Tuesday, January 31, 2017

කෝවිලතැන්නගේ ‘‘වෑ කඩවර‘‘


‘‘ඌවෙන් අකාසයට එසවෙන, හැම රන්වන් පාට වී කරලක් ඇතුළෙම තියෙන්නෙ අරගලයක්,

මගේ අලුත්ම නවකතා පොත හෙවත් " වෑ කඩවර " කියන්නෙ ඒ අරගලයට දියවර පිදූ පිරිසට, ප්‍රණාමය පුද කරනු වස් මවිසින් අකුරු පැළැන්ඳූ කතන්දරයක් ....!!!!‘‘

සුජීව කුමාර කෝවිලතැන්න

.........



පසුගිය බිනර මහේ බණ්ඩාරනායක සමුළු පියස්සේ මුළු දුන් පොත් සල්පිලට, සම පොත් කුටියට ‘‘වෑ කඩවර‘‘ අරන් ආයේ ලේඛකයා විසින්ම ය. මුල්වරට පොත් දහයක් භාර ගෙන එය අහවර වූවොත් කතා කරන්නම් කියූ මට ම නැවත කතා කර තවත් පොත් දහයක් ගෙන්වා ගන්නට සිදු විය. කුටියේ පොත් අතර හිඳි නිස්කලංක ඇසිල්ලක පසු කවරයෙහි කතාව ද, අතරින් පතර පිටු කිහිපයක්ද කියවා බැලීමි.

‘‘වෑ කඩවර‘‘ මා සමඟ ගෙදර ආයේ ඒ කෙටිකාලීන ඇසුර දිග්ගස්සා ගන්නට තරම් හිතවන්තකමක් වූ බැවිනි.

නවකතාවෙහි කතුවරයා ඌවේ වංහුං නමින් 2015 වසරේ දී ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ ශාස්ත්‍රීය අධ්‍යයනය අතර සිතේ පිළිසිඳි අනුභූතියක් මේ නවකතාවට පසුබිම් වූ බව කර්තෘ සටහනේ එයි. ඌව වෙල්ලස්ස කැරැල්ල ඉංග්‍රීසි ආණ්ඩුව විසින් දරුණු ලෙස මර්දනය කිරීමෙන් අනතුරුව වනගත ජීවිතයක් කරා සැඟව යන ගම්මානයක පවුල් කිහිපයක් පසුබිම් කොටගෙන කතාව දිගහැරේ. සඟබේගමුව, නොහොත් හම්බේගමුව කතාවෙහි භූගෝලිය නවාතැන්පළයි. එය කතුවරයාගේද ගම් පළාත බවට කෘතියම සාක්ෂ්‍ය සපයයි.

උඩරට වංශවත් රදළ පෙළපතකට උරුමකම් කියන බෝගමුවේ මහ වාසල බණ්ඩාර නිලමෙ නොහොත් බෝගමුව නිලමේ ඌව වෙල්ලස්ස කැරැල්ලට සහභාගි වූ නිර්භය සටන්කාමියෙකි. කැප්පෙටිපොල අදිකාරම් සිරභාරයට ගෙන මරා දමා, කැරැල්ල මුළුමනින් මර්දනය කළ පසු සිය ගම්වාසී පවුල් කිහිපයක් සමඟ ගම අතහැර යන බෝගමුව නිලමේ, ඝන වනාන්තරයක් මැද අලුතින් ගම්මානයක් පිහිටුවයි. එය අතීත ගම්ගොඩක නටබුන් ඇති තැනකි. කැඩී බිඳී ගිය වැවක්, කැලෑවින් වැසුණු චෛත්‍යයක් ඔවුනට හමුවේ. මේ ගම්මානය ජීවත්වන්නට සුදුසු තැනක් බවට හරවා ගන්නට ඔවුන් ගෙන යන අරගලය සහ යටත් විජිත පාලනය තුළ වනයෙන් බැහැර සමාජය තුළ ඇති වන වෙනස්කම් යම්තරමකට කෘතියෙහි අන්තර්ගතය.

හම්බේගමුව වැව - පින්තූරය අන්තර්ජාලයෙනි

ගැමි ජීවිතය හා බැඳුණු සරලව ලියැවුණු එක හුස්මට කියවාගෙන යා හැකි රසවත් වියමනකි. නමුත් සමාජ දේශපාලන වටපිටාව තුළ ගැඹුරු චරිත නිරූපණයකට මඟ පාදාගෙන නැතැයි සිතේ. හිටිවනම සියල්ල අත්හැර වනගත වන ගම්මුන් පිරිසකට නොදන්නා දේසෙක අරඹන්නට වන ජීවිතය කෙබඳු පීඩාකාරී තත්වයක් වන්නට ඇත්ද? ඔවුන් ඒ අරගල ජයගත්තේ කෙසේද? යටත්විජිත පාලනය තුළ ඌව වෙල්ලස්ස ජනතාව අත්විඳි සැබෑ පීඩාකාරී ජීවිතය කෘතිය තුළ ගැඹුරින් නිරූපණය වන්නේද? මා තුළ පැන නැගුණු සාංකාවන් සමහරකි. කතාව ගලා යන්නේ මතුපිටිනි.

කතුවරයා හමුදා සෙබළෙකි. සොල්දාදු කාර්යභාරය අතරතුර ලැබෙන විවේකය පිරිමසාගෙන මෙබඳු සාහිත්‍යමය කටයුත්තකට අත ගැසීම සැබවින්ම අගය කළ යුතුය. ඔහුගේ ප්‍රථම නව කතාව ලෙස ද මෙය සාහිත්‍ය ලෝකයේ අවධානයට පාත්‍ර විය යුතු කෘතියකැයි සිතමි.


‘‘වෑ කඩවර 1818 වෙල්ලස්ස විමුක්ති සටනේ ප්‍රතිඵල ලෙස, උපන් භූමියෙන් විතැන්ව නව ගම්මාන බිහි කළ පරම්පරාවක කතාවකි. මෙම කතාව ගොඩනැංවීම සඳහා සුජීව කුමාරට උපකාර වන්නේ ඌව වෙල්ලස්ස පිළිබඳව වන පුරාවෘත්ත සහ ලිඛිත ඉතිහාස සාධකයි. එම සාධක ඇසුරෙන් ඔහු සිය ප්‍රස්තුතය මනා ලෙස පෝෂණය කර පරිකල්පනීය විශිෂ්ටත්වයක් ද එකතු කර සිය නවකතාව යහපත් ලෙස ගොඩ නංවාලයි.

කතුවරයා මෙම ගම්මානයේ ආරම්භයත් එහි විකාශනයත් දැක්වීම වෙනුවෙන් තනි චරිතයක විකාශන පරාසය මනා සේ බද්ධ කොට ගෙන තිබේ. නිස්සාර කියවීමක් නොවන කියවීමක් පාඨකයාට ලබා දීමට මෙම නව නිර්මාණකරුවා ගත් තැත පැසසිය යුතු ය. යටත් විජිත පසුබිමක, රටක ජන ජීවිතය වෙත කෙරෙන බලපෑම් මෙන්ම සංස්කෘතික හා සාරධර්ම විනාශය කොතරම් ද යන්න දැක්වීමට වෑ කඩවර නවකතාව කවුළුවක් වනු ඇත.‘‘

අනුරසිරි හෙට්ටිගේ – ප්‍රවීණ නවකතා කරු වෑ කඩවර දකින්නේ එලෙසිනි. 


..............


හම්බේගමුව
 විශේෂයෙන් මතකයේ රැඳෙන්නට හේතු වූ කාරණා කිහිපයක් ඇත. ළක්‍රිවී ළමා සමිති සමඟ කටයුතු කළ අවදියේ 2004 - 2010 කාල වකවානුවේ යම් අවස්ථාවල ඇති වෙමින්, නැති වෙමින් වුව හම්බේගමුවේද ළමා සමිතියක් පැවතිණි. බුත්තල සුබසෙත්ගෙදර, වැල්ලවාය දෙව් මැදුර, හෝ බදුල්ලේ ළමා වැඩසටහන් පැවති අවස්ථාවල හම්බේගමුව ළමා සමිතියෙන්ද දරුවන් ආ බව මතකය. වැඩසටහන් නිමවීමට මත්තෙන්ම බොහෝ විට ඒ දරුවන්ට ආපසු යන්නට සිදු විය. ඒ හැන්දෑ වන විට බස් නොමැති වීම, අලි කරදර වැනි හේතු නිසාවෙනි. හම්බේගමුව ඒකකය පිළිබඳ සාකච්ඡා වන අවස්ථාවල වී ගොවිතැන, හේන් ගොවිතැන, අලි ගම් වැදීම, නියඟය නිසා වගාවන් ආලපාළු වීම වැනි කාරණා සමඟ දරුවන්ගේ ජීවිත ගතවෙන ආකාරය පිළිබඳ සංවාද මතු වූ බවටද මතකයක් ඇත. නමුත් එක් වතාවක්වත් හම්බේගමුව ගම්මානයට ගොස් ඒ දරුවන් සමඟ වැඩකරන්නට ඉඩක් නොලැබීම අඩුවක් ලෙස තදින්ම දැනුණේ මේ නවකතාව කියවන අතරතුරය.

Friday, January 27, 2017

මරියා නොවෙමි මා


කුරුස ගස පාමුළ මරණයට පත් ජේසුතුමන්ගේ ඇණ ගැසුණු දෙපා අල්වාගෙන සිටින මරියාගේ සිතුවමකි.
Francesco Hayez - Crucifixion with Mary Magdalene kneeling and weeping (1827)

එදවස,
අපමණක් පිරිපත
බෙදා ගනු අවැසිව
මඟ බලා සිටියදිත්
මල් උයනේ ඔබ
තනිකර ගියෙම්...

සියලු නවනින්දා
කටු ඔටුනු අන්ඳා
කුරුස කර රන්දා
කපාල නගින විට
සළුව අත දැරූ මුත්
ඉවතට හැරී උන්නෙම්...

ළය පැළි මියෙතැයි
හිත හිතා ඇසගින්
කඳුළකුත් නොසලා
ඇණ ගැසුම් හඬ මගැර
කුරුස මඟ හැර ගියෙම්...

දහස් මුවගින් නැඟෙන
රළු පරළු වදන් පැස
උහුළ ගනු නොහී ඇස
දියව වැගිරෙනා සඳ...

ඔබ ඉවත ගිය මඟ
පා ලකුණු ඔස්සේම
සත් වරක් සත් සියක්
ඇණ ගැසුම් කෑ හදින්
ආපසු නික්ම ආ...

මරියා නොවෙමි මා
ප්‍රේමයෙහි පැවත ආ
කල්වාරි ගිරි සිරස

අතැර ඔබ හැරී ආ..

Monday, January 2, 2017

ඔබේ රුවයි පතන්නේ මා ජීවිතේ පුරා




ඔහු
සිහින විලේ නිලුපුලී පැතුම් ජලාශයේ
ඔබ කා නමින්ද පිපුණේ මල් මානවිකාවී
ඇය
කැකුළු වියේ දිනිඳුනී සුපෙම් උදානයේ
ඔබේ රුවයි පතන්නේ මා ජීවිතේ පුරා

ඔහු
ඔබද මගේ පහන් තරුව
කොහේ සිටද ආවේ පායා
ඇය
ගිමන නිවන අරණ සොයා
ආවෙමි දුර සසර සැරිසරා

ඔහු
දැහැන බිඳින රුවැති කැකුළ
ඔබද මගේ පාළු මාවතේ
ඇය
දෙහද පතන සෙවණ සොයා
ඈතට යමු සිහින මාරුතේ... 


 විඩාපත් සිතුවිලි තවදුරටත් බරක් කර නොගනු රිසියෙන් පුංචි තිරයේ ඉහළට පහළට යමින් සිටියදී  රිදී ටීවි හි ‘‘සුදෝ සුදු‘‘ දිග හැරෙමින් තිබිණි. එය නිමාවත්ම ඇරඹුණේ චිත්‍රපට ගී වැඩසටහනකි. එහි දෙවන ගීතය ඇරඹෙත්ම, අනූපමා 1978 යැයි  තිරයේ සඳහන් වූයෙන් මම විමසිලිමත් වීමි. ඒ විවෘත ආර්ථිකයත් කරපින්නාගෙනම මා උපන් වසර බැවින් ඒ වසරේම උපන් අනූපමා ගැන කුහුලක් උපන් බැවිනි. වැව් දියෙහි ඔරුවක නැගී ගී ගයන්නාවූ යුවළ කවුරුන්දැයි පැහැදිලි වන්නට පෙරම ගීතයේ සංගීතය මසිත පැහැරගති. මම ගීතයෙහි ගිලී ගියෙමි. ඉහතින් දැක්වූයේ ඒ අනූපමා චිත්‍රපටයේ ගීතයයි.

ගීතයෙහි පද පෙළ සරල ය. සිලිටි ය. ඒ පද පේළි මතින් ප්‍රේමණීය රසඳුන් ගල්වන්නේ සුමධුර ස්වර සංයෝජනය යැයි සිතමි. වික්ටර් රත්නායකයන්ගේ ගැයුම් මෙන්ම ඔහු අතින් නිමැවූ ස්වර රචනාද මියැසි සෞන්දර්යයෙන් අගතැන් වන්නේය, එහි සැකයක් නැත. එයටම සරිලන ප්‍රේමණීය හඬ පෑහුමකි, ජෝති - ලතා. හදවතින්ම විඳින්නට හැකි ගීතයකැයි සිතමි.  

ඉක්බිති ගීතයෙහි වගතුග සොයා සැරිසැරුවෙමි. මේ ගීතය එච්.ආර්. ජෝතිපාල සහ ලතා වල්පොල චිත්‍රපටයක් වෙනුවෙන් ගැයූ පළමු යුග ගීතය බව දැනගන්නට ලැබුණේ එවිටය.  සංගීතය ආචාර්ය වික්ටර් රත්නායකයන්ගෙනි. ගේය පද රචනය මා බෙහෙවින් කැමති, ප්‍රවීණ ගේය පද රචක කුලරත්න ආරියවංශගෙනි. අනූපමා චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි.  


 ජෝතිගේ මා බෙහෙවින් ආදරය කරන තවත් ගීතයකි, සරා සඳේ... එහි පද රචනයත් කුලරත්න ආරියවංශයන්ගෙනි. මෙවර පොත් ප්‍රදර්ශනයේ දී ‘‘සම‘‘ කුටියට ආ පොත් අතර කුලරත්න ආරියවංශයන්ගේ ගේය පද රචනා ඇතුළත් පිනිබර මලක් කෘතියද, සංයුක්ත තැටි හතරකින් යුත් ගීත 80 ක පිනිබර මලක් ගී ගොනුවද මිල දී ගන්නට හැකි විය. කොතරම් මධුර, මනෝහර, හෘදයාංගම ගී එකතුවක්ද!!! හිත නිවී සැනහෙන ගී දහරකි.

‘‘සඳ එළිය සේ සෞම්‍ය වූද, හිරු එළිය සේ ප්‍රභාෂ්වර වූ ද, තරු එළිය සේ විචිත්‍ර වූ ද ගී කන්දක් ලියා ඒ කඳු පාමුළ සැඟව සිටින කුඩා මිනිසෙකි.‘‘ පිනිබර මලක් කෘතියෙහි පසුවදනෙහි ලා සමුද්‍ර වෙත්තසිංහයන් කුලරත්න ආරියවංශ හඳුන්වා දෙන්නේ එලෙසිනි. ‘‘සම‘‘ කුටිය අබියස ඔහු හා දොඩමළු වන්නට ඉසිඹුවක් ලදින් එය කොතරම් සත්‍යයක්දැයි වටහා ගතිමි. සැබවින්ම ඔහු හැලහැප්පීම්වලට අකමැති පාඩුවේ සිටින්නට කැමති නිහතමානී මිනිසෙකි.     

 .......

අද උදෑසන ‘‘දිලි දිලි දිලිසේවි මා දෑසෙ ආලෝකේ‘‘ ගීතය සවන් වැකුණු මොහොතක අප කතා වූයේ ජෝති නම් කිසිදිනක නොමැරෙන ගායකයකු බව ය. සැබවින්ම ඔහු ජෝතිමත් ගායකයෙකි. පුංචිම කාලයේ මා වඩාත් ප්‍රිය කළේ ඔහුගේ ‘රාං කුරුල්ලෝ රෑනේ උන්නේ රාන් කිරිල්ලී කොයි‘ ගීතයට බව මතකය. ඒ ඇල්ම ගීතයේ රිද්මය නිසා උපන්නක් මෙන්ම කුරුල්ලන් ගැන කියවුණු ගීතයක් යැයි වූ හැඟීමද එයට බලපාන්නට ඇත. දැනටත් හිතේ ඇඳෙන්නේ ඉගිල යන කුරුලු රෑනක දසුනකි. 



 මගේ ප්‍රියතම ජෝතිමත් ගීත ලැයිස්තුවේ වන ගීත සමුහයකි. මේ එයින් කිහිපයකි. ආනන්දනීය  නව වසරක් වෙනුවෙනි... 

නින්ද නේන රාත්‍රියේ


සල් සපු නා


මේ ගී කාටදැයි   


පාලු සුසානේ ප්‍රේම පුරාණේ


ඔබෙ සැප මගෙ සතුටයි...


Sunday, January 1, 2017

ස්වර්ගීය අත්වැරැද්දක්ම ය ප්‍රේමය...



පෙම්වත,

ප්‍රේමය නම් වන
දුර්පරික්ෂාවෙහි ඇළලුණු
පව්කාර ස්ත්‍රියට
කුමකට ද සමාවක්...

පාප උච්චාරණ නොකරමි
වරදකාරිය වෙමි
හිස නමමි...

ඉතින් ගල් ගසනු මැන....

ලියූ කප්පරක් ලියමන්, කවිකම්
නෝක්කඩු අවනඩු
අතර හමුවනු ඇති
මුදු සුමුදු සුමට ගල්
තියුණු මුවහත් ගල්
රිසි රිසි ලෙසින් ගෙන
රිසි රිසි දුරින් හිඳ
ගසනු හැකි ගල් මුල්...

ආත්මය පෑරී
ගලා හැලෙනුයේ දෑසිනි
දෝවනය කර දෑත ම
නිදොස් වනු හැකි...

ස්වර්ගීය සැලසුමක් වී නම්
ඇස ගැටුම
ස්වර්ගීය අත්වැරැද්දක්ම ය
ප්‍රේමය...

පාප ප්‍රස්ථාවේ නොවැටෙනු පිණිස
යදිනු කුමකට...
ස්වර්ගීය අත්වැරැද්දක
විත්තිකාරිය වෙමි මම...

( ප්‍රේම ගීතාවලිය 06)