Wednesday, September 30, 2015

නාඳුනන ගැහැනියකගේ දේශපාලන අරගලය


‘‘අනේ මම තිලිනාගේ පොත් හොය හොයා උන්නෙ.‘‘

මවක සමඟ සම කුටියකට ගොඩ වැදුණු නව යෞවනය ඉක්මවා තාරුණ්‍යයට පිවිස උන් දියණියක උණුසුම් සිනාවකින් පැවසුවාය. තිලිනා සොයුරියගේ නාඳුනන ගැහැණිය, සමනළ මරණය, ආදරණීය දෙවියන් වහන්සේ සහ අන්ධකාර රාත්‍රිය කෘති දෑසින් මෙන් ම දෑතින්ද ස්පර්ශ කරමිනි.

‘‘මෙයා හොයන්නෙම ඔය වගේ පොත්..‘‘ ඒ අම්මා මා සමඟ පැවසූයේ මඳහසක් නඟමිනි.

‘‘මෙයා ගෙ ඉන්ටවීව් එකක් රාවයෙ ගියානෙ. ඒක කියෙව්වම මේ පොත් ටික හොයා ගන්නම හිතුණා.‘‘ ඒ ප්‍රසන්න තරුණිය ප්‍රිය ප්‍රසන්න සිනහවක් සහිතව පැවසූයේ පොතින් නෙත් ඉවත නොගෙනම ය.

එවදන් මා කොතරම් සාඩම්බරීය ප්‍රීතියකට ඇද දැමුවාදැයි ඇය නොදකින්නට ඇත.

‘‘ඒ ඉන්ටවීව් එක කළේ මම නෙ...‘‘ සාඩම්බරය සිත යට සඟවා මම නිහතමානීව පැවසුවෙමි.

‘‘හානේ, ඇත්තද?‘‘ ඇය විස්මපත් වූවා  ය.

ඉතින් දැන් ඈ මගේ මූණුපොත් මිතුරියකි.

...............

‘‘කොහෙන්ද අනේ ඔයාල තිලිනගෙ පොත් හොයා ගත්තෙ. කොහෙවත් ගන්න නෑනෙ.‘‘ එලෙස පැවසූයේ නදී වාසලමුදලිආරච්චි ය. ඇය ද සම කුටියෙන් තිලිනා ගේ පොත් මිල දී ගත්තා ය.

සැබවින්ම නිහතමානී සතුටක් දැනේ. මම තිලිනාට කතා කොට පොත් ටික බෝඩිමට ගෙන්වා ගත්තේ බලහත්කාරයෙන් මෙනි.

‘‘මගේ පොත් විකිණෙන්නෙ නැහැ නංගි. විකුණපු කාගෙන්වත් මට සල්ලි ලැබිලත් නැහැ. මට පොත් විකිණීම පස්සෙ දුවන්නත් බැහැ. විකිණීම කෙසේ වෙතත් පොත් ගැන සංවාදයක්වත් ගොඩනැගුණෙ ඔයාල මීගමුවෙ කළ කතා බහ හරහා විතරයි. ‘‘ ඇය සිටියේ දුර්මුඛව නමුත්, මගේ ඇවටිල්ලට පොත් ටිකක් බෝඩිමට ගෙනවිත් දුන්නාය.

වරින් වර සම කුටියෙහි තැබුණේ එසේ මගේ නවාතැන් කාමරයෙහි ලැගුම් ගත් තිලිනාගේ පොත් ය.

ඉතින් එයින් යම් පොත් ප්‍රමාණයක් සමාජගත කරන්නට හැකි වීම සතුටකි.  

.................


තිලිනා වීරසිංහ සමඟ මා කළ සංවාදය පුවත්පතකට උචිත ලෙස ඉතා ඉහළ සංස්කරණයකින් යුතුව  රාවයෙහි   ළ කෙරිණි. ඉක්බිති බූන්දියෙහි පළ වූයේ එහි සම්පූර්ණ සටහන ය.  

Saturday, September 19, 2015

සසැලී සසැලී අස්සන් ‍යෙදු අද දවස...


පොත් ප්‍රදර්ශනය ඇරඹිණි. රාජ්‍ය නායකයන්ට තවමත් සාමාන්‍ය පාඨකයන් ලෙස පැමිණ නිදහසේ පොතක් පතක් පෙරළා බලා කැමති පොතක් රැගෙන යන්නට තරම් වාසනාවක් නැතිකමේ අවාසනාවට සම්මාදම් වෙමින් පොදු ජනතාව නඟන මැසිවිලි අසමින්, ආරක්ෂක අංශයේ හිතවතුන්ගේ සමාවට සහ පමාවට හේතුකාරණවලට ඇහුම්කම් දෙමින් ඇරඹුණු උදෑසන ජීවිතේ අපූර්වතම දවසක් බව නම් සැබෑ ය.

මගේ කුළුඳුල් කවි පොත මුල් වරට අලෙවිය සඳහා ඉදිරිපත් කළ දවස අදයි. ඒ ප්‍රමුඛව තරු ඇස් රහස් ප්‍රකාශයට පත් කළ සම ප්‍රකාශන ආයතනයේ K 306 සම පොත් කුටියේ දී ය.

අද තරු ඇස් රහස් මුල්ම කවි පොත මිල දී ගත්තේ ශක්තික ය. තමන්ගේ පොතක් මිල දී ගන්නා සමීප සගයෙකු ඒ කෘතිය පෙරළා අත්සන පිණිස අත තබන විට ඇති වන ප්‍රීතිමත් තිගැස්ම මුල්වරට අත්වින්දෙමි. අපමණ සතුටකි. හිත මිතුරන් සම කුටිය සොයා ආයේ නෑගම් එන්නාක් බඳුව ය. හිතුවාට වඩා තරු ඇස් අතර අත්සන තබන්නට සිදු විය. එය ප්‍රීතියකි සැබවින්ම. ඒ සෑම මොහොතකම සුරත මෙන් ම හද ද සසැලිනි. මන්දැයි නොදනිමි. මෙතෙක් කල් නොයෙක් නොයෙක් දෑ ලීව ද, නොයෙක් තැන්වල පළ විණි ද පළමු පොත යනු නව උපතක් යැයි සිතේ.

ඔබ මට දක්වන  ස්නේහයට ගෞරවණීයව හිස නමමි. නමුත් මා කෙරෙහි පවතින බැඳීම් පසෙක තබා නන්නාඳුනන අයෙකුගේ කවි කියවා විචාරය කරන්නාක් මෙන් තරු ඇස් රහස් කියවා පිළිබඳ අදහස් දක්වන මෙන් ආදරණීයව ඉල්ලමි.

................

සම පොත් කුටියේ ඔබ කැමති පොත් බොහොමයක් ඇති. ඇවිත් බලන්නැයි ඉල්ලමි. නිවාඩු දවස් බැවින් අද සහ හෙට මම ද එහි රැඳෙන්නෙමි. ආසන්නයේම ඇත්තේ රංජි අයියාගේ අගහස් පොත් නැවතුම ය. පොත් ප්‍රදර්ශනයට එන්නේ නම් K ශාලාව මඟ නොහැරීම වාසියක් වනු ඇත. ආශිර්වාද, ආකර්ශා, වාසනා ඇතුළු කුටි රැසක් එහි ඇත. කවි කුටිය මෙන්ම සාහිත්‍ය සංවාද මණ්ඩපය ඇත්තේද K ශාලාව අසල ය.

.................

මෙවර කවි කුටියේ සන්ථන ප්‍රකාශන කවි පොත් වෙනුවෙන් 40% ක වට්ටමක් හිමි වන අතර සෙසු සියලුම කවි පොත් වෙනුවෙන් 30% ක වට්ටමක් හිමි වනු ඇත. මෙවර සම්මානිත ටිම්රාන්ගේ ‘‘යන්නං චන්දරේ‘‘ ඇතුළුව සම්මානිත කවි පොත් රැසක් ද, නව සහ පැරණි කවි පොත් ද එහි දී හමුවනු ඇත.

කවි කිවිඳියන් රැසක් කවි පොත් සල්පිලේ දී හමුවිය. දැන් මම ත් ඒ අතර ඉන්නවා නොවේදැයි සිතන විට සිතට සතුටක් දැනේ. නමුත් පොතක් පළ කළ පමණින් කෙනෙක් කවියෙක් හෝ කිවිඳියක් වන්නේ නැත. එකම එක කවියක් වුව සැබෑ කවි ගුණයෙන් පිරිපුන්ව අකුරු අතර හුස්ම ගන්නේ නම් පොත් නැත ද හෙතෙම කවියෙකි.

..................

තිලක අයියා මව්බිමට පා තැබූ සැනින් ආවේ පොත් ප්‍රදර්ශනයට ය. තිලක සිත සම කුටියේ තබා අපි වැඩ දහක් අතර වුව සිත් සේ කතා බස් කළෙමු. අසිරිමත් මොහොතකි. සයිබරයෙන් ඇරඹි මිතුදම් සොයුරුදම් මහපොළව මත නොවෙනස්ව හමුවනු දැකීම කොතරම් අපූරුද? නිල්මාණී, අසංග, හරී, උපේක්ෂා, නෙරංජි, හෂිත, සචී ඇතුළුව තවත් නාඳුනන හඳුනන මුහුණු දෑස් අබියස.... සතුටකි...


සති අන්තයේ සහ 24 නිවාඩු දවසේ එහි රැඳී සිටින්නට අදහස් කරමි. පොත් නොගත්තත් ඇවිත් යන්න එන්න. 

Sunday, September 13, 2015

‘තරු ඇස් රහස්‘ මුලින්ම වෙරෝනිකා ට...



‘‘අම්මේ තරු ඇස් රහස්නෙ. මේ පොතේ අක්කගෙ රහස් ඔක්කොම ඇති.‘‘

අද උදේ වරුවේ කුස්සියේ සාමුහික උයමනක යෙදී සිටින අතරතුර නංගි කීවාය.

‘‘ඔව්.. ඔව්.. මගෙ රහස් ඔක්කොම තියෙනවා..‘‘  මම ද පොල් ගාමින් සිනාසුනෙමි.

‘‘අම්මේ, අපි දෙන්න එකින් එක හෙමිහිට කියවල, ඩික්ෂනරියක්වත් හොයාගෙන කවි තේරුං කරගෙන මෙයාගෙ රහස් අල්ලගම්මු..‘‘ එවර නංගීගේ සිනාවට අම්මා ද එක්වුණි.

‘‘ඔයාල නොදන්න කිසිම රහසක් මට නෑනෙ අනේ.. ඔයාල දන්න රහස් තමයි කවි පොතෙත් තියෙන්නෙ..‘‘

ඒ සුන්දර කතාබහ ඇති වූයේ  අපි තරු ඇස් රහස් කවි පොතේ මුල් ම පිටපත මුල් වරට ලොකු අම්මාගෙ ( අම්මාගෙ අම්මා ) දෝතට පිරිනැමීමේ ප්‍රීතිමත් ම කටයුත්ත නිම කර ආපසු පැමිණ සිටියදී ය.

වෙරෝනිකා බර්නදෙත් නම් වු ඇය,

ලොකු අම්මා ආදරයේ උල්පතකි. ටිකක් කට සැර බව ඇත්ත ය. නමුත් මම නම් කිසිදා ඇගෙන් බැනුමක් නොඇසීමි. කප්පරක් දුක් ගැහැට දෙවියන් තුළ ඉවසීමෙන් දරාගනිමින් ජීවිත සටන අත්නොහැරි ධෛර්යසම්පන්න ආදර්ශමත් ගැහැණියකි ඈ. ලොකු අම්මාගේ ලොකුම මිණිබිරී මා ය. ඉතින් මේ ලොකු දුව අනෙක් මුණුබුරු මිණිබිරියන් ආදරණීය නෝක්කාඩු නගන තරමට ම ලොකු අම්මාගේ හදවතේ වැඩි ඉඩක් හිමි කරගෙන සිටියාය.

‘‘ප්‍රේමය‘‘ පදනම වූ මගේ කවි හිත පුදදෙනුව උවමනාවටත් වඩා වැඩි සුදුසුකම් ඈ සතු ය.

ලොකු අම්මාට ලොකු තාත්තා හමු වී තිබුණේ මංගල යෝජනාවකිනි. දෙවෙනි හමුවීම මගුල ය. බලන්නට ආ දිනවත් හරි හැටි මුහුණ නොදැක කසාද බැන්දේ කෙසේදැයි ඇසූ විටෙක ඈ කීවේ ‘‘ඒ කාලෙ එහෙම තමයි පුතේ.‘‘ කියාය. ලොකු තාත්තා බීමට ඇබ්බැහි වූවකු බව ඈ දැන සිට නැත.

ලොකු තාත්තාගේ බේබදුකමත්, රණ්ඩු සරුවලුත් ඉවසනු බැරි තැන ඇය අම්මාත්, මම්මාත් රැගෙන ආපසු ගම රට පැමිණ තිබුණේ අම්මාට අවුරුදු හතරක් තරම වයසේ දී ය. ලොකු තාත්තාගේ බීමත්කම කොතරම් බරපතල ව්‍යසනයක් වී තිබුණිද යන්න වැටහෙන්නේ ඔහු වරක් ලොකු අම්මාත්, ළදැරියන් වූ මම්මාත්, අම්මාත්  නිදා සිටියදීම පොල් අතු හෙවිල්ලූ නිවසට ගිනි ලූ බැවිනි. ඉතින්, ලොකු අම්මා ඔහු අත්හැර පැමිණීම පුදුමයක් නොවේ.

අනතුරුව කප්පරක් දුක් විඳිමින් ඇය දරුවන් උස් මහත් කළාය. බීමත්කමෙන් පාරට වැටී සිටි ලොකු තාත්තා දැක අනුකම්පා උපදවා, මම්මා විවාහ වූ පප්පා විසින් නැවත ඔහු අපේ ජීවිතවලට කැන්දාගෙන එන විට අම්මාට මාත් ලැබී තිබුණු බව පවුලේ ඉතිහාස කතාවල දී මතු වන කාරණයකි.

ඒ පැමිණ සිටියදී වුව ඔහු කොතරම් කරදරකාරී, නාස්තිකාරී, අනුකම්පා විරහිත ස්වාමිපුරුෂයෙක්ද යන්න මම දෑසින් දුටුවෙමි. ‘‘මොන එහෙකටද ලොකු අම්මා ඔය මනුස්සයා බැන්දෙ..‘‘ අපි අසන විට ‘‘ බොන බව දැනගෙන හිටියෙ නෑනෙ පුතේ. හරියට මුණවත් දැක්කෙ මගුල් දා තමයි..‘‘ ඈ කීවා ය. කෙසේ නමුත් ලොකු තාත්තා මුණුබුරු මිණිබිරියන්ට නම්  ආදරය කළේය.  

පප්පා අකල්හිම ජීවිතයෙන් සමුගත් විට මම්මා විදෙස්ගත වුයේ ජීවත්වීමේ මඟක් පාදා ගනු පිණිස ය. මම්මාගේ කුඩා දියණියන් දෙදෙනාද රැක බලාගෙන, ලොකු තාත්තාගේ දුක් ගැහැට ද ඉවසමින්, අරපිරිමැස්මෙන් වැඩ කරමින් ලොකු අම්මා ඔවුන්ට නිවසක්ද තනා දුන්නාය. මම්මා විදෙස්ගතව උන් සිව් වසරක කාලය අපතේ ගියේ නැත. ලොකු අම්මා කොතරම් දිරිය ගැහැණියක්ද යන්න එකල්හි මම මැනවින් පසක් කරගතිමි. 

අවසන ලොකු තාත්තා අංශබාග රෝගයෙන් ඔත්පල වූ විට දරුවකු රැක බලා ගන්නාක් මෙන් ඈ ඔහු රැක බලා ගත්තා ය. ආහාර ගන්නට නොහැකි වූ තැන, කිරි වීදුරුවෙහි පොගවා ක්‍රීම් කැකර් කැව්වාය. අවසන රෙදි පාන්කඩයක් කිරෙන් පොඟවා දෙතොල තෙමමින් පැය ගණන් ගෙවා දමන්නට තරම් ඉවසීමක් ඈ සතු විය. ඒයි කියනා පමාවට සිය දහස් වරක් හෝ ලොකු තාත්තා වෙත යන්නට තරම් කාරුණික වූවා ය. එතරම්ම වධ දුන් ස්වාමිපුරුෂයකු වෙනුවෙන් එතරම්ම කැපවෙන්නට හැකි වීම විස්මිත ය. නමුත් ඒ ඇය ය. ප්‍රේම පාරමිතාව ඈ අප වෙත ජීවිතයෙන්ම කියා දෙමින් උන්නා ය.

තම දෑතින් නිවසේදීම කැවිලි පෙවිලි හදමින් දරු මුණුබුරන්ට කන්නට දීම ඇගේ සිරිතකි. වත්තේ කෙසෙල්කැනක් ඉදුණොත් ආප්ප හැදෙන්නේම ය. නිකම්ම ආප්ප ද නොවේ. බිත්තර ආප්ප, පැණි ආප්ප, වාටි ඇති නැති ආප්ප එකිනෙකාගේ රිස්ස අනුව ය. ආප්ප වට්ටිය වටේ බංකු තබා වාඩි වෙන අපි උණු උණුවෙන්ම ඒවාට වග කීමු. ඈ හදන, පිට්ටු රොටී වුව ද වෙනම ම රසකි. කුමන කැවිල්ලක් හැදුණද මගේ පංගුව වරදින්නේ නැත.

‘‘ලොකු අක්කා ආවම හැංගිල තියෙන කෑම ජාතිත් එළියට එනවා.‘‘ නංගිලා කියන්නට පුරුදුව සිටියහ. ගෙදර හදන මිරිස් තුනපහ දමා ඇය හදන ව්‍යංජන රස අතරින් මා කවදත් කැමති කජු මාළුවටත්, කලවම් පලා මැල්ලුමටත් ය. දැන් ඉතින් ඒ දෙඅතින් ඉවුම් පිහුම් සිදුවන්නේ නැත. එනමුත් ඒ ආදරණීය දෑතින් මැවූ රසය මතකයෙන් ගිලිහෙන්නේ නොවේ.

මගේ ජීවිතයේ බරපතලම තීරණයේ දී ඇය නිහඩවම මා අනුමත කළා ය.

‘‘ගෑණු උනාම ජීවිතේම දුකක් තමයි පුතේ. බැන්දම ඉතින් ඔය සැනසිල්ල ඉවරයි. දරුවො හදනවා. ජීවත්වෙන්න නොසෑහෙන්න දුක් විදිනවා. ඉන්පස්සෙ දරුවන්ගෙ දරුවො හදනවා. කෙළවරක් නෑ. පුතාට හිතෙන දවසක් එනකල් ඔහොම ඉන්න. රටේ ලෝකෙ මිනිස්සු කියන හින්ද කසාද බදින්න ඕන නෑ..‘‘

ඉතින් ඒ පුතාට බඳින්න ඕනම යැයි හිතුණේ ද නැත. ඒ ගැන ඈ විස්සෝප වූයේ ද නැත. ජීවිතේ සතුටත්, දුකත් සැඟව ඇත්තේ බැඳීම්වල බව ඇත්ත ය. නීතියෙන් නොබැඳුණා කියා ඒ සිනා කඳුළුවල වෙනසක් සිදුවන්නේ ද නැත.

එදා සේම අදත් ඈ මා එනතුරු මග බලා හිදින්නීය. මගේ අතින් ලැබෙන සොච්චම රටක් රාජ්‍යයක් මෙන් මිට මොළවා ගන්නීය. සමුගන්නා විට ඇස්වල කදුළු පුරවා ගන්නී ය.

අවුරුදු 83 ක් වයසැති ඈ අද සිටින්නේ එක්තැන්ව ය. එක්තැන්ව සිටින්නේ ලෙඩක් දුකක් නිසා නම් නොවේ. නැගී සිට ඇවිදින්නට තරම් දෙපා වාරු නැති බැවිනි. ෂුගර්, ප්‍රෙෂර්, කොලොස්ටරෝල් වැනි ලෙඩ ඇයට නැත. දවසට තුන්වරක් කොන්තෙ කියනා ඈ නිතරම රේඩියෝවෙන් ගීතයක් අසන්නී ය. කණ්ණාඩි කුට්ටමක් නැතිවම පත්තර කියවන්නී ය. ඒ කිසිත් නැති තැන දෑස් වසා නිහඬවම සිටින්නී ය. අතීත සක්මනක විය යුතු ය.

ලොකු අම්මාගේ ජීවිතය අරාබි නිසොල්ලාසය මෙන් නිමා නොවන කතා කප්පරකින් සැදුම් ලද්දකි. මා ඉන් දැන සිටින්නේ ස්වල්පයක් විය හැකි ය. කෙසේ නමුත් ඒ ස්වල්පය මහමෙරක් තරම් ආදරයක්, ගෞරවයක් හදවතේ නිදන් කොට ඇත. ඉදින්, මගේ කවි හිතේ පළමු අස්වැන්න ඈ අත තබන්නට ලැබීම හිතට නිවනකි. සතුටකි.


මුල්ම කවි පොත පිළිගැන්වූ මොහොත පවුලේ සැම එකතු වූ පුංචි උත්සවයක සිරි ඉසිලීය. ජීවිතේ සුන්දර ද මෙතරම් හදවතේ රැව් නැගිණි.

තාත්තාගේ අම්මාත්, තාත්තාත් නෙත නැඟෙන කඳුළකින් තොරව සිහිපත් කළ නොහැකිය. එතරම්ම ඔවුහු මට ආදරය කළහ. ස්වර්ගයේ සිට ඔවුන් මදෙස බලා සිටිනවා විය යුතු ය. ඒ අපේ ලොකු මිනිබිරී පවසනවාද විය යුතු ය. 

අපේ පවුලේත් නෑ හිත මිතුරන්ගේත් අප්‍රමාණ ආදරය මා ලොවට ණයගැතියකු කර ඇත. මා සැමවිටම උත්සාහ දරනුයේ ඒ ණය ගෙවා දමන්නට ය. එනම් ආදරයෙන් ජීවත් වන්නට ය. මම අපමණක් ආදරය නොමිලයේ ම ලද්දියක වෙමි. ඉදින්, මනුෂ්‍යත්වය දල්වාලනු වස් ඒ ආදරය බෙදා දීමේ යුතුකමක් මට ඇත.


‘තරු ඇස් රහස්‘ වුව තවදුරටත් රහසක් නොවන්නේ එබැවිනි.



Friday, September 4, 2015

ඒ ප්‍රේමයේ නින්නාදය 'තරු ඇස් රහස්'


බිඳී බිඳී ඉහිරෙන සිහින අතර, අත්තටු පැළැන්ඳෙන සිහිනයක් යනු අසිරියක් ම නොවන්නේ ද?

මුදු මද අඳුරක් පැතිර ගිය අහස් තලය මත පෑයු පුංචි තාරුකාවක් මඳහසක් නගන්නේය. ඒ තරු ඇස සැඟවුණු රහස මම දනිමි. කවියට පෙම් බැන්ද බාල සන්දියේ සිට ම සිතේ පැතුමක් ගුලි ගැහී තිබූ බව ඒ තරුව දනී. පියාපත් ලැබ සුවිසල් අහස සරනු සඳහා මේ බිනර මහේ පෙරමං බලන්නේ ඒ මගේ දිවියේ අහිංසක පැතුම ය. සොඳුරුතම සිහිනය ය. 

ඉදින් මේ මගේ පළමු පොත ය. හැමදාමත් ජීවිතේ තනි නොතනියට හිත ළඟම හිඳින්නේ කවිය බැවින් කුළුඳුල් කෘතිය කවියට ම වෙන් කළෙමි.

මගේ කවි පොත, ‘‘තරු ඇස් රහස්” අපේ කවි පොතක් වන්නේ සම ප්‍රකාශන අසම සම දයාබරත්වය තුළ නව උත්පත්තියක් ලබන බැවිනි.

දුල් මල් විල් මෙන් ම ගල් මුල් ද සෙනෙහසින් බාර ගනිමි.

කවියට මෙන් ම, ජීවිතයට ද ප්‍රේමයෙන් පණ දුන්නෝ බොහෝ වෙති. ස්තූතියි කීම එකී ප්‍රේමය ලඝු කිරීමකි. එබැවින් මෙලෙස කියමි.

‘‘ඔබ මට දුන් සෙනෙහස පෙරළා ලොවට තිළිණ කරමි. 'තරු ඇස් රහස්' ලෙසින් මුද්‍රිත අවකාශයෙහි පියාපත් පළඳින්නේ ඔබ මවෙත පුද දුන් ස්නේහයේ නින්නාදයයි. අද මෙන් හෙටත් මා සමඟ හිඳිනු මැන..”



Wednesday, September 2, 2015

සන්ත බස්තියම් වීදිය



‘‘සිංහබාහු එනකල්‘‘ කෙටි කතා සංග්‍රහය රස විඳින විට මම ඔහු ගැන දැන නොසිටියෙමි. ‘‘චේ කෝ සහ තවත් කතා‘‘ පොත නිකුත් වූ පුවත ඇස ගැටීමත් සමඟ මා එය මිල දී ගන්නේ ‘‘සිංහබාහු එනකල්‘‘ කෘතියේ කෙටි කතාමය ආනන්දය පිළිබඳ මතකය ඔස්සේ ය. ‘‘චේ කෝ සහ තවත් කතා‘‘ ගැන මගේ වින්දනාත්මක කියවීම  තරුරසී බ්ලොග් අඩවියේ අකුරු වන විට ද මම ඔහු පෞද්ගලිකව දැන නොසිටියෙමි.

අප මුල් වතාවට හමුවූයේ ‘‘පිටුවහල කොළඹට‘‘ මැයෙන් 2014 ජූලි මස 30 වන දින ‘‘සම‘‘ කණ්ඩායම මගින් කළ සාහිත්‍ය සංවාදය හේතු කොට ගෙන ය. එහිදී ‘‘මේ සොඳුරු දඩබිමෙහි යථාර්ථය සහ විචාරයේ මායා යාථාර්ථය” මාතෘකාව ඔස්සේ සනත් බාලසූරියගේ ‘‘මේ සොඳුරු දඩබිම‘‘ නවකතාව පිළිබඳව අදහස් දැක්වූයේ ඔහු ය.

අදාළ නවකතාව ඔහු අත පත් කරනු සඳහා මුල්ම වතාවට මා ඔහු හමුවූයේ සාහිත්‍ය සංවාදයක නිමාවේ නිවසට දිව යන අතරතුර විහාරමහා දේවි උද්‍යානය කෙළවරකදී ය. එකී හමුව දිගුකාලීන සහෝදරාත්මක බැඳීමක ආරම්භය විය.

ඉනික්බිති අපි සාහිත්‍ය සංවාදවලදී ද, විවිධ දේශපාලන වේදිකා අබියස දී ද, වීදියේ අරගලවලදී ද හමුවූයෙමු. සාහිත්‍ය කලා ඇසුරේ පමණක් නොව, දේශපාලන ගමන්මඟේදී ද අපට එක්ව යා හැකි විය. ඒ සාහිත්‍ය කලාව, දේශපාලනය සම්බන්ධයෙන් මෙන්ම ජීවිතය සම්බන්ධයෙන් ද අපේ හදවත් සමාන්තරව ගමන් ගත් බැවිනි. අපට කතා කරන්නට බොහෝ පොදු මාතෘකා ද, පොදු අරමුණු ද, සිහින ද තිබිණි.

සාහිත්‍ය කලා මාධ්‍ය ලෝකය තුළ මට හමු වූ සොඳුරු ම මිනිසෙකි ඔහු. දයාබර ම සහෝදරයෙකි ඔහු. වදන් සපිරි අරුතින්ම ඔහු මට ලොකු අයියා කෙනෙකි.

ඉතින්, ඒ ඔහු අනෙකෙකු නොව අනුරසිරි හෙට්ටිගේ ය.

නවකතා කීපයකම හිමිකරු වුව ද මා මුලින්ම කියවූයේ ඔහු ලියූ ‘‘ස්මරණ‘‘ නව කතාව ය. අනතුරුව ‘‘බැඳමාරිය‘‘ නව කතාව ය. ඒ නවකතා දෙකම සිත් ගත්තේ වී නමුදු සටහනක් ලියා තැබීම මගහැරිණි. කෙසේ නමුත් මා තවමත් වඩාත් කැමති ඔහුගේ කෙටි කතාවට ය.

‘‘සන්ත බස්තියම් වීදිය‘‘ අනුරසිරි සහෝදරයාගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි.

කොලොම්පුරේ ගෙන්දගම් අහස යට ඉපදුණු ඔහු තම ජීවිතය තුළ අත්විඳි රළු කටුක මෙන්ම සොඳුරු ස්මරණයන් කාව්‍යමය සංහිඳීමකින් මේ කෘතිය හරහා අප සමඟ බෙදා ගනු ඇතැයි විශ්වාස කරමි. ඉදින් සන්ත බස්තියම් වීදියේ සැරිසරන්නට මඟ බලා හිඳිමි.


‘‘අනුරසිරි අයියේ, ඔබට සුබ පැතුම්..“