Tuesday, November 26, 2013

සමනල් පියාපතක පිනි බින්දුවක් (05)


සපුමල් සුවඳක් සේ...


‘‘යකඩ සපත්තුවා ගැන ලියන්න කළින් සපුමල් සුවද ගැන ලියන්න ඕන... උත්තරා පවසන්නීය.

‘‘ඇයි?”‍ මම අසමි.

‘‘ඒ මතකෙට මං හරිම ආදරෙයි... නත්තල් හීතල වගේ හරිම සුවදායක හැගීමක් දැනෙන්නෙ. ඒ තරං දේකුත් නෙවෙයි.. ඒ වුණාට සරසවි මතක අතර සුන්දරම මතකයක්...”

..........................

‘‘ කැම්පස් එකේ පළවෙනි අවුරුද්දෙ.. ක්‍රිස්තියානි සංගමයත් එක්ක මගෙ වැඩි ගණුදෙනුවක් තිබුණා. කැම්පස් යන්න කළිනුත් සමාජ වැඩ එක්ක හිටියනෙ.. කොළඹ ආගන්තුක තැනක් උණත් යොවුන් එකතුවෙන් දැන අඳුන ගත්ත අක්කල, අයියල කීප දෙනෙක්ම ඒ වෙද්දි කැම්පස් එකේ හිටිය නිසා ක්‍රිස්ටියන් සොසයිටි එකෙන් ගැළවෙන්නත් බැරි වුණා.. ඕනම කැම්පස් එකකට යන්න ලකුණු තියෙද්දිත් මං කැළණිය අංක එකට තේරුවෙ වෙන මොනවත්ම නිසා නෙවෙයි මාව බලා ගන්න ඔය අයියල අක්කල ටික උන්නු නිසානෙ... මං වගේ පිස්සු කෙල්ලෙක්..

දවසක් ක්‍රිස්තියානි සංගමෙන් ලෑස්ති කළ පූජාවකට යමින් උන්නා මං.. තෙල් බැම්මෙ වාඩි වෙලා හිටියා දන්න අයිය කෙනෙක්... ඒ කාලෙ ශිෂ්‍ය සංගමේ සභාපති. අපේ යොවුන් එකතුවට බැහැලම වැඩ කළ කෙනෙක්.. පස්සෙ එයා විප්ලවකාරයෙක් වෙලා අපේ වැඩවලින් ඈත් උණා...

ඉතින් මං ඇහුවා ‘‘අයියෙ, පූජාවට යන්නෙ නැද්ද?” කියල. 

‘‘පූජාවලට ගියාට වැඩක් නෑ බං.. පූජා වෙන්නෙ නැතිව..” 

ඔන්න දුන්න උත්තරේ. කතාව ඇත්ත. ඒත් ඉතින් එක එක්කෙනාට පූජා වෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනෙ. මං හිතුවා විතරයි. කිව්වෙ නැහැ. ඕක කිව්ව නම් තර්ක කෝටියයි. මං ආස නැහැ වාද කරන්න. මං ආස හිතන්න.. ලියන්න... මගෙ පාඩුවෙ ඉන්න...

පස්සෙ කාලෙක මම ක්‍රිස්ටියන් සොසයිටි එකේ වැඩවලින් ඈත් උණා. මටම තේරුණා එතන පූජා තියනව මිසක පූජා වෙන්න දෙයක් නැති බව.. ඊට වඩා වැඩ එක්ක සම්බන්ධ වෙලා උන්න නිසාද මන්ද මට එතන වැඩවල හරි හිස් ගතියක් දැණුනෙ.

මතක් උණ නිසා කිව්වට  ඔය කතාව සපුමල් සුවඳට කොහෙත්ම සම්බන්ධයක් නෑ.

ඉතින් පළවෙනි අවුරුද්දෙ නත්තල සමරන්න කැරොල් ගී වැඩසටහනක් තමයි සංවිධානය උණේ. කීප සැරයක්ම ප්‍රැක්ටිස් තිබුණා.. එක එක තැන්වල. පැවිලියන් එකේ, ජිම් එකේ, තරුවෙ... තරුව කිව්වෙ තරුවක හැඩේට තිබුණ බිම් කොටසක, තරුවක හැඩේටම මල් වවල තිබුණ නිස්කලංක තැනක්... ගිටාර් එකක්, බොංගෝ එකක්, එකෝඩියන් එකක් තමයි වාද්‍ය භාණ්ඩ උණේ..

එකෝඩියන් එක ප්ලේ කළේ සයන්ස් ෆැකල්ටියෙ අයිය කෙනෙක්... විශේෂයෙන් එයා මතක හිටින්න හේතු කීපයක්ම තිබුණා. එකක් එයා බෞද්ධ.. අනික හැමදාම ඇන්දෙ හම ගිය ඩෙනිමකුයි, නිල් පාට ටී ෂර්ට් එකකුයි.. රබර් සෙරෙප්පු දෙකක් තමයි දැම්මෙ.. දුප්පත්කමටද, ෆැෂන් එකට ද මන්ද? 

බොහොම නිශ්ශබ්ද්දයි. හිනාවක් නැති තරම්... කෙට්ටු තළෙළු නූස් ශරීර කූඩුවක මේ තරම් ගාම්භීර බැල්මක් පිහිටන්නෙ කොහොමද? මට වෙලාවකට පුදුමත් හිතුණා... ඇස්වලින් තමයි කතා.. අනික එකෝඩියන් එක ප්ලේ කරන්න ගත්තම ඇස් දෙකත් වැහිලා. ඒ වෙලාවට කතා කරන්නෙ සංගීතය.. පුදුම විදිහට දැනෙනවා හිතට.. 



අපි ගීතිකා ප්‍රැක්ටිස් කරල ඉවර වුණාම සින්දු කියනවා.. මං වැඩියක්ම සංගීත සාදෙට සම්බන්ධ නොවුණත් අහගෙන ඉන්නවා... හිත නිවෙන සින්දු... එතන උන්න හැමෝම සංගීතය රස විඳින්න දන්න අය... ඒ එක දවසක තමයි සපුමල් සුවඳ ඇවිත් හිත ළග නතර වුණේ...

සපුමල් සුවදක් සේ සීතල රෑ යාමේ
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
කිසිවකු නෑ දුටුවේ..

ආස සින්දුවක්...ඒත් ගොඩක්මත් නෙවෙයි... මමත් හෙමිහිට මුමුණමින් හිටියෙ... එකෝඩියන් එක හිත හිරිවට්ටන විදියට වාදනය වුණා.. ඒ ඇස් පියවිලාමයි තිබුණෙ.. ඔන්න සින්දුවෙ දෙවෙනි කොටස පටන් ගනිද්දි හැමෝගෙම කටවල් වැහිලා... මගෙ හඬ විතරයි ඇහුණෙ... මම විතරයිද මන්ද සම්පූර්ණ සින්දුවම දැනන් උන්නෙ...

හැන්දෑ වලාකුලේ .. අටවක හද මඬලේ
මේ හැම තැන ඔබ සැඟවී සිටියා..
මා පමණයි දුටුවේ....

ක්ෂණයකින් ඇස් ඇරුණා.. ඒ බැල්මට මාව සීතල වෙලා ගියා.. ඒත් සින්දුව නවත්වන්න හිතුණෙත් නෑ... ආයෙම ඇහිපිය වැහුණා... මං ගීතයටම සම වැදුණා..

ලොව නිදි අඳුරු පැයේ සීපදයක් වැන්නේ
සවනත සනහා මා ලඟ උන්නා
රැය පමණයි දුටුවේ...

අන්තිමට  සපුමල් සුවඳ අපි දෙන්න විතරක්ම වෙලා අනික් හැමෝම සුවද විඳින්නො වෙලා තිබුණා..

සපුමල් සුවදක් සේ යළි නෑ හැර යන්නේ
මහමෙර ලෙස ඔබ නොසැලී සිටියා
ඇයි මුළු ලොව දුටුවේ...

ගීතය අවසන් වුණේ අපේ ඇස් හමුවෙලා... මං තිගැස්සුණා ඇත්තටම... හිනා පොදක්වත් නැති හිත කීරි ගැහෙන එහෙම බැල්මක් කවදාවත්ම මට මුණ ගැහිල තිබුණෙ නැහැ.

එදයින් පස්සෙ මං ඒ ඇස් හොයන්නත්, ඒ ඇස් මාව හොයන්නත්,  අපේ ඇස් හමුවෙද්දි ඉක්මණින්ම මං ඇස් හංග ගන්නත් පටන් ගත්තා... ඒක සෙල්ලමක් වගේ.. මට බය හිතුණෙ අසංග අයියට වෙන් වෙලා තිබ්බ හිතේ ඉඩ වෙන කෙනෙක් අයිති කර ගනියි කියල... එහෙම වෙනව දකින්න මට ඕන උණේ නෑ.. ඒ හින්ද මං ගොඩක් මහන්සි උණා හිත පරිස්සම් කර ගන්න...

එදා සැරේ අපේ කැරොල් වැඩසටහන තිබුණෙ කොළඹ අවට ළමා නිවාස කීපයක... වැඩිහිටි නිවාසෙක.. උදෙන්ම පිටත් වෙන්න නියමිතව තිබුණේ.. 

යාම්තමට මීදුමෙන් වැහිල තිබුණු දෙසැම්බරේ සීතල උදේක සුදු සාරියත් ඇඳගෙන මං බස් රථය ළඟට එද්දි එකෝඩියන් ඇස් දෙකත් ඇවිත් උන්නා.. එදා නම් නිල් ඩෙනිමට සුදු කමිසයක් ඇඳලා.. රබර් සෙරෙප්පු දෙකටත් නිවාඩු දීලා... වෙනස් ලස්සනක්.. එහෙමට කඩවසමක් නොතිබුණත් මගේ හිතේ ලකුණු පුවරුවෙ ඉහළින්ම රැ‍දෙන්න පුළුවන් ගති ලක්ෂණ ගොඩක් ඒ කතා කරන ඇස්වල තිබුණා. ඒ හින්දමයි මට ගොඩක්ම බය හිතුණෙත්...

මං තෙල් බැම්ම ළඟට එද්දිම ඔහු නඩයෙන් මිදිල මං ඉදිරියට ආවා.. ඇස් හීනි කරල ගැඹුරු හුස්මක් මුදා හැරල හෙමිහිට මෙහෙම කිව්වා..

‘‘ලස්සනයි..” 

ජීවිතේටම කතා කළ එකම වචනය... ඒ වචනයට වඩා බැල්මටයි මං බය වුණේ.. මට හිනාවෙන්නවත් මතක් වුණේ නෑ.. මොහොතකින් මං සීතල අයිස් කුට්ටියක් වෙලා.. 

එතනින් එහාට මං කොයි තරං ඒ බැල්ම මග ඇරියද කියනවනම් අන්තිමට මටම ඒක වදයක් වුණා. හවස් වෙද්දි කතා කරන ඇස් වුණත් තරහෙන් පිපිරි පිපිරි තිබුණා.. ආපසු ගමනෙදි යන්නං කියන්නෙත් නැතිවම මගදි බස් එකෙන් බැහැල යද්දි නම් මට අතින් අල්ලල නතර කර ගන්න තරම් හිතුණා.. ඒත් හිතට හයියක් තිබුණෙ නෑ... යන අයට යන්න ඇරල බලා උන්නා මිස කවදාවත් බලෙන් නතර කර ගන්න සිරිතක් මට තිබුණෙත් නෑ... එදත් එහෙමයි...අදත් එහෙමයි..

ඉන්පස්සෙ ඉඳහිට සරසවි බිමේදි හමු වුණත් මං දැක්කෙ ද්වේෂය පිරුණු නපුරු ඇස් දෙකක්.. මන්දා සමහර විට මට හිතුණ හැටි වෙන්න ඇති.... ඊටත් ටික කාලෙකට පස්සෙ මං දැක්ක ගෑණු ළමයෙක් එයාගෙ අතේ එල්ලිලා සරසවි කන්ද නගිනවා.. එදා නම් පුංචි දුකකුත් දැණුනා..

ඒත් අදටත් ‘‘සපුමල් සුවඳක් සේ” සින්දුව ඇහෙද්දි මට නත්තල් සීතලයි, නත්තල් ගීතිකායි, එකෝඩියන් වාදනයකුයි, හිත හිරි වට්ටන බැල්මකුයි මතක් වෙනවා.......... ඒ වගේම නත්තල ආවම සපුමල් සුවඳ මතක් වෙනවා.. ”

උත්තරා හෙමිහිට සුසුමක් මුදා හැරියාය. ඈ මුව රැඳුණේ මන්දස්මිතයකි.

‘‘සුසුමක් වුණත් සුවඳයි නේද? සපුමල් සුවඳ වගේ” අතීත මතක අවුස්සන හදවතින් ඇය විමසන්නීය.

‘‘ඔයා හරිම පිස්සු කෙල්ලෙක්... ” හදවත පිළිවදන් දෙයි. උත්තරා හදවතට ම දිනුම දී උත්තර නැති සුසුමකට ගිළිහෙන්නට ඉඩ දෙන්නීය. 

...................................................

ඔබ වෙනුවෙන් නොලියන්න යැයි ද, මා ලියන දේ තුළ ඔබ සිටිය යුතු නැතැයි ද ඔබ ම පවසයි.

ඉදින් මට මා පවා අහිමි වෙයි.

සිතුවිලි වියළී යයි. අකුරු ඇද වී යයි. වචන පටළැවී යයි. ජීවිතයම පිළිතුරක් සොයා ගත නොහැකි තේරවිල්ලක් බවට පත් වෙයි.

ඉදින් සියල් ජීවන ප්‍රශ්නාර්ථ මැද, ඔබ ද තුන් තේරවිල්ලක් කොට ගෙන අනවරත අරගලයක නිමග්නව සිටිමි.

එයින් මිදෙන්න යැයි නොපවසන්න. ඔබේ ගමනට අබ මල් රොනක බාධාවක් නොවන බවට පිළිණ දෙමි.

ජීවිතය හිස්ම හිස් කඩදාසියක් වනවාට වඩා හරස් පද ප්‍රහේළිකාවක් වීම අගනේ නොවේද?  මට මා ජීවත් වන බව දැනෙමින් තිබේ.. අන් කවරදාටත් වඩා දැනෙමින් තිබේ.. 

එය ම ප්‍රමාණවත් නොවේද?



Wednesday, November 20, 2013

අහිංසක යකෙක් ගැන සහෘද සංවාදයක්...




''තමන් මහ උජාරුවෙන් හිතන් හිටියට මං බොහොම නිදහස් කාන්තාවක්ය කියල, වෙනසකට තියෙන්නෙ තමන් බැිල ඉන්න ලණුව ටිකක් දිග වැඩි එක විතරයි....''

පපු කුහරෙටම ඇිල්ලෙන් ඇනල, ඔලුව අත ගාලා ටොක්කකුත් ඇනල එහෙම කිව්වෙ සෝර්බා... 

'' ඇත්ත සෝර්බා...... ඒ ලණුව මං ම බැ ගත්ත  එකක්.. කපල දාන්න ඕන.. ඒත් ඒකට හිතට හයියක් නෑ... ඒත් දවසක මං ඒක කපන්නම්...'' මං කිව්වා. අධිෂ්ඨානයක් අරමුණක් ඇතිවම නෙවෙයි.. පුංචි බලාපොරොත්තුවක් ඇතිව.. 

''ඒක අමාරු වැඩක්... බොහොම අමාරු වැඩක්.. ඒකට තරමක මෝඩකමක් ඕනෑ..'' මහ හයියෙන් හිනාවෙලා සෝර්බා කිව්වෙ ඔච්චමට වගේ.. ඒ හිනාව සාධාරණයි. මොකද සෝර්බා දන්නවා කවදාවත් මං ඔය ලණුව කපා ගන්නෙ නැති බව.... ස්වර්ගය තියෙන්නෙ ඔය ලණුව කෙළවරය කියල හිතන් ඉන්න කෙනෙක් කොහොමද එහෙම කරන්නෙ...

''මං රටෙනුත්, පූජකයන්ගෙනුත්, සල්ලිවලිනුත් බේරුණා...
මං තවත් හුක් දේවල්වලින් බේරි බේරි ආවා...
ඒ විදියට තමයි මගේ බර සැහැල්ලු කර ගත්තෙ.
මම - කොහොමද ඒක ‍තේරුම් කරන්නෙ ?                                                 
මගේ විමුක්තිය මම ම හොයා ගත්තා...
මං මිනිහෙක් වුණා..!!''

සෝර්බා අහිංසක යකා එහෙම කිව්වෙ බොහොම සැහැල්ලුවෙන්... ඔය කියන කිසිම බැම්මකින් ලෙහෙසියෙන් ගැළවෙන්න පුළුවන්කමක් නැති, හයියක් නැති, ඕනකමක් නැති අපිට මිනිස්සු වෙන්න කවදා හැකි වෙයිද?



සෝර්බා මට හමුවුණේ ''සෝර්බා නම් ග්‍රීකයා'' කෘතියෙන්... සැබවින්ම අහඹු සුන්දර හමුවීමක්..  පල්ලියෙන් පිටුවහල් කළ ග්‍රීක ලේඛක නිකෝස් කසන්සාකිස්ගේ Zorba the Greek  කෘතිය සිංහලට පරිවර්තනය කළේ සද්ධාතිස්ස වඩිගමංගාව විසින්. ඒ 2000 වසරෙදි. එහි දෙවන මුද්‍රණය නිකුත් වෙන්නෙ 2013 වසරෙ සම ප්‍රකාශනයක් ලෙසින්...

සද්ධාතිස්ස වඩිගමංගාව

''සෝර්බා නම් ග්‍රීකයා'' කෘතිය පිළිබ විද්වත් කතිකාවක් පැවැත්වෙනවා  පුවත්පත් මණ්ඩල කාර්යාලයේදී.. ( බොරැල්ල කාසල් රෝහල ඉදිරි පිට )

2013 නොවැම්බර් මස 22 වන දින සවස 4.00 ට...


මාලනී ගෝවින්නගේ, දයා දිසානායක, කේ.කේ. සමන්කුමාර ඇතුළු විද්වත්, සහෘද පිරිසක් මේ සෝර්බා ගැන ශෝභාමත් කතාබහට එක් වන්නට නියමිතයි.. සංවිධාන කටයුතු සිදු වෙන්නෙ පුවත්පත් මණ්ඩල කාර්යාලීය දායකත්වයෙන්..

සෝර්බා සමග ආත්මීය සංවාදයට එක්වන්න විවෘත ඇරයුමක් තියෙනවා... අප සැමට...
.................................



''..... සෝර්බාත් බුද්ධත් එකට එකතු වෙනවා දකින්න මට අවශ්‍යයි. සෝර්බා තනිකර ගත්තම ඔහුගේ නැටුමේ සදාකාලික විශේෂත්වයක් නෑ. එය මොහොතක සැපත විතරයි. ඔහු ඉන් වෙහෙසට පත් වෙනවා. ඒ නිසා සෝර්බා සහ බුද්ධ එකතු වුණොත් විතරයි පරිපූර්ණ මිනිසා ගොඩනැගෙන්නෙ. 'සෝර්බා ද බුද්ධ' තමයි පිළිතුර. සෝර්බා ද බුද්ධ තමයි උසස් ම බලවේගය. සරලව කිව්වොත් සෝර්බාද බුද්ධ කියන්නේ

අලුත් නමක් අලුත් මිනිහෙකුට
අලුත් නමක් අලුත් යුගයකට
අලුත් නමක් අලුත් ඇරඹුමකට

සෝර්බා සහ බුද්ධ‍ගේ හමුවීම තමයි ඉතිරිව තිබෙන එකම ප්‍රාර්ථනාව..."

....ඕ‍ෂෝ...


නිකෝස් කසන්සාකිස්

Mihalis Kakogiannis අධ්‍යක්ෂණය කළ  Zorba the Greek චිත්‍රපටයෙන් ( 1964 )

Monday, November 18, 2013

ගී ගයනා මිනිස්සුන්ට පැන් තලියක් ගෙනත් දෙන්න...



දූවිලි... දූවිලි.. දූවිලි.. දූවිලි...
දූවිල්ලෙන් හැදුණ ලියේ
බාලොලියේ.. බාල ලියේ..

වෙණ වයනා මිනිස්සුන්ට
වීණාවක් ගෙනත් දෙන්න...
දූවිල්ලෙන් හැදුණ ලියේ
බාලොලියේ.. බාල ලියේ..

ගී ගයනා මිනිස්සුන්ට
පැන් තලියක් ගෙනත් දෙන්න...
දූවිල්ලෙන් හැදුණ ලියේ
බාලොලියේ.. බාල ලියේ..

ගී අහන්න මිනිස්සුන්ට
පන් පැදුරක් එලා දෙන්න..
දූවිල්ලෙන් හැදුණ ලියේ
බාලොලියේ.. බාල ලියේ..

එකමත් එක රටක... වචනවලින් සුරංගනා ලොවක් මවන 
බලවතුන් රජ කරන සමයක...
එදිනෙදා ජීවිතය ගැට ගසා‍ගැනීමේ නිරන්තර අරගලයෙන් 
පීඩාවට පත්ව, හෙම්බත්ව සිටින ජනතාවක්  
ස්වයං නිද්‍රාවකට පත්ව සිටිති.
තමන් හිස මත පැටවී ඇති මහා ජීවන බරට එරෙහිව 
අරගල කරන්නට නොහැකි තරමට ඔවුහු  
බියපත්ව , උදාසීනව සිටිති.
සියල්ල අසිරිමත් යැයි, සුන්දර යැයි, විස්මිත යැයි සිතන්නටත්, හවන්නටත්, එයින් ප්‍රමුදිතව හිනැ‍හෙන්නටත් උන් හට බල කරමින් පවතී.
එකී රටේ බහුතරයක් කලාකරුවෝ, මානව හිතවාදියෝ, දේශපාලන ක්‍රියාධරයෝ නිහ ය. උදාසීන ය. 
ස්වාර්ථයෙන් මඩිනු ලැබූ බොහෝ දෙන තම මඩිය තර කර ගනු වස් රජමැතිුන් හට ප්‍රශස්ති ගී ගයමින් සිටිති. 

ඉදින් භීතිය ගල් ගැහෙමින් පවතී. උදාසීනත්වය දළු දමමින් පවතී. දරිද්‍රභාවයේ තුවාලය ඔඩු දුවමින් පවතී.

ඒ අතර ජනයා ආනන්දයෙන් ප්‍රඥාව කරා කැවමින්, ඔවුන්ගේ සිත් සතන් පුබුදු කරනු වස් නොනවතින ගීතමය විප්ලවයක නියැලී සිටින ගී කුරුල්ලකුගේ හක් බියෙන් අත්මිදෙන්න යැයි අපට ආරාධනා කරමින් හිියි.

ඔහු ජයතිලක බණ්ඩාර නම් අපූරු මානව හිතවාදී කලාකරුවා ය. බො‍හෝ කලාකරුවන්ට අමතකව ගිය කාලීන යුග මෙහෙවරක නිරතව සිටින ඔහු අද දවසේ එනම් 2013 නොවැම්බර් මස 18 වන දින සවස 6.30 ට අනුරාධපුර ශාන්ත ජෝශප් දෙව් මැදුරේ දී ''බියෙන් අත් මිදෙමු.." නමින් ගීතමය විප්ලවයේ නවමු ගමනක ආරම්භය සනිටුහන් කරයි.


''බියෙන් අත් මිදෙමු.." ගැන ජයතිලක බණ්ඩාරයන් දක්වන අදහස් මේ...

'' මේ මුළු සමාජයම බරපතළ විදිහට නායයෑමකට ලක්වෙලා තියෙන්නෙ. අම්මලම තමයි දරුව ගාලු පාරේ දාල යන්නෙ. තාත්තම තමයි දුව දූෂණය කරන්නෙ. ගුරුවරයම තමයි ශිෂ්‍යයාට අඩන්තේට්ටම් කරන්නෙ. වෛද්‍යවරයාම තමයි තමන් ළඟට එන ගැබිණි මවට අතවර කරන්නෙ. හාමුදුරුවොම තමයි පන්සලට මල් පූජා කරන්නට එන උපාසිකාව කාමරේට ගන්න බලන්නෙ. මේක විය යුතු නැති වුණත් මේක තමයි වෙමින් තියෙන්නෙ. මෙවැනි වෙලාවක තමයි බියෙන් අත්මිදෙමු ප්‍රසංගයට පාර කැපෙන්නෙ. මේක වෙනස් කළ යුතුයි සහ වෙනස් කළ හැකියි කියන විශ්වාසය උඩ තමයි අපි පටන් ගන්නෙ. මේක හැබැයි මේ පොළොවේ ජනප්‍රිය වැඩක් බවට පත්වෙන්නෙ නෑ. එහෙම පත්වෙන්න බෑ. එහෙත් මම විශ්වාස කරනවා තැන තැන ගැහැනු මිනිස්සු ඉන්නවා. ඔවුන් ප්‍රවීණ යැයි කියන කලාකාරයොවත් ප්‍රවීණ යැයි කියන මාධ්‍යවේදියොවත් බුද්ධිමත්තුවත් නොවෙන්න පුළුවන්. එහෙත් ඒ ආත්මයක් තියෙන අය. තමන් එක්කම කතා කරන්න පුළුවන් කොටසක් ඔවුන්. ලක්ෂ ගාණක් මිනිස්සුන්ගේ අනාථභාවය වෙනුවෙන් කිරිබත් කාපු රටක, ලක්ෂ ගාණකගෙ මරණ සැණකෙළි පවත්වලා සමරපු රටක එහෙම මිනිස්සු අතළොස්සක් ඉතිරි වෙලා ඉන්නෙක සතුටු වෙන්න ඕන දෙයක්. මට ඔවුන් ගැන විශ්වාසය තියනවා. ඒ ඉතිරිවෙලා ඉන්න මිනිස්සු එක්කගෙන අර සීතලා වෙලා- අයිස් වෙලා- ගල් ගැහිලා ඉන්න මිනිස්සු අමතන්නට දරන චූටි උත්සාහයක් තමයි බියෙන් අත්මිදෙමු ප්‍රාසාංගික කෑ ගැසීම.

.... අපි සුළුවෙන් පටන්ගෙන මේක කරගෙන යමු. මුල්‍ය පරමාර්ථ හෝ වෙනත් ව්‍යාපෘති තියෙද්දි තමයි අතරමග කඩාවැටෙන්නෙ. කන්න බොන්නයි යන්න එන්නයි තිබුණම ඇති. අද ගායකයෝ සින්දු තුනක් කියන්න ලක්ෂ ගාණක් ඉල්ලන වැඩක් වගෙ නෙමෙයි මේක. අපිට මේකට මිලක් නියම කරන්නට බැහැ. ඉස්පිරිතාල හැදුවෙ මේ රටේ මිනිස්සුනෙ. ඒවගේනෙ අපේ අම්මලා අපිව ඉපැද්දුවෙ.. හැදුවේ... ඉස්කෝල හැදුවේ මේ රටේ මිනිස්සුනෙ. ගුරුවරුන්ට පඩි ගෙව්වෙ මේ රටේ මිනිස්සුනෙ. අපි ඉගෙන ගත්තෙ ඒවගෙන්නෙ. අපි රැකගත්තේ මේ සමාජය. ඉතින් මේ සමාජයේ මේ මොහොතට පෙරළා අමතන එක අපේ යුතුකමක්. ඉතින් බොහොම සරල කාරණයක් තියෙන්නෙ අපේ හිත හදාගන්නට...''

මේ සබැි හරහා තවත් විස්තර ...
http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=MINT&ArtID=3804
http://aswanna.blogspot.com/2013/11/blog-post.html   
http://www.vikalpa.org/?p=18384

සප්ත ස්වරයට අළුත් බලාපොරොත්තුවක්, ධෛර්යයක් කැටි කොට ගනිමින් පෙරටම යන ජයතිලක බණ්ඩාර කලාකරුවාණන් ඇතුළු පිරිසට හදවතින්ම සුබ පතමු.

ඉදින්,
වෙණ වයනා මිනිස්සුන්ට වීණාවක් ගෙනත් දෙන්න...
ගී ගයනා මිනිස්සුන්ට පැන් තලියක් ගෙනත් දෙන්න..
ගී අහන්න මිනිස්සුන්ට පන් පැදුරක් එලා දෙන්න...
බියෙන්, උදාසීනත්වයෙන් අත්මිදී එක් වෙමු... අළුත් අහසක්, අළුත් පොලවක්, අළුත් ලොවක් වෙනුවෙන්...