පිටු

Tuesday, November 14, 2023

රේල්ලුවට ගොඩවනු පෙර

 


සිව් වසකට පසුව ඒ දුම්රිය නැවතුම ම යළි ඇගේ ඇස් ඉදිරිපිට.

ඒ කඩතොළු පියගැටපෙළ ම. ඒ කණාටු මල් පෝච්චි ම... ඒ අඳුරු සමර පැහැය ම.

වෙනසකට ඇත්තේ තාවකාලික අමන්දානන්දයක අසංවේදී පින්සල් පහරින් පහර ලද දුර්වර්ණව යමින් පවතින සිත්තම් පේළියම පමණයි. කොතරම් ඉක්මණින් ඒ වෛවර්ණ සිහින බොඳ වී, වියැකී විනාශ මුඛයට ඇදී ගියේ ද? අතරමග අතරමං වූ සිතුවම් කැබලිතිවල අසම්පූර්ණත්වය ම එයට දෙස් දෙනවා. එදා සහ අද අතර වෙනස බරපතළව දැනෙන්නේ ඇගේ ආත්මයට පමණක් ම නොවේ. ඉමක් නොපෙනෙන අඳුරු අගාධයකට ඇද වැටුණු කොදෙව්වේ පවා ආත්මය ඇදුම් කමින් තියෙන්නෙ.

ඇය හෙමිහිට පියවර තබා පිය ගැට කිහිපය නැග දුම්රිය වේදිකාවට පිවිසුණා. එක්වනම ඈ සිව්වසක්... නෑ ඊටත් වඩා ඈත අතීතයකට විසි වුණා කිවහොත් නිවැරදියි.

ඔහු... තවමත්... එතැනම... ඒ විලසින් ම... සිව්වසක් කියන්නෙ එකම චක්‍රයක කැරකැවෙන ජීවිතයක් වෙනස් වෙන්න තරම් කාලයක් නෙවෙයි ද?  ඒ හීන්දැරි උස් සිරුර,  උර මත රැඳුණු කළු බෑගය. දසන් දක්වා සිනා නොමසෙන තදින් වැසුණු මුව. රැවුල් කොට ගැවසි වත මඬල. දුක්බර ශෝකාලාපයක් කැටි කොට ගත්තාක් බඳු දෑස.

මොහොතක් ගල් ගැසී උන් තැනම සිටි ඇය බිම බලාගත්වනම ඔහු අසලින් පියවර මැන්නා. නාඳුනන්නියක ලෙසින්. මඳක් දුර ගොස් ලී බංකුවක හිස් ඉඩක් සොයා වාඩිවන අතර ඈ සිතින් සිතුවා.

‘‘මාව මතකද? මාව අඳුනගත්තද? එහෙමනම් මං දිහා බලන් ඇති.“

ඒ සිතුවිල්ලෙන්ම ඇය ආපසු හැරී බැලුවා.

ඔව් ! ඔහු ඇය දෙස බලාගත්වනම. විස්මය තැවරුණු ඇස්වලින්. සිව්වසකට පසුවත් මතකයට නගා ගන්නට තරම් පුංචි ඉඩක් ඇය වෙනුවෙන් ඉතිරි වෙලා තිබිලා.

ඔහු දන්නෙ නෑ. ඇගේ කවියක තවමත් ඔහු හුස්ම ගන්නා වග. සමහරවිට කවදාවත් දැනගන්නෙත් නෑ.  දැනගන්න ඕනෙත් නැහැ.



ඉර පිපෙන්නේ හිමිදිර
දෑස ගැඹරෙනි
මුනිවර මුනිවතක
සංයමය අස
සුවහසක් මල් සුපිපුණි...

පීලි මත්තෙහි තාම
දිලිහේය පිනි...

රේල්ලුවට ගොඩවනු පෙර
දෑස ට දෑස හමුවුණි
ළය උපන් සුසුමෙහි
එ රන් මුදුවක් දිලිහුණි.

එකම මැදිරියක අප දෙපසිනී
එකම නැවතුමක බැස දෙතැනිනී
සිල්පරෙන් සිල්පරය පනිමිනී
පීලි නොපනින දෑස නික්මිණී....

හූ හඬ නංවාන
කලබල ගමන් යන
රේල්ලුව තවරා ගිය
දූවිල්ල පිසිමින්
මොනිං ග්ලෝරි මල්වැල
සුපුරුදු සිනාවෙනි...

එකම මග දෙපස අපි
උනුන් දෙස නොබලා ම
එරන් මුදු හැඩැති
වටරවුම පසුකොට
දෙමගක නික්ම යන



2016 ඇසළ මස

Sunday, November 5, 2023

විපුල කවියක් වන් සොයුරියක්

 

විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි කිවිඳිය... සොයුරිය...

විපුලි අක්කාගේ වියෝව අනපේක්ෂිත තදබල කම්පනයක් මා තුළ දැනවූ සිදුවීමක්... හිමිදිරියක දුටු සිහිනයක් ලෙසින් එය අමතක කර දමන්නට හැකි නම් මා තවමත් කැමතියි. 

අලුත් සිනමා පටයක් පිළිබඳ තොරතුරක් ලද විගස ‘අපි බලමු‘ කියන්නට විපුලි අක්කා නැති බව සිහිපත් වන්නේ මද වෙලාවකට පසුව. 

''අපි දරුවො වෙනුවෙන් වැඩක් කරමු නංගි..." කියන්නට ඈ ළඟ නැති වීම මහා අඩුවක්. අපේ අවසන් වට්සැප් සංවාදයත් දරුවන්ට පොත් ලබා දීමේ වැඩක් සම්බන්ධව. අන්තිමේ අපට ඒය කරන්නට සිදු වූයේ විපුලි අක්කාගේ මතකය සමඟ කඳුළින් තෙත් වූ නෙතින්...

අප ආදරණීය‌ සොයුරියගේ වියෝ වේදනාව හද පෙළන මහා බරක් වන්නට ඉඩක් නොතබාම අපි විපුලි අක්කාගේ අම්මා සමඟ කාලය ගෙවීමේ කාර්යබහුල කාලසටහනකට එළඹුණා. 

අම්මාගේ තනි නොතනියට ගිය අපි (තනූජා, සුදු අක්කා සහ මම.) විපුලි අක්කාගේ පොත් එකතුව අරපරෙස්සම් සහිතව ඇතුළු කාමරයක ගබඩා කිරීම භාරගත්තෙ බොහෝ කැමැත්තෙන්මයි. ඇය ඒ පොත් එකතුවට කොතරම් ආදරය කළාද යන්න අප හොඳින්ම දැන උන් කාරණයක්.  එදා රෑ මැදියමක් වෙනතුරු පොත් වර්ග කරමින්, රාක්ක ගත කරමින් ඉන්නා අතර අද විපුලි අක්කත් උන්න නම් කොයිතරම් හොඳද කියන වාක්‍ය ඛණ්ඩය, අප තෙපලූ වාර ගණන, සිතින් සිතූ වාර ගණන ගිණිය නොහැකි තරම්...

දුලබ, මනරම් කවි පොත් එකතුවක් ඈ සතුයි. අසූව දශකයේ අග භාගයේ සිට එළිදැක්වුණු බොහෝ කවි පොත් එහි ඇතුළත්. විශේෂයෙන් ප්‍රකට කවි කිවිඳියන්ගේ සියලුම කවි පොත් පාහේ ඇගේ එකතුව වර්ණවත් කරනවා. ඒ අතර නවක කවි කිවිඳියන්ගේ කවි පොත් සෑහෙන ප්‍රමාණයකුත් එහි තිබෙනවා.

නොවරදවා කවි පොත් එළිදැක්වීම්වලට යන ඇය අනිවාර්යයෙන් පොතක් මිල දී ගත්තා. එසේ නොවුණා නම් ඒ ඉතාම දුර්ලභ අවස්ථාවක්. එයටත් සාධාරණ හේතු තිබුණා.

බොහෝ කවි පොත්වල පැන්සල් තුඩින් කළ සලකුණු කිරීම්... කෙටි අදහස්... ඇය කොතරම් කවි පොත් ගැඹුරින් කියවා ඇතිද යන්නට එයම සාක්ෂ්‍ය සපයනවා. සමහර පොත් පිටු අතර එහි එළිදැක්වීමට කළ ආරාධනය පොත් සලකුණක් ලෙස තබා තිබුණා. සමහරවිට කවි ගැන ලියූ සටහන් හෝ අදාළ වෙනත් සටහනක් පොත තුළම තිබුණා. විපුලි අක්කා කවියට දැක් වූ ඇල්ම කොතරම්ද යන්නට ඇගේ කවි පොත් එකතුවම සජීවී සාක්ෂියක්.

පොත් අතර සිටිනතර ‘මෙන්න තරු ඇස් රහස්‘ කියා මගේම කවි පොත සහ ඒ ගැන විපුලි අක්කා ලියා ඇති සටහන මා අත තැබූයේ තනූජා. එය ඇස කඳුළු නැංවුණු අවස්ථාවක්. 2016 වසරේ දිනෙක මීගමුවේ පැවති ‘තරු ඇස් රහස්‘ සංවාදයට අදහස් දක්වන්න විපුලි අක්කාත් ආවා. මේ සටහන ඇය ඒ වෙනුවෙන් සකස් කළ අසම්පූර්ණ සටහනක්. නමුත් මේ ලස්සන අත්අකුරු, අදහස් පෙළගැස්ම ඇගේ සූදානම කොතරම්ද යන්න මනාව පසක් කරදෙන්නක්.

 


තරු ඇස් රහස් කියා දුන් ප්‍රේමය/ තරු ඇස් රහස් සහ කවියේ ප්‍රේමය

සෞන්දර්යයේ, සංවේදනාවේ උල්පත ප්‍රේමය නම් තරු ඇස් රහස් තුළින් එළි දකින තරංගනී රෙසිකා ප්‍රනාන්දු කිවිඳියගේ කවියේ උල්පත වනුයේ ද ප්‍රේමයම බැව් පෙනේ. කවිය ගැන කතා කරන්න, කවිය හා ප්‍රේමය ගැන කතා කරන්න මෙයම නිමිත්තකැයි සිතුණු නිසාවෙන් අවසානයේ දී මා තීරණය කළා ස්ත්‍රීත්වය, ප්‍රේමය හා කවිය ගැන මගේ අදහස් කීපයක් ගොනු කරන්න.

ප්‍රේමය කවියේ උපත කර ගත් ප්‍රකට කවි කිවිඳියන් අතර බටහිර රොමෑන්ටික් කවීන් විශේෂයි. පෙරදිග වගේම අපරදිග බටහිර සම්භාව්‍ය සාහිත්‍යයේත් ප්‍රේමය මූලාශ්‍ර වී තිබෙන තැන් බොහෝමයි. කවිය ඒ අතර සුවිශේෂයි. මන්දයත් ඕනෑම ප්‍රේමයක මූලාරම්භයේදීම කෙනෙකු තුළ උපදිනා ඉසියුම් සංවේදනා එකින් එක පෙරා ගතහොත් ප්‍රේම කාව්‍යයක රොන් සුණු එහි නොඅඩුවම තිබෙනවා.

ප්‍රේමය කියූ සැණින් අපට ස්ත්‍රී පුරුෂ ප්‍රේමය සිහියට ආවත් කිතුනු බැතිමතුන් ලෙස ඔබ අප ප්‍රේමය අර්ථ දක්වන ආකාරය වෙනස්. සමස්ත මානව වර්ගයා කෙරෙහිම පැතිර පවත්නා ප්‍රේමය එහි කැටි වෙන එකම එක අර්ථයයි. ඒ පරම අර්ථයෙන් ගත් කල ප්‍රේමය මේ අප හැම කෙනෙක් තුළ මෙන්ම ස්වභාව ධර්මය තුළත් පැතිර පවත්නා මානුෂීය හැඟීමක්. තරුරසීගේ කවියට අවතීරණ වෙද්දි අපව වෙළා ගනුයේ එකී සමස්ත මානව වර්ගයා කෙරෙහි පැතිර පවත්නා වූ උත්තම ප්‍රේමයෙන්.  දෙවියන් කෙරෙහි ඔබ කැඳවූ ඒ උත්තරීතර පොදු ප්‍රේමයෙන්.

තරු ඇස් රහස් හරහා මේ නවක කිවිඳියගෙන් ප්‍රකාශයට පත් වන ප්‍රේමයට පෙර අපි කවි කිවිඳියන් හැමදෙනාගේම මුල් පොත් හරහා ඔවුන් අත්විඳි ප්‍රථම ප්‍රේමයේ රහස් සොරාගෙන, බෙදා හදාගෙන තිබෙනවා. ප්‍රථම රහසක් නොවන්නේ එය කවරාකාරයකින් හෝ ප්‍රකාශයට පත් වන කවියක්ම වන නිසා කවියෙන් කියාගන්න බැරි අයට ඒ ප්‍රථම ප්‍රේමය කවරාකාර අත්දැකීමක් විය හැකිදැයි යන්න වෙනම සිති බැලිය යුතුයි. ඇතැමුන් එය අන්‍යයන් හා බෙදා ගන්නවා. තවත් සමහරු ඒ වෙනුවට අනුන් ලියන, ගයන ගී අහනවා. විඳිනවා. හැම කලාංගයකින්ම ඒ අයගේ ඒ ආත්මයේම භාව විශෝධනය පිණිස මාර්ග විවර කර දී තිබෙනවා. කිවිඳියක ලෙස අද තරුරසී කරන්නෙත් ඒක. කවුරුන් හෝ ලියූ අති රමණීය පෙම් කවකින්, විරහ කවකින් කළෙත් ඒක. කව් සිළුමිණෙන්, සීගිරි ගීයෙන් මෙහාට අපි හැමෝම අද ඒ වෙනුවෙන් යම් පමණක දායකත්වයක් දරනවා. ප්‍රේමය පොදු හැඟීමක් නිසාම.

ප්‍රේමයේ ස්වභාවයන් විවිධාකාරයි වගේම ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ ස්වභාවය ද අතිශයින්ම සංකීර්ණයි. ප්‍රථම ප්‍රේමයේදී බොළඳ වන්නා හා සමානවම සිය කුළුඳුල් කවි කෘතියේ දී එය බොළඳ කවියකින් ප්‍රකාශයට පත් වූ අවස්ථාද එමටයි.

අපි දෙන්නා සහ තවත් කීපදෙනෙක් - මොනිකා රුවන් පතිරණ

ගුරු සිත නොරිදවා

ඔබෙන් නෙක සිප් ලද

මුදු මොළොක් විය මා හද

කිවි තෙපුල් නල වැද

නැගිණි හද වෙණ සිය දහස් නද

 

ලැබ මුදු බස් නොමඳ

නිවෙන හෝ ගිනි මඳ මඳ

ළං විය ඔබ නිබඳ

එයම මිස ලොව අන් සැපක් කොද

 

එහෙත් කල් ගිය තැන

අවුළුවා හද ගිනි ගෙන

වසා සෝ අඳුරෙන

බැහැර විය ඔබ මහද මැදුරෙන

 

මොනිකා රුවන්පතිරණ ........ ප්‍රේමය අන්තරාවලෝකනය කරන කවිය සම්භාව්‍ය පද්‍යෙයහි ඇසුර ගෙන ලියූ  වියත් බසින් කළ කවියක්. ( ඇය තවත් මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ කවි කිහිපයක කුඩා කොටස් මෙහි සටහන් කර ඇත.)

තරුරසීගේ ප්‍රේමය කෙබඳුද? ප්‍රශ්න කරන ඇය ‘තරු ඇස් රහස්‘ පොතට ඇතුළත් කවි බොහොමයක මාතෘකා සටහන් කර තිබුණා.

පැටලී හිඳිමි (20)

දළ බිඳුම (28)

ග්ලැඩියේටර් පෙම්වතී මම (54)

ඉපැරණි පෙමක සුහද හමුව (60)............. ආදී ලෙසින්...

 

ඇය කතා කිරීමට අදහස් කළ කරුණු කෙටියෙන් දක්වා තිබුණේ මෙලෙසින්...

හදවත විසල් බව

ආගමික දර්ශනය

ආකල්ප, දෘෂ්ටිය

විෂයයන්

සංකල්ප

භාෂාව තව වර්ධනය විය යුතුය.

ආකෘතික වශයෙන් වැඩෙන්නට අවශ්‍යය.

භාෂාවේ ලස්සන තැන් තිබේ.

ඒකාකාරිත්වය බිඳින්න.


අවසන් පිටුව ‘තරුරසීගේ කවි රසය‘ නම් මාතෘකාවෙනි.

ස්තූතිය සඳහා ඇය තෝරාගෙන තිබුණේ එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ සිංහබාහු දෘශ්‍ය කාව්‍යෙය් ප්‍රකට ප්‍රේමය පිළිබඳ පහත සඳහන් කවි පද...


ලෝ දහමින් වැදෙනා රළු පහරින්

ගත සිත රිදෙනා කල නිතියෙන්

නැත ලොවේ අන් රසඳුනා

ආදරේ සේ සුවදෙනා

 

පසුගිය සැප්තැම්බරයේ පොත් ප්‍රදර්ශන භූමියේ 

විපුලි අක්කේ... මේ ජීවිත ගමනේ හැම මොහොතකදිම ඔයාගෙ ආදරණීය හඬින් ‘නංගි’ කියා අමතනු ඇසෙනු ඇති. ‘තරු නැන්දේ... තාම තරහද මා එක්ක’ කියා වට්සැප් පණිවිඩයක් ආවොතින් තව එකම එක සැරයක්... ‘මං කවදාවත් ඔයා එක්ක තරහ වෙන්නෙ නෑ විපුලි නැන්දේ’ කියා ලියා එවන්නට තිබුණා. කතා කරන්නට තවත් බොහෝ දේ ඉතිරිව ඇතැයි දැනෙන, හැඟෙන හැඟීම හදවත මහා හිස් බවකින් පුරවනවා. ඒ හිස්තැන නම් කවදාවත් නොපිරේවි.

කිසිවෙකු නිසි ලෙස කියවා නොගත් විපුල කවියක් වන් සොයුරියක් ඇය... එකම එක සැරයක් අනේ අපිට ආයෙමත් කතා කරන්නට තිබුණා නම්.... !

විණැන කලා හා මාධ්‍ය පදනම විසින් සංවිධානය කළ ‘‘තරු ඇස් රහස්‘‘ කවි එකතුව පිළිබඳ සංවාදය 2016.06.05 දින මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහලේ දී පැවැත්විණි. 



‘‘කවිය, කවියන් සහ මහ පොලොවේ අරගලය මෙතරම් දුරස් මන්ද?
අභියෝගාත්මක අදහසක් එක් කරමින් කතිකාව නව මඟකට කැන්දූ බ්රිටෝ සහෝදරයා...

මේ සිනාව පැන නගින්නෙ නම් ‘‘සන්ධ්යා ගැන ලියල තියෙන කවිය පැහැදිලි නොකළ නම් මම ඒක තේරුම් ගන්නෙ හැන්දෑවක් ගැන ලියපු එකක් විදියට‘‘ කියූ කතාවට...




 

අප දෙදෙනා සීතා සොයුරිය සමඟ...
සැබවින්ම අපතර බැඳීම් දළුලා වැඩෙන්නට ආරම්භක සාධකයක් වූයේ සීතක්කා




Wednesday, June 7, 2023

අන්ද්‍රේ ඔබ ය, සොඳුරු මිනිසා ඔබ ය....

 


‘‘කියන්න මට, අප ඉතිරි කර ඇත් ද යමක් ලෝකයට?
ඵලක් ඇතුවාද කිසිදෙයක අප එක්ව සිදු කළ?”

(ඇන්ඩෘ ජයමාන්න විසින් මිතුරු ධර්මසිරි බණ්ඩානායක වෙත ලියූ හසුනකින් උපුටනු ලැබූ අදහසකි. )

තුන්වෙනි යාමයේ හංස විල කැළඹුණිද
සෝයුරේ, අවර්ණව
පැහැසර හදක් අවුළන යමක් පමණම ද
ජීවිතේ....

සල රූ සිත්තම් සක්වළේ
තුන් වැනි ඇසින් පිරිසිඳ දැකුම්
විස්කම් මැවූ
දුයිෂෙන් ඔබ ය අප මතකයේ
එබැවින් කියම් නිසැකව දනිම්
සුවිසල් ය ඔබේ පා සටහන්
මේ කොදෙව්වේ...

ත්‍රාසය මැවූ හාරලක්ෂේ විකුම්
සුළු කොට තකන්නෙද
කොයි ලෙසින්
පරදා මාන්නය ජයකෙහෙළි නැංවූයේ
අන්ද්‍රේ ඔබ ය, සොඳුරු මිනිසා ඔබ ය
දුයිෂෙන් ඔබ ය රිදී නිම්නයේ...

‘‘කියන්න මට සුමිතුරේ, රළු ගල් පර අතරින්, අතීතයේ සිට ගලා ආ ගඟ සාර කර නැතැයි මේ මහ පොළව කියන්නේ කෙලෙසින්ද? බලන්න නැවතත් තුන් වෙනි ඇසින්, ඔබ තැබූ පියවර එදා සවිමත් ව, අචල ව අනාගතයට පා නගන යුරු අද...”


(ඇන්ඩෘෘ ජයමාන්න වෙත මෙන්ම ධර්මසිරි බණ්ඩාරනායක වැනි ලාංකේය සාහිත්‍ය කලා ක්ෂේත්‍රය, ලාංකේය සමාජය පුබුදුවනු වස් දිවිය කැප කළ සියලු අපරිමිත මිනිසුන් වෙනුවෙන් මෙවන් පිළිතුරක් ගොනු කළ හැකි බව උපකල්පනය කළේ මවිසිනි. )

චිත්‍රපට හා ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂවරයකු වූ ඇන්ඩෘ ජයමාන්නගේ විශිෂ්ට කලා දිවිය සමරමින්, ඔහුගේ 76 වන ජන්ම දිනය නිමිති කරගනිමින් ‘හාරලක්සෙ‘ කෘතිය ජනගත කිරීමේ උළෙලක් 2019 දෙසැම්බර් මස 08 වන දින ඉරිදා සවස 3.00ට මීගමුව රුක්මණී දේවි රංග ශාලාවේ දී පැවැත්විණි.

එම උළෙලේ දී ගැයුමට ඇන්ඩෘ ජයමාන්න උපහාර ගීතයක් ලිවීමේ ඇරයුමක් ලැබුණු අතර, ඉහතින් සඳහන් වන්නේ මාතින් ලියැවුණු ඒ ගී පදයි. සංගීතවේදී ඇන්ටන් ජයනන්ද පියතුමා අතින් මේ ගීතයට තනුවක් නිර්මාණය වුව ද එය සුගායනීය මට්ටමට ගෙන ඒමට අපට හැකියාවක් නොවූයේ එවකට පියතුමා ද විදෙස්ගතව පසු වූ බැවිනි. එදින ගීතය නොගැයුණද, මේ ගී පද මගේ හදේ ගැයෙමින් පවතින්නේ, හාරලක්සේ කෘතියෙහි සෝදු පත් බලමින් සිටිනාතර ඒ අකුරු අතර හමු වූ සොඳුරු මිනිසා ඇන්ඩෘ ජයමාන්න යළි යළි සිහි ගන්වමිනි.

එදින කෘතිය එළිදැක්වීම කේන්ද්‍ර කරගනිමින් මහින්ද නාමල් සොයුරා කළ දෙසුම පහත දැක්වේ.

සේයා රුව - ලාල් ලක්ෂ්මන්


සහෘද හිතුවතුනි

මේ සන්ධ්‍යාව මා හට ඉතා සොම්නස් සහගත සන්ධ්‍යාවක්. මට මෙන්ම ඇන්ඩෘ ජයමාන්නයන්ට සැබැවින්ම ආදරය කරන සියළු දෙනාට එය එසේ වනු ඇතැයි සිතමි.

පොතක් ජනගත කිරීම සැබැවින්ම මංගල්‍ය කාරණයක්. මේ මංගල්‍යයේ මනාලයා අද අප අතර නෑ. පෙර කී සොම්නස යටින් දිවෙන ඉසියුම් වේදනාවක් වූවත් මෙය සැබැවින්ම සොම්නස් සහගත සන්ධ්‍යාවක්.

ඇන්ඩෘ ජයමාන්නයන්ගේ පනස් වසරක සිනමා දිවිය අගයමින් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති උත්සවයේදි අප කළ කතාව මේ පොතේ ඇතුළත් කර තිබෙනවා.

එහි මෙසේ සඳහන් වෙනවා.

‘‘තාක්ෂණය නොදියුණු ප‍්‍රාග්ධනය ඉතා අඩු කාල වකවානුවක ඇන්ඩෘ ජයමාන්නයන් ඔහුගේ පරපුරේ සහෘදයින් සමඟ කළ වික‍්‍රමාන්විත ක‍්‍රියා සිංහල සිනමා ඉතිහාසයේ එක් පරිච්ඡෙදයක සටහන් විය යුතුමය. එහෙත් ඉතිහාසය පුරාම සිදුවූවා සේ රජුන් මැති ඇමතියන්ගේ වන්දි බට්ටයින් සිංහල සිනමාමේ මහා වංශය ලියන විට ඔවුන් ප‍්‍රමුඛ වී ඔවුන්ගේ පස්සෙන් වැටි ප‍්‍රශස්ති නොගැයු ජයමාන්නයන් වැන්නවුන්ට අදාළ පරිච්ඡේද නොලියවෙන්නට ඉඩ ඇත”

අප මේ සන්ධ්‍යාව අතිශය සොම්නස් සහගත සන්ධ්‍යාවක් යැයි පැවසුවේ එසේ නොලියවෙන්නට ඉඩ තිබු සිංහල සිනමා ඉතිහාසයේ ඉතා වැදගත් පරිච්ඡේදයක් ‘‘හාරලක්සේ” නමින් අද දින සිනමා සාහිත්‍ය ඉතිහාසයට එක්වන නිසාය.

හාරලක්සේ ග‍්‍රන්ථය ගැන කතා කරන්නට ප‍්‍රථම මේ පොත එළි දැක්වීමට දායක වූවන්ට අපගේ ස්තූතිය හිමි විය යුතුය. එහි මුලින්ම, තමා මව්බිමින් පිටුවහල්ව සිටිමින් (ඔහුගේ ස්වයං පිටුවහල් වීම යනු උපන් බිම ඉන්න නොහිතෙන රටක් කළවුන් විසින් සිදු කරනු ලැබු පිටුවහල් කිරීමක් බව කිව යුතුය) තම දිවි දෙවැනි කොට කැපවූ ක්ෂේත‍්‍රය කලකිරිමෙන් යුතුව අත්හැර දැමීමට බලකරනු ලැබීමේ වේදනාව පපුතුරේ තුරුළුකොට ගෙන සිටියදීත් දශක හතරකට එපිට මතක ගබඩාව සීරුවෙන් පිරික්සමින් මේ ග‍්‍රන්ථය අකුරුකොට හඬ පටයක් සේ අපට තිළිණ කළ ඇන්ඩෘ ජයමාන්නයන්ට අපගේ ඉමහත්වූ භක්ති ආදරය හිමිවිය යුතුය. (මේ මොහොතේ අප සියලූ දෙනා නැගිට විනාඩියක් නිහඬව සිටිමින් ඒ ගෞරවාදය ඔහුට පුද කරමු)

දෙවනුව, ඇන්ඩෘ ජයමාන්නයන්ගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් නැවත වරක් ඔහුව සිනමා ඇදුරු භූමිකාවට කැඳවා ගනිමින් මේ ග‍්‍රන්ථය දක්වා වූ ක‍්‍රියාවලියකට මුල පිරු ‘අද දවසේ ජේසු’ කෙටි චිත‍්‍රපටි තරඟය සංවිධානය කළ කිතුසර කණ්ඩායමටත් මීගමුවේ මාසික සිනමා දැක්ම ඇතුළු කලා කි‍්‍රයාකාරකම් සංවිධානය කරන මේ පොත මුද්‍රණය කිරීමට කටයුතු කළ විනැණ කලා හා මාධ්‍ය පදනමටත්, ලාල් ලක්ෂ්මන් සොයුරා ඇතුළු සියලූම සහෘදයින්ටත් අපගේ ස්තූතිය හිමිවිය යුතුය.

අද දින මෙහි අප හා එක් වී සිටින තමාගේ අවංක කෘතවේදි හෘද සාක්ෂිය කිසිදා මිය යන්නට නොදී ඇන්ඩෘ ජයාමාන්නයන් සමඟ අවසානය තෙක්ම ළතෙත් ළබැදි සහෝදරත්වය බෙදා හදා ගත් ධර්මසිරි බණ්ඩාරනායකයන්ටද අපගේ ස්තූතිය පිරිනැමිය යුතුය.

අත්‍යවශ්‍ය කෘත ගුණ පිදුමෙන් පසු මා යොමුවන්නේ ඔබ විසින් කියවිය යුතුම හාරලක්සේ කෘතිය ගැන අදහස් බිඳක් බෙදාගන්නටයි.

යුගයක කතාවක්

ඇන්ඩෘ ජයමාන්න මෙම කෘතිය ආරම්භ කරන්නේ එය මහ පොළවේ පිහිටුවමින් එනම් එම කතාවට පසුබිම් වන යුගය සඳහන් කරමිනි.

‘‘හාරලක්සේ” චිත‍්‍රපටිය නිර්මාණය වන්නේ ලංකා ඉතිහාසයේ සුවිශේෂි හැරවුම් ලක්ෂයක් වන පළමු තරුණ නැගිටීම සිදුවන 1971 දීය. තරුණ කැරැල්ල නිසා මාස කීපයකට චිත‍්‍රපටියේ රූගත කිරිම් නවතා දමන්නට සිදුවන අතර ඇඳිරි නීතිය නොතකා පාරේ ගමන් කිරිම නිසා චිත‍්‍රපටියේ අධ්‍යක්ෂ ටයිටස් තොටවත්තයන්ට දින තුනක් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ ලගින්නට ද සිදු වේ. ඇන්ඩෘ ජයමාන්නයන්ට දින තුනක් නොව වසර තුනක් වැලිකඩ ලගින්නට සිදුවන තත්වයකින් ඔහු අනූ නවයෙන් ගැලවෙන්නේය.

අනිත් අතට ඒ යුගය සිනමා කර්මාන්තය පැත්තෙන් ගත් විට පෞද්ගලික සමාගම් කීපයක අධිකාරියකට යටත්වූවක් බව ද, සිනමාකරුවන් දේශපාලනිකව බෙදී යාම ආරම්භ වූ අවධියක් බව ද ඇන්ඩෘ ජයමාන්නයෝ සටහන් කරති. රාජ්‍ය චිත‍්‍රපටි සංස්ථාව බිහිවූව ද අද ද ඇත්තේ එදාට වඩා වෙනස් තත්ත්වයක් නොවන බව අප සියලූ දෙනා දන්නා කරුණකි. කලාකරුවන් දීන හීන බවට පත් කරන දේශපාලන ගැතිභාවය ඉන් දශක පහකට ආසන්න අද දින ඒ කලාකරුවන්වමත් සමස්ත කලාවත් විනාශකර දමන පිළිකාවක් බවට පත් වී ඇත.

හැරවුම් ලක්ෂයක්

හාරලක්සේ සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයකි. එය එසේම විය යුත්තේ ඊට එක්වන්නේ දැවැන්ත පෞරුෂයන් වීම නිසාය. ටයිටස් තොටවත්ත, ඇන්ඩෘ ජයමාන්න, ජෝ අබේවික‍්‍රම ඒ අතර විය.

නිළියෝ තුනයි. සින්දු හතරයි. සටන් ජවනිකා හයයි. ආදි ලෙස වූ වට්ටෝරු සිනමාවෙන් බැහැර වූ හාරලක්සේ කිසිදු නිළියක් නොමැති, කිසිදු ගීතයක් නොමැති චිත‍්‍රපටියක් වූවා සේම සත්‍ය සිදුවීමක් ඇසුරින් බිහිවූ පළමු සිංහල සිනමා කෘතිය ද, පළමු ක‍්‍රියාදාම චිත‍්‍රපටිය ද විය.

හාරලක්සේ කෘතිය තුළ ඇත්තේ හාර ලක්සේ චිත‍්‍රපටිය පිළිබඳ තොරතුරු පමණක් නොවේ. ලංකා සිනමාවේ හරස් කඩකි. එසේම බඩගෝස්තරවාදයෙන් තොර වූ අදීන මිනිසුන් කීප දෙනෙකු පිළිබඳ අව්‍යාජ මතක සැමරුම් ද එහි ඇතුළත් වේ.

පිටපතක් නැති හොඳම පිටපත

හාරලක්සේ පිටපත් රචකයා එය පමා කිරිම නිසා රූගත කිරිම් අරඹන්නේ පිටපතක් නොමැතිවය. හාෆ්ෂීට් පිටු එකයි කාලක සටහනක් සහිතවය. සිනමා සම්මාන උළෙලවල් සිනමාකරුවන් අවඥාවට ලක් කරන ආකාරය ගැන කතා රාශියක් මෙම පොතේ අපට හමු වේ. ඉන් එකක් වන්නේ පිටපතක් නැති හාරලක්සේ ට හොඳම පිටපත සඳහා සම්මාන හිමි වීමයි. ටයිටස් තොටවත්තලාගේ, ඇන්ඩෘ ජයමාන්නලාගේ සිනමා වික‍්‍රමය පොතේ ගුරුවාදි සිනමාවට එල්ල කළ මුෂ්ටි ප‍්‍රහාරය කොතරම්ද ? ඔවුහු සැබැවින්ම පොතෙන් උපන් සිනමාකරුවෝ නොව වැඩෙන් උපන් සිනමාකරුවෝය.

පොදු රසිකයාගෙන් ඉගෙනීම

සිනමාව, සිනමා රසික ප්‍රජාව උදෙසා මිස සිනමාකරුවන් උදෙසා නොවන බව ඇදහු හාරලක්සේ නිර්මාපකයින් සිනමා මූලධර්මවලට වඩා රසිකයාගේ දෘෂ්ටි කෝණය වැදගත් බව තේරුම් ගත්තේ පොතෙන් නොව ක්‍රියාවෙනි. චිත්‍රගාර සාමාන්‍ය සේවකයින්ගෙන් අඩුපාඩු අසා ගන්නට තරම් ඔව්හූ නිහතමානී වූහ.

පොතේ 71 පිටුවේ මෙසේ සඳහන් වේ.

මුලින්ම රීලය ප්‍රක්ෂේපණය කොට ශබ්ද මිශ්‍රණය කරන්නාට අවශ්‍ය අවබෝධය දිය යුතුය.

මෙය සාමාන්‍යයෙන් කරන්නේ ශබ්දාගාරයේ දොරවල් වසාගෙනය. එහෙත් එය තොටවත්තයන්ගේ ක්‍රමය නොවේ. චිත්‍රාගාරයේ දොරවල් අසලත් නොයෙක් දෙනා එබී චිත්‍රපටිය නරඹති. වාදක යන්ත්‍ර තුනක් රූප ප්‍රක්ෂේපණ යන්ත්‍රයත් ඉන්ටලොක් නැතිනම් එකවර ක්‍රියා කරමින් මෙය සිදු කරයි. පළමු රීලය අවසානයේ දොර අසල සිටි අයෙක් “ඒ මොකද වුණේ? මට තේරුණේ නැහැ” කීවේය. තොටවත්ත මහතාට මෙය ඇසුණි.

“කවුද ඒ?”

එය කී තරුණයා බිය විය. “නෑ මේ ඔව්” තටමමින් හෙතෙම යමක් කීමට තැත් කළේය.

“ඇන්ඩෲ රීල් ටික ගලවන්න. මෙයාට තේරුණේ නැතිව අපි මේක කරලා පස්සේ හෝල්වලින් හූ හඬ අහන්නයැ”

කැමරාව මාව බේරගත්තා

ඇන්ඩෘ ජයමාන්නලාගේ පරපුරේ නිර්මාණකරුවෝ මුදල දේවත්වයෙන් පිදුවෝ නොවෙති. ඔවුන්ගේ භක්තිය තිබුණේ නිර්මාණයටය. ඔවුහු නිර්මාණයට දායක වන උපකරණවලට මිනිසුන්ට මෙන්ම ගරු කළෝය. පූජනීයත්වයෙන් සැලකුහ.

අද මෙන් බොහෝ පහසුකම් නැති යුගයක වාහනයේ යන දර්ශන රූගත කළේ කැමරා ශිල්පියාව ලණුවකින් මෝටර් රථයකට ගැට ගසා ය. එක් අතපසුවීමකින් ලණුව ගැලවී ඇන්ඩෘ ජයමාන්නයන් විසි වී බිමට වැටී අනුනවයෙන් ජීවිතය ගලවා ගනී. ඒ සිදුවීම ඔහු විස්තර කරන්නේ මෙසේය.

“එහෙත් පළපුරුදු නළුවෙක් නොවූ ජෝන් සිල්වා බ්‍රේක් පෑගුවේය. මාව විසි විණි. මට සිහිය එද්දී රොබින්ගේ දෑතේ මාව ඔසවාගෙනය. දකුණු ඇස ලෙයින් පිරි ඇත. මම කෑගැසුවේ “කැමරාව කැමරාව” කියාය. එයට කිසිදු හානියක් වී නැති බව දැනගතිමි. මෙම රූපගත කිරිම සිදු වුණේ කඳාන ප්‍රදේශයේ බැවින් මා මීගමුව දිසානායක රෝහලට ගෙන යන ලෙස ඉල්ලා සිටියෙමි. තුවාලය කොහේදැයි දන්නේ නැත. ලෙයින් තෙත් වූ ලේන්සුවකින් ඇස වසා සිටියෙමි. වෛද්‍යවරයා පැවසුවේ කැමරාවේ වැදීමෙන් ඇහිබැම පිපිරි ඇති බවත් ඇසට හානියක් නැති බවත් තුවාලයට මැහුම් දෙකක් දැමු බවත්ය. කැමරාව තදින් අල්ලා සිටි නිසා පිටුපස මස් පිඬු ශක්තිමත්ව තිබීම කොඳුනාරටියට හානියක් සිදු නොවීමට හේතු විය. මම කැමරාව බේරා ගත්තා වගේම කැමරාව මාව ද බේරාගෙන තිබිණි.

කෘතඥතාවය හා අගය කිරීම

කෘතඥතාවය හා අගය කිරිම අද අතුරුදහන්ව ඇති සාරධර්ම දෙකකි. පිට කැසීම, මඩ ගැසීම ඒ වෙනුවට ආදේශ වී ඇත. හාරලක්සේ පොතේ අද අතුරුදහන්ව ඇති ඒ සාරධර්ම කීප තැනකදීම හමු වේ.

තමා උපදෙස් ගත් ප්‍රවීණ කැමරාශිල්පි සුමිත්ත අමරසිංහට ඇන්ඩෘ ජයමාන්නයෝ කෘතඥතාවය පළකරන්නේ මෙසේය.

“දර්ශන තලය නැරඹීමෙන් පසු තොටවත්ත මහතා එකවරම ඇන්ඩෲ ස්ටූඩියෝ එකේ දොර ඇරලා ෂූට් කරන්න” කියලා පිටවුණා. මම වික්ෂිප්ත වීමි. අවුරුදු අටක් පමණ චිත්‍රාගාරයේ වැඩ කර ඇති මුත් දේශීය වගේම විදේශිය චිත්‍රපට කිසිවකත් එවැන්නක් සිදු කර නොමැති බව මට සිහිපත් විය. සාමාන්‍යයෙන් චිත්‍රාගාර ශිල්පින් ඇතුළු වූ පසු දොර වසා දමන අතර ආලෝකකරණය පටන් ගන්නේ ඉන් පසුවය. මොහොතක් කල්පනා කළ මම චිත්‍රාගාරයේ සිටම සුමිත්ත අමරසිංහ මහතා ඇමතිමි. “හරි වැඩේනේ. ඉන්න මං දැම්ම එන්නම්” ඔහු පිළිතුරු දුන්නේය. කෝට්ටේ නිවසේ සිට ම ඔහු විජය චිත්‍රාගාරයට විනාඩි තිහකටත් අඩු කාලයකින් පැමිණි අතර අපි දර්ශන තලය වෙත ගියෙමු.

“ටයිටස් එක්ක වැඩ කරන්න ගියාම තව මොනවා කියයිද දන්නෑ. ඔන්න ඔහේ බය නැතුව ෂූට් කරන්න. එළියේ ආලෝකය වැඩි නම් යෙලෝ ෆිල්ටර් එකක් අවශ්‍ය තරමට දාන්න. පිටත ගැන හිතන්නැතුව ෂූට් කරන්න”

සහෝදර කැමරා ශිල්පියාව අගයන ඔහු තම අධ්‍යක්ෂවරයාට කෘතඥතාවය පළ කරන්නේ මෙසේය.

“සාමාන්‍යයෙන් චිත්‍රපටියක කැමරා ශිල්පියකුට අයත් කාර්යය වන්නේ ඡායාරූප ගත කිරිම හා රසායනාගාර කටයුතු නිරීක්ෂණය කිරීම පමණි. එහෙත් හාරලක්සේ චිත්‍රපටියේ සහභාගිත්වය තුළින් මම විශ්ව විද්‍යාලයකින් හෝ නොලබන පුහුණුවක් ලදිමි. ඒ ටයිටස් තොටවත්තයන්ට පින්සිදු වන්නටය.

එසේම පොතේ අවසානයේදි ඔහු තම මතකයට එන සියළු දෙනාට කෘතඥතාවය පළ කරති.

‘අගය කිරිම’ නම් සාර ධර්මය ප්‍රවීණයන්ගෙන් ආධුනිකයින්ට අවශ්‍ය තැනදි බොරුවට නොව ඇත්තටම ලැබුණු බව ඇන්ඩෘ මෙසේ සඳහන් කර ඇත. ඇන්ඩෘව අගය කිරීමට නිර්ලෝභී වූ ඒ ජේෂ්ඨයා වී. වාමදේවන්.

“දිනක් මා චිත්‍රාගාරයට පැමිණෙන විට වාමදේවන් මහතා ඉදිරියට පැමිණියේය. ඔහු ඈත තියාම මට අත දිගු කර “කන්ග්‍රැජුලේෂන්ස්“ යැයි කීවේය. මම පුදුම වීමි. “මොනවටද ?” මම ඇසුවේය. “මම ඔයාගේ රෂ් එක දැක්කා. හරීම ලස්සනයි. හරීම අලංකාරයි. එඩිට් කරපුවා ටිකක් තොටවත්ත මහත්තයා දාලා බැලුවා. හරීම ෂෝක්. මේ චිත්‍රපටිය හුඟක් අලුත් දෙයක් වේවි”. මට අදහාගත නොහැකි විය. ඔහු මට වඩා පළපුරුදු කැමරා ශිල්පියෙකි. ඔහුගෙන් පැසසුම් ලැබීම සම්මානයක් ලැබුණාට වඩා මට උසස්ය. ඒ අතරතුර ඈත සිට අත්පොළොසන් දෙන හඬකට මම හැරි බැළුවෙමි. ඒ රසානාගාර අධිපතිය. ඔහු මා කැඳෙවුව්වේය. ඔහු මට අතට අත දී ප්‍රශංසා කළේය.”

ඇත්තටම සිනමාව ලෝකයේ ඇති ඉහළම කෘතඥතාවය පළ කරන මාධ්‍යයයි. සිනමා කෘතියක් අග දීර්ඝ නාමාවලියක් දැකිය හැක්කේ ඒ නිසාය. ගම්වාසින්ගේ සහය නොමැතිව එය කළ නොහැකිය. ගම්වාසින්ට යනුවෙන් පවා ස්තූතිය පළ කරන්නේ ඒ නිසාය.

ටයිටස් තොටවත්ත

අදීන මිනිසුන්ගේ කතාවක්

ටයිටස් තොටවත්තයන් හාරලක්සේ අධ්‍යක්ෂවරයා ය. ඔහුගේ අදීන පෞරුෂය ඇන්ඩෘ ජයමාන්නටද බලපෑ බව මෙම පොත සාක්ෂි දරයි.

ගාමිණි ෆොන්සේකා හා ටයිටස් තොවත්ත යන දැවැන්ත පෞරුෂ දෙක ගැටෙන අවස්ථාවක් පොතේ සඳහන් වේ. ඒ එක් අයෙකුට හෝ අගෞරවයක් නොවන පරිදිය.

ගතු කේලාම් පිළිබඳ ප්‍රශ්නයක් නිසා ඇති කර ගත් අනවබෝධයකින් ගාමිණි ෆොන්සේකා ටයිටස් තොටවත්තට චිත්‍රාගාරයට පැමිණිමට ඉඩ දිය නොහැකි බව පවසයි. එකල සිනමාවේ ගණන්කාරයා ඔහුය. ගාමිණ සිනමා සක්විතිය. ටයිමහතා සිනමා ප්‍රඥායෙකි. ගාමිණිගේ තහනම සතෙකට ගණන් නොගන්නා ටයි මහත්තයා ඒ බව දැනගත් මොහොතේම චිත්‍රාගාරයට පැමිණෙන්නේ ඇත්ත ගණන්කාරයා කව්ද යන්න පෙන්වමිනි.

මේ අදීනත්වය ගැන තවත් රසවත් කතාවක් පොතේ සඳහන් වේ. ඒ මෙසේය.

“දිනක් ටයිටස් තොටවත්ත හා අතුල රන්සිරිලාල් දෙපළ රොබින්හුඩ් වැඩසටහන පරිවර්තනය කරමින් සිට ඇත. එවේලේ හදිසියේම යම් පුද්ගලයෙක් වේගයෙන් දොර තල්ලු කරගෙන කාමරයට ඇතුළු වී “ටයිටස් තොටවත්ත” යැයි උස් හඬින් පවසා තිබේ. එහෙත් ටයිටස් තොටවත්ත මහතා එය නෑසුණාක් මෙන් සිය වැඩේ යෙදී ඇත. ස්වල්ප මොහොතකින් නැවත වරක් සැරකොට ටයිටස් තොටවත්ත යයි පවසා ඇති අතර එවර ද තොටවත්ත මහතා නෑසුනාක් මෙන් සිට ඇත. ඊළඟ මොහොතේ “ටයිටස් තොටවත්ත මං ආවේ ප්‍රසිඩන්ට්ගෙන්.” යැයි හඬ නගා ඇත. තොටවත්ත මහතා සිනාසී “අතුල ඔයයි මමයි නම් ආවේ අම්මාගෙන් මෙයා ඇවිත් තියෙන්නේ ප්‍රසිඩන්ට්ගෙන්.” ඒ සමඟම පැමිණ තැනැත්තා කොහේ ගියාදැයි අදවත් තොරතුරු දන්නේ නැතැයි ඔහු කීවේය.

දෙමළ පිටපත

ද්‍රවිඩ ශිල්පින්ගේ ආධිපත්‍යය ගැනත් එය නිමා වූ ආකාරය ගැනත් පොතේ සඳහන් වේ. එහෙත් සිංහල සිනමාව දෙමළ සිනමාවට ණය ගැති බව අප පිළිගත යුතුය. 1983 දී ගිනි තැබු විජය චිත්‍රාගාරය සිංහල සිනමාවටද ගිනි තැබීමක් බව මෝඩ සිංහල දේශප්‍රේමින්ට තේරුම්ගත නොහැකි විය.

ඇන්ඩෘ ජයමාන්න අයත් වූයේ ලෝකය වෙත විවෘත වූ පරපුරකටය. ඒ නිසාම ඔහු ‘හාරලක්සේ’ සිනමා නිර්මාණයේ දෙමළ පිටපතක් නිපදවා ප්‍රදර්ශනයට කටයුතු කළේය. ඒ පුවත ද මේ ග්‍රන්ථයේ ඇතුලත්ය.

සම්මාන විහිළු හා අපහාස

ලාල් සොයුරා ඇන්ඩෘ ජයමාන්නයන්ගෙ නිවසට ගිය පළමු දිනය ගැන තම සටහනේ ලියා ඇත. ඔහු පුදුමයට පත්වන්නේ නිවසේ දොර සුළඟට යාම වළක්වන අඩය ලෙස ජයමාන්නයෝ තමාට ලැබුණු සම්මානයක් තබා තිබෙනු දැකීමෙනි.

ශ්‍රී ලංකාවේ ‘සම්මාන’ යනු විහිළු හා අපහාස උපහාසයේ සංකේත වේ. මේ දැවැන්තයෝ සම්මාන බලා නිර්මාණකරණයේ නියැලුනෝ නොවෙති.

සම්මාන උළෙලවල අගතින් කතෝලික සිනමා පර්ෂදයේ සිට සෑම සම්මාන උළෙලකම පවතින බව මේ පොත සාක්ෂියකි. කතෝලික සිනමා පර්ෂද සම්මාන උළලේ හොඳම කැමරා ශිල්පියා ලෙස ජයමාන්නයන්ටද හොඳම සංස්කරණ ශිල්පියා ලෙස තොටවත්තයන්ටද සම්මාන ලැබෙන බවට ආරාධනා ලැබ ඔවුන් එයට සහභාගි වීමට යන විට සිදු වූ අපුරු සිද්ධියක් මෙසේය. මඟ රැක සිටි පුද්ගලයෙකු ඔවුන්ට නියම වූ සම්මානය වෙනස් කර ඇති බවත් එහෙත් උළෙලට එන ලෙසත් දන්වා සිටි.

“ඔහුද ජූරි සභිකයකු විය. එදින උදෑසන ඇති වූ කිසියම් බලපෑමක් මත මේ තීරණයට එළඹි බව අපි දැන ගතිමු. ඒ කුමක් දැයි ඔහු පවා නොදන්නා බව කීවේය. සම්මාන උළෙල අතර මොනවාදෝ කීවේය. මගේ නමත් කියවුණි. එහෙත් වේදිකාවට කැඳවීමක් නොවු බැවින් මම ද බලා සිටියෙමි. එවිට සංවිධායකයකු පැමිණ මා කැඳවාගෙන වේදිකාවට ගියේය. රතු පීත්ත පටියකින් ගැට ගසන ලද සුද පැහැති රෝලක් මට ලැබුණි. ඒ සමඟම ප්‍රභූන් පිටුපස පනවා තිබු අසුනකට මා යොමු කළේය. උත්සවය අවසන් වන තුරු ඒක විවෘත නොකළ යුතු යයි රහසින් උපදෙස් ලැබිණි. තොටවත්ත මහතාට ද එලෙස ලැබිණි. මා අසල පුටුවට කැඳවාගෙන එන ලදී. මට ලැබුණු රහස් උපදෙස් ගැන තොටවත්ත මහතා විමසීය. මේ රෝල විවෘත නොකරන ලෙස දැන්වූ බව මම කිමි. කාටවත් පේන් නැහැනේ. ඇරල බලන්න. මම එය දිගෑරීයෙමි. එකම අකුරක් හෝ නොලියු හිස් ෆයිල් කවරයකි. තොටවත්ත මහතාගේ එකද ඒ හා සමාන විය. මේ අතර තොටවත්ත මහතා කළ ඉඟියකින් වේදිකාවේ අයිනක සිටි අපට විසුළු කරන ජූරි සහික රැලෙක්ස් රණසිංහ හා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ සුසන්ත තිසේරා දුටුවෙමු. මොහොතකින් අපි දෙදෙන නැගිට වේදිකාව පසුපසින් පිටව ශාලිමාර් හෝටලය වෙත ගියෙමු. අප චිත්‍රපට කරන්නේ මේ රටේ ජනතාවට කෑම බීම සපයන්නට නොවන බව කවුරුත් දනිති. එහෙත් මිනිසාගේ බඩට මෙන්ම බුද්ධියටද අවශ්‍ය දෑ අනිවාර්යය. අප චිත්‍රපට කරන්නේ සම්මාන බලාගෙන නොව ඒ දෙවියන් අපට දුන් රාජකාරියක් ලෙස සලකාගෙනය. කවුරු කාට සම්මාන දුන්නත් අපට ගැටලුවක් නොවීය.”

මේ තවත් සම්මාන විහිළුවකි.

“එවකට සිනමා විචාරක සංගමයක් ද සම්මාන උළෙලවල් පැවැත්විය. එය ෆිල්ම් ක්‍රිටික්ස් ඇන්ඞ් ජර්නලිස්ට් ඇසෝසියේෂන් නමින් ප්‍රකට විය. 1971 වසරේ “ගිළිහුණ මල්” නම් තොටවත්ත මහතාගේ කෙටි චිත්‍රපටියට විශේෂ ත්‍යාගයක් පිරිනැමිණ. එය රුපියල් 500 ක චෙක් පතකි. එවකට අප රේස් කෝස් එකේ රූපගත කිරීම් කරමින් සිටි බැවින් පසුදින තොටවත්ත මැතිනියගෙන් ලබා ගත් ණය මුදලකින් පොඩි සාදයක්ද පැවැත්වීමු. සඳුදා උදෑසන රූපගත කිරීම ආරම්භ කිරීමට පෙර තොටවත්ත මහතාත් මමත් බැංකුවට ගියේ චෙක්පත මාරු කර ගැනීමටය. බැංකුව ඉදිරිපිට ත්‍යාගය පිරිනැමු සංවිධානයේ සභාපති විය. මං ඔයගොල්ලෝ එනකම් උන්නේ. ඕකේ සල්ලි නැහැ. පස්සේ අපි මොනවා හරි කරන්නම් කියා තොටවත්ත මහතාගේ අත වූ චෙක්පත ඩැහැගෙන ක්ෂණයකින් පිට විය. අපි දෙදෙනා ගල් ගැසී බලා සිටියෙමු. දැන් කොහොමද ගෙදර ණය ගෙවන්නේ. තොටවත්ත මහතා මගෙන් විමසීය."

දුයිෂෙන් භූමිකාව

අප ඇන්ඩෲ ජයමාන්නයන්ව ලාංකේය සිනමාවේ ‘දුයිෂෙන්’ ලෙස බෞතිස්ම කළෙමු. චින්ගීස් ආයිත්මාතව්ගේ ‘දුයිෂෙන්’ හෙවත් පළමු ගුරුවරයා නව කතාවේ ගුරු භූමිකාවට සමාන්තර වන ජයමාන්නයන්ගේ දුයිෂෙන් භූමිකාව ගැන මේ පොතට ඇතුළත් ලිපියක අප සඳහන් කර ඇත.

වර්තමානය වන විට උසස් පෙළ සමත් සිසුන්ට තෝරාගත හැකි උපාධියක් ලෙස ‘සිනමාවේදය’ හඳුන්වා දී ඇත. එහෙත් ජයමාන්නයන් සිනමාව ගැන ඉගැන්වීමට පටන් ගන්නේ සිනමාව විෂයක් ලෙස අපේ අධ්‍යාපන පද්ධතියට එක් නොවු විධිමත් සිනමා පාසල් හා පාඨමාලා නැති යුගයකය.

සිනමා විෂය උගන්වන හා හදාරන සැමට ‘හාරලක්සේ’ අධ්‍යයනකට ඉතා හොඳ පොතකි. මන්ද එය ප්‍රායෝගික අත්දැකිම් කියාදෙන බැවිනි.

ඇත්තටම සිනමාව නොව ඕනෑම කලාවක, ක්ෂේත්‍රයක ඉගෙනුම් ක්‍රියාවලියකදි ඉතා වැදගත් වන්නේ ඒ ක්ෂේත්‍රවල ප්‍රමාණිකයින්ගේ අත්දැකීම් ඇතුළත් පතපොතයි. එවැනි මිනිසුන් හා ගැහැනුන් සොයා ඔවුන්ගේ මතකයන් එක් රැස් කර ලියා තැබීම මෙහි සිටින තරුණ තරුණියන්ට කළ හැකි නම් වැදගත් මෙහෙවරකි.

කලාකරුවෝ විනාශ කරන කලාව හා දේශපාලනය

ඇන්ඩෘ ජයමාන්නයෝ තම පොත නිවැරදි තැනකින් ආරම්භ කර ඇති බව මම මේ කතාව ආරම්භයේදි පැවසුවෙමි. මේ කතාව අවසාන කිරිමේ දි මට පැවසීමට ඇත්තේද එවැනිම දෙයකි. එනම් ඇන්ඩෘ ජයමාන්නයෝ මේ පොත නිවැරදි තැනකින් නිමා කර ඇති බවය. ඒ සිනමාව හා කලාව දේශපාලකයින්ගෙන් බේරාගත යුතු බවත් සිනමාව හා කලාව විනාශ වී ඇත්තේ දේශපාලකයින්ගේත්, සිනමා කලා ශිල්පින්ගේත් වරදින් බවත් පෙන්වා දෙමිනි.

කලාකරුවන්ගේ වරද ඔහු පෙන්වා දෙන්නේ විජය කුමාරතුංගගේ කට හඬිනි.

“එක් පුවත්පත් කලාවේදියෙක් මට පැවසු දෙයක් මේ මොහොතේ මගේ මතකයට නැගෙයි. මා හමු වී තොරතුරු ලබා ගත් කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනා දොස් පැවසුරුවෝ සිනමාව බිඳ වැටීමට මූලික හේතුව රජයේ ක්‍රියාකලාපය බවයි. විජය කුමාරතුංග මහතා සිරගෙදරින් නිදහස් වී පැමිණි සතියේදි මෙම වාර්තාකරු ඔහු හමු වීමට ගියේලු. එවිට එම අදහස ඔහුගෙන් ලැබෙන බවද මෙම වාර්තාකරු බලාපොරොත්තු වුණේලු."

එහෙත් විජය කුමාරතුංග මහතා පවසා ඇත්තේ රජය මොනවා කරන්නද ? අපේ ශිල්පින් තම ජීවිකාව රැක දෙන මේ කර්මාන්තයට දුන් දායකත්වය මොකක්ද ? ගේ ළඟට එන වාහනේට කඩිනමින් ගොඩවන්නේ කී දෙනෙක්ද ? අඩු වශයෙන් තේ හදන සේවකයකුගේ කැපවීම තරමටමත් මේ උදවිය නිෂ්පාදනයට දායක වෙනවාද ? එහෙම වෙලා තිබුණා නම් කර්මාන්තය කිසිදාක වැටෙන්නේ නැත” යන්නයි.

දේශපාලකයින්ගේ සිනමාව මුදා ගැනිමේ අවශ්‍යතාවය ඔහු පවසන්නේ

“මගේ රචනය අවසන් කරන්නේ මම ද සහභාගී වු අවස්ථාවක සිද්ධියක් සිහි කරමිනි. එය ඉතා සුප්‍රකට කලාකරුවන්ට සැබෑවටම අත දුන් ප්‍රභුවරයකුට උපහාර පිදීමට සංවිධානය කර තිබු උළෙලකි. ශාලාව නොයෙක් තරාතිරම්වල කලාකරුවන් උගතුන් වැනි අයගෙන් පිරි තිබුණි. ඉතා සන්සුන්ව කථිකයන්ට සවන් දෙමින් රැස්ව සිටි අය සහභාගිත්වය දැක්වූහ. හදිසියේ ම ශාලාව දෙවනත් කරමින් යුද්ධ හමුදාවක් ඇතුළු වන සේ පිරිසක් ශාලාව ආක්‍රමණය කළහ. ඒ රජයේ ප්‍රභූන් තිදෙනෙක් පිරිවරාගෙන පැමිණි ආරක්ෂකයින්ය. ශාලාව පුරා අති දුර්ගන්ධයක් හමා ගිය ආකාරයක් සහභාගී වූවන්ගෙන් දිස් විය. කතා කරමින් සිටි කථිකයා අතරමඟින් කතාව නතර කළා දැයි මට සිතුණි. මීළඟට කතාව පැවරුණේ සුප්‍රකට පණ්ඩිත ස්වාමින් වහන්සේ නමකටය. සංවිධානයකයන් මයික්‍රපෝනය උන්වහන්සේ ළඟට ගෙන යාමට සූදානම් වූවද උන්වහන්සේ සන්සුන්ව මයික්‍රපෝනය ළඟට වැඩම කළහ. උන්වහන්සේ කෙටි දේශනය මේ අයුරින් සඳහන් කිරීමට මට හැක්කේ එවන් දේශනයක් මට කිසි දවසක අමතක නොවන බැවිනි.”

“මේ වෙලාවේ කතා කරන්න තව කීප දෙනෙක් ඉන්නවානේ. ඒ නිසා මම පොඩි කතන්දරයක් කියන්නම්. එකමත් එක රටක රජ කෙනෙක් හිටියා. රටේ අනිත් කෙළවරේ කලාකරුවෙක් හිටියා. රජතුමා කලාකරුවාට පණිවිඩයක් යැව්වා ඇවිත් තමන් හමුවෙන්න කියලා. ඒත් කලාකාරුවා ආවේ නැහැ. රජතුමා මඳක් දුර ඇවිත් නැවත පණිවුඩයක් යැව්වා මම බාගයක් දුර ආවා දැන් ඇවිත් හමුවෙන්න කියලා. ඒත් කලාකරුවා ආවේ නෑ. රජතුමා කලාකරුවාගේ ගේ ඉදිරිපිටම ඇවිත් කිව්වා මම දැන් ඔබගේ ගේ ඉදිරිපිට ම ආවා ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් කියන්න මම දෙන්න ලෑස්තියි. කලාකරුවා හැරිලා කිව්වා රජතුමනි ඔබතුමා දොර ළඟින් මෑත් වුණොත් ඇති. ඔබතුමාගේ සෙවණෑල්ල හින්දා මට මේ වැඩේ කරන්න බෑ”

ඇන්ඩෘ ජයමාන්නයෝ පෙන්වා දෙන මේ කරුණු දෙක නිවැරදි කරගන්නා තුරු සිනමාවත් කලාවත් විනාශ වීම වැලැක්විය නොහැකිය.

ඉතිං අද අප අතර නැති ජයමාන්නයන්ගේ දිවැසිවර ප්‍රකාශය මේ රටට ඇසේවා යි පතමි. අප එක්ව ඔහුට ඔහුගේ මෙහෙවරට අන්පොළසන් කීපයක් දෙමු.

මහින්ද නාමල්



Thursday, April 27, 2023

‘‘හිතවත් ආරියසිංහ වෙත.“ කෘති ත්‍රිත්වය ජනගත කිරීමට ආරාධනා !

 


අපි උන්නේ එදා අපි ගැනම කතාබහක. කතා වටයෙ එක් තැනකදි ඇයට තමාගේ හඬ  අවදි කරන්නට අවස්ථාව ලැබුණා

‘‘මම ඉපදිලා තියෙන්නේ යුද්ධය දරුණු වෙන්න පටන් ගත්ත මුල් කාලේ දවසක එදා අම්මට මාව හම්බ වෙන්න අමාරු වෙලා තියෙන්නේ රෑ... අහල පහල කොතැනකවත් වාහනයක් තිබිලා නෑ. තිබුණත් ඒ රෑ කවුරුවත් එළියට බහින්නෙ නෑ. කොයි වෙලේ කොතනින් වෙඩි උණ්ඩ පුපුරයි ද, බෝම්බ පුපුරයි ද දන්නෙ නැති කාලයක්. අම්මව ඒ අමාරුකම් මැද ම පාර අයිනට එක්කරගෙන ඇවිත් තිබුණා...

පාර අයිනේ බිම ලන්තෑරුම තියල ඒක රෙද්දකින් වහලා වාහනයක් එනතුරු එයාලා පාර බලන් ඉඳලා තියෙනවා. ඒ තුවක්කුවක් පත්තු වෙන්න ඒ එළිය වුණත් හේතුවක් වෙන්න තිබුණ නිසා. හැබැයි වාහනයක් ඇවිත් නැහැ. පස්සේ අම්මට හොඳටම අමාරු වෙද්දි ඒ පාර අයිනේ තිබුණු පුංචි ගෙදරකදී තමයි මම ඉපදිල තියෙන්නෙ. පෙකණි වැල කපල තියෙන්නෙත් පිහියකින්...

අදටත් මගේ අම්මා කියනවා ‘පුතේ උඹ කොහොම ඉපදුනාද, කොහොම ජීවත් වුණාද කියන්න මට අදටත් හිතාගන්න බෑ.“ කියලා.

දෙඅතින් ම මුහුණ වසා ගත් ඇය ( දැන් මැදි විය ද ඉක්මවා සිටින ඒ ශක්තිමත් ගැහැනිය ) පොඩි දැරියක සේ හඬන්නට පටන් ගත්තා. ඒ ඉකිබිඳුම සෑහෙන වෙලාවක් පැවතුණා. අපි තෙත් වුණු ඇස්වලින් බලා හිටියා. ඒත් අපේ හිත් ඉකි ගගහ ඇඬුවා.

ඉකි බිඳුම් සමනය වෙලා ටික වෙලාවකට පස්සෙ ඇය මෙහෙම කිව්වා ‘මම පොතක් ලියමින් ඉන්නවා. ඒ පොතට දාලා තියෙන නම තමයි ‘මට මතක පුංචි කාලේ’.

හය හතර තේරෙන දැරියක වූ දා සිට ඇගේ පවුලේ සියල්ලන් ජීවත් වුණේ අනාථ කඳවුරක. ඉටි පන්දම් එළියෙන්, හඳ එළියෙන්, ලාම්පු කුප්පියේ ආලෝකයෙන් ඉගෙනගත් ඇය සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට පිවිසෙනවා.

‘‘මං කඳවුරේ ඉද්දි විභාග ලිව්වෙ. මාව යාපනේ විශ්වවිද්‍යාලයට තේරුණා. ඒත් මට උදව් කරන්න කවුරුවත් හිටියෙ නැහැ. අඩුම තරමෙ ඉල්ලුම්පත්‍රයට දාන්න එඩ්‍රස් එකක්වත් මට තිබුණේ නැහැ. මගේ සහෝදරියක් මඩකලපුවේ විවාහ වෙලා හිටියා. නැගෙනහිර විශ්වවිද්‍යාලයට මාරුවක් හදාගෙන මම ඇගේ නිවසෙ ඉඳල විශ්වවිද්‍යාලයට ගියා. ඉන්පස්සෙ භාෂා පරිවර්තක කෙනෙක් විදිහට මට මුල්ම පත්වීම ලැබුණේ කොළඹට. ඒත් ඒ පරිසරය දරාගන්න මට බැරි වුණා. ඒ කාලෙ මට සිංහල කතා කරන්නත් අමාරුයි. ( මේ සංවාදය පුරාම ඇය කතා කළේ සිංහල භාෂාවෙන්. ඔව් ඇය භාෂා පරිවර්තිකාවක්... ) අවුරුද්දක් ඇතුළත මම රස්සාවෙන් අයින් වෙලා ආපහු ගමට ගියා. එයින් කාලෙකට පස්සේ තමයි මට රස්සාව ලැබුණෙ.‘‘

යුද්ධය පැවතුණු වසර තිහක් පුරා උතුරු නැගෙනහිරත්, දකුණේත් මෙවන් දුක්බර සුවහසක් තියෙන බව ඇත්ත. මේ එක කතාවක් පමණයි. ඒ ජීවිත ඛේදවාචක, දුක්ඛ දෝමනස්සයන් ඔවුන් දරා ගන්නා ආකාරය, ඒ සියල්ල මැදත් මනුෂ්‍යත්වය, ආදරය, ජීවිතය කෙරෙහි වන අප්‍රමාණ බලාපොරොත්තු නො බිඳී පවත්වා ගන්නා ආකාරය... එය තමයි විස්මය... එක් අතකින් එය මනුෂ්‍ය පැවැත්මේ විශිෂ්ටත්වය පිළිබඳ දිය හැකි හොඳම උදාහරණයක්... තවත් අතකින් ජීවිතයෙන් පළා නොයා, නොනැවත ජීවන අරගලයෙහි අඛණ්ඩව පවතින්නට ලාලසාව දල්වන්නක්...

උතුර දකුණ යා කරන මෙබඳු හෘදසංවේදී මානුෂීය කාරණා රැසක් අපේ හෘද සාක්ෂිය ඉදිරියේ පෙළ ගස්වන අපූරු හසුන් සමුදායක් පසුගිය දිනවල කියවන්න ලැබුණා. පසුගිය වසරේ ගාලුමුවදොර අරගල සමයේ උතුරු මිතුරකු විසින් අරගල භූමියේ ආරියසිංහ නම් දකුණු මිතුරා වෙත ලියන ලිපි පෙළක් ලෙස සම්පාදනය කරන මෙම ග්‍රන්ථය අප සැමගේ අවධානයට යොමු විය යුතු ම ග්‍රන්ථයක් බව මගේ හැඟීම.

දමිළ සාහිත්‍යෙව්දී කරුණාකරන්, අපගේ හිත මිත්‍ර ප්‍රවීණ ලේඛක, සමාජ ක්‍රියාධර සුනිල් විජේසිරිවර්ධන මහත්වරුන් එම කෘතියට සපයා ඇති පෙරවදන් පවා වාර්ගික සහෝදරත්වය, සංහිඳියාව යා කරන පාලම් ලෙස දැක්විය හැකි විශාල සම්ප්‍රදානයන්....

සෙබමාලෙයි අන්බුරාසා පියතුමා විසින් සම්පාදිත මෙම ලිපි පෙළ සිංහලට පරිවර්තනය කරනුයේ දකුණට කිසිසේත් ආගන්තුක නොවන හිත මිතුරු මහාචාර්ය සාමිනාදන් විමල් මහතා. අතිශය සංවේදී මානුෂික පැවැත්ම පිළිබඳ කාරණා මෙන්ම, තියුණු සමාජ, දේශපාලන විචාරයන් රැගත් මෙම කෘතිය සිංහලට නැගීමේ දී ඔහු දක්වා ඇති සුහුරුබව අගය කළ යුත්තක්.

හෙට එනම් අප්‍රේල් 28, ප.ව. 3.00 ට ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැත්වෙන ‘‘හිතවත් ආරියසිංහ වෙතයි.“ කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට ඔබ සැමට ආරාධනා... !



Wednesday, April 12, 2023

සයුරු රළක කවිය...

 

මඩකලපු වෙරළ තීරය 



පාළු නැතිවද
ඔය ඔතැන
හුදෙකලාව ම
ඉන්නා ඉඳුම...


"පාළුව" කියන්නේ
කුමක්ද ?
අහස, මහ පොළව, සමුදුර
යාවෙන ඉසව්වක...
ගී මුමුණනා සුළං
රැල්ලක
දැවටී නැතුවාද
ස්නේහය...


ඔව්, මේ මෙතැන
දහසක් ජීවිත
සයුරු රළ හා මුසු ව
දිවමන් වන තැන...


නොඇසේද ඒ විලාපය
කෙමෙන් සන්සුන් ව...
සැනසුම් සුසුම් හෙළනා හඬ....




මඩකලපු වෙරළ තීරයේ ඇති සුනාමි ස්මාරකය.... මේ ප්‍රදේශයේ දසදහසක පමණ පිරිසක් සුනාමි ව්‍යසනයෙන් මිය යන්නට ඇති බව පැවසිණි.





යළිදු දිය ගැඹරට නික්මෙන තුරු මඳ ඉසිඹුවක් ලබන හුදෙකලා ඔරුව...
ජීවිතයට ද එවැනි විරාමයන් අවශ්‍යමයි නේද?

‘‘ජීවිතය ඔබෙන් ලැබ...‘‘

Art by - Quint Buchholz


 

‘‘අවුරුද්දට ගමේ යන්නෙ නැද්ද?

‘‘අවුරුද්දට ගමේ යන්න ඕනම ද?

පිළිතුරක් ප්‍රශ්නයක් කරන්නට මට උවමනා වූවා ම නොවේ. අප හමු වූ මුල් ම කාලයේ, මුල් ම බක් මහේ මම ඔය ප්‍රශ්නය ම, ඔයාකාරයට ම ඔහුගෙන් ඇසූ බව මට සිහිපත් විය. එදායින් මෙදා මටත් අවුරුද්ද අලුත් යමක් ලෙස හිතට දනවන්නට උවමනා වූයේ ම නැත. මට පමණක් ඇති අවුරුදු කුමකටදැයි සිතෙන සිතුම වළකා ගන්නට බැරි විය.  

‘‘නෑ... එහෙම එකක් නෑ... අවුරුද්දට කොළඹ පාළු වෙනවා. තෝසෙයක් කන්නවත් තැනක් නැති වෙන තරමට.”

ඇයි ශ්‍රැංගිලා, ගෝල්ෆේස් හොටේල්, සිනමන් ග්‍රෑන්ඩ් ඕව වහන්නෙ නෑ නේද? අසා ඵලක් නැත. තුන්වේල පෙට්ටි කඩෙන් කන අපට මොන ශ්‍රැංගිලා ද?

මඳ නිහැඬියාවකි. අතු පතර සිලි සිලිය පමණකි. ඉඳ හිට නම නොදන්නා කුරුල්ලකු කෑ ගසාගෙන ඉගිල යන හඬ ඇසේ. ‘ඌ අවුරුද්දට ගමේ යනවාවද්ද?‘

‘‘ගමක් කියන්නෙ මොකක්ද? ” මම පෙරළා ප්‍රශ්නයක් ඇසීමි.

‘‘මිනිස්සුන්ට තමන්ගෙ අක්මුල් මුණ ගැහෙන තැන. ආදරය දැනෙන තැන. තමන්ගේම කියන මිනිස්සු ඉන්න තැන. ඒකනෙ කොයි දේස දීපකංරේ ගියත් ගමට දුවන හිත අල්ලල නවත්තගන්න බැරි වෙන්නෙ.”

ඔහු ඈත බලාගෙන මුමුණයි.

‘‘ඔයාගෙ හිතත් ගමට දුවනව ද? ”

දිගු සුසුමකි.

‘‘හ්ම්... ඒත් දැන් එහෙ කවුරුත් නෑ. ආදරය කරපු මිනිස්සු නැති වුණාට පස්සෙ ගමක් කියන්නෙ හිස් බිමක් විතරයි.”

ගමක් අළුවුණු ශෙල් වෙඩිල්ලක කතාව දන්නා නිසා ම මම කිසිත් නොපවසා අසා සිටියෙමි.

‘‘අපිට කොහොමත් නිශ්චිතවම ගමක් කියල දෙයක් තිබුණෙ නෑ. අපි උන්නෙම කඳවුරුවලනෙ... අපිට ගෙවල් තිබුණෙ නෑ. ඒවා කූඩාරම්... තහඩු මඩු. ඒත් ඒ කාලෙ කොහොම වෙතත් අවුරුදු තිබුණා, අපි එකට උන්නු නිසා. මම ඉටිපන්දම් එළියෙන්, හඳ එළියෙන් හරි පොත පතේ වැඩ කරගත්ත නිසා කැම්පස් ආවා. අපිට එකට මැරෙන්න තිබුණු අවස්ථාව ඒකෙන් නැති වුණා. හැමෝම යන්න ගියා. මම  විතරක් ඉතුරු වුණා, මම විතරක්... හරියට ඇවිදින මළ මිනියක් වගේ.”

මම ඒ අත තදින් මිරිකා ගතිමි. ඔහු මදෙස බැලුවේ ය. වැරදි යමක් කියවුණාක් වැනි හැඟීමක් ලියැවුණු දෑස් මතින් මගේ දෑස් ලිස්සා යන විට ළය රිදී සුසුමක් ගිලිහුණේ මටත් නොදැනීම ය.  

‘‘මේ බලන්න. ” ඔහු මගේ මුහුණ ඔහු වෙත හරවා ගනියි. ඒ දෑත උණුසුම් ය. 

මා මත ම දැල්වුණු ඒ ඇස් කෙමෙන්, කෙමෙන් මඳ සිනාවකින් දීප්තිමත් වන්නට විය.

‘‘ඒත් දැන් ටික ටික හුස්ම වැටෙනවා.” ඔහු මගේ දකුණතේ පිටත්ල ගෙන නාස් පුඩු අග තබා සුසුමක් පිට කර පෙන්වයි. මම අනෙක් අතින් ඔහුට පහරක් දුනිමි.

‘‘ඔයා ළඟ ඉන්නවනම් හැමදාම අවුරුදු...” ඔහු සුරත මා උරහිස වටා යවා තදින් තුරුළු කොට ගත්තේ ය.

‘‘මමත් ගමේ යන්නෙ නෑ. අපි අවුරුදු දවසට මෙතනදි ම හමුවෙමු. මම කන්න හදන් එන්නම් අපි දෙන්නට. ”

දියවන්නාව දෙස ම හැරවුණු ඒ මුහුණේ වම් කොපුලේ සිනා සේයාවක්  ඇදී යනු මම නිවුණු හදින් බලා සිටියෙමි.

Thursday, March 2, 2023

සුසුමක් ඇවිළුණු මොහොතක්....

 


නිශ්චිත අරමුණකින් තොරව තාවකාලික නවාතැනේ යකඩ ගේට්ටුව විවර කරගෙන මම එළියට බැස්සා. ඉස්තෝප්පුවේ දිගු කොරිඩෝරයේ කෙළවර වේවැල් පුටුවල සුපුරුදු ලෙස සුව නිවාඩු පතා පැමිණි පැවිදි සොයුරියන් කිහිප දෙනෙක් වාඩි වී උන්නා.

‘‘කොහෙද ළමයා උදෙන්ම යන්නෙ...“

ඒ හුරුපුරුදු හඬ ආ දෙසට මං හැරුණා. එක්වනම මගේ හිත වේදනාවෙන් සහ කම්පනයෙන් තිගැස්සිලා ගියා. ඒ රුව මා වෙනදා දුටු රුව නොවේ. හුරු හඬ නොවෙනස්ව තිබුණාට ඒ රුව ?

‘‘යාළුවෙක්ගෙ art exhibition එකක් බලන්න සිස්ට...“ හිනාවෙලා එහෙම කිව්වට ඇත්තටම මට කියන්න නමක්වත් දිවගට ආවෙ නෑ. අව්වත් නැති වැස්සත් නැති බුම්මාගත් කොලොම්පුර අහස යට හිතට සැනසුම ඇබින්දක් අහුලගන්න කොහේ කොතැනට යන්නද කියල හාන්කවිසියක අදහසක් හිත අහලක තිබුණෙත් නෑ. ඒත් මුහුණුපොතේ තැනක චිත්‍ර ප්‍රදර්ශන කිහිපයක නම් කියවුණා මතකයේ තිබුණා.

‘‘ඔයා පොටෝ ගන්නවද?“

‘‘ඔව් සිස්ට, පුළුවන් වුණොත් ගන්නවා.“

‘‘අනේ මටත් එවන්න.“ මට දැන් ඒවා බලන්න යන්න විදියක් නෑනෙ. ඇය එහෙම කිව්වෙ නෑ.

‘‘එවන්නම් සිස්ට...“

ඇය මා දැන හඳුනාගත්තෙ මාස කිහිපයකට පෙර. ඒ වෙද්දි ඇයට ගෙල මුලට කොට බඳින කාලවර්ණ වරලසක්, පැහැපත් පිරුණු මුහුණක් තිබුණා.

ඒත් අද... ඒ වරළස ක්ෂය වෙලා.... දෙකොපුල් වල ගැහිලා... සිරුර කෘෂ වෙලා. මාසයක් දෙකක් ඈ දකින්න නොලැබීමට හේතුව ඒ රුව මත ලියවිලා තිබුණා.

එදා මට එක චිත්‍ර ප්‍රදර්ශනයක්වත් බලන්න ලැබුණෙ නෑ. ගාඩි බලල එන්නට ආවා. ඉන්පස්සෙ වතාවක් අප හමුවුණත් ඇය පින්තූර ගැන ඇහුවෙත් නෑ....

වරදක් නොකළත් වරදකාරී හැඟුමකින් හිත පිච්චෙන්නේ ඇයි කියල මට තේරෙන්නෙත් නෑ...