Thursday, July 5, 2018

නියාමාරිරා... අප්‍රිකානු සාහිත්‍යයෙන් දිය බිඳක්...

සැම්බියාවේ පාසල් සිසුවියන් පිරිසක් 


අප්‍රිකානු සාහිත්‍යය ගැන කතා කරද්දි මුලින්ම මගේ මතකයට එන නම චිනුවා අචිබි. චිනුවා අචිබිගෙ චිකීගෙ පාසල් සමය මට කියවන්න ලැබුණෙත් මගේ පාසල් සමයෙදි. දරුණු කාපිරියන් ගැන අසා තිබූ කතා බොරු කරමින් ශ්‍රේෂ්ඨ අප්‍රිකානු උරුමය, විචිත්‍ර සංස්කෘතිය ගැන මුලින්ම දැනගන්නට ලැබුණෙ පොත්වලින්. ඒ අතර චිනුවා අචිබිගේ පොත් විශේෂයි. යටත්විජිත ආධිපත්‍යය අවි බලයෙන් වගේම ආගමික ආක්‍රමණයෙන් අප්‍රිකානු ගෝත්‍රික සමාජවල අනන්‍ය සංස්කෘතික විචිත්‍රත්වය විනාශ කර දමන විදිය මේ අප්‍රිකානු මහද්වීපයේ ජන ජීවිතය පිළිබඳව මානවාදී දැක්මකින් ලියැවුණු බොහෝ කෘතිවල දකින්නට පුළුවන්. අප්‍රිකානු සාහිත්‍යය ඇසුරු කරද්දි පැහැදිලිවම දැනෙන අංශ දෙකක් තියෙනවා. එකක් අප්‍රිකානු ලේඛකයන් තමන්ගෙ ජනසමාජය ගැන ලිවීම, අනෙක අප්‍රිකානු නොවන ලේඛකයන් අප්‍රිකානු ජන සමාජය, ඔවුන් මුහුණ දෙන ගැටලු ගැන ලිවීම. ( කල්ලන් දකින කළු ජීවිතය සහ සුද්දන් දකින කළු ජීවිතය... )

මේ මොහොතේ මගේ මතකයට නැගෙන පොත් කිහිපයක් මේ. බෙවර්ලි නායිදුගෙ ජොහැන්නර්ස්බර්ග් කරා කෘතිය ( සුභාවි ) වර්ණභේදවාදය නිසා අප්‍රිකානු ජන සමාජය මුහුණ දෙන ගැටලු ළමා ඇසින් දකිමින් ලියූවක්...

මේ අතර සමහර කතා තමන්ගේම ජීවිත අත්දැකීම් නවකතාවට නැගුණු අවස්ථා... වාරිස් ඩයරිගෙ කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ, ( සුරස) ඉස්මායෙල් බේ A long way Gone (මේ අවිය බර වැඩියි. - සුභාවී ), හලීමා බෂිර්ගේ කාන්තාරයේ කඳුළු (සුභාවී). දැනට මතකයට නැගෙන පොත්. දිනපොතක් විදියට ලියැවුණු කැරොලිනාගේ සටහන් එකතුවත් මේ අතර විශේෂයි. සේනාරත්න වීරසිංහ පරිවර්තනය කළ සුරාලෝලයාගේ විපරීත ආපදානය ( ටුටූලා The Palm Wing - ප්‍රභා ප්‍රකාශන ) වෙනස්ම විදියේ අප්‍රිකානු කතාවක්. මෙය අප්‍රිකානු සාහිත්‍යයේ විශිෂ්ට ගනයේ මායා යථාර්ථවාදී නවකතාවක් ලෙස හැඳින්වෙනවා. 

අප්‍රිකානු වහල් ජීවිත කේන්ද්‍ර කරගෙන ලියවුණු පොත් අතර මුලින්ම මතකයට එන්නෙ ටොම් මාමාගේ කුටිය. ඉන්පස්සෙ මෑතක කියවූ ඉසබෙල් අයියන්දේ ලියූ නිලූක කදුරුගමුව පරිවර්තනය කළ මුහුද යට දිවයින. ( විදර්ශන) එවැනි තවත් පොත් කියවා ඇතත් මේ මොහොතෙ මතකයට එන්නෙ නැහැ. 

දකුණු අප්‍රිකානු නිදහස් සටන ගැන ස්ටීව් බීකෝ ලියන ‘‘හඬනු මැන නිදහස‘‘ ( ගොඩගේ) දේශපාලනිකව ඉතා වැදගත් පොතක් වගේම මනුෂ්‍යත්වය ගැන අප්‍රමාණ ආදරයක්, කම්පනයක් ඇතිකරන කෘතියක්. යටත්විජිත ආධිපත්‍යය කළු මිනිසුන් මත පතුරන ප්‍රචණ්ඩත්වය ගැන කියවෙන කෘති සිත කම්පා කරවන සුළුයි. ( අප්‍රිකානු සාහිත්‍යය ගැන ඔබේ අත්දැකීමත් මේ සටහනට එකතු කරන්න. )

අප්‍රිකානු සාහිත්‍යය ගැන මතක අහුමුළු අවුස්සන්න හිතුණෙ මේ දවස්වල තවත් ඒ වගේ පොතක් කියවමින් ඉන්න නිසා. ඒ ‘‘නියාමාරිරා‘‘ - Nervous Conditions by Tsitsi Dangarembga. පරිවර්තනය වෛද්‍ය ලංකා සිරිවර්ධන මහත්මිය. මෙය ලේඛිකාවගේ අර්ධ චරිතාපදානයක් ලෙසත් හැඳින්වෙනවා. 

නියාමාරිරා කෘතියේ කවරය 


මින් පෙර සාහිත්‍ය කෘතියකදි මට හමුනොවුණු රටක, එක් අප්‍රිකානු පවුලක් වටා ගෙතිල තියෙන්නෙ. ඒ සිම්බාබ්වේ, අතීතයේ හඳුන්වල තියෙන්නෙ රොඩේසියාව නමින්. සුදු ආධිපත්‍යයට නතු වීමෙන් කාලෙකට පස්සෙ ඔවුන් යටත්විජිත පාලනයට අනුගත වෙමින් ඉන්න අවධියක කතාවයි මෙයින් දිගහැරෙන්නෙ. කතාව කියවෙන්නෙ තාඹුද්සායි දැරියගේ හඬින්. මිෂනාරි අධ්‍යාපනයෙන් ඉහළට ගිය කළු ජාතිකයකු වූ බබාමූකුරු නායකත්වය දරණ විස්තීර්ණ පවුලක ඇය ජීවත්වෙන්නේ. ස්ත්‍රීයගේ අධ්‍යාපනය එතරම් වැදගත් ලෙස නොසැලකෙන, ගැහැනිය නිවසට, ගොවිපළට සහ ඇඳට සීමාවුණ පුරුෂමූලික සමාජයක ළාබාල වියේ සිට ඇය තමන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා. කතාව තුළ දිගහැරෙන්නෙ ඇය තමන්ගේ අධ්‍යාපන අයිතිය රැකගන්න දරන වෑයම වුණත් ඒ වටා ගොඩනැගෙන කාලීන සමාජ, ආර්ථික, දේශපාලන වටපිටාවත් හඳුනාගන්න පුළුවන්. 


යටත්විජිත පාලනය සහ මිෂනාරි අධ්‍යාපනය ස්වදේශීය ජනජීවිතය මත සිදුකරන බලපෑම මෙහි ගැඹුරින් සාකච්ඡා වෙනවා. බබාමූකුරුගේ එකම දියණිය නියාශා එලෙස අවුල් වූ ජනජීවිතයේ සංකේතාත්මක හැඩය නිරූපණය කරනවා. ඇගේ ළමා විය ගතවෙන්නේ එංගලන්තයෙ. ආපසු සැම්බියාවට පැමිණි පසුව ඇයට ඒ ජනසමාජය හා පෑහෙන්නට නොහැකි වෙනවා. ඇය තමන්ව හඳුන්වා දෙන්නෙ ‘එහෙටත් නැති මෙහෙටත් නැති‘ කෙනෙක් විදියට. මිෂනාරි අධ්‍යාපනයෙන් බිහිවෙන්නේ මුල් උදුරා දැමූ ගස් බඳු මිනිස්සු බවයි ඇගේ හැසිරීමෙන් අපට දැනෙන්නෙ. ඇය තමන් වෙත බලපවත්වන පීඩනය නිසා තමන්ගෙ පියා එක්ක ගැටෙනවා. එංගලන්තයේ නිදහසේ ජීවත්වුණු ඇයට තමන්ගෙම මව්බිමේ සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාවට අනුගත වෙන්න බැරිවෙනවා. පියා සමඟ වන සටනින් නිදහස ලබා ගත නොහැකි තැන ඇය, තමන්වම හුදකලා කරගනිමින් අවසන මානසික රෝගියකු බවට පත්වෙනවා.

නියාශාගේ ජීවිතය යටත්විජිත පාලනයට හසු වූ බොහෝ රටවලට සිදු වූ ඛේදවාචකයේ හැඟවුම්කාරකයක්. මේ තත්වය අපට අපේ රට තුළින්ම වුණත් හඳුනාගන්නට පුළුවන්.  

බහුතර පුරුෂ මූලික ජන සමාජවල පවතින ස්ත්‍රීය වෙත බලපවත්වන අධිකාරය, බලහත්කාරය මෙම කෘතිය තුළත් සාකච්ඡාවට ලක්වෙනවා. තාඹුද්සායි, නියාෂා වගේම නියාෂාගේ මව, තාඹුද්සායිගේ මව, ඇගේ නැගණිය ලුසියා යම් අවස්ථාවල එයට එරෙහිව  කැරලි ගසනවා. මෙම කාන්තාවන් මත බලපවත්වන සමාජ පීඩනය විටෙක ඔවුන් අරගලකාරියන් බවටත් තවත් විටෙක මානසික රෝගීන් බවටත් පත්කරන ආකාරය සියුම්ව මතුකරනවා. මේ කෘතිය මනෝවිශ්ලේෂණාත්මක නවකතාවක් ලෙසත් හැඳීන්වෙන්නෙ එනිසයි. 

කතාව අග වෙද්දි හදිසියෙන් අවසන් කළ බවක් දැනෙන්න ගන්නවා. තාඹුද්සායිගේ ජීවන ගමනේ තවත් දුර අපට ඇය එක්ක යන්නට උවමනා වුණත් එය එක්වනම නතර වෙනවා. කෙසේනමුත් විටෙක විප්ලවකාරීවද, තවත් විටෙක යටහත් පහත්වද, තවත් අවස්ථාවල ආත්මාර්ථකාමීවද තමන්ගේ අරමුණ කරා යන ගමන ජයග්‍රහණයෙන් මිස නොනවතිනු ඇති බවට අප තුළ හැඟීමක් ජනිත කරනවා. තාඹුද්සායිගේ ගමට ජීවය දුන්නු ‘‘නියාමාරිරා“ ගඟ වගේම ඇය නොනැවතී ඉදිරියට යනු ඇත. නමුත් නියාශා... ඇගේ ඉරණම කුමක් වනු ඇත්ද?   

පරිවර්තනයක් වුණත් එලෙස නොදැනෙන තරමට මටසිළුටු රචනා ශෛලියක් පරිවර්තිකාව භාවිත කරල තියෙනවා. කෘතිය කියවීම රසවත් අත්දැකීමක් වෙන්නේ ඒ නිසයි. වෛද්‍ය ලංකා සිරිවර්ධන කවි උරුමයක් සහිත පවුල් පසුබිමකින් පැවත එන්නියක්. ඒ ආභාසයත් ඇගේ භාෂාව හැඩවෙන්නට බලපාන්නට ඇති නිසැකවම. 

කෘතියේ ලේඛිකාව ට්සිට්සි ඩැන්ගරෙම්බා 

කෘතියේ ලේඛිකාව ට්සිට්සි ඩැන්ගරෙම්බා 1959 වසරේ උපත ලබන්නෙ
. ඇගේ ළමාවිය වසර දෙකේ සිට හය දක්වා ගතවෙන්නෙ එංගලන්තයෙ. සිම්බාබ්වෙදි උසස් අධ්‍යාපනය නිමකරල වෛද්‍ය විද්‍යාව හදාරන්න නැවත එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියට ඇතුළු වුණත්, ඇයට මුහුණදෙන්නට සිදුවන ජාතිවාදයේ වේදනාකාරී අත්දැකීම් නිසා ඇය අධ්‍යාපනය අතහැර මව්බිමට එනවා. මනෝවිද්‍යාව හදාරනවා. ඇය නැවතුම් ගන්නෙ සාහිත්‍ය කලා ක්ෂේත්‍රය තුළ. මේ වෙද්දි ඇගේ රටට නිදහස ලැබිලා. ඇය මුලින්ම නාට්‍ය කරනවා. පසුව කෙටි කතා ලියනවා. සිනමාව ගැන හදාරමින් සිම්බාබ්වේ කාන්තාවක් අධ්‍යක්ෂණය කරන පළමු  චිත්‍රපටය ලෙස Everyone's Child සිනමා කෘතිය එළිදක්වනවා. මෙම Nervous Conditions නවකතාව පළවෙන්නෙ 1988 දී. සිම්බාබ්වේ ජාතික කාන්තාවක්  ලියූ පළමු නවකතාව ලෙස මෙය හැඳින්වෙනවා.

පරිවර්තන සාහිත්‍යයට විශේෂයෙන් අප්‍රික්‍රානු සාහිත්‍යයට ළැදි අයට මේ කෘතිය රසවත් අත්දැකීමක් වේවි.

අන්තිමේ බැලුවම හැම ජීවිත කතාවක්ම නවකතාවක්... එය සුන්දර වුවත්, අසුන්දර වුවත්...

4 comments:

  1. I was in dilemma whether to buy this book or not. Now confirmed, I’ll add that to my list in next September. I think Zambia was known as Northern Rhodesia and Southern Rhodesia was named Rhodesia then changed to Zimbabwe. In your African experiences you have missed one important book! (Sorry I don’t know how to type in Sinhala on this platform so my comment is in English)

    ReplyDelete
  2. හොඳ ඔත්තුවක්... ස්තුතියි!

    ReplyDelete
  3. අප්‍රිකාණු සාහිත්‍යය ගැන ලියවෙච්ච පොත් නම් කියවලම නැද්ද කොහෙද..වාරිස් ඩයරි ගේ එකක් ද කොහෙද කියවල තියෙනවා එච්චරයි

    ReplyDelete
  4. අප්‍රිකානු කතා කියවල තියනවා. නමුත් සාපේක්ෂව අඩුයි

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...