Tuesday, May 19, 2015

විශ්වීය ය ඔබේ පෙම





පෙම්වත,
විශ්වීය ඔබේ පෙම
ස්වර්ගයේ දොරගුළු හැර
නික්ම ආ 
දිව්‍යමය පවන් රැල්ලකි....
විළිබරව හකුළුවාලන
හරි හතරැස් හද කුටීරයක
රාමු ගත කළ
තෘෂ්ණාභරිත මා ස්නේහය ...

තරු කැටයකට වැලි කැටයකට
මුදු හුළඟකට.. මහ වැස්සකට
ළෙංගතු පාන හද...
කඳුළට.. සුසුමට
දහදිය බිඳුවකට
පවා මෙත් පිරි හදින්
ගව්සිය දුර ගෙවා
ගම්දනව් සැරිසරන.....

මම ය, මාගේ ය
කිසිත් නැත.. මම ත් නැත
වෑරුණු සිරුර දරනා
මහා කරුණා උල්පත.......

දේදුනු වර්ණ හද මඬල
පැහැසර
පාට වියැකුණු කමිසය ද
දුලවන.....

ගෙවී ගිය රබර මිරිවැඩි
පැළඳි පා යුග අස
දේවදූතයන් පවා
දණ නමන.....

පෙම්වත,

ආදරය කිමැයි පහදන
තෘෂ්ණාවේ යදම්
සිඳ බිඳ ලන
පූජනීය ම දෙවොල කි
ඔබේ පෙම.... 

( ප්‍රේම ගීතාවලිය 04 )

Saturday, May 16, 2015

ප්‍රේමයේ දහම හෙවත් සොබාදහම




‘‘පාරිසරික දෙව් දහම එයයි අදට නියමිතව පැවති විමුක්ති දේව ධර්මය පාඨමාලාවේ විෂය.. අරාධිත දේශක මහින්ද නාමල්... නාමල් අයියා...

කතා බහ ඇරඹෙන්නට පළමුව ඇරයුමක්.. ‘‘හැමෝම එන්න එළියට.. මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල් බිමේ පන්ති කාමර සහිත ශාලාවන් තියෙන්නෙ විසල් හරිත තණ පලසක් වට කරගෙන.... ඉපැරණි බව කොතෙක්දැයි සිතිය නොහැකි දාර කඳන් සහිත මාර ගස්වල හෙවණ ලබමින්..

‘‘සෙරෙප්පු ගලවල පැත්තකින් තියල.. ටිකක් තණ බිස්සෙ ඇවිදල එන්න..‘‘ 

අපි හෙමිහිට තණබිස්සෙ ඇවිද්දා. නිස්කලංකව... දෙපතුළට දැණුනු සිහිල විඳගනිමින්.. උදෑසන සුළං රැළි පහස විඳිමින්..

ඒ අතර විදුහල් බිමේ වැඩපල කරන මාමා කෙනෙක් ළං වෙලා මෙහෙම ඇහුවා. 

‘‘මොනවද නැති වෙලාද.. මේ හොයන්නෙ?‘‘ එක්වනම හිතාගන්නට බැරිවුණත් අපි හැමදෙනාම උන්නෙ තණබිස්සෙ බිම බලාගෙන හෙමිහිට ඇවිදිමින්.. කතාවෙ අරුත හැඟුණෙ ඒ බව දුටුවමයි. 

‘‘මොනවත් නැති වුණේ නෑ අංකල්, මේ අපේ පන්තියෙ ක්‍රියාකාරකමක්..‘‘ මං හිනැහිලා කිව්වා.

පසුව මේ අත්දැකීම නාමල් අයියට කිව්වම ඔහු කිව්වේ මෙහෙම කතාවක්.. 

‘‘කියන්න තිබුණෙ නැති වුණ දෙයක් තමයි හොයන්නෙ කියල...

නැති වුණ දෙය........ ම් ඇත්ත නේන්නං..

අපි මේ හොයන්නෙ සොබාදහමත් එක්ක නැතිවුණ සම්බන්ධතාව.. සහජීවනය.. ආදරය...

LOVE WITH NATURE

............

මහින්ද නාමල් සොයුරා විසින් රචිත ‘‘සොබාදහමේ දෙව්දහම කෘතිය එළිදැක්වීම ජනගත කිරීම 2015 මැයි 25 සඳුදා සවස 3.00 ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රෙයදි පැවැත්වෙනවා. 

අදහස් දක්වන්නේ ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා.. 

හරිත හිසක් - හරිත හදක් ඇති කිතුනුවකු වීමට උපතක් ඇති කරන කතිකාවක් යන තේමාව ඔස්සේ මේ සංවාදය මෙහෙයවනු ඇති... 

පරිසරයට ආදරය කිරීම, ගරුකිරීම, රැකගැනීම, වැඩිවර්ධනය කිරීම බයිබලීය දේව ධර්මය සමඟ විග්‍රහ කරමින් පාරිසරික දෙව්දහමක් ගොඩනඟන්නට මේ දරන වෑයම ලාංකේය කතෝලික සභාව තුළ ආරම්භක පියවරක් වනු ඇති සේම ඒ සඳහා හොඳ මඟපෙන්වීමක්ද වනු ඇති නිසැකවම..

සොබාදහමේ දෙව් දහම පිළිබඳ සංවාදයට ඔබ සැමට සුහද ඇරයුමයි මේ...


Monday, May 11, 2015

Ida සමඟ පශ්චාත් යුද කඳුළු





ඇනා 18 හැවිරිදි තරුණියක්.. කන්‍යාරාමයක අනාථ දැරියක් විදියට හැදුණ වැඩුණ ඇය කන්‍යා සොයුරියක් වීමට සූදානමින් සිටිනවා. පැවිදි ජීවිතයට මුළුමනින්ම කැපවන අවසන් පොරොන්දු දීමට පෙර ජීවතුන් අතර සිටින තම එකම ඥාතිවරිය හමුවීමේ අවස්ථාව ඇනාට හිමිවෙනවා. ඒ නැන්දණිය කිසි දිනක ඇනා බලන්නට නොපැමිණි බවත්, ඇය භාර ගන්නට කැමැත්තක් පළ නොකළ බවත් කන්‍යාරාමයේ මව්තුමිය පවසනවා...

ඇය එලෙස ඇනා ව ප්‍රතික්ෂේප කළේ ඇයි

ඇනා සහ නැන්දණිය වන්ඩා  හමුවීම ඒ හරහා හෙළිවන ඔවුන්ගේ ඛේදනීය අතීතයත් එක්ක ඒ අත්හැරීමට හේතු බැඳිල තියෙනවා..


ඇනා යුදෙව් ජාතික බවත්, ඇගේ දෙමව්පියන් දෙවන ලෝක යුද සමයේ ජර්මන් ආක්‍රමණයේ ප්‍රතිඵලයක් ලෙස මරා දමා ඇති බවත්, ඇනාගේ සත්‍ය නම අයිඩා බවත් ඇය දැනගන්නවා. දුෂ්කර ව්‍යායාමයකින් පසු තම දෙමව්පියන් මරා දැමූ ආකාරයත්, ඔවුන් වළ දැමූ තැනත් සොයා ගන්නට ඔවුන්ට හැකි වෙනවා... වඩාත් දුක්බරම ඛේදවාචකය වෙන්නෙ ඔවුන් ජීවිතාරක්ෂාව පතා රැඳී සිටි පවුල ජර්මන් හමුදාවට ඇති බියෙන් තම ජීවිතාරක්ෂාව වෙනුවෙන් මේ මරණ සිදු කර තිබීමයි. ළදැරියකව සිටි අයිඩා ක්‍රිස්තියානි පෙනුමක් සහිත වීම නිසා ඇයව නොමරා කන්‍යාරාමයකට භාර දෙන්නත් කටයුතු කර ඇත්තේ ඔවුන්මයි.... ඒ වන විට අයිඩාගේ මව්පියන් සමඟ සිටි වන්ඩාගේ පුතුත් මරා දමා තිබෙනවා.

මරා දැමුවන්ගේ හිස් කබල් ඇටකටු රැස් කරගන්නා ඇනා සහ නැන්දණිය ඒවා රැගෙන විත් තම පවුලේ සුසානභුමියේ මිහිදන් කරනවා.


සියල්ල අත්හැරුණු ලෝකයක වේදනාවත්, පීඩනයත් දරාගන්නට නොහැකි තැන වන්ඩා සියදිවි හානිකර ගන්නවා. අවමංගල්‍යයට සහභාගි වන ඇනා තුළ වන මානසික පීඩනය, වේදනාව ඇය නැන්දණිය මෙන් මධු විත, රාත්‍රී සමාජ ශාලා, ආලිංගන වෙත යොමු වීමෙන් පැහැදිලියි..

සැක්සෆෝන් වාදකයකු සමඟ පෙම්වත් රාත්‍රියකින් පසුව ඇයට විවාහයට ඇරයුම් ලැබෙනවා. 

‘‘මුහුද අද්දර නිවසක්... විවාහය... දරුවන්....‘‘ ඔහු පොරොන්දු දෙනවා.

‘‘ඉතින් ඊට පස්සෙ,..‘‘ ඇය විමසනවා....

පසුවදා උදෑසන නැවතත් පැවිදි ඇඳුමින් ඇය කන්‍යාරාමය වෙත යන දසුන අප වෙත ඉතිරි කරමින් චිත්‍රපටය නිමවෙනවා. 



චිත්‍රපටය - IDA
අධ්‍යක්ෂණය - Paweł Pawlikowski 

යුද්ධය, ප්‍රචණ්ඩත්වය තුළින් උපදින වේදනාව මනුෂ්‍ය ජීවිත සදාතනිකව පෙළන අයුරු හදවතට දැනෙන සිනමා සිත්තමක්...

සිනමා පටය ඇරඹෙන්නෙ කන්‍යා සොයුරියන් විසින් ජේසුතුමන්ගේ පිළිමයක් පින්තාරු කරන රූප රාමුවකින්.. පසුව ඔවුන් එම පිළිමය ඔසවා රැගෙන විත් ප්‍රතිමා මණ්පයේ සිටුවනවා. එය හිමෙන් වැසුණු සුදුමැලි පරිසරයක්... අනතුරුව කන්‍යා සොයුරියන් නිහඬව යාච්ඤා කරනවා. මළවුන්ගේ ලෝකයක් බඳු සුදුමැලි පසුබිමක තමන් පින්තාරු කර, ඔසවා රැගෙන ආ ප්‍රතිමාව අබියසම අයදින එම පැවිදි රූ ප්‍රබල සංකේතාත්මක අගයක් එකතු කරන බවයි මගේ හැඟීම.... 

චිත්‍රපටය පුරාම ඇනා ඉතාමත් භක්තිමක් ක්‍රිස්තියානි පැවිදි සොයුරියක් බවයි පෙනෙන්නෙ. ඇය යුදෙව් බව හෙළිවෙන්නෙ පසුව. ඇගේ යුදෙව් දෙමව්පියන් ඝාතනය වුණේ අධිපතිවාදී ක්‍රිස්තියානි ලෝකයෙන් බව හෙළි වූ පසුව ඇගේ විශ්වාසය ඉරිතැලී ඇති බව හෙළිදරව් වෙන්නෙ අතිශය සියුම් විදියට... 

නැන්දණිය සමඟ ගෙවන ජීවිතයේදී ඇය හඳුනගන්නා ලෞකිකත්වය නිරූපණය වෙන එක් අයෙක් සැක්සපෝන් වාදකයා.. ඇය ඔහු හා බැඳුණත් මුළුමනින්ම ඔහුගේ අනුරාගයට හෝ ප්‍රේමයට නතු වූ බවක් දකින්නත් නැහැ. මී විත, රාග අනුරාග පිරි ආලිංගන....  ජීවිතය පරිපූර්ණ කරන බවට විශ්වාසයක් ඈ  තුළ නොවන බවයි පෙනෙන්නෙ..

ජීවිතයේ අහිමිවීම් දරාගැනීමට නැන්දණිය තෝරා ගත් මාර්ගය වෙනුවට අයිඩා තෝරා ගන්නේ වෙනත් මාර්ගයක් විය හැකියි. එසේත් නැතිනම් කන්‍යා සොයුරියක් වීමට නැවත කන්‍යාරාමය වෙත යන අයිඩා තම ජීවිතයේ සමීපතමයන් උදුරා ගත් ක්‍රිස්තියානි අධිපතිවාදී සමාජයට අභියෝගයක් වීමට නිහඬවම අධිටන් කරගත්තා විය හැකියි... 

සියල්ල මුල මැද අග ගළපා කියා පෑම වෙනුවට ප්‍රේක්ෂකයාට තම තම නැණ පමණින් අවබෝධ කර ගැනීමට ඉඩ සලසන චිත්‍රපටය බුද්ධිමය ශ්‍රම දායක සහෘද භාවයකට කරන ඇරයුම ප්‍රතික්ෂේප කළ නොහැකියි.
1962 වසරේ පෝලන්තය ඇසුරු කරගත් සිනමා පටය දිගහැරෙන්නෙ කලු සුදු රූප රාමු එක්ක. යුද්ධයකින්, දරුණු මනුෂ්‍ය සංහාරයකින් පසුව ඇති වන අඳුරු, දුක්බර ස්වභාවය, ගල්ගැහුණු වේදනාව ඒ රූප රාමු තුළ නොසන්සුන්ව කැරලි ගසන බවකුත් දැනෙනවා.



වසර ගණනාවක යුද්ධයෙන් පසුව අදටත් තම අතුරුදහන් දරුවන් සොයා හඬා වැටෙන අම්මාවරුන්, මව්පිය වැඩිහිටියන් අහිමිව අනාථ නිවාස සරණය ලබන දරුවන්, ස්වකීය සමීපතමයන් අහිමිව වේදනාවෙන් දැවෙන මිනිසුන්, උන්හිටි තැන් අහිමිව තැන් තැන්වල වැටී ජීවත් වන්නට අරගල කරන මිනිසුන් ............ 

හිත ළඟ නැවතී බලා හිඳිනු වැළැක්විය නොහැකියි.. 

කවර කලෙක, කවර රටක කවර හේතුවක් නිසා ඇති වුණත් යුද්ධ, කලකෝලහාල, අපරාධ කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකියි. යුද්ධයකින් අල්පමාත්‍ර හෝ දිනුමක් ලැබුවත් ඒ ජයග්‍රහණයන් මිනිසුන් දවන වේදනාව, කඳුළු, සුසුම් අබියස අන්ත පරාජයන්ම විතරයි...

මේ බව තේරුම් ගන්නා මිනිසුන් කවදාවත් වාර්ගික, ජාතික, පක්ෂ, පාට භේදවලට උල්පන්දම් නොදෙනු නියතයි...

Thursday, May 7, 2015

සොඳුරු සැරිසර පුලතිසි පුරවර



අන්තර්ජාලයෙනි.

‘‘ඔයා ට ඉතින් ගහක් කොලක්, ඇලක් දොලක්, තරුවක්, මලක්, පොතක්, කවියක් තිබ්බම හොඳටම ඇති නෙ ජීවත් වෙන්න..“ 

රෑ නවයට විතර පෑළ දොරින් ගෙට ගොඩවෙන මං දිහා බලල එහෙම කිව්වෙ සේපාලි.. ඒ වෙසක් පුන් පෝයට කළින් දවස. එතෙක් මං උන්නෙ පරාක්‍රම සමුද්‍රයට ආයුබෝවන් කියල දෙකේ ඇල දිග පිටමං වෙලා යන ජල දහරට පා ඔබාගෙන ඇල අද්දර ගල් පඩියක වාඩිවෙලා... 

පුන් පෝය හඳ නිසා හාත්පස එළියයි.... ඇල අද්දර සුදු අරලිය ගස්වලින් ගිලිහුණු මල් දිය දහර එක්ක හාද වෙලා නො එනා ගමන් යන්නෙත් හරිම සතුටින්.. මම වාඩි වෙලා උන්නෙත් ඉපැරණිකම හිතාගන්නත් බැරි තරම් දාර කඳක් ඇති සුදු අරලිය ගහක් යට... විටින් විට ගස යට පොදි ගැහෙන මඳ අඳුර අතරින් සුදු අරලිය මල් කැරකි, කැරකී දිය මත ට පා වුණා. අරලියා කොල අතරින් එබිකම් කර කර හඳ හිනැහුණා...

හිතේ හැටියට ඇලේ බැහැල දිය නෑවට පස්සෙත් මට ආපහු එන්න හිතුණෙ නැහැ. ඒ තරම්ම පරිසරයේ නිස්කලංකය හිත පැහැර ගත්තා. ඒ නිසයි ටික වෙලාවක් අහසයි, සඳයි, ඇලයි, අරලියා මලුයි එක්ක තනිවුණේ.... 

සරසවි ජීවිතේ යාවජීව මිතුදම් ලංකාවෙ සතර කොනට වෙන් වෙලා තිබුණත් තවමත් අපේ හදවත් ඒ කිචි බිචියට, ඒ ආදරයට කොයි තරම් ලෝබ ද කියල ආයෙමත් දැණුනා පසුගිය දීර්ඝ සති අන්තයේ දීර්ඝ සංචාරය නිසා. 

සතිඅන්තය ඇරඹුණේ ගලගෙදරින්.. මධුයි, පුතා පූජනයි මමයි... මැයි දෙවෙනිදා හිමිදිරියෙම නුවරින් පිටත් වුණු අපි අකුරණ, මාතලේ, දඹුල්ල, හබණ හරහා දහවල උදාවෙද්දි පොළොන්නරුවෙ. කඳුවැටි මීදුමේ වැතිරිලා ඉද්දි, මාතලේ හරිත පරිසරය උදා හිරු එළියෙන් නැහැවෙද්දි, දඹුල්ල කලබල නගරයක්ව නිදිගැට හරිද්දි, හබරණ විසල් කැලයත්, පුලතිසි පුරවරයේ වැව්, දාගැබ් වෙහෙර විහාර හිතට නැවුම් බවක් එක් කළා... 

පරාක්‍රම සමුද්‍රයත්, අතීත නටබුන් බිමත් ආසන්නයේ තියෙන සේපාලිගෙ නිවස මට ආගන්තුක නැහැ. ගේ පිටුපසින් ගලන දෙකේ ඇල වගේ ම, ගෙදර ඇත්තන්ගෙ ආදරයත් හිත නිවනවා.. ඒත් මේ සැරේ යද්දි ලොකු අඩුවක් තිබුණා. ඒ තමයි වෙනද අපිව ආදරයෙන් පිළිගන්න අම්මා නැති එක. වසර 12 කට පමණ පෙර මම මුල්ම වතාවට පොළොන්නරු ගිය වෙලාවෙ තමන්ගෙ දූල දෙන්නට වගේම මටත්, ලස්සන සල්වාර් එකක් අන්ඳලා, කොණ්ඩ මෝස්තරයක් දාලා, මලක් ගහල ඥාති මංගල්‍යයකට කැන්දන් ගිය, නෑදෑ හිතමිත්‍රයන්ට දැන් මට දුවල තුන්දෙනෙක් ඉන්නවනේකියල මාව අඳුන්නල දීපු අම්මව මතක් වෙලා මගේ ඇස්වල කඳුළු පිරුණා..
 
ගල් විහාර සැතපෙන පිළිමය - පින්තුරය තරු

වෙසක් පෝය දවසෙ උදේ වරුව පොළොන්නරු යුගයේ විශිෂ්ඨත්වය නිහඬවම කියා පාන නටබුන් වූ මාලිග, වෙහෙර විහාර, පොකුණු බලන්න වෙන් වුණා. 
පැරකුම් මාළිගය - පින්තුරය තරු

‘‘කාමරේට එක්කෙනා ගානෙ බිසෝවරු තියන් උන්න හින්ද කියන කරන දේවල් නෑහෙන්න මේ තරම් පළලට බිත්ති බැඳල තියෙන්නෙ.“ සේපාලි  සීරියස් විදියට කිව්වෙ පැරකුම් මාලිගයෙදි. ඈ එහෙමයි. කවට කතා මවන්න දක්ෂයි. රස සාගරයක්. ඉන්න තැනක පාලුවක් නෑ.

‘‘අන්න කිව්ව කතාවක්... සීතල ආරක්ෂා කරගන්නයි පළල් බිත්ති බැන්දෙ.‘‘ එහෙම කිව්වෙ සමන්ත අයියා හිනාවෙවී. ඒ සරසවි සමයෙදි සේපාලි දළදා පෙරහැර බලන්න ගිහින් හොයාගත්ත ප්‍රේමවන්තයා. දැන් ඔහු තමයි ඇගේ ස්වාමිපුරුෂයා. දෙදරු මව්පියන්.... බොහොම ලස්සනට ජීවත් වෙනවා එදා වගේම ආදරෙන්.

නිශ්ශංක ලතා මණ්ඩපය -  පින්තුරය තරූ

පරාක්‍රමබාහු මාලිගය, රාජ සභාව, කුමාර පොකුණ, වටදා ගෙය, නිශ්ශංක ලතා මණ්ඩපය, සත්මහල් පාය ආදී වූ පැරණි අසිරිය මධූ ගෙ සරසවි ජීවිතෙන් පස්සෙ යටපත් වෙලා තිබුණු පීඩිත පන්තියේ අරගලයට පණ දුන් බවක් පෙණුනා.

‘‘මට මේව දකිද්දි මතක් වෙන්නෙම තරංගි, එදා සාමාන්‍ය මිනිස්සු මොන තරම් මර්දනයක්, පීඩනයක් ඇතුළෙ මේවට ශ්‍රමය දෙන්න ඇතිද කියල..“

සංවාද සාකච්ඡාවලට වඩා මගේ හිත නැවතුණේ දෑසින් දකින නටබුන් හරහා හිතේ මැවෙන අතීත අසිරියත් එක්ක.. ඒ කාලෙදි සාමාන්‍ය ජනතාවට මේ බිමට ඇතුළ් වෙන්නවත් අවසර ලැබෙන්න නැතිව ඇති. මගේ හිත කිව්වා. අතීතයේ මේ පුද බිමක් ද? නැතිනම් පූජනීයත්වය පවා රාජ තේජසින් වැසුණු අධිආරක්ෂිත කලාපයක්ද? එහෙමත් නැත්නම් රාජ්‍යත්වයත්, ධර්මයත් පොදු ජනතාවටත් සැනසුමක් වූ පින් බිමක් ද?

ගල් විහාරයේ සමාධි පිළිමය - පින්තුරය තරූ

වඩාත් සිත නිවී සැනසුණේ ගල්විහාර පුද බිමේ දි. සිල් ගත් සැදැහැවතුන් පුදබිමේ ගල් තලා මත, තණ බිස්ස මත සුදෝ සුදට.. කුඩා දරුවන්ගේ සිට ආච්චිල සීයල දක්වාම සිල් ඇත්තො... ලස්සන දසුනක්.. ගල් විහාරයේ සමාධි පිළිමය, ගෘහය තුළ හිඳි පිළිමය, හිටි පිළිමය, සැතපෙන පිළිමය පැය කිහිපයක් නොවේ, දවසක්ම වුවත් දැහැන්ගත වන්නට අපූරු කමටහනක්... 

පින්තූරය තරූ

පිහිටි පර්වතය හාරා මෙවන් පිළිම නෙලන්නට තරම් එදා මිනිසුන් තුළ කොතරම් විශ්‍රාමයක්, ශ්‍රද්ධාවක්, ශිල්ප කලා ප්‍රවීණත්වයක් තියෙන්නට ඇත්ද?
 
‘‘මේ පිළිම නෙලන්න ගිහින් කී දෙනෙක් අත පය නැති කරගන්න ඇත්ද? තුවාල කරගන්න ඇත්ද?‘‘ ඒ මධූ... 

‘‘මොනා උණත් මිනිස්සු හරිම භක්තියකින් ආශාවකින් කැපවීමෙන් මේ පිළිම නෙලන්න ඇති.. නැත්නම් මේ තරම් සියුම් නිර්මාණ බිහිවෙන්නෙ නෑ..‘‘ පිළිම දෙස ම බලන් ඉද්දි මට හිතුණෙ එහෙම.. පාලක පන්තියේ මර්දනයට බියෙන්, එහෙමත් නැත්නම් මුදල් ගැන තෘෂ්ණාවෙන් කුලී වැඩක් විදියට මේ පිළිම නෙලුවා යැයි හිතන්නට මගේ හිත ඉඩදෙන්නෙ නැහැ.. 

‘‘මෙතන ලස්සනම රෑට.. ඕන තරම් වෙලා ඉන්න පුළුවන්..‘‘ එහෙම කිව්වෙ සමන්ත අයියා. ගල්විහාර භුමියේ පොලිස් මුරපලෙත් සේවය කරල තියෙන හින්දා එයා බිම් අඟලක් නෑර දන්නවා. ඇත්තටම පහසුවෙන් හැමතැනම ඇවිදින්න හැකිවුනේ සමන්ත අයියා රියදුරු විදියටත්, මඟපෙන්වන්නා විදියටත් අපි වෙනුවෙන් කාලය කැප කළ නිසා... 

‘‘මට ඕනෙ හොඳට හඳ පායල තියෙන දවසක රැයක මෙතන ඉන්න..“ මම කිව්වා.

‘‘වෙසක් පොසොන් නැතිව වෙන පෝය දවසක එමු. මේ දවස්වල මෙතන හරිම කලබලයි..“ සේපාලි ගේ එකඟතාව පළවුණේ එහෙම.




සංචාරයෙන් පස්සෙ වෙසක් කූඩු හැදුවෙත් අපි හැමෝම එකතු වෙලා. අම්මත් නැතිව තාත්ත තනියෙන් ඉන්න මහගෙදරටත් එක්කම.. මව්පිය, දූ දරු බැඳීම් ආදරයෙන් පිරෙද්දි ජීවිතය කොයි තරම් සුන්දර වෙනවද?

ගමේ පන්සලේ සිල් ඇත්තන්ට ගිලන්පස ලෑස්ති කරගෙන හවස විද්‍යාලෝක විහාරස්ථානයට ගියා. ඒකත් ජීවිතේ පළමු වතාවට ලැබුව වෙනස්ම අත්දැකීමක්.. ජීවිතයෙන් සමුගත් සේපාලිගේ අම්ම වෙනුවෙනුයි ඒ ගිලන්පස දානය පිරිනැමුණෙ. සීතල කඳුළු...

පරාක්‍රම සමුද්‍රෙයේ වැව් බැම්මට වෙලා රෑ අහර ගන්නට තිබුණු සැලසුම මහා වැස්සත් එක්කම හේදිලා ගියා. ඒත් රෑ හතට විතර වැව් බැම්ම දිග ගිය සවාරිය සොබාදහමත් එක්ක බැඳුණු අසිරිමත් මොහොතක්.. එක් පසෙකින් වැව.. අනෙක් පසින් ඈතට දිවෙන කුඹුරු යාය. විසල් අහස.. වෙසක් සඳ.. මේ අසිරිය සනිටුහන් කරගන්නට තරම් මගේ කැමරා ඇස පොහොසත් නොවීම දුකක්... ( ඡායාරූප ගත්තෙ දුරකථනයෙන් )

පරාක්‍රම සමුද්‍රය - From telradio.wordpress.com


සුන්දර ම සංචාරයක්, නිස්කලංකම දින කිහිපයක් පුලතිසි පුරවරයේ ගත කරල පසුවදා හබරණ, දඹුල්ල, කුරුණෑගල හරහා ආයෙම කොළඹට... ඒ සංචාරයෙන් අත්පත් කරගත් ශාන්තියෙන් තවමත් හිත පිරිලා...