Saturday, November 29, 2014

ආදරණීය තෙල්මා


‘‘මගේ තෙල්මා! ඔහු රහස් ස්වරයෙන් කීවේය. ‘‘කිසි දෙයක් ඉතුරු වෙලා නෑ. ජීවත් වෙන්න හිතෙන කිසිදෙයක් ඉතිරි වෙලා නෑ. ආදරය විනා!

‘‘හැමදේම තියෙනවා ආදරය තුළ. ආදරය තුළ! හැමදේම! ඈ මෘදු හඬින් පිළිතුරු දුන්නාය.

එය සැබෑවක්මද? ආදරය උදෙසාම ජීවත්වන්නට වටනේද? ඒ උදෙසාම මිය යන්නට වටනේද? ජීවත් වන කෙටි කාලය තුළ එහෙ මෙහෙ යන ඡායාවන් අතර අපට බදා වැළඳ ගත හැකි එකම යහපත් දේ එය පමණද? විවිධ දෑ කරමින් පසුකරන විවිධ අවදිවලින් පසු, අපේ ජීවිත, පොර බදින ඝන අන්ධකාරයේ දිලිසෙන ආලෝකය එයමද?

676 පිටුව
.......


තෙල්මා අතට ගත් පළමු දවසෙම ( ඔක්තෝම්බර් 24 ) පසුකවරයෙත් සඳහන් වන ඉහත අවසන් ඡේදය මගේ සිත් ගත්තා. එදින මා ඒ ගැන දිනපොතේ සටහනක් තැබුවා. එය අවසන් වුණේ මේ විදියට..

‘‘ඇත්තටම ඒ ආදරය තමයි. එය එක පුද්ගලයෙකුට පමණක් සීමා වු ආදරයක් නෙවෙයි. තමන්ට, සමාජයට, පරිසරයට... සමස්ත ජීවිතයටම කෙනෙකුගේ හදවතේ ගැඹුරින්ම උපදින ආදරය. ඒ තමයි අඳුරේ පොරබදින අපිට පාර කියන එකම පහන් එළිය. ඒකටම තමයි මනුස්සකම කියල කියන්නෙත්.

තෙල්මා අවසන් පිටු කිහිපය කියෙව්වෙ අද... මාසයක් විතර මම සර් පිලිෆ් - තෙල්මා ආදර අන්දරයත් එක්ක ගත කරල තියෙනවා. සති අන්තයේ නිස්කලංක පැය කිහිපයකදි විතරයි මට ඈ හමුවුණේ. ‘‘සියල්ලෝ සතුටින් විසිර ගියහ.” පන්නයේ වැදගැම්මකට නැති සාම්ප්‍රදායික කතාවක් කියල පැත්තකින් තියන්න නොහිතෙන හේතු කිහිපයක්ම තියෙනවා. තෙල්මා මගේ සිත්ගත්තෙ ඒ නිසයි.

මමත් ඇයට ආදරය කළා සර් පිලිෆ් වගේම. ඒ ආදරණීය බවට, උදාරබවට, මුදුසුමුදු ගැහැණුකමට ඇලුම් නොකර ඉන්නෙ කොහොමද?

නෝර්වේ දේශයේ ගැමි සංස්කෘතික පසුබිම... පරිසරය...වෙනස් අත්දැකීම් ගොන්නක්. දෙස් විදෙස් සැරිසරට අතිශය ඇලුම්වන මගේ හිතට මෙවැනි පොතක් වුණත් රස මදිරාවක්...

කාව්‍යමය සොබාදහම් වර්ණනා කෘතියට එක්කරන්නෙ පාළොස්වක සඳක් තරම් එළියක්...

අටලෝ දහම සමඟ පෑහුණු ගැමි සුවඳ එක්පසෙකින්, එංගලන්තය කේන්ද්‍ර කරගත් වික්ටෝරියානු සුචරිතවාදී කුහක පැවැත්ම තවත් පසෙකින්... ඒ අතර නොපෑහෙන දීගයේ ඇද සෙවණැලි යටින් ගලා හැලෙන අසීමිත ප්‍රේමය..

ගුල්ඩ්මාර්ගේ (තෙල්මගෙ තාත්තා) ඕඩින් දේව ඇදහිල්ල. එය මුළුමනින්ම සොබාදහමේ අපූර්වත්වයත් එක්ක බැඳී පවතින දහමක්. හැම දහමකම හරය රැඳි උතුම්ම දහම සොබාදහම. එය අවිවාදාත්මකයි. මට ඒ ඇදහිල්ලට හිස නමා ගරු කරන්න හැකියි. සාගර සොහොනේ ලෝහිත ආදාහනය එය කොතරම් අමුතුද? එවැනි ජීවිත සමුගැන්මකට ධෛර්යයක් මිනිසුන් තුළ වේ නම්...!!!!

තම විරූපි, අඟුටුමිටි රූපකාය හේතුවෙන් අප්‍රකාශිත ප්‍රේමය සමඟ ජීවිතයෙන් සමුගන්නා සිගාර්ඩ්.. එය එසේ විය යුතුද? මගේ සිත විපිලිසරයි. අවම වශයෙන් ඔහු තේරුම්ගන්නට, අනෙකාගේ සතුට වෙනුවෙන් පරිත්‍යාගී වීම ද ප්‍රේමයම බව පහදා දෙන්නට කිසිවෙකු සිටියේ නම්? අසරණ සිගාර්ඩ්!!

තෙල්මා කුතුහලයෙන් පිරුණු ආකර්ශණීය කතාවක්. කාව්‍යාත්මකයි. ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලයෙන් අවුලමින් පාඨකයා ඇද බැඳ තබාගන්නවා.... සමහර ඉරිදා දිනවල පොත පසෙකින් තියල ආපහු යන්නත් මට ලෝබ හිතුණා....

තෙල්මා මගේ හිතේ ඉඩක් වෙන් කරගත්තෙ ඉහත කී අපූර්වත්වයන් නිසයි.

තෙල්මට පණ දෙන්නෙ මාරි කොරලි. ( 1855 - 1924 ) ඇගේ නවකතා රොමාන්තිකවාදී විදේශීය මායාවන් කියලත් විචාරකයො හැඳින්නුවලු. ඉතින් මොකෝ. රොමෑන්තිකම නොවුණත් අපි හැමෝම ඉන්නෙ මායාවන්වල ඇලිල ගැලිල නෙවෙයිද?


පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ.... ආශිර්වාද ප්‍රකාශනයක්. 

Wednesday, November 26, 2014

උකුත් වන සුයාමය.......



කුරුසියකි
උර මත
සැබවි...
ප්‍රේමණීය ය
එය...
රිදුමකි අපමණ
ළය
නමුදු,
උහුළනු හැකි ය..

සීමොන්
අනවැසිය
අත්වාරු
හිත්වාරු

හුදකලාවම
මනරම් ය
කපාල දුර්ගය
නොතරම් ය...

උකුත් වන
සුයාමය
ස්නේහයේ
නිවීම ය
ස්වර්ගීය තානය
හද සිඹින
යාමය.........


Monday, November 24, 2014

සඳු ඉතින්, නාවද කම් නැත


සඳු දිනකි
සඳු ඇස නොගැටි
මුදු හද දැවටි
සඳ සිසිල රැඳි...

ඇසි පිය ද
සිතුවිලි ද
හාද වී
ඇස ඇරුණු දිනකි අද
නිවිහැනේ නිවහනේ

දබරැඟිලි මුද්‍රාව
මට්ටු කරනා රිසින්
වෙට්ටු දමනා රකුස්
මන්තරේ සොරා ගත්
කාල යන්තරේ නැත

හෙට්ටු කරමින්
තත්පරේ වුව
හතිලමින් දුවනා
සාත්තරේ
උවමනා නැත

පොතක පත්ඉරු අතර
අතරමං විය හැකි ය
කවියක නවතිමින්
විඩා දුරලිය හැකි ය

කුරුළු ගී සංධ්වනියට
සීනියාස් වේදිකාවේ
සමනළ ඔපෙරාව
පුරා දවසක්ම...

මුදු සිනාවකි සිත

සඳු ඉතින්,
නාවද කම් නැත
තරු ඇසට සඳ සිසිල තවරන
පිදු එළිය බිඳ
තනි රකින සඳ...........



Friday, November 21, 2014

සිහිනයක හමුවිය ඈ



කොත්තු ගැන ඔත්තු කී
කවිකාරි රසිකා
ශීත සිසිරයේ
හිමිදිරි සිහිනයක
හමුවිණි...

තකමත්සු උයන් කොණ
සකුරා මල් ඉහුණු වීදියක
අවන්හල් පියසක
හිනැහෙමින් උන්නාය හවසක...

සුසර කළ කොත්තු නද
විසිර නොගියද
රසැයි දෙනෙතින්
හැඟවීය ඈ..........

සුවහසක් කොත්තු රස
පරදන
ඔබ මවන කව් රස
අගෙයි මට
හදවතින්ම පැවසීමි මා.....



2014.11.21

Wednesday, November 19, 2014

පැටලී හිඳිමි...



බිඳිනු නොරිසි ය
විසිතුරු ය
එතරම් ම
ඔබ වියූ මේ දැල...

සිඳී යන්නට
පණනල එහි ම
ඉඩහරිමි
නිසල වෙමි....



ගොදුරු කර ගන්නෙද
දැදුරු හද
මැදුර කරගන්නද
ගොදුරු බිම...



2014.11.19

Thursday, November 13, 2014

‘‘කමු සහ කෑමට ඉඩහරිමු.” වර්ගයේ රෙජීමයක්.


මේ රෙජීමය හැර තවත් මේ වර්ගයේ රෙජීමයන් තිබේද?

අපෝ ඕන තරම් තිබේ.

මට එවැනි රෙජීමයක් හමුවුණා පොතක. ඕහ්.. හරිම භයානකයි. දුෂ්ටයි. පිළිකුල්සහගතයි. තියෙන ලොකුම ඛේදවාචකය තමයි කැඩපතක් වගේ ඒ පොතින් මා ඇතුළු අපේ පොදු ජනතාවත්, අපේ රෙජීමයත් පැහැදිලිවම දකින්න සලස්සන එක. එහෙම දැනෙන්නෙ ඉතින් දේශද්‍රෝහී හිතකටම තමයි. ඒත් මක් කරන්නද? දේශප්‍රේමී විදියට හිතන්න හැදුවට ඒක සිද්ද වෙන්නෙම නැහැනෙ. දේශප්‍රේමී සමානයි රාජපක්ෂ ප්‍රේමී කියල මතක් වෙද්දි ඔක්කාරෙට එන්න වගේ.

පොත ගැන වැඩි දෙයක් කියන්න අදහසක් නෑ. පසුවදනෙ මේ සටහන කියෙව්වම සමස්තය හිතා ගන්න පහසුවේවි..

‘‘රටක සාමාන්‍ය ජනතාව තමන්ගේ පාලනය සඳහා පොදු ජන නියෝජිතයන් පත් කර ගනුයේ බහුතර ඡන්දයෙනි. ඒ අය ජනතා නියෝජිතයන් ලෙස පෙනී සිටිනුයේ පත්වන තෙක් පමණි. ඉන්පසු ඔවුන් ජනතාවගේ පාලකයන් බවට පත්ව පොදු ජනයාගෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට එක් රැස් කෙරෙන අරමුදල් සිත් සේ ගසාකමින් කුමාර ජීවිත ගත කරති. දේශයේ හිමිකරුවන් බවට පත් වන ඔවුහු ඉන් නොනැවතී මහජනයාට අයිති පොදු දේපළද සිත් සේ පරිහරණය කරමින් සිය පවුල්වලට පරම්පරා ගණනාවකට සරිලන සේ ඒවා ගොඩගසා තබති.

ජනතාව මේවාට එරෙහි වන්නට නොදනී. මන්දයත් ඔවුන්ගේ නැණැස් පෑදී නැති බැවිනි. ඔවුන් සිතන්නේ කවුරු ආවත් කන එක නවත්වන්න බෑ කියා ය.

The Man of the People - Chinua Achebe
පොත ජන පුරිසෙක්... පරිවර්තනය එස්. නන්දලාල්

සමාජ ආර්ථික බලය පවත්ව ගැනීමේ උවමනාවෙන් ක්‍රියාත්මක වෙන දේශපාලන ව්‍යාපාරයක් සහ යහපාලනයක් කියන්නෙ අහසයි පොළවයි තරම් දුරස් දෙයක්.  ඒකාධිපති පාලනයක් අවසන් කරන එක පහසු කටයුත්තක් නෙවෙයි. පාලක පන්තියට ආශිර්වාදයක් වෙන්නෙම ජනතාවගේ නිද්‍රාශීලීබව. ඒත් කවදා හරි සමාජ විප්ලවයක් වේවි කියන සිහිනය මනුෂ්‍යත්වයට ආදරය කරන කා තුළත් තියෙනවා. ජන පුරිසෙක් කතා කරන්නෙත් ඒ ගැනයි.  

පොතෙන් එහාට යමු.

හරි තීරණාත්මක මොහොතක් මේ ලංකාවට.

චිනුවා අචිබෙගේ කෘතියෙහි එන අප්‍රිකානු දේශයේ වැසියන් හා සමානයි අපිත්. කිසිම වෙනසක් නැහැ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන බොහොම අහිංසක ජනතාවක්. අහිංසකකම කොයි තරම්ද කියනවනම් තමන්ගෙ බෙල්ල කපාගෙන යනකල් වුණත් එයාල ඉවසාගෙන ඉඳියි. එහෙම ජනතාවක් එක්ක ඒකාධිපති පාලනයකට අභියෝග කරන එක ලේසි නැහැ.

ඉතින්, අළුත් පොදු ජනතාවක් පත් කරගැනීම තමයි අප හමුවේ තියෙන විශාලම අභියෝගය. ඉතාම සුළු වාසියට තමන්ගේ ආත්මයත් මුළු මහත් දේශයත් පාවාදෙන්න පුළුවන් ජනතාවක් ඉන්න රටක අනාගතය හැමදාමත් අනතුරේ.

මගේ පෞද්ගලික අදහස නම් මේ මොහොතෙදි විපක්ෂය, සියලුම වාමවාදී ව්‍යාපාර, සමාජ ව්‍යාපාර එක්තැන් විය යුතුයි. ඒ එක්තැන් වීම හරහා විතරයි අපට ලාංකීය සමාජයේ නිදිගැට බිඳින්න පුළුවන් වෙන්නෙ. අළුත් පොදු ජනතාවක් ඒකරාශී කරගන්න පුළුවන් වෙන්නෙ.

තනි පුද්ගලයෙක්,පවුලක් හෝ බලලෝභී කණ්ඩායමක් අතට බලය ලබා දෙනු වෙනුවට ජනතාවට සහ මනුෂ්‍යත්වයට වග කියන පිරිසක් බලය ලබා ගෙන මේ රටේ යහපත් වෙනසක් ඇති කරනවනම් අපි හදවතින්ම කැමතියි. ආරම්භයේ ඉඳන්ම පොදු අපේක්ෂකයෙක් කියන කාරණය දිහා අපි දෑස් දල්වන් බලන් ඉන්නෙ ඒ නිසයි.  

රාජපක්ෂ රෙජීමය පරද්දන එක තමයි මේ මොහොතෙ අත්‍යවශ්‍යම දේ. ඒත් එතනින් පස්සෙ කාටද රට භාර දෙන්නෙ කියන එක ප්‍රශ්නයක්. ඉගුරු දීලා මිරිස් අරන් විඳවන අපි ඊළගට ගන්නෙ කොච්චිද?

ලංකාවෙ සිංහලුන්ගෙ ඉතිහාසය කියන්නෙම පාවා දීමේ සහ දැන දැනම කැමැත්තෙන්ම විනාශය වැළඳ ගැනීමේ ඉතිහාසයක්. ආත්මාර්ථයම මිස පරාර්ථය ලාංකීය දේශපාලනයෙ ගෑවිලාවත් නැහැ. ඒ නිසාම සාධාරණ බියක් අපිට තියෙනවා. ඉරාකය, ඇෆ්ඝනිස්ථානය, ලිබියාව ඉතාම මෑත බුර්කිනා ෆාසෝ වගේ රටවලට අත්වුණු ඉරණම අපේ රටටත් අත් වෙනවට අපි කැමති නැහැ.

ඒ නිසා විපක්ෂ බලවේගවල එකමුතුව, ස්ථාවරබව, ප්‍රතිපත්ති ගැන අපි අවධානයෙන් ඉන්නවා.

මේ මොහොතෙදි දේශද්‍රෝහී පොදු ජනතාව විදියට අපිටත් පුංචිම හරි වැඩ කොටසක් කරන්න පුළුවන්. අඩුම තරමේ ‘‘මහින්දට නැතිව වෙන කාට හරි ඡන්දෙ දෙන්න. කියල තමන්ගෙ වටේ ඉන්න අයගෙන් ඉල්ලීමක් කරන එක.


ඒ වෙන කවුද කියල නිශ්චිතවම කියන්න පුළුවන් වෙන්නෙ මේ මොහොතෙදි විකල්ප බලවේග ගන්නා තීරණය අනුව තමයි. එය අප හැමටම පිළිගත හැකි රටට යහපතක් වන තීරණයක්ම වේවා කියල ප්‍රාර්ථනා පෙරදැරිව අපි බලන් ඉන්නවා. 

දැන් ඉතින් වෙන කුමක් කරන්නද? 

Tuesday, November 11, 2014

හදවත ම සුවිසල් අහසකි..



සියතින්ම සිඳගත්
පියපත් ය
පිය හඹන්නට
නිදහසේ
අහසක් නොවන සඳ
පියපත් කුමකට ද...


හුදකලාවම
ඇවිද යමි හෙමිහිට
හිස ගිනි ඇවිළි
දන නඟන මැසිවිලි
රැව් නැඟෙන මාවතක.....

නුරා ගිනිදැල් සඟවන
ප්‍රේමයේ උණුහුම ම
ඉඟි කරන
මී මැසි බඹර සමනල
විහඟ බලමුළු
පියපත් සිඳුණු
කිරිල්ලකැයි
මහත් වූ කම්පාවෙන්
අත්තටු පළන්ඳන්නට
පෙළ ගැසෙන....

ණයට ගත් පියාපත්
කුමකටද මට
හදවත ම සුවිසල්
අහසකි.....
තනිකම ද
මුනිවර සැනසුමකි...

Monday, November 10, 2014

ඉල් මහේ කඳුළක්

සිත්තම - Christy Olsen

මුදුන් කොට සෑදූ නැවුම් පස් කණ්ඩිය මත
තැනින් තැන විසුල සුදු මල් ය
එමත දැල්වෙන ඉටි පහන් පොකුරට
එක් කරමි සුසුමින් දැල්වූ මේ ඉටි පහන....

බොඳ වෙමින් මැකී මැකී යන
අවසන් සිනා සිත්තම රැගෙන
ඉහත්තාවේ නැගුණු කුරුස කණුව
සරදම් කරනුයේ ඔබට ද.. මට ද...

මධුවිතක දිය කළ ජීවිතේ මහා බර කුරුසිය
දුහුවිල්ලට ම මුසු කොට
සැනසුමෙන් නිදන්නෙද ඔබ මෙතැන
හුදකලා සුසුමක් තබා යන්නද තනියට...

සඳට අමතක රැයක පසුයම



තුරු පත් අගින් බේරි බේරී
වැටෙයි පිණි කැට
සට සට...

සඳට අමතක
රැයක පසු යම
හීත හී තුඩු ළයේ ඇමිණී
ගැහෙයි හදවත...

පිච්ච කැකුලක
සුවඳ පාවී
ලිහෙයි හෙමිහිට
නිදි ගැට...

විවර වූ කවුළු තිර
ඇසිපියක තවරයි
පහන් තරුවක
මඳහස..

හෙමින් පිබිදෙන
පෙමින් නැහැවෙන
ලොවක් අබියස
සුසුම වුව සිහිල ය
නිවෙයි හදවත....

Monday, November 3, 2014

‘සුදු හිම පලස‘ මත හිරි වැටුණු හදවත....



සීතල හිමිදිරිය ය. ගම්බිම් බලා යනු පිණිස දුම්රියක් අපේක්ෂාවෙන් මම පාළු දුම්රියපළේ අසුනකට බර වී සිටිමි. ශුන්‍ය වූ හාත්පස  තුන් සිත සාංකාවෙන් පුරවාලනු දැනේ. ඒ සාංකාබරිත සිතුවිලි පළවා හළ යුතු ය. නො එසේ නම් නිම් නොවන සිතුවිලි සැරිසර හදවතද සීතලෙන් හිරිවට්ටනු නිසැක ය.

අත ගැටෙනුයේ කෙටි කතා පොතකි.  සුදු හිම පලස මතින් ඇවිද යන්නට කෙරෙන ඇරයුමකි. ඉදින් ඒ ඇරයුමට හිස නමමි.

........

‘‘ලියන්න හැකි නිසාම නොව, සමාජ ගත කළ යුතු එමෙන්ම සමාජයට වැඩදායක යමක් කියන්නට ඇති නිසාම ලිවීමය, සැබෑ නිර්මාණකරුවාගේ කාර්යභාරය විය යුත්තේ. පුෂ්පා රම්ලිනී එම වගකීම නිවැරදිව වටහා ගත් ලේඛිකාවකි.” ප්‍රවීණ ලේඛිකා කරුණා පෙරේරා ගේ වචන තුළ මොහොතකට නතර වෙමි. සැබවින්ම මනුෂ්‍යත්වය, ආදරය දල්වාලීම ලේඛණ කලාවේ ප්‍රමුඛ කාර්යභාරය විය යුතුයැයි මම ද අදහමි.

ලේඛිකාවගේ හෘද කම්පනයේ නිධාන කතාව ද, අදාළ දේශයේ පසුබිම පිළිබඳව මාලනී ගෝවින්නගේ තබන සටහනද හිත කළඹන විට දුම්රිය පැමිණෙන සංඥා නාදය හාත්පස නිශ්චලත්වය සොරා ගන්නට විය. අන්‍ය මගීන් අනුව යමින් මම ද දුම්රියට ගොඩ වැදී හුදකලා ඉමක අසුන් ගනිමි.

සිත තවමත් සුදු හිම පලස මත ය. දැහැන නොබිඳිණි. මීනා ද, සරුංගල් ලුහුබඳින්නා ද පැමිණ මා පසෙකින් අසුන් ගත්හ. කළුද සුදු දැයි නොදන්නා ඇෆ්ඝනිස්ථානු දේශය කෙරෙහිද, එහි කප්පරක් දුක් විඳින ගැහැණුන්, ළමා ළපටින් කෙරෙහි ද, නිමක් නොවන යුද්ධයෙන් වැනසී ගිය ඇෆ්ගන් පරිසරය, සංස්කෘතිය කෙරෙහිද මසිත ප්‍රේමය දල්වා ලූ මුල්ම සාමාජිකයෝ ඔවුහු නොවෙත් ද?

..........

දැන්......... පුෂ්පා රම්ලිනී සුදු හිම පලසක් මවා මා මුළා කරමින් හිඳින්නීය. මුදු සුමුදු සිහිලසක්ද, නෙත සනහන පිවිතුරු ධවල නිම්නයක් ද දකිනු රිසින් ඇවිද ආ මම වේදනාවෙන් ගල්ගැහී හිඳිමි. සුදු හිම පලස මත ගල් ගැහී ඇති මානව පැවැත්මේ ඛේදනීය සලකුණු ඇස ගැටීමෙනි. හිම මත ඇත්තේ කඳුළු ය. දහඩිය ය. රුධිරය ය. මළ මිනී ය. ඒ ඇෆ්ගන් කතුන්ගේ  ය.  දියණියන්ගේ ය. සිත වේදනාවෙන් කීරි ගැසෙයි. දෑසට කඳුළු නැගෙයි.



ඒ හිම පලස ම විටෙක සඳ දියෙන් නැහැවී යන්නේ ය. ප්‍රේමයෙන් ආතුරව ද, ප්‍රේමයේ අසිරියෙන් මුසපත්ව ද හදවත පැහැර ගන්නේ ය. ඉදින්, හද දවන සුසුම ක් සමඟ ම මනුෂ්‍යත්වය සහ ආදරය පිළිබඳ නොවියැළුණු අපේක්ෂා දහසක් ද පොදි බැඳගෙන සුදු හිම පලස මතින් ඇවිද යමි. රිසි නම් ඔබටත් එක් විය හැකිය.

.........

ඇෆ්ඝනිස්ථානය යුධ බියෙන්, මර බියෙන් තොරව නිදහසේ හුස්මක් ගන්නට වාසනාව නොලද දේශයකි. බල අරගලද, ඉස්ලාම් මූලධර්මවාදයද, ත්‍රස්තවාදයද, දරිද්‍රබවද වඩාත්ම අසරණ කර ඇත්තේ කාන්තාවය. අන්තවාදී ආගමික මතවාදයන් හිසින් වැළඳගත් බොහෝ පවුල් තුළ ගැහැණිය යනු සතෙකුටත් අන්ත ජීවිතයක් උරුම කරගන්නියකි. ඇය හුදු අළෙවි භාණ්ඩයක්ම පමණි. අළෙවියෙන් පසුව ඇයට සිදුවන්නේ වහළියක සේ මෙහෙ කිරීමට ය. ඒ දුක්බර ඉරණම සුදු හිම පලස මත සිය ජීවිතය දිගහරින බොහෝ ස්ත්‍රීන්ගේ නිහඬ වැළපිල්ල තුළ දෝංකාර නංවයි.

මෙවැනි අන්තවාදී මුග්ධ මිනිස් කැලක් රජයන දේශයක සැබවින් ම ‘‘දෙවියන්ද අසරණ ය.” දෙවියන් අසරණ වූවද නස්රීන් සිය ජීවිත වටිනාකම් අත්හරින්නට සූදානම් නැත. ළාබාල වියේ සිටම ජීවිතය ගෙවුනේ යුද්ධය සමඟින්ම වුව, සන්තකය අහිමිව අනාථ කඳවුරක ගාල් වී සිටින්නේ වුව ඈ තවමත් ජීවිතයට ළෙංගතු ය.

‘‘රුසියානුවන්ගෙන් පස්සෙ මුජහිදීන් කාරයො. රුසියානුවො නම් පිටදේශක්කාරයා. මුජහිදීන්කාරයා, අපේම රටේ අපේම සහෝදරයො. ඉවක් බවක් නැතිව සහෝදරයන්ට එරෙහිව සහෝදරයො මරාගන්නවා. පුදුම අවමානයක්.. පුදුම බලලෝභයක්... ඊට පස්සෙ තලේබාන්කාරයො. එපා කරපුම හැත්තා. උන් අපිට ඉස්කෝලෙ යන්න තහනම් කළා. ටී.වී. එළියට විසි කළා. මොනතරම් නස්පැත්තිදායක කාල පරිච්ඡේදයක්ද ඒක...”

ඈ සිතන්නීය. සිය කටුක ජීවිතය පසෙක තිබියදී ඇය කඳවුරේ දරුවන්ට අකුරු කියා දෙන්නීය. කුරාණය කියා දෙන්නීය.


.....

ස්ත්‍රී හදවතක ස්වභාවයෙන් උපදින ප්‍රේමණීය හැඟීම් සිය සිත් ගත් පෙම්බරයාගේ උණුසුම් පපුතුරෙහි දැවටී මුදා හරින්නට නොහැකි වන ලෙස, ඇය දහසක් නීතීරීති තහංචි බැමිවලින් බැඳ දමා ඇති සමාජයක එකී ප්‍රේමය ස්ත්‍රී හදවතක් සමඟ පෑහී ‘‘සුදු හිම පලස” මත ගලා හැලෙන විට අප ඒ කෙරෙහි උරණ විය යුතුද? වැන්දඹු ෂෆිනාස් මෙන් ම අප්‍රකාශිත ප්‍රේමයෙන් දැවෙන අස්රා ද සමලිංගිකයින් යැයි ජුගුප්සාවෙන් පළවා හැරිය යුතුද? කතුවරිය එවැන්නකට ඉඩක් තබා නැත. ඔවුන් කෙරෙහි මහත් වූ දයාවකින් සිත වෙළී යයි.

.....

මළපොතේ අකුරක් නොදන්නා, අවම වශයෙන් සිය උපන්දිනය පවා නොදන්නා, මව් සෙනෙහසද අහිමි ‘‘අවමානය” හි අනීසා අවසන නෙත කඳුලක් නැංවීය. බුර්කාවෙන් සැඟවී පවතින සිය සුන්දරත්වය ප්‍රථම වරට ඡායාරූපයකට කැටි කොට ගන්නා ඇය දකින සුන්දර සිහින, ඇගේ නපුරු සොහොයුරාගේ  අතින් ගිනි උදුනේ දැවී යන විට මම ද හදවතින් වැළපුණෙමි. ඇගේ අනෙකුත් අනන්ත අප්‍රමාණ ජීවන අපේක්ෂාවන්ට අත්වන ඉරණමත් එයම නොවේද?

.....

ජීවිතයේ එකම එක වතාවක් සිය සිත් ගත් තරුණයා මුණගැසීම වෙනුවෙන් ජීවිතයෙන්ම වන්දි ගෙවූ අමිනා ඇගේ ලේ වැකුණු මුහුණ මතකයෙහි සිත්තම් කර සැඟවී ගියාය.

‘‘උඹට ප්‍රශ්න අහන්න අයිතියක් නෑ, මෝඩ කෙල්ල. මුල්ලා ඇෆ්ගන් රුපියල් ලක්ෂයක් මට ගෙනැල්ලා දුන්නා. ඉතුරු ලක්ෂෙ උඹව කසාද බැන්ද දවසට දෙන්න පොරොන්දු වුණා. උඹලව අපි හදන්නෙ විකුණන්න කියල උඹලා දන්නෙ නැද්ද? අපි හදන බැටළුවන්ගෙයි උඹලගෙයි කිසිම වෙනසක් නැහැ....”

දුප්පත්කම කතුන්ගේ දුක්ඛිත තත්වය දෙගුණ තෙගුණ කරලන්නේය. ඇති හැකි පවුල්වල දැරියන් මෙතරම්ම අසරණ වන්නේ නැත. නුගත්කමට, අයුක්තියට, අසාධාරණයට, පීඩනයට උල්පන්දම් දෙන පන්ති විෂමතාවය පිළිබඳ යථාර්ථයද සුදු හිම පලස මත සංවේදීව සටහන් වී ඇත.

‘‘මේ සියලු කරදර හිරිහැර විඳුමට සිදු වන්නේ දුගී දුප්පතුනට මිස අත මිට සරු අයට නොවේ.”

.......

නාත්තණ්ඩියේදී දුම්රියෙන් බැස ගතිමි. හීතල හී තුඩු ඇමිණි පෙළන්නේ සිරුර පමණක් නොවේ. වෙනදාට නම් බසයක් එන තුරු බෝ ගස යට රැඳී සිටින මිනිත්තු කිහිපය සිත නිවන සුළු ය.  නමුත් අද, සිත තවමත් සුදු හිම පලස මත හිරි වැටීගෙන ය.

අධ්‍යාත්මික සංහිඳීම වෙනුවෙන් කළින් කළ පහළ වූ ශ්‍රේෂ්ඨ මිනිසුන් පෙන්වා දුන් ධර්ම මාර්ගයන් මිනිසුන් පෙළීම වෙනුවෙන් මේ සා මුග්ධ ලෙස යොදා ගැනෙන්නේ නූගත්කම නිසාද? බල ලෝභය නිසාද? පුරුෂ ලෝකයේ සදාතන බල අරගලය වෙනුවෙන් තව කොතෙක් නම් ගැහැණුන්, ළමා ළපටින් අසරණයින් තම ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුද?

ධර්මද්වීපය යැයි නම් ලද ලංකා පොළවේ අනාගත ඉරණම ද මෙවැනිම ඛේදවාචකයක් වීමේ ලකුණු පහළ වෙමින් තිබේ. නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කැපිය යුතු තරමට ප්‍රබල වන තුරු බලා සිටින්නේ බලය මිස මනුෂ්‍යත්වය වැදගත් යැයි කිසිවකුත් නොසලකන නිසා බව සිතන්නට සිදුවීම ම ඛේදයකි.

........

මහා සෙනඟක් නොවූ බස් රිය නිවී සැනසිල්ලේ ගමන් ඇරඹීය. නෙත ද සිත ද එවැනිම අස්වැසිල්ලක වෙළී ගියේ ‘‘උණුසුම් ශීතල” රැගෙන ආ ප්‍රේමයේ උණුසුම සමගිනි.

අමානුෂික නීතිරීතිවලට මිස මනුෂ්‍ය හැඟීම්වලට කිසිදු ඉඩක් නොමැති බිමක ‘‘උණුසුම් ශීතල”, ‘‘බුර්කාවෙන් එපිටට” ජීවිත කතා මහත් ම අස්වැසිල්ලකි. සතිස් සහ ෆරීමාගේ අප්‍රකාශිත ප්‍රේමය වේදනාවක් වන විට අමල් කෙරෙහි වන සර්දාර් ජීගේ ආදරය යථාර්ථයක් වන ලකුණු පහළ වීම සැනසුමකි. සැබවින්ම අමල් මා අබිමුව කැටපතකි. මගේ සිතුම් පැතුම්, චර්යාවන් මම ඈ තුළ දකිමි. ඉදින් අමල් ප්‍රේමය තුළ නිවීම මගේ සැනසුමට හේතු වීම අරුමයක් නොවේ.

‘‘බුර්කාවෙන් එපිටට” නව ලොවක් පිළිබඳ අපේක්ෂාවන් දළුලන අයුරු නිරූපණය කරයි. දිල්බර් ජාන් ගෘහණියගේ භුමිකාවෙන් එහා ඡන්ද අපේක්ෂිකාවක බවට පත්වන්නේ ඇගේ ආදරණීය සැමියා ඉක්බාල්ගේ ද මඟපෙන්වීම මත ය. ඉක්බාල්ගේ දැනුවත් බවද, මානුෂීය බව ද ඇයට සවියක් ම විය. මැතිවරණ ක්‍රියාදාමය තුළ ඇයට නොයෙක් දුෂ්කරතා විඳින්නට සිදු වුව ද බුර්කාවෙන් එපිටට විහිදුණු අළුත් ගමන් මගක් පිළිබඳව විශ්වාසය දිල්බාර් ජාන් තුළ නොනැසී පවතියි. අප්‍රමාණ පීඩාවක් තම ස්ත්‍රීත්වය යටපත් කරමින් පවතින්නේ වුව මෘදු බවින්ද, ධෛර්යයෙන්ද, ආදරයෙන්ද පිරිපුන් නස්රීන්, දිල්බර් ජාන්, සාෆියා, ෆස්මා වැනි කාන්තාවන් මනුෂ්‍යත්වයට ආශිර්වාදයකි.
 
ප්‍රේමය ලොව වෙනස් කරන බව පිළිගන්නට තරම් පුරුෂ ලොව නිහතමානී වන්නේ නම් මේ ලොව මීට වඩා සුන්දර තැනක් වනු නොඅනුමානය. ගැහැණුන්ට සහ දරුවන්ට නිවී සැනසිල්ලේ හුස්මක් ගන්නට ඉඩක් ලැබෙනු ඇත.

ලාංකීය දේශපාලන ක්ෂේත්‍රය තුළ වුව ද කාන්තා නියෝජනය බෙහෙවින් අවම ය. පාදඩයින්ට, මැරයින්ට මිස මහත්මාවරුන්ට ඉඩක් නොවන වත්මන් දේශපාලන ක්ෂේත්‍රය තුළ ස්ත්‍රීත්වයේ ගරුත්වය රැකගෙන කටයුතු කිරීමේ අපහසුව නිසාම දැනුවත්, උගත් සංවේදී කාන්තාවන් දේශපාලනයෙන් දුරස්ව සිටින්නේ යැයි සිතීම අසාධාරණ නොවේ. ජනප්‍රියත්වය, පාරම්පරික උරුමය හෝ අන් හේතුවක් මත දේශපාලනයට පිවිසෙන කාන්තාවන් වුවද පුරුෂ ලෝකයේ අතකොළු වනු මිස ස්වාධීනව කටයුතු කරන්නට ඉඩක් ඇති බවක්ද නොපෙනේ. මෙය ඛේදනීය තත්වයක් නොවේද?

.....

නරුම සිත් ඇති ඇෆ්ගන් පිරිමින් කෙරෙහි ඇති වන අප්‍රසාදය යම් තරමකට හෝ සමනය වන්නේ ඉක්බාල්, සර්දාර් ජී වැන්නවුන්ගේ මානුෂික බව නිසාවෙනි. අපි ඒ පුරුෂ ලෝකයේ නොදැමුණු අහංකාරයටද, නූගත්කමටද, අන්තවාදී බවට ද අනුකම්පා කළ යුතු යැයි සිතමි. මෙවැනි නරුම අධිපතිවාදී, හිංසාකරී සමාජයක් යහමග ගැන්වීම කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමු විය යුතුය. එය මෛත්‍රීයෙන්, ප්‍රේමයෙන් මානුෂිකව සිදු කරන පෙළඹවීම, මගපෙන්වීම, දැනුවත් කිරීම තුළ අත්දැකිය යුතු දෙයක් මිස, අවි බලයෙන් සිදු කළ නොහැකි දෙයක් බව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්ද, සියලු ජාත්‍යන්තර සංවිධානද තේරුම් ගත යුතුයැයි සිතමි. ඇෆ්ගන් දේශය තුළ එවැනි මැදිහත් සේවයක නියැළෙන්නට ලැබීම කතුවරිය ලද භාග්‍යයකි. එයින් නොනැවතී ඇය තම අත්දැකීම් මුද්‍රිත කෘතියක්ව අප අත තබනුයේ මානව ප්‍රේමයෙන් අප හදවත් දල්වා ලනු රිසින් නොවේද? 


......

සුදු හිම පලසෙන් නික්මී ඇෆ්ගන් දේශ සීමාවෙන් මෙපිට, ඉන්දු සයුරේ මුතු කඳුළෙහි ස්ථානගතව නිස්කලංකයේ සිතන විට  අපේ ස්ත්‍රීත්වය වාසනාවක් යැයි නොසිතෙන්නේ නම් පුදුමයකි. ඒ සා මහත් පීඩනයක් අප මත පැටවී නොතිබීම වාසනාවකි. නමුත්, මෙබඳුම අසාධාරණයන්ට, පීඩනයන්ට, වේදනාවන්ට හසුවන ගැහැණුන් අප අතරත් කොතෙක් නම් වේද? ඔවුහු එකවර මරා දැමෙන්නේ නැත. මැරි මැරී ජීවත් වන්නහුය. මුවින් නොබැණ සියලු පිරිපත උහුළන්නහු ය.  

ලාංකීය කාන්තාවට ප්‍රසිද්ධියේ ගල් ගසන්නේ නැත. වෙඩි තබන්නේ නැත.  පුලුස්සා දමන්නේද නැත. නැතුවාමත් නොවේ. මරා දමන්නේ සිරුර නොව ආත්මය ය. ගල් ගසන්නේ, වෙඩි තබන්නේ, පුලුස්සා දමන්නේ ඇගේ හදවතය. කීතු කීතු කොට දමන්නේ හදවත ය. ලේ ගලන්නේ හදවතින් වන බැවින් නොපෙනෙනු ඇත. ධනය, බලය, කුලය, ආගම, සම්ප්‍රදාය, සංස්කෘතිය ආදී වූ සීමා මායිම්, තහංචි තුළ බුර්කාවක් නොපැළඳිය ද ලාංකීය ගැහැණියද සිරකාරියකි. ඒ සීමා මායිම් බිඳගෙන ඉගිළී යාමේ නිදහස ඇයට ඇත. නමුත් ඇය පිළිගන්නට මානව දයාවෙන් පිරුණු අහසක් අප සතු වේ ද යන්න ගැටලුවකි.

.......

සති අන්තයේ නිවහනේ හුදකලාව සිටියදී නැවත නැවතත් සුදු හිම පලස පෙරළා බැලීමි. ලිවිය යුතුය, සිත එක්තැන් කරගතිමි. මේ ඔබ කියවනුයේ එහි ප්‍රතිඵලයයි.

......

කෙටි කතාව නම් වන සාහිත්‍ය ෂානරය ‘සුදු හිම පලස’ මත කොතෙක් දුරට සාර්ථක වී ඇත්දැයි සොයන්නට මම උත්සුක නොවීමි. සරල සුගම බස්වහර සුදු හිම පලස ට අප ඇද බැඳ තබා ගනියි. කතුවරිය සිදුවීම් පෙළගස්වන ආකාරය අතිශය සංවේදී ය. මානව දයාවෙන් අනූන හදවතක කම්පනය මේ සියලු කතාතුළින් රළ නගන්නේ යැයි සිතමි.

මා සෙවූයේ ජීවිතයයි. මට හමුවූයේද ජීවිතයයි. වඩා වැදගත් වන්නේ කතුවරිය අප හමුවේ දිගහරින මානව ජීවිතයේ ඛේදනීය තත්වය හඳුනාගනිමින් එය සුඛාන්තයක් බවට පත් කරලීම සඳහා අපට ලබා දිය හැකි දායකත්වය කුමක් යන්න විමසා බැලීම යැයි මම විශ්වාස කරමි. එය හුදු රසවින්දනය ඉක්මවා ගිය ප්‍රඥාවබෝධයකින් තොරව සිදු විය නොහැක්කක් යැයි මට සිතේ.

එසේම, ස්ත්‍රී ඇසකින් විනිවිදින ස්ත්‍රී ජීවිතවල කතාන්දරය පොදු මනුෂ්‍යත්වය සමඟ උර ගා බලන විට සමස්ත සමාජයේ උන්නතිය වෙනුවෙන් කාන්තාවගේ ආදරයට, කරුණාවට, මුදු ගුණයට, ධෛර්යසම්පන්න බවට ලබා දිය හැකි දායකත්වය කොතෙක්ද යන්නත් පැහැදිලි වේ.


ඇෆ්ගනිස්ථානයේ රාවා සංවිධානය බිහි කළ ‘‘මීනා” ගේ ජීවිතයද මේ සමඟ ම කියවන්නැයි අවසන් වශයෙන් සිහිපත් කරමි.