Wednesday, March 15, 2017

ඔබ තාමත් ළමා පොත් කියවන්න කැමතිද?


මම තාමත් ළමා පොත් කියවන්න ආසයි. මට ළමා වියේ මගහැරුණු වටිනාම ජීවන අත්දැකීම ළමා පොත් කියලයි අදත් මට හිතෙන්නෙ. පොත් ගුල්ලො වැඩිදෙනෙක් බොහොම කැමැත්තෙන් වර්ණනා කරන රුසියන් සුරංගනා පොත් එකක්වත් මට ළමා වියේ හමුවෙලා නැහැ. ඒ හැම පොතක්ම මං කියෙව්වෙ පසුකාලෙක. 

එවකට ගමේ පුස්තකාලයේ තිබුණෙත් ළමා පොත් සීමිත ප්‍රමාණයක්. ඒ නිසා පොත් මුණ ගැහුණු අවස්ථා හරිම අඩුයි. තෑග්ගට පොතක් දෙන්න හිතූ වැඩිහිටියොත් අපට උන්නෙ නැහැනෙ. ඒ විදියට ළමා වියේදි විඳිය යුතු රසවත් ජීවිත අත්දැකීමක් අහිමිවීමෙන් උපදින හිස්තැනක් පුරවා ගැනීමට දරන උත්සාහයක් නිසාද මන්දා, මම තාමත් ළමා පොත් කියවන්න ආසයි. සමහරවිට තාමත් මං තුළ ජීවත් වෙන ළමයා ළමා ලෝකයේ සැරිසරන්න දක්වන ආශාවත් එයට හේතුවක් වෙන්න ඇති.  

ළමා, නව යොවුන් සාහිත්‍යය ගැන මගේ උනන්දුව ඇවිළුවෙ ළක්‍රිවී ළමා සංවිධානය. ළමා, නව යොවුන්, තරුණ වයස්වල අය එක්ක විවිධ වැඩවල යෙදෙද්දි සාහිත්‍යය ඒකට ලොකු අත්වැලක් වුණා. අපි දරුවන් එක්ක බෙදා හදාගත්ත ලංකාවෙ නව යොවුන් සාහිත්‍යය තුළ කැපී පෙනුණ ලේඛකයා තමයි දෙනගම සිරිවර්ධන. කතරක පිපුණු මල් දෙකක්, පුංචි ගොපල්ලා, අපට අපේ අත්, ගුරු පඬුරු, මිතුරෝ වගේ පොත් ළමයි එක්ක කතා බහ කරන්න සුදුසු, ළමා ලොවට සම්බන්ධ පුළුල් පරාසයක ජීවන අත්දැකීම් අරන් ආවා.

මීට අමතරව දොන් පීටර් පියතුමා, සිබිල් වෙත්තසිංහ, ටී.බී. ඉලංගරත්න, මාටින් වික්‍රමසිංහ වැනි ලේඛක ලේඛිකාවන්ගේ කෘතිත් ළමුන්ට හඳුන්වා දුන්නා. 

( පරිවර්තන කෘති වැඩි ප්‍රමාණයක් තිබුණත් මෙතනදි මගේ අරමුණ වෙන්නෙ ලාංකේය නව යොවුන් සාහිත්‍යය ගැන වැඩි අවධානයක් යොමු කිරීම. එතනදි රටක් වශයෙන් අපි දුප්පත් කියල තමයි මට හිතෙන්නෙ. ඔබ කියවා ඇති යොවුන් සාහිත්‍ය නිර්මාණත් මෙයට එක්කරන්නැයි ඉල්ලීමක් කරන්න කැමතියි. )  



මෑතක මට හමුවුණා යොවුන් සාහිත්‍ය කෘති මාලාවක පළමු කෘතිය. ‘‘යහළු උණ පඳුරයි හොඳ අත්තම්මයි.‘‘ ජයන්ත කහටපිටිය සහ චමින්ද ක්‍රිශාන්ත යන ලේඛක මහතුන් දෙපළගේ පරිශ්‍රමය සිත්ගන්නා සුළු, මානව දයාවෙන් පිරුණු සුන්දර නිර්මාණයක් වී ඇති බවයි මගේ හැඟීම. අපේ පරම්පරාව සහ ඉන් එපිට පරපුරක ළමා වියේ අත්දැකීම් සමූහයක් මෙයින් නිරූපණය වෙන්නෙ. එය අද දවසේ අපේ දරුවන්ට රසවත් අත්දැකීමක් වනු ඇති නිසැකවම. ඒ එක්කම කෘතියේ එන ළමා විය තමන්ගේ සත්‍ය ජීවිතයෙන් කොතරම් දුරස්ද යන හැඟීමත් දැනෙනු ඇති.

අද සෑම මනුෂ්‍ය ජීවිතයක් වගේම ළමා වියත් සංකීර්ණ ජීවන අරගලයක් බවට පත්වෙලා. මේ මොහොතේ දරුවන්ගේ ජීවිතයේ සැබෑ යථාර්ථය හඳුනාගෙන, එයට අර්ථවත් ලෙස මුහුණ දෙන්නට හැකි විදියට ළමා මනස ගොඩනඟන ළමා/ යොවුන් සාහිත්‍යයක් අපට තියෙනවද කියන එක ගැටලුවක්?

ඒ වගේම ළමාවියට අහිමි වී ඇති සොබාදහමේ සුන්දරත්වය, ළමා වියේ කෙළිකවටකම්, කෙළි සෙල්ලම් පොතපතින් හෝ සමීප කරවන්නට අපේ වර්තමාන සාහිත්‍යය පොහොසත්ද?

එවැනි සාහිත්‍ය කෘති තිබුණත් අද දරුවන් කියවීමට රුචිකත්වයක් දක්වනවද? දරුවන්ගේ කියවීමේ ආශාව දල්වන පසුබිමක් පවුල් පරිසරය තුළ, පාසල තුළ තියෙනවද?

මේව ඉතින් ප්‍රශ්න, විසඳුම් සෙවිය යුතු.

මේ අතර අපේ යොවුන් සාහිත්‍යයට එකතු වුණ ‘‘යහළු උණ පඳුරයි හොඳ අත්තම්මයි.‘‘  කෘතියට මගේ සුබ පැතුම් පළකරන්න කැමතියි. ඩොග් ගාලා අතරමඟ නතරවුණ නිසා දැන් ඉතින් කොහොමහරි දෙවැනි පොත හොයාගන්න ඕනි. කතා මාලාව අතරමඟ නතර නොකර ඉදිරියටම යනව නම් තමයි හොඳ. දරුවන්ට තෑග්ගක් විදියට  අරන් දෙන්නත් වටින 
පොතක්...

සුරස පොතක්... මිල රු. 275.00 ( ගමේ පුස්තකාලයට පොත් මිල දී ගන්නා අවස්ථාවේදි විශේෂ වට්ටමක් ලබා දුන් ප්‍රේම් දිසානායක මහත්මාටත්, සුරස කාර්ය මණ්ඩලයටත් බෙහෙවින් තුති!!!) 

හිරු කතා මාලාවේ පළමැන්න ‘‘යහළු උණ පඳුරයි හොඳ අත්තම්මයි‘‘  එළිදැක්වීමේ උළෙලදි සමන් අතාවුදහෙට්ටි මහතා කළ කතාව මෙතනින් කියවන්න.

Thursday, March 2, 2017

‘‘ප්‍රේමය නම් බලන්න යන්න කවුරුත්ම නෑ...‘‘





ඉස්සරම දවසක
ඉල්ලීම් කිසිත් නැතිවම
එක්කරන් ගියා මතකයි
සිනමා සිත්තමකට...

කාෂ්ටක අගනුවර
උතුරු ධ්‍රැව සීතල ය
අසරණවූ සාරි පොට
උරතලෙහි වාරු කොට
ඔබ උන්නෙ තිරයේම
ඇස් දෙක අලෝගෙන......

අතරමැදි විරාමෙදි
නැගී කිසිවක් නොකියාම
පුංචි එකෙකුට වගේ
කන්න බොන්නත් අරගෙන
ආයෙ ආවේ ඔබ
අත්දෙකම පුරෝගෙන...

මං බලා උන්නේ
තුන් හිතම පුරෝගෙන...

රාමුවෙන් රාමුවට ජීවිතය කතා කළ
ඒ එදා දවසෙයි
අඳුන ගත්තේ මං
ආදරේ මුලකුරු
පෙරළ ගත්තේ මං
ප්‍රේමයේ පළමු පාඩම...

කියවගන්නත් පෙර ම පොත
පිටුවෙන් පිටුව ඔබ ඉරා දැම්ම
දරාගන්නම බැරි කමට දුක
මං පොත ම වසා දැම්ම...





Wednesday, March 1, 2017

‘‘තරුරසී‘‘ට ඉස්කෝලෙ යන්න කාලෙ හරි..!!!


අවතැන් හිතකට විසල් අහසක
සෙනෙහසක් බන්දා
හුදකලා කඩදහි අකුරු
නෙතින් නෙතකට කැන්දා
මඳහසත්, සුසුමත් එක ලෙස
ස්නේහයෙන් දෝත රන්දා
බෞතිස්ම කොට අලුත් ලොවකට
‘තරුරසී‘ ලෙස මා උපද්දා
පස් වසක සැමරුමයි අද දින
කල් ඉකුත් වූවාද මන්දා...