝම්බර් 28 වනදා. මීරිගම දේවස්ථානයේ තමයි එතුමාගෙ දේහය තැන්පත් කරල තියෙන්නෙ. දේවස්ථානය ඉදිරිපිට අදටත් එතුමන්ගෙ සොහොන් ස්මාරකය දකින්න පුළුවන්.

මම හැමදාමත් හිතන දෙයක් ගරු මෙවල් පියතුමා ළ.ක්‍රි.වී. ආරම්භ නොකරන්න මට මේ තරම් සුන්දර, අරුත්බර ජීවිතයක් ලැබෙන්නෙ නැහැ කියන එක. මේ තරම් ආදරණීයයන් ඇසුරු කරන්න ලැබෙන්නෙ නැහැ... මං මොනවාම හරි වැඩක් ඇති දෙයක් මේ ලෝකෙට කරනවනම් වචනෙකින් හරි, ඒ ළ.ක්‍රි.වී.යෙන් ලැබුණු පන්නරය නිසාම යි.....


හිටපු ළ.ක්‍රි.වී. ජාතික අධ්‍යක්ෂක ගරු ජෝ කුරේ පියතුමාගේ 25 වන පූජාත්වර සංවත්සර සැමරුමත් ඒ සමගම සිදු වුණා. මං 2003 වසරේ ළ.ක්‍රි.වී. ජාතික කාර්යාලයට සම්බන්ධ වුණේ පියතුමා වැඩ බාර ගැනීමත් එක්කම. වසර හතරක් ජාතික ලේකම් විදියටත්, වසර දෙකක් ජාතික ළමා කමිටු සම්බන්ධීකාරක විදියටත් වගකීම දැරුවෙත් පියතුමාගේ සේවා කාලයෙදිම යි. ලංකාව පුරාම අපි කොතරම් ළමා, තරුණ වැඩසටහන් පවත්වන්නට ඇත්ද?

ළ.ක්‍රි.වී. ය තුළ වැඩිම කාලයක් ජාතික මට්ටමේ වැඩ කළෙත්, වැඩිම අත්දැකීම් සම්භාරයක් ලැබුවෙත්, වැඩිපුරම මත ගැටුම් ඇති කරගත්තෙත්, රණ්ඩු සරුවල් වුණෙත් පියතුමා එක්කයි... හිතුවක්කාර දියණිය කියල නමකුත් පටබැඳුණෙ මේ මතවාදී අරගල නිසාමයි. ඒත් අදටත් සුපුරුදු සිනාවෙන්ම පියතුමා මාව පිළිගන්නවා. හිතුවක්කාර දියණිය ගැන පුංචිම අමනාපයක්වත් නැතිව.

මාම්පුරි දේවස්ථානයේ ළමා එකතුවක්... පේනවනෙ ළමයි එක්ක නටපු නැටුම්...

වාර්ෂික අනුශාසක සම්මේලනයේ මහ සභා රැස්වීමක්

ගාලු පදවි ළමා එකතුවක් - හම්බන්තොට දෙව්මැදුරේදී

අනුරාධපුර පදවි සන්නිවේදන හා නායකත්ව වැඩමුළුවක් - මැදවච්චිය දෙව්මැදුරේදී

ළ.ක්‍රි.වී. ය දරුවන්ගේ ජීවිතයට කරන යහපත් බලපෑම අනර්ඝයි. වචනයෙන් පහදාලිය නොහැකි අධ්‍යාත්මික පොහොසත්කමක් එය. මම මා තුළම අත්දැක්කෙ ඒ අධ්‍යාත්මික පොහොසත්කමේ ආලෝකය.. නමුත් කාලීන අභියෝග එක්ක ළ.ක්‍රි.වී. ගමන්මගේ වෙනසක් ඇති විය යුතුයි කියල මං තාමත් විශ්වාස කරනවා. මතගැටුම් ඇතිවුණෙත් ඒ වෙනුවෙන්මයි. කොයි තරම් උත්සාහ කළත් තාමත් ඒ වෙනස හීනයක් විතරම ද මන්ද?

අවසානයේ ආයතනගත සියලු බැඳීම්වලින් නිදහස් වෙලා සාහිත්‍යයත් එක්ක හුදකලා ගමනක් යනවා වුණත් මට ජීවිතය කියා දුන්නෙ ළ.ක්‍රි.වී.ය කියන එක කොහොමටවත් අමතක කරන්න බෑ.

කුලියපිටියෙනුත් ඇතුළක පුංචි ගමක මම ළ.ක්‍රි.වී. ළමයෙක් වෙලා ඉද්දි  ළ.ක්‍රි.වී. ජාතික අධ්‍යක්ෂකව සිටි ගරු ජස්ටින් සිල්වා පියතුමාත් අද මුණ ගැහුණා.. කාලය ගත වෙලා. ඒත් අපේ දයාබර කම්, බැීම් තවමත් එහෙමමයි නේද කියල හිතෙද්දි අප්‍රමාණ සතුටක් දැනෙනවා.

ඉතින්, අද අති සුන්දර දවසක් වෙන්නෙ කාලෙකින් ළ.ක්‍රි.වී. පවුලේ ආදරණීයයන් හමුවෙන්න ලැබුණ නිසා. ආවෙ නැති අයත් එක්ක නම් තරහයි.

........................


පොත් ගුල්ලිට පොත් තිළිණ

කාර්යාලීය සුබසාධක සංගමය මෙහෙයවපු සාහිත්‍ය තරාවලියෙදි ගීත ගායනා අංශයෙන් දෙවැනි ස්ථානයත්, කාව්‍ය රචනා ( සැස්) දෙවැනි ස්ථානයත් ලැබුණා.. ගජමන් නෝනාගේ ආදර තරවටුව  යි ඒ ජය ලැබුණෙ. 

තිළිණ විදියට ලැබුණෙ දයාවංශ ජයකොඩි එකෙන් පොත් ගන්න තෑගි වවුචර්. ඉතින් අද පොත් රස්තියාදුවකුත් දැම්මා...

මෙන්න තෑගි මුදලට ගත්ත පොත්

පවුරු බැඳි රාජ්‍යය - භද්‍රජී මහින්ද ජයතිලක

ජනකවි ආශ්‍රිත ජනකතා - නෝමන් සිරිපාල

ඇත්ගාලේ සෙනෙහස - විමලසිරි අගලකඩ

ලැබීම නොලැබීම - චිංගීස් අයිත්මාතව්ගේ ‘‘To Have And To Lose පරිවර්තනය - ඩබ්.ඒ. අබේසිංහ

යාල නැගෙනහිර වනමං - ගාමිණී විජිත් සමරකෝන් ( කතන්දර අයිය මේ පොත ගැන ලියා තිබුණු සටහන මතක් වෙලයි අරගත්තෙ. )

ළගම තියෙන්නෙ සූරිය පොත්හළනෙ.. එතනින් ලොවීනා ගත්තා මොහාන් රාජ් මඩවලගෙ. සූරිය පොත් හලේ තියෙන හොදේ තමයි එයාල අනුන්ගෙ ප්‍රකාශනවලටත් 20% ක වට්ටම දෙන එක.. වැඩිමනත් පොත් සාප්පුවල තමන්ගෙ පොත්වලට විතරනෙ වට්ටම් දෙන්නෙ.

ලොවීනා කියවන්න ආසාවෙන් හිටියෙ. වැඩි දෙනෙක් බැන්න මාගම් සෝලිය මට ඒ හැටි බනින්න දෙයක් හමුවුණෙත් නැහැනෙ. භාෂාවෙයි, ඕනෑවට වැඩි මායාරූපී ගතියෙයි, කිසිම සුන්දරත්වයක් නොදැනෙන ලිංගික අරගලවලයි අවුල ඇරුණම මාගම් සෝලියෙ යටිපෙළ මතුකරන්න හදන කාරණාවල මට දැනෙන දේශපාලනික වැදගත්කම ගැන මගේ කියවීමෙදි තරමක් දුරට ලියා ඇති....

......................................

අතරමං වෙලා තිබුණ පොත් ගොන්නක්...

ආපහු එන ගමන් මං ගියා මගේ අම්ම කෙනෙක් බලන්න... කුලියපිටියෙන් මෙහාට තනියෙන් එන්න හයියක් නොතිබුණ කාලෙක පණ බයේ කැම්පස් ආව මාව බලා ගත්තෙ ළ.ක්‍රි.වී. පවුලේ අය. රාගම අම්මයි, තාත්තයි තමන්ගෙම දරුවෙක් ගාණට ඒ අවුරුදු හතරම මගේ දුක සැප බැලුවා. ඒ තරම් යහපත් මිනිස්සු මුණගැහෙන්න මං ආත්ම ගාණක් පින් කරල ඇති.

මටත් අමතක වෙලා තිබුණ මගේ පොත් තොගයක් අම්මා ගාව තිබුණා.. ඔන්න ඒ ටිකත් අරන් ආවා...

සුනේත්‍රාගෙ විචිත්‍ර වීර්යය ( ශානිල් මල්ලිගෙන් ලැබුණ තෑග්ගක්...)

අචාන් චා හිමි - බුදුදහමෙන් ඔබේ ජීවිතයට ලැබිය හැකි ආලෝකය ( අනිල්ගෙන් )

අනිල් සේවා ස්ථානයේ මිතුරෙක්. වසර අටක පමණ මිතුදමක්... වසරකට පමණ පෙර වෙනත් සේවා ස්ථානයකට මාරු වෙලා ගියත් තවමත් අපේ මිතුදම් එහෙමමයි. කාලෙකින් පොත අතට ගත්තම මතකය අළුත් වුනා. මම අනිල්ට ඇමතුමක් ගත්තා... ‘‘මම ඉන්නෙ ධර්ම දේශනාවක.. පස්සෙ කතා කරන්නම්.. අනිල් හෙමිහිට කිව්වා. මම කට් කළා. ධර්මය ශ්‍රවණය කරන පින්වතෙකුට බාධා කරල මාර දූතිකාවක් වෙන්න හො නැහැනෙ...

ප්‍රේම පුරාණය - සුනේත්‍රා ( නිර්මලා නංගිගෙන්... 2012 උපන්දින තිළිණයක්.)

ප්‍රේම පුරාණය දකිද්දි මතක් වුණේ අතිසංවේදී කවි සොහොයුරෙක් කලකට පෙර එවා තිබු කෙටි පණිවිඩයක්. ඒ අතිසංවේදී හිත නිසාම උන්හිටි තැන් හොයා ගන්නත් නෑ දැන්..කවිත් නෑ... කවියාත් නෑ....  

( You are so special Tharu. Keep writing. කවද හරි ඔයා සුනේත්‍රා වගේ ලේඛිකාවක් වෙනවා. මං කියන්නේ දැන් ඉන්න පිස්සු සුනේත්‍රා ගැන නෙවෙයි. ප්‍රේම පුරාණය ලියපු සුනේත්‍රා ගැන...)

ඳුන්ගිර ගිනි ගනියි ලියපු සුනේත්‍රාගේ ඉන් සෞම්‍යාලෝකය ලියපු සුනේත්‍රා දක්වාම මම නම් සුනේත්‍රට කැමතියි. ඒ ලියන විලාසයට කැමතියි. ලිවිල්ල කියන්නෙ නම් කොහොමටත් පිස්සුවක් තමයි. මටත් දැන් ඒ පිස්සුව තදටම.... ඒත් මං කැමති මං ම වෙන්න කවුරුවත් වාගෙ නොවී. ඒ කියන්නෙ තරුරසී ලියන තරූ වෙන්න.

(ඉන්න තැනකින් ඇවිත් ඉස්සර වගේ ලස්සන කවියක් ලියන්න අයියේ)

මතක පොත - සුනේත්‍රා ( දිනූගෙන් )

මතක පොතේ 87 පිටුවෙ තියෙනවා මග්ගොන චිත්තා වෘත්තය කියල ලිපියක්. ඒ ලිපියෙ කියැවෙන්නෙ ළ.ක්‍රි.වී. වාර්ෂික අනුශාසක සම්මේලනයක් ගැන. ඒ සම්මේලනයට සුනේත්‍රයි, සුනිල් විජේසිරිවර්ධනයි ආවෙ දේශනවලට. එයාලගෙ පුංචි දියණියන් දෙන්නත් එක්ක. එක්කෙනෙක්ගෙ නම අමා මට මතක විදියට. මං ඒ දෙන්නට චිත්‍ර දෙකකුත් ඇල දුන්නා මතකයි. 99 හෝ 2000 විතර කාලෙ වෙන්න ඕන...

‘‘ .......අපි මග්ගොන ගියේ කුඩා දරුවන් වෙනුවෙන් අගනා සේවයක් කරන ළ.ක්‍රි.වී. ව්‍යාපාරයේ වාර්ෂික සමුළුව සහායි.  ළමයින් එක්ක වැඩ කරමින් ඔවුන් හීනදීන විය යුතු නැති අභිමානවත් පරපුරක් බවට පත් කිරීමට කටයුතු කරන තරුණ තරුණියක් 200 ක් ඇවිත් හිටියා. ඔවුන්ගේ ළමා සමිතිවල සෑම ආගමකටම අයත් ළමුන් ඉන්න බව දැනගන්නට ලැබුණා....

.... හැම පක්ෂෙකින්ම පළාත්සභාවලට පත් වූ කට්ටියව මාසෙක විතර පුහුණුවකට යවලා ගෙන්නුවොත් නරකද? එංගලන්තෙට ඇමරිකාවට නෙවෙයි මග්ගොනට යවලා ගෙන්නුවොත් හොදටම ඇති. චමත්ලා, මහින්දලා හා අපට හමු වූ කොල්ලො කෙල්ලො 200 ට ඇහැක් වෙයි මේ කට්ටියට පාඩමක් කියා දෙන්න...

සුනේත්‍රා මේ කියන 200 ඇතුළෙ මාත් උන්න නේද කියල හිතෙද්දි අප්‍රමාණ සතුටුයි.

අම්මා ළග තිබුණ පොත් ගොන්නෙ මගේ මුදලින් ගත්ත එකම පොතයි තිබුණෙ. ඒ කැත්ලින් ජයවර්ධනගෙ ‘‘ධාරා”.. 

මේ තරං පොත් තෑගි ලැබෙන්නෙත් පෙර පිනකටම වෙන්න ඇති.

ඔය විදිහට අමතක වෙලා මගේ පොත් තව කීදෙනක් ළග ඇත්ද මන්දා...
..................

තරුරසීට තරවටු

‘‘දැන් ඔයා ලියන ඒව ඕනෑවට වඩා බැරෑරුම්.. ඔය බරපතළ ලිපිවලට වෙන බ්ලොග් එකක් හදා ගන්න. තරුරසී ඉස්සර වගේ සරලව ලියන්න.. 

විටින් විට චෝදනා එල්ල වෙනවා... සුන්දර තරවටු...

බැරෑරුම් ලේඛිකාවක් වීමේ හීනයක් මට නැහැ... මමත් කැමති සරලව ලියන්න... ආදරණීයව ලියන්න... හිතට දැනෙන යමක්... බැරෑරුම් මාතෘකා ගැන ලියද්දි නම් මේ සැහැල්ලු රටාව වෙනස් වෙනව ඇති.. ඒ ගැන සමාවෙන්න... නිතරම එහෙම වෙන්නෙ නැති බවට මං පොරොන්දු වෙනවා...


රස්තියාදු සටහන්, සුන්දර මතක සටහන්, පෙම් පටළැවිලි, කවි නොකවි ඉදිරියෙදිත් ලියවේවි... නිසැකවම..