Friday, January 31, 2014

නේහා!!!




නේහා!!!

මම හෙමිහිට ගුරු පාර දෙසට විවෘත ව ඇති කවුළු තිරපට මුදාහැරියා. කෘතිම ළදළු පත් සලුවෙන් සැබෑ හරිත ඇතිරිල්ල වැසී ගියා. ''නපුරි'' හිතුවක්කාර සුළං රැල්ලක්  නෝක්කාඩුවක් පාමින් ‍කවුළුවෙන් රිංගාවිත් ඉදිරි දොරින් පිටවුණා. 

මා පැමිණ ඇති බව දැණුනොත් ඈ නිසැකවම නිවසට ගොඩ වේවි. ඇගේ කතා කෝච්චියට ගොඩ වෙන්නට මටත් සිදුවේවි. ඉන්පසුව මට මාවත් අමතක වී යාවි. තවමත් මම ගෙට ගොඩවුණා විතරයි. කරන්නත් වැඩ එමටයි...  හි‍තේ ඇඳගත්ත ද‍වසේ සැලැස්ම අවුල් කර දමන්න ඇගේ එක වචනයක් වුණත් ප්‍රමාණවත්. මම ඒ බව දන්නෙ අත්දැකීමෙන්. ඉකුත් සති අන්තයේ ඇඹරැල්ලා මාළුව අඟුරු ‍ගොඩක් වුණෙත්, බත කරකුට්ටං වුණෙත්, මා ඇගේ වදන් ඔස්සේ දිග දුර ගමනක් ගොස්  අතරමංව සිටි නිසයි !!! 

අනේ ආගන්තුක සුළං රැල්ල.. නුඹ කොහොමද ඒ අතීත කතා දන්නෙ?

මොනව වුණත් නේහා හොඳ කෙල්ල..

ගිරවියක් වගේ තොරතෝංචියක් නැතිව කියෙව්වත් ඒ කියවිල්ලෙ මොකද්දෝ අමුතු හිත් ගන්න ලතාවක් තියෙනවා.. හිත් ගන්න කතාවකුත් තියෙනවා. වෙලාවකට මට මාවම කියවගන්නව වගේ දැනෙන්නෙ. මට ම‍ නොතේරෙන මගේ හිතේ කතා ඇගේ කතාබස් එකේදි අමුතු සිරියාවක් පිරියාවක් ඇතිව පෙනී හිටින්න ගන්නවා. ඉතින් මට උන්හිටි තැන් අමතක වෙන එකත් අරුමයක් නෙවි.

ඈ අරන් එන්නෙ ආදර කතන්දර.. පුංචි පැටවුන් ගෙ ලෝකෙ ලස්සන හීන .. ඒත් ඇගේ ඇස්වලින් වෑහෙන ඇගේ ම ආදරයක් මට හංගනවාද කියලා ළඟකදි ඉඳන් මට හිතෙන්න අරන්.. කිසිවක් නොදන්නා ගාණට මං ඉන්නෙ ඒ මහ රහස හංගගෙන කිචිබිචි ගාන ඇගේ අහිංසක දාංගලය හදවතින්ම විඳිමින්.

නමක් නැති, පොළව උඩ ඉන්න බව දැනෙන, හරි අපූරු හීන කුමාරයෙක් ඇයට ඉන්නවා. මට එහෙම හැඟෙනවා.. ඒ තරම් බොළඳ හිතක මේ තරම්ම සුවිසල් ආදරයක් උත්පාද වුණේ කොහොමද? වෙලාවකට මට පුදුමත් හිතෙනවා. 

නේහාගෙ ඇවතුම් පැවතුම් හුඟක් සමාන කලබලකාර පුංචි ළදැරියකට. ඇය ළඟ ඔබ උන්නොත්, ඊළඟ මොහොතේ ඇය කුමක් කරයිද කියලා ඔබට අනුමාන කරන්න බැරි තරමට, ඇගේ සිතිවිලි වෙනස් වෙනවා. මුහුදු රැල්ල වගේ.. මහා බර සාර කතා කියන අතරම ඇය නිතරම කටට දාගන්න දෙයක් හොයන්නෙත්, රස කෑමක් නැති වීම ගැන දොස් නගන්නෙත්, මේ ගෙදර ඇගේ යැයි හැඟෙන ගණනට..

ඇයට බොම්බයි මොටයි සීනුව ඕනෙම ඈතකදි හඳුනා ගන්න පුළුවන්. ඕනෙම කඩේකට ගිය ගමන් නේහාට ඕනෙ කරන්නෙ මැද චොක්ලට් වැඩි ඩෝනට් එකක්. ඒ තරම් සැහැල්ලු ළදැරියක් වැනි ඇය මගේ ළඟටම වෙලා හංගගෙන රසවිඳින හරස් පද ප්‍රහේලිකාව විසඳගන්න මම උත්සාහ කරනවා. සමහරවිට මගේ කතාව මට ම කියන කැටපතක චරිතය ඇය රඟනවාද කියලාත් මට හිතෙන තරම්.

'' මම කෙනෙක්ට ආදරේ කරනවා නම් ඒ කෙනා ළඟ ඉන්න මම ආසයි... එයා ආසා කෑමක් හදා දෙන්න.. වයින් වීදුරුවට ගිහිං අයිස් කැට දෙකක් දාන්න.. මම ආසයි.. එයාගෙම දරු පැටියෙක් හදලා.. එයා තරම්ම සුන්දර මනුස්සයෙක් කරලා ලෝකෙට දෙන්න ආසයි අක්කි. මම කවදා හරි ආදරේ කරන්නෙ, රීප්ලේස්මන්ට් එකක් හොයන්න නැති, පිරිමි කම උතුරන පිරිමියෙකුට විතරයි...අක්කි.. එහෙම කෙනෙක් ගැන අයිති කරගන්න ආසාවට වඩා දැනෙන්නෙ මහ පුදුම ගෞරවයක්.. ආඩම්බරයක්.. එහෙම කෙනෙකුට මම වගේ කෙනෙක් ආදරේ කරන්න තරම් වටින්නෙ නැති වෙන්න පුළුවන්... හැබැයි එහෙම කෙනෙක්ට මම ආදරේ කළොත්, මම හරි ලකී අක්කි.. ලෝකෙම ඒ ගැන එයාට දොස් කියන්න ගත්තොත්, මම මුළු ලෝකෙටම කියනවා...ආදරේ කළේ මම විතරයි කියලා.. කාටවත් බෑ එයාට දොස් කියන්න.. මම එයාට ආදරේ කරන්න වටින තැනට පත් නොවුණොත් වරද මගේ මිසක්.. එයාගෙ නෙවෙයි''

හුස්මක් පවා නොගෙන ගලාගෙන ආ ප්‍රේමණීය වදන් පෙළගැස්ම අතරතුර විරාමයක්.. දීර්ඝ සුසුමක්... ඈ මගේ නෙත් තුළ කිමිදෙයි. මම මගේ සිත තුළ ම කිමිදෙමින් සිටිමි.. මං තවමත් ඒ කතන්දර මතක් කරන්නෙ හිත හිරි වැටෙද්දි. කවුද කියල හිතා ගන්න බැරි වුණත් මේ හීන කුමාරයෙක් වෙන්න බෑ... කවුද කියන පැනය ළග හිත නතර වෙද්දි මතක් වෙන ඇස් දෙකක් ගැන මහා ලෝබකමකින් මගෙ හිත ඇවිලෙනවා.. ඒත් මට දැනෙනවා ඇගේ හීන කුමාරයා සහ මට මැවෙන ඇස් දෙක අතර කොහෙත්ම සම්බන්ධයක් නැති වග. ඉතින් හිතේ ඇවිළිල්ල වෙව්ලිල්ල වියැකිලා සැනසිල්ලක් දැනෙනවා ‍නොදැනිම.

''ඔයා හරි වාසනාවන්තයි නංගි..'' 

''ඇයි?''

''ඔයා ආදරේ ගැන ලස්සනට හිතනවා... ඒ තරම්ම ලස්සනට කවදා හරි ආදරේ කරාවි.. මට ඉරිසියත් හිතෙනවා..''

''අපිට ලෝකෙ ආදරය කරන්න උගන්වන්නෙ නෑ. වෛර කරන්නයි කියාදෙන්නෙ. හැමෝම බයයි, ආදරය වෛරයෙන් කෙළවර වෙයි කියලා..... බල කරන්න.. අයිති කරගන්න දඟලන්න හො නැහැ අක්කි. නිල් මානෙල් මල් අයිති විලටයි. නෙළුවොත් තියන්න පුළුවන් දවසයි.. මම මල විලේ තියලා විඳිනවා...ළඟට ගිහින් ඉඹිනවා සුවඳ විිනවා. මේ මල මගෙයි කියලා ලෝකෙට කෑ ගහන්න මට ඕනෙ කරන්නෙ නෑ.. ආදරේ කරන්න ඕනෙ එහෙමයි.''

අන්න ඒ සුන්දර,‍ ප්‍රේමණීය කතාබහ දිග්ගැහුණු දවසෙ තමයි මගේ ඇඹරැල්ලා වෑංජනය අඟුරු ‍ගොඩක් වුණේ.. බත කරකුට්ටං වුණේ...

.......................................

''අක්කී...''

පෙරදි නම් අක්කී කක්කී තරමට අප්‍රියකාර වදනක් වුවත් ඇය ඒ මත තවරන අතිමහත් ස්නේහය නිසාම දැන් දැන් එය සුපුරුදු සුන්දර ආමන්ත්‍රණයක් විදියට මගේ සරල සිංහල ශබ්දකෝෂයට එක් වෙලා.

'' ඔන්න බලන්න.. මං හිතුවා ඔයා ඇවිත් කියල''

ඈ ගෙට ගොඩවුණේ හිනා මල් යායක් සාලය පුරාවට හලාගෙන.. හරියට මගේ හිම මල් යාය වගේ.. ( දැන් ඉතින් තවදුරටත් පොඩිසිඤ්ඤමරං මල් නෑ.. දනපති නට්ටං, ලොක්කං නට්ටං නෑ... හිම මල්.. හිම මල්.. හිම මල්.. )

''ඔයා හරියට දිවැසිවරියක් වගේනෙ..'' මං කිව්වෙ විස්මය ඇස් අස්සෙම හංගගෙන.. වහංවෙලා ඉන්න හැදුවට කොහොමද මාව හොයා ගන්නෙ මේ හැටියෙන්..''

''මට සුවඳ ආවා...'' 

''සුවඳ?''

'' හ්ම්... ඔයා පත්තු කරන හඳුන්කූරුවල සුවඳ.. ගව්ගාණක් ඈතට එනවානෙ.. ''

''ආ....හා.. ඒ සුවඳටයි පුංචි සමනලී ඇදුණෙ එහෙනම්...'' 

''මං හිතන් උන්නෙ අක්කි හෙණණණ රැඩිකල් චරිතයක් කියල... '' 

ඈ කියන්නෙ සුරුවම් කූඩුව වෙත ම දැල්වුණු දුඹුරු සුන්දර නෙතින්. එහි පහන් සිළුව මඳ පවන් රැල්ලක් එක්ක සියුමැලි නර්තනයක.. ඉද්ද මල් පීරිසිය වටේ කැරකෙන සඳුන් දුම් රැල්ල කවුළුවෙන් එපිටට ගලාගෙන යන බව මං දැක්කෙ එවෙලෙ.. සතිඅන්තයේ පමණක්ම විවර වන දොර කවුළු අතර හුදකලා වුණු ගෙට සිරියාවක් එන්නෙ අතුපතු ගාලා, අස්පස් කරල, මේ වතාවතටත් ඉඩ දුන්නට පස්සෙ කියලයි මට හිතෙන්නෙ. එය භාවනාවක් වගේ හිත එක්තැන් කරන සුන්දර වැඩක්.. කවියක් ලියනව වගේ.. සිත්තමක් අඳිනව වගේ... හිත නිවෙනවා.. සැනසෙනවා.. 

රැඩිකල් නොවන වැඩ ගොන්නට ඈ දාගන්න ඇත්තෙ එය වෙන්න ඇති.

'' මං රැඩිකල් චරිතයක් කියල හිතුවෙ ඇයි?''

'' නෑ ඉතිං මෙහෙම තනියෙන් නිදහසේ  ජීවත් වෙන එක.. තමන් කැමති තැනක යන එන එක.. තමන් කැමති විදිහෙ වැඩ කරන එක......''

ඇය තව තවත් මගේ රැඩිකල් කමට උදාහරණ එක්කරන්නට සැරසෙයි.

'' ඒක හුදකලාවට තියෙන කැමැත්ත නැත්නම් ජීවිතයත් එක්ක අරගල කරන්න තියෙන බය වෙන්න බැරිද? රැඩිකල්කම කියන්නෙ ඊට වඩා වෙනස් ගැඹුරක් තියෙන ජීවිත පැවැත්මක් නංගා..'' 

''බය!!! ඔයා බයගුල්ලියක්ද? ආ......?? හරි පුදුමයිනෙ. '' ඇගේ දෑස් විස්මයෙන් විසල් වෙයි.

ඈ දැන් වයින් කළ බෝනික්කියක් මෙන් සිනාසෙයි.. ඒ සිනාව මට ද බෝවෙන්නාක් වැනි ය..

''මොනා උණත් එක දෙයක් මට පැහැදිලියි.. අක්කි තනිවෙලා නෑ..'' ඈ පවසන්නෙ නළල රැලි ගන්වමින්, ඇසක් ඉඟිමරමින්.. දෙතොල් පෙති නටවමින්...

''ඔයා කොහොමද එහෙම හරියටම කියන්නෙ..?'' මටවත් මෙතෙක් සොයා ගත නොහැකි වූ... ම‍ගේ තනි නොතනිය මනින මිම්ම ඇය සොයා ගත්තේ කෙසේද?

''ඉතිං ඔයා ලියන කියන හැමදෙයක් ඇතුළෙම මහා ආදරයක් තියෙනවානෙ. මේ ගේ පුරාමත්, හැමතැනකමත් ආදරවන්ත මනුස්සයෙක් ඉන්නවා. පෙනී නොපෙනී.. මට ඒක හොඳටම දැනෙනවා අක්කි.. '' 

 ඇගේ ඇස් රැස් මවමින් තැන තැන විසිරී ඇති පොත්පත්, ලියකියවිලි වෙත සැරිසරයි. රාමුගත සිත්තමක ඈත දුරක දැල්වුණු දෑසක් වෙත පාවී ස්ථානගත වෙයි.

ඈ නම් වඩාත් ගැළපෙන්නෙ රහස් ඔත්තු සේවයකට කියලා මට හිතුණා.

'' ඈත දුරක දෑස පාවෙලා... ගොළුවීලා ඔහේ තනිවෙමු....''

මේසය මත ‍ඇති පොතක පිටු පෙරළමින් ඈ ගයයි.. මාතින් එහි පදපේළි සම්පූර්ණ වෙන්නෙ නිතැතින්ම...

''.. පාළු ලොවක... ඈත දුරක දෑස පාවෙලා... ''

'' අක්කී..''

''ම්ම්...''

'' දන්නවාද අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ ඇයි කියලා?''

'' ඇයි?''

''ආදරය දෙන්න.. හැබැයි ආදරය අරන් යන්න නම් නෙවෙයි.. අපිව ළං කරගන්න අය ඕනම මොහොතක ඈතට යන්න, කියලා අපිට නිදහස දෙන්නෙ ඒකයි. ඒත් ඒ හුඟක් අය ඒ නිදහස දිගේම අපිව අයිති කරගනීවි.. අපි ඒ අයගෙ පැත්තකින් ඉඳන්, ඒ අයගෙ ජීවිත පුරවන්න ඕනෙ.. හැබැයි ඒ අය අපි ළඟ ඉඳියි කියලා බලාපොරොත්තු වෙන්නෙ නැතුව... කොයි තරම් නිදහසක් දුන්නත් ඒ අය නිසාම අපි අනිත් ජීවිත වලට වඩා හිර වෙලා.. 

...ඒ ආදරෙන් මිදිලා හුස්මක් ගන්න එකත් එක වෙලාවකට වේදනාවක් අක්කි...''

ඈ වත පුරා බැරෑරුම් බවක් පැතිර යයි.. සිනාසෙන දෑසේ යළිත් රහසක ලකුණක්.



ඇසිල්ලකින් ඈ සුසුමක් හෙළයි. ඉතින් කුමක් නම් කියන්නද? උගුරෙහි යමක් හිර වී ඇතිවාක් මෙනි. කුටියේ කවුළුවෙන් ඈත දුරක පාවුණු දෑස ය. ඈ තවදුරටත් කතා කරන්නේ මට නොවේ.. ඇයටමයි. ඇගේ හිතටමයි.. ඒත් ඒ මම ගැනයි. මට හිතෙන්නෙ එහෙමයි.

'' ආදරේ කරන්න තෝරාගන්නවා නම් ඒ ප්‍රති ආදේශකයක් නැති පිරිමියෙක් වෙන්න ඕනෙ..හැම දේම පුළුවන් පිරිමියෙක් වෙන්න ඕනෙ... කවදාහරි එහෙම කෙනෙක් ළඟ නතර වෙන්න... එයා තුළ කවියෙක්, ලේඛකයෙක්, දේශපාලඥයෙක්, මතධාරියෙක්, චින්තකයෙක්, දාර්ශනිකයෙක්.. ඔය කවුරු හරි ඉඳීවි... සමහර විට හුඟක් අය ඉඳීවි.. හැබැයි අපි  හොයා ගන්න ඕන.. එයා ඇතුළෙ ඉන්න කුඩා දරුවාව.. තරහ ගන්න පුංචි කලබලකාරයාව.. මුරණ්ඩු හිතුවක්කාරයාව.. හදවත කිති කවන දඟකාරයාව.. ඉන් පස්සෙ ආදරේ කරන්න ඕන ටිකෙන් ටික.. ඒත් යම් දවසක ඒ බැඳීම අත්හරින්න එයාගෙන්ම බලපෑමක් එන්න පුළුවන්. ඒකට බයවෙන්න නරකයි. ඒක වෙන්නෙ ඒ පැත්තෙන් නම් අත්ඇරෙන්න ඉඩදෙන්න, බයවෙන්න එපා.. දුක් වෙන්නත් එපා.... ඒත් ඒක වෙන්නෙ අපේ පැත්තෙන් නම් ඒක හොඳ නැහැ.. ආයෙත් මතක් කරගන්න. අපි ලෝකෙට ආවෙ ආදරේ කරන්න කියන දේ.... සදාකාලිකව ඉවසන්න... ස්වර්ගය ඔයාට ළං වේවි''

මම ඇස් බිමට බර කර ගනිමි. එහි උණුහුම්ව නළියන කඳුළු කැට පෙරහැරකි. කස පුපුරන්නේ හිත තුළ ය.

ඈ ක්ෂණිකව මා දෙසට හැරෙයි.

''අදත් ඔයාගෙ බත රොස් වීමේ පාපකර්මයට අනුමෝදන් වෙන්න මට බෑ ''

මගේ හිත අවුළුවා තබා ඈ යන්නට සැරසෙයි.. ඉතින් අදත් වැඩක් කෙරෙන්නේ නැති බව සහතිකය. නේහා උන්නා නොඋන්නා කියා දැන් වෙනසක් වන්නේ නැත.

 ''යන්න එපා කෙල්ල. මට පාළුයි.. කයියක් ගහන් වැඩ කරමු ''

 ''ඔය පාළුවට බේත මම නම් නෙවෙයි..''

නෙතින්ද, දෙකොපුලෙන් ද, දෙතොලින්ද, සිනාසෙන ඈ.. පොත් රාක්කයේ  පොත් පේළියක් මත සිය දෑත සිනිඳුවට හුරතල් කරවයි..

''මගේ ලොවට ඔබ වඩිනතුරා...

තරුවක් වාගේ හෙටත් නොපායන

මගේ යොවුන් හද ප්‍රාර්ථනා..''

සිනා බෝ වී... බෝ වී.. බොහෝ වී... කොපුල් නලියනු දැනෙයි. ඉදින් මම, කවුළු තිර හැර දමා මොහොතක් දෑස් පියාගෙනම හිතුවක්කාර සුළං රැල්ලක මුණුමුණුවට සවන්දෙමි.

''ආදරයටත් නිදහසේ හමාගෙන යන්න ඉඩදෙන්න හරියට මේ හුළඟ වගේ.. හුළඟ නේහා වගේ... අතින් අල්ලල නවත්තන්නවත්, අල්ලල හිර කරගන්නවත් බැරි තරමට ඇය වගේ.... ඇති වෙනතුරු දාංගල් කරන ඒත් මහා වස්තු සම්භාරයක් ගැඹුරෙම හංගන් ඉන්න මහ මුහුද වගේ... මහ මුහුද නේහා වගේ.. කොච්චර රිදුණත් බලා ඉන්න හිතෙන තරමට සොඳුරුයි.. "

සිතට දැනෙනා ඈ ගැන සිතුවිලි සිත තුළම සවා ගෙන සෙනෙහස පිරුණු මගේ ඇස් ඈ හොයනවා. නේහා තවමත් ඇගේ ලෝකයේ ගීතවත්...  


නිල් පැහැති සෙටින් පටියක් ඉන වටා බැඳී, සොඳුරු ලිහිල් සුදු ගවුමක්.. මල් ඔටුන්නක්..එක්ක ඇයව මවා ගන්න මම උත්සාහ කරනවා. ඇය දුකට පත් හදවත් මත ජීවිතය පුරවන පුංචි සුරංගනාවියක් වගේ. 

දෙවියන් වහන්සෙ එහෙම අයව කලාතුරකින් ලෝකයට එවනවා.




ප.ලි.
කෙටිකතාවක් නොවේ. ස්නේහ වරුසාවක් වන් නේහා ජීවිතයට අත්වැලක් වෙමින්, ස්නේහයට අත්පොතක් වෙමින් හිඳින්නීය.



Thursday, January 23, 2014

''චේ කෝ...'' සහ තවත් කතා





කෙටිකතාව පිළිබඳ මගේ හැඟුම් මෙබඳු ය. 

එය ඉතා සියුම් සාහිත්‍යමය ප්‍රකාශනයකි. කවිය තරම්ම සියුම් භාව ප්‍රකාශනයකට වුව ද පිවිසීමේ හැකියාව ඇති සාහිත්‍යාංගයකි. නවකතාවෙන් ජීවි‍තයේ සමස්තය හෝ විසල් පදාසයක් පුළුල්ව නිරූපණය වන විට කෙටිකතාව ජීවිතයෙන් අංශුවක්, පැතිකඩක් සියුම්ව ග්‍රහණය කොට ගනියි.  ඒ හරහා ක්ෂණික, ප්‍රබල ආලෝක ධාරාවක් ජීවිතයට එල්ල කරයි. 

විටෙක එය කම්පනයකි. තිගැස්මකි. විටෙක සුසුමකි. හෘද රිදුමකි. තවත් විටෙක ආනන්දයකි. සංහිඳියාවකි. කෙසේ නමුත් සාර්ථක නිර්මාණයක් නම් අවසන එය ජීවිතය පිළිබඳ පුළුල් අවබෝධයකට යා හැකි ප්‍රඥාවේ පහන් දල්වන්නකි. 

කෙටිකතාව පිළිබඳ එබඳු වූ මගේ හැඟුම් සමග සමපාත වන කතා එකතුවක් සුන්දර රස්තියාදුවක අතරමග මා අතපත් විය.  ඒ අනුරසිරි හෙට්ටිගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන  ''චේ කෝ සහ තවත් කතා'' ය. විප්ලවයේ සොඳුරු පෙර ගමන්කරු ''චේ'' පිළිබඳව අංශුමාත්‍ර හෝ දැනීමක් ඇති කවරෙකු වුව ද ආකර්ෂණය කළ හැකි නමක්, සහ පිටවැස්මක් කෘතිය සතු බව බැලු බැල්මට වුව පෙනේ.  

ඔහු පළමු කෙටිකතා සංග්‍රහයෙන්ම සම්මානනීය කෙටිකතාකරුවකු ලෙස නමක් දිනා ඇත්තෙකි. පළමු කෙටිකතා සංග්‍රහය වන ''සිංහබාහු එනකං'' හදිසියෙන් කියවා එසැණින්ම අන්සන්තක වූ නිසා ඒ පිළිබඳ වැඩි දෙයක් ලිවීමට හෝ සන්සන්දනාත්මකව ඔහු කෙටිකතාව තුළ ආ ගමන පිළිබඳව සාකච්ඡා කිරීමට තරම් මතකය නිරවුල් නැත.  

නෙත කඳුළු නැංවූ ''මං ජානකගෙ තාත්තා'' වඩාත් මසිත පැහැරගත් කතාව ය. සිත පැහැර ගත්තාට වඩා සිත පෑරුවා යැයි කීම වඩා උචිත ය. එය එතරම් ම අනුවේදනීය ය. වඩාත් ‍අනුවේදනීය වන්නේ උතුරු දකුණු භේදයකින් තොරව මේ ඉරණමට මුහුණ දුන්, මේ මොහොත වන විටත් මුහුණ දෙන මිනිසුන් බොහෝ වන බැවිනි. අනාගතයේ තව කොතෙක් නම් විය හැකි ද?

''අපි කොහේද යන්නෙ?''

නන්නාඳුනන වුන් ලෙසින් මහමග යනෙන යුවළක් අතරින් ගැහැණිය පුරුෂයාගෙන් අසන ඒ පැණයෙන් කතාව ආරම්භ වේ. කතාව අවසන් වන්නේත් එම වැකියෙනි. එකී කතාවද අතික්‍රමණය කරමින් කෘති‍ය ආරම්භයේ සිට අවසානය දක්වාත්, ඉන් නොනැවතීත් සහෘදයා තුළ නින්නාද නගන පැණයක් බවට එය පත් වනු වැළැක්විය නොහැකිය. 
''අපි කොහේද යන්නෙ?'' 
නාඳුනනවුන් ලෙස එකම මග ගිය ද, ඔවුන් ජීවිත කාලයක් එක් ව දිවි ගෙවූ අඹුසැමි යුවළක් බව පසක් වනු යේ කතාව අගදී ය. ''අපි කොහේද යන්නෙ?'' නිශ්චිත පැණය අසන මොහොත වන විට අඹුසැමියන් ලෙසද, මව්පියන් ලෙස ද ඔවුන් දිගු දුෂ්කර, කටුක ජීවිත ගමනක් එක් ව පැමිණ තිබිණි. එකී ගමනේ අවාසනාවන්තම, කාලකණ්නිම මොහොත මෙකී පැනය අසන මොහොත බවට පත්ව තිබෙන්නේ අහම්බයකින් නොවේ. 80 වැඩ වර්ජනයෙන් රැකියාව අහිමිව දරු තිදෙනෙක් සමග ජීවිතය දිනන්නට නොනවතින කටුක අරගලයක ජීවිතය පුරා නිමග්නව සිටි වීරසිරි සහ නාලනීගේ එකම පුතා අහිමි වීම ඔවුන් මුහුණ දුන් දිගුකාලීන ඛේදවාචකයේ උච්චතම අවස්ථාවයි. 
පුතා යනු ඔවුන්ගේ ජීවිතයේ උත්තම සිහිනයක් සැබෑවීමක් නොවීද?

'' අන්ති‍මේදි ඔයා මට පුතෙක් දුන්නා...''
''මම...? ඒක ඔයා මට දුන්න තෑග්ගත්..''
''ඔව් මේ අපේ බලාපොරොත්තුවක්..''

පිටුව 23
ඒ මල්ඵල දරන සිහිනය දෙස ඔවුන් පැතුම් දල්වමින් බලා සිටියා නොවේද?
''දරුවා කොච්චර වෙනස්වෙලාද?''
''ගාම්භීර පෙනුමක් දැන් තියෙන්නෙ..''
''ලෙනින්ගේ ව‍ගේ ද?''
''ඊටත් වැඩි''
''මට බයයි ඒයි..'' 
පිටුව 26‍
ඒ සිහිනය දකින්නට ඔවුන්ට අයිතියක් නැතිද? එම සිහින බලහත්කාරයෙන් උදුරා ගැනීම කෲරකමක් ම නොවේද?
'' මහත්තුරුනේ ජානක.. ඒ අපේ පුතා..

.. පහුගිය ශිෂ්‍ය අරගලයෙදි අතුරුදහන් වෙච්ච ජානක ම‍ගේ පුතා.. ඒ මගේ එකම පුතා. මේ ඉන්නෙ එයාගෙ අම්මා. පුතා තමයි අපේ ජීවිතේ.....කෝ අපේ පුතා.. 

... සමාජයේ හැමෝටම තියෙන්නෙ එකම අයිතිවාසිකම්. ඒ අයිතිවාසිකම් අසාධාරණ විදිහට යටපත් කරගෙන ඉන්න මිනිස්සුන්ට විරුද්ධව හඬ නගන එකත් මිනිස් අයිතිවාසිකමක් මහත්තයො. ආණ්ඩුවක් පත් කරගන්න එක වගේම ආණ්ඩුවකට විරුද්ධ වෙන එකත් මිනිස් අයිතියක්. ජානක මගේ පුතා.. එයා පාවිච්චි කලේ අන්න ඒ අයිතිය.. ඒක අපේ පුතා අපෙන් පැහැර ගන්න තරම් වැරුද්දක් නෙමෙයි........''

පිටුව 28

ජානකගේ තාත්තා නැතිනම් වීරසිරි දුම්රියපළ ඉදිරිපිට සිට මගතොට යනෙන මිනිසුන් අමතා කරන මේ කතාවටත් වඩා මගේ හිත පෑරවූයේ ඔවුන් දෙදෙනා අතර පණ ගැහෙන නිහඬතාවයයි. ජීවිතකාලයක් එක්ව විඳි දුක් කන්දක උච්චස්ථානයේ ඔවුන් පෙළන අවිනිශ්චිත අන්ධකාරයයි. 

දශක දෙකක ජීවිත අත්දැකීම් අරපරිස්සමින් තෝරා‍ බේරා ගනිමින්, කතාව ගොනු කරන්නට කතුවරයා සමත් වී ඇත.  කෙටි වේදිකා නාට්‍යයක් නරඹන්නාක් වැනි හැඟීමක් සජීවී අත්දැකීමක්, කම්පනයක් සිදුවීම් පෙළගැස්ම තුළ නිරායාසයෙන්ම මතු වෙයි.

''ගැහැණු ළමයාගේ දවස''  අනාගත කාලයක තබා අරඹන කෙටි කතාවකි. අතිධාවනකාරී සංවර්ධන පෙළහරක කෙළවර උදාවෙන අනාගතය මේ යැයි කියන්නට මෙනි. එකී අනාගතය කතාව තුළ ප්‍රබලව මතු නොවෙයි. ඒ වෙනුවට අප්‍රමාණ ගැහැණු ළමයින් අවප්‍රමාණ පහසුකම් මැද අපරිමාණ දුක් කන්දරාවක් විඳිමින්  ජීවිතය අහුලන වෙළඳ කලාපයේ එක් යුවතියක් කෙරෙහි විශේෂ අවධානය යොමු කරයි. එස්.ඒ. 99 ලෙසින් හැඳින්වෙන ඇය සහ මාර්ගෝපදේශක අතර හුවමාරුවන ලියුම් ගණුදෙනුවක හැඩයෙන් කතාව විකාසනය වේ. එකී ලියුම් ගණුදෙනුව විටෙක අපූර්වත්වයක් ඇති කළ ද විටෙක ඒකාකාරී බවක් ද දනවයි.

'' මට මගේ කන්‍යාභාවය මහ බරක්. ඒක පාදඩයන්ගේ කාලකණ්නි සතුටට උගස් කරන්න මං කැමති නෑ. මං ගැන නරක විදියට හිතන්න එපා. මං ඉල්ලන්නෙ මේ බරින් වැදගත් විදිහට.. ඒ කියන්නෙ මගෙ හිතේ ගෞරවයක් ඇති වෙන විදියට නිදහස් වෙන්න මට උපකාර වෙන්න කියල..''  

කෙටිකතාව තුළ වඩාත් කම්පනයක් ඇති කරන අවස්ථාව මෙය බව කිව හැකිය. යුවතියක වෙතින් මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් වන්නට තරම් බලපෑමක් සමාජය වෙතින් එල්ල වීම කොතරම් ඛේදනීය ද?   

2018 අප්‍රේල් 05 වෙනිදා මහල් හතළිහකින් සමන්විත තරු අටේ හෝටලයේදී මැදිවියේ විදේශිකයකුට තුරුළුව සිටින එස්.ඒ. 99 නැවත කථකයාගේ ඇස ගැටෙන විට ඇය වෙතින් මුදා හැරුණු අපහාසාත්මක සිනාව සමස්ත සමාජය වෙතම එල්ල කරන විරෝධයක් වැනිය. අද වෙළඳ කලාපය තුළ ශ්‍රමය සූරාකෑමට, ලිංගික සූරාකෑමට ලක්වන යුවතිය හෙට අපට හමුවන්නේ කැසිනෝ පුරවරය තුළ විය ‍නොහැකිද? ඇගේ කන්‍යාභාවයට ඩොලර්වලින් ලංසු තැබෙන දිනය වැඩි ඈතක නොවිය හැකිය. 

‘‘13 ප්ලස්” වත්මන් දේශපාලන සංස්කෘතිය සමීප සිතුවමකට නතු කර ගත් කෙටිකතාවකි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ 13 ප්ලස් ගැන මළපොතේ අකුරක් නොදන්නා දේශපාලඥයා අතින් දැරියක දූෂණය වීම මෙන්ම එය ඔහු සිහිපත් කරන සැහැල්ලු විලාසය අද ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියේ ම කැඩපතකි. ඉහළ පාලන තන්ත්‍රයේ ආශිර්වාදය ඇතිව බලයට පත් වීම යනු අපරාධ, දුෂණ, වංචා සිදු කරන්නට බලපත්‍රයක් ලැබීමක් බඳුය. එහි ආනිසංස කොතෙකුත් අසමින්, දකිමින් , විඳවමින් සිටින්නේ වුව එවැනි දූෂකයන් අතටම නැවත නැවතත් බලය පවරා  දීමට තරම් ස්වාර්ථයෙන් මෙහෙයවන සමාජයක් පැවතීම කුමන පාපයක් ද?

යහපත් සමාජයක් පිළිබඳ සමාජවාදී සිහිනයක ජීවිත කාලයක් ගෙවා දැමූ මිනිසකු පවුල් සංස්ථාව තුළ යුතුකම් වගකීම් පැහැර හැරි අසමත් මිනිසකු ලෙස අසරණ වන විට, දේශප්‍රේමී සමාජයක දේශද්‍රෝහියකු ලෙස කොන් වන විට තමාගේ ම හෘද සාක්ෂිය ඝාතනය කර දැමීමේ සංවේගයෙන් සිදු කරන පාපොච්චාරණය ‘‘අපරාධකරුවකුගේ පාපොච්චාරණය” කෙටිකතාවේ තේමාව යි. එය පවතින කටුක යථාර්ථයෙන් කිසිවිට බැහැර නොවූව ද දීර්ඝ තරමක් වෙහෙසකර පාපොච්චාරණයකි. 

ධනවාදයේ කෲර සපත්තුවට පෑගි තැලී පොඩිවී සිටි පීඩිත පන්තියට විප්ලවය මගින් විමුක්තිය උදා කර ගැනීමේ මාවත පෙන්වා දුන් විමුක්ති අරගලයේ ජීවමාන සංකේතයක් බඳු චේ ගුවේරා අද එකී ධනවාදයේම ගොදුරක්ව, වෙළඳ භාණ්ඩයක්ව පවතින ආකාරය ''චේ කෝ'' කෙටිකතාවෙන් මතු කරනුයේ සමාජවාදයේ වත්මන් ඛේදනීය ඉරණම පිළිබඳ හෘද කම්පාවක් ඇති කරමිනි. 

''පුංචි සුරංගනාව'' මතුපිටින් ගලා යන ශෝකාන්තයට අමතරව ගැඹුරු අධ්‍යාත්මික කියවීමකට යා හැකි කතාවක් බව මගේ අදහසයි. මෙහි එන පුංචි සුරංගනාව එක් අතකින් තණ්හාව, ආශාව ලෞකිකත්වය නිරූපණය කරන බවක් දැනෙන, හැගෙන අතරම අනෙක් අතකින් ඇස්බැන්දුම් සෞන්දර්යයෙන් අප මුලා කරන ධනවාදයේම සංකේතයක් යැයි ද සිතිය හැකිය. වර්තමාන සමාජ පරිහානිය හා බැඳුණු මානව ඛේදවාචක ගැන සිතන විට, අපත් රිදී යතුරක් ගෙන සුරංගනාවියක් පැමිණෙන තුරු බලා සිටින සුමනේ වැනිම වූ අපස්මාර රෝගී සමාජයක කොටස්කරුවන් බව බැහැර කළ නොහැකි යථාර්ථයක්ව  මතුවන්නේ නොවේද?

ජීවත් වන්නට අවැසි මුදල්ම පමණක් යැයි සිතන සමාජයක සියලු හර පද්ධතීන් උඩුයටිකුරුවීම ‘‘සිංහ විලා” කෙටිකතාව තුළ මූලික තේමාව වී ඇතැයි සිතේ. ධනවාදී අර්ථක්‍රමය තුළ ‘‘සිංහ විලා” සුනඛ විලා බවට පත් වීම නම් අරුමයක් නොවේ. මේ අර්ථ ක්‍රමය තුළ නොවිකිණෙන යමක් වේ දැයි ගැටලුවකි. සුනඛ සම්භෝගය පවා මුදල් මවන යන්ත්‍රයකි. 

සමස්තයක් ලෙස ගත් කළ ‍''චේ කෝ සහ තවත් කතා'' වත්මන් සමාජය කැඩපතකින් මෙන් දකින්නට ඇරයුම් කරන කතා එකතුවකි. සියලුම කතා ශෝකාන්තයන් ය. ඛේදවාචක ය. තව දුරටත් ජීවිතය පිළිබඳ සුබවාදී අපේක්ෂා දල්වා ගත නොහැකිද යන පැනය මා සිත මතු වේ.එක් පසකින් ධනවාදයට කත් අදින ජරාජීර්ණ දේශපාලන රටාව විවේචනයට හසු වන අතරම, ඒ හමුවේ යටපත් කරන, යටපත්වන සමාජවාදී, මානවවාදී දේශපාලන මැදිහත්වීම ප්‍රශ්න කරන්නට පෙළඹවීමක් ඇති කරයි. 

නිර්මාණකරුවා විසදුම් ඉදිරිපත් නොකරයි. පවතින යථාර්ථය සංවේදීව ප්‍රතිනිර්මාණ කරයි.  ඔහුගේ අරමුණ එම යථාර්ථය අප හෘද සාක්ෂියට අභිමුඛ කොට ඉන් එහා යහපත් සමාජයක් වෙනුවෙන් මැදිහත්වීම අප සතු වගකීමක් බව අවධාරණය කිරීම යැයි මම සිතමි.

''කෙටිකතාවෙදි මා අත්දකින බලවත්ම ආකර්ෂණය වන්නේ ඒවායේ ඇති ආකෘතීන් ය.'' ‍කෙටිකතාව පිළිබඳ සිය සිතුම් පැතුම් විවරණය කරන පෙරවදනෙහි ලා කතාකරු පවසයි. එය කතාවේ සමස්තය තුළ විනා හුදකලාව පවතින්නක් නොවන බව ද ඔහු පවසයි. එසේ පවසන ඔහු සමස්තය සමග ගලා යන ආකෘතිය සම්බන්ධව අත්හදා බැලීම් ද සිදු කරයි. සෑම කෙටිකතාවක් ම අන්තර්ගතය හා පෑහෙන වෙනස් ආකෘතික අත්හදා බැලීම් වලට ලක් වී ඇති බව පෙනේ. එය බොහෝ විට සාර්ථකය. 

‘‘අපරාධකරුවෙකුගේ පාපොච්චාරණය” දීර්ඝ පාපොච්චාරණයක්/ ආත්මකථනයක් ලෙසින්ම ඉදිරිපත් වී තිබීම තරමක ඒකාකාරී බවක් දනවයි. අනෙක් කෙටිකතා තුළ කලාත්මකව ප්‍රතිනිර්මාණය වන  සියලුම පුද්ගල ඛේදවාචක මේ කෙටිකතාව තුළ එකට ගොනු වී ඇතැයි සිතේ.  

''...ධාරණාව ආකෘතිගත වී ඇති ආකාරයේ ස්වභාවය විසින් පාඨකයාගේ මනසෙහි ඇති කරනු ලබන ප්‍රඥාවෙන් සපිරි ආනන්දයේ ප්‍රමාණය, නිර්මාණයේ සාර්ථක අසාර්ථක බව තීරණය කරනු ලබනු ඇත. '' - පෙරවදන

සැබවින්ම ආනන්දනීය විය හැක්කේ  කතුවරයාගේ කාර්ය සාඵල්‍යය කෙරෙහි ය. ඉන් පිළිබිඹු වන මානව ඛේදවාචක ගැන නම් නොවේ. සෑම කතාවක් ම සමාජ පරිණාමයේ, පරිහානියේ බලපෑම පුද්ගල ඛේදවාචක බවට පත් වෙන ආකාරය පිළිබඳ කම්පනීය තිගැස්මක් ඇති කරයි.  එමගින් පුබුදුවන ප්‍රඥාව හෘද සාක්ෂියට බරපතල ලෙස ආමන්ත්‍රණය කරනු නොවැළැක්විය හැකි ය. 

එම පුද්ගල ඛේදවාචක පිටුපසින් දැවැන්තව නැගී සිටින සමාජ ක්‍රමය මෙහෙයවන බළල් අත, ගෝලීය ධනවාදයට පෙම් බඳින ජරාජීර්ණ දේශපාලනය ම‍ නොවේද? 

මේ පිළිබඳ කුමන ආකාරයේ හෝ මැදිහත්වීමකින් තොරව සිහිනමය නිද්‍රාවක වෙළී සිටිය හැකි ද අප හට? 

එසේ සිටීම කොතරම් සාධාරණ ද?  එය පාපයක් නොවන්නේද?

 ''අපි මේ කොහේද යන්නෙ?''

තවත් කෙටිකතා කරුවකු නොවී වෙනස් කෙටිකතා කරුවෙකු වන්නට යත්න දරන අනුරසිරි හෙට්ටිගේ මෙබඳු හද කළඹවන බරපතල ප්‍රශ්න අප හමුවේ තබන බව මට හැගෙයි.

Thursday, January 16, 2014

හිම බිඳිති... හිම බිඳිති .... සුදු මොට්ටු මල් කිනිති...

 

මගේ හිම මල් යාය ගැන කිව්වට පින්තූරයක් ගන්න බැරි වුණානෙ..

මේ තියෙන්නෙ අන්තර්ජාලයෙන් සොයා ගත් පින්තූරයක්..... 

මේ වගේ එක පොකුරට, එක යායට සුදු මොට්ටු මොට්ටු මල් පිපුණම කොයි තරම් ලස්සනක් තියේවි ද? 

අපි පොඩිසිඤ්ඤමරං කියල කියනවා.. දනපති නට්ටං කියලත් කියනවා.. ලොක්කන් නට්ටං කියලත් කියනවලු...

ඒ කාලෙ දනපති නට්ටං ලොක්කං නට්ටං කරල වැඩ පෙන්නුවාද  දන්නෙ නෑ.. 

දැන් නම් හ එළියෙ සිල් ගත්ත උවැසියක් ගානයි...