Friday, June 26, 2015

ස්නේහයේ නගරයේ හුදකලා මිනිසා...


favim.com
ඔහු කලිසම් සාක්කුවල ඔබා ගත් අත් ඇතිව, නමා ගත් හිස ඇතිව නිහඬවම ඇවිද යනු මා දැක තිබිණි. දිවිහිමියෙන් රකින්නේ යැයි සපථ කරගත්තාක් වැනි ඒ මුනිවත නිසා ම මා ද ඔහු සමඟ එක වදනක් හෝ හුවමාරු කරගෙන නොතිබිණි.

‘‘අක්ක, දන්නවද අර අළුතෙන් ඇවිත් ඉන්න මහත්තයා කවි සින්දු ලියන එක්කෙනෙක්. ලස්සන සින්දු ලියල තියෙනවා. පොතක්ම තියෙනවා. ඔයා ඉල්ලගෙන බලන්නකො.‘‘

ලැබුණු ඔත්තුව අනුව මම ඔහු සොයා ගියෙමි.

‘‘හේමසිරි මහත්තයා ලස්සන සින්දු ලියල තියෙනවා කියල ආරංචියි.. මටත් දෙන්නකො ඒ පොත බලන්න.‘‘ ප්‍රථමවරට සුහද පිළිසඳරකට  දොරගුළු හැර ගතිමි. සිනා මුහුණින් ඔහු බෑගය හැර පොත මා අත තැබුවේය.

මම ඇස් නළලේ රන්දා ගතිමි.

‘‘මේ සින්දුව!!!! ...... මේ සින්දුව ලිව්වෙ සර් ද? මං කැමතිම සින්දුවක්..‘‘
ඔහු හිනැහී හිස සැලුවේය.


පොතේ නම ද එය ම විය. ‘‘ස්නේහයේ නගරයයි සිත මගේ‘‘ - හේමසිරි ගුණතුංග.

ස්නේහයේ නගරයයි සිත මගේ..
මාවතක් හෝ නොවූ රාගයේ..
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....

යෞවනේ නිල් නුවන් සේ රැකී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා
රන් සිනා පාමි පූජාසනේ...

මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලඹින් - දොවන සේ යදිමි මං
පූජනීයයි උතුම් ආදරේ...

‘‘ස්නේහයේ නගරයයි සිත මගේ‘‘ ගී පද එකතුව 1996 වසරේ ගොඩගේ ප්‍රකාශනයක් ලෙස පළ වූවකි. පොත පිටුවෙන් පිටුව පෙරලාගෙන යන විට තවත් මගේ සිත ඇද බැඳ ගත් සොඳුරු ගීත රැසක් හමු විය.

සිලිං බිලිං කූරු වළලු - පාට හතේ මාල පබළු
වෛවාරණ අරුමෝසම් වටේට එල්ලා
රෝද දෙකේ මාළිගාව පොළට ඇවිල්ලා...

නීලා වික්‍රමසිංහ ගයන මේ ගීතය කොයි තරම් අපූරුද? පද ගැළපුම කොතරම් හෘදයාංගම ද? ළමා වැඩසටහන්වලදී අපි කොතරම් මේ ගීතය ගැන කතා කර ඇත්ද? මා ඉදිරිපිට සිටින්නේ ඒ ගීතය ලියූ මිනිසා ය. මම විස්මපත්ව සිටියෙමි.

ඔහු ලියූ ගීත අතරින් බොහොමයක් ගයා ඇත්තේ අමරසිරි පීරිස් විසිනි. අළුත් පාලමත් එක්ක වෙනස් වුණු තමන්ගේ ජීවිතය ගැනත්, ගමේ ජීවිතය ගැනත් තොටියකුගේ සිතුවිලි මේ ගීතය තුළ කොතරම් සංවේදී ලෙස ගොනු වී ඇත්ද?

කවුරුවත් නැහැ.. කවුරුවත් නැහැ..
එගොඩට යන්නට.. එගොඩට යන්නට..
ඉර ගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ .. ඔහෙ තිබුණාවේ
කවුරුවත් නැහැ.. කවුරුවත් නැහැ..

අමරසිරි පීරිස්, මැණික් ජයසේකර ගයන මේ ගීතයත් ‘සල් සමන් සුගන්ධිනී‘ සල් සමන් සුගන්ධයක් තරමටම හිතට සමීප ය..

සල් සමන් සුගන්ධීනී වසන්ත විල් තෙරේ
මල් තරංගයක් වෙමී ඔබේ නුවන් විලේ

වැදි සනුහරේ සෙනේවන්තයෙකුගේ කී ගාන හඳුන් පොත එළිදරව් කරන මේ ගීතය ගී මී විත විඳින සහෘද මනසට ආගන්තුක නොවනු ඇත.

මී පැණි දී රිදී ගන්ට
ගම්පොජ්ජට මංගච්චා
සහේ ගෙනා මයෙ නෑනිට
වන දෙයියෝ බැළුම් ලන්ට
කැළෑ පොජ්ජ පට ඇරගෙන
සීපාවුන් ගිනි බිඳිනා
සිදාදියේ හුරන්ගෙන්
වහන් වෙයන් ගෝමරියේ........

දිය පොජ්ජක් ඇන්න යන්ට
රූටන්නේ බලාගෙනයි
කැලේ සතා බරු ගසාවි
වහන් වෙයන් ගෝමරියේ........

අපිලැත්තොට හිත් ලෑවට
රැහේ එවුන් මනාප නෑ
වස විස දෙයි මිය ඇදෙන්න
වහන් වෙයන් ගෝමරියේ..

මැණික් ජයසේකරගේ හඬින් ගැයෙන මේ ගීතයත් හද බැඳී සොඳුරු ගීතයක්ම නොවේද?

බිඟු රෑන වගේ මල් යාය ට
පහන වගේ හැන්දෑවට
නුඹ නැති දා මගෙ හිත පාළුයි
යන්න එපා මං හරි යාලුයි....

ප්‍රේමණීය ගීත මෙන් ම මානව ප්‍රේමය මුසු වුණු විවිධ තේමාවන් යටතේ ලියැවුණු ගීත ද සොඳුරුය.

ජීවිත මානයේ හදවතට දැනෙන, මනස කලම්බන විවිධ තේමාවන් තම ගීතයට පසුබිම් කරගන්නා ඔහු ගේය පද රචනය සඳහා අතිශය සරල ළගන්නා සුළු රමණීය බස් වහරක් යොදා ගනියි.

නමුත් ගී පද රචකයන් අතර ‘‘හේමසිරි ගුණතුංග‘‘ යන නම මගේ මතකයේ රැඳී නොතිබිණි. මේ තරම්ම ගීතයට පෙම් බඳින, ගීත සමඟ ම ජීවත් වෙන, ගීත පිළිබඳව සොයා බලන මගෙන් පවා ඒ නම ගිලිහී තිබිණි. ලැජ්ජාසහගත හැඟීමකින් මම මිරිකී ගියෙමි.

‘‘මම ඉතින් මාධ්‍ය පස්සෙ යන්නෙ නැහැ, මගේ නම කියවගන්න. මගේ වැඩ කොටස කරල පැත්තකට වෙලා ඉන්නවා. අද කාලෙ මාධ්‍යවල ගී පද රචකයගෙ නම කියන්නෙත් නැහැනෙ.‘‘   


ප්‍රේමසිරි කේමදාසයන් විසින් පොතට ලියා ඇති පසුවදන මෙලෙසිනි.
‘‘කලා මාධ්‍යයන් අතරින් ගීතය ජන හදට වඩාත් සමීප බැවින් එහි අන්තර්ගතය ජනතාව ඉතා පහසුවෙන් ග්‍රහණය කර ගන්නවා. මේ නිසා ගීත රචකයෙකුට තම නිර්මාණ මගින් සුවිශේෂ සමාජ මෙහෙවරක යෙදෙන්නට පුළුවන්.

මානව හිතවාදීව සමාජය දෙස බලන ගීත රචකයා ප්‍රේමයේ සුන්දරත්වයත්, අයුක්තියේ අසාධාරණයේ හා වේදනාවේ අසුන්දර පැත්තත් තම නිර්මාණවලට හසුකර ගන්නවා.

ගීත රචකයාගේ ප්‍රධාන මෙවලම වචන යි. ඔහුට කාව්‍යමය භාෂාව ඔසුවක් ලෙසත්, අවියක් ලෙසත් භාවිත කරන්නට පුළුවන්. ඒ නිසා වෙසෙසින්ම අයුක්තියට හා අසාධාරණයට එරෙහි වීමේ දී එම අදහස තම ශ්‍රාවකයාට දිය යුත්තේ මනා සංයමයකින් යුතුවයි. ඔහුගේ සංකල්පනාවන් ආවේගාත්මක නොවීම මෙහිදී ඉතා වැදගත්.

මා විසින් සංගීතය නිර්මාණය කළ හේමසිරිගේ පද රචනා තුළ එම ගුණය නොඅඩුව දකින්නට පුලුවන්. මා හේමසිරි දකින්නේ නව අනුභුතීන් සොයා යන නව පරපුරේ නිර්මාණශීලී ගීත රචකයෙක් හැටියටයි.‘‘

Monday, June 22, 2015

අපූර් පංචාලි - අපූ ගේ ජීවන ගීතය


සත්‍යජිත් රායි ගේ පාතර් පංචාලි හි ‘අපූ‘ ඒ අපූරු සීදේවි කොලු පැංචා සිනමා ලෝලී කිසිවෙකුගේ මතකයෙන් බැහැර නොවනු ඇත. ඒ පුංචි අපූ ලෙස රංගනයේ යෙදුණු සුබීර් බැනර්ජි ගේ සත්‍ය ජීවන කතාව අපූර් පංචාලි චිත්‍රපටය තුළ දිග හැරෙනවා.



සුබීර්ගේ ඇත්ත ජීවිතය සිනමාව තුළ දිගහැරුණු අපූගේ ජීවිතයට කොයි තරම් සමානද කියනවනම් ඒ අහම්බය විස්මිත තිගැස්මකින් හිත අවුළුවන සුළුයි.

අපූර් පංචාලි හි වත්මන් කතාව සිනමා පාසලක ශිෂ්‍යෙයක් වියපත්ව හුදකලා දිවියක් ගත කරන සුබීර් මුණගැසීමට යාමෙන් ආරම්භ වෙනවා. ඉක්බිති එය අපූ සිනමා ත්‍රිත්වයත්, සුබීර්ගේ අතීතයත්, වර්තමාන ජීවිතයත් අතර දෝලනය වෙමින් ගලා යනවා හරි අපූරුවට.


ඉතාම සුන්දර, සංවේදී, බොහෝ අවස්ථාවල ඇස කඳුළු නැගෙන, ජීවිතයේ අසිරිමත් අහම්බයන් ගැන විස්මයක් දැනෙන, මිනිස්කමට ආදරය කරන්න පෙළඹවීමක් ඇති කරන සිනමා සිත්තමක්.. 



Directed byKaushik Ganguly
Produced byShree Venkatesh Films
StarringParambrata Chatterjee,Parno Mitra
Music byIndradeep Dasgupta
CinematographyShirsha Ray
Edited byBodhaditya Banerjee
Release dates
  • 25 November 2013(IFFI)[1]
  • 25 April 2014 (India)
CountryIndia
LanguageBengali

Friday, June 19, 2015

පොදු අපේක්ෂකයා



මැතිඳ !!!!
අමතකව ඇති හැඩ ය..
දැන් ඔබට,
පොදු අරමුණක් උදෙසා
පොදු ජන අප විසින්
සිහසුන වෙත ඔසවා තැබූ
පොදු අපේක්ෂකයා බව
ඔබ අපේ........

නිල් කොල රතු ලොවක
කෙණෙහිලිකම් වින්ද
නිදහස් නිවහල්
දේදුනු පැහැ ලොවක
සිහිනය පොදි බැන්ද
පොදු ජනතාව අපි...

වියරු ඒකාධිපති
රෙජීම පයට පෑගී
තැලී පොඩිවී මරණාසන්න
එකොළොස්වෙනි පැයේ දී
බොහෝ වැර වෑයමෙන්
පණ ගලවා ගෙන
එල්ලෙන්න අත්වැලක්
සෙවූ සමයක
පිදුරු ගහක් වීද ඔබ....
දෙව්දත්, ආලවක
කේවට්ට පරපුරක
උරුමය රකින්නට
පාවා දෙනු කෙලෙස ඔබ
සුවහසක් සිහින
අප සැම පොදි බැන්ද
යහපත් රටක් ගැන

පැහැපත් හෙටක් ගැන...



.........

මේ දිනවල මගේ හිතේ පෙරළි කරන සිතුවිලිම තවත් බොහෝ සිත්වල පැන නැඟී ඇති බව පැහැදිලිය..



වඩා යහපත් දේශයක් ගැන අපේ අරමුුණු පාවා නොදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලුම පක්ෂ විපක්ෂ දේශපාලඥයන් වෙත බල කළ යුතු මොහොතකි මේ... 

Thursday, June 18, 2015

අපර්ණා


‘‘අපර්ණා.........
නවතින්න තිබුණා ඔයාට‍.......

කොතෙක් සුවිසල්
වුණත් ලෝකය
උන්නෙ මට මම විතරම බව
දැන උන්නෙ නැහැනෙ
ඔයා තරම් වෙන කවුරුත්ම....

ප්‍රේමයම පිරී ඉතිරෙන
ඔය දෑස තරම්
ජීවිතය කියා දුන් අන් යමක්
නොවූ වග
ලියන්නට බැරි වුණා තමයි මට...


අපර්ණා,
නවතින්න තිබුණා ඔයාට
යා යුතු ම ගමනක් වුණත්
මේ තරම් කළින්
නොයා යුතු ව තිබුණා...

අපූ....‘‘



සත්‍යජිත් රායි ගේ සුන්දර සිනමා කාව්‍ය ය.. අපූර් සංසාර් ඇසග රැන්දූ සීතල කඳුළක් සමඟ.......

Wednesday, June 17, 2015

ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව්ලොවක් වේ....


‘‘ඇයි ලොකු මම්මෙ එයාල අඬන්නෙ..‘‘

චූටි දූ ඇහුවෙ නේපාල භුමිකම්පාවෙන් විපතට පත්වුණු ජනතාව ගැන පෙන්වන රූප රාමුවක් දැකල.

‘‘ නේපාලය කියන රටේ පොලව හෙල්ලිලා, ලොකු පිපිරීමක් වෙලා ගොඩක් අයගෙ ගෙවල් කැඩිලා, මිනිස්සු මැරිලා, තුවාල වෙලා ඒ හින්දයි එයාල අඬන්නෙ.‘‘

‘‘ඉතින් ඇයි පොලව පිපිරෙන්නෙ?“

දෙයියනේ දැන් කොහොමද මං ඒක තේරුම් කරන්නෙ.. 

‘‘ මේ  මහ පොලවත් අපි වගේම හුස්ම ගන්නවා. මේ ගහ කොලත් හුස්ම ගන්නවා. හැමෝම හුස්ම ගන්නවා. දැන් අපි මහ පොලව උඩ ගොඩක් ගොඩනැගිලි හැදුවම, කොන්ක්‍රීට්වලින් පිරෙව්වම පොලවට හුස්ම ගන්න ඉඩක් නැති වෙනවා.........

එතකොට පොලව උඩ තියෙන ගහකොල කපල දැම්මම, තණකොල සේරම සුද්ද කළහම පොලවට හෙවණ නැති වෙනවා. සීතල නැතිවෙනවා. පොලව ගොඩක් රත්වෙනවා. හුස්ම ගන්නත් ඉඩ නැතිවෙලා, ගින්දර වගේ රත්වෙන්නත් උණාම තමයි ඉවසගන්නම බැරිව පොලව පුපුරන්නෙ.. පොලව හෙල්ලෙන්නෙ... පොලව හෙල්ලිලා පිපිරිලා යන එකට තමයි භුමිකම්පාව කියන්නෙ.. ‘‘

අවුරුදු පහ ඉස්මත්තෙ ඉන්න දෝණිට තේරුම් කරන්න වචන ගොඩක් ඕන උණා. ඇය ඇස් ලොකු කරගෙන අහන් උන්නා.

.............

මගේ ගේ පිටුපස පතහක් එක්ක පොඩි ලඳු කැලෑවක් තියෙනවා. පතහ අයිනෙම උස්ව නැගුණු ගහ වැහෙන්නම වැල් ගොල්ලක් ඇතිරිලා. අප්‍රමාණ සර්ප බියක් තිබුණා වුණත් මේ වැල් ගොල්ල කපල දාන්න මට හිතෙන්නෙ නැහැ. ඒ වැල් ඇතිරිල්ලෙ නම නොදන්නා මල් පිපෙන වැලුත් තියෙනවා. චූටි කුරුල්ලො කූඩු හදන් ඉන්නවා. සමනල්ලුත් නිතරම මේ වැල් ගොල්ලෙ මලින් මලට පියඹනවා.  

මගේ කුඩා ගෙමිදුල මුළුමනින්ම වැහිල තියෙන්නෙ උඳුපියලිය සහ තණකොලවලින්. වරින් වර කපන තණකොල වුණත් ගහක් මුලටම එකතු කරනවා මිස මං කවදාවත් පුච්චන්නෙ නැහැ. අපේ ගෙදර මහා පරිසරවේදිනිය ලොකු නංගිත් හරිම විරුද්ධයි කොල අතු පුච්චන එකට. 

වියපත් වෙලා මරණය වැළඳගන්න මිනිස් සිරුරක් වගේම ගහකින් වැටෙන කොලයක්, අත්තක්, දණ්ඩක් පවා මහ පොලවට දිරා යා යුතු බවයි මගෙත් හැඟීම. ඒ අදහස මට දුන්නෙ නාමල් අයියා. ජීවිතේ හමුවුණ තවත් මහා පරිසරවේදියෙක්.

‘‘සුරකිමු සොබාදහම සහජීවනය පතා..‘‘ ළක්‍රිවී තේමාව වුණු වසරක අනුශාසක සම්මේලනයෙදි නාමල් අයිය කිව්ව කතාවක් මට තවම මතකයි.

‘‘නංගි මල්ලි අපි පුරුදු වෙලා ඉන්නවා, මිදුල එහෙම නැත්නම් වත්ත අතුගාලා කොල ටික එකතු කරල පුච්චන්න. ඒක හරිම වැරදි වැඩක්. වේලිලා වැටෙන කොල, අතු රිකිලි වුණත් අයිති ඒ ගහට.. ඒ ගහට ජීවත්වෙන්න තමන්ගෙ මුලු ශක්තියම යොදවන මහ පොළවට. ඒ නිසා අතු ගාන කොල රොඩු ටික ගහ මුලටම එකතු කරල ඒ ගහට පොහොර වෙන්න ඉඩදෙන්න ඕන....‘‘



මහ පොළවටත් හුස්ම ගන්න ඉඩ ඉතිරි කරන්න ඕන. මහ පොළවටත් අපිට වගේම හෙවණ, සිසිල, සැනසුම, ආදරය ඕන. පොලෝ තලය උඩ හිතුමතේ කොන්ක්‍රීට් තට්ටු අතුරන එකත්, පොලිතින් ප්ලාස්ටික් පුරවන එකත්, පොළවට සෙවන සිහිල හදන ගහකොල, හරිත තණ පලස් උදුරල විසිකරන එකත් මහා පාපයක් කියලයි මට හිතෙන්නෙ.

පුද්ගලික කාබන් පියසටහන අවම කරගන්නත් අපි හැකි තරම් උත්සාහ කරන්න ඕන. වායුගෝලයට කාබන් මුදාහරින, වායුගෝලීය උෂ්ණත්වය වැඩි කරන්න දායක වෙන පුද්ගල ක්‍රියාකාරකම්වලින් හැකි තරම් ඈත් වීමත් හරිම වටිනවා.


මේ කාරණා මතක් වුනේ අද ‘‘ජගත් කාන්තාරකරණය වැළැක්වීමේ දිනය‘‘ බව උදේ ගුවන් විදුලියෙන් අහන්න ලැබුණු මොහොතෙ.

Friday, June 12, 2015

ආදරණීය වික්ටෝරියා


ඒ වික්ටෝරියා මතක් වූණේ මේ වික්ටෝරියා නිසා. මේ සටහන ඈ ගැන මතකය හිතේ තදින්ම සටහන් වී ඇති නිසා.

මාස කිහිපයකට පෙර දිනක සෙනසුරාදාවක මම දුම්රියට ගොඩනැගුණා වැඩකට යන්න. මා සිටගත් තැනම සුදු ජාතික තරුණ යුවළක් කුඩා දියණියක සමඟ අසුන් ගෙන සිටියා. ඈ අවුරුදු තුනක් විතර ඇති කියල හිතුණෙ, හරියට වචන උච්චාරණය කළෙත් නැති නිසා. කෙලි පොඩ්ඩ හිටියෙ හරිම නොසන්සුන්ව. ඇයට දුම්රිය ගමන එපා වී ඇති බවකුයි දැණුනෙ. දෙන්න දෙමාල්ලො දූ ව එහාටයි මෙහාටයි මාරු කරගන්නව මිසක ඈ සනසන්න, නළවන්න උත්සාහ කරන පාටක් පෙණුනෙත් නැහැ.

ලංකාවෙ අපි වගේ ළමයි හුරතල් කරන්නෙ නැද්ද සුදු මව්පියන්.. අනේ මන්දා..

රාගමදි මටත් වාඩිවෙන්න ඉඩ ලැබුණා ඒ අම්මයි, දූයි ළඟින්ම. පුරුදු විදියට මම පොතක් දිගෑරගත්තා. සමස්ත දුම්රිය දෙපාර්තමේන්තුවමයි, ලංකාවමයි එපා වුණු ගාණට උන්නු දූ සිඟිත්ත මගේ පොතට ආකර්ශණය වෙන්න ගත්තා. ඇය හෙමිහිට පොත අතගාන්න, පොත අදින්න පටන්ගත්තා. පුංචි උන් ඉන්නවනම් මටත් ඉතින් ලෝකෙම අමතක වෙනවනෙ.

‘‘එයා පොත්වලට හරිම ආසයි.‘‘ එහෙම කිව්වෙ දූ ගෙ තාත්තා.

‘‘දූ ගෙ නම මොකක්ද?‘‘ මං ඇහුවා. සිංහලෙන් නෙවි.

‘‘වික්ටෝරියා‘‘ වික්ටෝරියා අම්මයි තාත්තයි එක්ක ඇවිත් තිබුණෙ ජර්මනියෙ ඉඳලා. දන්න ඉංගිරිස්වලින් අපි විස්තර කතාබහ කළා.

ඉතින් මං වික්ටෝරියා එක්ක යාලු වුණා. අපි දෙන්න කොයි තරම් යාලුවුණාද කියනවනම් ටිකකින් කෙලි පැටික්ක මගෙ උකුලෙ. මං ඈව සිංහලෙන් හුරතල් කළා. ඈ ස්වර්ගීය භාෂාවෙන් හිනා උණා. මං ඈට දුම්රිය කවුළුවෙන් ගහකොල පෙන්නුවා. ලංකාව ලස්සනයි නේද ඇහුවා. ඇය දිගින් දිගටම හිනා උණා.

මේ තියෙන්නෙ අපි දෙන්න හිනාවුණ හැටි.. මේ පින්තූරෙ ගත්තෙ වික්ටෝරියාගෙ තාත්තා.


මරදානට එනතුරුම ඈ උන්නෙ මගේ උකුලෙ. නොනවත්වා හිනා වෙවි. දුම්රිය මැදිරියම අපි දිහා බලන් උන්නා.

අම්මා ඇයව මගේ උකුලෙන් අරගෙන තල්ලු කරන කරත්තයෙන් තිබ්බම ඈ මා දිහා බලන් උන්නා හරිම දුක්බරව. ඉන්පස්සෙ අඩන්න ගත්තා. මම ඇගේ පුංචි අත අල්ලගෙන ඈව සැනසුවා. අම්මයි තාත්තයි එක්ක දුම්රියෙන් බැහැල යන තුරුම ඈ මා දිහා බලන් උන්නා. හුදකලා දුක්බර බැල්මකින්. මට වැඩියක්ම ඈ අමතක නොවුණෙ ඒ බැල්ම නිසාමයි.

අනේ පුංචි වික්ටෝරියා......


සමුගන්නට පෙර ඈ මා දිහා බලන් උන්නෙ මෙහෙමයි....


මේ සති අන්තෙ ගෙදර යද්දි තවත් පුංචි අමුත්තෙක් අපේ පවුලට එකතු වෙලා. චූටි මිමීට මල්ලියෙක්. දැනටමත් එක අතකින් චූටි මිමියි, අනිත් අතින් සසෙන් බබයි වඩා ගන්න සිද්ද වෙලා තියෙද්දි අලුතෙන් එකතු වෙන පුංචි අමුත්තො වෙනුවෙන් තව අත් දහයක්වත් මට රාවණා රජ්ජුරුවන්ගෙන් ඉල්ල ගන්න තමයි සිද්ද වෙන්නෙ....

Monday, June 8, 2015

ආදරණීය වික්ටෝරියාගෙන් ඇරයුමක්..........



ඒ හුදකලා රැයකි. දොරගුළු ලූ නිවසේ කුටියට වී මා උන්නේ පොතකට සමවැදීගෙන ය. ඉඳහිට ඇතිවන සිහින් තිගැස්මක් හැරුණු විට හුදකලා රාත්‍රීන් තවදුරටත් මා බියපත් නොකරන්නේ ය. හිත කීරිගස්වන බියකරු හඬක් නඟමින් ඌ ඉගිළ ආවේ එවන් එක් රැයක ය. ක්ෂණිකව මුළු කුටියම සිය අණසකට නතු කරගන්නට ඒ හඬ සමත් විය. පාස්කු නාට්‍යයක ජේසු කුරුස ගසේ එල්ලී උන් මොහොත රඟදැක්වූ නළුවකු මිය යන තුරුම පිට හිල් කළ කුරුමිණියකුගේ කතන්දරය මට සිහිපත් විය. 

‘‘අක්කෙ, ඔය වැල් ගෝටුල්ල තියෙන්න අරින්න. කළු කුරුමිණි වසංගතේ බෝ වෙලා. පොල් පැල විනාස කරනවා. ඒකයි මදු වැල් වැවෙන්න ඇරියෙ. උන්ට ගොබේට යන්න බැරිවෙනවා පැටලෙනවනේ...‘‘ පෙරදිනක ලොකු නංගී කීවේ පොල්පැල වසාගෙන ඉවක් බවක් නැතිව වැඩී තිබුණු මදුවැල් ගාල කපා දැමීමට මා සුදානම් වන විට ය. පොල් කුරුමිණියාගෙන් ගොබේ රැකගන්නට මදුවැල් ගොල්ල සමත් වේවි ද? ඒ මොහොතේත් මට සිතිණි.

ඉතින්, ඔන්න ඒ කළු කුරුමිණියකු දැන් මගේ කුටියේ. ඒ මා කළු කුරුමිණියකු සමීපව දුටු මුල්ම වතාව ය.  

සුදු බිත්ති දිග, වහළ පුරා තටුගසමින් ඌ හෙව්වේ පිටව යන්නට මගක් විය යුතු ය. මම නිසොල්මන්ව බලා සිටියේ කරකියා ගන්නට දෙයක් නැතිව ය. අවසන කිසිදු අනතුරක් නැති බව සැක හැර දැනගත්තාක් මෙන් කුරුමිණියා සිමෙන්ති පොළව මත විශ්‍රාම සුවයෙන් ලැගුම් ගත්තේය. මම හෙමිහිට කොස්ස ගෙන කොහු අතරට ඌව සිරකර සිලි කවරයකට දමා ගැට ගසා කවුලුවෙන් පිටතට විසි කළෙමි. කළු කුරුමිණියා වුව පොල් කුරුමිණියා වුව, ඌ හුස්ම හිර වී මිය යාවිදැයි දැණුනු වරදකාරී හැඟීම රෑ පුරා විටින් විට මා සිත සසල කළේය.

උදෑසන අවදි වූ විගස මා කළේ මිදුලට බැස කළු කුරුමිණියාට කුමක් සිදු වී දැයි සොයා බැලීම ය. තැන තැන සිදුරු වූ සිලි කවරය පමණක් සිලි සිලියේ සුළඟට සැලි සැලී මිදුලේ විය. 




එකී කළු කුරුමිණියා හදිසියේම සිහිකැන්දවූයේ ආදරණීය වික්ටෝරියාගෙන් ලද කුරුමිණි රුව රැගත් ඇරයුම් පත ය. ‘‘ආදරණීය වික්ටෝරියා‘‘ ත්‍රිමාණ කියවීමක් මැයෙන් මොහාන් රාජ් මඩවලගේ මාගම් සෝලිය, ලොවීනා, ආදරණීය වික්ටෝරියා නවකතා ත්‍රිත්වය පිළිබඳව විද්වත්, සහෘද තිදෙනෙකුගේ කියවීම් ඇතුළත් කෘතිය එළිදැක්වෙන්නේ 10 වැනි බදදා සවස 3.00 ට ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ය. 

ඇරයුම පරිදි එදින එහි සිටින්නට අදහස් කරගෙන සිටිමි. 

මෑත භාගයේ මොහාන් තරම් බැනුම් ඇසූ, විවේචනයට ලක් වූ ලේඛකයකු තවත් නැතැයි සිතේ. කෙසේ නමුත් මාගම් සෝලියෙන් ඇති පදම් සෝලි විඳින්නට පෙරට තැබූ පය ආරක්ෂක පියවරක් පසුපසට ගෙන ලොවීනා සමඟ සීරුමාරුවට පැමිණි ඔහු ඉක්බිතිව ආදරණීය වික්ටෝරියා සමඟ අතිනත ගත්තේය. 

‘‘ආදරණීය වික්ටෝරියා‘‘ ඇසුරෙන් පසු ඈ සම්බන්ධව ලියන්නට බොහෝ දේ පෙළ ගැසී තිබිණි. නමුදු කාලය හරස් විය. බොහෝ දෙනෙකු වික්ටෝරියා ගැන ලියා තැබූ බැවින් ඒ අදහස එලෙසම යටපත් වී ගියේය. 

ඔහුගේ නවකතා ත්‍රිත්වයම යටත්විජිත පාලන සමයට අයත් ය. ඉතිහාසයටම ඇදෙමින් සොයා පාද ගන්නා අතීත තතු වර්තමානය විනිවිදින්නට කැටපතක් කොට අප එවෙත ඇද බැඳ තබාගන්නා මොහාන් නවකතා කලාව තුළ දැනටමත් ස්වකීය ගමන්මගක් සලකුණු කර ඇත. 

මොහාන්ගේ සෑම නවකතාවක් සමඟම අත්වැල් බැඳගත් පර්යේෂණාත්මක ශ්‍රමයක් ඇති බව ද පැහැදිලි ය. සමහර විට ඒ පර්යේෂණාත්මක දැනුම් සම්භාරයම කෘතියේ සාහිත්‍යමය ගුණයට එරෙහිව නැගී සිටින අවස්ථා ද දක්නට ඇත. ඓතිහාසික සංසිද්ධීන් සත්‍යය සහ මායාව අතර දෝලනය කරමින් සදාතනික දේශපාලනික, සමාජ යථාර්ථයන් මෙන්ම පුද්ගල ජීවන අරගලයන්ද  සහෘද සමාජය අබිමුව තබන්නට ඔහු සිය ප්‍රබන්ධ කතා කලාව උපයෝගී කොට ගනියි. 

ආදරණීය වික්ටෝරියා ගෙන් පසු..... කවුරුන් විය හැකිද? කුමක් විය හැකිද? කෙසේ නමුත් ඔහු සාහිත්‍යයික පිම්මක් වෙනුවෙන් හැදෑරීමක ඉන්නා බවට විවාදයක් නැත.

ස්වකීය ලේඛන කෞශල්‍යය සහ සාහිත්‍යයික ශ්‍රමය තව තවත් ඔපමට්ටම් කර ගනිමින් අර්ථපූර්ණ රසපූර්ණ නිර්මාණ සමඟ ඉදිරියේදීත් මොහාන් අප හමුවනු ඇතැයි අපේක්ෂා කරමි.   

Sunday, June 7, 2015

ජීවිතයෙන් දවසක්...





දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්....

බස්රියේ කැසට් යන්ත්‍රෙයන් නික්මිලා හිතේ නැවතුණේ ශසිකා නිසංසලාගෙ ගී හඬ... ඇගේ හඬේ තියෙනවා අමුතු සිත් බඳන සෞම්‍ය ගුණයක්..ඒ හඬට මං කැමතියි... ඒත් මේ ගීතයට නම් මං ඒ තරම් කැමති නැහැ. ඇඬියාවක් වගේ දැනෙන එකත් එක හේතුවක්.. ගීතයෙ එක් තැනක එනවා මෙහෙම අදහසක්. 

‘‘ එක්වෙන්න සංසාරෙ පින් මදිව නම්... අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්..‘‘ 

ආදරේ නාමෙන් ඒ දෙන ජීවිත දැක්මත් එක්ක එකඟ වෙන්නෙ කොහොමද?  ඒ ගීතය ගැනම මෑතක මුණුපොතෙත් කතාබහක් ඇති වෙලා තිබුණ බව මට මතක් වුණා.

ගීතය හරහා හිතේ ඇතිවුණු සංවාදයත් එක්ක ඇවිත් බස් එකෙන් බහිද්දි පාරෙන් එහා පැත්තෙ වෙස්ටර්න් මල් ශාලාවෙ අවංමගල්‍යයක්.. දැන්වීමෙ හැටියට එක්කෙනෙක් නෙවෙයි.. දෙන්නෙක්.. 

‘‘එක පවුලෙම දෙන්නෙක් එක සැරේ මැරිල වගෙයි‘‘ ඇන්ටි කිව්වා. 

‘‘ඇක්සිඩන්ට් එකකින් වෙන්න ඇති..‘‘ මමත් ඒ දිහා බලාන උත්තර දුන්නා. මැදි වයස පසුකරමින් ඉන්න යුවළක් බවයි පෙණුනෙ.

‘‘මහත්තයා මැරුණු දුකට නෝනත් එදාම මැරිලා. හාට් ඇටෑක්..‘‘ අපේ කතාබහට මැදි වුණ තුන්වැන්නා බස්නැවතුම ආසන්නයේම නවතා තිබුණු ත්‍රීරෝද රථයේ රියදුරුයි එහෙම කිව්වෙ..

‘‘අයියෝ.. ඇත්තද?‘‘ අපි දිග හුස්මක් ගත්තා.

ශසිකා ගෙ ගීතය ආයෙම මට මතක් වුණා.

‘‘අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්..‘‘ ඒ නම් ඒ විදියටම පතාගෙන ආව ආදරයක් වෙන්න ඇති...



අද දේවධර්ම පන්තියෙ තේමාව නව කිතුනු සාහිත්‍යය.. සාහිත්‍යය කන්නද කියල අහපු රටේ මම තාමත් සාහිත්‍යෙයන් හුස්මගන්න පුලුවන් කියල හිතන කෙනෙක්නෙ.. ඉතින් මාතෘකාව බොහොම තදින් මගේ හිත ඇද බැඳගත්තා. දේශනය කළේ මහින්ද නාමල් අයියා..

දේශනයට අදාළ කරගත්ත සාහිත්‍ය කෘති ගොන්න තමයි ඉතාම වැදගත්. 

ආන්ද්‍රෙ ෂීද් ගේ සාදු සංධ්වනිය - පරිවර්තනය මණ්ඩාවල පංඤ්ඤාවංස හිමි.

හැරල්ඩ් රොබින්ස් ගෙ දේශකයාණෝ - පරිවර්තනය මානෙල් ජයන්ති ගුණසේකර.

ලතින් ඇමරිකානු සාහිත්‍යය විශේෂ කොට පාවුලෝ කොයියෝගෙ කෘති එයිනුත් විශේෂව මිනිත්තු එකොළහ.

අප්‍රිකානු සාහිත්‍යය විශේෂයෙන්ම දම් වද මල් කෘතිය...

ලාංකේය සාහිත්‍යෙය් මංජුල වෙඩිවර්ධන ඔහුගේ බත්තලංගුණ්ඩුව නවකතාව සහ කාව්‍ය නිර්මාණ...

ප්‍රේමය පදනම කොට ගත් ක්‍රිස්තියානි දැක්මෙන් ලියැවෙන නිර්මාණ සහ විචාර කලාවක් පිළිබඳ අදහස...

මේ සංවාදය එක්ක දවස ඉතාම අර්ථපූර්ණයි කියලයි මට හිතෙන්නෙ.

2015.06.06