පිටු

Thursday, April 10, 2014

ප්‍රේමය නම් කිමැයි.. ඔබ මට කියා දුන්නෙහි ය...


ලියන්නට අවැසි ප්‍රේමය ගැන ය. ප්‍රේමයේ අපූර්වත්වය ගැන ය.

වඩාත් සිත අයදින්නේ කවියකි. නමුත් එකී ප්‍රේමයෙහි අපූර්වත්වය අකුරු අතර දවටා පද පෙළක රඳවන්නට තරම් මගේ කවි සිත පොහොසත් නැත. කෙතරම් දිළිඳු හදවතක් ද?

කෙසේ නමුත් ඒ මගේ ප්‍රේමයක් නම් නොවේ. මා එතරම් වාසනාවන්තියක ද නොවේ. නමුත් ඒ ප්‍රේමයෙහි කුළුඳුල් ඵලය මා වන බැවින් සැබවින්ම මා අවාසනාවන්තියක ද නොවේ.

ඒ මට ප්‍රාණය දුන් ප්‍රේමය ගැන ය. මගේ අම්මාගේත්, තාත්තාගේත් අපූරු ප්‍රේමය ගැන ය.

ඒ ගැමි පෙමකි. ගමෙන් උපන්, ගමේම මුල් ඇදි සොඳුරු ගම්බද පෙමකි. අම්මා ජංගි කොටයක් ඇඳ දුව ඇවිද්ද කාලයේ සිට තාත්තා එහි ආ ගිය වගකි පැවසෙන්නේ. දැන් ඔවුන්ගේ විවාහ දිවියට තිස් හත් වසකි.

පසුගිය දින කිහිපයේ තදබල ලෙස රෝගාතුරවූ අම්මා රෝහල් ගත කරන්නට සිදු විය. තාත්තා ඈ බලන්නට නොආ දිනක් නැති තරම් ය. අන්කිසිවකු ආවත් ඵලක් නැත. අම්මාගේ හිත පිරෙන්නේ තාත්තාගේ රුව දැකීමෙනි. තාත්තා නොආ දිනක අම්මා හැඬූ බව පවසන්නී ලොකු නංගී ය.

ගිලන් සයනය අසලටම පැමිණ තාත්තා වාඩි ගන්නා ඇසිල්ලෙන් අම්මා ඔහු අසලට සිය හිස ළං කරන්නී ය. ඉනික්බිති තාත්තා හිස පිරිමදින්නේ ය. සෙනෙහසිනි. සුවය පතා ඔහු සිතින් දෙවිඳුන් යදින බව අප මෙන්ම අම්මා ද දන්නී ය. ඇයට අවැසි ඒ පිරිමැදුම ය. ඒ යැදුම ය. ඒ සෙනෙහස ය.

රෝහලෙන් නිවසට කැඳවා පැමිණි දින  අම්මා මුලින්ම කළේ තාත්තාගේ උකුලේ හිස සතපවා ගැනීම ය. තාත්තා ඇගේ හිස පිරිමදිමින් උන්නේය. මොහොතකින් දෙදෙනම නිදි සුවයෙනි. උනුන් අසල නොමැතිව නින්දක් නොවන බව දෙදෙනාගෙන්ම වන පැමිණිල්ලකි.

‘‘මේ නම් පුදුම ලව් එකක්...” අපි එකිනෙකා සිනාවෙන් කියාගතිමු.



යෞවනයේ දීප්තිය දැල්වෙන ඔවුන්ගේ මංගල පින්තූරය පවා කොතරම් ස්නේහවන්තද? සුන්දරද? අම්මාගේ ශීර්ෂ පළඳනාව වේල්පට සමඟ ඉද්ද මල්දමකි. ඈ අත වූයේ වර්ණ ගන්වන ලද ඇන්තූරියම් මල් කිහිපයකි. බතක් මාළුවක් සකසන්නට පවා නොදැන සිටි අම්මා එතරම්ම සතුටින්, විශ්වාසයෙන්, ආදරයෙන් හිනැහෙන්නේ තාත්තාගේ දෑත මත තම ජීවිතයම පවරා නොවේද? ජීවිතය පුරාම තාත්තා ඒ විශ්වාසය සුරැකියා නොවේද?

පසුගිය දෙසැම්බරයේ අම්මා මුල්වරට සතියක් පමණ නිවසින් බැහැරව රෝහල්ගතව සිටි මොහොතක නිදි නැති රෑ පුරා අතීතයේ සැරිසෑරූ තාත්තා පැවසුවේ මෙබඳු කතාවකි.

‘‘මට මෙයා නැතුව නින්ද යන්නෙ නෑ... මං ඉතින් කල්පනා කළා අපේ අතීතය ගැන. ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලො කී දෙනෙක් එක්ක නම් යාළු වුණාද? ඒත් අන්තිමට මා එක්ක ඇවිත් හැම දුකකටම කර දුන්නෙ මෙයානෙ...” ඒ ස්වරයෙහි ඇත්තේ ප්‍රේමය ද? ශෝකය ද? මේ සියල්ල එක්තැන් වූ අනුපමේය කරුණාවක් ද? ඒ සියල්ලම විය හැකි ය.

ඉතා ළාබාල වයසින් විවාපත් වී දරු සිව් දෙනෙකු හදා වඩා ගත් අම්මා, පසුකලෙක මුණුබුරු මිණිබිරියන් ද රැක බලා ගත්තාය. අතීතය හාරා පාදා බලන මට, එය කිසිසේත් සුවපහසු ජීවන අරගලයක් නොවූ බව පසක් වේ. මුළුතැන්ගෙයින් එහා ජීවිතයක් නොදුටු ඇය දැරූ ජීවන බරෙන් අංශුවක්වත් දරන්නට මට නම් හැකියාවක් නැතැයි සිතේ.

ඔවුන් අතර හැලහැප්පීම් නොතිබුණා ද නොවේ. නමුත් මැදි විය ඉක්මවා ජීවන වන්දනාවේ මෙතෙක් ආ ගමන තුළ දැන් උනුන් අතර ඉතිරිව ඇත්තේ අප්‍රමාණ ස්නේහයක් සහ අන්‍යෝන්‍ය අවබෝධයක් බව බැලු බැල්මට වුව ද පැහැදිලිය. එය හිත නිවා සනහන ප්‍රේමයකි. කල්ඉකුත් වත්ම ප්‍රේමය පිළුණු වන්නේ යැයි කිව හැක්කේ කාට ද? සැබෑ ප්‍රේමයක් නම් එය නිවී සැනහී, මුනිවර සංයමයක සමාධි ගත වන්නේ නොවේද?  

බාහිර ආකර්ෂණයෙන්, අනුරාගී බැම්මෙන් බැඳෙන යුවළක් අතර විවාහ ජීවිතයේ මුල් අවදියේ පවතින ප්‍රේමය පසුකලෙක මෛත්‍රීසහගත හැඟුමක් බවට, කරුණාවක් බවට  පෙරළෙන බව සෝමා ජයකොඩිගේ නවකතාවකින් කියවූ බව මතකය. අම්මා සහ තාත්තා අතරද දැන් ඇත්තේ එබඳු මෛත්‍රී සහගත අධ්‍යාත්මික බැඳීමක් නොවන්නේ ද?

ප්‍රේමය අසිරියක් වන්නේ මෙබඳු පෙම්වතුන් ඇසුරේ ය. ප්‍රේමය නිවනක් වන්නේ මෙබඳු මව්පියන් සෙවණේ ය.

කප්පරක් දුෂ්කරතා විඳ දරා ගත් අම්මාට දූ දරු මුණුබුරු මිණිබිරියන් ඇසුරේ දැන් සැනසුම් සුසුමක් හෙළිය හැකි කාලය උදා වී ඇත. ඒ වෙනුවෙන් අවැසි එකම දෙය නිරෝගී සුවය ම මිස අන් කුමක්ද?

බාල වියේ ඔවුන් අපමණ ස්නේහයෙන් අප රැක බලා ගන්නට ඇත. දැන් ඒ භූමිකා වෙනස් ය. දැන් උදා වී ඇත්තේ අප මව්වරුන් වී මව්පියන් දරුවන් සේ රැක බලා ගන්නා කාලයයි. අම්මා ඉන්නේ ලොකු නංගීගේ සෙවණේ ය. අම්මාගේ නිරෝගී බව වෙනුවෙන් ඇය අකුරටම සියල්ල ඉටු කරන බව නිසැක ය.

‘‘මේ නර්ස් හරි වසයි.... මේ ඉස්පිරිතාලෙන් නම් දැන්ම ටිකට් කපන පාටක් නෑ... ”

අම්මා පවසන්නේ ලොකු නංගී ගැන ය. මම සිනාසෙමි. සැබවින්ම කලකට පසු සැනසිල්ලේ සිනාසෙමි.


Tuesday, April 8, 2014

මුනිවත ද ගොළු විය එසැණෙහි..



Photo By Luigi Caterino

හමුවිය ඔහු මට
අඳුරු වැහිබර සැඳෑවක
දෙව් මැදුරු දොර අබියස
ඒ දේශද්‍රෝහී මිනිසා...
පාළුකරයේ සිට 
පීඩිතයින්ට යුක්තිය ඉල්ලා
මොර ගැසූ මිනිසා...
සැප දුක කෙලෙසදැයි
විමසනු ඉතින් කුමකට
වුවනත ම ගුප්ත කවියකි 
පිලාත්තු අධිකරණයෙහි
ගෙවී ගිය විත්තිමය හෝරාවන්හි
භයංකර ශෝකාලාපය ලියැවුණ... 
ගල්ගැහුණු නිහඬතාවය පතුළ කිමිදී
අත ගා බලා සොයා පහදා හදවත
දිග හරියි ඔහු මා අබියස....
''සත්‍යය නම් මෙයයි
අතැඹුලක් සේ රුවා අත්ලෙහි
භයංකර උකුසු ඇස් විදාගෙන
ඔවුහු මා විමසූහ...
ඉදින් සැබවින්ම සත්‍ය යැයි 
මා ඇදහූ සත්‍යය
උකුසු නිය පහරට හසුව
පෑරී ඉරී වැහැරී
මියැදෙන අයුරු දුටුයෙමි
මුනිවත ද ගොළු විය එසැණෙහි..
උස් අසුන් අරා වැජඹෙන
පිලාත් උතුමෝ
සෝදා දෑත
පිසදා ධවල පිළියෙන් 
මා ඇමතූහ..

'.. පැවසිය හැකිය ඔබට
දෙවියන් ගැන
දෙවියන්ගෙ ආදරය ගැන
දේව රාජ්‍යය ගැන...
නමුත්
කිසිවිටක නොපැවසිය යුතුය
මිනිසුන් ගැන
මිනිසුන්ගෙ පීඩනය ගැන
මිනිස් රාජ්‍යය ගැන...'
අගුළු ලා මුවට
ගසා දේශද්‍රෝහී ලේබලය
ඔවුහු මා මුදා හැරියහ..''

ඉනික්බිති, සුසුමකි...

දේවදූතයන් පවා 
විපිළිසර මොහොතක
දෑසින් දෑස විමසා
හදින් හද නොවිමසා
ගොළු වීමු අපි....

ප්‍රවේසම් විය යුතු නොවෙද
දේශප්‍රේමීන් හැමතැනම...