පිටු

Friday, November 13, 2015

කවිකාර කිවි දේශය


සුනේත්‍රා.... සුනේත්‍රා.. සුනේත්‍රා...

තෘෂ්ණාව දුරු කරන්න ඕන, නොඇලී ඉන්න ඕනය කිය කියා ලෝකෙ වටේ ඇවිදිනවා මදිවට ඒව පොත්වල ලිය ලිය ඔයා අපේ සංසාරෙ දිග්ගස්සනවා.

සුන්දර රස්තියාදුවට ලොබ බැන්ද හිතක අතිශය තෘෂ්ණා උපදවන තාලෙ පොතක් මේ. ‘‘කවිකාර කිවි දේශය‘‘. නවසීලන්තයේ දකුණු දුපතේ සැරිසරක විස්තර අරන් එන්නෙ ගංඟා, ඇල දොල, විල් සිසිලස, ඈත හිමෙන් වැසුණු කඳු මුදුන්, මෑත තණ බිම්, බැටලු මුව රංචු, අනන්තාප්‍රමාණ මල්, සුන්දර මිනිසුන් සහ ඔවුන්ගේ ජීවිත අන්දර, ඓතිහාසික වගවිත්ති, ඕපදූප මේ සියල්ලත් එක්කම.

වකටිපු විල


යන එන තැන්වල ඇස ගැටුණු ගම්බද කවි කවිකාරබවට හොඳම සාක්ෂි. ඒ කවි තුළ තියෙන්නෙ බෙහොම අහිංසක විදියට ජීවිතය. හරියට අපේ ජනකවි වගේ.  

සියල්ල අතහැර සොබාදහමත් එක්ක නිස්කලංක ජීවිතයකට ගම්බදට එන මිනිසුන් එක්කම කොළඹට පොදි ගැහෙන මිනිස්සු ගැන කරන විග්‍රහයෙ මට මා ගැනත් හිතන්න දෙයක් ඉතිරි වෙලා... 

‘‘ඇරෝ ටවුන්වල ඉඳලා ආපසු එනකොටත් මට හිතුණෙ යම් කෙනෙකුට සැබවින්ම ශාන්ත සුන්දර පරිසරයක ජීවත් වෙන්න උවමනා නම් අතහැරිය හැකි දේවල් ලැයිස්තුවක් හදල බැලිය යුතු බවයි. ඒ කියන්නෙ කොළඹ ගෝත්‍රයේ දිගු කලක් හිටිය කෙනෙකුට චිත්‍රපට උළෙලවල් හා නාට්‍ය නැරඹීම ගෝත්‍රික සංවාද දේශන අවශ්‍ය ද නැතිද?...‘‘ 47 පිටුව  

ඇරෝ ටවුන් පැරණි නිවාස

නවසීලන්තවාසීන් පරිසරයට දක්වන ආදරය, ගෞරවය, පරිසරය රැක ගන්නට දරන වෙහෙස අනේ ඇයි අපට එහෙම බැරි වගේ හැඟීමක් ඇති කරනවා. නීතිය සහ සාමය ක්‍රියාත්මක වෙන යහපාලනයක් පවතින්නෙ  විනයගරුක පුරවැසියන් වගේම විනයගරුක පාලකයනුත් ඉන්න රටක. ඒ ලස්සන සමාජය ගොඩනැගෙන තුරු අපට තව කොයි තරම් නම් බලන් ඉන්න වේවිද? අරගල කරන්න වේවි ද?

බැටලු රංචු

මුවන් ඇති කරන්නෙත් ආදරයට නෙවෙයි...


මේ පොතේ හොඳටම හිනා යන කතන්දරේ තමයි බීම හලකට ඇතුල් වෙලා එය වසා දමන්න යාච්ඤා කරන කාන්තාවන් වෙනුවෙන් බීමහල් හිමියා දෙවියන්ට කරන යාච්ඤාව... බොහොම දිග යාච්ඤාවක් නිසා මෙතන ලියන්න හිත අදිමදි කරනවා. 69 පිටුව බැලුවොත් හමුවේවි.

චිත්‍රාගාර, කෞතුකාගාර, ආපන ශාලා, ගැමි ගෙවල්, ගම්බද මංමාවත්, කැලෑ, දූපත් අස්සෙ මේ කරක් ගැහිල්ල මගේ හිත ඇඳ බැඳගන්නෙ පුදුම විදියට.

ඩනඩින්වල ඔටාගෝ විශ්ව විද්‍යාලය

රස්තියාදුවෙ යන අතරම කෞතුකාගාරවලට වෙලා තොරතුරු රැස් කරන්නත්, පොත් කියවන්නත්, කවි කියවන්නත් වෙලාව හොයාගන්නෙ කොහොමද කියන විස්මයෙන් මිදෙන්නත් අමාරුයි. මේ සියල්ලම අස්සෙ කතාකාරියට පණ ලැබිලා අහන දකින විඳින දෑ එක්ක කතා ගෙතෙන හැටිත් හරි අපූරුයි. දවසට එක ගානෙ වුණත් කතා ලියන්න පුලුවන්, ඒකෙ ආයෙ පුදුමවෙන්න දෙයක් නැහැ. එක තැන පල් නොවන ජීවිතය කොයි තරම් වාසනාවක්ද?

ආදිවාසික මාඕරි ජනතාව

සුන්දර රස්තියාදු ගමන් කියන්නෙ මගේ හදවතේ පැලපදියම් වෙච්ච හීන. තාම සිරීපාදෙ නැගල නැති වුණාට සකුරා මල් පිපෙන කාලෙක ජපානයට යන්න, ශුද්ධවු දේශය, ප්‍රංශයේ ලූර්දු, ලාඕස් වියට්නාම් වගේ රටක්, අප්‍රිකානු වනාන්තරයක්  වගේ මහා පරිමාණ හීන තියෙනවා. ඒ අතර නවසීලන්ත හීනයකුත් හිතේ ගැඹුරෙම පැලපදියං වුණා.  

සුනේත්‍රා පණ පිහිටුවල සුන්දර රස්තියාදු සටහන් ලියන තාලෙට වෙලාවකට හිතෙනවා මේ ඇත්තක්මද නැත්නම්,  මේ කවිකාර කතාකාරිට මැවෙන හීන ද කියලත්...




( පොතේ පින්තූර තිබුණෙ නැහැ. මම මේ පින්තුර හොයාගත්තෙ අන්තර්ජාලයෙන්. සරසවි ප්‍රකාශනයක්. මිල නම් රු. 250.00 )

Friday, November 6, 2015

රන් කරඬුව අත් හරිමු ද?



සාමාන්‍ය පෙළ කරල ගෙදර ඉන්න කාලෙ ( අපට එහෙම කාලයක් තිබුණා. අර කෝස් මේ කෝස් අර පන්ති මේ පන්ති නැතුව... ) අසල්වැසි දනව්වක තිබුණ පුස්තකාලෙට පුස් බයිසිකලයෙන් ගිහින් පොත් ගෙනත් පිස්සුවෙන් වගේ කියවන ගන්ධබ්බ අවධියක තමයි මට ජයසේන ජයකොඩි ගෙ පිච්ච මල, අරලිය මල් ආරාමය, මහමෙර, උපේඛා පොත් ඇහැ ගැටුණෙ.

මහමෙර, උපේඛා කියෙව්වම උපේඛා තෙරණියට වගේ මටත් ආරාමයක් හදාගෙන නිස්කාන්සුවේ ඉන්න ඕන වගේ හැඟීමක් දැනෙමින් තිබුණා. ගහකොලවලින් වටවුණු, නිස්කලංක තැනක නිසංසලව ඉන්න ජීවිතයක් ගැන හීනයක් මැවුණා.

ඊටත් අවුරුදු විස්සකට පස්සෙ කුරුලු කෙවිල්ලන්ගෙ හඬයි, සීතල සුළං රැලියි, ගහකොලයි එක්ක මිනිස් වාසයෙන් තරමක් බැහැරට වුණු මගේ ගෙදරට වෙලා ඉද්දි මට හිතෙනවා ඒ එදා සිහින දුටු ආරාමය නේද මේ කියල.


........

මේ ආරාම කතන්දරේ මතකය අලුත් වුණේ ‘‘රන් කරඬුව නවකතාව කියවමින් ඉද්දි. මුලින්ම කියන්න ඕන මම මේ නව කතාවට කැමති වග. සම්මාන කතන්දර එක්ක කළඑලි බහින නවකතා කියවීම පසුවට කල් දැමූ මොහොතක රන් කරඬුව අතටම ගෙනත් දීලා ‘කියෙව්වද‘ කියල කීප වතාවක්ම ඇහුවෙ චම්පි.

රන් කරඬුව කියවමින් යද්දි හෙස ගේ සිද්ධාර්ථ, කසාන්සාකිස්ගෙ සෝර්බා, පාවුලෝ ගෙ සන්තියාගෝ විටින් විට හිතට එබිකම් කළා. අධ්‍යාත්ම ගවේෂණය, ජීවිත ගවේෂණය ගැන ලියැවුණු මට දැණුනු පොත් අතර  ඉදිරියෙන්ම තියෙන පොත් ඒ. මම ඒ පොත්වලට කැමතියි. ඒ අතර බෞද්ධ සාහිත්‍යය ඇසුරු කරගනිමින් භික්ෂුවකගේ අධ්‍යාත්මික අරගලය ගැන කියවෙන රන් කරඬුව විශේෂ මතකයක් ඉතිරි කරන සිංහල නවකතාවක් වේවි.

‘‘රන් කරඬුව‘‘ භික්ෂුවකගේ වන්දනා ගමනක් කේන්ද්‍ර කරගත් කතාවක්. එය සිදුවන්නෙ ඉන්දියාවෙ. විශේෂයෙන්ම බුදුන් වහන්සේගෙ ජීවිත සිද්ධි එක්ක බැඳුණු ස්ථාන වන්දනාමාන කරගන්නා අදහසින් එන භික්ෂුවගෙ අධ්‍යාත්මික අරගලය ඒ හා බැඳුණු වෙනත් පුද්ගල ඇතුළාන්ත අරගල වගේම සමාජ දේශපාලන ආගමික අරගලත් මේ කෘතිය තුළින් මතුවෙනවා. බුද්ධකාලීන සිදුවීම්, සහ භික්ෂුවගේ වර්තමාන ජීවිතයත්, වන්දනා ගමනත් අතර කාල තරණය පටළැවිල්ලක් නොවන ආකාරයට ගොතන්නට සමත්වීම දක්ෂකමක්.


ජීවිතය කියන්නෙ ගමනක්. සමහර විට වන්දනා ගමනක්. තවත් විටෙක විනෝද ගමනක්. ගමනේ අරමුණ ලෞකික සුවය වෙන්න පුළුවනි. ලෝකෝත්තර සුවයක් වෙන්නත් පුළුවනි. බොදුනුවන් නිවන සොයා සංසාර වන්දනාවේ යෙදෙන විට, කිතුනුවන් ස්වර්ගීය සැනසුම සොයා වන්දනාවේ යෙදේවි. ක්‍රිස්තියානිය කියන්නෙත් විමුක්තිය සොයා යන වන්දනාවේ ගමනක්. පැරණි ගිවිසුමේ සිට පැවතෙන අදහසක් ඒ. නාම පුවරුවල, මඟ සලකුණුවල සංඥා, සංකේත, භාෂාමය වෙනස්කම් තිබුණාට අපි හැමෝම යන්නෙ එකම ගමනක්.  
     
‘‘රන් කරඬුව‘‘ භික්ෂුවකගේ අධ්‍යාත්මික අරගලය කේන්ද්‍ර කරගනිමින් ලියැවුණාට අප සියල්ලන්ම මුහුණ දෙන ඇතුළාන්ත අරගලය ඒ තුළ තියෙනවා. මමත් මා තුළම එවැනි අරගලයක ඉන්න නිසාම ද මන්ද මට මේ පොතට කැමැත්තක් දැනෙන්නෙ. පුද්ගල කේන්ද්‍රීය අරගල, සමාජ අරගලවලින් වෙන් කරල, හුදකලාව කියවාගන්න කොයි තරම් අසීරුද කියලත් හිතෙනවා. සමාජ අරගල වගේම පුද්ගල අධ්‍යාත්මික අරගල පැන නැඟෙන්නෙත් පීඩිත පන්තියේ අරගලයත් එක්කම. දරිද්‍රභාවය කියන්නෙ ආර්ථික දුබලතාවක් පමණක්ම නෙවෙයි. රන් කරඬුව වුණත් ඒ ගැන සියුම්ව කතා කරනවා.

අත්හැරීම කොතරම් අසීරු ද? අල්ල ගැනීම වේදනාවක්. අත්හැරීම සුවයක්. ඒ බව දන්නවා වුණත් අත්හැරීම ලේසි නැහැ. භික්ෂුව පැන්සල් කොටය, පතරොම් කොපුව වගේම රන් කරඬුවත් බදා වැළඳගන්නෙ තණ්හාවෙන්, ආශාවෙන් පමණක් ම නෙවෙයි. සමහර විට යුතුකමක් වගකීමක් පිළිබඳ හැඟීමෙන්. සමහරවිට ඒවා හදවත බදා වැළඳගත් ගැඹුරු තුවාල. සුවපත් වීම අපහසු. තවත් විටක දතක පුංචි හෙළවීමක් සියුම් වේදනාවක් පාර පාරා මිහිරි සුවයක් විඳිනව වගේ වැඩක්.

කෘතිය අවසානයේ මෙහෙණිය හමු නොවීම අත්හැරීම වෙනුවෙන් හිත හදාගන්නට භික්ෂුවට හැකි වුණා නම් මම කැමතියි. ඒ තරම් දුරක් මහත් වැරවෑයමෙන් අල්ලාගෙන පැමිණි දෑ එතරම්ම පහසුවෙන් අත්හැරිය හැකිද? එහෙමත් නැත්නම් නිරායාසයෙන් ගිලිහී යනවාද? ප්‍රශ්නයක්? සමහර විට හදවත ගැඹුරට කා වැදුණු තුවාල සුවවෙන්න කාලය ඔසුවක් වෙන්නෙත් එහෙම වෙන්න පුලුවනි.

ගුප්ත ගේ චරිතය මට සිහිපත් කරන්නෙම සෝර්බා... ගුප්ත අත්හැරීම ප්‍රගුණ කරන්නෙ අල්ලාගැනීමේ තෘප්තිය කෙළවර. ගුප්තට ජීවිතය පහසු වෙන්නෙ ඒ නිසා විය යුතුයි. භික්ෂුව සහ ගුප්ත එකම කාසියේ දෙපැත්ත. එකම ගමනකදී එකවර මේ දෙදෙනාම හමුවීම සංකීර්ණ කල්පනා ලෝකයකට පාඨකයා ඇදල දානවා.



මායා යථාර්ථවාදය අපට එන්නෙ බටහිරින්ය කියන අදහස තිබුණත්, බුදු දහම මුල් කොට ගත් අපේ සාහිත්‍යය ඇසුරු කරද්දි මායාව සහ යථාර්ථය ගැටෙමින්, මැඩෙමින්, වැඩෙමින්, මුසුවෙමින් ජීවිතාවබෝධය අවුළුවන තැන් අප්‍රමාණව හමුවෙනවා.

බටුවන්ගල රාහුල හාමුදුරුවෝ බෞද්ධ සාහිත්‍යයත්, සංකල්පත් වර්තමානය එක්ක පාහමින් නිර්මාණය කරන මේ නව කතාව මායා යථාර්ථවාදය නූතන ලාංකේය සාහිත්‍යයට ගළපාගන්න විදිය පිළිබඳව දෙන්න පුළුවන් හොඳම නිදසුනක් කියලයි මට හිතෙන්නෙ. මායාව සහ යථාර්ථය සියුම්ව, ඉතාම දැනුවත් ව, උපක්‍රමශීලීව කතාව සමඟ බද්ධ කරගන්න කතුවරයා සමත්වෙලා තියෙනවා. බෞද්ධ දර්ශනය ගැනත්, බෞද්ධ සාහිත්‍යය ගැනත් තියෙන දැනුම් සම්භාරය ඒ ගෙත්තමට සාධාරණයක් ඉෂ්ටකරන්න උදව් වෙලා තියෙනවා.  

රන් කරඬුව කියවා අවබෝධ කරගන්න තරම් බුදු දහම ගැනත්, බෞද්ධ සාහිත්‍යය ගැනත් මා සතු දැනුම ගැන ඇත්තෙන්ම මට නිහතමානී සතුටක් දැනෙනවා.

මගේ කවි පොත කියවූ කිවිඳියක් දැක් වූ එක් අදහසක් තමයි කතෝලික ආගමික පරිසරයෙන් ගන්නා සිදුවීම්, වචන නොදන්නා නිසා සමහර කවි රසවින්දනයට යම් බාධාවක් සිදුවන බව. මේ සම්බන්ධයෙන් කිතුනු පසුබිමකින් එන ප්‍රවීණයකු සමඟ කළ සංවාදයේ දී ඔහු දැක් වූ අදහසක් තමයි බෞද්ධ පසුබිමක් සහිත නිර්මාණ රස විඳීමේ දී කවදාවත් අපට එවැනි අපහසුතාවක් නොදැනෙන එක ගැන අප සතුටු විය යුතු බව. ඒ කතාව ඇත්ත.

ජීවිතය වන්දනාවක්. අපි එහි ගමන් සගයෝ. පැන්සල් කොට, පතරොම් කොපු, රන් කරඬු අත්හරින්න එක්වරම අපට නොහැකි වේවි. භික්ෂුව, භික්ෂුණිය, ගුප්ත ගේ ගමන වගේ ම අපේ ගමනත් තවම නිමි නෑ. කෙම්බිම තව බොහෝ දුර විය හැකියි.

රන්කරඬුව නවකතාව - බටුවන්ගල රාහුල හිමි
සදීපා ප්‍රකාශනයක්
මිල රු. 300.00