Thursday, March 27, 2014

සැබෑ කවියකුගේ කතාව





වරක් කියවූ පොතක් නැවත නැවතත් කියවීමේ පිස්සුවක් මට ඇත.  හැම පොතක්මත් නොවේ. සමහර පොත්ය.  කියවු පොතක් ඉඳහිට නැවතත් අතට ගෙන කියවන්නට සිත් දේ නම් ඒ යම්කිසි අපූර්වත්වයක් ඇති නිසාමය. එසේ කියවන පොත් අතර ඇට මැස්සා ඉදිරියෙන්ම වන්නේය. කී වරක් නම් කියවන්නට ඇත්ද? කියවන හැම වරෙකම මුල් වරට කියවන්නාක් බඳු  නැවුම් බවෙකි. පොලියානා, පූ වළහා සහ  මිතුරෝ, හරි පුදුම ඉස්කෝලෙ, කඳුකර රෝස මල්, තැනිතලාවේ කුඩා නිවස පොත් පෙළ.. එලෙස නැවත නැවතත් කියවන්නට කම්මැලි නොසිතෙන ළමා පොත් පෙළකි. මේ අතර කවි පොත් ද වන්නේ ය. 


ඒ අතර කවියකු පිළිබඳව වන සොඳුරු චරිතාපදානයක්ද වන්නේය. 


එය රුසියානු මහා කවියකු ගැන වන ''වයසට වඩා මේරූ ජීවිත කතාවකි.'' මේ අපූරු කවියා යෙව්ජිනි යෙවුට්ෂෙන්කෝය. 

''යෙව්ටුෂෙන්කෝ - සැබෑ කවියකුගේ කතාව '' කෘතිය පොතපතට, කවියට හිතැති ඔබේ සිතද පැහැරගනු නොඅනුමානය. පරිවර්තනය සුනිල් මාධව ප්‍රේමතිලකගෙනි. ගොඩගේ ප්‍රකාශනයකි. මිල නම් රු. 150.00 කි. 


( සුනිල් මාධව ප්‍රේමතිලක ඉතාමත් දක්ෂ පරිවර්තකයෙක්/ අනුවර්ත‍‍කයෙක් බවයි මගේ හැඟීම. මා කියවා ඇති පරිවර්තන කෘති අතර ඔහු විසින් පරිවර්තනය කරන ලද හඬනු මැන නිදහස, කැරොලිනාගේ දිනපොත, මිනිසෙක් සහ මෙම අපූරු චරිතාපදානයද ප්‍රමුඛස්ථානයක රැ‍ෙඳෙන බව කිව යුතුම ය. )


කවියට පෙම් බඳින්නෝ කිවිවර දිවියක වගතුග දැන ගන්නටද  රිසි වෙති.  යෙවුට්ෂෙන්කෝ කවියකුගේ ජීවිතය පිළිබඳව පවසන්නේ මෙබන්ඳකි.


''කවියකුගේ ජීවිත කතාව යනු ඔහු‍ගේ කාව්‍යයයි. වෙනත් දෙයක් ඇත්තේ නම් ඒ පසුවදනක් පමණයි. කිසියම් කවියකු ඔහුගේ කවියත් ඔහුගේ ජීවිතයත් අතර පරතරයක් ඇති කර ගැනීමට උත්සාහ කරන්නේ නම් එය දිවි නසා ගැනීමකි. කාව්‍යය යනු අසත්‍යයට සමාවක් නොදෙන ඊර්ෂ්‍යා සහගත ගැහැණියකි.'' 


1933 ජූලි මස 18 වෙනිදා සයිබීරියාවේ සීමා නම් ගම්මානයේ උපත ලද තැන් සිට වසර 30 ක පමණ ජීවිත කාලය මේ කෘතියට පාදක වී ඇත. ස්ටාලින් පාලන සමය, දෙවන ලෝක යුද්ධය හා යුද්ධයෙන් පසු අවදිය තේමාත්මකව ගලා යන මෙහි, කටුක දුක්බර ජීවිත අත්දැකීම් වුවද ජීවිතය පිළිබඳව අපමණක් අපේක්ෂා නොනිවී දල්වාලනු රිසියෙන් රචනා කර ඇති බව පෙනේ. විප්ලවීය පරපුරක උරුමය, යුද්ධය විසින් ජනිත කළ කටුක ජීවන පැවැත්ම, ජීවිතයේ අඳුරු පත්ලෙන් ගලා එන මනුෂ්‍යත්වයේ ආලෝක පුළිඟු, මේ සියල්ල මැද නොනිවී දැල්වෙන කවිය පිළිබඳ ප්‍රේමය යෙවුට්ෂෙන්කෝ කවි‍යාගේ ජීවිතය අසිරිමත් උදානයක් බවට පත් කළ බව පිටුවෙන් පිටුව ගද්‍ය කවියක්ව මතු වෙයි. 




ඔහුගේ ජීවිතය පිළිබඳව රසවත් මෙන්ම අතිශය සංවේදී මානුෂීය විප්ලවීය තොරතුරු රැසක් කෘතියෙහි අන්තර්ගතය. එය මෙබඳු කෙටි ලිපියකට හසු කර ගත‍ නොහැකි තරම් අපුරු ජීවන වෘත්තාන්තයකි. එනිසා තදින්ම සිත ඇද බැඳ ගත් උපුටන කිහිපයක් පමණක් දක්වනු කැමැත්තෙමි. ඔබේ සිත අවුළුවාලනු පිණිස ය. 


''සාමය යන වචනයේ සැබෑම අරුත තේරුම් ගන්නේ යුද්ධය කුමක්දැයි දන්නා අය පමණක් බව මගේ හැඟීමයි. යුද්ධයට මා ස්තුති කරන්නේ සාමය යන වචනයේ අරුත මට කියා දුන් නිසාය. ඒ අතර ම මගේ රට යන වචන දෙකේ අරුත වටහා දුන් නිසාද මම යුද්ධයට ස්තුති කරමි.


මාගේ රට යනු භූගෝලීය හෝ සාහිත්‍යමය  සංකල්පයක් නොවන බව මම තේරුම් ගතිමි. එය ජීවත් වන මිනිසුන්ගේ වචනයකි. මා ජාතිවාදයට විරුද්ධ අයකු වන අතර මට මේ ලෝකයේ තිබෙන්නේ ජාතීන් දෙකක් පමණි. ඒ නම් හොඳ ජාතිය සහ නරක ජාතියයි. මම හොද ජාතීන්ගේ ජාතිවාදියෙක් වෙමි.


කෙසේ වුවද මනුෂ්‍යත්වයට ආදරය කළ හැක්කේ තම රටට ආදරය කරන්නකුට බව මම පිළිගනිමි.''


( 6-7 පිටු)


'' එදින මා තේරුම් ගත් තවත් දෙයක් වූයේ කවියකු වන්නට කවි ලිවීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ලියූ තමා‍ගේ කවිය වෙනුවෙන් පෙනී සිටින්නේ කෙසේද යන්නත් තේරුම් ගත යුතු බවත් ය.''


(14 පිටුව)


''මා සිතන අන්දමට පාලනයකට හෝ සංවිධානයකට අයත් වූ පමණින් ඔහු කොමියුනිස්ට්වාදියකු වන්නේ නැත. සැබැ කොමියුනිස්ට්වාදියා යනු තමාගේ යහපතට ඉහළින් පොදු යහපත ගැන හිතන පුද්ගලයා ය. එහෙත් එම පුද්ගලයා පොදු යහපත වෙනුවෙන් යයි කියමින් අනුන්ගේ ජීවිත විනාශ කරන්නකු නොවිය යුතු ය. ''


( 25 පිටුව )


''යුද සමයේ දී මගේ අතට සූකිරි දුන් යුධ භටයන්, ටයිගා වනාන්තරයේ වැළහින්නකගෙන් මා බේරා ගත් ගැමියන්, මගේ කරේ තිබූ ගල් පිරවූ ගෝණි ඔවුන්ගේ කරට දමා ගත් භු විද්‍යාඥයන්, මගේ දෙපාවල තුවාල පැළෑටි කොළවලින් සුව කළ කම්කරුවන්, මිනිසුන්ගේ කරුණාව පිළිබඳව කුඩා කලදීම මා කෙරෙහි විශ්වාස බීජ තවාන් කළ මිනිස්සු..''


( 30 පිටුව )


''මිනිසකුගේ වටිනාකම මැනිය යුත්තේ ඔහු නිතරම ප්ලේටෝගේ සිට කෆ්කා ගැන කතා කරන තරමින් නොව ඔහුගේ හදවත අනෙක් අය කෙරෙහි කොතරම් විවෘත ද යන්න මත ය.''


( 34 පිටුව )


''කවිය ඉතා බලවත් අවියක් වෙමින් පවතින බව පෙනෙන්නට විය. එක් කවි සැඳෑවකට 14 000 කට වැඩි සෙනඟක් පැමිණි බව සිතිය හැකි ද? එහෙත් එය සත්‍යයකි....


... මෙවැනි එක් සංවාදයකට දෙදහසකට වැඩි සෙනඟක් සිටි බව මට මතක ය. ඔවුන් කීවේ එකම දෙයකි.


''මතක තබා ගන්න. ඔබ අයිති ඔබට පමණක්ම නොවෙයි. ප්‍රේම ගීත ලිව්වාට කමක් නෑ. හැබැයි සත්‍යය අමතක කරන්න එපා.....''          
  

කෘතිය අවසන් වන්නේ මෙම වැකියෙනි.


''බොහෝ ලේඛකයින්ට ඔවුන්ගේ ලෝකය ඔවුන්ගේම ගෙදරය. එහෙත් මට අවශ්‍ය වූයේ මුළු මහත් ලෝකය ම මගේ ගෙදර වීම යි. විශේෂයෙන්ම කවියා එසේ විය යුතු ය. ''


මේ පුංචි පොතකි. නමුත් ඒ තුළ ඇත්තේ අතිමහත් ජීවිතයකි. එය කවියකු‍ගේ සරල සුන්දර ආත්මකථනයකි. සාඩම්බර වාගාලාපයන්ගෙන් බැහැර වූ නිහතමානී ජීවිත කතාවකි. 






Wednesday, March 26, 2014

පතිපූජිකා වැළපිල්ල...





ඒ කෙසේද යත්,

තවුතිසා දෙව්ලොව මල් පළඳනා දෙව්පුතෙක් දෙවඟනුන් දහසක් පිරිවරා උයනට මල් පළඳින් වන.ඉන් පන්සියයක් පමණ දෙව් දූ ගස්වලට නැඟී මල් කඩා වගුරුවති. දෙවඟනෝ පන්සියයක් කඩා වගුරුවාලූ මල් ගෙන ගොස් දේවතාවා සරහති. මල් කඩා වගුරුවන දෙව්දූන් අතුරෙන් එක් දේවතාදුවක් ආයු ගෙවුණු හෙයින් හෝ නොහොත් පින් ගෙවුණු හෙයින් මල් ගසදීම මළා ය. තුන් ගවු උස සිරුර පහන නිවාපු කලෙක මෙන් නැති විය......

පතිපූජිකා කතා වස්තුව - සද්ධර්මරත්නාවලිය

පන්සියක් දෙව් අඟනුන්
තුරු මත නැඟී
මල් නෙළා හෙළාලන
පන්සියක් දෙව් අඟනුන්
හෙළාලූ මල් රැගෙන
මාලා ගොතා ලන
මල් දමින් සැරහී
කව් සිරින් වොරැඳෙන
මාලාභරී දෙව්පුතුය.....

සිඳුණු ආයුෂ හෙයින්
චුතව තව්තිසාවෙන්
ඉපිද මනුලෝ සැණෙන්
නැතක් දුක් ගිනි දරණ
මාලාදරී දෙව්දූය....

මල් නෙළන්නී
පැන් ඉසින්නී
දම් ගොතන්නී
මං බලන්නී
පතිපූජිකා නොවෙද ඈ....

රිදි රිදී හද බිත
ඉරිතැලී යන සඳ
දේවතා රුව සොඳ
පිරියම් කඳුලින්ම වෙද....

නමුදු මඟ බලන්නී
යළිදු පෙම් පුරන්නී
පින් මඳ’ ය සිතන්නී
වියෝ ගිනි දරන්නී... 


Friday, March 21, 2014

රහසේ හඬනා අප හැඬුම්...






''එදා ඇස්වලින් කියපු කතාව ඇත්තක් නෙවෙයිද? ඒක විතරක් මට කියල යන්න..'' 

ඈ තිගැස්සුණා. අසාමාන්‍ය විදියට ඇගේ හිත ගැහෙන්න ගත්තා. ආදරෙයි කියූ අයත්, ආදරෙයි නොකියා කියූ අයත්, ආදරෙයි කියා පිටුපා ගිය අයත් උන්නු අතීතයේවත්, තවමත් ආදරේ ඇස්වල තියාගෙන ඈත ඉඳන් බලා ඉන්න අය අතරෙවත් මේ තරම් ආක්‍රමණශීලී හදවත් පැහැර ගන්නෙක් ඇයට හමුවෙලා තිබුණෙ නැහැ. 

''එදා කියන්නෙ කවදද?''

''එදා කවි කුටියෙදි.. තාමත් ඒ බැල්ම මගේ හිතේ නැවතිලා. ඒ බැල්ම හිත අස්සෙ ගුලි කරගෙන ආව ගමන තමයි මේ..'' 

................................

ඒ එදා... කියන්නෙ වසර දෙකකට එහා අතීතයක්.. ඇයට මතක නැහැ, ඒ තරම් හිත ඇමිණෙන බැල්මක් ඇගේ ඇස්වල තිබුණද කියල. ඒ අපමණ සැහැල්ලුවකින් උන්නු දවසක් බව නම් මතකයි. එදා ඇරඹුණු වැටලීමක් ද මේ...!!! 

ඈ හිතුවෙ ''නාස්තිකාර පුත්‍රයා'' ගැන දැනගන්න තිබුණු උවමනාව මත වත්පොත හරහා ඔහු ජීවිතයට ගොඩවැදුණු බව. බයිබලය කියවගන්න උදව් ඉල්ලන ඔහු හිත කියවන්න ලෑස්තිවෙයි කියල ඇයට හිතුණෙ නැහැ. නාස්තිකාර පුත්‍රයා යන වදනම අසාධාරණ බවයි එදා ඈ ඔහුට කිව්වෙ. අවදානම් දරමින් ජීවිතය සොයාගෙන ගිය අකීකරු පොඩි පුතා පියාණන්ගේ හදවතේ වැඩි ඉඩක් දිනා ගත් බවයි ඈ පහදා දුන්නෙ. 

''ආදරය දිනා ගන්න, ජීවිතේ තේරුම් ගන්න අවදානම් දරන්න වෙනවා.''  

ඒ අකුරු පෙළට යටින් ඈ හිනා මුණක් යැව්වා ඔහුට.

''ඔය තරම් ලස්සනට ආදරය ගැන ලියන ඔයා ඇයි මේ හැටි ආදරේට බය... ඔයා ආදරය වෙනුවෙන් අවදානම් දරන්න ලෑස්ති නෑ...'' හැරෙන තැපෑලෙන් ආව අකුරුවල තිබුණෙ හිත හිරිවට්ටන ඉන්ජෙක්ෂන් එකක්. සෑහෙන නිහඬතාවකට පස්සෙ උණත් ඇයට ලියා යවන්න දෙයක් හිතට ආවෙ නෑ... 

''අර තරම් ලස්සනට භාෂාව හසුරුවන්න දන්න කෙනා මෙහෙම ගොළු වෙන්නෙ ඇයි..?'' ඒ චෝදනාත්මක අකුරු පෙළත් ඔහුගෙන්මයි. ලැබුණෙ හරිම කෙටි පිළිතුරක්. 

''මන්දා?'' 

ඇත්තටම ඈ දන්නෙ නෑ. ඇයි මේ හැටි ජීවිතේට බය, ඇයි මේ හැටි ආදරේට බය කියල. හිත පාරවගන්න තියෙන අකමැත්ත මිස ඒ බයට අන් සාධාරණ හේතුවක් තියෙනවද? ඉරිතැලුණු හදවතක මලක් පිපෙන්න ආදර වැස්සක් ඕනි බව ඇත්ත... ඒත් වැහි වැටෙන හැම මොහොතකම ජීවිතයම මුවා කරගෙන පළා යන්නයි ඇයට උවමනා වුණේ. 

..................

''එදා...!!! එදාමනෙ අපි අඳුන ගත්තෙ. එදාමනෙ අපි මුලින්ම කතා කළේ. ඔයා හරි ආඩම්බරේට උන්නෙ.. මං කවි පොත් අතගගා ඉඳල යන්න ගියේ...'' ඈ කිව්වෙ විස්මයෙන් ඇස් විසල් කරගෙන. 

''සාමාන්‍යයෙන් මං එහෙමයි කාන්තාවො ළඟ දියවෙන්නෙ නෑ. දියවෙන්න කැමති නෑ. ඉඳහිට මෙහෙම වුණාට............. එදා ඔයාගෙ ඇස්වල මං දැක්කෙ හිර කර ගත්ත වේදනාවක්.. හුදකලාවක්... ඔයාගෙ බැල්ම හරියට ඒ හුදකලාවෙන් මාව ගළවගන්න කියනව වගේ.... ''

ඇත්තටම ඈ ගල්ගැහුණා. ඇගේ ඇස් එහෙම කතා කරන බවක් කවදාවත්ම, කවුරුවත්ම ඇයට කියල තිබුණෙ නෑ. 

''දැන් නම් කවුරුවත් දිහා බලන්නත් බයයි...'' 

''ඇයි?'' 

''නෑ ... ඉතින් ඔය විදියටම අනිත් අයටත් පෙණුනොත්. ඒකයි...''

''හැමෝටම බෑ ඇස්වලින් හිත කියවන්න....'' ඔහු හිනැහුණා.

''ඔයා දන්නවා.. කෙල්ලෙක්ගෙ හිත ආක්‍රමණය කරන කලාව. මහ කට්ටයෙක්..'' ඇයත් හිනැහුණා. 

''ඔව්.. සමහර විට.. මට උවමනා කරන හිත්... හැමෝගෙම නෙවෙයි. ඔයාගෙ හිත හෙල්ලුණා. මං දන්නව ඒක...'' ජයග්‍රාහී හැඟීමකින් ඒ ඇස් දිලිසුණා. 

ශාස්ත්‍රීය සංවාද, දේශාපාලන වාද විවාදවල දි ඇරුණම ආදරය ගැන කතා කරන හැම විටකම ඒ ඇස්වල තියෙන්නෙ හිත හොළවන දිලිසීමක් තමයි. දෑසට දෑස හමුවුණ මුල්ම දවසෙ මුල්ම තත්පරයෙදිමයි ඒ දිලිසීම ඇගේ හිතේ නුහුරු වෙව්ලීමක් බවට පත් වුණේ. ඒත් ඒ එදා  කවි කුටියෙදි නම් නෙවෙයි. ඊට බොහෝ කලකට පසුව දවසක..

ඒත්......? දැන්... දැන්.. ඇයට ඕන පළායන්න, ඔහු වෙතින්.... ඒ බවත් ඇගේ ඇස්වලින් ඔහු කියවගන්න ඇති.

''ඔයා මේ හැටි බය මට ද? නැත්නම් ඔයාටම ද?'' 

''දන්නෑ..'' ඈ කිව්වෙ දුර ඈතක නෙත් රන්දගෙන.

''මං දිහා බලල උත්තර දෙන්න...'' ඉල්ලීමක් වුණත් එහි තිබුණෙ ආඥාදායක ස්වරයක්. ඈ හැරුණා ඔහු වෙතට. ඒ ඉලක්කගත බැල්මට බොරුවක් කරන්න හිත දුන්නෙ නැහැ ඇයට. 

''සමහර විට මට ම...''  

සමහර විට නෙවෙයි, ඇත්තටම ඈ බය ඇයටම. ආදරවන්ත හිතක් ළඟ අසීමිත විදියට ලෝබ වෙන ඇගේ හිත ගැනමයි ඇයට බය...

............................



'' ආ... මේ චොක්ලට් එක දෝණිට.. මේ පොත ඔයාට... '' 

ඈ බෑගයෙන් එකින් එක එළියට ගනිමින් ඔහු අත තැබුවා... හරියටම ඔබට අයිති ජිවිතය ඔබ ගන්න... මට මගේ හිත අරන් යන්න ඉඩදෙන්න කියන්න වගේ... 

''එදා ඇස්වලින් කියපු කතාව ඇත්තක් නෙවෙයිද? ඒක විතරක් මට කියල යන්න..'' ඔහු එහෙම ඇහුවෙ ඒ මොහොතෙ.... නිරුත්තර නිසල අවකාශයක සීතලට කඳුලක් මිදෙමින් තිබුණා හදවතේ කොණක.

''ඇස් පුංචි දේටත් තිගැස්සෙනවා..  ඒ තිගැස්ම ආදරයමයි කියල හිතන්න එපා... ඇස් රහස් හංගන් ඉන්නවා. ඒත් හැමවෙලේම ඇස්වල රහස් කියවන්න යන්න එපා.. තේරුමක් නෑ.. සමහරවිට ඒ තේරුම කෙළවර තියෙන්නෙ මහා දුකක්...'' ඈ  කිව්වෙ ඇස් හංගන්...

''අපි කවදද ආයෙම හමුවෙන්නෙ...'' 

''සමහරවිට... කවදාවත්ම නෑ....'' ඈ නැගී සිටියා.

''ඒත් මං දන්නවා එක දෙයක්... ඔයාගෙ හිතේ මම ඉන්නවා...'' 

''මං පරිස්සම් කර ගන්නම් හැමදාටම.. ඔයාවයි.. අද දවසයි මගෙ හිතේ...'' ඈ හිනැහුණා, සැහැල්ලුවෙන්. සැහැල්ලුවම වුණත් විටෙක අසීමිත බරක් බව හිතමින්...

Thursday, March 20, 2014

අත්හැරුණු පියාපතකට වුණත්





නිම් නොවන අහස්කුස 
හුදකලාවම සරන
අත්හැරුණු පියාපතකට වුණත්
නැතිද හීනයක්....
තමන්ගෙම හීනයක්...

ඉරට හොරෙන්... හඳ මලට යටින්
සැඩ පවන මැදින්.. කළුවරට බියෙන්..
හසරක් නොදැන සසරක සරන
අත්හැරුණු පියාපතකට වුණත්....

අනවැසිද නැවතුම්පළක්
ස්නේහයේ උණුහුම් බිමක්..
කවුරුත්ම හිමිකම් නොකියන
කවුරුත්ම යන්නැයි නොකියන...

අකල් අකුණු සරටත්
තිගැස්සෙන...
සිහින් සිරි පොදයටත්
හිරි වැටෙන...
ආත්මය මිටින් ගෙන
හුදකලාවම සරන
අත්හැරුණු පියාපතකට වුණත්...

තමන්ගෙම හීනයක්..
තමන්ගෙම ප්‍රේමයක්..
නොවන්නට කරුණු කිම...?