Wednesday, April 29, 2015

සදාදර රෝසි




‘‘ඔයා මේ පොතට කැමති වේවි.. ඇය සදාදර රෝසි ගැන කිව්වෙ එහෙමයි.

ලියුම් ලියන්නත්, ලියුම් කියවන්නත් මං කොයි තරම් කැමතිද කියලවත්, එකතු කළ ලියුම් කප්පරක්, නිතර නිතර බලන ආදරයෙන් රැකගන්න ඊමේල්ස් තොගයක් ඇති බවවත් හාන්කවිසියක් නොදැනයි ඇය එහෙම කිව්වෙ. ඒ පොත ගැන මං කළින් අහල දැකල තිබුණා. ඒත් නමෙයි, කවරයෙයි තිබුණු මොකක්දෝ සීනිබෝල ගතියක් නිසා මට ඒක ගන්න හිතුණෙ නැහැ.

ඒත් අන්තිමේ මෙන්න සදාදර රෝසි මං ළඟ....

මේ දවස් ටිකේම සදාදර රෝසි මා එක්ක කෝච්චියේ වැඩට ආවා ගියා. හුදකලා නවාතැනේ තනි නොතනියට ළඟින් උන්නා. මෙන්න ඉබේම මම ත් සදාදර රෝසිට ආදරේ වෙලා. රෝසිට විතරක් නෙවි ඇලෙක්ස්ට, කේටිට, ජෝෂ්ට, රූබිට... හැම දෙනාටම.... මං පොතට වසඟ වුණා බොහොම ඉක්මණින්. (අපෝ ඔයාව වසඟ කරන්න නම් පොතක ඒ හැටි දෙයක් තියෙන්න ඕන නැහැ කියල කියන්න නේද කට හදන්නෙ. ඒ සිතිවිල්ල වැරදියි. ඇත්තටම ඒක හරි ලස්සන කතාවක්.) 

 ‘‘ පුංචි කාලෙදි අපි හිතන්නෙ අපිට අපි කැමති ඕනම කෙනෙක් වෙන්න, අපිට අපි කැමති ඕනම තැනක යන්න පුළුවන් කියලනෙ. අපිට දකින්න පුලුවන් සිහිනවල සීමාවක් නෑ. බලාපොරොත්තු නොවෙන දේවල් වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. මැජික් ගැන, සුරංගනා කතා ගැන, මේක මෙහෙම වෙයි, ඒක එහෙම වෙයි කියල විශ්වාස කරනවා. ඊට පස්සෙ අපි ටික ටික වයසට යනවා. අර අහිංසකකම සුණු විසුණු වෙලා යනවා.”
පිටුව 271

පුංචි ඇලෙක්ස්ගෙයි, පුංචි රෝසිගෙයි  සුන්දර වැඩවල ඉඳන් දෙන්න දෙතැනක දෙවිදියක ජීවිත තෝරගෙන අම්මෙක්, තාත්තෙක් වෙලා, වැඩිහිටියන් බවට පත් වෙලා ඒත් සදාතනික මිත්‍රත්වයකින් බැඳිල ඉන්න හැටි අමුතු ආකෘතියක තමයි දිගහැරෙන්නෙ. සම්පූර්ණ කතාවම යන්නෙ ලියුම්, විද්‍යුත් තැපැල් ලියුම් හුවමාරු, කෙටි පණිවිඩ හරහා. අන්තර්ජංජාලයත් එක්ක ජීවිතේ ජංජාලයක් කරගත්ත ඈයින්ට නම් පොත හරි පහසුවෙන් වැටහේවි. වෙලාවකට හිත කලම්බනව තමයි. ඇස්වල කඳුළුත් පුරවනවා. ඒ වගේම හිනා ගස්සනවා. රසවත්..


කෙනෙකුට හිතෙන්න පුලුවනි. සාර්ථක චරිත නිරූපණයකට, සිද්ධි නිරූපණයකට ඒ විදිය ගැළපෙනවද කියලත්. මට සහතික වෙන්න පුලුවනි, කිසිම ගැටලුවක් නැතිව අපිට ඒ චරිත, සිදුවීම්, හැඟීම් තේරුම්ගන්න පුළුවනි. හුවමාරු වෙන ලියුම් කන්දරාවත්, කෙටි පණිවිඩ සම්භාරයත් රෝසිගෙත්, ඇලෙක්ස්ගෙත් ළමා වියේ ඉඳන් එයාල අම්මල තාත්තල බවට පත් වෙන තුරුත් ජීවිතය ගලාගෙන යන විදිය ලස්සනට මවාදෙනවා. ඒ දෙන්නගෙ ජීවිත එක්ක බැඳිල ඉන්න අනිත් අයව වුණත් කියවගන්න අමාරු නැහැ.

මිත්‍රත්වයේ සහ ආදරයේ හැඟීම් හරිහැටිම තේරුම් ගන්න බැරි වුණාම, ජීවිතේ වැදගත්ම තීරණ, නොවැදගත් විදියට ගත්තම, වැදගත්ම අවස්ථා නොසැලකිලිමත් විදියට මඟ ඇරුණම අපි කොයි තරම් අසරණ වෙනවද? සමහර විට මුලු ජීවිත කාලය පුරාම ඒ අසරණභාවයෙන් ගැලවීමක් නැති වෙනවා.

සැබෑ මිතුරන්ට ආදරවන්තයො වෙන්න ලේසි නැහැ වගේ, ආදරය කරන කෙනෙක්ව කොයි තරම් හිතුවත් යාළුවෙක්, සහෝදරයෙක් විදියට පිළිගන්නත් අමාරුයි. ( අත්දැකීමෙන් කියන්නෙ.) ඒත් අන්තිමේදි රෝසි කියන මේ කාරණයට එකඟ නොවීත් බැහැ වගේ..

From : Rosi
To: Stephani
Subject: හොඳම යාළුවො සදහටම අපි එක්ක ඉන්නවා.
අනේ මගේ බුද්ධිමත් සහ ඥානවන්ත අක්කා ස්ටෙෆානි, ඔයා කිව්ව හරි! මට අවුරුදු දහහතේදි ඔයා කිව්ව මතකද ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා ඇවිල්ල යනවා. ඒත් හොඳම යාළුවො අපි එක්ක සදහටම ඉන්නවා කියල...... ඒ කාලෙ මට ඔයා කියපු දේ ගැන විශ්වාසයක් තිබුණෙ නැහැ. හැබැයි දැන්නම් මං අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා...
තෑන්ක්ස් ස්ටෙෆ්.. හොඳම යාළුවො සදහටම අපි එක්ක ඉන්නව තමයි.!

පිටුව 292

නූතන සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් එක්ක අපි විශ්ව ගම්මානයක ගම්වැසියො වෙලා ඉන්න බව ඇත්ත. ඒත් එතනදිත් අපි සුපුරුදු විදියට ළිං මැඩි ජීවිතයක් තමයි ගෙවන්නෙ. සජීවි මනුෂ්‍ය සම්බන්ධතාවලින් දුරස් වෙලා සයිබර් අවකාශගත හමුවීම් වලට සීමා වුණාම අපට ජීවිතයේ ආදරණීය අවස්ථා බොහොමයක්, ආදරණීයම මිනිසුන් බොහොමයක් මඟ හැරෙන්නත් ඉඩ තියෙනවා. හරියටම ඇලෙක්ස්ටත් රෝසිටත් එයාලව මඟ හැරුණ වගේ.

සමහර විට ආදරයේ පිවිතුරු සුන්දරත්වය රැකෙන්නෙත් මේ මඟහැරීම නිසාම වෙන්නත් පුලුවන්. නීති පොතේ අත්සන් කරලා එක වහළක් යට කූඩු වුණාට පස්සෙ බොහෝ විට ආදරය පිළුණු වෙන්න තියෙන ඉඩකඩ වැඩියිනෙ. ඒත් ජීවිතය එක තැන නතර වෙන්නෙ නැහැ. සුබවාදී සිහින අත්නොහැර ධෛර්යයෙන් පෙරට යා යුතුමයි. සදාදර රෝසි ආදරණීයව ජීවිතයට එකතු කරන අත්දැකීම එය බවයි මට හැගෙන්නේ.

කොහොම වුණත් අවිනිශ්චිත සුන්දර අහම්බයන් හමුවෙන්න තියෙන ඉඩ සදහටම නැතිවෙන්නෙ නැහැනෙ... කොයියම්ම මොහොතක හෝ මඟහැරුණු ජීවිතය හමුවෙන්නත් ඉඩ තියෙනවා.

මේ තරම් ආසාවෙන් පොතක් කියවගෙන යද්දි අවසානයේ පාත් වෙන්න පුලුවන් අන්තිම අසාධාරණ හෙණගෙඩිය, බලාපොරොත්තු කඩ කරවන, දකින්න නුසුදුසුම අවසන් වාක්‍ය මොකක්ද දන්නවද? 

‘‘සදාදර රෝසි කෘතියේ දෙවැනි කොටස සමඟ නැවත හමුවෙමු.“

හා කො ඉතින්,

Cecelia Ahren – LOVE, ROSIE
පරිවර්තනය - ගංඟා නිරෝෂිණි සුදුවැලිකන්ද
විජේසුරිය පොතක්..

Sunday, April 26, 2015

පෙම් පතක අවනඩුව


පෙම්වත..
ළඳ බොළඳ සන්දියේ
මගහැරුණු ඉඟි බිඟි
තුරුණු විය අග්ගිස්සෙ
අකැප යැයි නොකියන්න...


සුරත් සුළැඟිල්ලක පැටලී
ඇවිද යන්නට නොහැකි වූ
මං මාවත් කොතරම්ද?
අප එන තුරු මඟ බලන....


මේ විසල් ප්‍රේමයට
රනින් රිදියෙන් අල්ලස්
අනවැසි ය...
ගෙත්තම් කළ සිහින
පමණක් ම සෑහේ ය....


කඩල ගොටුවක්... හිම කිරමක්
ඉඳ හිට කවි පොතක්
දිනපතා අදර වදනක්
කැමති විට උණුහුම් හාදුවක්...


පෙම්වත..... ඉතින්,
පෙම්පතක ලියැවෙන
පෙම් හිතක අවනඩුව
සුළුකොට නොතකන්න
නිදොස් කොට නිදහස් කරනු නැත
නිදොස් මා අත ඉතින් වරද නැත....


( ප්‍රේම ගීතාවලිය 02 )

Thursday, April 23, 2015

ෂාරොන්හි සෙව්වන්දියක සේ





අහස් පෙම්වත...

විසල් සමුදුරු සයනයෙහි
වැතිර ඉමි
දිව්‍යමය ප්‍රේමයේ
සහස් සුවහස් රැස් දහරින්
නැහැවී හිඳිමි...

කොතරම් පියකරු ද
මේ නිල් යහන් ගැබ
කොතරම් නැළවිලි ද
රළ රැලි අත් දහස...

පෙම්වත,
අනන්තාපරිමාණ
ඔය දෑස අබියස
කුරා කුහුඹු පණ නලකි, හද ගැහෙන
ෂාරොන්හි සෙව්වන්දියක සේ
විකසිතව හිනැහෙමි.. සැනහෙමි...

වලා සේලය විසුරුවා දස අත
මවමින් නෙක විසුළු රූ රැස
මෙතරම්ම ඔච්චම් කිම ද
එතරම්ම සියුමැලි ද මා පෙම.....

මන්දස්මිතව මඳ සුළඟ මුමුණන
ස්වර්ගීය ප්‍රේමයේ ගීතයට
තනු මවන සරැලි දිය කෙළි
නෑසුකන්ව හිඳින්නද කොයි ලෙස....

පෙම්වත,
විසල් පවුරකි ඔබ මා වට බැඳි
සුන්දර ම සිහිනයක කිමිදෙනු පිණිස
සැනහුමින් දෑස් පියා ගනු හැකිය මට
ඉතින් තනි නැත...........

( ප්‍රේම ගීතාවලිය - 01 )

Wednesday, April 22, 2015

NEVER GIVE UP





සාංකාබර
හද ඔලොගුවෙහි ලා ගනිමි
එකිනෙක සිහින..
නිශ්චිත නරකයක
අවිනිශ්චිත සුබ සිහින....

යහපාලනය
යුක්තිය... සාධාරණය..
නිදහස.. ආදරය...
සමානාත්මතාවය
තිරසර සංවර්ධනය......

මෙවන් පාදඩ ලොවක
අකැප ය
එවන් සුන්දර සිහින....

අයියන්දේ, නෙරූදා, වික්ටර් හාරා
අවකාශයට මුසු කළ
අවසාන සුසුම් කැටි
තැන්පත්ව හද පත්ළ
මහ බරකි ජීවිතය....

විටින් විට අතීතෙන්
ඇසෙන්නෙය කටහඬක්...
"අත්නොහැරිය යුතු ය සුබ සිහින
යහපත් හෙටක් ගැන"
චේ ද..... කැස්ත්‍රෝ ද...
මැන්ඩෙලා ද.....
නොදනිමි..
ඒ සියල්ලන්ම විය හැකි ය....

ප්‍රේමය ම මිස අන් අවියක් වේද
සියල් දුසිරිත් නසන
කුරුස ගසෙහි එල්ලී
විමසයි ජේසු ප්‍රේමය ම පිරි නෙතින්...

අරාජික සිහිනයකි
වෙඩි වැදුණ... පණ ගැහෙන...
ජීවිතය දෙන්නට
සැවොම පෙළ ගැසිය යුතු... 


Tuesday, April 21, 2015

විසල් අහස යට සයුරු යහනේ





සුවිසල් අහස ය. ඇස තවරන සෞම්‍ය නිල් පැහැය අනන්තය දක්වා විහිද විසිර ගිය සේද සළුවක් මෙනි. ඒ අතර හෙමිහිට ඇදි ඇදී විසිරී යන සුදු පැහැ වළාකුළු ය. මම විසල් අහසට දැහැන්ගත වී පාවි පාවී හිඳිමි. ඉඳ හිට දාංගල් මුහුදු රැල්ලක් ඉස්සී වත සිඹියි. තොල් මත කරදියෙහි ලුණු රසය තවරා යයි. විටෙක මදාවි කුලප්පුවකින් ඇවිළෙන සමුදුර මගේ දැහැන බිඳ දමමින් මා අහසට විසි කර නැවත රැළි අතර රන්දා ගනියි. සිහින් තිගැස්මකින් ළය රිද්මය බිඳී යයි.

විසල් අහසට දැහැන්ගතව හිඳින්නට රිසි සේ හදවතට ඉඩ හැර සැනෙකින් මුහුදු රැළි අතර කිමිදී යමි. 

නිල් ගුවන තරම්ම සමුදුර පතුළ ද භාවනාවට නිසි කමටහනකි. සුපිරිසිදු වැල්ල ය. ගල් පර අතර සැරිසරන වෛවර්ණ මත්ස්‍ය රංචු ය. බලන්න ලස්සන ය. සමුදුරු පත්ළේ මත්ස්‍ය රෑන් වල අසිරිය විඳිමින් සිටින විට නැවත දිය මතු පිටට පැමිණිමට වුව සිත් නොදේ. එතරම්ම චමත්කාර දසුනකි. 


නමුත් විටෙක කුලප්පු වන දිය රළ මුහුදු පත්ළ ද කළඹවා වැල්ල දසඅත විසුරුවා හරියි. ඒ අතර මසුන් රෑන් අතුරුදන් වෙයි. තවත් විටෙක දඟකාර දිය රැල්ලක් දියඹට ඇදගෙන යන්නට ම සැරසෙයි. මොහොතකට සිත තුළ බිය සංකා මතු වෙයි. මම වහා දිය මතුපිටට පැමිණෙමි. විසල් අහස සමඟ නිසල සංවාදයක පැටලෙමි. අහසට සමාන්තරව සමුදුරු යහනේ සැතපී නැළවි නැළවී හිඳිමි.

සිහිනම ය සුන්දරත්වයකි. මෙය සැබෑවක් ද ඔබට සිතෙනු ඇත. 

.......

මෑත රන් පෑ වැල්ල ය. ඒ මත රටා මවන සුදු පෙණ පිඩු ය. මෑත සයුරු තලය හිරු රැසින් දීප්තිමත් කොළ නිල් මුසු ඇස සිසිල තවරන ළා පැහැයෙන් දිලේ. ඈත දියඹ ක්ෂිතිජය දක්වා කෙමෙන් කෙමෙන් තද නිල් පෑයකට හැරේ. නිල් අහස් තලය යට නිලෙන් ම වෛවර්ණ රටා මවන සයුර අහස හා තරඟයකට එල්බුණාක් මෙනි. කාන්දම් බලයකින් මෙන් නෙත් සිත් අන්දා බන්දා තබා ගැනීමට සමත් ය.  

මේ හික්කඩුව වෙරළ තීරයයි. ලක්බිම සතු අතිශය සුන්දර ම වෙරළ තීරයන්ගෙන් එකකි. පැය කිහිපයක සමුදුරු ඇසුරට ඉඩකඩ විවර වූයේ පසුගිය සති අන්තයේ ය. 

කිමිදුම් උපකරණ ද, ජීවිතාරක්ෂක කබා ද පැය කිහිපයකට කුලියට ලබා දීමට සූදානම් වෙළඳ කුටි වෙරළාසන්නයේ ඇත. සමුදුර මත නැළවී නැළවී හිඳින්නට අවැසි මානසික සහ ශාරීරික රැකවරණය සැපයෙන්නේ එමඟිනි. අවශ්‍ය නම් ජීවිතාරක්ෂක කිමිදුම්කරුවකුගේ සහය ද ලබා ගත හැක.  


අහස ද, සයුර ද, සිතුවිලි ද ඒකාත්මිකව ගෙවුණු ඒ හෝරා කිහිපය සිහිපත් වන විට නැවත හික්කඩුව සොයා ඉගිලෙන්නට සිතේ...