Tuesday, December 31, 2013

ආදරේ ඕනෑම නෑ කිව්වත් ආදරෙයි මං හීතල හිම කැටයට...






2013 දුරුතු මහේ දවසක හිම කැටයක් හමුවුණා මට....
නොලියවුණු කවි කන්දක් පාමුල හුදකලාවක හිර වුණ...
හීතල හිම කැටයක් උණත් හරිම උණුසුම් හදවතක්...
තනිකමට සින්නක්කරව පවරා දුන්
ගල්ගැහුණු හදවතත් සැළුණා සත්තකින්.....

නපුරුයිලු 2013 බොහෝදෙනෙක් සාංකාබර සිතින්...
ඒත් සුන්දරම වර්ෂයයි ජීවිතේ  පුරාම හමුවුණ මට නම්...
මගේ ‍නොවන මගේම ප්‍රේමයක් හිත රැුණ...
ුළුත් ගැලුවා හීතලට... සුසුමන් නැගුණා උණුහුමට...
ආදරේ ඕනෑම නෑ කිව්වත් ආදරෙයි මං හීතල හිම කැටයට...

ළා හ එළියේ කප්පරක් කණාමැදිරි රැුම් එළිදකින..
සීනියාස් මල් යායට.. දාස්පෙතියා මල්ගොල්ලට
මැදිවුණු හුදකලා පුංචි ගෙපැළක...
පණගැහෙන ප්‍රේමණීය හදවතක්... ඉතිරි කළා මට 2013

මුවින් මුව පැතුවත් සුබ නව වසරක්...  
සුබවෙන්නෙ කොහොමද නව වසර....
දිළින්දන්ටත්.. සොබාදහමටත් සරණක් නැති මෙහෙව් දේශයක...
හිතන සිතුවිල්ලටත් වැට බින්නට අර අදින අරුමපුදුම බිම්කඩක...
බලාපො‍රොත්තුවක් පමණයි ඉතිරි මනුස්සකමේ නාමයෙන්....
අත්අල්ලාගන්න එකට... ජීවිතේ පුරාම රැකගත් හොහිත් එක්ක...

මිනිස්කම වෙනුවෙන්... ප්‍රේමයෙන්... මෛත්‍රියෙන්
තවත් පියවරක් ඉදිරියටම යන්න 2014 දිත්
ධෛර්යයම ලැබේවා... හැම හිතකටම...

Friday, December 20, 2013

හුදී ජන ස්වයං නිර්වින්දනය පිණිස MASS ක්....


දොස්තර ස්ටොක්මාන් මට හමුවෙන්නෙ උසස් පෙළ පන්තියෙදි.. තනියෙන්ම නෙවෙයි සෙල්ලම් ගෙදර බෝනික්කි නෝරා ත් එක්කම...  නාට්‍ය හා රංගකලාව විෂය හැදෑරුව නිසයි මේ අය එක්ක දැන හැඳුනුම්කම් ඇති කර ගන්න හැකි වුණේ...  

යථාර්ථවාදී නාට්‍ය කලාවෙ පියා විදියට සැලකෙන හෙන්රික් ඉබ්සන්ගේ ජනහතුරා නාට්‍යයේ ප්‍රධාන චරිතය තමයි දොස්තර ස්ටොක්මන්... ඉබ්සන්ගෙ තවත් සුවිශේෂ නාට්‍යයක් වන සෙල්ලම් ගෙදර ප්‍රධාන භුමිකාව නෝරා...... නාට්‍ය කලාව තුළ මට හමු වූ මා බෙහෙවින් ප්‍රිය කරන භුමිකා දෙකක් ඒ...

‘‘ලාංකීය ගැහැණිය දශක කීපයක්ම ජීවිතය ගෙවන්නෙ ඉබ්බෙක් වගේ.. ඔයාගෙත් ඒ ස්වභාවයෙ වෙනසක් නැහැ. හෙන්රික් ඉබ්සන්ගෙ The Doll's House වල නෝරා නොවුණට ඔයා තුළත් පුංචි නෝරෙක් පණ ගැහෙනවා.... ගැහැණිය ජීවී ගුණයෙන් පරිපූර්ණ විය යුතුමයි නෝරා වගේ... මට පුළුවන් නම් නෝරයි, සෝර්බයි කසාද බන්දනවා... 

මෑතක යහළුවෙක් ලියල එව්ව ලිපියක එහෙම තිබුණා...

නෝරයි සෝර්බයි කසාද බැන්දොත් කොහොමට තියෙයිද? හිතා ගන්න අමාරුයි...


කියන්න ඕන උණේ ඒ වැල්වටාරම් නම් නෙවෙයි... හෙන්රික් ඉබ්සන්ගෙ Public Enemy නාට්‍යෙය් නවතම නිර්මාණය රංගගත වෙනවා 22,23,24 දිනවල නාමෙල් මාලනී පුංචි රහලේ... කෝට්ටේ ප්ලේහවුස් ඉදිරිපත් කිරීමක් ලෙස, කෞශල්‍යා ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයෙන්...

MASS ක්....

හුදී ජන ස්වයං නිර්වින්දනය පිණිසයි... එයයි ප්‍රධාන තේමාව..

මට මේ නාට්‍යය වැදගත් වෙනවා කාරණා කිහිපයක් නිසාම... 

මූලිකම දේ එහි ප්‍රධාන භුමිකාවක් වන දොස්තර ස්ටොක්මන් ගේ චරිතයට පණ පොවන්නෙ ශානක මල්ලි වීම... මීට වසර 15 කට පමණ පෙර  ළමා ක්‍රියාකාරී වීරයෝ ව්‍යාපාරය  තුළ දැන හඳුනා ගත් ශානක මල්ලී ආත්මයෙන්ම ආදරය කරන නාට්‍ය කලාව තුළ මෙතරම් දුරක් පැමිණ තිබීම ගැන සුවිසල් සතුටක් දැනෙනවා...

සුනන්ද මහේන්ද්‍ර පරිවර්තනය කළ ජනහතුරා නාට්‍ය පිටපත උසස් පෙළ හදාරන අවධියේ ආශාවෙන් පරිශීලනය කළ පොතක්... දොස්තර ස්ටොක්මාන්ගේ චරිතය කොයි තරම් හිතට කා වැදුණද කියනවනම් මම ඔහු ගැන කවියකුත් ලියා තැබුවා.. ඒ කවිය තරුරසී තුළ පළකළා කාලෙකට පෙර...

තනි තරුවක් නිවී දිලෙයි  කියන්නෙ දොස්තර ස්ටොක්මාන් වෙනුවෙන් මා ලියූ කවිය.. 

එය නැවත සජීවීව වේදිකාව මත දකින්නට හැකි වීම භාග්‍යයක්.. 

වැදගත්ම කාරණය තමයි ජනහතුරා නාට්‍යය මුල්වරට නිපදවෙන්නෙ 1882 නෝර්වේ දි වුණත් අද ලාංකීය සමාජයට එහි ඇති අදාළත්වය.. අද අපිට දොස්තර ස්ටොක්මන්ලා වැඩි වැඩියෙන් අවශ්‍යයි...

ඉතින් හැකි අය නාට්‍යය බලන්න.. ඒ ගැන හො කතිකාවක් ඇති වෙනව නම් අගෙයි...

මම.... ගම්බිම් බලා යනවා... සතියක නිවාඩුවක් අරගෙන... හැම දෙනාටම ආදරය පිරුණු සුබ නත්තලක්...


Wednesday, December 18, 2013

උඳුවප් සීත සමග


ඳුවප් සීත සමග
නත්තල් මතක ඇවිත්
හිත ළ කරමින් සක්මන්
ඉපදෙනු මැනවි යළිත්
පවසයි මා හද රහසින්...

නත්තල ආදරයයි
ආදරෙ මංගල්ලෙයි
පවසයි මා හද  රහසින්
තැවි තැවී සිටියා මිස
නොලැබෙන ආදරේ ගැන
පෑවද ආදරේ සැබවින්
නත්තල විමසයි මහදින්....

නත්තල ජීවිතයයි
ජීවිතෙ මංගල්ලෙයි
පවසයි මා හද රහසින්
ගෙවෙමින් යන විදියට
ගෙවෙන්න හැරියා මිස
ජීවත් වුණාද හැබහින්
නත්තල විමසයි මහදින්.....

පද රචනය - මහින්ද නාමල්
තනු නිර්මාණය සහ ගායනය - ගරු ඇන්ටන් ජයනන්ද පියතුමා


‘‘කිතුසර  කණ්ඩායම නිර්මාණය කළ ‘‘උපතකට ගැයෙන ගී නත්තල් ගීත එකතුවේ එන මං කැමතිම ගීතයක් මේ....... මට මාවම ප්‍රශ්න කර ගන්න, මට මාව අළුත් කර ගන්න මතක් කරල දෙන නත්තල් ගීතයක්...

මමත් අහනවා වෙලාවකට මගෙන්...

නොලැබෙන ආදරේ ගැන තැවි තැවී සිටියා මිස පෑවද ආදරේ හැබහින්... ?

ඇයි නැත්තෙ... හැමදාමත් කළේ ඒකනේ... මගේ හිත කියනවා... ඒ ගැන තියෙන්නෙ සතුටක්... මමත් ඩිංගක් හරි ආදරවන්ත කෙනෙක් වෙන්න ඕනෙ... ඒ නිසානෙ මේ තරම්ම ආදරණීය මිනිසුන් ඇසුරට ලැබෙන්න තරම් මම වාසනාවන්ත වෙලා තියෙන්නෙ...

ගෙවෙමින් යන විදියට ගෙවෙන්න හැරියා මිස ජීවත් වුණාද හැබහින්?

අන්න එතැන නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා... නිදහසේ පාඩුවේ ඉන්න තියෙන කැමැත්ත, සරල සන්සුන් දිවියකට ඇති අසීමිත ඇල්ම, ජීවිතේ එක්ක ඔට්ටු වෙන්න අකමැති අලස ගතිය... මෙන්න මේ වගේ කාරණා නිසාම මට ම ප්‍රශ්නයක්... මම ජීවිතේ ගෙවෙන්න හැරියා මිස හැබහින්ම ජීවත් වුණාද කියන එක...


නත්තල් හීතලේ උපතකට ගැයෙන ගී එකතුවේ හැම ගීයක් ගැනම ලියන්න හිතක් තිබුණා.. ඒත් අම්ම දරුවෙක් වෙලා, මං ඒ දරුවගෙ අම්ම වෙලා හිත මහා ගින්දරකින් දැවෙද්දිත් සනසමින්, නළවමින්, කවමින් පොවමින් එහෙ මෙහේ දුවමින් ගෙවුණු පහුගිය කාලෙ ලියන්න තරම් නිරවුල් හිතක් තිබුණෙ නෑ... දැන් ඉතින් අම්ම ආයෙම අම්ම වෙලා, මං ලොකු දූ වෙලා ඈ නිරෝගී සුවයෙන් ඉන්න නිසා හිත සැහැල්ලුයි...

ඒත් ලිවීමේ උවමනාව මහා මේඝයක් වගේ හිත පුරා සැරිසරද්දිත් සිතුවිලි උල්පත කොහෙදෝ තැනක හිරවෙලාද කියලත් හිතෙනවා... රුවන්ගේ ‘‘මීළ මීවිත කවි එකතුව එළිදුටු මොහොතෙත් හිතුණෙ කාලෙකින් කවියක් ලිව්වෙ නෑ නේද කියල.. මගේ කවි හිත අවතැන් වෙලා...

ආයෙම... ආයෙම... ආයෙම... මට මං වෙන්න කවදා හැකි වෙයිද?



Thursday, December 5, 2013

සමනල පියාපතක පිනි බින්දුවක් 06


‘‘මොනාටද අයියෝ පාලකයො වෙනුවෙන් ඕපදූප හොයන්නයි, අහිංසකයො පස්සෙ පන්නන්නයි උසස්වීමක්.... මදිද මේ තරම් කල් දුක් වින්ඳා.. දැන් ඔය ඉන්න විදියට ඉඳල පෙන්ෂන් අරන් හෙමිහිට අයින් වෙන්න...”

ජීවිතේ කඩඉම් ප්‍රශ්නයකට උත්තරයක් බලාපොරොත්තුවෙන් කලකට පසු දෙනෙත් උත්තරා ඇමතු විටෙක ඇය උත්තර බැන්දේ එලෙසිනි.

‘‘ඒ කතාවත් ඇත්ත? මටත් ඇති වෙලා.. තේරුමක් නෑ.. ” 

දෙනෙත් ඇගේ උත්තරය අදහා ගත් සෙයකි. පිළිතුර සමග ම සුසුමකි. උදම් අනන සුවිසල් ජයග්‍රහණයක් කෙළවර ශුන්‍ය වූ හැඟීමක් පමණම ද ශේෂය. තමන්ට තමන්ම අහිමි වන තරමට යුද්ධය හා බැඳී සිටි සොල්දාදුවෙකි ඔහු.

කතා නොකරන්නෙමැයි කොතෙකුත් සිතා සිටිය ද ඔහුගේ ඇමතුමකට පිටු පෑ නොහැකි සියුම් හුයක් නොබිඳී තවමත් ශේෂව ඇතැයි ඇය සිතන්නේ විස්මයෙනි.

‘‘මට මේ වගේ දෙයක් කතා කරන්න වෙන කවුරුවත් නෑ..” එසේ කියන විටක ඉතින් නොරිස්සුම් වන්නේ කෙලෙසින්ද?

සතියකට දෙකකට පසු නැවතත් දෙනෙත්ගෙන් ඇමතුමකි.

‘‘මම ලොක්කව මුණ ගැහිලා කිව්වා මට මේ පත්වීම භාර ගන්න බෑ කියල... අකමැත්තෙන් මේ ව‍ගේ වැඩක් කරන්න බෑ..  එහෙමනම් අකමැතියි කියල ලියුමක් දෙන්න කිව්වා... ඉතින් මම ලියුමක් දීල ආවා.. ” 
උත්තරාට පුදුම සිතුණි.... ඈ කීවේ සිතට ආ දෙයකි. එය ඔහුගේ වෘත්තීමය ජීවිතයට කෙසේ බලපානු ඇත්දැයි ඈ දුරදිග සිතා බලා නොතිබිණි. ඇගේ මතය  ජයග්‍රහණය කරවන්නට ඔහු සිතුවේ ඇයි?

''තවමත් මා ඔබේ සීනියර් ඇඩ්වයිසර් ද? ...'' එසේ අසන්නට පොපියන සිත ඇය වෑයමෙන් සඟවා ගත්තාය.

වත්මන හීතලට හිත මත මිදෙමින් පවතී. අතීත රසබර මතකයක උණුහුමින් හිත හිනා ගැස්විය හැකිනම් කදිම ය. ඉදින් උත්තරා ‘‘යකඩ සපත්තුවා” සොයා අතීත සක්මනකට පාවඩ එළන්නීය.

.........................................
යකඩ සපත්තුවා..

උත්තරා නින්දෙන් පිබිදුණේ තිගැස්මෙනි. ඈ මෙතෙක් හිස තබා සුවසේ නිදා උන්නේ නන්නාඳුනන පිරිමි උරහිසක බව වැටහෙන විට දැණුනු අසරණ බව වදනින් විස්තර කළ නොහැක. බස් රථය සිසාරා පැතිර ගිය ගී හඬ මැඩගෙන නැගුණු යෙහෙළියන්ගේ හිනා හඬ දෙසවන පැටළුණේ සිත කේන්තියෙන් පුරවමිනි. ඇය නිලුපුලී දෙස බලා රැව්වාය. උත්තරා නින්දට වැටෙන විට අසුනේ කෙළවර උන්නේ නිලුපුලී ය. ඈ කොයි මොහොතේ නැගී සිටියාද, නාඳුනන ජ්‍යෙෂ්ඨ උත්තමයා කොයි මොහොතේ එහි වාඩි වූවා ද උත්තරා දන්නේ නැත.

‘‘සොරි..”

‘‘ආ....... ඒකට කමක් නෑ..” නිදිබර දෑසින් ඔහු හිනැහුණේය.

පාන්දර පහත් පසු වී ඇත. දැන් බස් රථය සරසවියට ආසන්න වෙමින් පවතින බව වටින් පිටින් පෙනෙන මං සලකුණුවලින් ඇය වටහා ගත්තාය. සරසවි පැමිණ නවක වධ සමයේම ඔවුන්ට වලස්මුල්ල ප්‍රදේශයේ මළ ගෙදරක යන්නට සිදු වූයේ නේවාසික යෙහෙළියකගේ පියාගේ මළගම වෙනුවෙනි. අලුත් නැවෙන් ගොඩ යන බලාපොරොත්තුවෙන් මෙවැනි ගමන්බිමන්වලට ස්වකැමැත්තෙන්ම බොහෝ ජ්‍යේෂ්ඨ උත්තමයන් සම්බන්ධ වන බව උත්තරා දැන ගත්තේද මේ ගමනින් පසුව ය. තෙල් බැම්ම මත නැංගුරම් ලාගෙන නවකයින් වාත කරන, තෙල බෙදන, දුෂ්ට බැලුම් හෙලන ජ්‍යෙෂ්ට උත්තමයන් අතුරුදහන් වී තිබිණි. සිටියේ ප්‍රේමණීය සහෝදරත්වය උතුරා පිටාර ගලන වැඩිහිටි සහෝදරයන් සමූහයකි. ජ්‍යෙෂ්ඨ උත්තමාවියන් නම් සිටියේ  නේවාසිකයේ ගජේට එක් වූ පිරිසෙනුත් කිහිප දෙනෙක් පමණි. අන් සියල්ලෝ නවකයෝය.

තෙල් බැම්ම අසල නවත්වන ලද බසයෙන් අවමංගල නඩය බැස ගන්නා විට උදෑසන අරුණැල්ලද ඉඟි බිඟි පාමින් තිබිණි.

‘‘අන්න උඹට උරිස්ස දන්දුන්න ශ්‍රද්ධාවන්තයා බලන් ඉන්නවා.. තැන්කියු කියල වරෙන්..” නිලුපුලී සිනා පිටවනු වළකන්නට අසීරු වෑයමක ය.

‘‘පිස්සු..” උත්තරා කේන්තියෙන් පැවසුවද ආපසු හැරී නොබලා ඉන්නට නොහැකි විය. සැබවින්ම ඔහු බලාගත්වනම ය. සුව නින්දකට උරතලය පරිත්‍යාග කළ මිනිසෙකුට සිනාවකින්වත් කෘතගුණ නොසැලකීම අමනුස්සකමකි. එකී සිතුවිල්ල ම ඈ මුවගට ගෙන දුන්නේ සිනාවකි.

‘‘ආව් ආව් කෙල්ල ගොඩ ගියා... ” ඒ තවත් යෙහෙළියකි.

‘‘අනෙ අම්මේ ගෝරිල්ලෙකුට රිලා පැටියෙක් ජෝඩු කළා නම් ඔයිට වඩා අපූරුවට තියෙයි. ” උත්තරා කීවේ ඒ සද්දන්ත රූපකාය පිළිබඳව ඇති වූ තිගැස්මෙනි.

ඔහු යකඩ සපත්තුවා වූයේ කෙසේද? උත්තරාගේ සිත අතීතයට දිවෙයි. දිනෙක ඔවුන් දේශන නිම වී පැමිණෙන විට තවත් පිරිසක් සමග ඔහු ඉදිරියෙන් යමින් උන්නේය. පැළඳි සපත්තු යුවලේ පිටුපස රිදී පැහැති පිත්තල පටි දෙකක් විය. ඒ මන්දැයි උත්තරා දන්නේ නැත. 

''අන්න මිනිහ යකඩ පටිකාරයෙක්..'' බෞතිස්මය සියල්ලටම කට ඉස්සර කර ගන්නා නිලුපුලීගෙනි. ඒ පිත්තල පටි සහිත පාවැස්ම නිසා එදා සිට  ඔහු අප අතර හැදින්වුණේ යකඩ පටිකාරයා, යකඩ සපත්තුවා  නමිනි. ඒ බව නොදත් ඔහු දිනපතා පැළදියේ ද ඒ සපත්තු කුට්ටමම ය.

ඉඳ හිට තෙල් බැම්ම මත සිට නෙතට නෙත මුණ ගැසුණු බැල්මක්, යෙහෙළියන්ගේ කවට වදනක් හැරුණු විට එය දුරදිග ගිය කතාවක් වූයේ නැත. අසංග සූරියබණ්ඩාර සිටියේ හදවතම අරක් ගෙන ය. ඉදින් ගෝරිල්ලෙකුට වෙට්ටු දමන්නට හදවතක් ඉතිරිව තිබුණේ නැත.

සරසවියේ පළමු වසර ගෙවී යමින් තිබිණි. සිදු වූ එකම වෙනස නිවසේ ලිපිනය වෙනුවට නේවාසිකයේ ලිපිනය අසංග අතපත් වීමත්, අම්මාගේ මැදිහත්වීමකින් තොරව මුලින්ම ලිපිය විවර කරන්නට උත්තරාට අවසර ලැබීමත් ය. ඉදින් දිනෙන් දින... හසුනෙන් හසුන දෙහදක් යා වෙමින් තිබිණ.

දෙවන වසර ආරම්භයේ අළුත් සිසු පිරිස පිළිගන්නට ළහි ළහියේ සූදානම් වන කාණ්ඩයට උත්තරා මැදි වූයේ නොදැනුවත්වම ය. සරසවි බිම තුළම නේවාසිකව සිටීමත් කවියට සහ සිත්තමට ඇති ඇල්මත් නවක නම්නීකරණ වැඩසටහනේ සංවිධාන කටයුතුවලට සම්බන්ධ වන්නට සුදුසුකම් වී තිබිණි. ඇය නම් නවක වධයක් කියා දෙයකට මුහුණ දී තිබුණේම නැති තරම්ය. 

උත්තරා සරසවි කන්ද නැග ආයේ කවිමල් යායක් මැදිනි. ගුරු ගීතයේ දුයිෂෙන් ‘‘වසන්තය ළග එනවා සත්තයි” කියමින් උන්නේය. රත්න ශ්‍රී, පරාක්‍රම කොඩිතුවක්කු වැන්නවුන්ගේ කාව්‍යමය චින්තාවලී උදා අරුණලු සේ මග දෙපස ආලෝකමත් කළේය. නවක පිරිස පිළිගන්නට ගීතමය සන්ධ්‍යාවන්, දේශන, නාට්‍ය ආදී වූ රසබර අත්දැකීම් පෙළ ගැසී තිබිණි. නවක වධය ගැන හිත මත පැටවී තිබූ මහා බර දින කීපයකින්ම වියැකිණි.

ඉදින් අළුත් නැව පිළිගන්නට එවැනිම සුන්දර අත්දැකීම් ගොන්නක් මහා ශිෂ්‍ය සංගමය හා දෙවෙනි වසර සිසුන්ගේ දායකත්වයෙන් සූදානම් වෙමින් තිබිණි. සිත්තමක වර්ණ තවරන්නට, කවියකට වදන් ගොනු කරන්නට උත්තරා ද සම්මාදම් වූවාය. එකී කාර්යබහුල දින කිහිපයේ ඔවුන් නැවතී සිටි‍යේ සරසවි බිමෙන් දුර බැහැර වූ නේවාසිකාගාරයක ය. සැන්දෑ වූ දිනවල නේවාසිකය දක්වා යුවතියන් ගේ පරිස්සමට ආ තරුණ නඩයේ යකඩ පටිකාරයා ද විය.

''පව් බං... හැමදාම ගෙනත් අරින්න එනවා... වචනයක්වත් කතා කරපං.." නිලුපුලී කීවේ වරක් දෙවරක් නම් නොවේ.

'' මං එන්න කිව්ව ද? අනික මං නිසාම එනව කියල කියන්නෙ කොහොමද?''

''ඉතින්, කතා කළාම ගෙවෙනවද?''

''නෑ........ බලාපොරොත්තු ඇති වෙනවා. බලපං දකිද්දිත් බය හිතෙනවනේ...''

'' ඒ වුණාට හරි සීරියස් පාටයි... කවදාවත් කෙල්ලෙක් එක්ක කතා කරනවවත් දැකල නෑ..''

''ඒකම තමයි වැඩියම බය..'' උත්තරා හිනැහුණේ කට කොණිනි.

කරුවලේම අත කොනිත්තා නිලුපුලී කට වසා ගත්තාය.

ශිෂ්‍ය සංගම් කාර්යාලය පිහිටා තිබුණේ ප්‍රධාන ආපන ශාලාවේ කෙළවරක වූ උඩු මහළේය. නවකයින් පිළිගැනීමේ උත්සව මාලාවට ප්‍රදර්ශන පුවරු සදහා කවි පබඳිමින්, කවි තෝරමින්, සිත්තම් අඳිමින් සිටි එක් දිනක පහත මාලය දෙසින් ඇසුණේ මහා ගාලගෝට්ටියකි. ශිෂ්‍ය සහයෝගිතා ව්‍යාපාරයේ සිසුන් ශිෂ්‍ය සංගම් කාර්යාලය වටලා තිබිණි. ආරාවුලේ අගක් මුලක් නොදත් ඉහළ මාලයේ  වැඩවල යෙදී උන් පිරිස නිවාස අඩස්සියට පත් වූහ. ඒ අතර ඉහිළුම් නොදෙන තාරුණ්‍යෙයේ ජවයෙන් මත් වූ පිරිසක් පහළ උන් පිරිස සමග ගැටුමට ආයුධ සොයන්නට වූහ. බියෙන් තැතිගත් කෙල්ලන් රෑන එක පොදියට මුළුගැන්වී උන්හ. ඉහළත් කෑ කෝ ගැසීම් ය. පහළත් කෑ කෝ ගැසීම් ය. කිසිවෙකුත් පසු බසින්නට සූදානමක් නැත.

සිතුවම් පුවරු සඳහා ගෙන ආ රීප්පයක් අතින් ගත් චණ්ඩියෙක් කෝපයෙන් කෑ මොර දෙමින් පහතට බසින්නට සැරසෙමින් සිටියේය. ඔහු නවත්වා ගන්නට කෙල්ලන් රෑනක්ම හතරවටින් එල්ලී පොර බදමින් සිටියහ. ඉහළට ගත් හුස්ම පහළ දමන්නට උත්තරාට අමතක වූයේ ඒ යකඩ සපත්තුවා බව දැකීමෙනි. නිලුපුලී ඇගේ අත මිරිකා ගත් වනම ය. කිහිපදෙනෙකුගේම වැර වෑයමෙන් අත වූ රීප්පය උදුරා ගත හැකි විය. කෝපයෙන් වෙවුලුම් කමින් උන් ඔහු එක්වරම උත්තරා දුටුවේය. එසැණින් ආපසු හැරී අසල කාමරයකට වැදුණේය.

දිගු සුසුමක් හෙලුවේ නිලුපුලී ය.

උත්තරා ඇතුළු පිරිසට පහළ බසින්නට හැකි වූයේ පොලිසිය පැමිණ ආරාවුල සමථයකට පත් කර පැයකට පමණ පසුවය. එතෙක් වේලාම ඔවුහු හතරවටින් වටවූ සිතුවම්, කවි පුවරු මැද තුෂ්ණිම්භුතව නිවාස අඩස්සියේ පසුවූහ.

‘‘මගේ අම්මේ.. ආයෙ නං ඔය යකඩ පටිකාරයා දිහා ඇහැක් ඇරලවත් බලන්න එපා..” නිලුපුලී කීවේ නේවාසිකය කරා ආපසු එමින් සිටියදී ය.

‘‘මං කොහොමටත් බැලුවෙ නෑ.. කට්ටියකටනෙ ඕන වෙලා තිබුණෙ බලවන්න....'' උත්තරා හිනැහුණි. 

'' දැක්කද? කෙල්ලො විසිපහක් විතර එල්ලිලා හිටියා..” නිලුපුලී අවුස්සා දැමීමේ උවමනාව සිත තුළ පෙරළි කරයි.

‘‘ඒ කෙල්ලො විසිපහටම මේච්චල් වුණේ නැති මනුස්සයා එක බැල්මට කාමරේට රිංගුවා පූස් පැටියෙක් වගේ.. මිනිහට ලැජ්ජ හිතුණා... අපිව දැක්කම..” 

මැයි මල් පවා සලිත වන සිනාවකි.

ඉන්කලකට පසු ඇහැක් ඇර බලන්නට හෝ ඔහු සැබවින්ම සරසවි බිමේ වූයේ නැත. පොලිස් නිළධාරියකු ලෙස පත්වීම් ලැබ නික්ම ගිය බව දැන ගන්නට ලැබිණි. විභාග සමයන්හිදී නේවාසිකය ඉදිරි පිටින් යනෙනු දුටුවද උත්තරා ඇස නොගැටී ඉන්නට ප්‍රවේසම් වූවා ය. නමුත් සිව්වසර පුරාම ඔහු සරසවියේ සැරිසැරුවේ නම් තනිවම ය.

ඒ දෙනෙත් සමග සියලු සන්නිවේදන සබඳතා බිඳ වැටී තිබුණු කාලයක් බව උත්තරාට මතකය.

................................................

‘‘සියලුම ප්‍රකාශ ලබා දීම අත්හිටුවන්න තීරණය කළා.. ” දෙනෙත් පවසයි.

‘‘ඇයි ?”

‘‘ඔය කතා කරන්නෙ මගේ දුක සැප අහන්න නෙමෙයිනෙ.. ඔයාගෙ කතාවෙ අඩුලුහුඩු පුරව ගන්න..” ඒ නෝක්කාඩුවකි.

‘‘ඔයාට දුකක් නෑ කියල මං දන්නවා.. ඉතින් අමුතුවෙන් දුක සැප හොයන්නෙ මොනාටද?”

‘‘ මගේ සැප ගැන නම් කියල වැඩක් නෑ... අඩුතරමෙ අම්ම තාත්ත නැති වුණ දවසක මට යන්න තැනක්වත් නෑ.. ඔයානං ගේ පොඩ්ඩක්වත් හදා ගත්තා.. අපට අවසර නෑනෙ ඉතින් ඒ ගෙදර එන්න...”

උත්තර බදිනවාට වඩා මුනිවත රැකීම ‍හොද ය. ජීවිත වියමන රටා දමන්නට කියූ ලියූ කොතෙක් නම් වදන් උඩුහුළගට ගසා ගෙන ගොස් ඇත් ද? දුක සැප බෙදාගෙන ළගින් ඉන්නට පැතුම් පිරූ කාලයකුත් තිබුණා නොවේද? ඒ ප්‍රාර්ථනා දුහුවිල්ලක් තරමටවත් මායිම් නොකළේත් ඔහුම නොවේද? 

මේ නිමාවක් දුටු කතාවක් මිස අලුත් ආරම්භයක් ගත යුතු කතාවක් නොවේ. 

‘‘වයසට ගියාම, බලන්න කාත් කවුරුත් නැති වුණොත් එන්න... . හැබැයි දැන් නම් එන්න එපා. අමාරුවෙන් හදා ගත්ත හිතයි, සැනසීමයි නැති කර ගන්න ඕන නෑ මට... ”

උත්තරා කීවේ දැඩි සිතිනි. සිතින්, වචනයෙන් ක්‍රියාවෙන් හෝ අතපසුවීමකින්වත් නැවත හිත මත ගිනි කන්දක් පුපුරනු දකින්නට ඇයට අවැසි නැත. 



මේ ගෙවෙමින් පවතින්නේ ජීවිතයේ ආදරණීයම වසන්තය යි. දෙනෙත්ට වුව ඒ සදහා උරුමකම් කිව නොහැක.





Tuesday, December 3, 2013

පන්සලේ පියතුමාගේ නත්තල් ගී පෙළහර




නත්තල කියූ සැණින් හිතේ මැවෙන්නෙ විචිත‍්‍රවත් සිත්තමක්... හදවතට දැනෙන්නෙ සිහිල් සුළං රැල්ලක් හමා එන්නාක් බඳු නවෝදයක්... කෙනෙකුට නත්තල් සමය විනෝද සාගරයක් විය හැකියි.. නමුත් මට නම් එය සිත නිවා සනහන අසිරිමත් සුයාමයක්.. සැබෑ නත්තල ආදරයයි.. සාමයයි.. සංහිඳියාවයි.. එය සරල විය යුතුයි. මනුෂ්‍යත්වයෙන් පිරි යා යුතුයි.

නත්තල විචිත‍්‍රවත් කරන අංග අතර නත්තල් ගීතිකාවට, කැරොල් ගායනාවලට හිමි වෙන්නෙ සුවිශේෂී ස්ථානයක්.. සැබවින්ම වසර දෙදහසකට එපිට ජේසු බිළිඳා උපන් ඒ සොඳුරු රැයෙත් ගීතිකා හඬ අහස පුරා රැව් පිළි රැව් දුන්නා. දෙව් පුතුගෙ උපත ගැන මුලින්ම ගීතිකා ගායනා කළේ තණබිම්වල බැටළු රැල සමගින් තනි වෙලා උන්නු එ‍ඩේරුන් වෙතට ආව දේව දුතයො.. ඒ ගීතය බයිබලයේ ලූක්තුමාගේ සුවිශේෂයේ සඳහන් වෙන්නෙ මෙලෙසින්...

''අති උසස් තන්හි දෙවිඳුන්ට මහිමය ද
මිහිපිට දේව ප‍්‍රසාදය ලත් ජනයා අතර
සාමය ද වේවා...''



කිතුනු ජන වන්දනාවේ ගීතිකාවට හිමිවෙන්නෙ සුවිශේෂි තැනක්.  ''වරක් ගැයීම දෙවරක් යැදීමක්'' බවත්, එය දෙවියන් වහන්සේට දිය හැකි උතුම්ම ප‍්‍රශංසාවක් බවත් ඔවුන් අදහනවා. එනිසාම ගීතිකා ගායනය කිතුනු ජීවිතයේ උපතේ සිට මරණය දක්වා සෑම සුවිශේෂ අවස්ථාවකදීමත්, සෑම වන්දනා කටයුත්තකදීමත් අනිවාර්යයෙන් බද්ධ වන්නක්. ගීතිකා කියන්නෙ දේව වන්දනාව සහාම වෙන් වුණ ගායනා විශේෂයක්. ගීතය පොදු රස වින්දනය වෙනුවෙන් නිර්මාණය වන්නක්.. නමුත් දැන් ගීතිකාවත්, ගීතයත් එකිනෙක වෙන් කර හුනාගත නොහැකි තරමටම එකිනෙකට සම්බන්ධ වෙලා..

ඉන්දියාවේ සිට පැමිණි ගරු ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා සිංහල ගීතිකාවට ප‍්‍රවේශයක් ලබා දී තිබුණත්, සිංහල කිතුනු ගීතිකාව හෙළ බස් වහරින් සරල සුගම කර දේව වන්දනාවට නව මුහුණුවරක් දෙන්න ප‍්‍රමුඛ වූ අය අතර ගරු මර්සලින් ජයකොඩි පිය නාමය අද්විතීයයි. 

උඳුවප් මහ එළඹෙන්නෙම නත්තල් ගීතිකා, ගීත නිරන්තරයෙන් රැව් පිළි රැව් දෙමින්.. අද අප අසන, ගයන, විඳින ඉමිහිරි බැතිබර නත්තල් ගීතිකා අතර ගරු මර්සලින් ජයකොඩි පියතුමා විසින් රචනා කරන ලද ගීතිකා සුවිශේෂ අනන්‍යතාවයකින් පෙනී හිටිනවා.. ඒ ගීතිකා හරිම සරලයි... විචිත‍්‍රයි.. අසිරිමත්... සොබාදහම සමග අත්‍යන්තයෙන්ම බැඳී පවතිනවා. ඇත්තෙන්ම එතුමන්ගේ නත්තල් ගී නොමැති තැන නත්තලත් හිස් වගෙයි.

එතුමන් ලියු ප‍්‍රසිද්ධ නත්තල් ගී කිහිපයක්... 

සීනු හ`ඩින් ලොව පිබිදෙනවා

නත්තල දොර ළඟ හිනැහෙනවා

ගවහලකට තරුවක් යනවා

අහසට පොළව ගැටේ...



තරු එළියේ කඳු වැටියේ

බෙත්ලෙහෙමේ මංගල එළියේ

මල්වැසි වසිනු පෙනේ...

......................................

රැයක අඳුර දුරුවෙලා මුළුම අහස තරුවෙලා

පොඩි තරුවක් හිරු වෙලා මහඟු මඟුලෙකී

කුරුළු රංචු ඇහැරිලා මල් සීතට ඇහැරිලා

සැම තැන හිම ඉහිරිලා මහඟු මඟුලෙකී..



සීතත් ඇත.. ගීතත් ඇත..

රැයකුත් ඇත ගෙයකුත් නැත

ගව්වක් දුර යන්ටත් ඇත දරුවකු සොයලා

සැනසුම නැත උණුසුම නැත

මව්රුවනට පුතෙකුත් ඇත

යමු යන්නට ගොස් එන්නට

ඒ පුත බලලා.....


.........................................

රෑ තරු බබළනවා... මල් පිපිලා වාගේ

එළියෙන් නැහැවෙනවා.. මල් වැහැලා වාගේ



රැව් පිළි රැව් දෙනවා...

ගීත නාද වාගේ....ගීත නාද වාගේ....

බිලිඳකු හිනැහෙනවා.. මුහුදක රැළි වාගේ...

................................


බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා

ලස්සන බිළිඳෙක් මල් වගේ

මවගෙ ළයේ සුරතල් විඳින්නා

මුතු වැනි රූ සපුවයි ඇගේ



ජය ජය ජය සිරි... ජය මංගල සිරි

මංගල ආසිරි අත් වේවා....

මෙලොවට මේ නත්තල් දිනේ...

මේ ගීතිකා විමසන විට වුව පැහැදිලි වන්නේ අප වෙතින් බොහෝ දුර බැහැර දේශයක සිදු වූ නත්තල් උපත, තවත් අතකින් බටහිරකරණය වීමෙන් විකෘති වූ නත්තල අප සිත් තුළට සමීප කරවන්නට, අපේම අත්දැකීමක් කරවන්නට එතුමා සිංහල බස මනාව හසුරුවන ආකාරයයි.. සරල සුගායනීය රිද්මය එතුමාගේ පද ගැළපීමේ ම කැපී පෙනෙන ලක්ෂණයක්...

නත්තල ලාංකීය පොළව මත සුපුෂ්පිත කරන්නට එතුමා නත්තල් ගීතයෙන් කළ මෙහෙවර ප‍්‍රශංසනීයයි. ඒ සඳහා අපේ පරිසරය, ගැමිකම හා මුසු වු අපේම හදබසක් එතුමන් නිර්මාණය කර ගන්නවා. එයට උදාහරණ කීපයක් මෙන්න.

දින දින දොරකඩ කිරි ඉතිරේවා

මල් මී වද වේවා...

තොල තොල ගානේ කිරි පැණි බේරී

දිවිය මිහිර වේවා...

සීදේවිය ඇගෙ වීණාවත් ගෙන

ඔබට ළඟා වේවා...



නත්තල් ඇති තුරු මුළු දිවියම එක

වසන්තයක් වේවා...


.................................

වනබැද්දේ.. නිල්තැන්නේ.. කහවන් මල් පීදේ

රැස් දිස් වී.. රන්වන් වී.. සුළෙඟ් රැළි පෑදේ

හෙල් බෑවුම් අතරේ... දිය සීරාවන් වෑහේ

ඒ කිංකිණි නාදේ.. ජය රඟපෑමට සෑහේ....
..................................

ඔබ වෙත එමු මල් අරගෙන බෝවිටියා මල්

සෙව්වන්දි හා අරලිය මලිතිය ලිය මල්

වැටකේ මල් දුනුකේ මල් කොර කහ රත්මල්

වතුසුදු මල් කටරොළු සල්මල් ජේසු බිළිඳුනේ...‍‍

.............................

ඉර බැස යන සැඳෑවයි

පියා උදේ මුහුදට යයි

ළදරු දුවක පැදුරෙ නිදයි

නිදයි.. අ`ඩයි.. නිදයි.. අ`ඩයි..



පිපිරි පිපිරි පහන දැවෙයි

වැසි සුළෙඟ් වැටිය නිවෙයි

ගල් තුන උඩ බතක් ඉදෙයි

ලිපේ එළිය ගෙට පහනයි...



දිළිඳු පැලේ ජේසු උපන්නේ.... 



ගරු ජයකොඩි පියතුමා සිංහල වචනවලින් මවන නත්තල සරලයි. සරුව පිත්තල ආටෝපයෙන් වැසී ගිය අද නත්තලට වඩා එය නාගරීකරණය නොවු ගැමි දිවියට බෙහෙවින් සමීපයි.. දරු නැළවිල්ලක අසිරිය ගෙනෙන මේ නත්තල් ගීතය බලන්න...

නැළැවෙන්නේ - නැළැවෙන්නේ

පොඩි පුත නැළවෙන්නේ...

රන් තරුවක් අහසේ බබළන්නේ

ඔබ දෙස හැරි හැරි එබී බලන්නේ

නැළැවෙන්නේ - නැළැවෙන්නේ



නැළැවෙන්නේ - නැළැවෙන්නේ

දොයි දොයි දොයිය බබෝ... දොයියන්නේ

දොයි දොයි - තරු බබළන්නේ - එබී බලන්නේ

නැළැවෙන්නේ - නැළැවෙන්නේ

එතුමා නත්තල් ගීතිකාව මතු නොව සමස්ත හෙළ කිතුනු ගී කෙත අස්වද්දන්නට කළ මෙහෙවර අද්විතීය යි. එහි විවාදයක් නැහැ. නමුත් නත්තලේ අසිරි සිරිය විනා නත්තලේ සැබෑ අරුත මෙම ගීතිකාවලින් නිරූපණය වන්නේද යන්න ගැටලූවක්. නත්තලේ සිදුවීම් පිළිබඳව සෞන්දර්යාත්මක වර්ණනා මිස නත්තල තුළින් පිළිබිඹු වන දේව ධාර්මික, අධ්‍යාත්මික, සමාජයීය ගැඹුර එතුමන්ගේ නත්තල් ගීතිකාවලින් මතු නොවන බව පැහැදිලියි. එය ආනන්දෙයන් ඇරඹී ඉන් ඔබ්බට යා නොහී එතැන්හිම නතර ව ඇති සෙයකි.

නත්තලේ සැබෑ අරුත කැටි කොට ගත් නත්තල් ගීතයක් මුලින්ම අපට හමුවන්නේ නන්දා මාලනියගේ හින්...  එයා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්‍ ගේ පද රචනයක්..  ප‍්‍රශංසනීයම කාරණය වන්නේ එතුමන් බෞද්ධයෙක් වීම.  එකී නත්තල් ගීතයේ පද පෙළ මෙලෙසිනි.

ආලේලූයියා... ආලේලූයියා... ආලේලූයියා...


ජේසු ස්වාමි දරුවනේ... ජේසු ස්වාමි දරුවනේ

දුගී පැලේ දිනා මෙලෝ තලේ දිනූ

ඔබේ දහම් තියේ ද දැන් දිව නෙතින් බලන්...



පැල්පතේ හ`ඩද්දි සා දුකින් දුගී ළමෝ

මන්දිරේක සාදයක් ය මිහිරි නත්තලේ

ඒ නොවේය ස්වාමිනී ඔබ දෙසූ දහම්

ගොල්ගොතාව කුරුස කන්ද රතු ලෙයින් තෙමා...



රන් රිදී මැණික් නොවීය ඔබ සමීපයේ

දළ පිලී විනා දුහුල් නොවී ශරීරයේ

මන්ද මේ විලාසිතා දේව මන්දිරේ

යළි ගලීලයෙන් නැගී මෙලෝ තලේ බලන්

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පෙන්වා දුන් මඟ යමින් දැන් දැන් නත්තලේ සැබෑ දේව ධාර්මික අර්ථය, සමාජමය වටිනාකම කැටි කොට ගත් නත්තල් ගීත විරලව නමුත් නිර්මාණය වෙමින් පැවතීම සුභවාදී අපේක්‍ෂා දල්වයි.

එවැනි නත්තල් ගීත කීපයක් පිළිබව ඉදිරියේදී ඔබ හා අදහස් බෙදා ගන්නට කැමතියි... මේ සුන්දර දෙසැම්බරයේ... 

 ආශ්‍රිත ග්‍රන්ථ - 

  • දේශිය නත්තල් ගීතයෙන් මතු වන ජයකොඩි පිය ලකුණ - ගරු බෙනඩික්ට් ජෝෂප් පියතුමා
  • උපතකට ගැයෙන ගී - කිතුසර කණ්ඩායම