Thursday, July 30, 2015

උත්තරාරාමයේ උත්තරීතර සුව සදන මෙත් සිහිල



හරිත තණ පලස අතරින් පතර වැතිර සිටින ගල් තලාවන් ය. සෙවණ සදන විසල් තුරු ලිය ගොමු ය. පසෙක පවන් රැලි මත සිහිල් දිය බිඳිති අතුරන පස් පියුමෙන් සුසැදි වැව් තලය ය. ඉන් ඔබ්බෙහි හරිත තුරු වියන ඉහළින් දිස් වන සුදෝ සුදු කිරි වෙහෙර ය. ඒ අතර මහා ගල් පව්වක නිමැවුණු බුදුන් වහන්සේගේ මෛත්‍රී කරුණා ගුණයෙන් පිරිපුන් සෙල් රූ පෙළ ය. මහාවංශයට අනුව උත්තරාරාමය යැයි නම් ලද පොළොන්නරුව ගල් විහාරය අවිදු අඳුරට, මෝහාන්ධකාරයට ගොදුරු ව තෘෂ්ණාවෙන්, මමංකාරයෙන් නොනවතින ජීවන අරගලයක යෙදී සිටින මනුෂ්‍ය හදවත් නිවා සැනසිය හැකි අපූරු පින්බිමකි.

උත්තරාරාම ලෙන් විහාරය මහා පරාක්‍රමබාහු රජ සමයේ (ක්‍රි.ව.1153-1186) ශිල්ප කලාවන්හි පවා පැතිර පැවති අධ්‍යාත්මික ප්‍රබෝධයට නිහඬ සාක්ෂි මෙනි. මේ පින්බිමට පිවිස ශෛලමය බුද්ධ ප්‍රතිමා දෙස නිවුණු මනසින් දැහැන්ගතව සිටින විට අතීත කලාකරුවන්, ශිල්පීන් සතු වූ කෞශල්‍යයට, කලාත්මක සංයමයට, විවේකී බුද්ධියට, අධ්‍යාත්මික දියුණුවට තවත් සාධක කුමකටදැයි සිතේ.  

හිඳි පිළිම දෙකක්, හිටි පිළිමයක් සහ ඔත් පිළිමයක් එකම තැනක එකම පව්වක මෙතරම්ම විශිෂ්ඨව නිර්මාණය වූ අන් කිසිදු තැනක් ලෝකයේ නැත.

මකර තොරණ පසුබිම් වූ හිඳි පිලිමය

උත්තරාරාම පුදබිමේ හරිත තැන්න මතින් වැලි පෙතේ පා තබා එන විට මුලින්ම අප ඇස ගැටෙනුයේ වීරාසනයෙන් පද්මාසනයක් මත වැඩ හිඳිනා මකර තොරණක් පසුබිම් කරගත් සමාධි පිළිමයකි. අඩි 15 ක් පමණ උසින් යුක්ත ය. සමාධිගත වූ බුදු රුව ධ්‍යාන මුද්‍රාව සහිත ය. පාංශුදේහදාරී රූපකාය ඍජු ය. අභිමානවත් නමුදු සන්සුන් මුදු ගුණය ද මැනවින් නිරූපිත ය.
මකර තොරණේ විමානවල  තැන්පත් කළ කුඩා බුදු රූ ය. මකර තොරණ සියුම් කැටයමින් අලංකෘත ය. පද්මාසනය රැඳි මණ්ඩපය පවා මනරම් සිංහ, අශ්ව රූප මෙන්ම මල් මෝස්‌තර කැටයමින් සමලංකෘත ය.


විද්‍යාධර ගුහාවේ හිඳි පිළිමය

කළු ගල ඇතුළට හාරා කුළුණු දෙකක් සහිතව සාදන ලද ලෙන තුළ වැඩ හිඳින පිළිම ය උස අඩි 4 ක් පමණ වේ. මුල් හිඳි පිළිමය මෙන් ම වීරාසනයෙන් පද්මාසනයක් මත වැඩ හිඳිනා ධ්‍යාන මුද්‍රාව සහිත හිඳි පිළිමයකි. බුදු රුවේ සිරස ට ඉහළින් ඡත්‍රයකි. පිටුපස තොරණ සහ පිලිමය දෙපස සිංහ, දොරටුපාල, දේව හා බ්‍රහ්ම රූ කැටයම් කොට ඇත. පද්මාසන මණ්ඩපය ද කැටයම් සහිත ය. පිළිමය දෙපස බුදුන් වහන්සේට පවන් සලන ඉරියව්වකින් යුත් චාමරධාරී රූ දෙකකි. අතීතයේ මෙම තොරණ වර්ණ ආලේප කර තිබූ බවටත්, ප්‍රතිමා ගෘහය ෆ්‍රෙස්කෝ ක්‍රමයට අනුව බදාම හා බිතු සිතුවම් ඇඳ තිබූ බවටත් සාධක හමු වී ඇත. විශේෂයෙන් ම මෙම සිතුවම්වලින් බෞද්ධ කතාවල ප්‍රකාශිත ඉන්ද්‍රසාල ගුහාව සංකේතවත් වන බවට මතකයක් පවතී. ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතා මෙම විද්‍යාධර ලෙන් සිතුවම් අජන්තා ලෙන් සිතුවම්වලට වඩා අග්‍රගණ්‍ය බව ප්‍රකාශ කර ඇත.


මහා කරුණාවෙන් ලොව නිරීක්ෂණය කරන හිටි බුදු රුව

උස අඩි 22 ක් පමණ වන වන මෙම හිටි පිළිමය බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක ආනන්ද තෙරුන් වහන්සේගේ බවට ද මතයක් පවතී. බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිහිගන්වන සැතපෙන පිළිමය අසලින්ම නෙලා ඇති හෙයින් ද, පිළිමයේ දෑත් තබාගෙන ඇති ඉරියව්වද එකී මතයට හේතු සාධක වී ඇතැයි සිතිය හැකි ය. මෙම හිටි පිළිමයෙන් බුදුන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාව නිරූපණය වන බවට ද තවත් මතයකි. පද්මාසනය, ලම්බකර්ණ, මුදු ගැසුණු කෙස්, ඍජු රූපකාය ආදී ලක්ෂණ නිරීක්ෂණය කරන විට මෙම පිළිමය බුදුන් වහන්සේ ම නිරූපණය කරන බවට සැකයක් නැත.

මහාචාර්ය සෙනරත් පරණවිතානයන් සඳහන් කරනුයේ මෙය පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව බවයි. එම මුද්‍රාව අරුත් ගන්වන්නේ බුදුන් වහන්සේ මහා කරුණා නෙත යොමු කර ලෝක සත්වයා නිරීක්ෂණය කරන ආකාරයයි. මහාචාර්ය කඹුරුපිටියේ වනරතන හිමියන් ගේ අදහස එය තෛයිලෝක්‍ය විජය මුද්‍රාව බවයි.

ශෛලමය නෙළුම් මලක් මත නෙළූ පිළිමයේ සිරුර තුන් තැනකින් නැමුණු ස්වභාවයක් දරන්නේ, සැහැල්ලු ඉරියව්වක පසුවන බවක් පෙන්නුම් කරමිනි. ඉදිරියෙන් බලන විට විටෙක කණස්සලු ස්වභාවයක්ද, කල්පනාකාරී ගැඹුරු ස්වභාවයක් ද දක්නට ලැබුණ ද පසෙකින් හිඳින්නකුට මඳහසක් සහිත සැහැල්ලු ස්වභාවයක් දර්ශනය වනු ඇත.


සිංහ සෙයියාවෙන් සැතපෙන බුදුන් වහන්සේ

දිග අඩි 46 ක් වන මෙම බුද්ධ ප්‍රතිමාව ගල් විහාරයේ විශාලම ප්‍රතිමාව ද වේ. බුදුන් වහන්සේගේ පිරිනිවන් මංඤ්චකය නිරූපණය වන බවට ද, බුදු හිමි සැතපෙන අවස්ථාවක් බවට ද මෙම පිළිමය ගැන මත ඉදිරිපත් වී ඇත. කොට්ටය මත තැබූ වම් අත මත බුදුන් වහන්සේගේ හිස සැතපී ඇත. සයනාසනාරූඪ සිරුරක හැඩය, සැහැල්ලුවෙන් නිදි සුව විඳින වත මඬලක ප්‍රභාසම්පන්න බව, සිරසේ බර දරන කොට්ටය යටට එරී ඇති ආකාරය පවා මූර්තිමත් වන විශිෂ්ඨ නිර්මාණයකි. කොට්ටයේ මුහුණත ද අලංකාර කැටයමින් යුක්ත ය.


රළු කළු ගලක අසිරි පෑ විස්මය

ගල්විහාර බිමේ සැම ප්‍රතිමාවක් ම, සැම කැටයක් ම අසිරිමත් ය. අග්‍රගණ්‍ය ය. ගල් පව්ව වුව විශිෂ්ට කලාකරුවන් අත මැටි පිඩක් තරම් සුමට වන බවට අගනාම නිදසුනකි මේ. වඩාත්ම ඓශ්චර්යය වන්නේ රළු කළු ගලක බුදුන් වහන්සේගේ ආරෝහ පරිණාහ දේහයත්, මුදු කරුණා ගුණයත්, සමාධිගත භාවයත් මෙතරම් විශිෂ්ඨව නිමවා තිබීම ය. ප්‍රතිමාවන්හි භාවයන් නිරූපණය වන අන්දම ද විස්මිත ය. නරඹන්නා රැඳී සිටින කෝණය අනුව එකම ප්‍රතිමාවෙන් වුව ද විවිධ භාවයන් හඳුනා ගත හැකි වනු ඇත. බුදු වුවනත රැඳී ඇති සමාධිගත නිවුණු ස්වභාවය එදා කලාකරුවන් තුළත්, සමාජය තුළත් පැතිර පැවති සංහිඳියාව මූර්තිමත් කරන්නේ යැයි සිතිය හැකිය.

සිරුරටම ඇලී යන පරිද්දෙන් නම්‍යශීලීව දක්වා ඇති සිවුරේ රැලි ස්වභාවය සමාන්තර සරල රේඛා දෙකක් ලෙසින් කැටයම් කොට ඇත. එමඟින් සිවුරේ මුදු සිලිටි ස්වභාවය මැනවින් නිරූපිත ය.

"කළු ගල් කපා තනන ලද මේ කලුගල් විහාරය පැහැදිලිවම එහි විශේෂ ලක්ෂණ අනුව අසාමාන්‍ය නිර්මාණයකි. මෙය ශ්‍රී ලංකාවේ බෙහෙවින් ම කැපී පෙනෙන අතිවිශිෂ්ට නිර්මාණයකි. ඊට සම කළ හැක්කක් ඉන්දියානු උප මහද්වීපයේවත් නැත"
                                                  ~එච්.සී.පී.බෙල්~  

ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යාඥ එච්.සී.පී. බෙල් මහතාගේ මහත් ගෞරවාදරයට ලක් වූ උත්තරාරාමය ඔහු උත්කර්ශයට නඟන්නේ එලෙසිනි.

ගල් විහාර පුද බිම අවට පරිසරය ද, බුද්ධ රූ පෙළ ද මානව සන්තානයන් නිවා සනසන කෙම් බිමකි. මෙය පූජනීය භූමියක් වන්නා සේම ලක් ඉතිහාසයේ අධ්‍යාත්මික ප්‍රබෝධයේත්, ශිල්ප කලා ප්‍රවීණත්වයෙත්, සමෘද්ධිමත්භාවයේත් එකමුතුවෙන් උපදින සංහිඳියාව මැනවින් ප්‍රකට කරන අග්‍රගණ්‍ය අධ්‍යාත්මික කලාගාරයකි.


( පොසොන් පොහොය නිමිති කොටගෙන පොළොන්නරුවේ පවත්වන දළදා පෙරහැරට සමගාමීව එළිදක්වන දළාදාභිවන්දනා සමරු කලාපයට ගල් විහාර පුදබිමේ සැරිසර ඇසුරින් සහ අන්තර්ජාලයෙන් ලබා ගත් තොරතුරු ආශ්‍රයෙන් සැකසූ ලිපියකි.)








Tuesday, July 21, 2015

“සම්සරා“ සංසාර ළතැවුල් මේසා බර ද?


සම්සරා සංසාර ගමන ගැන අලුතින් හිතන්නට දෙයක් එක්කළා යැයි හිතුණෙ නැහැ.  බොහෝ වර දැනෙමින්, හැඟෙමින් තිබුණු ජීවිතය පිළිබඳ හැඟීම් ගොන්නක් ඒ නිස්කලංක රූප රාමු අතර මට නැවත හමුවෙමින් තිබුණා.

ළමා වියේදී පැවිදි බිමට ඇතුල් වෙන ටාෂි තාරුණ්‍යෙය්දී ඉතා දුෂ්කර ධ්‍යානයක් සපුරා නැවත ආරාමයට පැමිණෙනවා. නමුත් ඔහුට මුළුමනින්ම තම ඇතුළාන්ත තෘෂ්ණාවන් අත්හරින්නට හැකි වී නැහැ. අනපේක්ෂිතව හමුවන සුන්දර යුවතියක් නිසා සසල සිතැති ඔහු පැවිදි දිවියෙන් බැහැරව ඇය සමඟ විවාහ දිවියට ඇතුළ් වෙනවා. එය අතිශය සුන්දර, ශෘංගාරාත්මක ප්‍රේමාලිංගනයන්හි සිට එදිනෙදා දිවියේ අපි දකින යාන්ත්‍රික විවාහ දිවියක් දක්වා පරිවර්තනය වන අයුරු සියුම්ව නිරූපිතයි... 

ආලය, රාගය, ගේහසිත ප්‍රේමය, ධනය, බලය මේ සියල්ල අත්කරගත්තත් ඒ කිසිවකින් අධ්‍යාත්මික සංහිඳීමක් අත්නොදකින ටාෂි නැවතත් කසාය වස්ත්‍ර පොරවා නික්ම යනවා... සරල කතා පුවත එලෙස වුණත් ඒ තුළ ජීවිතය, ආදරය, අනුරාගය, ධනය, බලය පිළිබඳව බරපතල කතාවක් සංකේත රැසක් එක්ක සුන්දරව ගලා යනවා.



දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ... හදවත තමන්ගේ ඒත් සතුට අනුන්ගේ...

මේ ගීතය චිත්‍රපටයේත් එක් තැනක හෙමිහිට ඇසුණා මතකයි. කොතැනද හරියටම මතක නැහැ. අර්ථය යම්තමින් දැන උන් නිසාම පසුබිමින් ඇසුණු මේ ගී ඛණ්ඩය වුණත් සමස්ත කතා තේමාව එක්ක කොයි තරම් දුරට පෑහෙනවද කියල දැණුනා.

තමන්ගේ සතුට අනුන්ගේ දෑස් තුළ, අනුන්ගේ හදවත් තුළ, පරිභෝජනවාදය තුළ හොයන්නට යාම ආයෙමත් වේදනාවට පාර කපා ගැනීමක් නෙවෙයිද? තමන්ගේ සතුට තමන් තුළින්ම සොයා පහදාගන්නේ කොහොමද? තමන් තුළින්ම අධ්‍යාත්මික සුවපත්භාවය අයත් කරගන්නට හැකි නම් ජීවිතය කොතරම් සාමකාමී සුන්දර අත්දැකීමක් වනවාද? මම හැමදාමත් මගේ හිතෙන්ම අසමින්, පිළිතුරත් හදවත තුළම ගොනු කරගනිමින් ඉන්නා කතාවක් ඒ....

‘‘වතුර සියල්ලම  හිස් කළත් එක බිංදුවක් හරි ඉතිරි වෙන්නෙ කොහොමද?‘‘ චිත්‍රපටයේ ආරම්භයෙදිම ටාෂිගේ දෑස හරහා අපේ ඇස ගැටෙන ගල් පුවරුවක ඒ වැකිය හමුවෙනවා... චිත්‍රපටය අවසානයේ ටාෂි එතැනදිම ඒ ගල් පුවරුවම අනෙක් පස පෙරළා බලනවා... ‘‘ඒ දිය බිඳුවමයි මහා සමුදුරක් බවට පත්වෙන්නෙ.‘‘ එහි සඳහන්..

ජීවිතයත් එලෙසින්ම වන බව චිත්‍රපටය තුළ ගැඹුරින් සාකච්ඡා වනවා. තණ්හාව ආශාව කොතරම් දුරස් කළත් අංශු මාත්‍රයක් හෝ ඉතිරි වෙනවා. එයම තමයි අවසානයේ මහා දුක්ඛ මහෝඝයක් වෙන්නෙත්. එසේ නොවන්නට ඇලීම් ගැටීම්වලින් තොරව පවතින්න සිහිබුද්ධිය වගා කරගැනීම පහසු දෙයක් නම් නෙවෙයි. ඒ නිසාම නිරන්තරයෙන් හදවතේ ඉරිතැලීම් ඇති වෙන්නත් පුළුවනි. ජීවිත කාලය පුරාම අපි කරන්නෙ ඒ ඉරිතැලීම්වලට තෙල් සාත්තු කරමින් සුවපත් වන්නට උත්සාහ ගනිමින් ඉන්න එක නෙවි ද? ඇත්තටම ජීවිතය කියන්නෙ ඒකට ද?

සම්සරා මනදොළ සපුරාගනිමින් ජීවිතය ලුහුබඳින්නකුගේ ජීවන අන්දරය පමණක්ම නොවේ. එය අයිතියෙන් තොරව ප්‍රේම කරන්නටත්, අවැසි විට අත්හරින්නටත්, ජීවිතය තුළම නැවතී හිඳිමින් ජීවිතය දිනාගන්නටත් ගැහැණිය සතු ශක්තිය පිළිබඳවත් හෘදයාංගමව කතා කරන සිනමා සිත්තමක්.

චිත්‍රපටය අවසානයේ ටාෂි බිරිඳත් දරුවාත් අතහැර පිටව යනවා. ඒ මොහොතේ ප්‍රේක්ෂක හදවතට සම්මුඛ වෙන්නෙ ජීවිතය සොයා යන්නෙකුට වඩා පරාජිතව ජීවිතයෙන් පළායන්නෙක්. ඒ ගමන අතරතුර අනපේක්ෂිතව ඔහු හමුවට එන්නෙ බිරිඳ පේමා.. භික්ෂුවක වූ ටාෂිගේ හදවත පැහැර ගෙන ඔහු ගිහි ජීවිතය කෙරෙහි ඇද බැඳ ගත් ප්‍රේමවන්තියත් ඇයමයි... ටාෂි ජීවිතයෙන් පළා යන මොහොතේ තීරණාත්මකව ඇය කරන කතාව නිරායාසයෙන්ම පේමා චිත්‍රපටයේ කේන්ද්‍රීය සහ ප්‍රබල චරිතය බවට පත් කරනවා.


 ‘‘ බුදු හාමුදුරුවො වුණත් ණයගැතියි තමන් ලැබූ බුද්ධත්වය වෙනුවෙන් යශෝධරාට...“

‘‘තාත්ත කෙනෙකුට පුළුවන් වුණාට මහ රැයක දරුවවයි, බිරිඳවයි තනි කරල පිට වෙලා යන්න, අම්ම කෙනෙකුට බෑ තමන්ගෙ දරුවව එහෙම තනි කරල යන්න.“

නොසැලුණු මනසින් තිර අධිටනින් ඇය පැවසූ කතාවෙන් හිතේ කා වැදිලා, මතකයේ ලියවිලා තියෙන්න එපමණයි. ඇය පවසනවා මේ වෙන්වීම ඇය අපේක්ෂා කළ දෙයක් බව. සියල්ලටම පෙර පිටු පා යාමේ උවමනාව ඇති වුණේ තමන්ට වුණත් එලෙස පහසුවෙන් ජීවිතය අත්හැර යන්නට තමන්ට නොහැකි වූ බවත් ඇය පවසනවා. මේ මොහොතෙදි ටාෂි ගේ අසරණ බවත්, පේමාගේ ධෛර්යවන්ත බවත් විශේෂ කොට දක්වන්නට සිනමාකරු අදහස් කළාද හිතෙන තරම්...

ආදරය වෙනුවෙන් කැපකිරීම් කරන්නත්, ආදරය වෙනුවෙන් අත්හරින්නත් ආදරවන්ත ගැහැනියක් තුළ තියෙන ශක්තිය ගැන පිරිමියෙකුට හිතාගන්නවත් බැහැ. මට හිතුණෙ එහෙමයි...


ආපසු එන්නැයි නොකියාම, යන අතක යන්නැයි නොකියා කියාම පේමා නික්ම යනවා.. ඉනික්බිතිවයි ටාෂි ගල් පුවරුව අනෙක් පස හරවා බලන්නේ.  

විඩාබර වත ඔසවා අහස බලන ටාෂි ඇස් නිලංකාර වන ඉර එළියත් එක්ක දකින්නේ ගොදුරකට කුරුමානම් අල්ලමින් ඈත අහසෙ එකම චක්‍රයක කැරකෙමින් ඉන්න උකුස්සෙක්.. ( රාජාලියෙක්, ගිජුලිහිණියෙක් ද මන්දා.. ) එය හරියට කොයි මොහොතේ හෝ අප ඩැහැගන්නට බලා සිටින තෘෂ්ණාවේ, ආත්මාර්ථයේ සංකේතයක් වගේ.. තවත් පැත්තකින් ගොදුරු ලොබින් සංසාර චක්‍රය තුළ කැරකෙමින් ඉන්න මිනිස්කමේ සංකේතයක් වගේ...

සංසාර ළතැවුල් මේ සා බර ද? නිවී සැනසීම කොතරම් දුර ද? චිත්‍රපටය නරඹා බොහෝ දිනකට පසුවත් ඒ සිතුවිල්ල මගේ හිතේ පෙරළි කරමින් තියෙනවා. 


Thursday, July 9, 2015

‍මරණීය වේදනාවක් තියෙන රමණීය කතාවක්


අද සැඳෑව සැබවින්ම සුන්දර ය. මිතුරු සමාගමයේ ආදරවන්ත හෝරා දෙකකින් පසු විහාරමහා දේවි උද්‍යානය මැදින් බස් නැවතුම කරා ආ නිස්කලංක ගමනේ දී සිත බොහෝ සැහැල්ලුව තිබිණි. බැදපු රටකජු ගොට්ටකුත් රැගෙන දුම්රිය නැවතුමේ ලෑලි බංකුවක වාඩි වී ‘‘මේ කතාව‘‘ දිග හැරගතිමි.

‘‘ගැහැනුනි සාහිත්‍ය මදුරාපුර ගිනි තබනු.‘‘ සර්පයාගේ ඉල්ලීම (ආදරණීය අණක් මෙනි.) මගහැර, සුරේකාගෙ කෙටිම කෙටි පෙරවදන හද මත තැන්පත් කරගෙන ඒවා ගේ පරපුරේ ‘‘මේ කතාව‘‘ තුළ දැහැන්ගත වීමි.

මොහොතකින් මට රටකජු අමතක විය.

‘‘එකෝමත් එක දවසක බිළිදිය උපන්නා...... දුඹුරු ඇස්, රෝස කම්මුල්, පුංචිම පුංචි කම්මුල්, ලොකු කන්පෙති, සිනිදු කෙස්.....‘‘

නවකතාවක් ලියන්නේ නම් එවන් වූ කතා ලතාවක් ගැන සිහිනයක් මසිතේ ද විය. පේද්රෝ පරාමෝ ලියැවුණාක් මෙන් නිරායාසයෙන් ගලා යන කටවහරට සමීප හදබසට ළෙංගතු කතා ලතාවක්..

‘‘සුරේකා  ඉරිසියා හිතෙන තරම් මේ අකුරු ඇමිණුමට මං කැමතියි..‘‘ මසිත මුමුණයි.

‘‘පත්තර කඩදාසිවලින් කවර දා තිබුණු ඒ පොත්වල හිටපු නොයෙක් නොයෙක් ගෑනු ඔවුනොවුන්ගෙ ජීවිත කතාවල අත්වින්ද අපරිමිත ගැහැටවල් ගැන හුගක් කල්පනා කරපු අරුන්දතී හිතුවෙ හැම ගැහැනියක්ම දැවි දැවී තිබී දිය වෙලා වැහැරිලා ගිහින් නිවෙන්ඩ නියමිත ඉටිපන්දම් වගේ නේද කියල.....

ගෑනු කියන්නෙ දැවෙන කොට ලස්සන, දැවීම තුළම දියවෙන ඉටිපන්දම් ජාතියක් ද?‘‘ - 53 පිටුව

මගේ දෑසත්, හිතත් ඒ අකුරු අතර දැවටී, නැවතී අතරමං වී තිබිණි.

‘‘හලාවත ට්‍රේන් එක නේද එන්නෙ..‘‘ ආසන්නයේ අසුන් ගෙන උන් කාන්තාවක් මගෙන් නොවිමසන්නට දුම්රිය මා එහි දමා යන්නට ඉඩ තිබිණි.

ඒ මොහොත වන විට සමන්තා මැණිකේ ගේ දිනපොත අරුන්දතී අත පත් වී තිබිණි. දුම්රියට ගොඩවැදුණු පසු හිස් අසුනක් නොවන බව දැකීමෙන් ඇති වූ කණස්සල්ලට වැඩි ආවිස නොවිණි. මගේ දෑසේ අසරණ බැල්මක් ලියැවී තිබෙන්නට ඇත. කොලු ගැටයෙක් නැගී දොරටුව දෙසට නික්මිණ.

ඉදින්, සුරේකා මට දෑස් ඉවතට ගන්නට සිතුණේම නැත. හතරවටින්ම පුරුෂ පවුරක් ඉදි වී, දහදිය උෂ්ණය, ඉඳහිට හමන මත්පැන් දුඟඳ, එහෙන් මෙහෙන් වැදෙන ශරීරාංග, ගමන්මලු අතර වුව මසිත සමන්තා මැණිකේ, අරුන්දතී, කානම්මා, නන්දිතා සමඟ දොඩමළු වෙමින් තිබිණි. නමුත් අන්ධකාරය මැද සැඟවී යන දුම්රිය නැවතුම්වල ඡායාවන් හිතේ ඇඳගන්නට විටින් විට හිස ඔසොවන්නට සිදු විය.

රැවුල්කාරයා අරුන්දතී දකින්නට පාසල් නේවාසිකාගරයට පැමිණ ගියේය. නමුත් ඔහු තමා අප්පච්චී බව නොකියා යාම ගැන නොරිස්සුමක් මෙන් ම, අරුන්දතී ගැන අප්‍රමාණ දුකක් මසිත ඉතිරි විය.

රාගමින් පසු මම පොත වසා ගමන් මල්ලේ ලා ගතිමි. නැතිනම් සැබවින්ම මට මගේ නැවතුම මගහැරෙන්නට ඉඩ  තිබිණි. අල්ලා ගන්නා දෑ ගැන, අත්හැරිය යුතු දෑ ගැන මෙන්ම මඟ හැරෙන්නට නියමිත දෑ ගැන වුව ද සිහිබුද්ධියෙන් පසු විය යුතු ය. එවිට වේදනාවන් අවම ය.

නවාතැනට පැමිණි පසු අද ම, මේ මොහොතෙම යමක් ලියා තැබිය යුතු යැයි සිතුණි. 

මේ කතාවේ 71 පිටුවේ නතර වී හිඳිනා අතර මේ අකුරු අමුණමි.

උණුහුම් හාදුවකින් සමුගන්නා මොහොතේ ‘‘අක්කට මේ පොත ගැන යමක් ලියන්න හැකි වේවි.‘‘ සුරේකා මිමිණුවා ය.

සුරේකා, මේ මොහොතේ ඔබ මා සමීපයේ වූයේ නම් කොපුල මත හාදුවක් තබා මෙසේ පවසමි.

‘‘ලස්සනයි නංගී.. මරණීය වේදනාවක් තියෙන රමණීය කතාවක්. මේ පුංචි කොදෙව්ව ඇතුළෙ නිදහසින් පස්සෙ අවුරුදු ගණනාවක දේශපාලන අවුල් වියවුල් ජාලය ඇතුළෙ තැලිලා පොඩි වෙලා මිරිකිලා විනාශ වෙලා යන ගැහැණුන්ගෙ කතාව ඔයා කොහොමද පිටු 144 කට ගන්න විස්මකර්ම වැඩේ කළේ...‘‘



Wednesday, July 8, 2015

සැඳෑ සක්මන


හැමදාම හැන්දෑවට
කොල්ලුපිටිය ඉස්ටේසම
අතීත සිඳු ගැඹර
කලත කලතා
මතක දිය බිඳිති
වත මත ඉසින....
ඇස තෙමන....

සිතිජ ඉම සැඳෑ හිරු
උණුහුම් මන්දහාසයෙන්
පැහැසර කරවා
විසල් නිල් අහස
හෙටත් ආදරය ගෙන
නොවැරද එන බව ම
කියා නික්මී යන....