Wednesday, July 31, 2019

‘‘එක දවසක් එන්න, නාට්‍ය කලාව කෙරෙහි වන ඔබේ ආදරය පෙන්නන්න.“


( 2019 ජූලි 28 අනිද්දා පුවත්පතේ පළ වූ සංවාදයේ අසංක්ෂිප්ත සටහන )

දැන් ඔබේ උදව් ඕනේ........
ඔබ දන්නවා කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල අප බොහෝ පීඩා, අපහසුකම් මැද කරගෙන යන්නක් බව...ඒ ගැන අප කිසිවෙකුට දොස් කියන්නේ නැහැ..

දැන් අප ලෑස්තියි 08 වන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලට..
එය අගොස්තු 04 වෙනිදා සිට 09 වෙනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රගහලේදි සැම දිනකම සවස 6.30 ට පැවැත්වෙනවා.

රටවල් 08 ක්, නාට්‍ය 13 ක්, දේශිය හා විදේශීය නාට්‍යකරුවෝ 200 ක්
එකම බිමක මුණගැහෙන මේ අවස්ථාවේ
අප ඔබෙන් ඉල්ලන්නේ පුංචිම පුංචි ඉල්ලීමක් පමණයි..

එක දවසක් හෝ ඇවිත් යන්න... තව කෙනෙකුට හෝ කියන්න....
පුලූවන් තරම් මේ සොඳුරු පණිවිඩය අනිත් අයට කියන්න..
අපිට ඕනේ සෑම දිනකම
රගහල පිරීයන්න තරම් හිතවත්කමක්... ආදරයක්..

දෙන්න ඔබේ හිතවත් කම....
දෙන්න ඔබේ ආදරය..

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ අධ්‍යක්ෂ, ප්‍රවීණ නාට්‍යෙව්දී එම්. සෆීර් මහතා මුහුණුපොත හරහා කළ සංවේදී ඇරයුමයි ඒ. ඒ ඇරයුම නැවතත් සිහිගන්වමින් එම්. සෆීර් මහතා සමඟ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ පිළිබඳව කළ සංවාදයයි මේ.


1. මෙවර ජාත්‍යන්තර නාට්‍ය උලෙළ කොළඹ දී පැවැත්වෙන්නෙ 8වැනි වරට. මෙතෙක් ආ ගමන් මග දෙස ආපසු හැරී බැලීමෙදි මොකද හිතෙන්නෙ?

නාට්‍යකරුවෙක් විදියට මට අති විශාල සතුටක් තියෙනවා ලංකාවෙ නාට්‍යකලාවට මට යමක් කරන්න පුළුවන් වීම ගැන. ලංකාවෙ මින් පෙර නොතිබුණු දෙයක්නේ. අවුරුදු අටකට කළින් ආරම්භ කරලා නාට්‍ය කලාව වෙනුවෙන් කවුරුත් නොකරපු ජාත්‍යන්තර මට්ටමමේ වැඩක් කරන්න හැකිවුණා. ගෙවුණු අවුරුදු අට දිහා හැරිල බැලුවොත් ආසන්න වශයෙන් ජාත්‍යන්තර මට්ටමින් අයදුම්පත්‍ර දාහක් විතර ඇවිත් තියෙනවා. රටවල් හැටකින්, හැත්තෑවකින් විතර. ඒක අතිවිශාල ජයග්‍රහණයක්. ලෝකයේම නාට්‍ය කණ්ඩායම් දාහක්නෙ අපට ඇප්ලයි කරල තියෙන්නෙ. ලංකාව ගැන ඒ නාට්‍යකරුවන්ගෙ දැනුවත්භාවය සම්බන්ධව සතුටු විය හැකියි. මේ වෙද්දි ලෝක නාට්‍යකරුවො පන්සීයක්, හයසීයක් ලංකාවට ඇවිත් තියෙනවා. ඔවුන් ලංකාව දැකල තියෙනවා. ලංකාවෙ නාට්‍යකරුවන්ව මුණගැහිල තියෙනවා.
ලෝක නාට්‍ය සිතියම ගත්තහම මේ පහුගිය අවුරුදු අට ඇතුළෙ කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල  ගුණාත්මකබවින් ඉහළ මට්ටමේ නාට්‍ය උලෙළක් බවට පත්වෙලා තියෙනවා. මගේ මේ උත්සාහය නිසා පොඩිවට හරි විදේශ විනිමය මේ රටට ලැබිල තියෙනවා. ලංකාවෙ තරුණ නාට්‍යකරුවන්ට අලුත් ලෝකය ගැන ඉගෙනගන්න අවස්ථාවක් ලැබිල තියෙනවා. ඒ ගැන මම සිහිපත් කරන්නෙ අභිමානයෙන්. සතුටින්.

ලංකාවෙ ප්‍රවීණ නාට්‍යකරුවන් කිහිපදෙනෙක් හරි අපේ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ හරහා අභිනන්දනයට ලක් කරලා, විදේශ නාට්‍යකරුවන්ට ඔවුන් හඳුන්වල දෙන්න හැකිවුණා. මේක සෙල්ලමක් නෙවෙයි. ඒ වෙනුවෙන් මම අතිවිශාල කැපකිරීමක් කරල තියෙනවා.  ණයවුණ මුදල් ප්‍රමාණය ගත්තොත් හිතන්නවත් බැරි තරම්. නමුත් නාට්‍යකරුවෙක් විදියට මම ඒ ගැන කණගාටු වෙන්නෙ නැහැ. විශාල සතුටක් තියෙනවා. ගෙවුණු අවුරුදු අට මම දකින්නෙ ඒ විදියට. ලංකාවට ඒක එහෙම පේනවද, දැනෙනවද කියල මං දන්නෙ නැහැ.


2.  මෙම උලෙළ ආචාර්ය ජයලත් මනෝරත්න අභිනන්දන නාට්‍ය උලෙළ ලෙස නම් කිරීම පිළිබඳව කතා කරමු.

ජයලත් මනෝරත්න කියන නාට්‍යකරුවාගේ පළමුවැනි වේදිකා නාට්‍ය රංගය ආරම්භ කරල මේ අවුරුද්දට අවුරුදු 50ක් වෙනවා. ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය කලා ජීවිතයේ පස්වෙනි දශකය මේ ගතවෙන්නෙ. ඔවුන් ජීවතුන් අතර සිටියදී නිසි ඇගයුමට ලක්කිරීම, උපහාර පිදීම තරම් වටින දෙයක් තවත් තියෙනවා කියල මං විශ්වාස කරන්නේ නැහැ. අනිත් එක මේක ලංකාවෙ කළාට ජාත්‍යන්තර මට්ටමේ වැඩක්. ජාත්‍යන්තර සම්මානයක් තමයි අපි මනෝ අයියට දෙන්නෙ. මේක වෙන රටක තිබුණ නම් රතු පලස් උඩින් ගෙන්නන්න තරම් වටින වැඩක්. මගේ නාට්‍ය ජීවිතයේ ගතවෙන්නෙ තුන්වෙනි දශකය. මනෝ අයියලට පසුපරම්පරාවෙ කෙනෙක් හැටියට මට සතුටුයි අපට කළින් මේ ක්ෂේත්‍රයට ඇවිත් වැඩක් කළ මිනිස්සුන්ට උපහාර පුදන්න ලැබෙන එක. ලංකාවෙ විදියට නාට්‍යකරුවකුට ලබන්න පුළුවන් ඉහළම ගෞරවය මේක කියලයි මට හිතෙන්නෙ. මහාචාර්ය සරච්චන්ද්‍රගෙ ජන්ම ශත සංවත්සරයෙන් තමයි අපි මේ විදියට ජාත්‍යන්තර නාට්‍ය උලෙළ නම් කරන්න පටන් ගත්තෙ. කේ.බී. හේරත්, පරාක්‍රම නිරිඇල්ල, ලූෂන් බුලත්සිංහල, ධර්මසිරි බණ්ඩාරනායක මේ සියලු දෙනා ලංකාවෙ නාට්‍ය කලාවෙ පතාක යෝධයො. ඔවුන් වෙනුවෙන් තමයි උපහාර පුදල තියෙන්නෙ. ඒ ගැන මට ඉතාම අහිංසක සතුටක් තියෙනවා, මට ඔවුන් වෙනුවෙන් යමක් කරන්න පුළුවන් වුණා කියල.

3.  රටවල් 08කින් නාට්‍ය 13ක් මෙවර සම්බන්ධ වෙනවා. මේ නාට්‍ය ලාංකේය වේදිකාවට මොන වගේ අත්දැකීමක් වේවිද?
ජාත්‍යන්තර නාට්‍ය උලෙළවල් ලෝකෙ පුරා සංවිධානය වෙන්නෙ නාට්‍යකරණයේ යෙදෙන අයට ඉගෙනගන්න, අත්දැකීම් බෙදාගන්න, අලුත් ලෝකය අඳුනගන්න තමයි. නමුත් මේක පොදු ප්‍රේක්ෂකයාට සමීප වෙන්නෙ කොහොමද කියල හිතුවම ගැටලුවක් තියෙනවා. පොදු ප්‍රේක්ෂකයට මෙවැනි නාට්‍ය බලල අත්දැකීමක් නැති නිසා ඔවුන් එච්චර කැමති නොවෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තම මම හැමවෙලාවෙම කියන්නෙ නාට්‍ය කලාව ඇතුළෙ හොඳ හෝ නරක කියල දෙයක් නැහැ. තියෙන්නෙ කැමති හෝ අකමැති නාට්‍ය. හොඳ නාට්‍ය මේවයි, නරක නාට්‍ය මේවයි කියල වර්ගකරන්න නිර්ණායක නෑ ලෝකෙ. ඒ හින්දා අපට තියෙන්නෙ කැමති සහ අකමැති කියල නාට්‍ය කොටස් දෙකක් විතරයි. මෙතනදි පොදු ප්‍රේක්ෂකයා කැමති වෙන්න පුළුවන්, සමහර නාට්‍යවලට අකමැති වෙන්නත් පුළුවන්. නමුත් රුමේනියාවෙ නාට්‍යයක් මරදාන එල්ෆින්ස්ටන් එකට එනකොට මං අහන්නෙ ඇයි ඒක නොබලන්නෙ හොඳ හෝ නරක. ඉතාලි නාට්‍යයක් හොඳ හෝ නරක මරදාන එල්ෆින්ස්ටන් එකට එනකොට ඇයි ඒක නොබලන්නෙ. මං හැමවෙලාවෙම කියන්නෙ ඒකයි මේ නාට්‍යය තේරෙයිද? මේ නාට්‍යය හොඳයි ද වගේ ගෝත්‍රික මතවාදවල උන්නොත් මේ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ කරන්න වෙන්නෙ නෑ. වඩා වැදගත් වෙන්නෙ මේ නාට්‍ය උලෙළ කිරීම හරහා ලෝක නාට්‍යකරුවො, ලෝක නාට්‍ය කණ්ඩායම් මේ රටත් එක්ක, අපිත් එක්ක ගනුදෙනු කිරීම. උදාහරණයක් විදියට පහුගිය අවුරුදුවල නාට්‍ය උලළෙ ප්‍රදර්ශනය කළ අපේ නාට්‍ය කිහිපයකට ජාත්‍යන්තර නාට්‍ය උලෙළවල් සඳහා ආරාධනා ලැබුණා. දේශීය නාට්‍යකරුවන් කිහිපදෙනෙකුට ඒ රටවලට ගිහින් පුහුණුවෙන්න, වැඩමුළුවලට සහභාගි වෙන්න අවස්ථා ලැබුණා. මෙවරත් ජර්මනිය, ඇමරිකාව, රුමේනියාව, ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය, ඉන්දියාව වගේ රටවල් ගණනාවක් අපිත් එක්ක එකතු වෙනවා.


4.      ජාත්‍යන්තර නාට්‍ය උලෙළ නියෝජනය කරන ලාංකේය නිර්මාණ මොනවාද?  
අපේ නිර්මාණ පහක් තියෙනවා. එකක් තමයි ග්‍රීස් යකා රිටර්න්ස්. ඒක මේ අවුරුද්දෙ රජ්‍ය නාට්‍ය උලළෙ හොඳම නාට්‍යය. නොකියා හිටපු දෙයක් කෙටි නාට්‍යය තියෙනවා. ඒක මේ අවුරුද්දෙ රාජ්‍ය නාට්‍ය උලළේ කෙටි නාට්‍ය අංශයෙ හොඳම නාට්‍යය. දෝ රේ මී ෆා සෝ ලා ටි. ඉංග්‍රීසි නාට්‍යයක්. ඒක ගිය වසරෙ ළමා නාට්‍ය උලෙළෙ විවෘත අංශයේ හොඳම නාට්‍යය, ඉංග්‍රීසි. තව එකක් තියෙනවා ෆයිට් ඔෆ් ෆැන්සි කියල මියුසියස් විද්‍යාලයේ ගිය අවුරුද්දෙ ළමා නාට්‍ය උලළෙ සීමිත අංශයෙ දෙවන ස්ථානය. මෙන්න අපේ රජ්ජුරුවෝ කියල නාට්‍යයක් තියෙනවා ඒක ගිය අවුරුද්දෙ ළමා නාට්‍ය උලෙළ සීමිත අංශයේ හොඳම නාට්‍යය. සම්මානනීය නාට්‍ය තමයි ජාත්‍යන්තර නාට්‍ය උලෙළ නියෝජනය කරන්නෙ. ළමා නිර්මාණවලත් ලොකු දායකත්වයක් තියෙනවා. එකක් සම්මානනීය නාට්‍ය බලන්න ලැබෙනවා. දෙක මේ සම්මානනීය නාට්‍යවලට ලෝකෙට යන්න දොරටුවක් මෙතනින් විවෘත වෙනවා. මේ නාට්‍ය උලෙළට ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ නියෝජිතයො එනවා. බොහෝ ආරාධිතයො එනවා. ජාත්‍යන්තර නාට්‍ය විචාරකයින් එනවා. ජාත්‍යන්තර නාට්‍ය කණ්ඩායම් එනවා. විදේශීය විශ්වවිද්‍යාලවල නාට්‍ය කණ්ඩායම් සහභාගි වෙනවා. අපේ නාට්‍ය නිර්මාණවලට ඒ වගේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රේක්ෂාගාරයක් ලැබෙනවා. මේක සරල වැඩක් නෙවෙයි. අපේ නිර්මාණකරුවන්ට ලැබෙන හොඳ අවස්ථාවක්.

5. නාට්‍ය උළෙලට සමගාමීව තවත් වැඩසටහන් ගණනාවක් පැවැත්වෙනවා. ඒ ගැනත් සිහිපත් කරමු.

සුපුරුදු විදියට නාට්‍ය උලළේ අගෝස්තු 03වන දා වෙන් කරල තියෙන්නෙ ජයලත් මනෝරත්න අභිනන්දන උලෙළ සහ සමාරම්භක උත්සව අවස්ථාවට. 04 වනදා ඉඳන් 09 වන දා දක්වා ලංකාවත් ඇතුළුව රටවල් 08ක, නාට්‍ය නිර්මාණ 13ක් හැමදාම හයට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ වේදිකාගත වෙනවා. ඊට අමතරව විදේශීය සම්පත්දායකයින් මෙහෙයවන වැඩමුළු මාලාවක් තියෙනවා දවස් පහක් ඇතුළතදී. කවුරුහරි කැමති නම් ඒකට සම්බන්ධ වෙන්න කළින් ලියාපදිංචි වෙන්න ඕන. ජාත්‍යන්තර නාට්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ සම්මේලනය අගෝස්තු 05,06,07 ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයෙදි පැවැත්වෙනවා. එය නාට්‍ය අධ්‍යක්ෂවරුන්ට පමණයි. වෙනත් කවුරුහරි එනව නම් තමන්ගෙ උනන්දුව ඉදිරිපත් කරලා ඉල්ලීමක් කරන්න, ඉන්පස්සෙ අපිට පුළුවන් ඒ ගැන තීරණයක් ගන්න. මේ විදියට තමයි නාට්‍ය උලෙළේ මූලික හැඩය තියෙන්නෙ මේ අවුරුද්දෙ.

6.   නාට්‍ය උලෙළ සඳහා ලැබෙන දායකත්වය ගැන ඔබ තෘප්තිමත් ද?

මේක මම පටන්ගත්ත වැඩක්නෙ. ඒක මම ම කරගෙන යන්න ඕන. කාටවත් දොස් කියල වැඩක් නෑ. මට කරන්න පුළුවන් ඉල්ලීමක් විතරයි. මම හිතනවා වෙනදට වඩා මේ සැරේ  නාට්‍ය උලෙළට ප්‍රේක්ෂකයන්ගෙ ආකර්ෂණය තියෙයි කියල. රුමේනියාවෙ හරි, ඇමරිකාවෙ හරි, ඉරානයෙ හරි නාට්‍යයක් මේ රටේ පෙන්වද්දි නාට්‍ය කලාවට ආදරය කරන අය ඒක බැලිය යුතුයි කියලයි මම විශ්වාස කරන්නෙ. ඒ බැලීම හරහා ගොඩක් දේවල් සිදුවෙන්න පුළුවන්. පිටරට නාට්‍ය දර්ශන කරන අපේ නාට්‍යකරුවො කියනවනේ ඒ රටවලදි ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන, ‘පුදුම ප්‍රේක්ෂාගාරයක් හිටියෙ.‘, ‘ඒ රටවල මිනිස්සු මාර උනන්දුයි නාට්‍ය බලන්න.‘, ‘හිතාගන්නවත් බෑ එහෙම ප්‍රේක්ෂාගාරයක් ලංකාවෙ නෑ‘ වගේ අදහස්. මම විශ්වාස කරන්නෙ ඒක එහෙම නෑ නෙවෙයි, අපි මේ උනන්දුව, උද්‍යෝගය මිනිස්සු අතර ඇති කළාම දවසක ඒක වෙයි. හරි හෝ වැරදි මේ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ අපි අවුරුදු අටක් ඇවිත් තියෙනවා. ඒක පොඩි වැඩක් නෙවෙයි.

ඒ ගමන එන්න සංස්කෘතික අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය, ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය, ඩයලොග් ආයතනය වගේ ආයතන, පුද්ගලයො මේ සියලුදෙනාම ඔවුන්ගෙ සීමාවන් ඇතුළෙ ඉඳල අපට උදව් කරල තියෙනවා. මේක මගේ තනි ජයග්‍රහණයක් කියල ලඝු කරන්න මං කැමති නැහැ. මට මේ වැඩේ කරන්න ගොඩක් මිනිස්සුන්ගෙ හයිය ලැබෙනවා. හයිය මදි කියන එක වෙන තර්කයක්.

සාපේක්ෂව මට ආසයි මේ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ කොළඹ, ගාල්ල, නුවර, අනුරාධපුර, යාපනය, මඩකලපුව වගේ හැමතැනකම පෙන්නන්න. මේකෙ සංවිධායකවරයා සහ නාට්‍යකාරයෙක් හැටියට ඒක මගේ සිහිනය. සතියක නාට්‍ය ප්‍රබෝධයක් ලංකාව පුරාම හැදෙයි. නමුත් ඒක ලොකු වැඩක්, ලොකු මුදලක් අවශ්‍ය වෙනවා. මට ඒක කරන්න බැරිකමක් නැහැ ඕනම මොහොතක. ඒකට උවමනා පහසුකම් ටික හදන්න මුදල් ඕන. ඒ මුදල් ලැබෙන දවසක ඒක මං කරනවා. දැනට මේ උලෙළ යන්නෙ මං අර කියපු සහ නොකියපු ආයතන රාශියක දායකත්වයෙන්. නාට්‍යකරුවො විදියට අපේ යම් විවේචන තියෙනවා ආයතන සම්බන්ධව. නමුත් ඔවුන්ගෙ සීමාවන් ඇතුළෙ ඔවුන් උපරිමය කරනවා කියන එකයි මගේ අදහස. කොහොමවුණත් අපි ජයග්‍රාහී මාවතේ තමයි ඉන්නෙ මේ වැඩේ අඛණ්ඩව යන හින්දා. මගේ නාට්‍ය ජීවිතයේ දශක තුනෙන් ආසන්න වශයෙන් එක දශකයක් මං මේ වෙනුවෙන් කැපකරල තියෙනවා.

7. ජාත්‍යන්තර නාට්‍ය උලෙළ සම්බන්ධව ලාංකේය ප්‍රේක්ෂාගාරයට, සහෘද ප්‍රජාවට ඔබ දෙන පණිවිඩය...?

එක දවසක් එන්න, ඔබේ ආදරය දෙන්න. නාට්‍ය කලාවට ඇති ඔබේ ආදරය පෙන්නන්න. ඒක තමයි මගේ ඉල්ලීම. දවස් හයම බැරිවුණත් එක දවසක් ඇවිත් යන්න. ඒකෙන් ගොඩක් දේවල් සිද්දවෙනවා. පළවෙනි දේ තමයි විදේශීය නාට්‍යයක් බලන්න ලැබෙනවා. ඊළඟ කාරණය තමයි ගන්න ටිකට් එකකින් අපේ උලෙළට ආර්ථික දායකත්වයක් ලැබෙනවා. තුන්වෙනි කාරණය තමයි අපේ රඟහල පිරී ඉතිරි ගියොත් ලෝක නාට්‍යකරුවන් පුදුමයට පත්වෙයි, අපේ ප්‍රේක්ෂාගාරය මේ තරම් දියුණුයි කියල. අපේ රටේ අභිමානය පෙන්නන්න, නාට්‍ය කලාවට ඇති ළැදියාව පෙන්නන්න මේක හොඳ අවස්ථාවක්.

මරදාන එල්ෆින්ස්ටන් එකේ තමයි නාට්‍ය උලෙළ පැවැත්වෙන්නෙ. පිටකොටුවට ඉතාම ළඟයි. මරදාන දුම්රියපළට පයින් ඇවිදින දුරක් තියෙන්නෙ. පික් මී ආයතනය නාට්‍ය උලෙළ පැවැත්වෙන දින 06 ඇතුළතදී එල්ෆින්ස්ටන් රඟහලට එන සහ යන සෑම ගමනක් සඳහාම විශේෂ වට්ටමක් ලබාදෙනවා. පික් මී ආයතනයෙන් ලැබෙන ඒ සේවාවත් ප්‍රේක්ෂකයින්ට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ පහසුකම් ඇති කරන්නත් කටයුතු කරල තියෙනවා. ටවර් හෝල් රඟහල පදනමත් අපිත් එක්ක සම්බන්ධයි. ප්‍රධාන නාට්‍ය දර්ශනය හයට පටන්ගන්න කළින් ටවර් හෝල් රඟහල පදනමේ ශිෂ්‍යයින්ට අවස්ථාව දීල තියෙනවා ඔවුන්ගේ නිර්මාණ එළිදක්වන්න. නාට්‍ය ගීත ඉදිරිපත් කිරීම්, වෙස්මුහුණු සම්බන්ධ ප්‍රදර්ශනයක්, එවැනි විශේෂාංග ටිකකුත් එළිමහනේ සංවිධානය වෙනවා.

07. නාට්‍යකරුවෙක් විදියට ඔබගේ අනාගත සිහින ගැන කතා කරමු.

මම ජාත්‍යන්තර නිෂ්පාදන පහක් කරල තියෙනවා. ලංකාවෙ බොහෝ අය ඒ ගැන දැනුවත් නැහැ අවාසනාවට. පසුගිය රාජ්‍ය නාට්‍ය උලළේ අවසාන වටයටත් තේරුණු ආදර ඔන්චිල්ලා කියන නාට්‍යය නොවැම්බර් මාසෙ බංග්ලාදේශ්වල පෙන්නන්න තියෙනවා. ඒවට යන්න ගුවන් ප්‍රවේශපත්‍ර ගන්න විදියක් නැතිව ඒ ගැනත් මේ දවස්වල තැවි තැවී ඉන්නෙ. තවත් ජාත්‍යන්තර නිෂ්පාදනයක් හදන්න බංග්ලාදේශයෙන් ඇරයුමක් තියෙනවා. මේ සියල්ල ලංකාව වගේ රටක ආර්ථිකය එක්ක හරිම දුෂ්කරයි ජයගන්න. තවත් මගේ සිහිනයක් තමයි ජාත්‍යන්තර නාට්‍ය උලෙළ හරහා ජාත්‍යන්තර නාට්‍ය ආයතනයක් ආරම්භ කිරීම. අපේ ජාත්‍යන්තර නාට්‍ය උලෙළට හොඳ ප්‍රතිචාරයක් ජාත්‍යන්තරව තියෙනවා. ඒ නිසා ජාත්‍යන්තර සංවිධානයක් විදියට ගොඩනැගීමේ සිහිනයකුත් තියෙනවා.

Tuesday, July 23, 2019

“මේ නිර්මාණ තුළ අපේ ජීවිතත් එය ජීවත් කරවූ හුස්මත් තියෙනවා...”



එක තිතක් එතැන් සිට... මටසිලිටි සිහිනයනි.

රෝද පුටුවකට සිර වූ ජීවිතයකට අත්තටු පැළැන්දිය හැකි යැයි ඔබ සිතනවාද? දෙපයින් ඇවිද සැබෑ කරගන්නට හැකි හීන පවා උකසට තබන ලෝකයක, සීමාකම් සහිත දුෂ්කර ජීවිතයක උපදින අසීමිත වූ හැඟුම් සමුදායන්ට කවියෙන් සහ සිතුවමින් පණ දෙන අපූරු සොයුරෙක් සහ සොයුරියක් මට හමුවුණා, කොත්මලේ ප්‍රදේශයෙන්. අගනුවරට කොත්මලේ බොහෝ දුර විය හැකියි. නමුත් නවීන තාක්ෂණය ප්‍රමුඛ වූ විශ්ව ගම්මානය තුළ තවදුරටත් කිසිවකු දුරස්ත වන්නේ හෝ ආගන්තුක වන්නේ නැහැ. මුහුණුපොත ප්‍රමුඛ සමාජ මාධ්‍ය, මානව පැවැත්මට සිදුකළ සාධනීය බලපෑම් අතර, කැලේ පිපි මල්වල රුව ගුණ, සුවඳ ලෝකයා හමුවට ගෙන ඒමට විවර කළ සියදහසක් වූ නව දොරටු විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. 

ඔහු කවියෙක්. නමින් ගයාන් ඉන්දුල කොඩිතුවක්කු. මුහුණුපොත මෙන්ම කවි පත්ඉරු අතරත් නිරන්තරයෙන් හමුවන කවිය සමඟ හෘදයාංගමව ගනුදෙනු කරන නිර්මාණකරුවෙක්.

ඇය සිත්තරාවියක්. සිතුවම් කලාවට වගේම සාහිත්‍යයටත් ළැදි අපූරු රසිකාවියක්. ඇය නමින් වරුණි ගයානි කොඩිතුවක්කු.

නිකිණි මහ ඇරඹෙන්නෙම මේ සොහොයුරාගේත් සොහොයුරියගේත් නිර්මාණ කාර්යයන් සහෘද සමාජයට තිළිණ කරමින්. නැගණිය වරුණි  කොඩිතුවක්කුගේ කුළුඳුල් ඒකපුද්ගල සිතුවම් දැක්ම “එක තිතක් එතැන් සිට” නමින් අගෝස්තු 01 දින උදෑසන 9.00 සිට පසුදින ප.ව. 7.00 දක්වා ත්, සොහොයුරු ගයාන් ඉන්දුල කොඩිතුවක්කුගේ දෙවන කාව්‍ය සංග්‍රහය ‘‘මටසිලිටි සිහිනයනි‘‘ කෘතිය එළිදැක්වීම අගෝස්තු 02 වන දා  සවස 3.00ටත් කොලඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදුකෙරෙනවා. මෙම සංවාද සටහන පන්හිඳත්, තෙලිතුඩත් ඒකාත්මික වන එකී සුවිශේෂී මොහොත වෙනුවෙනි.



“එක තිතක් එතැන් සිට’’ සිතුවම් දැක්ම සමඟ අප හමුවන වරුණි සමඟ මුලින්ම කතා කරමු.

1.         වරුණි කොහොමද සිතුවම් කලාව ඔබේ ජීවිතයට සමීප වෙන්නෙ?

සිතුවම් කලාව කියන දේ මට සමීප වෙන්නේ මගේ ජීවිතේ අසීරුම කාලෙකදි. ඒ කියන්නේ මම කුඩා අවධියේම. මම චිත්‍ර අඳින්න මුලින්ම යොමු වෙන්නෙ පාසලේදී. ඇත්තම කිව්වොත් මම පාසලේදී  විෂයක් විදිහට චිත්‍ර තෝරා  ගන්නේ අනෙකුත් සෞන්දර්ය විෂයන් වුණ නැටුම්, සංගීත විෂයන් එක්ක වැඩ කරන්න ප්‍රායෝගික අසීරුකම් රැසක් මට තිබුණ නිසා. මුලින් එහෙම වුණත් කල් යද්දි චිත්‍රය කියන දේ ඇතුලෙ මට මාවම අධ්‍යයනය කරන්න හැකි වුණා. මං තුළ හිර වෙලා ,තෙරපිලා තියෙන පීඩනය එළියට දැම්මේ චිත්‍රය තුළින්. චිත්‍රයක් ඇඳලා ඉවර වුණාම දැනෙන නිදහස මට වෙන කිසිම දේකින් ලැබෙන්නේ නෑ. අදටත් මට චිත්‍රයක් අඳින්න හිතෙන්නෙ හිතට ලොකු පීඩනයක් ,දුකක්, වේදනාවක් දැනුණ වෙලාවට. ඒ විදිහට බලද්දී  චිත්‍රය කියන දේ මගේ ජීවිතයට සෑහෙන්න සමීපයි. 

2.         ඔබගේ සිතුවම්කරණයට බලපෑම් කළ පුද්ගලයන් හෝ සිතුවම් ආරක් තියෙනවද?

මාව චිත්‍ර කලාවට මුලින්ම යොමු කලේ මගේ මගේ පාසලේ චිත්‍ර ගුරුතුමිය. ඇය තිලකා පොඩි මැණිකේ ගුරුතුමිය. ඇය සාමාන්‍ය පෙළ දක්වා මට චිත්‍ර  විෂය ඉගැන්නුවා. එතනින් එහාට මට මේ සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙන ගන්න ලැබුණෙ නැහැ. මම දකින සහ මට අත්හදා බැලිය හැකි සෑම දෙයකින්ම මම චිත්‍රය පිළිබඳ අධ්‍යයනය කලා තනියෙන්ම. කුඩා දරුවෙකුගෙ සිතුවමකින් පවා මට ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් එය උකහා ගන්න එක මගේ පුරුද්දක්. කොහොම වුනත් වැංගෝ ගේ සහ ෆ්‍රීඩා කාලෝගේ චිත්‍රවලට මම දැඩි කැමැත්තක් දක්වනවා. ඒ අධ්‍යයනයන් එක්කම චිත්‍රය තුළ විවිධාකාරයේ ආරයන් අත්හදා බලමින් ඉන්නවා. මගේ සිතුවම් එකම රටාවකට සීමා වෙලා නැහැ කියලයි මට හිතෙන්නෙ.  විවිධ ආරයන් තියෙනවා. මම ඒ විවිධත්වයට කැමතියි. ඒ හැම ආරයක් තුළම මම සිතුවම කියන දේ විඳිනවා.

3.         ඔබේ චිත්‍ර නිර්මාණ අතර ස්ත්‍රීයට විශේෂ තැනක් හිමිවන බව පේනවා. ඒ වගේම හුදෙකලාව සිතුවම්වල ප්‍රමුඛ තේමාවක් වී ඇති බවත් පැහැදිලියි. ඒ ඇයි? පැහැදිලි කරන්න පුළුවන්ද?

මේ ගැන සරලවම කිව්වොත් මම 'හුදෙකලා ස්ත්‍රියක්'. සමහර විට මටත් නොදැනීම එය මගේ සිතුවම්වලින් කියවෙනවා වෙන්න ඇති. කොහොම වුණත් මගේ ජීවිතේ මුහුණ දෙන්න වුණු අභියෝග අතරේ ස්ත්‍රියක් වීම නිසාම මුහුණ දෙන්න වුණ අභියෝග වගේම හුදෙකලාව තුළ ජීවිතය ඉදිරියට තල්ලු කරගෙන යාම පිළිබඳව මුහුණ දෙන්න වුණු අභියෝග මට මානසිකව දැඩිව බලපෑවා. චිත්‍ර ඇඳීමෙන් ඒ මානසික පීඩනය පිට කලා වගේම, මම එහි තිබෙන සුන්ද‍රත්වය අත්විඳීමටත් යොමු වුණා. දැන් මම ඉතා සතුටින් ජීවිතයේ හුදෙකලාව විඳිනවා, ඒ නිදහස මට ලැබුණේ සිතුවම්කරණය හරහා ලැබුනු පන්නරය මගින්.


4.         සොහොයුරා කවියට සමීප වෙද්දි, ඔබ සිත්තමට පෙම් බඳිනවා. කවිය සිත්තමක් ද? සිත්තම කවියක් ද? තෙලිතුඩ සහ පන්හිඳ අතර වන සබැඳියාව ඔබ දකින්නෙ කොහොමද?

කලාව කියන දේ මිනිස් හදවත සංවේදී  කරනවා. කලාව තුළින් විය යුත්තේද එයයි. මගේ සොහොයුරා සමාජය ආමන්ත්‍රණය කරන්නෙ කවියෙන්. මම සිතුවමෙන්. ඒත් අප දෙදෙනාම කරන්නෙ කලාව තුළින් අපේ හදවත්වල 'නිවීම' හොයාගෙන යන ගමන් ඒ නිවීමේ තියෙන සුන්දරත්වය අනෙක් අය හා බෙදා ගැනීම. මම විශ්වාස කරන්නේ තෙලිතුඩක් සහ පන්හිඳක් එක් වුණ තැන මිනිසෙකුගේ හදවතේ අභ්‍යන්තරයම ස්පර්ශ කරන්න  පුලුවන් කියලා.

...............*......................



“මට සිලිටි සිහිනයිනි” කාව්‍ය සංග්‍රහය සමඟ සහෘද සංවාදයකට එළඹෙන ගයාන්ගේ හඬට සවන් දෙමු.

1.         ‘‘විරාමයකට පසුව හමුවෙමු.කියූ ඔබ දෙවන කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් දිගු විරාමයක් ගත්ත නේද?

මගේ පලමු කාව්‍ය සංග්‍රහය මීට අවුරුදු හතරකට උඩදීයි පලවුණේ. ඒ කවි පොතට මං හිතුවාටත් වඩා සාර්ථක පාඨක ප්‍රතිචාර ලැබුණා. ඉන්පසු මට අවශ්‍ය වුණේ දෙවැනි කාව්‍ය සංග්‍රහයකට ඉක්මනින් යනවාට වඩා  පුළුවන් තරමින් සාහිත්‍ය විෂය ගැන, කාව්‍යකරණය ගැන මීට වඩා හැදෑරීමක් කරන්න. වැඩිපුරම වෙලාවක් ගත්තෙ කියවීමට. ඒකට මං ලොකු කාලයක් ගත්තා. ඔය අතරෙ ලියවෙච්ච කවි ටිකක් එකතු වුණා. ඉතින් මට හිතුනා, ඒ කවි එකතුවක් විදියට එළිදක්වන්න දැන් තමයි හොඳම කාලය කියලා. "මට සිළිටි සිහිනයිනි " එළිදකින්නේ ඔය විරාමයේදි මට දැනුණු දේවල මට රිදුණු දේවල්වල ප්‍රතිඵලයක් විදියටයි.

2.         ඔබ අඛණ්ඩව කවි ලියනවා. කවිය සමඟ ජීවත් වෙනවා. මේ බැඳීම ගොඩනැගෙන්නෙ සහ පවත්වාගන්නෙ කොහොමද?

ඕනෙම මනුස්සයෙක් ජීවත් වෙන්නෙ අරමුණක් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. ඒත් ඒ කිසිවක් නැති මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා. ඉතින් මං හිතන්නේ සාහිත්‍යයෙන් මිනිස්සුන්ට නිවෙන්නත් සැනසෙන්නත් පුළුවන්. මං ඒක අත්වින්දා සහ අත්විඳිමින් ඉන්නවා. මට අනුව කවිය මගේ හිත නිවාගන්න ලැබුණු සාර්ථකම මෙවලමක්. ජීවිතේ දුෂ්කරතාවලට මුහුණ දෙන්න පන්නරය දෙන සංවේදී  මාවතක්.  මට කවියක් ලියල ඉවර උනාම පුදුමාකාර සැනසීමක් දැනෙනවා. ඉතින් මං ඒ සැනසීමට දැන්  ඇබ්බැහි වෙලා.

3.         මට සිලිටි සිහිනවලට අද සමාජය තුළ වලංගුභාවයක් තියෙනවා කියල ඔබ හිතනවද?

සිහින දකින්න තියා හිතන්න ඔලුවක් තියෙන, දැනෙන්න පපුවක් තියෙන කිසිම මනුස්සෙකුට මේ රටේ මේ මොහොත කිසි ප්‍රසන්න හඟීමක් ඇති කරයි කියල මං හිතන්නෙ නෑ. ඒත් අපි ඒ කියලා හීන දකින එක අතෑරියොත් තත්වය මීටත් වඩා දරුණු අතට හැරේවි. ඉතිහාසයේ අපි මීටත් වඩා දරුණු තැන්වලින් ගොඩ ඇවිත් තියෙනවා. හැබැයි එහෙම වෙලා තියෙන හැම මොහොතකම අපි සමාජයක් විදියට එකට ඉඳලා තියෙනවා. දැන් සමාජය ඉතා දරුණු විදියට කොටස්වලට කැඩිලා බිඳීලා ගිහින්. ඉතින් මේ රටට සැබෑ කර ගන්න ලොකූ හීනයක් තියෙනවා ආදරයෙන් සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන. මං නිතරම ඒ හීනය දකිනවා.



4.         ඔබේ නැගණිය සිතුවමට සමීප වෙද්දි, ඔබ කවියට පෙම් බඳිනවා. පන්හිඳ සහ තෙලිතුඩ අතර පවතින සහෝදරත්වය ඔබ අර්ථ දක්වන්නෙ කොහොමද?

මං හිතන්නේ කවිය හා සිතුවම අතරෙත් එක්තරා සහෝදර බැඳීමක් තියෙනවා කියලයි. මේ විෂයන් දෙකම ලෝක ඉතිහාසයේ ඉතා දීර්ඝ කාලයක් මනුෂ්‍ය හෘදසාක්ෂියට, රසාස්වාදනයට, ආධ්‍යාත්මයට වඩාත් ප්‍රබලව ආමන්ත්‍රණය කල මාධ්‍යන් දෙකක්. මං ගොඩක් සතුටු වෙනවා අපි දෙන්නට මේ නිර්මාණ ක්ෂේත්‍ර හරහා දකින්නාට, අසන්නාට, ආමන්ත්‍රණය කිරීමට හැකිවීම ගැන. එය කොතරම් දුරට සාර්ථකද අසාර්ථකද යන්න තීරණය කිරීම සහෘද සමාජය සතු කාර්යයක්. ඒත් මේ නිර්මාණයන් තුළ අපේ ජීවිතත්, එය ජීවත් කරවූ හුස්මත් තියෙනවා ...

2019.07.21 අනිද්දා පුවත්පතේ පළ වූ සංවාදයකි. 

Friday, June 21, 2019

අද විසි එක ! මාස දෙකයි !



පාස්කු ප්‍රහාරයට මාස දෙකක් සපිරෙන්නට ඔන්න මෙන්න ය. එක්තරා මුහුණුපොත් මිතුරු සමූහයක සහෝදරියක් දැමූ සටහනක් දැක ඇස කඳුළු නැගිණි.

ඇයගේ ස්වාමියා අනතුරට ලක් වී ඇත්තේ පසුගිය 21 වන දා ප්‍රසිද්ධ හෝටලයක සිදු වූ බෝම්බ ප්‍රහාරයෙනි. බරපතල ලෙස අස්ථි බිඳීමට ලක් වූ ඔහුට එදා සිට කිසිවක් කන්නට හැකි වී නැත. බොන දේවල් පමණි. ඇය පෙරදින තබා තිබුණේ හෙට ඇති ශල්‍යකර්මයෙන් පසුව මට මහත්තයා සමඟ එකට වාඩි වී බත් කටක් කන්නට හැකි වනු ඇති යන අපේක්ෂා සහගත සටහන ය.

අද (19) ඇය යළිත් සටහනක් එක් කොට ඇත. ඒ මගේ මහත්තයාගේ ශල්‍ය කර්මය සාර්ථකයි. “තව පැය දෙකකින් රෝහලින් ඔහුට යමක් කන්නට ලැබේවි.’’ කියාය.

කිව යුතු තවත් සුවිශේෂ දෙයක් ඇත. බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලත් ඇයගේ සැමියාව කඩිනමින් රෝහලට රැගෙන ගොස් ඇත්තේ මුස්ලිම් රියදුරෙකි. ඔහු නොවන්නට තම සැමියා ජීවතුන් අතර නොසිටින්නට ඉඩ තිබුණු බව ටික කලකට පෙර ඇය ස්තුතිපූර්වකව සටහන් කර තිබිණි.

................

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලත් කොලු පැටියකු පළමු වරට නැවත පාසලට පැමිණී සේයා රූ රැසක් මුහුණු පොතේ බෙදා හැරිණී. පින්තුර පෙළ අනුව ඒ පුතුගේ මුහුණේ අඩක් පිලිස්සී ඇත. බොරු අතක් දැමූ සෙයකි. මෙම දරුවාගේ මව ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බව සඳහන්ය. පාසලේ දරුවන් සහ ගුරුවරුන් දරුවා පිළිගත් ආකාරය දකින විට සැනසුම් සුසුමක් නැගිණි. ජීවිතයට මුහුණ දෙන්නට දිරි දෙන වටපිටාවක් ඒ දරුවාට ඇතැයි සිතුණු බැවිනි. එබඳු සරණක් නැතිව අසරණ වන දරුවන් මේ රටේ කොතෙක් නම් ඇත්ද? හම්බන්තොට දී පසුගිය දා අවාසනාවන්ත ලෙස මිය ගියේ එවන් දරුවකු නොවේද?


මෙම ප්‍රහාරවලින් දරුවන්ට සිදු වූ බලපෑම පිළිබඳව ද මුහුණුපොතේ තොරතුරු හුවමාරු වනු දක්නට ලැබිණී.

තාවකාලිකව හිස්කබල ඉවත්කර ඇති දරුවන් ගණන 07
මියගොස් ඇති දරුවන් ගණන 23
උපදේශන අවශ්‍යයි පවුල් 42 ක දරුවන් 78කට
ඉන් 18 ක් ගැහැණු දරුවන්
අතුරුදන් එක් ගැහණු දරුවෙක්
ආධාර අවශ්‍ය ලමුන් ගණන 16

මේ සිදුවීම සමඟ අන්තවාදී ප්‍රහාර නිසා මෙන්ම තම මව්පිය, ගුරුවර, වැඩිහිටියන්ගේ හැසිරීමත්, මාධ්‍ය හැසිරීමත් නිසා ලංකාව පුරා දරුවන්ගේ හදවත් තුළ ඇති වූ බිය, සැක, සාංකාව, අවිශ්වාසය වැනි හැඟීම් මඟින් ඇති කළ දීර්ඝකාලීන ගැඹුරු තුවාල මෙලෙස ගණනය කර දැක්විය හැකිද?

................

බෝම්බ ප්‍රහාරයෙන් කටුවපිටියේ දී බරපතල තුවාල ලත් දන්නා හඳුනන සොයුරියක් තවමත් රෝහලේ ය. ඇයට නැගිටින්නට නොහැකිය. නැවත කිසිදිනක ඈ දෙපයින් නැගිටීද යන්නද සැක සහිත ය. ඇගේ එක් ඇසක් ඇයට අහිමි ය. ඊටත් වඩා ඇසක් වන් ඇගේ එකම පුත්‍රයා ද කටුවාපිටිය බෝම්බයෙන් ඇයට අහිමි වී ඇත. මාස දෙකක් ඉකුත් වන්නට ආසන්නව තිබියදී ඇයට පුතා මිය ගිය බව දැනුම් දෙන්නට සූදානම්ව  ඇත්තේ විශේෂ මනෝ උපදේශන ක්‍රියාවලියක අතරතුර, පියතුමන්ලාගේ කන්‍යාසොයුරියන්ගේ ද මැදිහත් වීමෙනි. එදින දේවස්ථානයේ දී බොහෝ දෙනෙකු අහිමිව ඇති බව, බොහෝ දෙමව්පියන්ට දරුවන් අහිමි වූ බව, බොහෝ දරුවන්ට දෙමව්පියන් අහිමි වූ බව පවසන අතර,

‘මගේ පවුලෙත් කවුරු හරි නැතිවුණාද?” ඇය අසා ඇත. පිළීතුරක් වෙනුවට නිහඬ සුසුම් ලබන විට,

‘මගෙ පුතා ද නැති වුණේ?” ඇය එක්වනම අසා ඇත. ඒ දරුණු වේදනාව ඇය කෙලෙසින් දරාගන්නට ඇත්ද?

‘අනේ එයා නොඉන්න කමටම තමයි එච්චරම හොඳ වුණේ?” තම පුතුගේ ආදරණීය මතකය ඇය සිහිපත් කළේ එලෙසිනි.

පුතු ගැන ආරංචිය අසා ලැබූ බරපතල කම්පනය නිසා ඇය නැවතත් දැඩි සත්කාර ඒකකයට යොමු කරන්නට සිදු වූ බව අසන්නට ලැබිණි.

.................

මේ කතා දෙක තුනක් පමණි. තව කොතෙක් නම් දුක් කන්දරාවල් පාස්කු දින බෝම්බ ප්‍රහාරය ඉතිරි කොට ඇත්ද? මෙබඳු විපතක් සිදුවන තුරු කිසිම පියවරක් නොගෙන බලා සිටි රාජ්‍ය පාලකයන්ට, රාජ්‍ය නිලධාරීන්ට අප ඉතින් කුමක් කළ යුතුද? පිළිතුරු දෙන්නට කාලය ඉක්මණින්ම එළඹෙනු ඇත.

පොදු ජනතාව බිල්ලට දී හෝ තම  බලය රැකගන්නට, බලය ලබාගන්නට සැරසෙන දේශපාලකයන්ට අප දිය යුතු පිළිතුර කුමක්ද? අපගේ වාරය ඉක්මණින්ම එළඹෙනු ඇත.

මේ සිරි ලංකාවේ තට්ටු මාරුක්‍රමයෙන් කිසිම යහපතක් සිදුනොවන බව ය, අප ම පත්කර ගත් මේ ආණ්ඩුවත් අපට කියා දුන්නේ. එක්වෙමු. අලුතින් සිතමු.



Tuesday, June 18, 2019

ම'පෙම්බරා පෙමින් නහවන විට මා



රාත්‍රිය එළඹ ඇත නැවතත්
මුදා හළෙමි මා සේද වරළස
උරතලා මතුයෙහි
විදාහළෙමි වටොරද
‘‘කියන්න මට, ඇත් ද කිසිවක් මා තුළ
ආදරබර නොවන?‘‘

බඳ පටියෙන් බැමි ලා සුරුවම් කර නැත වැඩිමනත්
මගේ ගවොම,
බලන්න කවුළුවෙන් ඔබ යැයි
පැවසූ කල්හි ඔබ මට,
ළෙල දී විහිදියේ නම් ගවොම් සාය හැම නිතර
දොස් නැගිය යුතු ඒ වසන්ත සුළඟට...

නග්න අතු ඉති සසැලී
සැණෙන් හමනා පවනේ
සන්ධ්‍යාව කළඹයි.
'පෙම්බරා පෙමින් නහවන විට මා
උදාරම් වෙමි, මගේ තුරුණු රූ සිරියෙන්..



It is night again
I let down my silken hair
Over my Shoulders
And open my thighs
"Tell me, is there any part of me
That is not lovable?"

I had not fastened my sash over my gown
When you asked me to look out the window
If my skirt fluttered often,
Blame the spring wind

The bare branches tremble
In the Sudden Breeze
The twilight deepens.
My lover loves me,
And I am proud of my young beauty


Tzu Yeh ( 3rd - 4th Centuries)
China
Translated from the Chinese by Kenneth Rexroth and Ling Chung



ත්සු යේ...  සිව්වන සියවසේ චීනයේ, මධු හලක සේවය කළ ගේෂා ස්ත්‍රීයක බව කියැවේ. ඈ ලියූ කවි ද මධු විතක් සේ මන්මත් කරන සුලු ය. ශෘංගාරාත්මක ය. අව්‍යාජ ය. සරල ය. සුන්දර ය.

අධිරාජ්‍යවාදී සාහිත්‍ය කලා සම්ප්‍රදායන් තුළ මෙබඳු කාව්‍ය මාර්ගයන්ට, කවි කිවිඳියන්ට පිළිගැනීමක් නොවූ බව සඳහන් ය. නමුත් පසුකලෙක සාමාන්‍ය ජන ජීවිතය තුළින් මතු වූ මෙවන් අනුරාගී කවි දහරා පාඨක අවධානයට ලක් ව තිබේ.

අවන්හලක මෙහෙ කරන යුවතියකගේ ජීවිතය සුවපහසු වී යැයි සිතිය නොහැකිය. දෛනික දිවි පැවැත්මේ කටුක ස්වරය පරදමින්, වඩා යහපත් ජීවිතයක් පිළිබඳ ත්සු යේ දුටු සුබ සිහින  ඇයගේ කාව්‍යයෙහි ජීවය වී තිබේ. ආදරයෙන් පිරි සුන්දර ජීවිතයක් පිළිබඳ සුබ සිහින අත්නොහළ කිවිඳියකි ඈ. සියවස් ගණනාවකට එපිට සිටි ඇයගේ කාව්‍ය සංකල්පනා අදත් ස්ත්‍රී සංවේදනාවන්හි සාරය කැටිකොට ගන්නේ යැයි සිතමි.  

මේ කවිය මට හමුවන්නේ Women poets of the world කෘතියෙනි. මේ කෘතිය මට හමුවන්නේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ පුස්තකාලයේ පොත් බැහැර කිරීම සඳහා වූ පොත් සල්පිලකිනි. මුල් පිටුවේ මුද්‍රා සටහන අනුව ලෝක කිවිඳියන් සහ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව මේ අගනා ග්‍රන්ථය සමාජ විද්‍යාඥයන්ගේ සංගමයට පිරිනමා ඇත්තේ උතුරු කැරොලිනාවේ ඩක් සරසවියෙනි. දැන් ඒ මාහැඟි කෘතිය මා සතු වීම අප්‍රමාණ සතුටකි.


පරිවර්තනය සඳහා මා තෝරා ගත් ත්සූ යේ ගේ මෙකව ඉහත කී කෘතියෙහි ඇත්තේ රෝමානු ඉලක්කම් තුනක් යටතේ ය. එය එකම කවක් ද වෙන් වෙන් කවි තුනක්ද යන්න පැහැදිලි නැත. අන්තර්ජාලයේ මේ කවි පදවලට මුලින් සහ පසුවට ද තවත් කවි පන්ති දෙකක් ඇත. එබැවින් දීර්ඝ කවි පන්තියක තෝරා ගත් කවි කිහිපයක් වීමට ඉඩ ඇතැයි සිතමි.

මා ඉංග්‍රීසි බසෙහි හසළ දැනුමැත්තියක නොවේ. මෙකවෙහි සදොස් තැන් වේ නම් ඒ මගේ කඩු සටනේ දුබල බවට සාක්ෂි වේ. කාව්‍ය පරිවර්තනය කවි ලිවීම තරම්ම සුන්දර මෙන්ම දුෂ්කර කටයුත්තකැයි සිතමි. නමුත් කාව්‍ය ලොවෙන් වසංව පවතින කිවිඳියන් පිළිබඳවත් ඔවුන්ගේ නිර්මාණ පිළිබඳවත් යම් තරමකින් හෝ කතා කළ යුතු යැයි හැඟුණ නිසා කවියක් දෙකක් පරිවර්තනය කිරීමට උත්සාහ කළෙමි.

මේ එක් පරිවර්තනයකි. එහි සාර්ථක, අසාර්ථක බව, සදොස් තැන් සහ යෝජනා ඔබෙන් අපේක්ෂා කරමි. කවිය පරිවර්තනයෙන් පසු යොමුකළ කිහිප දෙනා අතරින් එය නිවැරදි මඟකට ගන්නට උවමනාවෙන් සහය පළ කළේ හෂිත අබේවර්ධන සොයුරා ය. කවියේ මා නොදුටු ඉසව් සොයා පහදා ගන්නට ඔහු දුන් සහය වැදගත් විය. සමහර ඉංග්‍රීසි වචන සඳහා වෙනත් සිංහල වචන සොයන්නැයි යෝජනා කරන අතර ම, ‘‘ඔරිජිනල් කවියක් විදියට වෙනම විඳින්නත් පුළුවන්‘‘ කියා කීම සතුටකි.  මීට අමතරව ගූගල් පරිවර්තකගේ ද, මධුර ශබ්ද කෝෂයේ ද සහය ලබා ගතිමි.





Monday, June 10, 2019

උඩුගම් බලා පිහිනන සංගීත හාමුදුරුවෝ



‘‘ලංකාවෙ අපි තාමත් සංගීතය කියල රස විඳින්න පුරුදු වෙලා ඉන්නෙ සින්දු, ගීත, ගී පද පේළි... සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. වචන ක්‍රමයෙන් අත්හැරල සංගීතය රස විඳින්න හුරුවෙන්න. යානි, කිටාරෝ වගේ සංගීතඥයන්ගෙන් පටන් ගන්න. මෝසාට්, බිතෝවන් දක්වා යන්න.“

දිනෙක සංගීත රස වින්දන වැඩසටහනක් නිමකරමින් එලෙස ප්‍රකාශ කළේ ප්‍රවීණ සංගීතඥ නදීක ගුරුගේ මහතා විසිනි. ඉඩක් ලද විට යානි, කිටාරෝ, බීතෝවන්, මෝසාර්ට් වැනි සංගීතඥයන්ගේ සංගීත සංකලන, සංගීත සංධ්වනි රස විඳින්නට මා පෙළඹුණේ ඒ මඟපෙන්වීමෙනි. හිත අවුල් යැයි දැනෙන, හැඟෙන අවස්ථාවලදී ද භාවනාමය සංගීත සංරචනයන්ට ඇහුම්කන්දීම සිතට නිවීමක් ගෙන එයි. සෙන් සංගීතය, සුෆි සංගීතය, කෙල්ටික් සංගීතය මට හමුවන්නේද එවැනි සොයායාම් අතර ය. රටක් ලෙස අප සංගීත සාගරයෙන් දිය දෝතක්වත් උකහා ගෙන නැතැයි මට සිතෙන්නේ සප්ත ස්වර සමාධියේ විශ්වීය අසිරිය සොයා සැරිසරන එවැනි අවස්ථාවලදී ය.

මාගේ මේ සංගීත උන්මාදය ගැන ලිවීමට සිත් වූයේ මෑතක මුහුණුපොත ඇසුරේ බෙදා ගැනුණු සංගීත සංකලනයක අසිරියයි. එය නිර්මාණය කර තිබුණේ බිබිලාදෙනියේ මහානාම ස්වාමින් වහන්සේ විසිනි. Evolving in The Wind  ලෙසින් නම් කර ඇති එම සංගීත ඛණ්ඩය සොබාදහමේ නිස්කලංක අසිරිය සමඟ වාද්‍ය වෘන්දය ද මනාව ස්ථාපිත කරමින්, සියුම් සංගීත නාදයන් සමඟ ඉතා කදිමට ගැළපූ ශ්‍රව්‍ය දෘශ්‍ය නිමැවුමකි.



ධර්මය සහ සංගීතය අතර ඇති ආත්මීය බැඳීම ඕනෑම ධර්ම මාර්ගයක් ඔස්සේ හඳුනා ගත හැකිය.  විශ්වයේ පළමු සංගීත නිර්මාපකයා සොබාදහම ය. සොබාදහමේ විස්මිත නාද රටා හැරුණු විට, ලෝකයේ සෑම ශිෂ්ටාචාරයකම කලා ශිල්පයක් ලෙස සංගීතය උපදින්නේ ජන වන්දනා ආශ්‍රිතවය. ඉපැරණි සංගීත ධාරාවන්හි සමාරම්භය සැමවිටම ආගමික නැඹුරුවක් ගනී. අතීත ජන වන්දනා පිළිවෙත් හා බැඳුණු ස්තෝත්‍ර, යාතිකා, ප්‍රශස්ති වැනි ගායනා සංගීතයට මව් කුස වීය.

ථෙරවාද බුදු දහම සංගීතය අනුදැන වදාළ ධර්මයක් ලෙස නොසැලකේ. සංගීතය මනුෂ්‍ය හදවතේ තණ්හා, ආශාවන් පුබුදුවා ලෝකෝත්තර දිවිය වෙත ඇද බැඳ තබන නිසා එය ධර්මාවබෝධයටත්, නිර්වාණ මාර්ගයට පිවිසීමටත් බාධාවක් ලෙස සැලකිණි. නච්ච, ගීත, වාදිත - නැටුම් ගැයුම් වැයුම් භික්ෂු දිවියෙන් දුරස්ත විය යුතු බව බුදුන් වහන්සේ දේශනා කළේ එය ධර්මධර, විනයධර ජීවිතයකට බාධා පමුණුවන හෙයින් විය යුතුය. නමුත් එපමණින්ම බුද්ධ ධර්මය සංගීතයෙන් මුළුමනින්ම වියුක්තයැයි සිතිය නොහැකිය. පිරිත් සජ්ජායනයන්හි පවතින ගීතවත් බව පිටුදැකිය හැකිද?

සක්කපඤ්හ සූත්‍රයේ බුදුන් වහන්සේ පන්සිළුගේ ගීතයක් අගය කරන අවස්ථාවක් පිළිබඳව සඳහන් වේ. තම පෙම්වතිය වූ සූරියවච්චසා වෙනුවෙන් නිමැවූ ශෘංගාරයෙන් අගතැන් එකී ගීතය පන්සිළු ගායනා කරන්නේ වීණාවද වයමිනි. ගීය ශ්‍රවණය කර ප්‍රසාදයට පත්වන බුදුන් වහන්සේ පන්සිළුගේ ගැයුම ද, වැයුම ද අගය කළහ. සුභාවිත ගීතය සම්බන්ධව ඇති ඉපැරණිම නිර්වචනය එය විය හැකියැයි මගේ දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය නවකතාවේ ලියා තැබීමි.


ලාංකේය සමාජය බුදු දහම වැළඳ ගත්තේ වුව ද ජන ජීවිතය හා බැඳී පැවතුණු ජන සංගීතය හෝ ගායනා විධි මුළුමනින් අහෝසිව ගියේ ද නැත. පත පොතෙහි කෙලෙස ලියැවී තිබුණද ජන සංගීතය කෙරෙහි බලපවත්නා බරපතල විරෝධයක් බුදු දහමින් මතු වී යැයි සිතිය නොහැකිය. ජන සංගීතය බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ බව සිතිය හැකිය. නමුත් ජන සමාජය තුළ පැවති සංගීතය කලාත්මක විශිෂ්ටත්වයක් කරා ඔසවා තබන්නට එකී සංස්කෘතිය තුළින්ම යම් සීමා පැනවෙන්නට ඇත. රාජ්‍ය සහ ආගමික අනුග්‍රහය ලංකාවේ කලාශිල්පවල වර්ධනය වෙනුවෙන් ඍජුවම බල පෑ බවට ඉතිහාසය සාක්ෂ්‍ය දරයි.   
  
බිබිලාදෙනියේ මහානාම හිමියන් මා දන්නා හඳුනන කෙනෙකු නොවේ. මේ සටහන ලියැවෙනුයේ ලාංකේය සංගීත ක්ෂේත්‍රෙය් උන්වහන්සේගේ දායකත්වය අපගේ විශේෂ අවධානයට ලක්විය යුතුය යන හැඟීමෙනි. මෑත කාලයේ සමාජ දේශපාලන අවකාශයන් තුළ භික්ෂු වේෂධාරී උන්නාන්සේලාගේ හැසිරීම දෙස බලන විට බිබිලාදෙනියේ මහානාම ස්වාමින් වහන්සේ අණබෙර ලෑමකින් තොරවම සප්ත ස්වර මියැසි ඇසුර ඔස්සේ සිදුකරමින් සිටිනා අපූර්ව නිර්මාණ කාර්යය අනගි පරිශ්‍රමයක් යැයි සිතමි.
බිබිලාදෙනියේ මහානාම හාමුදුරුවෝ

කිතුනු පරිසරයක උපත ලද, කිතුනු පසුබිමක දිවි ගෙවන මට සංගීතඥයන් වූ පියතුමන්ලා අරුමයක් නොවේ. ගී ගයන, වයන, සංගීතවේදීන් ලෙස කටයුතු කරන පියතුමන්ලා, කන්‍යා සොයුරියන් ඇත. නමුත් ඔවුන් ලාංකේය සංගීතයේ ප්‍රධාන ධාරාව හා මුසුවන අවස්ථා අතිශය දුර්ලභය. එලෙසින්ම විශිෂ්ට ගී පද රචකයන් වූ මහා යතිවරයාණන් වහන්සේලා ගැන මා දන්නා මුත්, සංගීතඥයන් වූ ස්වාමින් වහන්සේලා ගැන මා තුළ අවබෝධයක් නැත. බිබිලාදෙනියේ මහානාම ස්වාමින් වහන්සේ අපූර්ව චරිතයක් ලෙස මට හැඟෙන්නේ එබැවිනි.

බිබිලාදෙනියේ මහානාම ස්වාමින් වහන්සේගේ ගී තනු නිර්මාණ රස විඳ ඇතත්, සංගීත නිමැවුම් පිළිබඳ මගේ අවධානය යොමුවන්නේ Evolving in The Wind  හරහාය. Loneliness, Serenity in the Mist - සුඛිණෝ, The Unfelt, Religion and Violence, The Pace of Nature, Pilgrims Path, Flying in the Rain ආදී වශයෙන් එහිමියන් කළ නිර්මාණ රැසක් යූටියුබයෙන් මෙන්ම උන්වහන්සේ නමින් ඇති වෙබ් අඩවියෙන් ද රස විඳින්නට අවකාශ ඇත.

එකී සංගීත සංකලනයන්හි මා පෙර සඳහන් කළ සෙන්, සුෆි, කෙල්ටික් වැනි අධ්‍යාත්මික සංගීත රටාවන්හි අනුභාවය විඳිය හැකිය. මහානාම හිමියන් ප්‍රගුණ කරමින් ඉන්නේ ලාංකේය බුදු දහමට නව මඟක් එක්කරන අධ්‍යාත්මික සංගීතමය ප්‍රවේශයක් යැයි සිතමි. සංස්ථාගත ප්‍රධාන ආගමික ධාරාව තුළ ඒ සඳහා ලැබෙන ඉඩ හෝ පිළිගැනීම කෙබඳු වේදැයි සිතීම අසීරුය. මෙය සංගීතයෙහි නව ප්‍රවේශයක් වෙනුවෙන් පමණක් නොව, ලාංකේය සංගීතයේ අධ්‍යාත්මික  ප්‍රවේශයක් වෙනුවෙන්ද  දුෂ්කර පාරමිතා පිරීමක්  වනු ඇත. බිබිලාදෙනිය මහානාම ස්වාමින් වහන්සේ උඩුගම් බලා පිහිනමින් සිටින්නේ යැයි මම සිතමි. ඒ දුෂ්කර මියැසි පාරමිතාවන්හි අපූර්ව ඵල රස විඳීම සමාධි සුවය අත්කර දෙනු ඇත නිසැකවම.