Wednesday, October 28, 2015

රහසක් හෙම කීවාද හිරු රැස්



විකසිත ‘‘අරුණෝද අසිරිය‘‘
කොයිබින්ද මේ මුදු සුමුදු නිල
ඇස සිහිල රන්දන...

පය පාමුළ ම
අපුල කුණු දිය ඇල
එතැන ම පල් වෙන...

හාත්පස අවුලුවන
කාක උන්මාදය
කසල මලු විසුරන...

හරහට වැතිර රළු සිල්පර
හූ තියන් ඔච්චටම
දුව යන යකඩ ලදරම
පීලි පන්නන
යන අතක් නොදැනම...

සතර මහ අපායේ 
පිල්කඩ හිඳ ගෙනම
මෙතරම් මුදු සිනිඳුවට
හිනැහෙන්නෙද කෝම
මෝනිං ග්ලෝරි මල් වැල...

රහසක් හෙම කීවාද
හිරු රැස්
කප්පරක් කටුක දුක් මැද
එකම එක සිනාවක්
ඇති වග

ජීවිතය අස්වද්දන...

Monday, October 26, 2015

මහමඟ හමු වු දේවදූතිකාවක්

creativeeveryday.com

මං උන්නෙ හේතු විරහිත කණස්සල්ලක් හිතේ පුරවගෙන, අහස පොලව ගැටලන්න කල්පනා කරමින්. මහා සාංකාවකින් හිත බරවෙලා. දුම්රිය නැවතුමට ළඟා වෙද්දිත් හතරවටින් කළු කරල. ගොම්මනට වැහි අඳුරත් එකතු වුණාම අකලට මහළු වුණ සෝබර පෙනුමක් තමයි හැන්දෑවට එකතු වෙලා තිබුණෙ...

රෑ කෑමට පාන් එකකුත් අරන් මං පාරට වැටුණෙ කල්පනා පිරුණු හිතින්මයි.

මාත් එක්ක සමාන්තරව අඩි තිබ්බ ඈ මයෙත් එක්ක කතාවට පැටළුණේ අනවසරයෙන්. ඒ මදිවට කොහ් කොහ් ගගා කහිමින්. මට දැණුනෙ නොරිස්සුමක්. මට ඕනවෙලා තිබුණෙ මගේම දුක්බර සිතුවිලි දැලේ පැටලිලා ඔහේ පාවි පාවී යන්න. කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නැතිවම ඈ මගේ දැහැන බි දැම්මා.

‘‘මට උණ ගැනිල උන්නේ..‘‘ කොහ්.. කොහ්.. ‘‘ ඇවිදින්නවත් පණක් නෑ..‘‘ කොහ් කොහ්...

ලොතරැයි කඩදාසි කීපයක් ඉතිරි වුණ ලෑල්ලත් කිහිලි ගන්නගෙනම ඈ මට දුක් ගැනවිලි ඉදිරිපත් කරමින් මා එක්කම පිය මනිනවා. ඇයි ඉතින් මේ මට ම කියන්නෙ. තව කොච්චරක් නම් සෙනග කෝච්චියෙන් බැහැල මේ මගම ගියාද? මම හිතින් නෝක්කඩු කිව්වා. දැකල තිබුණට නිතර හිනාවක් මිසක කතාබහක් ඇති වෙලා තිබුණෙත් නැහැ අපි අතර. ඉතින් ඇයි මේ මට ම දුක කියන්නෙ.. මම හිතින් ඇහුවා.

දුක්ගන්නාරාළ වැඩේ නවත්වන්න තීන්දුවක් ගනිමින් මං උන්නෙ ඒ වෙද්දිත්. දුක් වේදනා අහන් ඉන්නව ඇරෙන්න දෙන්න විසඳුමක් නැති වුණාම හිත හරියට අසරණ වෙනවා. ඒ නිසා එක එක්කෙනාගෙ දුක අහන්නෙ නැතිව ඉන්න කියල මං මට ම තරවටු කරගත්තා. මගේම කියල දුක් වේදනා නැති නිසාද කොහෙද අනුන්ගේ දුක් වේදනා ප්‍රශ්න මගේ කරගෙන විසඳුම් හොයමින් මං හෙම්බත් වෙලා ඉන්නෙ.  දුක්ගන්නා රාජකාරියෙන් මිදෙන්න හිතුවෙත් ඒ නිසාමයි.

‘‘උණය කියල ගෙදර ඉන්නෙ කොහොමද? ළමයින්ට කන්න දෙන්න එපායැ. රෑට කෑම නම් හෝටලෙන් මට හම්බුනා. ඒ මිනිස්සු මට හරියට උදව් කරනවා. දවසම ඇවිද්දම යාංතං රුපියල් දාහක් විතර හොයා ගත්තැකි. ඒක ඉතින් ත්‍රීවීල් එකකට පූජ කරල කොහොමද? ඒ හින්දා පයින්ම යනවා..‘‘ කතාව වගේම කැස්සත් අඩු නැහැ.

ඒත් ඇයි මේ දේවල් මට ම කියන්නෙ. මං ඈ එක්ක මීට කළින් හිනාවෙලාවත් ඇති හිතින් හිතන අතර මම ටිකක් පය ඉක්මන් කළා. මෙන්න ඇයත් ගමන ඉක්මන් කරනවා.

‘‘බෙහෙත් ටිකක් නං ගන්න වෙයි වගේ. පණ කළඳක් නෑ..‘‘ ආයෙමත් ඈ කියනවා.

අන්තිමේ මට පව් කියල හිතුණා. ඉතින් මං ගමන් වේගයත් අඩාල කරලා, හදවතින්ම ඇගේ කතාවට එකතු වුණා. ආයෙම දුක්ගන්නාරාල වුණා.

‘‘මහත්තයා නැද්ද?‘‘

‘‘මනුස්සය මැරුණෙ මී උණ හැදිලා. පොඩි එකාට මාස හතයි එතකොට.‘‘

‘‘ළමයි කී දෙනෙක් ඉන්නවද?‘‘

‘‘මට ළමයි හය දෙනෙක්..‘‘ ඈ කිව්වෙ හරිම ආඩම්බරෙන්. 

‘‘කොල්ලො පහයි. එක කෙල්ලයි. අද කාලෙ යමක්කමක් තියෙන මිනිස්සුවත් ළමයි වැඩිපුර හදන්නෙ නෑනෙ. මම කොහොමහරි හයදෙනෙක් උස්මහත් කළා. ‘‘

මට හිතාගන්න බැරිවුණා ඒ ධෛර්යය ගැන. ආදරයත්, ආඩම්බරයත් උණ වේදනාවෙන් වෙව්ලුම් දෙන හඬට අලුත් ජවයක් එක් කළා. අසිරිමත් ගැහැණියක් නේද? මට ඈ ගැන ආදරය හිතුණා.

‘‘දුව බැඳලා. පුතාල තුන්දෙනෙක් තාම ඉගෙනගන්නවා. එක පුතෙක් ශිෂ්‍යත්තෙත් පාස්. බාලයා මේ සැරේ ශිෂ්‍යත්තෙ ලියනවා..‘‘ 

ඇය දරුවන් ගැන කතා කළේ අසීමිත ආදරයකින් වගේම ආඩම්බරයකින්. දෙපා ගෙවෙන තුරු ලොතරැයි ලෑල්ලත් අරන් නගරය පුරා ඇවිදින ඇයට ඇති එකම සැනසීම දරුවන් බව ඒ හඬින් කියවුණා. ජීවිතයෙන් කලකිරෙන්න, පැන යන්න ඕනෑ තරම් හේතු කාරණා තිබියදීත් ඇය ජීවිතය අත්නොහරිමින්, ජීවිතය එක්ක මහත් අධිෂ්ඨානයෙන් පොරබදමින් ඉන්නවා.    

‘‘මිනිස්සු මගෙ දරුවන්ට උදව් කරනවා, ඉගෙනගන්න. අපි හොඳ නම් ලෝකය අපිට නරකක් කරන්නෙ නෑ.‘‘ ඇය මහත් විශ්වාසයෙන් කියන්නෙ. අලෙවි කරන්නෙ ලොතරැයි වුණත් ඇය අහඹු වාසනාවට වඩා මනුස්සකමත්, ධෛර්යයත් අගයන ජීවිත දර්ශනයක් ඇත්තියක්. පුදුමයි.
  
මගේ කණස්සලු හැඟීම් දියවෙලා ගිහින්.


ලොතරැයි ලෑල්ලක් අතින් දරාගත් දේව දුතිකාවක් මහමග හමුවුණා.... මිනිසුන් තුළින් දෙවියන් දකින්න පුළුවනි. අද හැන්දෑව මට දෙවියන් මුණගැසුණු හැන්දෑවක්.

Thursday, October 22, 2015

තිත්ත පාඩමක්..!!!

Oil Paintings by Andrei Belichenko

ඔයාට මං කිව්වද?
මට මතක නෑ..
ඔව් මං බලන් හිටියා
බලන් ඉඳල ම ඇති වුණා...
මොහොතක් දෙකක්, දවසක් දෙකක්
අවුරුද්දක් දෙකක්..
නෑ අවුරුදුම දහතුනක්...
දහතුන නපුරුයි ලු...
එහෙම වෙන්නෙ කොහොමද
අපි ළං වුණ දෙදාස් දහතුන...?
ඒ තමයි සුන්දර ම අවුරුද්ද...

ආදරේ පළමු පාඩම බලා හිඳීමලු
එහෙම කිව්වෙ පාවුලෝ
ඇල්කෙමිස්ට් පොතේ
ඇල්මැරුණු අකුරු
මතකද ඔයාට
පාවුලෝ අදහාන උන්නාට මට
යසයි ඒ ලැබුණු දඬුවම...

සන්තියාගෝ සැරිසරද්දී
හීන හඹාගෙන
කවුරු හරි මං වගේ
මෝඩ ම කෙල්ලෙක්
ඉන්නත් ඇති බලාගෙන
හීන එළිවුනේ
පය පාමුල ම
ජීවිතේ අන්තිම නරක
විස්මිත විහිළුවක්...!!!

ඔයාට මං කිව්වද
මට මතක නෑ..!!
බලා හිඳීමේ පාඩම
පාඩම් කරලාම තිත්ත උණා මට
එතනින් එහාට
අත්හැරීමේ පාඩම ප්‍රගුණ කළේ මම
තනියෙන් ම
ඔයා හමුවෙන කල් ම...

එතැන් සිට,
ආයෙමත් පළමු පාඩම
 ‘‘බලා හිඳීම
පාඩම් ම විතර ද ජීවිතය
ජීවිතය නැත්නම් දුෂ්කරම පාඩම ද...

ආයෙමත් ආත්මීය අරගලය
අත්හැරීම ප්‍රගුණ කළ යුතු ය මම
තිරසර ව
ඇලීම ගැටීම
බැඳීම.. බිඳීම
සියල්ල අවසන අත්හැරීම
මේ තරම් ම අසීරු වෙන්නෙ කෝම..?



Sunday, October 18, 2015

වතිකානුව තුළ අතුරුදන් වූ දෙවියන්ගේ සිනාව


මගේ දෑස් කෙවෙන්නට ගති. කඳුළු බිඳු ඇහි පියන් යටම නළියයි. මම සීරුවෙන් ඉන්නැයි කඳුළට පවසමි. ඔහු මිය ගොසිනි. මා නැවතී සිටියේ දෙසිය වැනි පිටුවේ බව බොඳ වූ නෙතට පෙණුනි.

‘‘සැප්තැම්බර් 29 වන දා උදේ 4.30 ට කෝපි ප්ලාස්කුව පාප්තුමාගේ අධ්‍යයන කාමරයේ තැබූ වින්සෙන්සා පාප්තුමාගේ නිදන කාමරයේ දොරට තට්ටු කර ‘‘සුබ උදෑසනක් ශුද්ධෝත්තම පියාණෙනි‘‘ කීවාය. ප්‍රතිචාරයක් නොවූ හෙයින් ඉවත ගිය ඇය 4.45 ට නැවත ආවාය. කෝපි බඳුන එසේම තිබිණි. 1959 සිට ලුසියානිට සේවය කළ වින්සෙන්සා, ලුසියානි කිසිදිනක වැඩියෙන් නිදාගන්නේ නැති බව දැන සිටියාය. නිදන කාමරයේ දොරට තදින් තට්ටු කළ ඇය පිළිතුරක් නොමැති බැවින් දොර ඇරියාය. උපැස් යුවළ පැළඳගෙන, ලියන කඩදාසි කිහිපයක් අතේ රඳවා ගත් ලුසියානි ඇඳ මත ඉඳගෙන සිටියේය. හිස දකුණට හැරී තිබුණ අතර දෙතොල් විවර වී තිබුණි. දැඩි වේදනාවක ස්වරූපයක් මුහුණේ දිස් විය. ඇය ලුසියානිගේ නාඩි වැටීම පරීක්ෂා කළාය....

පාප්තුමෙකු ලෙස දින තිස්තුනක් ගත කළ ඇල්බිනෝ ලුසියානි හුදකලාවම මිය ගොස් ඇත. මරණයට හේතුව? මරණය සිදු වු වේලාව? වසර හාරසීයකට මෙපිට කිසිම පාප්තුමකු මෙතරම් කෙටි කාලයකින් මිය ගොස් නැත. ඇල්බිනෝ ලුසියානි මිය ගියේ කෙසේද?‘‘

‘‘දෙවියන්ගේ නාමයෙන්‘‘ -  ඩේවිඩ් යැලොප්
පරිවර්තනය - ඇන්ටනී කුරුකුලසූරිය




ඒ සිනාසෙන පාප් තුමා ය. මේ දිළින්ඳන්ගේ පාප් තුමා ය. නැත්නම් හරිත පාප් තුමා ය.

ඒ සිනාසෙන පාප්තුමාගේ ජීවිතය, දැක්ම සහ වැඩපිලිවෙල වත්මනේ මේ දිළින්ඳන්ගේ පාප්තුමාගේ ජීවිතයට කොතරම් සමානකමක් දක්වන්නේද කියතොත් මේ පාප් තුමා ඒ ජීවිතයෙන් කොතරම් අභාෂය ලබන්නට ඇත්ද? එතුමාගේ චින්තනය කොතරම් බලපෑමක් කරන්නට ඇත්ද යන්න පැහැදිලි ය.

වඩාත් හිත තිගස්වන කාරණය නම් ඒ පාප් තුමා දින 33 ක පාප් ධුර කාලය අවසන් කරනුයේ අබිරහස් මරණයක් උරුම කරගනිමින් වීම යි. දෙවියන්ගේ සිනාව වතිකානුව තුළදී ම අතුරුදහන් කර තිබිණි.



ඔහු ඇල්බිනෝ ලුසියානි ය. 1978 වසරේ පළමුවන ජුවාම්පාවුළු  ලෙසින් ශුද්ධෝත්ත්ම පිය ධුරයට එසවෙන්නේ එතුමා ය.

දින 33 ක් වැනි සීමිත කාලයක් ශුද්ධෝත්තම පාප් ධුරය දැරූ පළමුවන ජුවාම් පාවුළු පාප් වහන්සේගේ අබිරහස් මරණය පිළිබඳ වසර තුනක කාලයක් ඩේවිඩ් යැලොප් විසින් කරන ලද පරීක්ෂණයේ ප්‍රතිඵලය මේ කෘතියයි. ‘‘සිනාසෙන පාප් තුමා‘‘ ලෙසින් නම් කළ මේ හැටපස් වියැති පාප්තුමා පාප්ධූරය දක්වා පැමිණි ගමන, පාප් ධූරයේ සීමිත කාලය තුළ තම කැඳවීම මනාව තේරුම් ගනිමින් ගත කළ නිදහස් මෙන්ම වගකීම්සහගත සුපරීක්ෂාකාරී කාලය, එතුමාගේ අභිරහස් මරණය, එම අභිරහස් මරණයෙන් පසු වතිකානුවේ ක්‍රියාකලාපය කෘතියෙහි අන්තර්ගත ය. එය කොහෙත්ම සුන්දර කතන්දරයක් නම් නොවේ. දේව කැමැත්තට හෝ මනුෂ්‍යත්වයට වඩා ධනය බලය කේන්ද්‍ර කරගත් ධනේෂ්වරයේ පාපිෂ්ඨ හස්තය ශුද්ධවූ සභාව තුළ වුව ද ක්‍රියාත්මක වන ආකාරය සාධක සහිතවම පෙන්වා දේන අතිශය භයංකර එලෙසින්ම වේදනාත්මක හෙළිදරව්වකි.

‘‘රෝමානු කතෝලික සභාව පිරිසිදු කිරීමේ හා ප්‍රකෘතිමත් කිරීමේ අගනා ප්‍රතිපත්තිය නිසා දිවි පිදූ, මෑත කාලයේ ප්‍රාණ පරිත්‍යාගශීලියකු ලෙස ඔහුව පිළිගත යුතුයි.‘‘ 

‘දෙවියන්ගේ නාමයෙන්‘ කෘතිය අවසන් වන්නේ එලෙසිනි. නමුත් ඒ නිමාවක් නොවූ අඛණ්ඩ වගකීමක් බව ද අප වටහා ගත යුතු ව ඇත.

1984 වසරේ පළ වූ මෙම කෘතිය කතෝලික සභාවේ වාරණයට ලක් වී ඇත.

‘දෙවියන්ගේ නාමයෙන්‘  මේ මොහොතේ කියවීම අතිශය වැදගත් වන්නේ වර්තමාන පාප් වහන්සේගේ දැක්ම සහ කාර්යභාරය කොතරම් දුෂ්කර ද, ඒ වෙනුවෙන් එතුමාට මුහුණ දෙන්නට සිදුවිය හැකි අතුරු ආන්තරා කෙබඳුද යන්නත් තේරුම් ගැනීමට ය.

සැබවින්ම දේව රාජ්‍යය මිහිමත උදා කිරීම වෙනුවෙන් වැඩ කිරීම යනු ම අති දුෂ්කර කල්වාරි ගමනකි. ඒ සැබෑ දේව රාජ්‍යය යනු යුක්තිය, සාධාරණය, සමානාත්මතාව රජයන ප්‍රේමයේ රාජ්‍යයක් වන බැවිනි. ජේසුතුමන්ගේ ජීවිතය මෙන්ම පළමුවැනි ජුවාම් පාවුළු පාප්තුමාගේ ජීවිතය ද අපට පෙන්වා දෙන්නේ එයයි.

තහනම් ගහේ ගෙඩිය යන්න ලිංගික කාරණාවකට ලඝු කර දැමීම බරපතල ඓතිහාසික, ආගමික, සමාජයීය අත්වැරැද්දකි. එය තණ්හාව ආශාව මුල් කරගත් බල ලෝභයට, ධන ලෝභයට ගොදුරුවීමට මනුෂ්‍යයා තුළින් පැන නගින්නාවූ සහජ ප්‍රාථමික උවමනාවේ සංකේතයකි. ඒ උවමනාවට යටත්ව තමා තුළ පවතින දේවත්වයට එරෙහිව යාමෙන් මනුෂ්‍යත්වය ද කෙලෙසේ. ධනේෂ්වරය විසින් පැළ කොට පාලක පන්තියේ අනුහසින්, පූජක පන්තියේ ආශීර්වාදයෙන් මනාව නඩත්තු කරනා තහනම් ගස් ය සැමතැන. 

ඉතින් ආදම්, ඒව ට මෙන්ම බොහෝ පාප්වරුන්ගේ සිට කාදිනල්වරුන්ටද, පූජක ගිහි පැවිදි පිරිස් හටද, පාලකයන්ට සහ ධනවතුන්ට ද ඔබට සහ මට ද සුගති උද්‍යානය බොහෝ දුර ඈත විය හැකිය.


Saturday, October 17, 2015

ඉන්පස්සෙ ඔයා නිර්දෝෂයි...


විකල් සිතුවිලි පොළා පැන
කළඹවා ඉස් මස් මනස්
අණ දෙන්නේම මට,
මාව ම කුදලාන
මේ මරු කටෙහි හෙළාලන්නට...
ආදරේ කටු ඉඹුල පේ වුණ
මරු කටෙහි පත්ළටම...

ස්නේහයේ කෙම්බිමක්
සොයා දුවැවිද හෙම්බත් වු
අන්ත අසරණ හදක්
කීතු කීතු ව යන හැටි
බලා ඉන්නට පුළුවනි...

ඊටත් පස්සෙ මට පුළුවනි
තරහ නොවී ඔයත් එක්ක‍
මා එක්කම තරහ වෙන්න...

Tuesday, October 13, 2015

මේ කියවන මාසෙලු..


මේ කියවීමේ මාසය.

මං වගේ පොත් ගුල්ලියන්ට නම් හැම දවසක්ම කියවීමේ දවසක් වෙච්චි අලුතෙන් මාසයක් වෙන් කළයි කියල අමුතු වෙනසක් නෑ.

කියවීමේ රටාවේ පුංචි වෙනසක් කළා මං.

නිතර අත්බෑගයේ තබා ගන්නට එක් පුංචි පොතක්. පිටු 200 නොඉක්මවන. ජංගම පුස්තකාලය මගේ අත්බෑගය වන නිසා ඒවා නිතරම අබලන් වෙනවා. මේක පොකට්ටුවට අනවශ්‍ය බරක්. ෂොපින් කිරීම මට හිසරදේ හැදෙන වැඩක් නිසා නිතර බෑග් කැඩෙන එක අමතර කරදරයක්. ඒ නිසා දුම්රිය, බස්රිය ගමනට අතරමඟ වාත වෙන්නට සිදුවන තැන්වල කියවන්නට නිතරම අත්බෑගයේ තබා ගන්නා පොත පුංචි පොතක් විය යුතුයි මං තීරණය කළා.

වැඩ ඇරී නවාතැනට ගිය පසු මහන්සිය දුරලන්නට සරලව කියවිය හැකි පොතක්.

දෛනික කටයුතු සහ සප්පායමෙන් අනතුරුව සීරුවට පැයක් විතර කියවන්නට තරමක් බරසාර පොතක්.

නිතරම ඇඳ ලඟ තබා ගෙන හිතු හිතු වෙලාවට පෙරළා බලන්නට කවි පොතක් දෙකක්.

සති අන්තයේ ගමේ යන විට දුම්රිය - බස්රිය ගමනට, දරුවන්ගේ අත් අඩංගුවෙන් මිදෙන නිදහස් වෙලාවට ඒත් තරමක් බරසාර පොතක්.

‘‘ඔයා බෝඩිමේදිත් පොත් කියවනවා. ගෙදර ආවමත් පොත් කියවනවා. අපි එක්ක කතා කරන්නෙ නැද්ද?‘‘ අම්මා නෝක්කඩුවක් දැම්මෙ පහුණු ඉරිදා අම්මා චන්දු බබා නළව නළවා ඉද්දි මම ඒ ඇඳේම ඇලවෙලා ‘‘අහම්බකාරක‘‘ වල එල්ලිලා ඉද්දි.

‘‘ඊයෙ දවසම මම පොතක් අතින්වත් ඇල්ලුවෙ නෑ. අදයි මේ ඩිංගක් අතට ගත්තෙ.‘‘ ඒ නෝක්කඩුවෙ ගත යුත්තක් තිබුණත් පොත බිමින් තියන්න කම්මැලිකමට මම එහෙම කිව්වා.

‘‘ඊයෙ දවසම අක්කා පුතා එක්ක හිටියෙ. පොත් කියවන්න ලැබුණෙ නෑ.‘‘ නංගිත් මං පැත්තට සාක්ෂි. ඉතින් මං අහම්බකාරක ඉවර කරලමයි නතර වුණේ.

..........

හිතු හිතු හැටියට නවකතා, පරිවර්තන කියවීම නවතා දැමුවා. යම් තෝරාගැනීමක් ඇතිව කියවන්න උත්සාහ ගන්නවා. විශේෂයෙන්ම විවිධ විෂය ධාරාවන්ට අයිති පොත්, කෙටි කතා, කවි කියවන්න වැඩි අවධානයක් දෙන්න  බලාපොරොත්තු වෙනවා.  

පොත් ගැන ලිවීම අඩු කරන්න ඕනි. ඒක තරමක් භයානක වගේම අමතර කරදරකාරී වැඩක්. හිත් ගන්නා පොත් ගැන කෙටි සටහන් ලියවේවි. ඒත් ඒක අනිවාර්යයෙන් සිදුවේවි කියන්න අමාරුයි.  

පොත් කතන්දර නිසා චිත්‍රපට බැලීම නැවතුණා. ඒක ආයෙම පටන්ගන්න ඕනි. සතියට එක චිත්‍රපටයක්වත්.


ඔන්න ඔහොමයි පොත් ගැන කතා. කෙනෙකුට හිතෙන්න පුලුවනි, පොත් ඇරෙන්න වෙන වැඩක් නැතුව වගේ කියලත්. ඇත්තටම ඉතින් එහෙම තමයි. 

Friday, October 2, 2015

එ'කව ඔබට ය...


සිඟිති අතැඟිලි ලෙළවා ලෙළවා
ඉරු රැස් කෙඳිති බේරෙ දිය මත
පළිඟු සිත්තම් මවන මොහොතක...

සන්සුන්ව ඇදී ආ රිය සක
නුහුරු නුපුරුදු නැවතුමක
අඳුරු වීදුරු තිරය අතරින්
එබෙන සඳවත..

එදා ඒ ළෙංගතු සිනාවම
එදා ඒ පෙම් බැඳි කතාවම
කිසිදු වෙනසක් නැති
එදා ඒ ඔබම ය...

‘‘මේ මගෙ කවි පොත.. ඒ තමයි දෙන්න තියෙන තෑග්ග. ඔයා ගැන එකම එක කවියක් තියෙනවා. පුළුවන්නම් හොයා ගන්න...‘‘

දැල්වෙනා සිනාව ය
එසවෙනා දහස් ඇස් අබියස
ගොළු වෙනා සිතුවිලි ය
නොනැවතුණු බැවින්
එදවස එතැනම මම ද
අද ද නවතනු නොහැකිය
ඔබව ද.... 
යනු යෙහෙකිය..
මේ සිනාවම මිස 
ඇසෙහි තෙත
ඔබ දකිනු නොරිසි ය....

‘‘යන්නං නංගා..... බුදු සරණයි..‘‘

තාම හිත ළඟ සුවඳ ය
ඒ පෙරපුරුදු ස්නේහය
නොමියැදෙන මහිමය
ඇවිළුණා සත්තයි ළය..

හිත පෑරෙනා හැම රෑක
කඳුළක සිහිනමය ලැගුම් පල
ඒ පුළුල් උරහිස ය
වදනසිපතින් හිත 
හීරෙනා හැමදාක
ළතෙත් මුදු හද බසක
සිහිල සිහිවන අරුමය...

දුරකථන හද වෙණ තත් සිහින් ස්වරයෙන් වැයේ.
ඒ ඔබ ය.

‘‘කෝ මගේ කවිය.. පිටුව කියන්න..‘‘
‘‘ම්හ්.. කියන්නෙ නෑ...ඔයා හොයා ගන්න ඕනි..‘‘
‘‘හැත්තැ තුන පිටුව නේද?‘‘
‘‘ආ...............‘‘

විස්මපත් වෙමි.

කවියක ළෙංගතුකමින්
අප බැඳුණු හැටි එදවස
හසුනෙන් හසුනට මුසු වුණ 
කවිකම්හි උණුහුම
මට ම අමතක වීම කදිමය...