Thursday, February 18, 2016

අනවසර කුඹල් ගෙය


අනවසර කුඹල් ගෙය
සාලේ හරි මැද ම
පොකුරු වීදුරු පහනේ
පළිඟු  මිණි වැලක
එල්ලීගෙන...

මුතු  දිලෙන දිස්නයේ
අමුතුවට
අඳුරු රළු දුඹුරු පෑයට
අනවසර කුඹල් ගෙය
සාලේ හරි මැද ම...

එසවෙනා කොසු මිට
රොස් සිතින
සැණෙන් විළිබරව
හැකිළීගෙන

මැටි කුටිර කවුළුවෙන්
එබීගෙන
ළෙල දෙන සිඟිති ඇස්
සිනා අහුරක් අයදින
හිස් කුසින් නැගෙන දෙස්
ඉවසන...
අම්ම, අප්පා කොයිද
මඟ බලන..




Tuesday, February 16, 2016

බම්බු වෙදා ගේ සිට ධර්මිෂ්ඨ සමාජයට



නාට්‍ය කලාව අපේ ජීවිත එක්ක මුලින්ම පැටලෙන්නෙ මොන්ටිසෝරියෙදි මට දැනෙන විදියට. මගේ මුල් ම මතකය තමයි ගමරාළ දිව්‍ය ලෝකෙ ගිය හැටි රඟදැක්වූ ආකාරය. ටීච තමයි ඒ දිව්‍ය ලෝකෙන් ආව අලියා වුණේ. එයා රෙද්දකින් තමන්ව වහගෙන අත හොඬවැලක් විදියට පෙන්නුම් කළා. ගමරාළ පිටිපස්සෙන් වැටිල දිව්‍ය ලෝකෙ යන්න අලියගෙ නැට්ටෙ එල්ලුණු ගැමියො අතර මාත් උන්නා.
ඉන්පස්සෙ දහම් පාසල, ළක්‍රිවී (ළමා ක්‍රියාකාරී වීරයෝ) සමිතිය, තරුණ සමිතිය, පාසල් සාහිත්‍ය සමිතිය, උසස් පෙළ නාට්‍ය කලා විෂය ධාරාව නාට්‍ය කලාවට තිබුණු ඇල්ම වැඩි කළා. 

පුංචිම සන්දියෙ වැඩියෙන්ම රඟ දැක්වුණේ බම්බු වෙදා. 

මම බම්බු වෙදායා.. මම රටේ වෙදායා
ඕනම ලෙඩකට දෙන්නේ එකම කසායා.. 

ඇයි දොම්පෙට යන පාර අහපු හැටි..

දොම්පෙට යන පාර කොයි බදෝ.. මාමේ මට කියාදෙනවදෝ
බතල හොඳට බැහැල තියෙනවා.. හාරනකල් ටිකක් ඉන්නවා...

මහදැනමුත්තගෙ කතන්දර, අන්දරේ සීනි කෑව හැටි ඔය වගේ හාස්‍ය රසයෙන් පිරුණු කතන්දරනෙ පුංචි කාලෙ අපි වැඩියෙන්ම රඟ දක්වන නාට්‍ය. ඒවයෙ නිෂ්පාදක, අධ්‍යක්ෂක, නළු නිලියො, ප්‍රේක්ෂකයො ඔක්කොම අපි තමයි. මට  නිතරම සිද්දවුණු අලකලංචියක් තමයි වේදිකාව මත හාස්‍යය උත්පාදනය වෙන අවස්ථාවල හිනාව නවත්ත ගන්න බැරි වීම. ඉතින් කොයිතරම් දක්ෂ නිළියක් වුණත් වේදිකාව පිටිපස්සට දුවලා හිනාව ඉවර කරගෙන එන්න සිද්ද වුණා.



ඔහොම ආව නාට්‍ය ඇල්ම වැඩි දියුණු වුණේ ළමුන් කැටුව යන අනුශාසක කෙනෙක් විදියට ළක්‍රිවියට සම්බන්ධ වුණාම. ළමුන් එක්ක වැඩ කරන්න අපි නාට්‍ය ජවනිකා, රංගනයන් උදව් කරගත්තා. ළමුන් වෙනුවෙන් පැවැත්වූ වාර්ෂික සන්නිවේදන වැඩමුළුවෙ එක් වරුවක්ම වෙන් වුණේ නාට්‍ය කලාව ගැන කතා බහට සහ නාට්‍ය කරන්න. ඉතින් අපිත් නොදැනිම නාට්‍ය ශිල්පියො වෙනවා මොහොතකට හරි.

සමීර නිශ්ශංක ( දැන් මීගමුව මාරිස්ටෙලා විදුහලේ නාට්‍යාචාර්ය), ක්‍රිශාන්ත ද සේරම් (  නාට්‍යෙව්දී, බිංගිරිය ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථීකාචාර්ය) සහෝදරවරුන් මුල් වෙලා අපි දෙවරක් ළක්‍රිවියෙ ජාතික මට්ටමින් නාට්‍ය වැඩමුළු පැවැත්වුවා. දිගටම වැඩමුළුවලට සම්බන්ධ වෙන්න නොහැකි වුණත් පහසුකම් සපයන්නියක් විදියට ඒ වැඩමුළුවලට උදව් වුණ නිසා එයිනුත් යම් අත්දැකීම් ලැබුණා. ඇත්තටම නාට්‍ය ගැන පිස්සුවක් වෙන තරමට ඇල්මක්. ඒත් අනිත් වැඩ අතර ඒ ඇල්ම යටපත් වුණා.

නාට්‍ය එක්ක ළක්‍රිවියේ තිබුණු බැඳීම ‘‘බාලයන් තුළින් නව ලොවක්‘‘ කියන ළක්‍රිවි දැක්මත් එක්ක බද්ධ කරගනිමින් නාට්‍ය කලාවත් එක්ක ඉදිරියටම ගිය දෙන්නෙක් තමයි ශානක මල්ලි (වෙන්නප්පුව), ජූඩ් මල්ලි. ( කුලියපිටිය) එයාල අද ඉන්න තැන ගැන ඇත්තටම සතුටුයි. රාජකදළුවෙ ලංකා ත් මේ මොහොතෙ මතක් වෙනවා. 


අවුරුදු පහකට විතර එපිට ශානක මල්ලිටත්, ජූඩ් මල්ලිටත් මහා ඕනෑකමක් තිබුණා ළක්‍රිවිය එක්ක නාට්‍ය කණ්ඩායමක් පටන්ගන්න. විශේෂයෙන්ම එයාල ලබා ගත්ත දැනුම ළක්‍රිවියත් එක්ක බෙදාගන්න. ‘‘අපිට මේ ගමන එන්න මුල් අඩිතාලම දැම්මෙ ළක්‍රිවිය. ඒ නිසා අපි ලබාගත්ත දේවල් ළක්‍රිවියත් එක්ක බෙදාගන්න එක අපේ යුතුකම.‘‘ එහෙමයි එයාල නිතරම කිව්වෙ.

ඉතින් මුල්ම සාකච්ඡාවන් හෙම කරලා ළක්‍රිවී අනුශාසකවරුන් එක්ක අපි වැඩේ පටන්ගත්තා. පළමු හමුවීම් තිබුණෙ ආඬිඅම්බලම සමාජ හා සාමයික කේන්ද්‍රෙය. ෆාද තිස්ස බාලසූරියගෙ මධ්‍යස්ථානෙ. ආරම්භක පියවරට ශක්තියක් වුණු එවකට ළක්‍රිවී ජාතික අධ්‍යක්ෂ ගරු ජෝ කුරේ පියතුමාවත් ආදරයෙන් සිහිපත් කළ යුතුයි. ආර්ථීක ගැටලු විසඳගන්න ගරු මේරියස් පියතුමා සහය දුන්නා. ප්‍රභාත් අයියා, පෝල් මල්ලි, මම ඇතුළුව විස්සකට එහා පිරිසක් එකතු වුණා. අපි නමකුත් දාගත්තා. ඒ තමයි ‘‘තලෙන්තු නාට්‍ය කණ්ඩායම‘‘ 

ජීවිතයට ලැබී තිබුණු තලෙන්තු කොයි තරම් වුණත් අපිට දිගටම තලෙන්තු නාට්‍ය කණ්ඩායම එක්ක ඉන්න බැරි වුණා. "අක්කා රඟපෑවෙ නැතත් කමක් නෑ. ලියන්න පුලුවන්නෙ. අක්ක අපි එක්ක ඉන්න." එයාල කිව්වෙ එහෙමයි. මමත් ආරම්භයෙදි පුදුමාකාර උද්‍යොගයකින් තමයි නාට්‍ය වැඩමුළුවට ආවෙ. ඒත් ටික දවසක් යද්දි ගමේ යන්න තියෙන සති අන්තය අහිමි වෙන බව දැනෙද්දි මගේ හිත පසුබාන්න ගත්තා. මාස ගණනක් ගතවෙද්දි එකිනෙකා හැලිලා නාට්‍ය කණ්ඩායමට ඉතිරි වුණේ කිහිපදෙනෙක්. 

නමුත් ශානක සහ ජූඩ් මල්ලිලා කිසි විටක තමන්ගෙ උත්සාහය අත්හැරියෙ නැහැ. ක්‍රමයෙන් ළක්‍රිවියට බාහිරින් තරුණ පිරිසක් මේ නාට්‍ය කණ්ඩායම එක්ක අත්වැල් බැඳගත්තා. ඉන්පස්සෙ කණ්ඩායමට නමක් තිබුණෙ නෑ. නමුත් එයාල දිගටම වැඩමුළු පැවැත්වුවා. අභ්‍යාස කළා. නිර්මාණ කළා. හෙමින් හෙමින් නමුත් බොහොම සාර්ථක ගමනක් ඉදිරියට ආවා. නාමල් ජයසිංහ සහෝදරයා අත්වැල් බැඳගැනීම නාට්‍ය කණ්ඩායමට ලොකු ආශිර්වාදයක් වුණා. මරදාන ළක්‍රිවි කාර්යාලය ඒ වෙනුවෙන් පහසුකම් සපයන නවාතැනක් වුණා. වත්මන් ළක්‍රිවී ජාතික අධ්‍යක්ෂ ගරු නිලූෂන් පියතුමා ඇතුළු ජාතික කාර්යාලය ලබා දෙන සහයත්, නිර්මල මරිය නිකායේ ප්‍රාෙද්ශාධිපති ගරු රොහාන් සිල්වා පියතුමාගේ දිරිගැන්වීමත් නාට්‍ය කණ්ඩායම මහත් කෘතවේදීව සිහිපත් කරනවා.

ඉතින් ඒ නමක් නැතිව ආව නාට්‍ය කණ්ඩායම Unnamed Theater Group නමින් දැන් කෙටි නාට්‍ය දැක්මක් පවත්වන්න සූදානම් වෙනවා. ඒ පෙබරවාරි 18 වෙනිදා සවස 3.30 ට සහ 7.00 බොරැල්ල පුංචි තියටර්හි දී.. 


ජූඩ් ක්ලෝඩියස් ගේ  ‘‘දාහක් දෙනවකෝ“, ‘‘ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු.‘‘, සමන්ත පරණලියනගේ ගේ ‘‘කිරිඅම්මා අවතාරය‘‘, ප්‍රදීප් ඇරෑගම ගේ ‘‘ආණ්ඩුවෙන් රස්සාවක්‘‘කෙටි නාට්‍ය ඒ අතර වෙනවා.  Unnamed Theater Group සමඟ කළ සංවාදයක් මේ. 

1.   මොකක්ද මේ Unnamed Theater Groupකියන්නේ?

දැනට අපි දකින බහුතර නාට්‍ය කණ්ඩායම් බොහෝ වෙලාවට කිසියම් අධිකාරියක් මගින් මෙහෙයවමින් යන්නක්. එක පුද්ගලයකු වටා හෝ සංවිධානගත ආයතන ව්‍යුහයක් තුළට ඒකරාශිවීමක්. Unnamed Theater Group මේ තත්ත්වයෙන් ඈත් වුණ එකක්. නාට්‍ය කලාව තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය කරගත්ත තරුණ තරුණියන් පිරිසක් තමයි මේකෙ ඉන්නේ. ඒක මෙහෙයවන්න කවුරුත් නැහැ. ඒක පවතින්නේ එකිනෙකාගේ වැඩ කිරීමේ උවමනාව මත. අපේ එකතුවේ පදනම වෙන්නේ ඒකම තමයි.

2.   මේ නමක් හදාගන්න කරන වැඩක් ද? නමක් නැතිව වැඩක් කරන්න පුලුවන් වාතාවරණයක් මේ මොහොතෙ ලංකාවෙ තියෙනවයි කියල ඔබ හිතනවද?

නමක් හදාගැනීමේ උවමනාවක් අපට නැහැ. නමුත් අපේ ප්‍රකාශන මාධ්‍ය වන නාට්‍ය කලාවත් එක්ක වැඩ කිරීමේ, අපේ සමාජ කියවීම බෙදා හදාගැනීමේ උවමනාවක් අපට තියෙනවා. ඒකට නමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. නමක අවශ්‍යතාව මතුවෙන්නෙ අපි කරපු නිර්මාණ ටික සමාජය ඉදිරියට අරන් යන්න ඕන වුණාම. මොකද වැඩේට වඩා නම වැදගත් කියල හිතන සමාජයක් මේක. කසාදයක් කරගන්න ගියාම කුලේ මොකක්ද? පරම්පරාව කොයි වගේද? ජාතිය, ආගම මොකක්ද කියල හොයන රටක නිර්මාණකරුවන්ට වුණත් එවැනි මිනුම්දඬුවලින් බේරිලා ඉන්න අමාරුයි. කොතරම් හොඳ නිර්මාණ කළත් අපෙත් ජාතකේ හොයයි නේද?

අපි එකතුවක් විදියට අවජාතකව බිහිවුණේ. මේ නිර්මාණ ටික ප්‍රේක්ෂාගාරයක් ඉදිරියට ගෙන යාමේ උවමනාව දැඩි නිසා මේ අවජාතක දරුවට නමක් දෙන්න උවමනා වුණා. ඉතින් අපි බොහොම උජාරුවට නමක් දාගත්තා. ඒ තමයි Unnamed Theater Group.

3.   නමක් නොතිබුණාට මේ වෙද්දිත් ඔබ සම්මානිත නාට්‍ය කණ්ඩායමක් ?

ඔව්. ඒක හරි.

පසුගිය වසර කිහිපය තුළ අපි කරපු නිර්මාණ පෙන්වා ගැනීමේ වේදිකාව බවට පත්වෙන්නෙ යෞවන හා රාජ්‍ය නාට්‍ය උළෙලවල් දෙක. අපි ඉදිරිපත් කළ හැම නිර්මාණයක්ම වගේ ඇගයීමට ලක් වුණා. ‘‘ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු.‘‘ නාට්‍යය 2013 යෞවන නාට්‍ය උළලේදී හොඳම නිෂ්පාදනය, හොඳම පිටපත, හොඳම අංගරචනය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම නළුවා, නාට්‍ය උළලේ තුන් වන ස්ථානය ආදී ලෙස සම්මාන ලබා ගත්තා. මෙම නාට්‍යයම 2014 රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම පිටපත, හොඳම නිෂ්පාදනය, දෙවෙනි ස්ථානය ඇතුළු සම්මාන 6 ක් දිනාගන්නවා.

ඒ වගේම ‘‘කිරි අම්මගෙ අවතාරය‘‘ නාට්‍යය 2015 යෞවන සම්මාන උළලේ හොඳම නිළිය, හොඳම නිෂ්පාදනය ඇතුළු සම්මාන 03 ක් ලබා ගත්තා. ‘‘දාහක් දෙනවකෝ‘‘ නාට්‍යය 2015 යෞවන සම්මාන උළලෙදි හොඳම පිටපත, හොඳම අංග රචනය, හොඳම වේදිකා පරිපාලනය ඇතුළුව සම්මාන 04 ක් දිනාගන්නවා. 

සම්මාන බලාපොරොත්තුවෙන් වැඩ කළා නෙවෙයි. නමුත් අපේ මහන්සිය යම් ඇගයීමකට ලක්වීම සතුටක්.

4.   18 වෙනිදා පුංචි පුංචි නාට්‍ය එකතු කරගෙන පුංචි රඟහලේ කෙරෙන වැඩේ මොකක්ද?

මේ මාසෙ 18 වෙනිදා අපි මේ කරපු නිර්මාණ කිහිපය වේදිකාගත වෙනවා. සම්මාන උළෙලකින් ලැබෙන සම්මානයකින් කුල්මත් වෙලා, ඒ වැඩේ එතනින් නතර කර දැමීමේ උවමනාවක් අපිට නෑ. කවුරුවත් අපට අනුග්‍රහය දක්වයි කියල බලාගෙන ඉන්නෙත් නැහැ. මොකද අපේ උවමනාව වුණේ මේ නිර්මාණ ප්‍රේක්ෂාගාරයක් වෙත ගෙන යාම. එහෙම නොවුණොත් වසර ගණනාවක අපේ සාමූහික කැපකිරීමෙන් වැඩක් නැති වෙනවා.

මේ සමාජයෙ ජීවත් වෙද්දි අපිට දැණුනු රිදුණු තැන් තියෙනවා. ඒ ගැන අපට කියවීමක් තියෙනවා. ඒ රිදුම, ඒ කියවීම තමයි මේ නිර්මාණ හරහා එළියට එන්නෙ. සමාජයත් එක්ක අපේ කියවීම ගළපගන්නෙ කොහොමද, ගැළපෙන්නෙ කොහොමද, අපට එකට ගමනක් යන්න පුලුවන්ද කියල ප්‍රායෝගිකව අත්හදා බලන්න තමයි මේ සූදානම.

පෙබරවාරි 18 වෙනිදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි රඟහලේ අපි කළ කෙටි නාට්‍ය හතරක් වේදිකාගත වෙනවා. ‘‘දාහක් දෙනවකෝ“, ‘‘කිරිඅම්මා අවතාරය‘‘, ‘‘ආණ්ඩුවෙන් රස්සාවක්‘‘ සහ ‘‘ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු.‘‘එන්න, ඇවිත් බලන්න, අපිත් එක්ක එකතුවෙන්නකියන ඇරයුම කරන්න කැමතියි.

5.   ලංකාවෙ නාට්‍ය කලාව පවතින්නෙ අගනුවර කේන්ද්‍ර කරගෙන, මේ තත්ත්වය වෙනස් විය යුතුයි නේද?

වේදිකා නාට්‍ය දැඩි උවමනාවෙන් බැලීමේ පුරුද්දක් අපේ රටේ මිනිස්සුන්ට නැහැ. කෙටි නාට්‍ය සම්බන්ධයෙන් තත්ත්වය තවත් බරපතලයි. කොළඹ තත්ත්වයත් ඒකයි. කොළඹින් පිටට ගියාම එහෙම පිරියක් වත් නැහැ. මේ තත්ත්වය වෙනස් කිරීම නිර්මාණකරුවන්ට විතරක් කරන්න පුලුවන් කාරණාවක් නෙවෙයි. ඒකට මුලු සමාජයක් සූදානම් විය යුතුයි.

අපි දියුණු නාට්‍ය කලාවක් පවතිනව කියන රටවල සමාජ තත්ත්වය ඒ විදියයි. ලෝකයේ බිහිවුණු ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවන් නාට්‍ය පෙන්නුවේ එහෙම සමාජයකට. ඒ නිසයි ඒ නිර්මාණ සමාජ පිළිගැනීමට සමාජ අවධානයට ලක්වෙලා ඒ විශිෂ්ඨත්වයට පත්වෙන්නෙ. ලංකාවෙ සමාජය තාම එතෙන්ට පරිණාමය වෙලා නැහැ. සමහර විට එතෙන්ට එන්න අපට සෑහෙන කාලයක් යාවි. ඒ යුගය එන තෙක් අපි මේ මොහොතේ වැඩ කළ යුතුයි. නැත්නම් ඒ අවස්ථාව තවත් ප්‍රමාද වේවි. අද අපි කරන දේ උපරිමයෙන් කළාම ඇති. ඒකට කොළඹ ද, කොළඹින් පිට ද කියන එක ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. දිගටම අපි හැමෝම වැඩ කරනවනම් කොළඹින් පිටතත් නාට්‍ය බලන ප්‍රේක්ෂාගාරයක් හැදේවි. ඒ වෙනුවෙන් ඉදිරි වැඩපිළිවෙලක් සම්බන්ධව අපිත් හිතමින්, සාකච්ඡා කරමින්, සූදානම් වෙමින් ඉන්නවා.

6.   Unnamed Theater Group ඉදිරි ගමන කොහොම වේවිද?

ලොකු සැලැස්මවල් අපට නැහැ. අනික නිර්මාණ කිරීමේ හදිස්සියකුත් නැහැ. එකතුවක් විදියට අපි කොච්චර කල් වැඩ කරනවද, නොකරනවද කියල තීරණයකට ඇවිල්ලත් නැහැ. ඒ මොනව වුණත් මේ මොහොතේ වැඩ කිරීමේ දැඩි උවමනාවක හැමෝම ඉන්නවා. ඒකට හැමදෙනාම තමන්ගේ උපරිමය ලබා දෙමිනුත් ඉන්නවා. එකිනෙකා කරන කැපවීම මත තමයි අපේ ඉදිරි ගමන තීරණය වෙන්නේ. ඒක මේ අපේ එකතුවේ ඉන්න සාමාජිකයින්ගෙ කැපවීම පමණක් නෙවෙයි. නිර්මාණ අගය කරන, නිර්මාණ කළ යුතුයි විශ්වාස කරන, ඒ නිර්මාණ සමාජගත කළ යුතුයි කියල හිතන හැමෝගෙම වගකීමක්, කැපකිරීමක්. ඒ කාරණා මත තමයි අපේ ඉදිරිය තීරණය වෙන්නේ.

Friday, February 12, 2016

ප්‍රේම කතා අස්සෙ ගෑණු කතා



පුරුෂ බලාධිකාරයටම යට වුණු දේශපාලන මඩ ගොහොරුවෙ ගැහැණුන්ට සුදු නෙළුම් වගේ පිපෙන්න ඉඩක් ලැබෙයි කියල නම් හිතන්න අමාරුයි. එහෙම අවස්ථා කාන්තාවට ලබා දෙන්න තරම් නිහතමානී දැනුවත් දේශපාලඥයො ඉන්නවද? සමාජයට බැහැල මිනිස්සු එක්ක පොදු යහපත වෙනුවෙන් වැඩ කරන්න සූදානම් කාන්තාවෙ ඉන්නවද? හිටියත් ඒ අයට ඉහ ගහගන්න පුලුවන් ක්‍රමයක් මේ දේශපාලු දේශපාලනය ඇතුළෙ තියෙනවද? ඒ ඔක්කොම හරි ගියත් කාන්තාවකට ඡන්දය දෙන්න සූදානම් ජනතාවක් ඉන්නවද?

අප හමුවේ තියෙන බරපතල ප්‍රශ්න මේ.... සමස්ත සමාජ ක්‍රමයේ යහපත් වෙනසකින් තොරව පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා පනතකින් පමණක් මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න අමාරු වේවි. 
සතර දිගන්තය වියුණුවෙ ඒ ගැන තැබූ සටහනත් බලන්න.

මේ ගැන කාලෙකට කළින් ලියවුණු ලිපියක් මතක් වුණා, පළාත් පාලන ආයතනවල 25% කාන්තා නියෝජනය සම්බන්ධව පනතක් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවෙ සම්මත කරගන්න ගිහින් සිද්ද වුණු අලකලංචිය නිසා.. මේ ලිපිය නම් ලියවුණේ මහ මැතිවරණයට කළින්. පෙම්බර ආකෘතිය මගේ අදහස් කියාපාන්න උදව් කරගත් තවත් අවස්ථාවක්.. කියවලාම බලන්නකො.





"යාම්තමට හතරවටින් අඳුරක් ගාටමින් තිබුණා. විහාර මහාදේවිය සිසාරා ඉගිල්ලුණ හුළඟ වගේම තණබිස්සත් සීතල අත්දහසකින් අපිව වැළඳගනිමින් උන්නා.. හිතට දැණුනෙ මහා නිදහසක්. ඇත්තටම ඉස්සර මෙහෙම නිදහසක් තිබුණෙ නෑ විහාරමහාදේවි උද්‍යානයෙ. සෙල්ලමට වැටෙන බබාලට ලැබුණු නිදහසවත්, පෙම් කරන කොලු කෙල්ලන්ට තිබුණෙ නෑ... ශෘංගාර රසවින්දනය දෑහින් කොල්ලකන්න තිබුණු ස්වභාවික ආශාව හින්ද ප්‍රේමවන්තයින්ට ලැබුණු නිදහසවත් වල්පල් දෙඩවිල්ලක් වෙනුවෙන් හරි එක් වෙන කණ්ඩායමකට තිබුණෙ නෑ.....

දෙතුන් දෙනෙක් එකතු වෙන හැම විටම කාකි උකුසු ඇස් අපි වටකර ගෙන හිටියා. තාප්ප නැති නිදහස් ලස්සන කොළඹක් හැදුණට අපේ ජීවිත වටේට කටුකම්බි හත්පොටක් පැටලුණු තාප්ප ගොඩනඟල තිබුණා. මතුපිටින් උජාරුවට බැබලුණ ලස්සන කොළඹ කුට්ටිගල් යටින් ගන්දස්සාර කුණු කාණු පුරුදු විදියටම ඉතිරිලා පිටාර ගලන්න මඟ බලමින් උන්නා. අපේම හෙවණැල්ලට පවා බය හිතෙන තරමට, අපි අපිම දිහා සැකෙන් බයෙන් බලන තරමටම රෙජීමයේ උකුසු ඇස් අප්‍රසන්න විදියට අපි දිහාටම යොමු වෙලා තිබුණා...

දැන් යාම්තම් ඒ කරදරයෙන් නිදහස් කියල හිතෙනවා. අඩුම තරමෙ නිල් උකුසු ඇස් වෙනුවට කොල උකුසු ඇස් මතුවෙන තුරුවත් ( එසේ නොවේවා..) සැනසුමෙන් හුස්ම ගන්න හැකි වටපිටාවක් තියෙනවා.. ඒත් රාජපක්ෂ ගෙදර යැව්වට ඒ ක්‍රමය ගෙදර යවන්න තාමත් අපිට බැරි වෙලා.... (ඔන්න කතාව වෙන පැත්තකට ගියානෙ...)


............


පෙම්බරා උන්නෙ මහා කතාවක පැටලිලා. ලංකාවෙ දේශපාලනයේ ස්ත්‍රී භුමිකාව තමයි මාතෘකාව. මටත් ඒ ගැන තිබුණ උනන්දුවක් ටිකක් විතර... ඒ හින්දම අහන් උන්නා හුඟාක්........ උවමනාවෙන්... මං උන්නෙ ටිකක් ඈතින්.. ඒ වගේ වැදගත් කතාබස් අස්සෙ, මිත්‍ර සන්ධානයන් අස්සෙ ටිකක් ඈතින් ඉඳන් එයා දිහා බලන් ඉන්න එක මගේ පුරුද්දක් වෙලා.. ‘‘අයිතිකාරයා වගේ ළඟින්ම ඉන්න හදන්න එපා හැම වෙලාවෙම. නිදහස් වෙන්න. ඔයත් නිදහස් වෙන්න.. මාවත් නිදහස් කරන්න...‘‘ එහෙම නිහඬ තර්ජනයක් තිබුණා මුල් දවස්වල.. මමත් ඒකට පුරුදු වුණා... අයිතිය ගැන සැකයක් නොතිබුණ නිසාම නෙවෙයි අයිති කරගන්න තණ්හාවක් නොතිබුණ නිසා. 

ඒත් අයිතිකාරය නෙවෙයි වගේ ඈතින් ඉද්දි ඉඳහිට හෙලන බැල්මක මහා ආදරයක් දැවටිලා තියෙන බව දැණුනා. ‘‘රෑ වුණා වැඩියි වගේ.. මං එන්න පරක්කු වෙයි.. පරිස්සමට යන්න‘‘ කියල, බස් එකට නග්ගන වෙලාවට හෙම තණ්හාවක් නොදැනුනාම නෙවි... ( මාත් හරිම මෝඩයි... ඉතාම වැදගත් සජීවි සංවාදයක් අස්සෙ කමකට නැති හෘද සංවාදවල පැටලෙනවා....)


‘‘පාර්ලිමේන්තුවේ 25% ක කාන්තා නියෝජනයක් ඉල්ලුවට.. කවුද අපි පාර්ලිමේන්තු යවන කාන්තාවො, ඒ ගැන සක්‍රීය සංවාදයක් තියෙනවද සමාජයෙ... රූපය හරි ජනප්‍රියත්වය හරි නෙවෙයි ගැහැනු දේශපාලනයට කැන්දන සාධක වෙන්න ඕන................

.... සමාජය වෙනස් කරන්න ගැහැනුන්ට පුදුමාකාර හැකියාවක් තියෙනවා. ආදරවන්ත මැදිහත්වීමක් ඇතුළෙ.. දැනුවත් බුද්ධිමත් දේශපාලනික මැදිහත්වීමක් ඇතුළේ... ඒත් කරුමෙට අපේ රටේ පාර්ලිමේන්තු යවන්න බලන සුදුසුකම් ඒව නෙමෙයිනෙ............

....... කාන්තාව ඒ තැනට ගොඩනඟන්න වමේ ව්‍යාපාර වුණත් මෙතෙක් සැලකිය යුතු දායකත්වයක් දුන් බවක් පේන්නෙ නෑ.. එහෙම වුණා නම් වමෙන් මීට වඩා කාන්තා නියෝජනයක් බිහිවෙන්න තිබුණා......‘‘

අන්න එහෙම සංවාදය දිගින් දිගටම ඇදුණා.. ලාංකීය දේශපාලනයේ ස්ත්‍රී නියෝජනය ගැන වෙනම පර්යේෂණයක් කරන්න ඕන.. මට හිතුණා.. ඡන්දෙ ඉල්ලන්න නම් මගේ අදහසක් නෑ. ඒත් ගැහැනු අපිටත් දේශපාලනය ඇතුළෙ සක්‍රීයව කටයුතු කිරීමේ හැකියාව, අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව, ගැහැනුකම වෙන්දේසි නොවන සමාජයක නිදහස්ව හැසිරීමේ වටපිටාව තියෙන්න ඕන මට හිතුණා....

දැනට තියෙන දේශපාලන අවකාශය නිළියන්ගෙන්, රූප සුන්දරියන්ගෙන් මුදවගෙන මහපොළවෙ පයගහල ජීවත්වෙන ධෛර්යවන්ත ගැහැනු අතට ගන්න විප්ලවයක් කරන්න වෙනවා... පෙම්බරා වගේ පිරිමි උන්න නම් හැමතැනම ටිකක් හරි බලාපොරොත්තුවක් තියාගන්න තිබුණා ඒ ගැන.... ඒත් ඉතින් මේ සිරි ලංකාවනෙ... 




Wednesday, February 3, 2016

මුතු කුමාරි නොවේ මා...



බෙලි කටුවට ම
ගුලි වෙමි...
බෙලි කටුවට ම
දිය වෙමි...
මුතු උපදනා සිහිනය
සිඳු ගැඹරට ම
බිලි දෙමි...



2016.02.03