පිටු

Friday, October 31, 2014

පිපිලා පරවෙන සුවඳ කැකුළු මල්




ඊයෙ දිනපොතේ ලියා තැබූ සටහන අද තරුරසියට ගන්න හිතුණා.

උණුහුම් සුසුමක්
ගින්දර වගේ
මේ මෙතැන
සුන්බුන් අතර
තාත්තා කෙනෙකුගේ...
බොර පාට මඩ වතුරෙ
අර අතන
ඉකිබිඳින
අව පාට කඳුළු බිඳ
අම්මා කෙනෙකුගේ

දර ඉපල්ලක් වගේ
කෘශ ගැහුණු
තේ කහට ඇඟිලි තුඩු
හීතලට ඉරිතැළුණු
වියපත්
මිත්තණියගේ...

මළ බැඳි යකඩ තහඩුව යට
මව් උණුහුමක් නැතද
දිලිසෙන සිනා පොද
සිඟිති කිරි කැකුලගේ...

නාය ගිය පපුකුහර
පිරෙන තුරු
හුස්මක් ගන්න සැනසුමෙන්
පස් කන්ද යට
තවම නිවනක් නෑ වගේ...


පස් කඳු යට වැළලුණු මිනිසුන් ගැන මහා කම්පාවක් දවස පුරාම....

ගිය වසරෙ ක්ෂේත්‍ර චාරිකාවකදි නාය යෑම නිසා ඉවත් කළ පවුල් පදිංචි කළ ගමක් මුණ ගැහුණා. පර්චස් විස්සයි, රු.50000 යි, තහඩු ටිකකුයි ඒ මිනිස්සුන්ට ලැබිල තිබුණෙ.. අටවාගත්ත ගෙවල්වල වුණත් ඒ මිනිස්සු සතුටින් උන්න බව දැණුනා ලැබුණු පර්චස් විස්සක ඉඩම ගැනත්, මහපාරට කිට්ටුවෙන් ඉන්න ලැබීම ගැනත් සෑහීමෙන්. ඒ ගමත් තිබුණෙ කන්දකම තමයි.. ඉහළට යන්න යන්න දුෂ්කරයි. ඒත් ඒ අමාරුකම් ගණනකට නොගැනෙන්නෙ උන්නු තැන්වලට වඩා මේ ලැබුණු තැන හොඳ නිසා වෙන්න ඇති...

පස්කඳුවලට යට වුණ මිනිස්සුන්ට දොස් කියල වැඩක් නෑ. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක ඉඩමක් ගෙයක් දොරක් ලැබුණනම් නොයා ඉන්නෙ නැහැනෙ...
අනික අපේ රටේ මේ කරන නාස්තිකාර වැඩවල හැටියට දුප්පත් මිනිස්සුන්ට පහසුකම් සලසන්න බෑ කියන එක අපායගාමී මහා බොරුවක්... ධනවතුන්ටයි, පිටරට සමාගම්වලටයි ඉඩම් විකුණන, බදු දෙන හැටියට මේ දුප්පතුන්ට බිම් අඟලක් දෙන්න බැහැයි කියන එකත් ඒ වගේම මහා බොරුවක්.. ඇත්තම ඇත්ත කතාව නම් මේ රටේ පාලකයින්ට දුප්පතුන්ගෙ ජීවිත ගැන කිසිම වගකීමක් නෑ. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ප්‍රාදේශීය දේශපාලන නායකයින් වගේම රාජ්‍ය නිළධාරිනුත්, ආගමික නායකයන් වගේම අපිත් ඇතුළුව සමස්ත ජනතාවත් මේ අභාග්‍යසම්පන්න ඛේදවාචකවලට වගකිව යුතුයි පැහැදිලිවම...

මේ සම්බන්ධයෙන්ම ඉවාන්ගෙ ලිපිය හරිම වැදගත්.. කරුණු රැසක් එක්තැන් කරල තියෙනවා. ඔහු මේ කියන කතාව නම් ලංකා පොළොව මත බැහැර කළ නොහැකි සත්‍යයක්...
‘‘ආදරණීය සොයුරනේ ඔබ සැමට මතු උපදින ආත්මයක මෙවන් විපතක් නොවේවා, පොම්පේ ජනතාවට හිමිවූ ගෞරවය ඔබට කිසිදා හිමි නොවනු ඇත, තව සති දෙකකින් සියල්ල අමතකව යාවි ,නැවත මෙවැන්නක් සිදුවනතුරු.“

.................

පවුලෙ අය නැතිව තනිවුණ දරුවන්ගෙ ඉරණම මොන වගේ වේවිද? පව් ළමයි. වැඩිහිටි අය කොහොම හරි ජීවිතේට මුහුණ දේවි.. ඒත් වැඩියෙන්ම අසරණ වෙන්නෙ ළමයි. කටුකම ජීවිතයක් උරුම වෙන්න වැඩි ඉඩක් තියෙන්නෙ දරුවන්ට...

මූලිකවම මේ දරුවන්ගෙ සහ වැඩිහිටියන්ගෙ මානසික සුවපත්වීම වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් වෙන්න ඕන. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂාව වගේම ඒකත් හරිම වැදගත්..

ඒ වගේම මව්පියන් නැතිව තනිවුණු දරුවන්, වැඩිහිටියන් වෙනුවෙන් පුංචි ගමක් හැදෙනවනම් හොඳයි. තමන් අනාථය කියන හැඟීම ඇති නොවෙන්න ඒ ගම මැද තනි වුණු දරුවන් වෙනුවෙන් ආරක්ෂිත නිවහනක් ගොඩ නගන්න පුළුවන් නම් වටිනවා. එය නිවසක් මිස ළමා නිවාසයක් නොවිය යුතුයි. තනිවුණ වැඩිහිටියන්ට වුණත් එය යම් තරමක මානසික අස්වැසිල්ලක් වේවි. මෙතෙක් කලක් එකට ජීවත්වුණු ඔවුන්ට ඉදිරියටත් දුකසැප බෙදාගෙන එක්ව ජීවත් වන්නට ඉඩක් ලැබේවි....

විශාලම අවදානමක් තියෙන්නෙ දරුවන්ට. මේ අහිංසක දරුවන්ගෙ අනාගත ඉරණම මෙහෙකාර සේවය බවට පත්වෙන්න වැඩි ඉඩක් තියෙනවා. ඒ අනතුරින් දරුවන් ගළවාගන්න නම් ඔවුන්ව රැක බලාගැනීමේ පුළුල් වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. මූලිකවම දරුවන්ගෙ මනස හදන්න ඕන. ඊළඟට ඔවුන් දැනුවත් කරන්න ඕන. ජීවත් වෙන්න ධෛර්යය දෙන්න ඕන. ආදරය, රැකවරණය, ධෛර්යය මේ මොහොතෙ දරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය සම්පත්.

දරුවන්ගේ අධ්‍යාපන සුරක්ෂිතබව වෙනුවෙන් කැපකරු මාපිය ක්‍රමයක් හඳුන්වා දිය හැකියිනෙ. එවැනි සද්ක්‍රියාවකට දායක වෙන්න කැමති මව්පිය ගුණයෙන් පොහොසත් මිනිසුන් අප්‍රමාණව ඉන්නවා. ඔවුන් හඳුනාගෙන අවශ්‍ය සහය ලබා ගැනීමයි වැදගත්....

ඉදිරි දිනක ළ.ක්‍රි.වී. ( ළමා ක්‍රියාකාරී වීරයෝ ) සමඟ මේ දරුවන් මුණගැහෙන්නට නියමිතයි. එහිදී මේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්නට උත්සාහයක් දැරිය හැකි වේවි.

Thursday, October 30, 2014

පිස්සු කෙළින රටේ මිනිස්සු ගැන ලියූ විදර්ශනගෙ තාත්තා


පිස්සු කෙළින .... රටේ මිනිස්සු - උමතුයි. බලලොභියි. දුෂ්ටයි.
පිස්සු කෙළින රටේ .... මිනිස්සු - නිහඬයි. නිද්‍රාශීලීයි. බියගුළුයි.

එවැනි දේශයක යථාර්ථය මැනවින් අවබෝධ කොටගෙන, ‘‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු“ යනුවෙන් ගීතයක් ලියා තැබූ අපූරු මිනිසෙක් නිහඬවම සිය අවසන් හුස්ම පොද වා තලයට මුසුවන්නට ඉඩ හැරියේය.

‘‘විදර්ශනගෙ තාත්තා අසනීපෙන්.. ජෙනරල් හොස්පිට්ල්.

“විදර්ශනගෙ තාත්තා ගෙදර එක්කරගෙන ගිහින්..

“විදර්ශනගෙ තාත්තා මහරගම. වරින් වර සවන් ගැටිණි. 

යා යුතුය, සිතුවෙමි. යමු, කතා වූයෙමු. නමුත් අවසන යා හැකි වූයේ අවසන් ගමනට සුසුමක් එක්කරනු පිණිස ය.

විදර්ශන කන්නන්ගර සහෝදරයාගේ තාත්තා ලෙස පමණක් ඔහු හැඳින්වීම කොතරම් අසාධාරණදැයි සිතුණේ අවමංගල අවස්ථාවට සහභාගි වෙමින් සිටියදී ය.

සැබවින්ම ඔහු කේ.ඩී. නිකලස් ය.

‘‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු... ගීතය ලියූවේ ඔහු බව දැනගන්නට ලැබුණේ ඔහු මරණයේ දොරටුවෙන් නික්මී ගිය පසුව ය. ඉන්ද්‍රාණි පෙරේරා ගයන ‘‘සලා දෙතොල් මල් පෙති ගීතයේ පද පෙළද ඔහුගේ ය. සුරඟන යහන චිත්‍රපටය වෙනුවෙන් ඔහු ලියූ “බඳවා උඩු වියනක් බඳවා ගීතයට 1999 වසරේ හොඳම ගීත රචනය වෙනුවෙන් සම්මානයක්ද හිමි වී ඇත.

එපමණක් නොව ඔහු චිත්‍රපට විස්සකට පමණ තිර රචනයෙන්ද දායක වී ඇත. මධුවන්ති, ආයාචනා, සිස්ටර් මේරි, ඇසල සඳ, බිතුසිතුවම්, නරලොව හොල්මන්, ගුඩ්බායි ටෝකියෝ ඉන්  කිහිපයකි. බිතුසිතුවම් චිත්‍රපටය සඳහා 1996 වසරේ හොඳම තිර රචනය වෙනුවෙන් සරසවි සම්මානයෙන්ද පිදුම් ලබා ඇත. ඔහු ලියූ ගීත, තිර නාටක විමර්ශනය කරන විට ඔහු සැබවින්ම පොදු ජනතාවගේ මිනිසෙක් බව අවිවාදිත ය.

මළවුන් පවා දාහයෙන් දවාලන්නට සමත් කලාභවනේ සැලකිය යුතු පිරිසක් තුන්කාන්සෙන් ගලන දහදියද නොතකා ගුණකථනයන්ට සවන් දෙමින් සිටියහ. නමුත් සිනමාව වෙනුවෙන් ජීවිතයම කැප කළ මිනිසෙක් වෙනුවෙන් කෘතගුණ දක්වන්නට සිනමා ක්ෂේත්‍රයෙන් පිවිස සිටියේ අල්ප වූ පිරිසකි. පුදුම විය යුතු නැත. මේ ශ්‍රී ලංකාව ය.

නිකලස් මහතාගේ මිත්‍ර, මිල්රෝයි ධර්මරත්න, හිනිඳුම සුනිල් සෙනෙවි, අරුණ මහේන්ද්‍ර, මොහාන් හෙට්ටිආරච්චි, උපුල් ප්‍රනාන්දු යන අයගේ ගුණකථන කේ.ඩී. නිකලස් යනු කොතරම් අපූර්ව මිනිසෙකුද යන්න හෙළිදරව් කළේය. ඔහු ලාංකීය සිනමා ඉතිහාසය පිළිබඳව අත්පොතක් බඳු යැයි කීවේ හිනිඳුම සුනිල් සෙනෙවි ය. 

නමුත් කේ.ඩී. නිකලස් නාමය පැවතියේ මාධ්‍ය කලා ක්ෂේත්‍රයෙන් සැඟවීගෙන ය. වැඩ කිරීමේ සිහිනයක් මිස, නම බැබළවීමේ සිහිනයක් නොවූ නිසා ම ඔහු මාධ්‍ය පසුපස හඹා නොයන්නට ඇත. නමුත් මෙබඳු මිනිසුන් හෙළිදරව් කිරීමේ සහ නිසි ඇගයුම ලබා දීමේ සමාජ වගකීමෙන් බැහැර වීම පිළිබඳව මාධ්‍ය කලා ක්ෂේත්‍රයේ වගකිව යුතු අයගේ හෘද සාක්ෂිය අවදි විය යුතු යැයි සිතමි.




..........

වඩාත් සිත කම්පනයට පත් කළ මොහාන් හෙට්ටිආරච්චිගේ කථාවේ අදහසක් ඔබ හා බෙදා ගන්නට රිසි වෙමි. මනුෂ්‍යත්වය වෙනුවෙන් සංවේදීව දැල්වෙන සිත්වල මේ පණිවිඩය නිධන් කරගනු ඇතැයිද, ඒ වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දෙනු ඇතැයිද සිතමි.

‘‘මෑත කාලයේ කලා ක්ෂේත්‍රයේ හයදෙනෙක් විතර  පිලිකා රෝගය නිසා මියගිහින් තියෙනවා. පිලිකා තත්වයක් හඳුනාගත්තම ඉන්පස්සෙ වැඩි කාලයක් මනුෂ්‍යෙයක් ජීවත් වෙන්නෙ නැහැ. ඒ වගේම ඒ පවුලෙ අය, සමීපතමයින් මානසික, ආර්ථික ප්‍රශ්න ගොඩකට මැදිවෙනවා. මේ වගේ තත්වයක් දරාගන්න හරිම අමාරුයි.


ඒ නිසා කවුරු වුණත් මේ වගේ තත්ත්වයක් නිසා අසරණ වුණාම ඒ මිනිස්සුන්ව අත්හරින්න එපා. ළඟින් ඉන්න. පුළුවන් විදියට උදව්වක් කරන්න...

Monday, October 27, 2014

දියොනිස් දෙවොල පාමුල ජීවිතය කියවීම


‘‘මා එම කාලය පුරාවට හැසිරුණේ සුරංගනා කතාවක චරිතයක් මෙනි. එකෝමත් එක කාලයක කුඩා ගෑණු ළමයෙක් ජීවත් විය. ඇය රැඟුම් පෑමට ආශා කළාය. ඒවා හදන මිනිසුන් ඇත්තේ ඇය ජීවත් වූ ගම්මානයෙන් බොහෝ දුර බැහැරකය. ඇය ඇගේ දෙමාපියන් අතහැර ඔවුන් සොයා ගැනීමට තනිව ගියාය. ඔවුන් සිටියේ විශාල ගල්දොරවල්වලින් වසන ලද විශාල මාලිගාවල ය. ඔවුන් සිටින තැන දන්නා මිනිසුන් ඔවුන් සිටින තැන පෙන්නීමට ඇගෙන් විශාල මුදලක් ඉල්ලුවෝය. එක් අයෙක් ඇගේ ලේ ඉල්ලුවේය. ඇය එය දුන්නාය. තවත් අයෙක් ඇගේ පෙනහැල්ලක් ඉල්ලුවේය. තවත් අයෙක් ඇගේ වකුගඩුවක් ඉල්ලුවේය. දැන් ඇයට යා ගත නොහැකිය. ඇය ක්ලාන්තව ඇද වැටුණාය. එහෙත් නැවතත් ඇය නැගිට්ටාය. කතාව තවම නිමි නැත. ඒ ඇය තවමත් ගමනේ සිටින නිසාය. ඇගේ කතාවේ ඉතිරි ටික මම තවම කියවා අවසාන නැත. එහි අවසානය මා කියවූ අන් ඕනෑම සුරංගනා කතාවක මෙන් සුන්දර අවසානයකට ළඟා වෙනු නොඅනුමාන ය.
පිටුව 84

ඈ දියොනිස් දෙවොල වෙත පැමිණියේ සශ්‍රීකත්වයට අධිපති දෙවියන් වෙතින් කලාවේ අබිසෙස් ලබමින් සශ්‍රීක ජීවිත ගමනකට පියවර තබනු සඳහා වරම් යදිනු පිණිස ය. එය ඇගේ සිහිනයයි. අපේක්ෂිත දෙවොලද, දෙවියන්ද එහි නොවේ. දිව්‍යමය ව්‍යාජයක් මවා ලූ අබලන් දෙවොල ඈ හිස මත කඩා වැටේ. නැවත නැවතත් කඩා වැටේ. දෙව් රූ ඉරිතැලී, කැඩී බිඳී විසිරෙයි. දේවතා වෙස් ගත් ආතුර යක්ෂයින් ඈ පෙළයි.ප්‍රේමයේ වෙස් ගත් රාගයේ මල පුඩුවලට ඈ හසුවෙයි. නමුත් බිඳ වැටුණු දෙවොලේ සුන්බුන් පීරාගෙන ඈ නැවත නැවතත් නැගී සිටියි. සිහිනය අත්නොහරියි.

ඇය අනෝලි ය. නො ඇලෙන්නී ය යන අරුතින් හෙබියද නිරන්තරයෙන් ඇලීම් බැඳීම් නිසාම පීඩාවට පත්වන්නීය. ‘අනෝලි’ නදීකා බණ්ඩාරගේ කුළුඳුල් නවකතාව වන ‘‘දියෝනිස් දෙවොල පාමුල සිට” කෘතියේ පිටු අතර සිට අපේ දැහැන් බිඳ දමන්නීය.

ළදරු වියේ සිත පිළිසිඳි තරුවක්ව බැබළිමේ සිහිනය අත්නොහරින ඇයට යුවතියක, පෙම්වතියක, ගැහැණියක, ලිංගික ශ්‍රමිකාවක, අනියම් බිරියක, විරහිනියක, රංගන ශිල්පිනියක ආදි වූ විවිධ භුමිකා තුළ හැපෙමින්, ගැටෙමින්, විඳිමින්, විඳවමින් ජීවිතය හඹා යන්නට සිදුවෙයි. මේ ලාංකීය ස්ත්‍රී ජීවිතයේ ප්‍රසිද්ධියේ සාකච්ඡාවට නොගැණෙන පැතිකඩක් පිළිබඳව දකින්නට, කියවන්නට, තේරුම් ගන්නට පාඨකයා කැඳවන සාහිත්‍යමය ප්‍රයත්නයකි. පාඨක ඇල්ම බැල්ම බිඳ හෙළන දුබලතාද ඇති මුත්, නාගරික සාහිත්‍ය, කලා, මාධ්‍ය ලෝකය සමඟ ගැටෙන ස්ත්‍රී භුමිකාවක් පිලිබඳව නිර්භයව සාකච්ඡා වන කෘතියක් ලෙසත්, බහුතර පුරුෂ අධිපතිවාදී මත සරන සාහිත්‍ය ලොවට ස්ත්‍රී මැදිහත්වීමක් ගෙන එන කෘතියක් ලෙසත් ‘දියොනිස් දෙවොල පාමුල’ අගය කිරීමට රිසි වෙමි.

සශ්‍රිකත්වයට සහ කාමයට අධිපති දෙවි

දියොනිසස් දෙවි සශ්‍රිකත්වයට සහ කාමයට අධිපති දෙවියන් ලෙස පැරණි ග්‍රීක ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වූහ. මිදි අස්වනු නෙළන සමයේ දියොනිසස් දෙවියන් වෙනුවෙන් පැවැත්වූ දේව ස්තෝත්‍ර යාගික වත්පිළිවෙත් ඇසුරින් මුල්ම රංග කාර්යය බිහි වූ බව ප්‍රකට මතය යි. එම පුදපූජා වලදී දෙවියන් පිළිබඳ කතා පුවත් ගායනා කළ අතර, එය අනුකරණාත්මකව නිරූපණය කිරීම හරහා තෙස්පිස් නම් වන මුල්ම නළුවා බිහි වූ බව සැලකේ. ක්‍රි.පූ. පස් වන සියවස වන විට මෙම රංග කාර්යය දැවැන්ත නාට්‍ය උළෙලක් දක්වා වර්ධනය වී තිබු අතර රඟ මඬලක්ද, ප්‍රේක්ෂාගාරයක්ද නිර්මාණය වී තිබිණි. සොෆොක්ලීස්, යුරිපිඩීස්, ඇරිස්ටොෆනීස් වැනි ශ්‍රේෂ්ඨ ග්‍රීක නාට්‍යකරුවන් බිහිවනුයේ මේ පසුබිම තුළ ය.

තරුවක වීමේ සිහිනයෙන් පසුවුවද අනෝලි ආත්මයෙන්ම බැඳී සිටින්නේ වේදිකාව සමඟ ය. අන් සියලු ජීවන අරගලයන්ට ඈ මැදි වන්නේ වේදිකාව සමඟ ඇගේ වන අත්‍යන්ත ප්‍රේමය පවත්වා ගන්නට දරණ උත්සාහය තුළදී ය. සිඟිති අනෝලි නිළි සිහිනය හදට තුරුළු කර ගන්නේ පාසල් වේදිකාවෙනි. ඉක්බිති ඇගේ විඳීමට, විඳවීමට මෙන්ම නිවීමට, සැනහීමටද වැඩි දායකත්වයක් ලබා දෙන්නේ වේදිකාව සහ ඒ හා බැඳුණු පුද්ගලයින් ය. ඇගේ සිහින උපදින්නේද, පවතින්නේද, බිඳ වැටෙන්නේ ද වේදිකාව සහ නිළි සිහිනය සමඟ ය. ඉදින්, ‘දියොනිස් දෙවොල පාමුල සිට’ යනු මේ ජීවිත විවරණය සඳහා  උචිත ම නාමය බව පැහැදිලිය. 

‘‘දරිද්‍රතාවය මේ ලෝකයේ ඇති දරුණුම දේවල්වලින් එකකි.

මුදල් වියදම් කරන්නන් රඟහලට පැමිණියේ නැත. වෙළඳපළක හුවමාරු කොන්දේසි මත රඟහලේ වෘත්තීය ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීම ඉතා අසීරු දෙයකි.වෘත්තීමය වශයෙන් ස්ථාවරත්වයක් ගොඩ නැගීමට බැරි වූ අයෙකුට ගොඩනැගෙන සෑම සාංකාවකින්ම මම පෙළී ගොස් සිටියෙමි. මා විසින් කළ යුතුව තිබුණේ මෙය අතහැර දිවි පැවැත්මට වෙනත් යමකට මාරු වීම ය. එහෙත් එවැනි අවමන් සහගත තත්ත්වයකට වැටීමට මගේ හදවත මට ඉඩදුන්නේ නැත. විනාශය ඉතා පැහැදිළි වුව ද මම ඒ වෙත ම රැඳී සිටියෙමි.....”
පිටුව 303

සියල්ල අහිමි වී ශුන්‍යත්වයේ වෙළී දරාගත නොහැකි තැන සිය දිවි නසා ගැනීම තෝරා ගත් විසඳුම බවට පත්ව තිබියදී පවා ඇය නැවත ජීවිතය කෙරෙහි ඇද බැඳ තබන්නේ වේදිකාව සහ රංග කාර්යය කෙරෙහි වන ඒ අසීමිත ප්‍රේමය විසිනි. එය හුදෙක් වේදිකාව කෙරෙහි වන ඇල්මක් පමණක් ලෙසට ලඝු කළ යුතු නැතැයි ද සිතමි. සැබවින්ම අනෝලී නිදහස සහ ප්‍රේමය කෙරෙහි අතිශය ඇලුම් වන, සම්මත සීමා බැමි තුළ සිරගත වන්නට අකමැති වෙනස් ජීවිතයක් අපේක්ෂාවෙන් ජීවිතය හඹා යන අල්ප වූ ස්ත්‍රීත්වයේ නියෝජනයකි.

දියොනිස් දෙවොල පාමුල ස්ත්‍රී අධ්‍යාත්මය

කෘතිය පුරා විවරණය වන ස්ත්‍රී භුමිකා සමූහයකි. ප්‍රමුඛ භූමිකාව අනෝලි වුව ද, අම්මා, අත්තම්මා, අක්කා, ඩොලී, ප්‍රභාති, රූපසාරි, ඩල්සි, කුසුමලතා ආදි වූ ස්ත්‍රී චරිත ස්ත්‍රීත්වයේ විවිධ පැතිකඩ නිරූපණය කරයි. බහුතරයක් සම්මතය තුළ සිරගත වූ, සාම්ප්‍රදායික පවුලට සීමා වූ ස්ත්‍රී චරිත ය. අනෝලි ඉන් වෙනස් වූවා ය. සිඟිත්තියක සමයේ සිටම ඇය නිරන්තරයෙන් නිදහස අපේක්ෂා කළ, තමන්ගේ සිහින හඹා යාමේ නොතිත් ආශාවෙන් පෙළුණු වෙනස් ගැහැණියක වූවාය.

“නිදහස! සැමියා සහ ආලය මේ දේවල් එකට එකතුවෙන්නේ නැති රේල් පීලි වගේ ය. මට නිදහස අවශ්‍ය විය.”
පිටුව 47

අන් කාන්තාවනට වුව ද තමන්ගේම සිහින නොවන්නට හේතුවක් නැත. නමුත් අනෝලි මෙන් ඒ සිහින හඹා යාමට එඩිතර බවක් බොහෝ ස්ත්‍රීන්ට නැත. සිය රාමුගත ජීවිතය තුළ සෑහී සිටීමට බහුතර ගැහැණුන්ට සිදු වේ. විටෙක එය ස්වකැමැත්තෙන්ම සිදුවන්නකි. විටෙක එය අතිශය පීඩාකාරී වටපිටාවක් තුළ ගැහැණිය මත බලෙන් පටවන්නකි.

ස්ත්‍රී ලිංගිකත්වය සහ ලිංගික අපේක්ෂාවන් පිළිබඳ කෘතිය තුළ වන විවරණය නිර්භය හෙළිදරව්වකි. එය විටෙක පුරුෂ ලෝකය නිරුවත් කරන බව සැබවි. ස්ත්‍රී පුරුෂ බහුතරය ව්‍යාජ ප්‍රේමයක්, මනුෂ්‍යත්වයක් නඩත්තු කරනු සඳහා ජීවිත කාලය පුරා විහින් විඳවන ලොවක, ඒ විඳවීම ජීවත් වීම යැයි අරුත් ගන්වා ඇති සමාජයක ප්‍රේමය සහ නිදහස අරුත් ගන්වන මානව සම්බන්ධතා සිහිනයක්ම නොවේද? අනෝලිගේ විඳවීම්, විඳීම්, ඇද වැටීම්, නැගිටීම් හරහා ඇය පසක් කර ගන්නා ලිංගිකත්වය, ප්‍රේමය සහ ජීවිතය පිළිබඳ යථාර්ථයට අපගේ අවධානය යොමු විය යුතු යැයි සිතමි.

මාතෘත්වය වෙනුවෙන් ස්ත්‍රීය තුළ පවතින සහජ ඇල්ම අනෝලි තුළ වුවද එසේම ය. නමුත් කිහිප විටකදීම ඇයට සිය දරු ගැබ් ප්‍රතික්ෂේප කිරීමට සිදු වේ. විටෙක එය සම්මතය තුළ පවතින දරුවාගේ සුජාතභාවය තහවුරු කිරීමට ඇති නොහැකියාව මත සිදුවන්නකි. තවත් විටක දරුවෙකු භාර ගෙන ඇතිදැඩි කිරීමට තරම් ආර්ථික සුරක්ෂිතභාවයක් නොවන නිසා සිදුවන්නකි. මාතෘ සිහිනය බිඳ වැටීම තරම් ගැහැණියකට දරා ගැන්මට අසීරු තවත් වේදනාවක් තිබිය හැකිද?

ස්ත්‍රීත්වය ගෞරවයට, ආදරයට පත් වන දිනක්, ඇයගේ සිහින වෙනුවෙන් ඉඩක් වෙන්වන දිනක් සිහිනයක් පමණක්මද? ස්ත්‍රීත්වයට හිමි තැන කිසිවකු බන්දේසියක තබා පිළිගන්වන්නේ නැත. සිහින හඹා යාමේ සහ අධ්‍යාත්මික සංහිඳීම අයත් කරගැනීමේ වගකීම සහ හැකියාව ඇත්තේ ගැහැණියටම නොවේද?

මාවිල්ආරු සිට පශ්චාත් නන්දිකඩාල් දක්වා

“ඒ දවස්වල කොළඹ ඇවිදින එක ඒ තරම් අසීරු වූයේ නැත. ආණ්ඩුව කොටි සංවිධානය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබිණි....”
පිටුව 27

“ඒ වන විට මැතිවරණය නිමා වී අලුත් ආණ්ඩුවක් බලයට ආවේය. දෙදහස් හය අවුරුද්ද උදා වූයේ අළුත් ආණ්ඩුවක් සමඟ ය. මිනිස්සු බලාපොරොත්තු තැබූහ. ඒත් මම අන්තෙටම කඩා වැටී සිටියෙමි.”
පිටුව 59

“මා රැගත් ප්‍රාඩෝ රථය ගල්කිස්ස මුහුදු තීරයට ඉගිල්ලී ගියේය. මිස්ට කරුණානායක මගේ අනාගත ජීවිතය පිළිබඳව අදහස් විමසමින් රිය පැදවූයේය. ඒ අතර පසුබිමෙන් රේඩියෝව ක්‍රියාත්මක වී තිබුණි. මාවිල්ආරු සොරොව්ව මුදාගැනීම පිළිබඳව ප්‍රවෘත්තියක් විකාශනය විය. ඔහු මගෙත් එක්ක කතාව නතර කර ප්‍රවෘත්තියට අවධානය යෙදීය. මාවිල්ආරු සොරොව්ව වසා දැමීම නිසා දින නමයක් ලංකා හමුදාව සටන් කර තිබුණි.”
පිටුව 70

“.......... කොටින් ඔවුන්ගේ බලය වෙනුවෙන් සටන් කළහ. රජය ඔවුන්ගේ බලය වෙනුවෙන් සටන් කළහ. යුද්ධය පැවති ප්‍රදේශවල සාමාන්‍ය මිනිස්සු ජීවිතේ බේරගන්න සටන් කළහ........... අපිට තිබුණේ ප්‍රේක්ෂකයාගේ භූමිකාවය.....

අප සිටියේ මළමිනී ගණන් කරමිනි. අපි රූපවාහිනී පුවත්පත්වලට ඇබ්බැහි වී සිටියෙමු. සැකය සෑම තැනකම වර්ධනය වී තිබු අතර ජීවිතය එක තැන නතර වී තිබිණි. ඩොලී සාදය සංවිධානය කළේ එම අප්‍රසන්න සිතුවිලිවලින් ගැළවීමටය. යුද්ධයේ ප්‍රේක්ෂකයන් වූ අපට තවත් දරාගෙන සිටීමට නොහැකි විය.”
පිටුව 252

වාර්ගික අර්බුදය සහ යුද්ධය බහුතර දකුණේ ජනතාවගේ ජීවිතයෙන් බැහැරව පැවතුණක් විය. නාගරික මධ්‍යම පාන්තික මාධ්‍ය, කලා අවකාශය තුළ වුවද යුදමය වාතාවරණයට සහ ඉන් ඇති කළ පීඩනය සම්බන්ධව සවිඥානික මැදිහත්වීමක් දක්නට නොලැබිණි. එනිසාවෙන්ම වෙනත් රටවල යුධමය වටපිටාවක් තුළ ගොඩනැගුණු යුධවිරෝදී, මානුෂවාදී සාහිත්‍ය, කලා, මාධ්‍ය භාවිතය ලාංකීය සමාජය තුළින් පැන නොනැගිණි. අගනුවර ජන සමාජයත්, ඒ මුල් කරගත් සාහිත්‍ය කලා ලෝකයත් පවතින යුධමය වාතාවරණයට දක්වන ආගන්තුකභාවය කතුවරිය සවිඥානිකවම සිය කෘතිය තුළ අන්තර්ගත කරලන්නීය. කෘතිය තුළ දිගෑරෙන ප්‍රේමය, ලිංගිකත්වය, විවාහය, පවුල, ආර්ථිකය සහ සාහිත්‍ය කලා මාධ්‍ය ලෝකය ට මැදි වූ ජීවන අරගල අතරින් හිටිවනම මාවිල් ආරු සොරොව්ව වැසීම, කොළඹ පිපිරෙන බෝම්බ, බුත්තල බෝම්බ ප්‍රහාරය, නැගෙනහිර මුදාගැනීම, 2009 යුධ වර්ෂයක් බවට පත්වීම, පශ්චාත් යුද සමය පිළිබඳ සංක්ෂිප්ත විවරණ පළ වේ.

“ඉතිහාසයන් දෙකක් හැමවිටම ක්‍රියාත්මක වන්නේය. වැදගැම්මකට නැති මගේ (සහ මගේ මිතුරන්ගේ) ජීවිත කාලය සහ ගෞරවණීය පාලකයින්ගේ ඉතිහාසයයි. තාරුණ්‍යය ඊට ගැළපෙන පරිද්දෙන් කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කීවේ නැත. එම අපකීර්තිමත් ඉතිහාසය යනු ආවර්ජනය කළ යුත්තක්ද අමතක කළ යුත්තක්ද යන ගැටලුවේ ගැලෙමින් මම මගේ සැඳෑවන් ගත කළෙමි. නව ගොඩනැංවීම් සහිත කොළඹ නගරයේ මංමාවත්හි සැරිසරමින් උදාසීනත්වයට එරෙහිව සටන් කරමින් සිටියෙමි. අප නවකතාවල කියවූ පරිද්දෙන් කෝපි හලවල්ද, ඒවායෙහි සිදුවන හමුවීම්ද සිදු වූයේ නැත. මිනිස් හමුවීම්වලට දී ඇති නොවැදගත්කම සලකා බැලූ විට මට සිතෙන්නේ මිනිස් හැසිරීම්වල කාලය නතර වී ඇති සැටියෙකි....”
පිටුව 294

මෙම තේමාව කෙසේවත් කෘතියේ මූලික චරිත හෝ කතාව සමඟ ඓන්ද්‍රියව බද්ධ වන්නක් නොවේ. අමතර නොවැදගත් කරුණක් ලෙස වරින් වර ඉස්මතු වන්නකි. එය කතුවරිය උවමනාවෙන් ඇති කළ දුරස්ත බවක් බව හැඟෙයි. කොළඹ කේන්ද්‍රීය දකුණේ යථාර්ථයත් එයම නොවේද?

ස්ත්‍රියකගේ ඉරණම පිළිබඳ කතාවක් පමණක්ද?

මුදල ඉදිරියේ අනෝලි අසරණ වන අවස්ථා කෘතිය පුරාම හමුවේ. දරිද්‍රතාවය ඉදිරියේ ප්‍රේමය පෑළදොරින් පැන යන බව රහසක් නොවේ. ඇය ලිංගික ශ්‍රමිකාවක වන්නේද,  සිය දරුගැබ ප්‍රතික්ෂේප කිරීමට සිදුවන්නේද, මානසික පීඩාවන් මැද කුලී ගෙයින් ගෙට යාමට සිදුවන්නේද, වේදිකා නාට්‍ය ප්‍රයත්නයන් වැළලී යන්නේද ආර්ථික අසරණභාවය හේතුවෙනි. එය ස්ත්‍රීත්වයට පමණක් පොදු වූ ඛේදවාචකයක්ද නොවේ. සමස්ත සමාජය වෙළී පවතින අන්ධකාරයකි. පවතින සමාජක්‍රමයේ ගැටලුවකි.

“අහස ඕනෑ තරම් ඉඩ තිබෙන බව ඇත්තය. එහෙත් අපට පියාඹන්නට පියාපත් තිබුණේ නැත. අපි හිරවෙලා හිටියේ අපේම ශරීර කූඩුව ඇතුළෙ ගැළවෙන්න බැරිව වගේ. අන්තිම වෙනකොට මම හරියටම තේරුම් ගත්ත එක දෙයක් තිබිණි. ඒ ආර්ථික නිදහස නැතිව අපිට මිනිස්සු වෙන්ඩ බෑ කියන කාරණය. සමහරක් විට මනුෂ්‍යත්වය පානය කිරීමේ ආශාවෙන් අපව එළියට ඇද දමන්නේ දුප්පත්කමයි.”
පිටුව 276

කෘතියේ සමස්ත ජීවිත මෙහෙයවන සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රවාහය හමුවන්නේ අන්තර්ගතයේ ගැඹුරට කිමිදීමෙනි. ‘දියොනිස් දෙවොල පාමුල සිට’ හුදෙක් ස්ත්‍රියකගේ ඉරණම පිළිබඳ කථාවක් පමණක් නොව සමස්ත සමාජයේ ඛේදනීය ඉරණම පිළිබඳ කතාවක් බව වැටහෙන්නේ ඒ ගැඹුර ස්පර්ශ කිරීමෙන් පසුවය.
නමුත් තවමත් බලාපොරොත්තු ඉතිරිව ඇත. ජීවිතය අත්හැරිය යුතු නැත. කතුවරිය අවසන ඉඟි කරන්නේ එය නොවේද?

බස නිරස මැවූවෙද?

අනෝලිගේ ජීවන අන්දරය ආරම්භයේ සිටම මට ගැටලුවක්ව පැවතියේ කතුවරිය භාවිත කරන භාෂා රටාව ය. අමු ම අමු වාක්‍ය රටා ය. ස්වභාවයෙන්ම ගද්‍ය ආඛ්‍යානයක වුව කාව්‍යමය භාෂාවක් අපේක්ෂිත මගේ රුචියට එය වැටකඩුළු බඳින්නක් විය. එය කතුවරියගේ භාෂා දුබලත්වයක් විය හැකි යැයි සිතමින්, අන්තර්ගතයේ නව්‍ය බව සහ ස්ත්‍රී පුරුෂ ස්වභාවයන් හෙලිදරව් කිරීමේ දී කතුවරිය දක්වන නිර්භය බව කෙරෙහි බැඳෙමින් අනෝලි සමඟ ඉදිරියට ගියෙමි. සර්කස්කාරයා සහ රූපසාරිගේ ප්‍රේම වෘත්තාන්තය ඉදිරිපත් කිරීමේ දී කතුවරිය සුනම්‍ය භාෂා රටාවක් භාවිත කරන බව දැණිනි. සියුම් භාව ප්‍රකාශනයන් මුදා හැරීමට භාෂාව හුරුබුහුටිව හැසිරවීමේ හැකියාව කතුවරිය සතු වන බව මෙම පිටු කිහිපය කියැවීමේදී පැහැදිලි වේ. නමුත් එය සමස්ත ආඛ්‍යානය වෙනුවෙන් ඇය භාවිත නොකරන්නේ මන්ද යන්න ගැටලුවකි. අනෝලි සිය ලිංගික බලහත්කාරයන් විවරණය කරන අවස්ථාවන්හිදී භාවිත කරන භාෂා රටාව, අදාළ සිදුවීම්හි ජුගුප්සාජනක බව මතු කරනු වස් කතුවරියගේ දැනුවත් ප්‍රවේශයක් ද විය හැකිය‍.  යම් අවස්ථාවල ස්ත්‍රී පුරුෂ සම්භෝග සම්බන්ධතා පිළිබඳව සිදු කරන විවරණ වාර්තාමය ස්වරූපයක් දරන්නේ සාහිත්‍යමය ආඛ්‍යානයකට අනුචිත ලිංගිකත්වය පිළිබඳ පාඩමක ස්වරූපයෙනි.

විටෙක ලේඛන ව්‍යවහාරය භාවිත වන නමුත් හිටිවනම සිතුවිලි විවරණ ලෙසින් කථන ව්‍යවහාරයට පනින අවස්ථාද ඇත. නමුත් එය අඛණ්ඩ විධික්‍රමයක් ද නොවේ. එය භාෂා භාවිතයෙහි දුබලබව මතු කරයි. වාක්‍ය රටාවන්හි නොගැළපීම්, වියරණ දොස්, පුනරුක්තිය, අනවශ්‍ය පැහැදිලි කිරීම් වින්දනයට බාධාවක් නොවන නමුදු සාහිත්‍යමය ගුණයට හානියකි. මෙවැනිම ස්ත්‍රීවාදී එළඹුමක් සහිත තිලිනා වීරසිංහගේ නිර්මාණ ඇයගේ භාෂාව හැසිරවීමේ කෞශල්‍යය නිසා වඩාත් ඔපමට්ටම් වී ඇතැයි සිතමි.

‘දියොනිස් දෙවොල පාමුල සිට’ සිට ලේඛක සිහිනයට පණ දෙන නදීකා තම භාෂාව සාහිත්‍යමය ගුණයෙන් හැසිරවීම කෙරෙහි තව දුරටත් සැලකිලිමත් විය යුතුයැයි මම විශ්වාස කරමි.

කියවීම දැහැන්ගත වීමක් ලෙස නොසලකන, කියවීම සහ කියවන දෑ ග්‍රහණය කර ගැනීම වෙනුවෙන් ශ්‍රමයක් නොදරන පාඨකයෙකුට මෙන්ම මුල, මැද, අග මනාව ගැළපූ කතන්දර කියවීමට රුචි වන්නෙකුට අතීතය හා වර්තමානය පාස්සමින් දිග හැරෙන අනෝලිගේ කතා පුවත පටළැවිල්ලක් වීමේ ඉඩක් ද පවතී.


නදීකා බණ්ඩාර සිය කුළුඳුල් නවකතාව පාඨකයා හමුවේ තබා ඇත. එය සංවාදයට බඳුන් විය යුතු යැයි මම විශ්වාස කරමි. ඒ ලිංගික විරෝධයේ අවි අමෝරාගෙන නම් නොවේ. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ප්‍රේමණීය ජීවිතයක් සොයා යාමේ අරමුණ පෙරදැරිවය. 


Friday, October 24, 2014

‘අලුත් ම මිනිහෙක්‘ සමඟ අලුත් ම මම


‘‘පොත් තුළ සිටින මිනිසුන් නිවී සැනසිල්ලේ
ඔවුන්ගේ දේ අප හා කතාකරනවා පමණි
ඔවුන් අප වෙත කඩාපනින්නේ නැත...
ඊට අමතරව අපේ සිතේ ඇති දේ
ඔවුන් හා කතාකරන්නත් අපට පුළුවනි...
නිසොල්මනේ ඔවුන් අසා සිටිනු ඇත...
අපේ හැඟීම්වලට සිනාසෙන්නේද නැත....

තරුරසී කළින් ලිපියට මේ අදහස ලියා තිබුණෙ නිමන්ති.  මේ අදහස කොයිතරම් ඇත්තක්ද කියල මට හිතුණා. සාහිත්‍ය කලා ඇසුරින් හිත සුවපත් වෙන තරම මෙතෙකැයි කියන්න බෑ. පුදුමෙ කියන්නෙ මනුෂ්‍ය නිර්මාණ මිනිස් හිත් සුවපත් කරනවා..  සැබෑ මිනිස් ඇසුර හදවත බිඳල දානවා.  සමහර විට ඒ තැළුණු බිඳුණු හිත එක වචනයකින් සුවපත් වෙනවා. ඒ බිඳුණු හදවත් තවත් මනුෂ්‍ය සම්බන්ධතා හරහා පිළිසකර වෙනවා. ජීවිතේ ගලායන්නෙ එහෙම තමයි.

ඊයෙ දවසම උන්නෙ කෞන්පූර්වල... රමා, රමේෂ්, බෙනී, බිෂ්වේශ්වරී පුංචි අම්මා, දිළිඳු බ්‍රාහ්මණයින් එක්ක.

සරත්චන්ද්‍ර චැටර්ජිගේ ‘පල්ලිසමාජ් ලස්සන නවකතාවක්. කියවගෙන යද්දි මතක් වුණේ මම මේ නවකතාව කියවල තියෙනවා කළින්. ඒත් පසෙකින් තියන්න ලෝබ හිතුණා. සේනාරත්න වීරසිංහ පරිවර්තනය. මං කැමති පරිවර්තකයෙක්... ඔහු පරිවර්තන කාර්යයට තෝරා ගන්නෙ මනුෂ්‍ය හදවත්වලට සංවේදීව ආමන්ත්‍රණය  කළ හැකි පොත් කියල මට හිතෙනවා. ඒ වගේම අදාළ කෘතිය, කතුවරයා, අදාළ සමාජ පසුබිම අවබෝධ කරගත හැකි අගනා පෙරවදනක් ඔහුගේ හැම පරිවර්තනයකම වගේ ඇතුළත්....

පරිවර්තනයේ නම ‘අලුත් මිනිහෙක්. ප්‍රභා ප්‍රකාශනයක්. මිල රු. 380.00..........

කෞන්පූර් ගම්වැසියන්ගෙ දිළිඳුබව, නූගත්කම... ඒ නිසාම ඇති වන හැලහැප්පීම්.............

ඒ දරිද්‍ර ජීවිත නගා සිටුවන්න රමේෂ් දරන උත්සාහය.. ඔහු ලබන ජයග්‍රහණයන්, පරාජයන්...

උගත් රමේෂ් දුරස්ත වන පුද්ගල සමාජ යථාර්ථය ඔහුට අභිමුඛ කරවන බිෂ්වේෂ්වරී පුංචි අම්මා...

රමා, රමේෂ් අප්‍රකාශිත ප්‍රේමය, ඒ ප්‍රේමය නිසා ඇති වන අප්‍රමාණ වේදනාව....

මේ නවකතාව වෙත අපිව ඇද බැඳ තබාගන්නවා.

මං හැමදාමත් හිතන දෙයක්.. ගමක් වෙනස් කරන්න, ගමක් ගොඩනගන්න ගමට, මිනිස්සුන්ට, පරිසරයට අවංකවම ආදරය කරන කැපවෙන එක මනුස්සයෙක් හිටියොත් හොඳටෝම ඇති කියන එක. එහෙම වැඩ කරන මිනිස්සු ඉන්නවා. ආදරයෙන් පිරුණු මිනිස්සු... එහෙම අය දැන අඳුනගෙන එයාල එක්ක වැඩ කරන්න තරම් මම වාසනාවන්ත වෙලා තියෙනවා...

ගමක් ගමක් ගාණෙ එහෙම හොඳ හදවතක් බිහි කරන්න පුළුවන් නම් විප්ලව සියදහස් ගණනක් එක වර කළා වගේ ජයක් ලබන්න හැකි වේවි...... ඒක ලේසි වැඩක් නොවන බව රමේෂ්ගෙ ජීවන අරගලයෙනුත් පැහැදිලි වෙනවා.... නමුත් ඒ සැබෑ කරගන්න අසීරු සිහිනයකුත් නෙවෙයි.... ආදරයයි, කැපවීමයි, ධෛර්යයි එක්තැන් කරන්න පුළුවන් හොඳ හිත්වල හමුවයි වැදගත්..

......................

ඉන්දියාව පුරා සුන්දර රස්තියාදුවක සැරිසැරීමේ හීනයක් මටත් තියෙනවා. ඒ හීනය හිතේ පැලපදියම් වුණේ පොත් නිසා... ඒ හීනෙට පියාපත් පැළැන්දුවෙ සුනේත්‍රා... ඒත් තාමත් ඒ පියාපත් සවිමත් නැහැ, ඈත අහසෙ දුරකට පියාඹල යන්න තරම්.  


Wednesday, October 22, 2014

කාල සටහනක කඳුළු



කඳුළුවලටත් කාලසට‍හනේ ඉඩක් වෙන් කරන්නයි වෙලා තියෙන්නෙ. ඒ ඉඩ තියෙන්නෙ රාත්‍රියෙ විතරයි. ඒකත් දහයෙන් පස්සෙ.. අඬන්න තැනක්, නිදහසක් උරහිසක් නැති එකත් අවාසනාවක් තමයි වෙලාවකට‍...
ඇස් කඩාගෙන උණුහුමට කඳුළු පිටපනින්න දඟලද්දි ඇහි පිය ගගහ මං කඳුළු ගඟ නවත්ත ගත්තා. හරියටම දහයෙන් පස්සෙ මම යි මගේ කඳුළුයි විතරයි කාමරේ.....

හැඟීම්වලට වටිනාකමක් නැති තැනක, කඳුළු වලට වටිනාකමක් ලැබීමෙන් ඵලක් තියෙනවද? පපුවෙ හරි මැදටම පිහියෙන් ඇනල දැන් ඔය ලේ ගැල්ම ඇඟිලි තුඩින් නවත්තගන්න කියල ඉල්ලන එක කොයි තරම් සාධාරණද?

මං ඇයි මෙහෙම අඬන්නෙ.. මට මං එක්කම කේන්තියි. කඳුළුත් එක්කම නැගිටල සුනේත්‍ර‍ගෙ අලුත් කෙටිකතා පොත ‘රතු කමිස සහ වෙනත් කතා අතට අරන්  ආයෙම මං ඇඳට වැටුණා...

ආරාමයේ තනිවුණු අනෝමා එක්ක මගේ හිතත් සන්සුන් වුණාද මන්දා. ඇස් පියවෙද්දි ඇස්වල කඳුළු වේලිලා තිබුණා. හිත නම් තාම අඬනවා. ඒත් පොතක් කියන්නෙ සැනසුමක්...

සුනේත්‍රගෙ ප්‍රේම පුරාණය මතක් වුණා මට. මං තාමත් වැඩියෙන්ම කැමති සඳුන් ගිර ගිනිගනියි නවකතාවට. ඒත් සුනේත්‍රගෙ හැම පොතකටම මං කැමතියි. ඒ ලිවිල්ලේ තියෙනවා මගේ හිත අල්ලන ඉල්ලන ලතාවක්.

....................

ඒ ඊයෙ රාත්‍රිය‍‍‍‍‍‍‍‍‍.....

ජනේලෙට උඩ හතරැස් කවුළුවෙන් ඉර එළියත් එබිකම් කරද්දියි ඇහැරුණේ. අද දීපවාලි. මං තව ටික වෙලාවක් ඇස් පියාගෙනම උන්නා හිත හෙමිහිට ඇස් අරින බව, රාත්‍රියේ නැවතුණු තැන ඉඳන් කතාව පටන්ගන්න බව තේරුම් ගනිමින්... උදෑසන වතාවත් සිද්ද වුණේ පුරුද්දට. මළ ගිය ආත්මයක් වගේ මම මං ඇතුළෙම ජීවයක් හොයමින් උන්නෙ... වරින් වර පෑරෙන හිතේ තුවාලෙට තනියෙන්ම සාත්තු සප්පායම් කරගන්න දැන් මට පුරුදුයි. ඉක්මණින්ම සුවපත් වේවි මං මගෙ හිත සැනසුවා.

දේව මෑණියන්ගෙ සුරුවම ළඟ සුපුරුදු විදියට ඉද්ද මල් දෙකක් තියද්දිත් මං ජේසු අම්මගෙන් ඇහුවෙ “මං වැරදිද? ව්‍යාජයක්, වධයක් නොවන මනුෂ්‍ය සම්බන්ධතාවයක් පවත්වගන්න මං මොනාද කරන්න ඕන...මට තියෙන්නෙ පුංචි හිතක්.. ඒ හිතට දරන්න බැරි තරම් බරක් මට දෙන්න එපා අම්මේ.....” කියල.

.................

දුම්රිය නැළවිල්ලට හිතේ සැනසිල්ල පළා යන්නෙ නොදැනීම. කඳුළු අළුත් වෙවී ඇස් තෙත් වුණා. පුංචි කාලෙත් මං එහෙමනෙ. “මේ ළමය හිත හිත අඬනවනෙ.. මගේ කඳුළු නවත්තගන්න බැරි බව දන්න නිසාම ගෙදර අය මගේ හිත නොරිද්ද ඉන්න පරිස්සම් වුණා. අදටත් එයාල එහෙමයි. ඒත් ලෝකයාට මගේ හැඟීම් වැදගත් නැහැ.. ඒ නිසා මගේ හිත පරිස්සම් කරගන්න ඕන මම මයි. ඒකට තියෙන්න එකම එක විසඳුමයි. හැකි තරම් රිදෙන බි‍‍ඳෙන බැඳීම්වලින් දුරස් වෙලා ජීවත් වෙන එක.

අළුත් වෙන කඳුළුත් එක්ක හෙමිහිට ඇවිදගෙන එද්දියි සූරිය පොත් හල ඇහැ ගැටුණෙ. “යශෝධරා” පොත ගැන මූණූපොතේ සටහන  මතක් වුණේ එවෙලෙ. මං පොත්හලට ගොඩවුණා.

“අද නම් සල්ලි නෑ මල්ලි... මම යශෝධරා බලල යන්න ආවෙ.. පොතත් අරගෙන පු‍ටුවක වාඩිවෙන ගමන් මං කිව්වා. පොතේ පසුවදනත් බලල අතරින් පතර පිටු කිහිපයක් කියෙව්වා. පඩි ලැබුණම ගන්න ඕන හිත කිව්වා. ලස්සනයි වගේ. 

සිදුහත් බුද්ධත්වය කරා යන ගමන වෙනුවෙන් යශෝධරා කළ කැපකිරීම සුළුපටු නැහැ. ඒ වෙනුවෙන් ඇය කොයිතරම් කඳුළු කන්දරාවක් හිතේ ම හංගගන්න ඇත්ද? ආපසු කිසිවක්ම බලාපොරොත්තු නොවී ඇය හදවතින්ම ආශීර්වාද කරන්න ඇති... ඒත් හිතේ අප්‍රමාණ වේදනාවක්, තනිකමක් පොදි කකා තියෙන්නත් ඇති. සිදුහත්ට තමන්ගෙ අරමුණ මිස යශෝධරාගෙ කඳුළු වැදගත් නොවෙන්න ඇති... ඉතිහාසය පුරාම ස්ත්‍රී පුරුෂ ලෝකයේ ඇලීම්, ගැටීම්, බැඳීම් ගලාගෙන යන්නෙ එහෙම තමයි.  ‍

යශෝධරා, මරියා, වෙරෝණිකා, පිලාර් මගේ හිතේ සැරිසැරුවා. චිංචි මානවිකාවන්ගෙ, මර දුතිකාවන්ගෙ විප්‍රකාර පිරුණු ලෝකයක ගැහැණියක් තුළින් ය‍ශෝධරාවක්, මරියාවක් අඩුම තරමෙ වෙරෝණිකාවක්වත් දකින්න බැරි වෙන එක මගේ වරදක් නොවන බව හිත කියන්න ගත්තා.

කාලයට ඉඩ දීලා නිහඬව ඉන්නම්. මම මට ම පොරොන්දු වුණා.

ආනන්ද අමරිසිරි පරිවර්ථනය කළ මාකේස් සංකථන පොතත් තිබුණෙ යශෝධරා ළඟමයි. අතට අරන් පෙරළල බැලුවා. අතරින් පතර පිටුවක් දෙකක් කියෙව්වා. ඒකත් ගන්න හිතෙන පොතක්... පොතේ අන්තිමට එකතු කරල තියෙන පින්තූර ටිකත් වටිනවා.

සූරිය පොත් හළෙන් පිටතට එද්දි පුදුම විදියට මගේ හිත සන්සුන් වෙලා තිබුණා. ඇස්වල කඳුළු වේලිලා තිබුණා. පොතක් කියන්නෙ ප්‍රාතිහාර්යයක්.... එන ගමනෙ මං හිතින් ලිය ලිය උන්නෙ කතාවක්. එහෙම ලියද්දි කඳුළු නවතිනවා දන්නෙම නැතිව. සමහර විට කතාවක් ගොඩනැගෙන්න එක හුස්මකුත් ඇති. සුස්මකුත් ඇති. හිතින් කතාව ලිය ලියා මං ඇවිදගෙන ආවෙ පල්ලියට.

හරි නිස්කලංකයි. අල්තාරය ඉදිරියෙ දණගහගත්තම ඇස් ඉස්සරහම උන්නෙ ජේසු‍‍..... කුරුසියෙ එල්ලිලා.

“මේ කුරුසෙ මට දරන්න බැරි තරම් බරයි ජේසුනී..” මං ජේසුට කිව්වා.




Monday, October 13, 2014

සුරලොවින් ආවාද සඳවතේ



විහඟ ගී සර  - කෝ කොහිද ගොළු වුණිද
දාංගල් හිරු කිරණ අතුපතර සැගවුණි ද
මඳ සුළඟ නිසසල ව රහසේම නික්මුණි ද
වැහි පොදට ගුමු ගුමුව නගනු අමතක වී ද

තුන් සිත ම පුරාලන සති අන්තෙ
හොරු රැගෙන ගිහින් වද
මේ හැටි ම සාංකා මම්මාට
චූටි මිමී
ඔයාවත් දන්නවද?

තට්ට බෝනිකි බබා නළවමින්
හාදු වැස්සක පෙමෙන්  නහවමින්
නැළවිලි ගය ගයා  ඇවිදිමින්
ඔයා ඉන්නවා ඇති සන්තොසින්

වැහි පොදක් වැටෙන තුරු නළියමින්
අම්මාට හොරෙන් කල්යල් බලන්
වැහිදියට පෙම් බැන්ද හදවතින්
ඔයා ඉන්නවා ඇති සන්තොසින්

ශීතලෙන් ශීත වුණු හිමවතේ
ටින්කබෙල් සෝයුරිය සොයනවද
අහිංසක බ්ලෙයා කුමරි පාසලේ
සොෆියා කුමාරිය වුණාව ද

සුවඳ වත හොවා මගෙ දෙකොපුලේ
ඩිස්නිගේ සුරඟනා කැදැල්ලේ
අතරමං වුණු එදා නිවිල්ලේ
ළදැරියකි මාත් ඔබ තුරුල්ලේ

කුමරි හීනයක් නොවු ජීවිතේ
කුමරියයි ඔබ  මහද සන්තකේ
ලොවක ආදරය ගෙන හදවතේ
සුරලොවින් ආවාද සඳවතේ....




2014.10.12