පිටු

Wednesday, April 5, 2017

මාල ගිරවු පේලි ගැසීලා නව අවුරුදු ගීත ගයනවා...


බක් මාසය උදා වෙද්දිම  අවුරුදු ගීත ඇහෙන්න ගන්නවා. කොහාගේ ගැයුම වගේම මේ අවුරුදු ගීතත් අමුතු අසිරියක් මවනවා. අපූරු හැඟුම් ගේනවා. අතීත මතක අවුස්සනවා. නිතර ඇහෙන, මගෙත් සිත් ගත් අවුරුදු ගීත 10 ක් අද තරුරසියට එකතු කරන්න හිතුණා.

01 මී අඹ අත්තේ කොහෝ කොහෝ දොළොස් මහේ මගුල් දොහේ

මේ ගීතය එන්නෙ චංචල රේඛා චිත්‍රපටයේ. ගයන්නෙ මිල්ටන් මල්ලවාරච්චි සමග නීලා වික්‍රමසිංහ.. ගාමිණි ෆොන්සේකා අයිය විදියටත්, නදීකා ගුණසේකර නංගී නැත්නම් දං චූටි විදියටත් රඟපාන මේ චිත්‍රපටියට මං හරිම කැමතියි. ‘කීන දං මිටක්‘, ‘හස කැළුම් උදාවේවා එදා සේ‘ වගේ ලස්සන සින්දු කීපයක්ම තියෙනවා. අපි පුංචි කාලෙ අම්මගෙ මහ ගෙදර වත්තෙ තිබුණා මහ විසාලෙට අතු පතර පැතිරුණු කජු ගස් තුන හතරක් එක යායට. දෙකක් රතු කජු පුහුලං, දෙකක් කහ කජු පුහුලං. ගස් හතරෙ රස හතරක්, පුහුලංවල හැඩ හතරක්. අපි සෙල්ලම් ගෙවල් දාන්නෙ ඒ කජු ගස් යට. කජු වාරෙයි, අවුරුදු කාලෙයි එන්නෙ එකටම. ඒ කාලෙට කජු අහුලන්න ලේසි වෙන්න මේ කජු යාය යට මිදුල වගේ එළිපෙහෙලි කරල තියෙනවා. ඒ නිසා සෙල්ලමට ලේසියි.  විශේෂයෙන්ම සර්ප බියත් මේ සුද්ද කිරිල්ලට හේතුවක්.  

කජු ගස්වල අතු බිමට නැවිලා, ඒ අතු අපේ සෙල්ලම් ගෙවල්වල ආසන වෙනවා. අපේ වාහන වෙනවා. අපේ ඔන්චිල්ලා වෙනවා. ඉස්කෝල නිවාඩු නිසා මේ කජු අතුවල ඔන්චිල්ලාත් බැඳෙනවා. ඒ පුංචි කාලෙත් මට ‘‘මී අඹ අත්තේ‘‘ සින්දුව කට පාඩම්. ඒ සින්දුව කිය කියා ඔන්චිලි පැද්ද තාම මතකයි. මොකද චිත්‍රපටයෙත් එනවා දර්ශනයක් අයියා නංගිව ඔන්චිලි පද්දවන. අපට ඉතින් අයියල හිටියෙ නැහැ. 

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ
රබාන රත්වෙන නැකත් වෙලාවට නලාව පිඹහන්
කොහෝ කොහෝ

ගිරා නිලෙන් දිලි ගොයම් ලියද්දේ උඩින් උඩින් වර පෙත්තප්පූ
හෝරාවෙන් නොනගතේ මැවෙද්දෙන් නෑගම් එනවද පෙත්තප්පූ
ගම් මැද්දේ සරු අවුරුදු දා //
පංච වඩම් පළඳා

ඉහ තෙල් ගානා ආදර අතකින් ඉහෙන් බහින උවදුරු දුරුවී
නෙත් දෙක වාගේ අයිය නගාලට පින් පලදේ අවුරුදු ජයවී
එක මව් කුසයේ උපදීවා //
මතු මතු සංසාරේ



02. නාඬන් පුංචි හිරමණේ ඇවිදින් මෙන්න වසන්තේ

මේ ගීතය ගැන  ලියූ සටහනක් මෙන්න මෙතන ඇති තීර්ථය බ්ලොග් අඩවියේ.   ගීතය ලියා තියෙන්නෙ අපේ ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන්. මම කැමතිම මේ ගීතයේ පද ගැළපුමට...



03. කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ

අප්‍රේල් මාසය ලැබූ දා ඉඳන් අනිවාර්යයෙන් ඇහෙන ගීතයක්. මේ ගීතය නෑහෙනවනම් ලොකු අඩුවක් වගෙත් දැනෙනවා.

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
උඹට ඇහෙනවදෝ

කජු නාඹර රස මී අඹ
ගස් යට වැහි වැහලා
කොහෝ අන්න අර බලපන්
මී වද පැණි පිරිලා

රබන් හඬට බඹරු නටන
ලස්සන ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන්
සිංහල අවුරුද්දේ

පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - සනත් නන්දසිරි
ගායනය - සනත් නන්දසිරි / සුජාතා අත්තනායක




04. නීල කොබෙයි රෑන ඇදී වී අහුලන ඉපනැල්ලේ

නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ
මාල ගිරවු පේලි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා...

වක්‌කඩ ළඟ දිය සුළියේ
තිත්ත පැටව් කලබලයේ
ඒ තාලෙට වරල් සළාලා
නව අවුරුදු නැටුම් නටනවා...

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
ගසුයි වැලුයි මලින් පිරෙනවා
ගම්මානෙට අවුරුදු එනවා...

නා වැටියම දළු දමලා
නා අතු අග මල් පිපිලා
බාල ලියන් ටිකිරි හිනාවේ
රිදී එළිය ගමට ගෙනාවේ...

පද - මහගම සේකර
තනුව සහ ගායනය - පණ්ඩිත් ඩබ්
.ඩී. අමරදේව




05. කොහෝ මල්වාරම් ගැයෙනා උදේ 

මං හිතන්නෙ වැඩිම අවුරුදු ගීත සංඛ්‍යාවක් ගයා ඇත්තෙ එච්.ආර්. ජෝතිපාලයන්. ඒ අතරින් මේ ගීතයට මං වඩා කැමතියි. මේ ගීතයට සමූහ නර්තනයක් ඉදිරිපත් කළා අපි ළක්‍රිවි වාර්ෂික අනුශාසක සම්මේලනයකදි මග්ගොන වින්සෙන්ති ළමා නිවාසයෙදි. එක දවසින් පුහුණු වෙලා, රෙදි හැට්ට ඇඳන් කළ ඒ නැටුම නිසා මේ ගීතය විශේෂයෙන් හිතේ ඇඳිල තියෙනවා. 


06. බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස ඉද්ද පනා මල් කැන් පිපිලා..

මේ ගීතයේ රිද්මයත්, පද ගැළපුමත්, ගැයුමත් ගැමි සිරියාවක් අරන් එන්නෙ.

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස ඉද්ද පනා මල් කැන් පිපිලා..
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද නැද්ද කනෙයියනි රොන් හැදිලා..

බැද්දට මල් වරුසාවක් වැහැලද.. නිල් කොල පිට ඒ මල් පොද ඉහිලද..
පාර වටේ ඇති සේරම ගස් සරු සාර හැඩයි ගෙඩි හට දැනිලා..
පේර දිඹුල් පලු වීර ඉදී එන වාරෙ වගෙයි මේ පැණි පිරිලා...
බැද්දට පැණි වරුසාවක් වැහැලද ගස් වල ගෙඩි පැනි වැස්සට තෙමිලද...

රෑන ගිරා සැලලිහිණි කුරුල්ලන් සීනු හඩින් රස ගී ගයලා...
තාන තනා තම් තාන කියා එලි මහන වටේ කැරකී නටලා...
බැද්දට ගී වරුසාවක් වැහැලද.. ගී පොද මේ හොට අස්සට පෙරිලද..

ගායනය: අමිතා වැදිසිංහ සහ පියසිරි විජේරත්න
පද රචනය: හෙන්රි තෙන්නකෝන්
තනුව: පියසිරි විජේරත්න
මුල් ගායනය: පියසිරි විජේරත්න සහ රංජනී පොල්ගම්පොල




07. අවුරුද්දක් ගෙවුණු තැනේ පරණ වෙච්ච බොළඳ ලියා

එඩ්වඩ් ජයකොඩිගෙ ගීතයක් මේ.. මම කළින් අහල තිබුණෙ නැහැ. අවුරුදු ගී ගැන සොයා බලමින් ඉද්දි අහම්බෙන් ඇස ගැටුණෙ... ගී අරණ බ්ලොග් අඩවියෙන් ඔබටත් අහන්න පුලුවනි.


අවුරුද්දක් ගෙවුණු තැනේ පරණ වෙච්ච බොළඳ ලියා
පෑල දොරින් පිටමං වී අතීතයට යන්න ගියා
අවුරුද්දක් ලබන තැනේ නැවුම් අඳුන් තිලක තියා
ඉදිරි දොරින් ගෙට ගොඩවෙයි නව අවුරුදු ටිකිරි ලියා

උතුම් සිරින් මල් පිපුණේ
හිතින් හිතක් ඇද බැඳුණේ
සිරි දෙව්දුව කැඳවා ගෙන
වාසනා කුමරිය එන දා අවුරුදු මංගල්ලේ

නැවුම් සුවඳ මුසු පවනේ
පවුම් වටින හෙළ දෙරණේ
පෙරමග යන ලකුණු පෙනේ
වාසනා කුමරිය එන දා අවුරුදු මංගල්ලේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - රෝහණ බැද්දගේ
තනුව - රෝහණ වීරසිංහ


08. මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු

මෙය වෙනස්ම ගීතයක්.. බක් මාසය නිමිත්ත වුණත්, අවුරුදු සංකේත භාවිත වුණත් අවුරුදු අසිරිය ගැන ගැයෙන්නක් නෙවෙයි.  මේ ගීතයෙන් කියවෙන්නෙ 71 කැරැල්ල අවස්ථාවේ දිවි දුන් තරුණ ජීවිත ගැන...

එරබදු අතු නැමී රෑ හුළඟේ හැපෙන
ගඟ බඩ නුඹේ උණු ලේ පුසුඹම දැනෙන
හිමිහිට පුංචි රතුමල් පෙති දිග හැරෙන
මේ බක්‌ මහෙත් ඉවුරෙන් අත වනනු මැන

ඒ බක්‌ මහේ රෑ හඳ දියවෙන කලට
නුඹේ සිරස පාවී ආවා තොටට
තියුණු නිවුණු සීතල දෑසෙහි රුවට
ඇවිළුනා පැතුම ගිනි දැල්ලක ලෙසට

අවියෙන් වනසන්න බෑ උතුම් අරමුණු
හඬගා කියන නුඹේ හඬ අහසේ හැපෙනු
ඇසුණා ඒ හඬේ නෑ මිය ගිය ලකුණු
මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු

ගායනය - නන්දා මාලනී
පද රචනය - නන්දන වීරසිංහ
සංගීතය රෝහණ වීරසිංහ



09. මේ අවුරුදු කාලේ හිනාවෙයං රාළේ

මං මේ ගීතයෙ ආසම යෙදුම ‘‘තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ‘‘




10. නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න

මම මේ ගීතය තෝරගත්තෙ බක්මහේ අස්වනු මංගල්‍යය සිංහල ජනවර්ගයාගේ උත්සවයක් පමණක් නොවන නිසා. ලෝකය පුරා මේ සූර්ය මංගල්‍යය විවිධ ආකාරයෙන් සමරනවා වගේම විශේෂයෙන් අපේ රටේ සිංහල ජනතාව වගේම දමිළ-හින්දු ජනතාවත් අලුත් අවුරුද්ද සමරනවා. අපි හැමෝම වෙනුවෙන් මම මේ අවසන් ගීතය තෝරගත්තා. ගීතය අහන්න වෙන්නෙ නම් ගී අරණ බ්ලොග් අඩවියෙන් 

නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න
මිතුරු සුවඳ අලුත් වෙන්න අලිමංකඩ පැන වඩින්න
අලිමංකඩ පැන වඩින්න

යාපනයේ පොත් ගුල ළඟ කඳුළු බිඳක් තියා එන්න
යාළුවනේ අලුත් පැතුම් දලුලනවා හිත පිරෙන්න

තල් අරණේ ගිනි නිවන්න
සිනා වතක් මටත් දෙන්න
සිනා වතක් මටත් දෙන්න

සිනහවකට මඟ කියන්න
එන්න කඳුළු බෙදාගන්න
එන්න කඳුළු බෙදාගන්න

නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න
මිතුරු සුවඳ අලුත් වෙන්න අලිමංකඩ පැන වඩින්න
අලිමංකඩ පැන වඩින්න

යාපනයේ පොත් ගුල ළඟ කඳුළු බිඳක් තියා එන්න
යාළුවනේ අලුත් පැතුම් දලුලනවා හිත පිරෙන්න

හීන් හිරුට හිනාවෙන්න
යුද දුම පිසලන්න ඔන්න
යුද දුම පිසලන්න ඔන්න

කවි එළිවැට බිඳන් එන්න
ඒ අවි බිම තියමු ඔන්න
ඒ අවි බිම තියමු ඔන්න

නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න
මිතුරු සුවඳ අලුත් වෙන්න අලිමංකඩ පැන වඩින්න
අලිමංකඩ පැන වඩින්න

යාපනයේ පොත් ගුල ළඟ කඳුළු බිඳක් තියා එන්න
යාළුවනේ අලුත් පැතුම් දලුලනවා හිත පිරෙන්න

ගායනය ප්‍රදීපා ධර්මදාස සහ හේමන්ති රණසිංහ
පද රචනය - නිලාර් එන්. කාසිම්
තනුව හා සංගීතය - නවරත්න ගමගේ

.................


මේ අලුත් අවුරුදු ගීත බොහොමයක් රස විඳිද්දි පැහැදිලිව පේන්න තියෙනවා සොබාදහමේ වසන්ත අසිරියත් එක්ක අලුත් අවුරුදු ප්‍රීතියත් එක්තැන් කරල බොහොම උද්‍යෝගිමත් හදින් කියවෙන ගීත බව. 

ඒත් මේ සංකීර්ණ සමාජ, ආර්ථික වටපිටාව ඇතුළෙ අද අවුරුද්ද ස්ථානගත වෙන්නෙ කොතැනද කියල අලුතින් හිතීමක් ඇති කරන ගීතත් අවශ්‍යයි. අලුත් අවුරුද්ද ගැනත් අලුත් ගීත ලියවෙන්න කාලය හරි කියල මට හිතෙනවා... 

36 comments:

  1. රතින් පිරුණු එරබදු නෑ ගසක පිරී
    ටිකෙන් ටිකේ ගිලිහෙයි නව වසරෙ සිරී
    කලින් ඇසුණු අවුරුදු ගී රසය පිරී
    ඉතින් අලුත් ගී මැවෙන්න කාලෙ හරී.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කවියට ස්තුතියි දුමී...

      Delete
  2. මෙන්න තවත් ගී වැස්සක්... මේ දවස්වල නිතරම ඇහෙන තව ඉස්සරහට ඇහල අහලම එපා වෙන ගීත ටිකක්නෙ මේ.මේ ලිස්ට් එකෙන් මගේ නම්බර් වන් වෙන්නේ 6 වෙනි එක.

    ReplyDelete
    Replies
    1. එපා වෙන්න තරම් ඇහෙන්නෙ නෑ මට නම්... අපි ඉන්නෙ ඉතින් රේඩියෝ ඇහෙන්නෙ නැති සීමාවලනෙ නංගි...

      Delete
  3. තව ටික දවසකින් ඇහිලම එපා වෙන සිංදු ටිකක් වෙයි නේද මේ ටික?

    මම කැමතිම දෙවනි ගීතයට...

    ReplyDelete
    Replies
    1. ඒ ගීතයේ පසුබිම් කතාව කියන්න පුලුවන් රත්න ශ්‍රී ගෙ මල් අහුර පොතෙන්...

      Delete
  4. මේක ලොකු උදව්වක් මට. මම මේ අවුරුදු කාලෙට පට්ට නොගහපු ගීතයක් හොය හොය හිටියේ. මම තෝරගත්තා අංක 07. එඩ්වඩ් ජයකොඩි සහ රෝහණ වීරසිංහ ලඟදීම මේ පැත්තේ එන නිසා ඒකේ අදාලත්වයත් වැඩියි.

    අනිතිම එක... හේමන්ති රණසිංහ කියන්නේ නිලාර් එන්. කාසිම් ගේ බිරිඳ මම දන්න විදිහට. ඇයයි සුනිල් එදිරිසිංහයි කියන වේරගම්පිට පන්සලේ කියන ගොඩාක්ම ජනප්‍රිය නැති ගීතයත් මම කැමතිම එකක්.

    ReplyDelete
    Replies
    1. සතුටුයි තිසරට උදව්වක් වුණා නම්. තව අලුත් සින්දු ලැබුණොත් එවන්නම්.

      ගී 16 චැලේන්ජ් එකට මම ලිව්වෙ එඩ්වඩ්ගෙ සින්දු 16 ක්...

      හේමන්ති නිලාර්ගෙ බිරින්දෑ තමයි. වේරගම්පිට පන්සලේ සින්දුවත් ලස්සනයි. රත්න ශ්‍රී ලියල තියෙන්නෙ.

      Delete
  5. මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු " ගීය හිත සසල කළා. ඇත්තටම කුඩා කල වින්ද තරම් අවුරුද්ද අපිට නොදැනෙන්නේ ඇයි කියා මම තවම සොයනවා.

    ReplyDelete
    Replies
    1. අපි යාන්ත්‍රික ජීවිතේක හිරවෙලා... ඒකනෙ නංගි.

      Delete
  6. මම මෙතනින් 1, 2, 3, 6 සිංදුව වලට ගොඩාක්ම කැමති.. 7, 8, 10 සිංදු ඇහුවෙ නම් අද.... ඒ අලුත් සිංදු එකතු කළාට ගොඩක් ස්තුති අක්කට..
    අව්රුද්ද බැදිල තියෙන්නේ ස්වභාදහමත් එක්ක.. ඉතින් ස්වභාදහම ටික ටික නැසෙනකොට ඒ බැදීමත් දුරස් වෙනව නේද..පුංචි කාලෙ අපි අව්රුද්දෙ රසය කොච්චර වින්දද.. අක්ක කියුව වගේ සංකීර්ණ සමාජයේ ජීවත් වෙනකොට ඒ වගේ සුන්දර අව්රුද්දක් දැන් නැහැයි දැනෙනවා.. ගෙවිලා ගිය ටික කාලෙට අපි රසවිදපු සුන්දර අව්රුදු කාලේ දුරස් වීම ගැන තියෙන්නේ කනගාටුවක්..

    අක්කෙ මේ සිංදු එකතුවට තවත් එක සිංදුවක් එකතු කරන්න කැමති... කුමාරි මුණසිංහ සහ ජැක්සන් ඇන්තනී මහත්මයා ගයන ලන්ද උකුල උඩ ගීතය...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි.... ඒ ගීතයත් ලස්සනයි. ඔන්න මම ලින්ක් එක එකතු කළා...

      https://www.youtube.com/watch?v=kaHZRPL9nPY

      Delete
  7. කජු ගස් ලමයින්ට ( මට තාමත් ) හරි ඉන්ටරෙස්ටින්. කජු හා පුහුලම් විතරක් නෙමෙයි මැලියම් හා බෙන ඇතුලේ මී වදත් තියනවා

    ReplyDelete
    Replies
    1. අපිත් පුංචි කාලෙ කජු මැලියම් එකතු කරනවා අලවන වැඩවලට. ඒ කාලෙ ඉතින් ගවුම් ගන්න දෙයක් නෑ. කජු පුහුලම් කහට... දැන් අපේ පැතිවලත් ඉස්සර තරම් කජු ගස් නෑ. ගෙවල් හැදෙද්දි ගස් කැපෙනවා. මගේ ගේ හදද්දිත් කජු ගහක් කපන්න වුණා. හරිම දුකයි ඉතින්.

      2012 අවුරුදු වැඩ අල්ලන නැකතට මමයි, නංගියි කජු පැලයක් හිටෙව්වා. දැන් ඒක සෑහෙන ලොකුයි. කජු මලුත් හැදිලා...

      Delete
  8. අවුරුදු ගීත , රස වින්ඳා. බොහොම ස්තූතියි තරු

    ReplyDelete
  9. අලුත් ආසාවකින් අවුරුදු ගී (හිතින්) කියුවා.. පෝස්ට් එක කියවන්න පැයක් විතර ගියා.. සිංදු අහන්න පින නැති නිසා (මේ වෙලාවේ) හැම සිංදුවක්ම හිතින් කියා කියා තමයි පහලට ආවේ.. මගේ ෆේවරිට් එක 5 කියල තෝරනවා.. කෝ ඒකෙ ලිරික්ස් දාල නෑනේ.. ගූගල් කරාටවත් සම්පුර්ණ එක හොයා ගන්න බැරි උනා.. රෑට තමයි අහන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ටයිප් කරන්න කම්මැලි හිතුණා. වචන හොයල දෙන්නම්.

      Delete
  10. නංගි ආස නැතිද Jackson Anthony සහ කුමාරි munasinghe ගයන රත්න ශ්‍රී මහත්තයා ලියපු ගීතයට.

    ReplyDelete
    Replies
    1. ඒක මට මිස් වුණා. සත්‍යා මතක් කරල තිබුණා අයියෙ. ලින්ක් එක එකතු කළා. මමත් ඒ ගීතයට කැමතියි.

      Delete
  11. දුක කියන්නෙ අක්කෙ අපේ මිනිස්සුන්ට ගැමි කම මතක් වෙන්නෙ අප්‍රේල් මාසෙට විතරයි නේ..
    මේ සින්දු වලට නම් මාත් ගොඩක් ආසයි..

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඇත්තටම එහෙම අවුරුදු සිරියාවක් නැහැ. චාරිත්‍ර කරනවා යාන්ත්‍රිකව. අවුරුද්ද, නත්තල මේ මොන දේ වුණත් අපූරුවට විඳින්නෙ පුංචි දරුවො තමයි.

      Delete
  12. ඇයි මතක නැද්ද , සතුට ගෙනල්ලා සැපත පුරාලා නව අවුරුදු ඇවිදිල්ලා නව අවුරුදු ඇවිදිල්ලා කියලා සින්දුවක් තිබ්බේ ඉස්සර හැම අවුරුද්දටම ටීවී එකේ ගියේ

    ReplyDelete
    Replies
    1. අනේ මතක නෑනෙ...

      කැන්ඩොස් ඇඩ් එකක් තිබුණෙ... අවුරුදු කුමාරයගෙන් කියල ලස්සනට හිනාවෙන දැරිවියක්.. ඒ ඇඩ් එක නම් මතකයි...

      Delete
  13. ලස්සන සින්දු එකතුවක්.මේ සින්දු ඇහෙනකොට වසන්ත මිහිර හොඳට දැනෙනවා.දැන් මේ වසන්ත මිහිර දැනෙන්නේ සින්දු වලින් තමයි.ඉස්සර වගේ පරිසරයේ ප්‍රබෝධමත් බව නම් දැන් ලොකුවට පේන්නේ නැහැ.මින් පෙර අහලා නැති සින්දු කිහිපයකුත් තියෙනවානේ මෙතන.

    ReplyDelete
    Replies
    1. වසන්ත මිහිර දැන් තියෙන්නෙ ටීවී එකේනෙ බලන්න එපැයි...

      Delete
  14. මේ නම් හරිම වටින පොස්ට් එකක් තරු... අහලා නැති සිංදුත් කීපයක්ම තිබුණා.

    ReplyDelete
  15. ගෙදර ඉන්න කොටනම් මේ සිංදු ඇහෙනකොටත් චැනල් මාරුකරනවා. ඒත් මෙහාට වෙලා ඉන්නකොට ඒවා ඇහෙනවා කියන්නෙත් පොඩි මොකද්දෝ හැඟීමක් උඩට ඇවිත් රිද්දනවා වගේ වෙලා .

    තරූ...ස්තූතියි ගීත ගොන්න අහන්න දුන්නට

    ReplyDelete
    Replies
    1. මට මෙහෙ ඉඳලවත් මේ සින්දු ඇහෙන්නෙ නෑ... ඒ නිසාමද මන්දා විශේෂයෙන් මෙහෙම ගීත ගැන මතක්කරගන්න හිතුණේ.

      Delete
  16. අගේ ඇති ලිපියක්...අවුරුද්ද එදාට වඩා අද හාත් පසින්ම වෙනස් වෙද්දි...අලුතින් ලියවෙන ගී කොහොම වෙයිද කියලා මටත් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අලුතෙන් ලියවුණු ගී හොයා බලන්න ඕන...

      Delete
  17. "බැද්දට මල් වරුසාවක් වැහැලද". මුළු හිතම අවදි කරවන ගීතයක්. 71 කැරැල්ල ගැන ලියවුනු ගීතය ගැන අදයි දැන ගත්තේ. :(

    ReplyDelete
  18. 8 10 ගීත මං අදමයි ඇහුවෙ.
    හරිම ලස්සනයි මුළු ගීත එකතුවම

    ජයවේවා තරු අක්කෙ!!!

    ReplyDelete
    Replies
    1. නොදන්න ගීත හඳුන්වා දෙන්න ලැබීම සතුටක් නංගී...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...