Wednesday, July 13, 2016

කිවිඳියනි !!


කිවිඳියනි,
අහසත් ඉකිගසයි
ගොර බිරම් හඬ නැගෙයි
අනෝරා වැහි වැටෙයි
අප බොහෝ පමා වූවා හැඩයි

ප්‍රවීණ ම කඳුළක් ද
ඔය දෑස නළියන
දුහුනු කඳුළැලි ගඟක
රූ සොයන... රූ අඳින
රූ මවන...

කිවිඳියනි
ඇත්තමයි,
වරා මලක් සේ යැ
මේ ජීවිතේ
සරා සංසාර දනව්වේ
රිදුම් දුන් බිඳුම් වුව
දිව ගෑ කල් කදුරු
ඔසුවකැ යි සිත කියයි
සීතල ම කවියකත්
නාඳුණන උණුහුමක් දැවටෙයි...
අහසත් ඉසිඹුලන ඇසිල්ලක
කිවිඳියනි,
නික්ම යා යුතු ය අප
දෙමඟක
‘‘ඔබ යෙහෙළිය, ඇය ගැහැණිය
කවි ලියූ පරපුරක
උරුමය හිසින් ගෙන
තනි තනි ව...




Monday, July 11, 2016

චිත්තර පටි විස්තර‍




‘‘හේයි...‘‘

අන්ධකාරය මැදින් සීතල අත් දෙකක් බෙල්ලෙ වැදිල කණ ළඟම කෑමොර දෙද්දි මං උඩ ගිහින් බිම වැටුණා. ඉබේටම කෑ ගැහුණා. ඒ එක්කම පිටුපසින් ඇහුණු හිනාවත් එක්ක අපේ හිනාවත් එකතුවුණා... සිනමා ශාලාව අඳුරු වුණාට පස්සෙ දන්නෙම නැතිව ලොකු මල්ලි ඇවිත්. ඒ වෙද්දිත් උඩට කමිසයක්වත් නැතිව සරම පිටින් ටිකට් අලවි කළ වයසක මනුස්සයත්, රැවුලයි කොණ්ඩෙයි සුදට සුදේ වවන් උන්නු ටිකට් කැඩු වයසක උන්දැත් අභිරහස් මන්දිරයක සේවකයින් දෙපළක් සිහියට නැංවුවෙ. ටිකට් කැඩූ මනුස්සයා තාත්තව අඳුනගෙන, බදාගෙන සතුට ප්‍රකාශ කරල හෙම අපේ ටිකට් බලන්නෙත් නැතිවම ඇතුළට යන්න කිව්වා. 

ඒ වෙද්දිත් ඇතුළෙ උන්නෙ හතරදෙනෙක් තරම. අපි නාවනම් චිත්‍රපටිය නොපෙන්නන්නලු උන්නෙ. එහෙම කිව්වෙ තාත්තගෙ ආදිවාසී යාලුවා.
සිවිලිම වෙනුවට තැන තැන එල්ලෙන ගෝනි පඩංගු, කැඩුණු සිවිලිම් කෑලි, අබලන් විදුලි පංකා, තැන තැන කැඩුණු පුටු හෙම දැකල අනේ හපොයි කියල හිතුණා. ‘‘සර්පයොත් ඉන්නවද දන්නෑ‘‘ කියමින් අපි හැමෝම ඉස්සරහ ආසන උඩට කකුල් හෙම අරන් තිවුණු නිසාත් අර මුලින් කී ක්ෂණික කෑ ගෑමත් එක්ක ඇති වුණු බය සාධාරණයි... 

‘‘පොල්ලක් අරන්ද ආවෙ සර්පයො මරන්න“ ලොකු මල්ලිත් ආ ගමන්ම ඇහුවෙ එහෙම‍.

හරියට භුත බංගලාවක ඉඳන් සුරංගනා කතාවක් දකිනවා වගේ අත්දැකීමක්.

හඳගම ල, ප්‍රසන්න විතානගේල, ප්‍රියන්ත කොළඹගේලා ඇතුළු අධ්‍යක්ෂවරු,සේපාල් අමරසිංහලා, චින්තන ධර්මදාසලා, ගාමිණි වේරගමලා වගේ චිත්‍රපට විචාරකයො, නළු නිළියො, අපි වගේ ප්‍රේක්ෂකයො මේ හැමෝම එකතු වෙලා රජයට, පෞද්ගලික අංශයට බලපෑමක් කරලා නගරයකට එක හොඳ සිනමා ශාලාවක්වත් හදන්න පුලුවනි නම්...?????

............

අපේ අම්මයි, තාත්තයි චිත්‍රපටි පිස්සො. තරුණ කාලෙ ටවුන් එකට ආව එක චිත්‍රපටියක්වත් අතෑරුණෙ නැහැ කියලයි කියන්නෙ. කොලු කෙලි නඩ කාණ්ඩ ගැහිල චිත්‍රපටි බලන්න ටවුමට පයින්මත් ගියාලු. 

පුංචි කාලෙ අම්ම, තාත්ත එක්ක චිත්‍රපටි බලන්න ගියා මටත් යාම්තමට මතකයි. ‘‘සැලී“ බලන්න යද්දි මම ගොඩක් පුංචියිලු. හෝල් එක කලුවර වුණාම මං කොයිතරම් ඇඬුවද කියනවනම් ආසන තීරු දෙකක් අතර බිම වාඩිවෙලා කකුල් දෙකේ තියල නැළෙව්වත් ඇඬිල්ල නැවතුණේ නැතිලු. ඉන්පස්සෙ තාත්තා අම්මවයි, මාවයි ළඟ අඳුනන කඩේක තියල එයා ගිහින් චිත්‍රපටිය බලල ආවලු. ඔය කතාව අපේ ගෙදර අතීත රසකතා ගොන්නෙන් එකක්.

කැලෑ කෙල්ල, දිනුම, නොම්මර 17 වගේ චිත්‍රපටි හෝල් එකේ බැලූ මතකයන් හිතේ තැන්පත් වෙලා තියෙනවා. සමහර චිත්‍රපටි දර්ශන හිතේ ඇඳිල තියෙනවා. චිත්‍රපටියෙ නම මතකෙට එන්නෙම නැහැ. සසර චේතනා බලන්න ගිහින් ඉඩ නැතිව මහා ගාලගෝට්ටියක් වුණා. වහල තිබුණු යකඩ ගේට්ටුවලින් ඇතුළට යන්න සෙනග පොරකෑවා. ඒ සෙනග මැද්දෙන් මාව ඇතුළට අරන් ගියේ හිරවෙන්නෙ නැතිව උඩට උස්සගෙන අතින් අතට මාරු කරල කියල මතකයි. ඒ දවස්වල කොහොමත් ටිකට් ගන්න දිග පෝලිමක් තිබුණා. ගැලරිය පිරෙන්නත් සෙනඟ උන්නා. දැන් වගේ හෝල් පාළුවෙලා තිබුණෙ නම් නැහැ. 

ටිකෙන් ටික අපි උස්මහත් වෙද්දි චිත්‍රපටි බලන්න ආර්ථික හයියක් වත්, උවමනාවක්වත් අම්මටයි තාත්තටයි තිබුණෙ නැහැ. අන්තිමේ හෝල් එකට ගිහින් චිත්‍රපටි බැලුවද කියල මතකයක්වත් නැති තරමට ම ඒ සංස්කෘතිය අපේ වැඩිහිටි පරපුරෙන් ඈත් වුණා. අගනුවර ඉඳන් චිත්‍රපටියක් බලන හැම වතාවකම අම්මල, තාත්තලට ඒ මගහැරුණු අවස්ථාව යළි ලබා දීමේ උවමනාව මට ඇති වෙනවා. හොඳ චිත්‍රපටි බලන්න අපේ දරු පරපුර හුරු කරවීමේ උවමනාවත් දැනෙනවා.
ඒ නිසා මං අපේ කට්ටියව උනන්දු කරගෙන චිත්‍රපටි බලන්න යන්නත්, හොඳ චිත්‍රපටි අරන් ගිහින් පොඩි අයට පෙන්නන්නත් පොඩි පොඩි වැඩ ටිකක් කරනවා. ඒව හරි සාර්ථක සුන්දර අත්දැකීම්.

හොඳ ළමා චිත්‍රපටි අරන් ගිහින් වටේ පිටේ පොඩි උන් ටිකත් එකතු කරලා බලන්න දෙන එක, එක වැඩක්. මේ වෙද්දි මජීද් මජීදිගෙ චිත්‍රපට කිහිපයක්, හෙයිඩි, ඔෂින් වගේ චිත්‍රපටි, කාටුන් චිත්‍රපටි මමත් එයාල එක්ක බලල තියෙනවා. අපේ ළමා කාලෙදි අපට එවැනි අවස්ථා ලැබුණෙ නැහැනෙ. ‘‘හෝ ගාන පොකුණ බලන්න ඒ පැංචො ටික එක්කරන් සිනමා ශාලාවට යන්න ලැබුණු එකත් සතුටක්. ජීවිතේ පළමු වතාවට හෝල් එකකට ගිය දරුවෙකුත් එතන උන්නා. 

ඒ වගේම අම්මයි, තාත්තයි එක්කරගෙන චිත්‍රපටි බලන්න යන එකත් දැන් මගේ අලුත් වැඩක්. ඒ දෙන්නත් හරි ආශාවෙන් වැඩේට එකතු වෙන්නෙ. තව ඒකටම හරියනවා මම්මගෙ දූල දෙන්නා.  

මං දන්න කාලෙ ඉඳන් කුලියපිටියට චිත්‍රපටි ශාලා දෙකක් තිබුණා. මහලේකම් සහ ශ්‍රී මහල්. අදටත් ඒ දෙකම තියෙනවා. ලක්බිම කියල අලුත් එකකුත් තියෙනවා. නමුත් මේ එකම ශාලාවක්වත් චිත්‍රපටියක් නැරඹීමේ පූර්ණ වින්දනය ලබා දෙන්න සමත් නැහැ. මේ හෝල්වල ඉන්නෙත් චිත්‍රපටි ගැන මෙලෝ හසරක් නොදන්න වෙන කිසිම තැනක රස්සාවක් නොලැබෙන තාලෙ වයසක මාමල ටිකක්.

‘‘හෝ ගාන පොකුණ” බලන්න ගියාම අපූරු වැඩක් වුණා. චිත්‍රපටිය අතරමැදත් සැරින් සැරේ කට්ටිය එනවා. ටෝච් එක ගගහ ඉඩ ඇති තැන් බල බල වාඩි කරවනවා. චිත්‍රපටිය මැදදි විතර ටිකට් චෙක් කරන මනුස්සයා ඇවිත් ටෝච් එක ගගහ කට්ටිය ගණන් කරනවා. ආසන ප්‍රමාණයයි, ටිකට් ප්‍රමාණයයි අවුලක් වෙලා. හයියෝ සංසාරෙ.

පහුණු සති අන්තෙ ‘‘ආදරණීය කතාවක් බලන්න ගියේ අම්මයි, තාත්තයි, නැන්දයි, නංගිල දෙන්නෙකුයි එක්ක. ‘‘ශ්‍රීමහල්“ සිනමා ශාලාව කොයි තරම් අබලන් තත්වයකද කියනවනම් මට පුදුම හිතුණෙ තාමත් චිත්‍රපටි පෙන්වන එක ගැන. 


‘‘නැන්දෙ, අපි චිත්‍රපටියක් බලන්න යනවා. ඔයත් එනවද?‘‘ මම ඇහුවෙ දුරකථනයෙන්.

‘‘අනේ හරි ආසයි ලොකු දුව. බලපු කාලයක් මතක නෑ. ඉන්නකො මාමගෙන් අහන්න.“ මම දුරකථනයේ ඉද්දිම නැන්දා යනවා ඇහෙනවා.

‘‘මේ....... ලොකු දුව චිත්‍රපටියක් බලන්න යන්න කතා කරනවා. මමත් යන්නද?‘‘ හා කියන්න ඇති. මට ඇහුණෙ නැහැ මාම කිව්ව දේ. 

‘‘හරි ලොකු දුව, මං ලෑස්ති වෙලා ඉන්නම්..‘‘ නැන්දා කිව්වා. හයට විතර යන්න ලෑස්ති වෙන්න කියන්න මම මම්මලගෙ ගෙදරට කතා කළා. ගත්තෙ චූටි නංගි.

‘‘කොහොමද වැඩේ හරිද?“ මං කතා කරන්නත් කළින් ඒ චූටි නංගි. 

 ‘‘බාප්පා පල්ලියට වෙලා ඉන්නවා, මම කිව්වා ඉක්මණට ගෙදර යන්න, ගමනක් යන්න ලොකු අක්කා ගෙදර එනකල් බලන් ඉන්නවා කියල..“ ඇය හිනා වෙවී කියනවා. ඔයා එක්ක යනව නම් විතරයි චිත්‍රපටියක්වත් බලන්න වෙන්නෙ. එහෙම කියමින් ‘‘ආදරණීය කතාවක්‘‘ බලන්න උනන්දු කළ අය අතර මම්මගෙ දූල දෙන්නත් උන්නා. 

ඉතින් ඒ පෙරසූදානම් වැඩත් එක්ක තමයි අවුරුදු විස්සකට විතර පස්සෙ මම ශ්‍රීමහල් එකට ගොඩවැදුණෙ. 

................

‘‘ආදරණීය කතාවක්“ බලන්න ඕන කියල යාළුවෙක් එක්ක කිව්ව වෙලාවක එයා කිව්වෙ මෙහෙම දෙයක්.

‘‘අනේ මන්දා, ඔයා මුරකමිත් කියවනවා. ගෝර්කිත් කියවනවා. පාවුලෝත් කියවනවා. මාටින් වික්‍රමසිංහත් කියවනවා. ඒ අස්සෙ සුජීව ප්‍රසන්නආරච්චිත් කියවනවා“ කියල. 

එයාට ආදරණීය කතාවක් බලන එක පෙනුණෙ බාල බොළඳ වැඩක් විදියට. චිත්‍රපටිය අතරතුර සමහර තැන්වල ඇස්වල කඳුළු පිරිලා දුකක් දැනෙද්දිත් මට යාළුවගෙ ඒ කතාව මතක් වෙලා හිනා ගියා. තාමත්  බොළඳ චිත්‍රපටියකට උණත් ඇස්වල කඳුළු උල්පත් ඇහැරවන්න පුළුවන්. මක් කරන්නද ඉතින්?



‘‘ආදරණීය කතාවක්“ අතරතුර මීළඟට එන්න නියමිත චිත්‍රපටිය විදියට ‘‘මෝටර් බයිසිකල්“ දර්ශන කිහිපයක් පෙන්නුවා. 

‘‘දැනටමත් සම්මාන දිනපු චිත්‍රපටියක්. බලන්නම ඕනි. ඒක නම් මම එහෙදි බලනවා...“ මම කිව්වා. ඉන්පස්සෙ ඒ කතාවට මෙහෙමත් කොටසක් එකතු කළා. ‘හොඳ චිත්‍රපටියක් වගේ‘ නැන්දත් මුමුණපු නිසා.

‘‘එහෙදි බලල මෙහෙදිත් බලනවා සමාජ සේවයක් විදියට..“ සභාවේ සිනා...

....................

‘‘ලොකු දුව ඔයාට පින්, චිත්‍රපටියක් බලන්න එක්කරන් ගියාට“ වාහනෙන් බැහැල යන ගමන් නැන්දා එහෙම කිව්වා. 

චිත්‍රපටි බලන එකත් පින් ලැබෙන වැඩක් කියල මං කළින් දැනන් උන්නෙ නැහැනෙ....  

 .................

අපි පත්තිනි බැලුවෙ කුලියපිටියෙ අලුත් හෝල් එක කියන ලක්බිම සිනමා ශාලාවෙ. ශබ්ද තාක්ෂණය නම් අන්තිම දුර්වලයි. දෙබස් පැහැදිලි නැහැ. එදත් සෙනසුරාදාවක් සෑහෙන සෙනගක් හිටිය නිසා අපිට එක තැන වාඩිවෙන්න ලැබුණෙ නැහැ. අම්ම කියනවලු චූටි නංගි එක්ක.

‘‘මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ චූටි දුව, හරියට ලොකු අක්කගෙ කවි පොත වගේ. ජිරි බිරි ගානවා විතරයි.‘‘