Tuesday, March 29, 2016

ප්‍රේමණීය මරණයක අරුත "ROMERO"





තමන් ආදරය කරන අය වෙනුවෙන් දිවි පිදීම තරම් ප්‍රේමයක් තවත් නැහැ කියලයි ජේසු කිව්වේ... තමන් ආදරය කරන අය ළඟ නැති වීම දරාගැනීමත් මේ තරම් අසීරු කොට, දිවි පිදීම කෙතරම් අසීරු විය හැකිද? සමහර විට ඒ දරාගැනීමත් දිවි පිදීම තරම්ම අසීරුයි. දුෂ්කරයි.. එය මැරි මැරී ඉපදීමක්...

ඒ පාස්කු ඉරිදා. ජේසු මරණයෙන් උත්ථාන වීම සමරන දිනය. බොහෝ කතෝලික නිවෙස්වල පාස්කු සාද... ජේසුට වුණත් දුක හිතෙනව ඇති මගේ කුරුසියේ මරණයට ලැබුණු අර්ථය මේකද කියල...

පාස්කු ඉරිදාය කියා අවංලගු නොකර, සුපුරුදු විදියට මාසික සිනමා දැක්ම එදින පැවැත්වීම පාස්කු ඉරිදාට අලුත් අර්ථයක් එක් කළා.. 1980 වසරෙ මේ වගේම මැදින් මහක 24 වැනිදා වෙඩි උණ්ඩයකින් නිසල කළ එල්සැල්වදෝරයේ අගරදගුරු ඔස්කා රොමේරෝ පියතුමාගේ ජීවන අත්දැකීම ඇසුරු කරගත් Romero චිත්‍රපටයයි එදා අපේ නෙත් අබියස දිගහැරුණෙ. චිත්‍රපටය ගැන කතා කළේ ප්‍රේමන් සොයුරා...

අගරදගුරු ඔස්කා රොමේරෝ පියතුමා

ඒ වෙද්දි එල්සැල්වදෝරයේ තියෙන්නෙ අතිශය දරුණු හමුදා පාලනයක්. එයට විරුද්ධව නිදහස ඉල්ලා තැනින් තැන ජනතාව නැගී සිටියා. මුලුමනින්ම කතෝලික වු ඒ ජනතාව තම නිදහස් අරගලයට පාවිච්චි කළේ අවිහිංසාවාදී පිළිවෙතක්. ඔවුන්ට පිහිටට තිබුණු එකම තැන පල්ලිය. නමුත් පාලකයන්ගේ දැඩි මර්දනය නිසාම ඒ අවිහිංසාවාදී අරගලය ක්‍රමයෙන් අවි අතට ගන්නා අරගලයක් බවට පරිවර්තනය වෙමින් තිබුණෙ. හමුදා පාලනය සමඟ එකට සිටි පියතුමන්ලා වගේම ජනතාවට ශක්තියක් වෙමින් ජනතාව සමඟම සිටි පියතුමන්ලාත් සිටියා. රොමේරෝ පියතුමාත් හමුදා පාලකයන් සමඟ ඉතාම හිතවත්ව කටයුතු කරමින් සිටියදී, විටින් විට අත්දකින්නට ලැබුණු අත්දැකීම් නිසා එතුමා පාලක පන්තියේ කෘෘරතර ස්වභාවයත්, ජනතාවගේ දුක්ඛිතබවත් පිළිබඳව ක්‍රමයෙන් අවබෝධ කරගත්තා.

ඒ සිත්හැරීමට ආසන්නතම සිදුවීම් වුණේ ජනතාව සමඟම සිටි පියතුමන්ලා වගේම අහිංසක ජනතාවත් හමුදා පාලනය විසින් අතිශය දරුණු විදියට මරාදැමීම. හමුදා පාලනය ජනතාවගේ සාධාරණ ඉල්ලීම් පවා නොසලකා හැරීම. ඒ වන විට රොමේරෝ පියතුමා අගරදගුරු තනතුරට පත් වෙලා. මරා දැමුණු පියතුමන්ලා එතුමාගේ සමීපතම මිත්‍රයන්. ජනතාව විඳින පීඩාව අවබෝධ කරගත් රදගුරුවරයා ජනතාව ඒකරාශී කරමින්, දැනුවත් කරමින්, ජනතාව සමඟ සිටිමින් හමුදා පාලනයට එරෙහිව අවිහිංසාවාදී පිළිවෙතකට යොමු වෙනවා. එය පාලක පන්තියට කොතරම් තර්ජනයක් වුයේද යත් 1980 මාර්තු මස 24 වැනි දා රොමේරෝ රදගුරුතුමා දිව්‍ය පූජාව පවත්වමින් සිටියදී වෙඩි තබා ඝාතනය කෙරෙනවා. 


චිත්‍රපටය තුළ අතිශය සංවේදී විදියට දිග හැරෙන්නෙ මේ සත්‍ය කතාව. ඒ වෙඩි උණ්ඩයත් එක්ක අපේ හදගැස්ම පවා නතර වෙලා ඇස් තෙත් වෙනවා. 

රොමේරෝ රදගුරුතුමාගේ විප්ලවීය ජීවිත මෙහෙවර අගය කරන්නට කතෝලික සභාව ඉදිරිපත් වෙන්නේ නැහැ. ලතින් ඇමරිකාව තුළ ඒ වෙනුවෙන් විශාල හඬක් නැගුණා. නමුත් සභාව අනුගමනය කළේ නිහඬ පිළිවෙතක්. එල්සැල්වදෝරයේ වැසියන්ට නම් ඝාතනය කළ අවස්ථාවේ සිට ම එතුමා සාන්තුවරයෙක්. පීඩිත ජනතාව එතුමන් අමතක කළේ නැහැ. තම දුක් පීඩාවන් එක්ක රොමේරෝ රදගුරුතුමා ඉන්න බව, තම නිදහස වෙනුවෙන් මැදිහත් වන බව ඒ ජනතාව විශ්වාස කළා. මරණයට පවා බිඳ දැමීමට නොහැකි වූ ප්‍රේමයේ බැඳීමක් ඒ...

රොමේරෝ රදගුරුතුමා සාන්තුවරයට එසවීමේ ක්‍රියාදාමයට සභාවේ අවධානය යොමුවෙන්නෙ වර්තමාන ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ පත්වීමත් සමඟ. 

‘‘යුක්තිය සහ මිනිස්කමේ සමාජයක් වෙනුවෙන් ගෙන යන අරගලය කියන්නෙ මරණය හොයා ගෙන යන ගමනක් නෙවි. මරණය අනිවාර්ය දෙයක් නෙවි. එය ලැබෙන දෙයක්. ප්‍රාණ පරිත්‍යාගී වීම සත්‍යය, සාධාරණත්වය, නිදහස සොයා යන ගමනෙදි ලැබෙන දෙයක්.. යහපත් සමාජයක් අපේක්ෂා කරන බොහෝ විප්ලවවාදීන්ගේ ජීවිත මරණයෙන් කෙළවර වෙන්නෙ මේ නිසා. ඒවා නිකම්ම මිනිස් ඝාතන නෙවෙයි. ඒ මරණයන්ට ගැඹුරු අර්ථයක් තියෙනවා... 


..... දුප්පතුන්ට යමක් දීම, පීඩිතයින්ට පිහිට වීම ක්‍රිස්තියානිය නෙවෙයි. ඔවුන්ගේ නිදහස වෙනුවෙන් පීඩිතයන් සමඟ සිට ගැනීමයි ක්‍රිස්තියානිය. එය කෙළවර වෙන්නෙ මරණයෙන් වුණත්.. ‘‘

ජේසු කුරුසියේ ඇණ ගසා මරා දැමීමත්, රොමේරෝ රදගුරුතුමා වෙඩි තබා මරා දැමීමත් පිළිබඳ චිත්‍රපටයට පෙර හැඳින්වීමේ දී ප්‍රේමන් සොයුරා දැක්වූ අදහස් ඒ.... 

චිත්‍රපටය ගැනත්, ප්‍රේමයේ පරිත්‍යාගශීලීභාවය ගැනත් හිතමින් ඉන්න අතරෙයි ‘‘ක්‍රිස්තු දුක් ප්‍රාප්තිය නව යුගයක ඇරඹුමයි‘‘ ලිපිය කියවන්නට ලැබුණෙ. එය ඕෂෝගේ දේශන ඇසුරින් ඉරුදින පුවත්පතේ ඉරුසර අතිරේකයේ පළවන ලිපි පෙළක 2016.03.27 ඉරිදා ලිපිය... පරිවර්තනය ෂර්ලි චන්ද්‍රා ප්‍රනාන්දු.

‘‘........... ජේසු තුමා වටා මහ සෙනඟක් ගැවසුණත් පාවාදීමෙන් පසු එතුමා තනිවුණා. එතුමට ඒ දුෂ්කර ගමන තනියම යන්න සිද්ද වුණා. ජේසු ජීවත්ව සිටි කාලයේදී ප්‍රාතිහාර්යය පෑමේ සුවිශේෂී බලයක් පෙන්නුම් කළත් සාමාන්‍ය මනුෂ්‍යයකු විදියට මරණයට මුහුණ දුන්නා. දෙවියන්ගේ කැමැත්තට හිස නැමුවා. එතුමන් සතු නිර්භීතකමත්, මුදු තෙත් ගතියත් කුරුස ගසේදී පවා නැති වුණේ නැහැ.


ඔබ පවසනවා ජේසු ගේ දුක් ප්‍රාප්තිය ගැන අහද්දි ඔබ බියෙන් හැකිලෙනවා කියලා. එය සාමාන්‍ය මිනිස් ඝාතනයක් නෙවෙයි. එය ලෝක ඉතිහාසයේ ඉතාමත් අර්ථාන්විත හා වැදගත් සිදුවීමක්. ඊට පෙර නොතිබූ අලුත් දැක්මක් මෙතුළින් ප්‍රකාශ වුණා. ක්‍රිස්තු දුක් ප්‍රාප්තිය නිසා ලෝක ජනගහණයෙන් අඩකට වඩා නව මාවතකට ප්‍රවිෂ්ට වුණා..‘‘



විේෂ ස්තුතිය ්‍රේමන් අයියාට... 

Monday, March 28, 2016

නෙළුම් යායේ මතක සුවඳ...

සේයා රූ - පසන් බුද්ධික (බස්සිගෙ බස්සා)

අදත් උදේ මං එද්දි කටු කම්බි වැට දිගට ඒ ‘‘අරුණෝද අසිරිය‘‘ මෝනිං ග්ලොරි මල් වැල බලන් උන්නා. කෙසඟ කේඩෑරි ශරීර කූඩුව, කුණු කාණුවක් අද්දර කටු කම්බි වැටක පැටළිලා තියෙද්දිත් අතරින් පතර අහස් නිල, සයුරු නිල කලම්බන මල් මල් හිනාවක් එක්ක ඒ මල් වැල හරිම උපේක්ෂා සහගතයි.

එයාල දන්නෙ නැහැ පහුණු වප් මහේ නිල් සලුවක් වියන්නැහේ යායට මල් පිපිල තියෙද්දි උදේ හවා එයාලයි මායි අතර තිවුණු පයුරු පාසානම කවියක් වුණ වග, ඒ කවියට නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලෙදි තෑග්ගකුත් ලැබුණු වග...

සමහර විට දැනෙන්නත් ඇති. එදා ආදරෙන් රහස් කිව්ව ඉර,  මේ තරම්ම සැර පරුෂ වෙලා තියෙද්දිත්, හරිත පැහැය වියැකෙමින් දූවිලි පොරෝනාව වධයක් වෙලා තියෙද්දිත් එයාල මල් මිටක් අරන් අදත් මඟබලන් ඉන්න ඇත්තෙ ඒ නිසයි...

ස්තුතියි ඔයාලට... කඩිමුඩියේ දුවන අතර හදවතින්ම එහෙම කියන ගමන් මං මෝනිං ග්ලෝරි මල්වැලට ආදරණීය හිනාවක් තිළිණ කළා.

...............

නෙළුම් යායට ගොඩවෙද්දි සම්මාන ගැන බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ.  බ්ලොග් ලොවේ සොඳුරු කවි කිවිඳියන් අතර මට මගේ කවි සුවිශේෂව දැනුණෙ නැති නිසා. ඒත් ‘‘රහසක් හෙම කීවාද හිරු රැස්‘‘ කියද්දි හිත ටිකක් තිගැස්සුණා. මං ආදරය කරන, ගරු කරන සොඳුරු ලියන්නෙක් වන සිව්මංසල කොලු ගැටයා ( නාලක ගුණවර්ධන ) අතින් තෑග්ගක් ගන්න ලැබීම ගැන අප්‍රමාණ සතුටක් හිතට දැනෙනවා. පළමු ස්ථානය දැන අඳුනගත් දා ඉඳන් ඉතාමත් සෙනෙහසින් තරු අක්කා කියන මහේෂ් මල්ලිගේ අවන්හල බ්ලොග් අඩවියට ලැබීමත් මහත් සතුටක්...

බ්ලොග්කරණයට සමාජය තුළ, මාධ්‍ය ලෝකය තුළ වැඩි අවධානයක් ලබාගන්න මෙය ඉතාම හොඳ අවස්ථාවක්. ඒ වගේම අන්තර්ගතයේ පොහොසත්කම රැකගනිමින් සාර්ථක බ්ලොග් අඩවි නිර්මාණය වෙන්නත් කදිම පන්නරයක් ලැබේවි. බ්ලොග් ලොවේ එකිනෙකා දැන අඳුනගන්න, සුහද වෙන්න ලැබුණු අවස්ථාවත් හරිම වටිනවා. පුංචි පුංචි අඩුපාඩු මගහැරගෙන ඉදිරියටත් නෙළුම් යාය සම්මාන උළෙල සාර්ථකව පවත්වන්න අපි හැමෝම හැකි විදියට උදව් වෙමු කියන ඉල්ලීම මේ මොහොතේ කරන්න කැමතියි.

නෙළුම් යායේ මල් පුබුදුවන්න වෙහෙස මහන්සි වුණු ලංකා නිව්ස් වෙබ් අඩවියේ සහ බ්ලොග් ලොවේ සහෘද සැමට හදවතින්ම ස්තුතියි...


මේ තියෙන්නෙ ඒ කවිය.. ‘‘රහසක් හෙම කීවාද හිරු රැස්..“

විකසිත ‘‘අරුණෝද අසිරිය‘‘
කොයිබින්ද මේ මුදු සුමුදු නිල
ඇස සිහිල රන්දන...

පය පාමුළ ම
අපුල කුණු දිය ඇල
එතැන ම පල් වෙන...

හාත්පස අවුලුවන
කාක උන්මාදය
කසල මලු විසුරන...

හරහට වැතිර රළු සිල්පර
හූ තියන් ඔච්චටම
දුව යන යකඩ ලදරම
පීලි පන්නන
යන අතක් නොදැනම...

සතර මහ අපායේ
පිල්කඩ හිඳ ගෙනම
මෙතරම් මුදු සිනිඳුවට
හිනැහෙන්නෙද කෝම
මෝනිං ග්ලෝරි මල් වැල...

රහසක් හෙම කීවාද
හිරු රැස්
කප්පරක් කටුක දුක් මැද
එකම එක සිනාවක්
ඇති වග
ජීවිතය අස්වද්දන...


සේයා රූ - පසන් බුද්ධික (බස්සිගෙ බස්සා)

Sunday, March 27, 2016

වව්නියාවට සහ... ඉන් ඔබ්බට.. (02)



සේයා - ලාල් ලක්ෂ්මන්


‘‘එළවළු ටිකක් අරන් යමු.‘‘ ඒ යෝජනාව මන්දැයි වැටහෙන්නේ අපේ ගමනාන්තය වන වලෙයිපාඩු ගම්මානය සිහිවන විට ය. දෙව් මැදුර පිහිටා තිබෙන්නේ ඉතාම දුෂ්කර ගමන්මඟක කෙළවර ගම්මානයෙන් ද දුරස් වූ මහමුහුද අද්දර ය. ඒ පියසට එළවළු මල්ලක් කොතරම් වටින්නේද පහදා දීම අසීරු නැත. අප එළවළු, කෙසෙල් මිල දී ගන්නේ නාච්චිකුඩා පොදු වෙළඳපළිනි. 

‘‘ගමනෙ අමාරුම හරිය තමයි මේ’’ පල්ලවරායම්කට්ටුව හන්දියෙන් වමට හැරී ගුරු පාරට පිවිසෙන විට ඒ මඟ වැනුම ද ටෙරන්ස් පියතුමාගෙන් ම ය. පේන මානයේ වගුරු බිමකි. ඒ මැදින් විහිදෙන ගුරු පාර අඩියෙන් අඩියට වලගොඩැලි සහිත ය. වාහනයකට තබා පයින් වුව යාම අසීරු ය. දිළිඳු බව වෑහෙන වටපිටාවකි. අලුතින් ඉදි වූ නිවෙස් කිහිපයක වහළ මත වූයේ සුදු පැහැයෙන් ලියැවුණු "RED CROSS" නාමය ය. කඩපිලක් දකින්නට ලැබෙනුයේ කලාතුරකිනි. අබලන් මාර්ගය ද, දුහුවිල්ලෙන් වැසුණු පරිසරය ද, විඩාපත් මුහුණු ද ජීවිතය පිළිබඳ මවන සිත්තම එතරම් සැනසිලිදායක නැත.

දුහුවිල්ල අවට ලඳු කැලය වසාගෙන පවතින මුත් මඟ දිගට තටුසලන්නේ නම නොදන්නා රංචු රංචු සමනල්ලු ය. අප පිළිගැනීමට මග දෙපස රොක් වූවාක් බඳු ඒ සමනල් පෙරහැර සිරිපාදේ යනවා නම් විය නො හැකි ය. අහිංසක සමනල් ජීවිත පවා සොරාගත් කටුක බිමක වේදනාව හිසින් දරාගෙන උන් කොහේ යනවා විය හැකිද?

දෙවන නැවතුම

ඒ වේරවිල් ශුද්ධවු පවුලේ කන්‍යාරාමයයි. ගේට්ටුව අබියස සිට අප පිළිගත්තේ සොඳුරු දැරියන් තිදෙනෙකි. වත මත නොසිඳී දැල්වෙන සිනා පහන් වැටකි. දිදුළන දෑසෙහි කාන්තිය අමුත්තන් පිළිගැනුම අපමණ සතුටක් වූ වගට කදිම සාක්ෂ්‍ය ය. කොතරම් වැඩ කන්දක සිර වී සිටියාද යන්න නිහඬවම කියා පාමින් තරමක කිලිටි ලෝගුවකින් සැරසුණු වයස්ගත පැවිදි සොයුරියක් සිනාමුසුව අප වෙත ඒ. අප සමඟ කතා බහට එක් වන අනෙක් පැවිදි සොයුරිය තරුණ ය. ආගන්තුක ආගමන ඉතාම අල්ප බව ඒ අප්‍රමාණ සතුට කැටි වූ සුහද පිළිගැනීමෙන් ම පැහැදිලි ය.

එ ගම් පියස ඉතා දුෂ්කර, ගොවිතැන ජීවනෝපාය වූ පෙදෙසකි. ජනගහණය අඩු ය. එයිනුදු බහුතරය වැන්දඹු, මාතෘ මූලික පවුල් ය. ඉතින්, ජීවිතය අතිශය කටුක බව කිව යුතු ම නොවේ. 

අසුන් ගන්නට පවා පමා නොවී අපි සිටගත්වනම පිළිසඳරෙහි යෙදෙන්නෙමු. දැරියන් තිදෙන නොසිඳෙන සිනා උල්පතක්ව අප අතරම ගැවසෙති. ඒ අම්මා, තාත්තා අහිමි එකම පවුලක සහෝදරියන් බව පැවිදි සොයුරිය පැවසුවේ ඉංග්‍රීසි බසිනි. සියල්ල අහිමිව ගිය කලෙකත් ලෝකයම හිමි වී ඇතිවාක් මෙන් එතරම්ම සොඳුරු ලෙස හිනැහෙන්නේ කෙලෙසදැයි සිතාගැනීමත් අසීරු ය. දරාගැනීමේ ශක්තියද? අවිහිංසකකමද? නොතේරුම්කම ද


ගමනාන්තය

දූවිල්ලෙන් නැහැවුණු සූරිය ගස් යායක් මැදින් තවත් මිනිත්තු පහළොවක පමණ ගමනකි. සමනල් රංචු තවමත් ගමනේ ය. අප සේම ය. ගම්මානය නිම වන ලකුණු දක්වමින් ඈතින් ඈතට දිවෙන වගුරු බිම ය. වගුරු බිමට එපිටින් උස් බිමක  ඉදි වූ සුවිශාල දේවස්ථානයක් දිස් වේ. ඒ වලෙයිපාඩු සාන්ත ආනා දෙව් මැදුර ය. යුද්දය නිම වී වසර හතක් ඉක්ම ගිය ද තවමත් තාවකාලික පියස්සක සෙවණ ලබන ජනතාව හිඟ නැත. මෙතරම් විසල් දෙව් මැදුරක් දෙවියන් වෙනුවෙන්ද? මිනිසුන් වෙනුවෙන් ද? දෙවියන් පවා එය ඉවසනු ඇති ද? මසිත පැනයකි. 

ඒ ප්‍රාතිහාර්යය මුහුදු කූඩැල්ලන්ගෙනි. වලෙයිපාඩු දේවස්ථානයට අයත් නොගැඹුරු මුහුදු තීරුවක් වේ.  ඒ සමුදුරු ඉසව්ව මුහුදු කූඩැල්ලන් හෙවත් අට්ටයන්ට රාජධානියකි. එහි  ධීවර කටයුතු සාමාන්‍ය ජනතාවට තහනම් ය. අතිශය බැතිමත් කතෝලික ධීවර ප්‍රජාව ඒ තහනම ඇදහිල්ලක් සේ සුරකිති. යුද්ධය පැවති කාල සීමාවේ ධීවර කටයුතු අඩාලව පැවති බැවින් මුහුදු කූඩල්ලන් ගහණය කොතරම් වැඩී ගියේ ද යත් ඒ අස්වැන්න සුවිසල් දෙව් මැදුරක් තැනීම සඳහා කෝටි ගණනක මුදලක් උපයා දී තිබිණි. දිළිඳු පැලක සිට දෙව් මැදුරට පිවිස දණ ගහන සැදැහැවත් අහිංසක දෙමළ ජනතාව කිසි විටෙක ඒ පිළිබඳ මැසිවිල්ලක් නොනඟති. දෙව් මැදුර ඔවුනට අභය භුමියකි. අසපුවකි. ඒ ඔවුන්ගේ ශ්‍රද්ධාව විය හැකි ය. එය දේව විරෝධී වැඩකැයි තවමත් මගේ සිත නම් චෝදනාත්මක මැසිවිල්ලක ය.

සභාව දෙවියන් උදෙසා ද? මිනිසුන් උදෙසා ද? එසේත් නැත්නම් ධනය බලය උදෙසා පවතින තවත් ලෞකික රාජ්‍යයක් පමණ ද? කතෝලික සභාව සම්බන්ධයෙන් මේ පැනය උතුරටත්, දකුණටත් වෙනසක් නැති බව පැහැදිලි ය. ක්‍රිස්තුන් වහන්සේගේ ජීවන දැක්ම වූයේ පීඩිතයාගේ විමුක්තිය ය. නමුත් ඒ කල්වාරි ගමන වෙනුවට අද සභාව පාලුකරයේ යක්ෂයා මවා පෑ පරීක්ෂාවන්හි ගොදුරක් වී ඇත්දැයි සැක සිතෙන තරම් ය.  

දෙව් මැදුරට අභිනවයෙන් පැමිණ සිටින තරුණ පිය නම, නමින් වසන්ත ය. වසන්තයක පෙර ලකුණු ආවේගශීලී තාරුණ්‍යය සමඟ අත්වැල් බැඳ ඇත්තාක් මෙනි. ඉතාම කුඩා නිවහනක සෙවණෙහි වාසය කරමින් ම ඔහු අලුත් මුහුදු කූඩැල්ලන් අස්වැන්නෙන් කළ යුතු දෑ සිහිපත් කරයි. පෙර පාසලක්, දරුවන්ට ඉගැන්වීම සඳහා පන්ති කාමර  එකී සිහිනයෙහි පියාපත් සලයි. අපි එයට තවත් සිහින එක්කාසු කරන්නෙමු.  ‘‘පුස්තකාලයක්. ළමයින්ට ඇවිත් පොත් පත් කියවන්න, නිදහස් තැනක්..‘‘  

 අප වලෙයිපාඩු ගියේ හිස් අතින්ම නොවේ. දරුවන් වෙනුවෙන් රැගත් පොත් ගොන්නක්ද සමඟිනි. ඉපැරණි කුඩා දෙව්මැදුර පසෙක නටබුන්ව ගිය පාසල් ගොඩනැගිල්ලකි. 10, 11 වසරවල පමණක් දරු දැරියන් 50 ක් පමණ අපගේ වැඩසටහන සමඟ එක් වූහ. ගම්මානයේ සියලුම දරුවන් එක්ව ගත් කල කොතරම් පිරිසක් වනු ඇත්ද? ඒ දරුවන් වෙනුවෙන් ජීවිත පූජා කරන්නට මුහුදු කූඩැල්ලන් අකමැති නොවනු ඇත. 

දරුවන් සමඟ කළ කෙටි කතා බහ ඔවුන්ගේ දිළිඳු දුෂ්කර ජීවිත පැහැදිලි සිත්තමකට නඟන්නට තරම් වර්ණ, හැඩතල, හැඟීම් මතුකරලීය. ඔවුන් වැඩි පිරිසකගේ දිවි සරිවනුයේ මුහුදිනි. ධීවර රස්සාවෙනි. එසේ නොවන තැන කුලී කම් ය.  සෑම පවුලකම පහ, හය ඉක්මවා යන සාමාජික සංඛ්‍යාවකි. ජීවිතය ජය ගන්නට ඉගෙනුම කොතරම් වටනේද යන්න කීව ද එතරම් බරපතල පවුලක හිඳිමින්, දුෂ්කර මඟ ගෙවා දුර බැහැරින් ඇති පාසල් කරා යමින් ඉගෙනුම ලැබීම පහසු කාර්යයක් නොවන බව වටහා ගැනීම අසීරු නොවේ. අඩු වයසින් විවාහ වීම එකී ගම් පියසේ බහුලව සිදු වන බව අප හා පැවසුවේ වසන්ත පියතුමා ය. 

‘‘අනාගතේදි ඔයාල මොනවද කරන්න හිතන්නෙ..“ දෙමල බස හසුරුවන්නට දැන සිටි ටෙරන්ස් පියතුමාගෙන් දරුවන් වෙත යොමු වූ පැනයකි. 

‘‘මට මතක් වෙන්නෙ නෑ...‘‘ දැරියක් කීවේ කල්පනාබරව ය. තවත් සුළු මොහොතකට පසුව ‘‘ලොකු දුරක් යන්න තියෙනවා.‘‘ ඇය ම සිනාමුසුව පැවසුවාය.

දෙමල බස නොදැනීමේ වරදකාරී හැඟීමෙන් සුපුරුදු ලෙස මම මට ම දොස් නගා ගනිමි. ඉදින් සන්නිවේදනය සිනාවට, දන්නා දෙමළ වචන කිහිපයට, ඉංගිරිසියට සීමා විය. වසන්ත පියතුමා නම් සිංහල වචන කිහිපයක් ගැට ගසා ගැනීමේ හැකියාව පිළිබඳ පසුවූයේ මහත් ආඩම්බරයෙනි.

සේයා - ලාල් ලක්ෂ්මන්

දෙව් මැදුරට එපිටින් වන මුහුද නොගැඹුරු ය. සොඳුරු ය.  කිසිදු සැක සංකාවකින් තොරවම ඇඳුම් උනා තබා මුහුදට පැන්න කොලු කුරුට්ටන් දිය කෙළියට වන්නේ අප තුළ ද මහත් ආශා දල්වමිනි. කාලය ඉතා සීමිත වූ බැවින් ඉවසා වදාරන්නට සිදු වූයේ සයුරු දිය සැනහීමේ නොහිම් කැමැත්තට සාධාරණයක් ඉටුකිරීමේ අවකාශ නොවූ බැවිනි.

අප වෙනුවෙන් සරල, රසවත් දිවා භෝජනයක් සූදානම්ව තිබිණි. උතුරුකරයටම  විශේෂිත වූ මුහුදු ආහාරවලින්ම තැනූ සූපය ‘‘කූල්‘‘ මුලින්ම පිළිගැන්විණි. බත ට සහල් ගමෙන්ම ය. අප ගෙන ගිය එළවලු දෙකක්ද පිස තිබිණි. මාලු හොද්දක් මෙන් ම බැදුමක් ද විය.

‘‘මෙහෙ ජීවන වියදම අඩුයි. මාලු මුහුදෙන්. හාල් ගණන් අඩුයි. දර ටික නොමිලේ. මිනිස්සුන්ට ඕන ජීවත් වෙන්න නිදහස. මූලික පහසුකම් ටික. පාර හැදිලා ගමනාගමන ප්‍රශ්න විසඳුණා නම් ලොකු දෙයක්. ඔයාල ඕනම වෙලාවක එන්න. ඇවිත් නැවතිලා අපේ අය එක්ක කතා බහ කරන්න. ඔයාලගෙ මීසම්වල අයටත් කියන්න උතුරට එන්න කියල.. සමඟිය ගොඩනඟන්න එකතුවෙලා වැඩ කරන්නයි ඕන.“ 

මඟින් මඟට ම වසන්ත පියතුමා කළ ඇරයුම එය ය. 

‘‘අපි මෙහෙ දරුවන්ව එහෙ එක්කරගෙන යමු.‘‘ අපිදු යෝජනා කළෙමු.
මනුෂ්‍යත්වය නංවාලීම වෙනුවෙන් කළ යුතු, කළ හැකි වැඩ කප්පරක් තිබිය දී අප මේ කරමින් සිටින්නේ මොනවාදැයි සිතෙන සිතුම වළක්වා ගැනුම අසීරු ය. ආපසු ගමනේ සිත සැනසිල්ලක ද,  නොඉවසිල්ලක ද තැබූයේ ඒ සිතුම විසින් අවුලුවා ලූ හැඟුම් කන්දරාවකිනි. 

දැකුම්කළු වත මත කල්පනාකාරී සිනාවක් අතුරමින් පෙර කී දැරිය පිළිවදන් දුන් අයුරු මම සිහිපත් කරමි.

‘‘අනාගතේදි ඔයාල මොනවද කරන්න හිතන්නෙ..“

‘‘මට මතක් වෙන්නෙ නෑ................. ලොකු දුරක් යන්න තියෙනවා.‘‘
ඒ ලොකු ගමන යන්නට උතුරු දකුණු භේදයකින් තොරව අප සියල්ලන්ම දරුවන්ගේ ආදරය ද, රැකවරණය ද, ශක්තිය ද විය යුතු නොවේද?

Wednesday, March 23, 2016

Gloomy Sunday – A Song of Love and Death






යුද්ධය, මිත්‍රත්වය, ජීවිතය, ප්‍රේමය මේ සියල්ල සමඟ විටක මනුෂ්‍යත්වය ඉක්මවා යන විටක මනුෂ්‍යත්වය පාගා දැමෙන ත්‍රිකෝණික ප්‍රේම කතාවකි. Nick Barkow විසින් රචිත නවකතාවක් පසුබිම් කොටගෙන සප්ත ස්වර විස්මය සමඟ සිනමාත්මක සෞන්දර්යය අපූර්වාකාරයෙන් මුසු කොට නිමැවූ සිනමා සිත්තමකි. ප්‍රේමය විසින් ජනිත කරනු ලබන මනුෂ්‍ය පැවැත්මේ චමත්කාරයත්, අනුවේදනීය බවත් එහි මනාව ගෙත්තම් ව ඇත. 

දෙවන ලෝක යුද සමයේ හංගේරියාවේ ඉතා කුඩා අවන්හලකින් ඇරඹෙන තුන් කොන් ප්‍රේම කතාවකි. ඒ අවන්හල් හිමි යුදෙව් ජාතිකයා එහි සේවය කරන රූමත් සේවිකාව සහ පියානෝ වාදකයා අතර ය.

එකී ප්‍රේමය සහ විරහවේ සාංකාව අතරින් උපදින අතිශය සංවේදී සංගීත ඛණ්ඩයකි. Gloomy Sunday ලෙසින් නම් ලබනුයේ එකී මියැසි සංකලනයේ වේදනාත්මක අසිරියයි. එය බොහෝ සාංකාබර හදවත් තුළට ජීවිතයෙන් සමුගෙන යන්නට චිත්ත ධෛර්යය වැඩ වූ සංගීත නාදයක් බවට පත් වෙයි. එහි නිර්මාතෘ වූ තරුණ අන්ද්රේස් ද අවසන තෝරා ගන්නේ සිය දිවි නසා ගැනීම ය. 

යුද්ධයේ දී මෙන්ම ප්‍රේමයේ දී ද සිදු වන කිසිවක් අසාධාරණ නැතැයි කියමනක් ඇත. නමුත් සැම විටම එය එලෙසින්ම පිළිගත යුතු ද? 

ජර්මන් ආඥාදායකත්වය තුළ මනුෂ්‍යත්වය වැළලී යන ආකාරය සිනමා කෘතිය තුළ නිරූපණය වන්නේ ඉතා අනුවේදනීය අයුරිනි. කිසිදු යුද්ධයකදී මනුෂ්‍යත්වය කිරුළු දරන්නේ නැති බවට විවාදයක් නැත.
මතකයෙන් බැහැර නොවන සොඳුරු අනුවේදනීය චිත්‍රපටයකි.