1968 වසර...
ආදරවන්ත පුංචි
පවුලක් මහා සමුදුරින් වටවුණු කුඩා දූපතකට එනවා. ඒ දකුණු අප්‍රිකාවේ රොබින් දිවයින.
තරුණ වයසෙ තාත්තයි, අම්මයි, පුංචි දුවයි, පුතයි... මේ පැමිණීම තාත්තගෙ රැකියාවත්
එක්ක සම්බන්ධ බව බොහොම පැහැදිලියි. රොබින් දූපත කියන්නෙ එක්තරා විදියකට සිර
කඳවුරක්. මිලියන 25 ක් පමණ වූ කළු ජාතිකයින් ස්වකීය මව්බිමේම පිටුවහල් කොට මිලියන
4 ක් පමණ වූ සුදු ජාතිකයින් ඉතාම අමානුෂික විදියට ඔවුන් පාලනය කළ යුගයක් මේ.
මේ තරුණ
තාත්තා සිරකරුවන් භාරව ඉන්න සුදු ජාතික පාලකයෙක්. ඔහු නමින් ග්‍රෙගරි.
ග්‍රෙගරිට
පැවරෙනවා විශේෂ රාජකාරියක්. අතිවිශේෂ කළු ජාතික සිරකරුවෙක් සම්බන්ධයෙන්
සුපරීක්ෂාකාරීව හිඳීම සහ ඉහළට වාර්තා කිරීම. කවුද මේ සුවිශේෂ කළු ජාතිකයා. ඒ
අන්කිසිවකු නොවෙයි. දකුණු අප්‍රිකානු නිදහස් අරගලයට උරදෙන තරුණ නෙල්සන් මැන්ඩෙලා. ඔහු
සිරගතව සිටි වසර 27 ක කාලයෙන් වැඩිම කාලසීමාවක් ගතවුණේ රොබින් දූපතේ.
මේ සඳහා ග්රෙගරිවම
තෝරගන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ ඔහු කළු ජාතිකයින්ගේ මව්බස දැන සිටීම. ළමා
වියේ කළු ජාතික මිතුරෙකු සමඟ ඇති කරගත් මිත්‍ර බන්ධනය නිසා ග්‍රෙගරි ‘‘කාපිරි ලවර්” ලෙස අන්‍යයන්ගේ
විහිළුවටත් ලක්වන අවස්ථා තියෙනවා. කෙසේනමුත් වර්ණ භේදවාදය සම්බන්ධව සංවේදීව
මැදිහත් වන පුද්ගලයෙක් බවට පත්වෙන්නට ග්‍රෙගරිගේ ළමා වියේ මේ මිත්‍ර බන්ධනයත් යම්
බලපෑමක් කරන බව පැහැදිලියි.
කළු
සිරකරුවෙක්... සුදු පාලකයෙක්..
මේ පරස්පරය
අධ්‍යාත්මික පෑහීමක්, ලෝකයේ පරමාදර්ශී වෙනසක් ඇති කළ ජනනායකයකුගේ නිදහසත්, මනුෂ්‍ය
සංහතියට සදාතනික පූර්වාදර්ශ සැපයූ දේශපාලන ගමනක සංධිස්ථානයත් දක්වා වර්ධනය වන්නේ කොහොමද?
එය සංවේදී
සිනමා සිත්තමක් ලෙස විඳින්නට ඉඩ ලැබුණා මෙවර මාසික සිනමා දැක්මෙදි. ( ජනවාරි 25
ඉරිදා සවස මීගමුව මාරිස්ටෙලා විදුහලේදි.)
Director: Bille August
......................
මැන්ඩෙලා සහ
ග්‍රෙගරි අතර ඇති වන අධ්‍යාත්මික බන්ධනයත් සුවිශේෂ මනුෂ්‍ය සම්බන්ධතාවක්. චිත්‍රපටය
තුළ ඒ සම්බන්ධතාව ගොඩනැගෙන ආකාරයත්, එය එකිනෙකාගෙ
ජීවිතවලට බලපාන ආකාරයත් සියුම්ව කියැවෙනවා.
ජීවිතය
පිරෙන්නෙ.. ජීවත් වන බව දැනෙන්නෙ සම්බන්ධතා නිසා.. බැඳීම් නිසා. මනුෂ්‍ය සම්බන්ධතා
විතරක්ම නෙවි. ගහකොල, ඇලදොල, සතාසීපාවුන්, ඉර,හඳ,තරු වගේම සාහිත්‍ය කලාව මේ සියල්ල
අපේ ජීවිත පුරවන බැඳීම්.. බැඳීම් දුකක් බව ඇත්ත. ඒත් අපට මේ බැඳීම්වලින් තොරව
ජීවත්වෙන්නත් අමාරුයිනෙ. බැඳීම් දුකක් වෙන්නෙත් තණ්හාවෙන් පිරුණම. අයිතිකර ගැනීමේ
ආශාවෙන් එහා ගිය නිදහස් සම්බන්ධතා මිනිස් හදවත් සුවපත් කරනවා. එතනට යන්න නම් අපි
අධ්‍යාත්මිකව ගොඩක් පොහොසත් මිනිසුන් වෙන්න ඕන. ඒක දුෂ්කර ව්‍යායාමයක් බව ඇත්ත.
සමහරවිට
එපාමයි කියල හිතන බැඳීම් කාලෙකදි හද ගැඹුරේම තැන්පත් වෙන බැඳීම් වෙනවා. කාලෙකදි
අකමැතිම පුද්ගලයො තවත් කාලෙකදි ජීවිතේ ළඟින්ම ඉන්න අය වෙනවා... බැඳීම් තහවුරු
වෙන්නෙ හෝ වියැකී යන්නෙ කාලයත් එක්ක. එහෙම නේද?