Tuesday, July 15, 2014

තුලන ගමන...

By An He
 
ලෝකයම හරි කලබලයි.. තරඟකාරීයි.. අරගලකාරීයි.. සංකීර්ණයි... ඒ මැද නිසලව අකම්පිතව සන්සුන්ව දිවි ගෙවීම ලේසි වැඩක් නෙවි... මහා මේඝයක් වගේ කලබලෙන් ගලාගෙන යන ජීවිතේට ඉඳහිට හරි විවේකයක් දෙන එක හොඳයි, නිස්කලංක වෙන්න... හිතන්න.... ඒ වගේම අපේ ජීවිත මෙහෙවර ගැන මෙනෙහි කරන්න. ‘‘නැවතීමම ය ගමන..... සංසාරයම ය නිවන... සේකර ප්‍රබුද්ධ තුළ කියන්න හදන්නෙත් මේ කාරණයමද කියලත් හිතෙනවා...

සුපුරුදු විදියට මෙවරත් තුලන ධර්ම විවේකයට සහභාගි වුණා.. විවිධ ක්ෂේත්‍රවල වැඩ කරන සත්දෙනෙක් අප කණ්ඩායමට අයත් වුණා. හරියට සත්පහන් දැල්වුවා වගේ.. නීති ක්ෂේත්‍රය, මනෝසමාජ විද්‍යාව, කිතුනු දහම, සමාජ සේවා වගේ විවිධ පැති අතරට මගේ සාහිත්‍ය කලා හදවතත් එක් වුණා. මේ තියෙන්නෙ පසුගිය වසරවල මගේ අත්දැකීම්...


තුලන නිස්කලංක හරිත වටපිටාව, කාලාගාරයක අපූර්වත්වය වචනවලට එහා ගිය ජීවිත අර්ථයක් මතුකරනවා. මේ වාරයෙදි අලුත් නිර්මාණ කිහිපයක්ම එක් වෙලා තිබුණා.
 



මේ නිර්මාණය වටා සැරිසරමින් අපි අරුත් මතු කර ගන්න මහන්සි ගත්තා. පසුව සැබෑ අරුත හමුවුණේ නිමැවුමට සම්බන්ධ කලාකරුවකුගෙන්මයි.. ජේසුතුමන්ගේ පළමු ප්‍රාතිහාර්යය කානා නුවර මංගල උළෙලේ වතුර මිදිරස  බවට හැරවීමනෙ.. මේ තියෙන්නෙ ඒ වතුර පිරවූ බඳුන්වල සංකේතාත්මක අනුරුවක්. ඒ ඇතුළෙ මිනිස් රූපත් සංකේතාත්මකයි. වේදනාව, තනිකම, ආදරය, පීඩාව, සතුට වගේ විවිධ හැඟීම්වල හිරවෙලා ඉන්න මිනිස්සු. වතුර වයින් වුණා වගේ ජීවිත අලුත් කර ගැනීම ගැන තමයි මේ නිර්මාණයෙන් කතා කරන්නෙ. අපි මතු කරගත් අරුතට සැබෑ අරුත තරමක සමීපබවක් තිබුණා... කලා නිර්මාණයක් නිර්මාණකරුවා අපේක්ෂා කරන අර්ථය ඉක්මවා ගිහින් බහු අරුත් මතු කරන්න පුළුවන්නෙ. එය විඳින රසිකයාගේ බුද්ධිමය ප්‍රභාව අනුව සිදුවන්නක් මට හිතෙන්නෙ.

 

අපි මුලින්ම හිතුවෙ විශාල බඳුන් තුළ සිරගත වුණු මිනිස් රූප තමන් තුළම සිරගත මිනිසුන් සංකේතවත් කරනවා කියල. දකුණු පසින් ඒ ස්වයං සිරගත මිනිස් රූ පසුකරගෙන එද්දි බිත්තියක තියෙන මේ කටුකම්බි වැටකින් එහා සිර කළ මිනිසුන් අපි හිතුවෙ සමාජ වටපිටාව විසින් සිරගත කළ මිනිසුන් කියල.. පසුව දැනගන්නට ලැබුණු විදියට ඒ උතුරුකරයේ අවතැන් කඳවුරක දසුනක්.

To Love To Serve    

ඇලොයි පියතුමා අසුවිය සම්පූර්ණ කළා. නමුත් තාරුණ්‍යයේ ප්‍රභාවෙන් එතුමා දේවධාර්මික කරුණු පහදන ආකාරය හරිම හෘදයාංගමයි. මෙවර ධර්ම විවේකයේ ප්‍රමුඛ තේමාව වුණේ ‘‘ප්‍රේමය සහ සේවය ප්‍රේමය තුළ සේවය තමයි වඩාත් ගැළපෙන්නෙ. ආදරයෙන් තොර සේවයක් පවතින්නෙ නෑ වගේම සේවයෙන් තොර ආදරයක් පවතින්නෙත් නෑ.. පොදු

ආදරයෙන් සහ සතුටින් ලෝකයේ යහපත වෙනුවෙන් සේවය කිරීම තමයි අපේ ජීවිත කැඳවීම. සමාජ දේශපාලන වටපිටාව තුළ යහපත වෙනුවෙන් සේවය කිරීම අතීතයේදි වගේම අදත් හරිම අභියෝගාත්මක නිසා දුක්විඳීම මරණය වුණත් හිමිවෙන්න ඉඩ තියෙනවා. හරියට ජේසුට වුණා වගේ. බයිබලීය අත්දැකීම්, පුද්ගල අත්දැකීම් හරහා මේ කාරණය ගැනයි මා සහභාගි වූ දින තුනේම මෙනෙහි කළේ.. සාකච්ඡා කළේ.

එළිමහන කුරුළු ගීතයෙන් පිරිලා. බලන බලන අත කොල පැහැය. තරමක තද සුළඟක් නිරන්තරයෙන්ම තිබුණෙ. හරිම සනීපයි.දවසින් වැඩි වෙලාවක් ලැබුණේ නිස්කලංකව තනිවම ඉන්න. මට මා සමඟම කතා කරන්න. මට මා තුළම නිහඬ වෙන්න... ඒ ඇතුළාන්ත නිහඬබව අත්දැකීම හරිම අමාරු වැඩක්. ඒ තරමටම මගේ හිත කතන්දරකාරියක් වෙලා....

රිදී සිත්තම්...

තුලන නේවාසිකව සිටින කාලය තුළ සෑම දිනකම රාත්‍රී ආහාරයෙන් පසුව චිත්‍රපටයක් නරඹන්නට අවස්ථාව ලැබෙනවා. එය වැඩසටහනේ මූලික තේමාව සමග බද්ධව යන සිනමා සිත්තමක් බොහෝ විට.


 
 
පළමු දිනය අවසානයේ අපි නැරඹූ චිත්‍රපටය කන්දහාර් . සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ ඉරාන චිත්‍රපටයක් බවයි පැවසුණේ. ඇෆ්ගනිස්තානයේ යුධකාමී වටපිටාව තුළ මිනිසුන් දෛනිකව මුහුණදෙන අපමණක් ගැටලු, දුක්ඛිත තත්වයන් මෙහි දිගහැරෙන්නෙ. ප්‍රධාන චරිතය නෆාස්. ඇය ඇෆ්ගනිස්තාන කාන්තාවක්. ළමාවියේම ඇයව කැනඩාවට රැගෙන යන නිසා ඇය ජීවත් වෙන්නෙ තමන් උපන්බිමෙන් බොහෝ දුරස්ව. නමුත් ඇගේ සොයුරිය ජීවත් වෙන්නෙ ඇෆ්ගනිස්තානයේ කන්දහාරයේ. බිම් බෝම්බයක් නිසා දෙපා අහිමි වූ සොයුරිය දිවි නසාගන්නා බව දන්වමින් ලියූ ලිපියක් නෆාස්ට ලැබෙනවා. ඇය තීරණය කරනවා තම සොයුරිය හමුවන්න. ඉරානයට පැමිණෙන නෆාස් දේශසීමා ඔස්සේ කන්දහාරය කරා යන ගමනයි මේ චිත්‍රපටයෙන් නිරූපණය වෙන්නෙ. ඒ ගමන තුළ ඇය දකින, විඳින දේමයි අපිත් චිත්‍රපටය තුළ දකින්නෙ. විඳින්නෙ.

ඒ හදකම්පා කරවන දසුන් දකින කෙනෙකුට මොනම විදියකටවත් යුද්ධය, ගැටුම්, ලේ වැගිරීම් අනුමත කළ නොහැකි වනු ඇති... ඒත් ලේ පිපාසිත මිනිසුන් ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම.... ජීවිතයට, ලෝකයට ආදරය කරන මිනිසුන් හමුවේ ඇති අභියෝග ඉතාම සංකීර්ණයි. ප්‍රබලයි.

 

දෙවන දින අවසානයේ Nobody's Child. ළමා වියේම මව්පියන් අහිමිවන දැරියක කැපකරු මව්පිය සෙවණේ ලබන අනාදරය, අවමානය, නොසලකා හැරීම ඇය මානසික රෝගියකු බවට පත් කරනවා. නමුත් ආදරවන්ත මිනිසුන් කිහිපදෙනෙකුගේ අප්‍රතිහත ධෛර්යය සහ ඇයගේ කැපවීම තුළ ඇය අවසානයේ තම මානසික දුබලතා ජයගෙන ජීවිතයේ සතුට සහ සැනසුම ළඟා කරගන්නවා.

දරුවන්ගේ ජීවිතයට ආදරය, රැකවරණය, අගය කිරීම කොයි තරම් අවැසි ද ඒ නොලබන දරුවන්ගේ ජීවිතයට සිදුවන හානිය කොතරම්ද නැවත නැවතත් හිතන්න පොළඹවන චිත්‍රපටයක්..

තුන්වන දිනය ඉරිදා දිනය... ආයතනයේ හැම දෙනාම රාත්‍රී ආහාරය ගත්තෙ එකට. ඒ දිනය අවසන් වුනේ සංගීත සන්ධ්‍යාවකින්... පියානෝව වාදනය කළේ පියතුමා, අපේ බලවත් ඉල්ලීමට. ‘‘දැන් ඇඟිලි වැඩ කරන්නෙ නැහැ. ඒ නිසා පියානෝව ප්ලේ කරන්න හිතෙන්නෙ නැහැ... එහෙම කියල වාඩි වුණත් ලතින්, ඉංග්‍රීසි, සිංහල ගීත ගණනාවක්ම වාදනය කළා.

මේ සොඳුරු අත්දැකීම තව දින දෙකක් දුර ඇදුණත් මට සඳුදා හිමිදිරියෙම සමුගන්න සිදුවුණා. පුංචි දුකක් දැණුනත් මං ඒ ගැන ඒ තරම් දුර හිතන්න ගියේ නැහැ. ජීවිතේ එහෙම තමයි. නවතින්න බැහැ. යන්න වෙනවා ඉදිරියට. දුක සතුට, සැනසුම, අරගල මේ සියල්ල මැදින්.

නැවතීමත් ගමනක්.. මේ ජීවිත ගමනත් එක්තරා නැවතුමක් තමයි.

2014 ජූලි 11-13

Friday, July 11, 2014

වසන්තය මගෙ නොවෙයි....



මගේ ජීවිතයේ සොඳුරු දවස් තියෙනවා අප්‍රමාණව.... අතිසුන්දර දවසුත් තියෙනවා.. අප්‍රමාණව නැතත් එවැනි දවස්වලිනුත් හිගයක් නැහැ. අදත් එවැනි අතිසුන්දර දවසක්.....


ඇත්තටම ජීවිතය සුන්දරයි කියල මට දැනෙන්නෙ කොහොමද? මුලිකවම සොඳුරු ආදරවන්ත මිනිසුන් ඇසුරේ දිවි ගෙවන්නට ලැබෙන මොහොතවල්... ආයෙම සොබාදහම සමග ගෙවෙන නිස්කලංක මොහොතවල්... ඒ ව‍ගේම සාහිත්‍ය කලාව ඇසුරේ නෙත සිත දැහැන්ගත ‍වන මොහොතවල්... ජීවිතේ සුන්දර ද‍ මෙතරම් කියල මට දැනෙන්නෙ අන්න ඒ වගේ වෙලාවල්වලදි....

ස්ථිර වාසස්ථානය හස්තිශෛලපුර පරිපාලන වපසරියට අයිති වුණාට මට ඇතුගල්පුරය එතරම් හුරු පුරුදු තැනක් නෙවෙයි... ආගන්තුකයි.. නමුත් අද ඒ ආගන්තුක පුරවරයට මම ගියේ මගේ නොවන වසන්තයක සැබෑ හිමිකරු කවුරුන්ද සොයා බලන්න... වසන්තය දෝතින්ම අරන් ඇවිදින් “මෙන්න වසන්තය දැන් මගෙ නොවේ ඔබෙයි” කියල අපේ හිත් අද්දර තියන්නෙ සුගත් සෝමවීර සහෝදරයා.. සුගත් මල්ලි...
අද කුරුණෑගල නගරශාලාවෙදි “වසන්තය මගෙ නොවෙයි” ඔහුගේ කුළුඳුල් ගී පද සරණිය එළිදැක්වුණා. මං කොහොමද සුගත් ව දැන අඳුනා ගන්නෙ.. බොහෝ දැන හඳුනා ගැනීම් වගේම එයත් සොඳුරු අහම්බයක්...

දවසක් හිමිදිරියක රංගිරි ගුවන් විදුලි නාලිකාවේ විකාශය වූ ලස්සන ගීතයක් අහන්න ලැබුණා. මේ තියෙන්නෙ ඒ ගීතය...


ශිෂ්‍යාව
ගුරු ගෙදර පිපෙන මල් සේරම
            සුවඳ කරන ආදරේ.... ගුරුතුමනි ඔබේ හදවතයි...
ගුරුතුමා
මල් සුවඳ කරන්නට දිරි දෙන
           උල්පත ඒ ආදරේ.... දියණියනි ඔබේ හදවතයි...
 ශිෂ්‍යාව
දුක් කඳුළු එකතු කරගෙන... මුතු මැණික් තනන අන්දම
            ඔබ කියා දුන්නු හින්දා....
 ගුරුතුමා
පුරහඳක් වගේ දිලිහෙන හැටි... බලන් ඉන්නෙ තනිවමයි
            සතුටු කිරුළ හිස ලා....
ශිෂ්‍යාව
හොඳ හිතක් ළයේ නැත්නම්.. පටපිළී බරණ කුමටද
            ඔබ කියා දුන්න තාලේ....
ගුරුතුමා
ඒ උවම් හිතට අරගෙන... ජීවිතේ දිනන යුතුකම
            සුරකින්න මගේ දියණී...

ගායනය           :-          කරුණාරත්න විජේවර්ධන, කේතකී සුරවීර
පද රචනය        :-          සුගත් සෝමවීර
තනු නිර්මාණය :-          සුනිල් දයානන්ද කෝනාර

ඒ ගීතයේ හිමිකරුවන් සොයා ගැනීමට මං දැරූ උත්සාහය පළ දැරුවෙ රවි සිරිවර්ධන සහෝදරයා නිසා. ඔහු මට සොයා දුන්නා රංගිරි ගුවන් විදුලියෙ අනුරාධ කපුකොටුව සොයුරාගෙ දුරකතන අංකය. ඔහු තමයි සුගත් සොයුරාව සම්බන්ධ කර ගන්න මාර්ගය පාදා දුන්නෙ. ඒ දැන හඳුනා ගැනීමත් එක්ක ඔහු මවුස් චිත්‍රපටයට ලියූ ගීතත් මට අහන්න ලැබෙනවා.. හිත නිවා සනහන මෘදු ගී පද රචනාවන්.. ඒ බොහෝ ගීතවලට සප්තස්වරයෙන් පණ දෙන්නෙ සුනිල් දයානන්ද කෝනාර සංගීතවේදියාණන්. අපූරු පෑහීමක්...

ගී පද සරණියේ පිදුම අම්මාට... මේ පිදුමත් එක්ක අම්මාට පොත පිළිගන්වද්දි ඒ අම්මගෙ ඇස්වලට වගේම අපි බොහෝ දෙනෙක්ගෙ ඇස්වල කඳුළු පිරුණා....

පූජා....!!!

මාස හතක බඩත් උස්සගෙන
තල්ගස් බඩ ගාලා
තල් ගොඩ කපල, වේලල
වට්ටි පෙට්ටි වියල, විකුණල
කන්න දීපු...

හැතැප්ම හතක් පයින්ම
වතුර පුරවපු කළගෙඩි දෙකක්
උකුලෙයි ඔළුවෙයි තියාගෙන
අලි ගහන කැලේ මැදින් ඇවිත්
බොන්න දීපු.....

හත් අවුරුද්දක් පායල
මූදු හතම හිඳිල ගියත්
මේ පොළොව කරවෙලා, අළුවෙලා ගියත්
මට තිබහ ආවොත් දෙන්න
කඳුළු බිංදුවක් තියාගෙන ඉන්න
මගෙ අම්මට
මේ පොත මං පූජ කරනවා...

ආ මග සලකුණු ලෙසින් නම් කළ පෙරවදනට අනුව සුගත් කියන්නෙ වන්නි වනන්තරේට මැදිවෙච්ච නවගත්තේගම දිවුල්වැව ගම්මානෙ ඉපදිලා හැදිල වැඩුණු කැලේ පිපුණු මලක්.. හද්ද වනන්තරේ පිපුණ වුණත් ඒ මලේ සුවඳ ලොවටම බවට හොඳම නිදසුනක් මේ ගී පද සරණිය...

‘‘හිතට එන දෙයක් හිතේ තිබිල මෝරල උහුලගන්ඩ බැරි උණාම අසීමිත විලිරුදා විඳල මං මගෙ වචන කොලේක බිහිකරනවා. උණහපුළු අම්මගෙ දරුවො වගේ මට ඒව වටිනවා. දවසක ඒ නිර්මාණ හැඩවැඩ වෙලා ගීතයක් වෙන මොහොතට ඒ සතුට විඳගන්නවා. එහෙම ගී ලෙසින් ගැයුණු සහ නොගැයී මා සන්තකයේ තියෙන පදරචනා කිහිපයක් මම මේ පොතට එකතු කරගත්ත.

අතිශය සංවේදී හෘදයාංගම පෙරවදනෙහිලා සුගත් එහෙම සඳහනක් කරනවා. පෙරවදන කියන්නෙම නවකතාවකට සුදුසු ජීවන අන්දරයක්.. ඒ ගැන හිතන්න කියලත් ඉල්ලීමක් කරන්න කැමතියි මේ මොහොතෙ.

ඒ විදියට කාලාන්තරයක් තිස්සෙ ලියැවුණු, ගැයුණු, නොගැයුණු ගීත එකතුව පොතක් වෙන උත්සවයට සුගත්ගෙන් ඇරයුම ලැබුණෙ මාසයකටත් කළින්.. මගේ නොවන වසන්තය විඳින්න යන්න මම දිනය වෙන් කරගත්තෙ එදාමයි... එහෙම හිතූ එකත් කොයි තරම් වාසනාවක්ද කියල හැබෑවටම දැණුනෙ උත්සවයෙදි අහන්න ලැබුණු ගීතවල මුදු සුමුදු සෞන්දර්යය නිසා...

වසන්ත මොරගොඩ අධ්‍යක්ෂණය කළ මවුස් චිත්‍රපටයේ මේ ගීතය ගැයුණෙ යසන්ත සමරවීරගේ හඬින්.. භාවනාවක් වගේ විඳින්න පුලුවන් ළගන්නා හඬක් ඔහු සතු බවට විවාදයක් නැහැ... මේ ගීතයේ සංගීතයත් සුනිල් දයානන්ද කෝනාර ගෙන්...

මල්පෙති පවා රළු පරළු වේ
කටුතුඩු ඇනී නැති බැරිකමේ
එළිය නැතුවට පායලා හඳ හිත පුරා
දන්නෙ නෑ එය ලෝකයා...

 හැමදාම නියඟය නෑ
වැහිපොදක් හරි වැටෙනවා
ඉරිතැලුණු බිම්වල පවා
අලුත් හුස්මක් නැගෙනවා
කඳුළු පිපිරී මලක් වන දා
ඒ සුවඳ පොද විඳිනවා.....


හැමදාම කලුවර නෑ
තරු ඇහැක්වත් ඇරෙනවා
ගිනිගැණුනු ඇස්වල පවා
හීන හැංගී තියෙනවා
දරාගෙන මහමෙරක් වාගේ
මගෙ හිතේ නුඹ ඉන්නවා.....

 වන්නි වනන්තරේ  දුෂ්කරතා, දුක් අමාරුකම් අතරින් පවා ජීවිතය නිවන සොබාදහමේ සුන්දරත්වයත්, හිතේ උපදින ජීවිතය පිලිබඳ අපමණක් අපේක්ෂාත් සුගත්ගේ පන්හිඳට පණ දෙනවා.. වියලි කාස්ටක පොළවක නොවියැලී පණ පිහිටුවාන ඉන්න කරඹ පඳුරක පිපෙන කරඹ මල් පොකුරක් වගේ ඒ පන්හිඳෙන් ගලන අකුරුවල හිත නිවන මුදු සුමුදු සංවේදී ගතියක් රැඳෙන්නෙ ඔහු ජීවිතයට අප්‍රමාණව ආදරය කරන නිසා කියලයි මට හිතෙන්නෙ..

හර්ෂණ දිසානායක... ලස්සන ළමා ගීත රැසක්ම තිළිණ කළ ඒ කොලු පැංචා දැන් කඩවසම් නව යෞවනයෙක්.. හර්ෂණගෙ ගීතවලින් අපි තරම් වැඩ ගන්න නැතිව ඇති කවුරුවත්ම... ළ.ක්‍රි.වී. ළමා වැඩසටහන්වලදි දරුවන්ට ජීවිතේ ගැන, ළමා විය ගැන කතා කරන්න අපි ඔහුගේ ගීත උදව්කරගත්තා අවුරුදු ගණනාවක්ම.. 2004 වසරෙ ළ.ක්‍රි.වී. පණස්වසර ජුබිලි සැමරුමේ හර්ෂණ විශේෂ ආරාධිතයෙක් උනා. එදා ඔහු ගී ගයද්දි වෙන්නප්පුව ඇල්බට් පීරිස් ගෘහස්ත ක්‍රීඩාගාරයේ උන්නු දෙදහසක් පමණ වූ දරුවන් ඇසිපිය නොසලා බලන් උන්නා, නිසල පිළිරූ වගේ දැහැන්ගත වෙලා අහන් උන්න මතකයි මට...

 ඒ වගේම තමයි අදත්... හර්ෂණගෙ නව යොවුන් කටහඬ තුළ අපිත් දැහැන් ගත වුණා... බදා වැළඳගන්න තරම් සෙනෙහසක් දැණුනෙ හිතට...

මගේ කවිය - නුඹ නුඹේම දෝතින්
මා හද කැටපත් පවුරෙ ලියූ
නුඹේම දෝතින් මකා කුරුටු ගා
ගියේ කොහිද රහසින්
එය දරාගන්න නොදනිම්.....

සිහිනය එළි වී විකසිත වූ දා
සුපෙම් සුවඳ වෑහී
සඟවාගෙන රහසින්
නුඹේ අතින් ලියු මගේ කවිය මම
රැකගත්තේ සෙනෙහෙන්
දෑස වගේ මං මගේ හදේ ගැඹුරින්.....

වලාකුලක් සේ පලා යද්දි නුඹ
ඉඩෝරයට ඉඩ දී
දැවටීගෙන අසලින් සිටිය
මගේ කව සොරකම් කරගෙන
ගෙනයද්දී මහදින්
කඳුළු විලේ බැමි උහුලාවිද කෙලෙසින්....

යුග ගීතයක් ගැයුණා... ඒ යුග ගීයට එක්වුනේ හර්ෂණ සමග ලක්ෂණා ලක්මිණි.. ඇගේ හඬ මං ඇහුවෙ මුල්ම වතාවට. හුස්ම ගන්නත් අමතක වුණ තරම්... ඒ තරම් මුදු සොඳුරු හඬක්.. අපූරුවට පෑහුණා හර්ෂණගේ යොවුන් හඬත් එක්ක. ඇහිපිය නොගසා මං ඒ දෙන්නා දිහා බලන් ඉද්දි වේදිකාවේ අසුන් ගෙන උන් සුගත් ගෙ ඇස් මං දිහා හැරවිලා තියෙන බව මං දැක්කෙ අහම්බෙන්.. මං ගීතයට වශී වුණ බව ඔහුට දැනෙන්න ඇති.. ඇස්වලින්, මුවින්, අතින් මං නියමයි කියල පෙන්නුවා සුගත්ට.. ඒ වෙලාවෙ ඒ මුහුණ පිපුණෙත් කරඹ මල් පොකුරක් ගාණට..... කණාටු ගස්දෙබල් අස්සෙන් හිනාවෙන පුර හඳක් ගාණට...

සුසුම් සුළඟට සීරිලා
කඳුලු විතරයි ඇස් දෙකේ
ඉතින් කවදා දකිමුදෝ අපි
කෙම්බිමක් මේ ආදරේ.....

සොඳුරු වැස්සක ලකුණු පා
ඇදී එන මේ කුළු වගේ
කඳුළු සුසුමන් පෙරලකුණු වේ
කෙම්බිමට යන මාවතේ.....


ඉර ඇවිළෙනා -  පත් වියැළෙනා මහ ඉඩෝරේ
පෙති හැලී මල් පරවෙනා....


මල් පරවෙනා - පත් වියැළෙනා මහ ඉඩෝරේ
කරඹ මල් ඇති හිනැහෙනා.......

 ඒ ගීතයටත් සංගීතය සුනිල් දයානන්ද කෝනාර... පදරචනය, තනු නිර්මාණය, හඬ මාධුර්යය පෑහිලා මවන අපූර්වත්වය වචනයෙන් විස්තර කරන්න අමාරුයි.. ගීත ටික අහන්නම වෙනවා.... සුගත්ගෙන් ඉල්ලීමක් කරමු ගීත ටික අන්තර්ජාලයට එක් කරන්න කියල අපට අහන්න.


සිඩ්නි මාකස් ඩයස් කියන්නෙ සුගත් ගෙ කලා දිවියට විශාල අත්වැලක් වූ නිර්මාණකරුවෙක්.. ඔහු අපූරු කතාවක් කළා උත්සව සභාවෙදි... 

‘‘සුගත් ගී පද රචකයෙක් ලෙස සමාජගත වීමේ අහිංසක ආසාව අද ඉටු කරගන්නවා... නමුත් ඔහු අද සමාජයට අවශ්‍ය නැති විදියෙ නිර්මාණකරුවෙක්.. ඒ වගේම අනිත් පැත්තෙන් ඔහු අද සමාජයට අත්‍යවශ්‍ය නිර්මාණකරුවෙක්... ඇයි එහෙම කියන්නෙ කියල ඔහු පැහැදිලි කලා උදාහරණ සහිතව.. 


ප්‍රධාන දේශනය වෙනුවෙන් කුමාර ලියනගේ මුලසුනෙහි රැඳී සිටියත් මට ඒ කතාව අහන්න බැරි වුණා. කාලය හරස් වුණා... ආපහු එන අතරෙදි මට හිතුණෙ ඒ අහපු ගීත ටිකම උණත් ඇති නේද කියල.. ඒ තරම් හිත නිවුනු සැනහුණු මොහොතක්...


සුභාවිත ගීතයේ අභාවය ගැන වැළපිලි ගී ගියනවට වඩා මෙවැනි උත්සාහයන් ඉතා වටින බවයි මගෙත් අදහස...
සුගත් වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවෙ වැඩ කරන්නෙ. ඒ අතර වයඹ හඬ ගුවන් විදුලියේ නිවේදකයෙක් ලෙසත් ඔහු කටයුතු කරනවා. නිවේදනයට ඇති හැකියාව පිළිගැනීමේ කතාවෙන්ම ඔහු ඔප්පු කරල පෙන්නුවා. සුගත් විවාහකයි. දරු දෙදෙනෙකුගේ පියෙක්.. මේ සියල්ල අතරෙත් ඔහු ලියනවා. ඒ නිර්මාණ අපි අතරට අරන් එන්න අපමණ වෙහෙසක් දරනවා. ඒ සියල්ල වෙනුවෙන් මගේ ප්‍රණාමය, ආදරය සහ ගෞරවය පුදදෙන්නයි මේ සටහන ලියන්න හිතුවෙ...

... මට බනින්න. මාව රිදවන්න. දැණුන වෙලාවට හොඳයි කියන්න. ඊයෙ අද වගේම හෙටත් මාව හදාගන්න. මම ලියන්නෙ ඔබට...

‘‘වසන්තය මගෙ නොවෙයි ගී පද සරණිය පෙරවදන අවසන් කරන්නෙ සුගත් එහෙම. මම ඔබට කියන්නෙත් එයමයි. මේ ගීත අහන්න. විඳින්න. ඔබේ අදහස කියා යවන්න ඔහුට මුහුණුපොත හරහා. අවසන් වශයෙන් මට සුගත්ට කියන්න තියෙන්නෙ... ඔබ ලියන්න... වසන්තය එනවා සත්තයි... කියල තමයි. ඒ මගේ පැතුම සුගත්ගේ නිර්මාණ දිවිය වෙනුවෙන්...

..............................

උදේ වරුවම ගෙවුණෙ කුරුණෑගල වැව රවුමෙ උදේනි සරච්චන්ද්‍ර මහත්මාගෙ නිවසෙ. මගේ වචනවලින් කියනවනම් උදේනි සර් සහ අශෝකා මැඩම් සෙවණෙ.. රාජ්‍ය සේවයේ මුලකුරු කියවද්දි මට හමුවුණු උත්තම මිනිසුන් දෙපළක්... එකම එක පොතක්වත් පළ කරල නැති වුණත් ලේඛිකාවක්ය කියල මාව හැමෝටම අඳුන්වල දුන්නු උදේනි සර් හැමදාමත් ලියන කියන දේවලට මාව දිරිගන්වපු සුවිශේෂ පුද්ගලයෙක්...

හදවතින්ම ස්තුතියි.. උදේනි සර්ට, අශෝකා මැඩම්ට, සුමනා අම්මාට... මේ ආදරවන්ත දවස වෙනුවෙන්.
අද ලැබුණු තෑගි...



2014 ජූලි මස 10 වන දින....

Tuesday, July 8, 2014

අයිස් චොක්ස් නැති මංගල්ලෙ...



 
පල්ලි මංගල්ල වලින් පුළුවන් තරම් ඈත්වෙලා ඉන්නයි මං කැමති. ඒ සද්දබද්දවලටයි, තදබදේටයි, අරුමෝසම් සරුව පිත්තල වැඩවලටයි වැඩි කැමැත්තක් නැති නිසා.

ඒත් ගමේ පල්ලියෙ මංගල්ලෙ කියන්නෙ කොහෙත්ම මගහැරෙන්න ඉඩ දිය නොහැකි වාර්ෂික වතාවතක්‍‍.. එහෙම වෙන්න හේතු කාරණා ගොඩක් තියෙනවා... පල්ලියයි මම යි එකටම වගේ හැදිලා වැඩිල උස්මහත් වුණේ.. පල්ලිය කියන්නෙ ජීවිතේම කොටසක්.. පල්ලියත් එක්ක බැඳුනු සොඳුරු මතක බොහොමයි..

අපි පුංචි කාලෙ අපේ ගමට පල්ලියක් තිබුණෙ නෑ.. හැතැප්ම හතරපහක් දුර ගෙවාගෙන මහ පල්ලියට යන්න ඕන.. ඒ නිසා මතක හැටියට පුංචිම කාලෙ අපි පල්ලි ගියේ විශේෂ අවස්ථාවල විතරයි.. නත්තලට, පාස්කුවට, මංගල්ලෙට වගේ...

ඒත් හතර පහ පන්තියට එද්දි බයිසිකල් පදින්න පුරුදු වෙලා තිබුණ නිසාත්, සත්ප්‍රසාද ලබල හදවත දැහැමියාවෙන් පිරිල තිබුණ නිසාත් ඉරිදා පූජාව වැරැද්දුවෙ නැහැ...  ඒ කාලෙ ඉතින් බයිසිකල් දහ පහළොවක් එක පෙළට පල්ලි යන එකත් හරි විනෝද වැඩක්. තේක්ක කැලේ මැද්දෙන් කට්ටිය එක පොකුරටමයි යන්නෙ බයට... ඒ දවස්වල ඉරිදා පූජාවට නොයනවයි කියන්නෙ හිතට බොහොම අමාරු දැනෙන  වැඩක්.. දැන් එහෙම නොවුණට..
 
මුල්ම කාලෙ අපි දහම් පාසල් ගියෙත් ඈතින් තිබුණ පල්ලියකට. පස්සෙ ඉතින් අපටම කියල දහම් පාසලක් පටන් ගත්තා පාලුවට ගිය වත්තක. දිවුල් ගස් යට පොල් ගස් යට, අගල් කඳු උඩ තිබුණ අපේ පන්තිවලට ආසන වුණේ පොල් ගෙඩි.. සමහර වෙලාවට පොල් පිති පිටපැත්ත හරවලා වාඩි වුණා. පොල් අතු එලලත් වාඩි වුණ දවස් තිබුණා.. දුෂ්කරතා තිබුණ වුණත් ධර්මයයි ජීවිතයයි දෙකක් නොවී එකක්ම බව දැනෙන තරමට හොඳ දහම් අධ්‍යාපනයක් ලැබුණා අපට. ඒ කාලෙ අද වගේ විෂය නිර්දේශ, කප්පරක් විභාග, තරඟ තිබුණෙ නැහැ.. අද නම් දහම්පාසල කියන්නෙත් තවත් ටියුෂන් පන්තියක්නෙ...

ඒ විදියට කාලය ගත වෙද්දි පල්ලියකට කියල ඉඩම් කෑල්ලක් දුන්නෙ ‍අපේ සීය කෙනෙක්. මුලින්ම ඒ ඉඩමෙ අත්තිවාරම දැම්මෙ දහම්පාසල් ගොඩනැගිල්ලකට.. පස්සෙ පුංචි පල්ලියක් වුණේ ඒ අත්තිවාරම. ගමේ පල්ලියෙ අත්තිවාරමේ ඉඳන්ම අපේ ශ්‍රමය, කැපවීම තියෙනවා. පල්ලියට උවමනා ගල් කැපුවෙ අපේ තාත්තලමයි. වැවේ ඉඳන් වතුර ගෙනාවෙ මහා බැරල්වලට පුරවගෙන කරත්තෙක. පල්ලිය හදන්න ශ්‍රමය දුන්නෙ ගමේ අයමයි කිතුනු බොදුනු භේදයක් නැතිව.. අදටත් පල්ලියෙ ඕනැම වැඩකදි බොදුනු සහෝදරත්වයෙන් ලැබෙන සහය අප්‍රමාණයි.

අපේ පුංචි අත්වල කරගැට එනකල්ම අපිත් ගල් ඇද්දා.. උදව් කළා. වැඩිහිටි‍යො වැඩ කරන අ‍‍තරෙ අපි සෙල්ලම් කළා... ඔය විදියට පල්ලිය උස්මහත් වුණේ අපිත් එක්කම.. හරි‍යට සහෝදරයෙක් වගේ... ගමන් සගයෙක් වගේ... පල්ලිය ජීවිතයෙන් වෙන් කරන්න බැරි ඒ නිසයි.

ඒ ඉතිහාස කතන්දරේ 1994 නත්තල් රාත්‍රිය හරිම සුවිශේෂයි. එදා දවස පුරාම පල්ලියට උළු තිබ්බා. අපේ තාත්තල විවේකයක් ගැන නොහිතාම එක දිගට වැඩ කළා. බිත්ති නග්ගලා, වහලෙ හැදුව පල්ලියෙ මුල්ම වතාවට පූජාව තිබ්බෙ ඒ නත්තල් රෑ. වැලි පොලවෙ වාඩි වෙලා අපි පූජාව ඇහුවෙ ලෝකයම දිනුව තරම් සතුටකින්. ඒ සුන්දර මතකයට මේ වෙද්දි වසර විස්සක් ගත වෙලා.

පල්ලියෙ මුල්ම සංක්‍රිස්තියන් මම. ඒ වෙද්දි උසස්පෙළ කරලත් නැහැ. ඒත් පුංචි පල්ලියෙ වැඩ ඒ තරම් අමාරුවක් වුණෙත් නැහැ. දහම් පාසල, ගීතිකා කණ්ඩායම, තරුණ සමිතිය, ළ.ක්‍රි.වී. සමිතිය, කිතුනු ඒකක මේ හැමදෙයක් එක්කම ජීවිතේ ඇති වුණේ පුංචි වෙනසක් නම් නෙවෙයි. සමාජ ජීවිතයට මුල්ම අඩිතාලම වැටුණෙ ගමේ පල්ලියෙන්.. ඉතින් කො‍හොමද දෙපයින් නැගිටින්න අත දුන්නු ඒ දිව්‍යමය පියස අමතක කරන්නෙ.

කුළුඳුලේම හිතේ පෙම් සිතුවිලි ඉපදුණේ, දළු දැම්මෙ, හිතේම අවසන් ගමන් ගියේ කඳුළු හංගගෙන පුරුදු විදියට හිනාවෙලා උන්නෙ ඒත් මේ පල්ලියෙමනෙ.. ඒ මතක මතු වෙවී ඇස් සීතල වුණත් පල්ලියට ඇති ආදරය වෙනස් වෙන්නෙ නෑ..

මේ ගැන ලියන්න හිතුණෙ පසුගිය සතිඅන්තයේ පල්ලියෙ මංගල්‍යය පැවැත්වුණු නිසා. මංගල්‍යය කියන්නෙ අපේ පවුලෙ අය පල්ලියෙ පදිංචි වෙලා ඉන්න කාලයක්... මමත් ඉස්සර එහෙමයි දැන් ඈතින් උන්නට.. පරම්පරා ගාණකට එහා අතීතයෙ වගා කරන්න කියල ඇවිත් පදිංචි වුණු සොයුරන් දෙපළකගෙන් පැවත එන හින්ද මුළු ගමේම කතෝලිකයො එකම නෑ පරපුරකටයි අයිති වෙන්නෙ...

ඉතින් ගමම එකතු වෙන මංගල්ලෙ කියන්නෙ ආදරය සතුට ඉතිරිලා යන උත්සව අවස්ථාවක්.

පාදුවා නගරයේ සුද්දවර ඔබා

පුදම් මේ ගී ගයා.. මුදුනෙ මල් තබා...

අපේ පල්ලිය කැප කරල තියෙන්නෙ ශුද්ධවු අන්තෝනි මුනිතුමාට...
 
 
 

සාමාන්‍යෙයන් පල්ලි මංගල්ලවල දකින්න ලැබෙන කඩ වීදි නැතත්, රසකැවිලි කඩ කිහිපයකුයි, සෙල්ලම් බඩු වෙළෙන්දොයි, අයිස්ක්‍රීම් වෑන් දෙක තුනකුයි, රඹුටන් ලොරියකුයි තිබුණා.. හිතේ ලොකු ආසාවක් තිබුණ පුංචි කාලෙ වගේ අයිස් චොක්ස් එකක් කකා පයින්ම ගෙදර යන්න...

ඒත් කට්ටිය එක්ක කයියට මැදිවෙලා කාලය ගෙවුණා නොදැනීම. 12 ට විතර බලද්දි අයිස්ක්‍රීම් වෑන් යන්න ගිහින්... බූන්දියි පුහුල් දෝසියි අරන් එන්න ආවා. මම නම් ආස නැහැ බූන්දි,  පුහුල් දෝසි කන්න. මගෙ හිත ගියේ එවෙලෙ බැදල මැදට ලුණු මිරිස් දාල උණු උණුවෙම දෙන උළුඳු වඩේවලට..