Wednesday, June 14, 2017

සුද්දිලාගේ කතාව ‘‘28‘‘

චිත්‍රපටයේ කැඩුණු මිනී පෙට්ටි පියන අතරින් බලා ඉන්නා සුද්දී
සේමිණී ඉද්දමල්ගොඩ

ඔහු ඉන්නෙ දෝනාව ඇතුළෙ අඳුරු කුහරයක... ඔහු කියන්නෙ අබසිරි. දෝනාවට පිටින් ඇහෙන තරුණ හඬක් එකින් එක කියමින් ඉන්නෙ ගැහැනුන්ගේ මායම් 64 බව තේරුම් යන්නට වැඩි වෙලාවක් ගත වෙන්නෙ නැහැ. රාමුගත අඳුරු ගුහාවක හිරවුණු පැරණි පරම්පරාවත් පිටතින් නිදහස් අවකාශය තුළ සිටින තරුණ පරම්පරාවත් මායම් 64 න් එහාට ගැහැනිය තේරුම් ගන්න, ඇයට වටිනාකමක් දෙන්න උත්සාහයක්වත් දරන්නේ නැතිද යන පැනය මතු වෙනවා. මායම් සංවාදය අතරතුර තමයි මේ පණිවිඩය ලැබෙන්නෙ.

‘‘අන්න අරකිව මරල දාලා. මිනිය කොළඹ මහ ඉස්පිරිතාලෙලු. අඳුනගන්න උඹට එන්න කියනවා...‘‘

ගැහැනු මායම් ගැන සිනාබර සංවාදයක අතරතුර ලැබෙන ගැහැනියකගේ මරණය පිළිබඳ මේ පණිවිඩය මා තුළ දැනවූයෙ කම්පනීය හැඟීමක්...

ඔව්, මම මේ ලියමින් ඉන්නෙ 28 චිත්‍රපටය ගැන...


පවතින සමාජ ආර්ථික ක්‍රමය ඇතුළෙ හුදකලා වුණ, අවතැන් වුණ, අසරණ වුණ පුරුෂ ලෝකය ස්ත්‍රීය මත පටවන පීඩනය එක් පැත්තකිනුත්, සංස්කෘතිය සදාචාරය කරපින්නාගත්  අවිචාරවත් සමාජය ගැහැනියගේ පැවැත්ම අර්බුදයට යවන ආකාරය තවත් පැත්තකිනුත් සංවේදීව කතා කරන චිත්‍රපටයක් විදියටයි මට 28 දැනෙන්නෙ.

‘‘සුද්දිට අගෞරවයක් වෙන්න දෙන්න බෑ‘‘ ඇගේ නීත්‍යනුකූල සැමියා, පතල් කනින්නා, නූගත් මිනිසා අබසිරි වරින් වර මේ කතාව කියනවා. සමස්ත ගැහැනියට නිසි ආදරය, ගෞරවය ලැබිය යුතු බව නොවේද මේ කියැවෙන්නේ. අයිස්ක්‍රීම් වෑන් රථයේ සුද්දීගේ දේහය රැගෙන යන ගමන පුරාමත්, ඇගේ දේහය නිවසේ තැන්පත් කළ පසුවත් අබසිරි සුද්දී ගැන දක්වන්නෙ ගෞරවය මුසු වූ ආදරයක් බව දැනෙනවා. නමුත් මේ ආදරය ඇගේ රුව නිසා හටගත් ඇල්මක්ද? ඔහු ඇගේ හදවත හැඳින ගත්තාද? හැඳින ගත්තා නම් නිවස අතහැර අර දුර්ග මාවත දිගේ ඇයට නගරයටත්, ඉන් එපිට කොළඹටත් පිටමංවී යන්නට සිදුවෙනවාද?

මිය ගිය සුද්දිත් චිත්‍රපටය තුළ වරින් වර කතා කරනවා. ඇය කියනවා ‘‘මැරුණු කෙනෙකුට මිස ජීවත් වෙලා ඉන්න කෙනෙකුට තමන් ගැන ඇත්ත කතා කරන්න බෑ‘‘ කියල. කතාව ඇත්ත. විශේෂයෙන් ගැහැනියකට. ඇයට තීරණ ගන්න අයිතියක් නැහැ. ඇයට තමන්ගෙ හැඟීම් නිදහසේ ප්‍රකාශ කරන්න හිමිකමක් නැහැ. අඩුම තරමේ නිදහසේ අඬන්නවත් ගැහැනියකට ඉඩක් ලැබෙන්නෙ කලාතුරකින්.


සුද්දි වරෙක කියනවා මම අබසිරිට ආදරය කළේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, මං වගේ ගෑනියෙක්ව බඳින්න ගත්ත තීරණය නිසා කියල. ඈ තුළ අබසිරි වෙනුවෙන් පැවති ආදරයේ වෙනසක් නොවුණත් ඇගේ රූපය ඇයට ගෞරවනීය සමාජ ජීවිතයකට ඉඩ නොදුන් බවයි කියවෙන්නෙ. පව්කාර ගැහැනියට ගල් ගහන්නම බලන් ඉන්න සමාජයක්. අබසිරි ඈ වෙනුවෙන් පෙනී සිටියා නම් සුද්දීට මෙවන් ඉරණමක් අත් නොවන්නටත් ඉඩතිබුණා. කොහොම වුණත්  මරණයෙන් පසු හමුවන ඇයගේ අත්බෑගයේ තවමත් ඔවුන්ගේ මගුල් පින්තූරය තියෙනවා.

සුද්දීගේ දේහය කොළඹ සිට ඇලහැර දක්වා ගෙන යන්නට සොයා ගන්නේ අයිස් ක්‍රීම් වෑන් රථයක්. හිම කිරමක මිහිර, සිහිල එක්ක දූෂණයට ලක් වී  මරා දැමුණු ගැහැනියකගේ නිසල දේහය සමපාත වෙන්නෙ කොහොමද? එතැන තියෙන්නෙ ගැඹුරු සංකේතීය අරුතක්. වෙළඳ ලෝකය තුළ අලවි කරන සුකුමාර ගැහැනිය සහ සැබෑ ගැහැනිය අතර පවතින පරස්පරය වගේ. 

ලිංගිකත්වය ගැන සාධනීය කතිකාවක් මතුකරන්න දරන වෑයමත් අගය කරන්න ඕන. සුද්දී වරෙක කියනවා 9 වසරේ ප්‍රජනනය පාඩම ඉගෙන ගන්න ඈ කොයිතරම් කැමැත්තෙන් උන්නද කියල. ඒත් 38 වියැතිව දූෂණයට ලක් වී මරා දැමෙන තුරුත් ඇය ඒ පාඩම ඉගෙන ගෙන නැහැ. ප්‍රේමයේ අනුරාගයේ සැබෑ ප්‍රහර්ශය අපේ ජීවිතවලින් කොයි තරම් ඈතද කියන ගැටලුවත් සංවාද අවකාශයට අතෑරල තියෙනවා. එක් අතකින් සුද්දි ගමෙන් පිටවෙන්නෙ තමන් කිසිදාක අත්පත් කර නොගත් ලිංගිකත්වයේ ප්‍රහර්ෂය පිළිබඳ සාංකාවත් එක්ක. නමුත් කිසිදාක ඇයට ඒ අසිරිය හමුවන්නෙ නැහැ. ඒ වෙනුවට ඈ තවත් පාරට ඇද වැටුණු, අතින් අත යන ගැහැනියක් බවට පත්වෙනවා. මෙතනදි පාවුලෝගෙ මිනිත්තු එකොලහ නවකතාවේ මරියා සිහිපත් වෙනවා. මරියා දිනාගත් ප්‍රේමයේ ප්‍රහර්ශය සුද්දිට හැමදාමත් සිහිනයක්ම විතරයි.

චිත්‍රපටය දිග හැරෙන්නෙ වාර්තා චිත්‍රපටයක ස්වරූපයෙන්. කෙනෙකුට කම්මැලි හිතෙන්න පුළුවනි. නමුත් රූප රාමුවෙන් රාමුවට ඇහි පිල්ලමක පවා අර්ථ හොයන්න හදන මං වගේ ප්‍රේක්ෂිකාවකට නම් හිතන්න කාරණා ගොඩක් හමුවෙනවා. ඉහත ලියැවුණේ ඉන් අල්පයක්....

මම 28 ට කැමතියි.


චිත්‍රපටය පුරාම මට දැනුණෙ කම්පනීය හැඟුමක්. පීඩාවට පත්වෙන ගැහැනු වගේම පිරිමි ගැනත් දුකක්. සුද්දී අන්තිමේ කියනවා ‘‘පිරිමින්ට වෛර කරන්නත් එපා, එයාලත් පව්..‘‘ කියල.




29 comments:

  1. විසි අට කියන්නේ මොකක්ද? මෝචරියෙන් මිනියට දෙන අංකෙද?

    ඔව්.. ජීවිතේ වැරැද්දුවම හරි වරද්ද ගත්තම හරි හැමෝම පව්.

    ෆිල්ම් එක බලන්න හිතා ගත්ත ..

    ReplyDelete
    Replies
    1. “28” යන නම යෙදීමට හේතුව?

      මේ විසි අට කියන්නේ චන්ද්‍ර මාසයට ඇති දින ගණන. මේ හඳ කියන දේ මිනිසාගේ මුළු ජීවිතයට සම්බන්ධයි. දරුවකු පිළිසිඳ ගැනීම, ඉපදීම, ලිංගික ආශාවන් ඇතිවීම කෘෂිකර්මයට මේ ආදී හැමදේටම කාන්තාවගේ මාසික ආර්තවය සෑදෙන්නෙත් දින 28කට වරක්. මේ හැමදේම ස්භාවිකයි. ස්භාවධර්මය හා සම්බන්ධයි. “28” පුරාම තිබෙන්නේ මිනිසා සහ ස්භාවධර්මය සමඟ ඇති සම්බන්ධතාවය. එය ලිංගිකත්වයට බලපාන ආකාරය. අපිව පාලනය කරන ඉහළම දේශපාලනය තමයි ස්භාවධර්මයා. මේ කරුණු නිසයි “28” යන නම යෙදුවේ.‘‘

      ප්‍රසන්න ජයකොඩි

      Delete
    2. එහ්.. ඒක ඒ හැටි හරියන 'එක්ස්ප්ලනේෂන්' එකක් නෙවෙයි වගේ.. එහෙමනං 'චක්‍ර' 'සංසාර' 'භව' වගේ නමක් දාන්න තිබ්බ.. (එහෙම නම් වලින් දැනටමත් ෆිල්ම් හදල මගේ හිතේ..) මේක නිකං ක්‍රිකට් ක්රිදයෙක්ගේ ජිවිත කතාවකට ICC හරි SLC හරි කියල නම දැම්ම වගේ.. :)

      Delete
  2. චිත්‍රපටය නැරඹීමට ආශාව ඇති කරවන ලිපියක්....

    ReplyDelete
    Replies
    1. මේ කෙටි සටහන ලිවීමේ අරමුණත් ඒකම තමයි මල්ලි... සිනමා ශාලාවට ගිහින් චිත්‍රපටය බලන්න. ඒක නිර්මාණ ශ්‍රමයට දක්වන්න පුලුවන් ලොකුම ගෞරවය...

      Delete
  3. අපූරු ලිපියක් අක්කා දැන් ඉතින් මේක නොබලම බෑ

    ReplyDelete
  4. ප.ලි. ( හිටි ගමන් කල්පනාව අවුළුවන කාරණා )

    • සුද්දිලාගේ කතාව කියන නම මගේ මතකයට ආවෙ සයිමන් නවගත්තේගමගෙ එනමින් යුත් නවකතාව අනුව. මේ සුද්දිගෙ කතාව බලා ඉද්දි ඒ සුද්දි මතකයට නැගුණා නිතැතින්ම.

    • තවත් වෙලාවක මට හිතුණා ඔය කියන මායම් 64 නැති ගැහැනියක් වෙන්න නම් ඉතින් අනිවාර්යයෙන්ම මළ මිනියක් වෙන්නම සිද්ද වෙනවා කියන එක...

    • සුද්දිගේ ගෞරවය ගැන මහත් ඉහලින් හිතන්නෙ අබසිරි හැම වෙලාවකම.. එහෙව් අබසිරිට ඇයි බැරිවුණේ කොලු ගැටවුන්ගේ හූ හඬ මැද්දෙන් සුද්දිට ගමෙන් පිට මං වෙලා යන්න සිද්ද වෙද්දි යමක් කරන්න ඇය රැකගන්න... ජීවමාන සුද්දිව රැකගන්න බැරිවුණ අබසිරි ඇගේ දේහය රැකගන්න දරන වෑයම උත්ප්‍රාසාත්මකයි.

    ReplyDelete
  5. මීට අවුරුදු දෙකකට කලින් බලපු 28 ආයේ මතක් කරන්න පුලුවන් වුනු ලිපියක්. එකම රූප රාමුවක බොහෝ වේලාවක් කැමරැාව රඳවා තබා ගැනීම කියන ප්‍රසන්නට ආවේනික ක්‍රමය සමහර අවස්තාවල කම්මැලිකමක් එකතු කරනවා. ඒ හැර මටනම් මේ චිත්‍රපටය හොඳ මට්ටමේ එකක් කියල කියන්න පුලුවන්.

    //ඇය කියනවා ‘‘මැරුණු කෙනෙකුට මිස ජීවත් වෙලා ඉන්න කෙනෙකුට තමන් ගැන ඇත්ත කතා කරන්න බෑ‘‘ කියල.//
    මේක තවත් අපිට දැනෙන්නත් එක්ක මෝචරියෙ තියෙන මිනී ලාච්චුවලින් එක එක ඇදල ඒ ඒ කෙනා ගැන කියන දේ හරි වැදගත් තැනක් කියලයි මට හිතුනෙ.

    ReplyDelete
    Replies
    1. ඔයා කළින්ම බලල නේ....

      මට හිතෙන්නෙ රූප රාමු අතර බලා සිටින්නට සිදු වෙන ඒ කාලය තමයි ප්‍රේක්ෂකයාට තමා තුළම කතා බහකට ඉඩ දෙන අවකාශය කියල..

      ඒ මෝචරියෙ දර්ශනය ලිංගික ප්‍රචණ්ඩත්වයේ බරපතලකම, අමානුෂිකකම තදින්ම දැනෙන්නට සලස්වන තැනක්....

      Delete
  6. අද හෝ හෙට බලන්න ඉන්න චිත්‍රපටියක් 28

    ReplyDelete
    Replies
    1. මම චිත්‍රපටිය බලන්න කළින් මේ ගැන ලියවුණු ලිපි කියෙව්වෙ නැහැ මල්ලි... මගේ විඳීමට සීමා මායිම් පැනවේවි කියල හිතුණා... බලල මට දැනුණු දේ ලියල ඉන්පස්සෙ තමයි අනිත් අය ලියූ දේවල් බැලුවෙ.

      Delete
  7. ලියනගේ අමරකීර්ති මහතා මූණුපොතේ තැබූ මේ සටහන බලන්න. මට මඟහැරුණු බොහෝ දෑ මෙහි ඇත.
    .................

    ප්‍රසන්න ජයකොඩිගේ 28

    මෙම හදිසි සටහන ලියන්නේ ප්‍රසන්න ජයකොඩිගේ 28 සිනමා කෘතිය එක්වරක් නරඹා පැමිණි විගසය. එය ගැලවී යන්නට පෙර බැලිය යුතු යැයි දන්නා කියන අයට කියන්නට මට අවශ්‍ය වූ බැවිනි. විශේෂයෙන් නුවර අවට අය රීගල් සිනමා ශාලාවට ගොස් හිස්ව පවතින ආසන අතිවිශාල ප්‍රමාණයෙන් කීපයක්වත් පිරවීම උචිතය. සිනමාශාලාවේ කළමනාකාරවරයා කී හැටියට දැනටමත් මෙම සිනමා පටය ගැන සැලකිය යුතු උනන්දුවක් ඇත. එහෙත් හිත හිදෙන තරම් හිස් ආසන මම දුටුවෙමි.

    සිනමාත්මක සිනමාව ගැන තරුණ සිනමාකරුවන් අතර ඇති උනන්දුව ලෝකය පුරා කලාත්මක සිනමාකරුවන්ගෙන් පෙනේ. හොලිවුඩ්, බොලිවුඩ් බ්ලොක්බස්ටර්ස් හැර අනික් සියලු ආර්ට් මූවීකරුවෝ සිනමාත්මක අල්පෝක්තිය සහ අල්භාෂිබව සිය සිනමා භාෂාව කරගෙන සිටිති. ඒ නව(හෝ එතරම්ම "නව" නැති) සිනමා භාෂාවට රසිකයෝද හුරු වී සිටිති. ප්‍රධානධාරාවේ හොලිවුඩ් සිනමා පටවල පවා අල්පෝක්තිමය රූප භාෂාව ආගන්තුක නැති බව පෙන්වන සිනමා පට අපමණ ඇති අතර මූන් ලයිට් මෑත කාලීන නිදර්ශනයකි.
    විසි අට සිනමා පටය බැලුබැල්මට ඉතා සරලය. එහි එන්නේ නගරයේදී මළ ගැහැනියක මිනී පෙට්ටියක දමාගෙන පිටිසර ගමකට රැගෙන යන පිරිමි තිදෙනෙකුගේ ගමනයි. එහෙත් ඒ ගමන වැඩිවෙලාවක් නොයා ගැඹුරු අර්ථ සහිත ගමනක් සේ පෙනෙන්නට පටන් ගනී.
    එය පුරාණෝක්තිමය (Mythical) ගමනකි. එය ප්‍රතිවීරයන්ගේ වීරචාරිකාවකි. එනම් ප්‍රතිවීර චාරිකාවකි. මගේ ප්‍රියතම නවකතාවක් විලියම් ෆෝල්ක්නර්ග‍ේ ඈස් අයි ලේ ඩයින් නවකතාවේ පවුලක දරුවන් තම මවගේ මිනිය රැගෙන යන පුරාණෝක්තිමය ගමන වැනි ගමනකි. ඩේවිඩ් ලින්ච්ගේ Straight Story සිනමා කෘතියේ දුප්පත් මහලු මිනිසා සිය සහෝදරයා බලන්නට තණකොළ කපනයක නැගී අන්තර්ප්‍රාන්ත මහා මාර්ගයේ යන ගමන වැනි ගමනකි.

    මේ ගමන සුවිශාල අවකාශයක් ඔස්සේ පිරිමින් තිදෙනෙකු යන ගමනක් පමණක් නොවේ. එය අපේ සංස්කෘතියෙහි එක්තරා අභ්‍යන්තරයක් වෙතද යන ගමනකි. සිනමා කෘතිය ආරම්භ වන්නේ පොළොව යට මැණික් ධෝනාවක පිරිමි දෙදෙනෙක් අතර සංවාදයකිනි. ඔවුන් කතා කරන්නේ ස්ත්‍රීන්ගේ මායම් ගැනය. ඒ නිසා ඒ මැණික් පතල කණින අතරම ඔවුන්ගේ අවිඥානයද කණින්නාක් මෙන් අපට දැනේ. ඒ සංවාදයෙන් පෙනෙන්නේ ස්ත්‍රීන් ගැන ඔවුන් සිතන පතන ඉතා පුරුෂකේන්ද්‍රීය ආකාරයයි. මායම් හැට හතර යනු ස්ත්‍රිය නමැති විෂය තේරුම් ගැනීමට හෝ තේරුම් නොගෙන සිටීමට පුරුෂ දෘෂ්ටිවාදය දරන ප්‍රයත්නයයි. මායම් හැට හතර පුරුෂ ප්‍රක්ශේපණයක් මිස 'ස්ත්‍රී-ඇත්තක්' නොවේ. ඒ සංවාදය කෙරෙන අතරතුර මේ සංවාදයේ යෙදී සිටින එක් පුරුෂයෙකුගේ(අබසිරි)ගේ බිරිය මියගොස් ඇති බව කියන පණිවිඩය ලැබේ.

    ඒ දෙදෙනා ඇයගේ මිනිය රැගෙන ඒමට නගරයට යන්නේත්, එන්නේත් ඉතා සාමාන්‍ය ගෘහභාණ්ඩයක් ගෙන එන්නාක් මෙනි. එක්තරා නිර්-භාවමය නොඇලුණුකමක් අපට පෙනේ.
    එහෙත් ලෝකය මතු පිටින් යන ඔවුන් බාහිර ගමන මිනිස්/සංස්කෘතික අභ්‍යන්තරය කරා යන ගමනක් බවට පත් වන්නේ මිය ගිය සුද්දී සිය කතාව කියන්නට පටන් ගන්නා නිසාය. එයද කියවෙන්නේ ඉතා මසුරු සිනමා භාෂාවකින් නිසා අපටද අප තුළටම යමින් කතාව ගොඩ නගන්නට සිදු වේ. එහෙත් එහිදී අපි අබසිරිද මනුෂ්‍යෙයකු සේ දකිමු. මහේන්ද්‍ර ඉතා විශිෂ්ට ලෙස ඒ මනුෂ්‍යයා වෙත අප රැගෙන යයි.

    ReplyDelete
    Replies
    1. සුද්දී කියන හැටියට ඇය ඉතා ගැටවර වයසේදී ඇයට අවුරුදු පහලොවකින් වැඩිමහල් අබසිරි සමග විවාහ වෙයි. විවාහ වී අබසිරිගේ මහගෙදරට ආ පසු ඇගේ සුන්දරත්වය, සරාගීකම, ලිංගික සක්‍රීයභාවය ඒ ගමම අවුස්සන්නට වෙයි. ඇය නාන පීල්ල අවට තරුණ මහලු පිරිමි ගැවසෙති. ඒ නිසා ගෙදර මිදුලේ හදන බාත්රූම් එකෙන් ඇය නාන විටද පිරිමි එබෙති. සැමියාගේ පියාද එසේ එබෙන්නෙකි. ඒ සිදුවීම් කීපයෙන් පසුව ඇයට ගමෙන් යන්නට සිදු වේ. ඇය නගරයට ගොස් ගණිකාවක බවට පත් වේ. ඇගේ මේ ගමන ගැන අපගේ අවිශ්වාසය නැති වන තරම් හේතුඵල තර්ක සපයන්නට සිනමාකරු ඉදිරිපත් නොවේ. ඒ හේතු අපේ ජීවිත ඇසුරින් සොයාගන්නැයි ඔහු අපට බලකරන්නාක් මෙනි.
      සුද්දී කියන හැටියට ඇයටද ඇගේම ලිංගිකත්වය හරි හැටි වටහා ගන්නට ඉඩ ලැබී නැත. 9 පන්තියේ ප්‍රජනන විද්‍යා පාඩමට වඩා ජංගශීලී, ද්‍රවශීලී, සහ ලාලසාත්මක වන මනුෂ්‍ය ලිංගිකත්වය ගැන පාඩම ඇයට කවදාවත් වටහා ගන්නට නොලැබේ. අනික ප්‍රජනන විද්‍යාව යනු ලිංගිකත්වයේ එක් කුඩා අංගයක් ගැන පාඩමක් පමණි.
      ඇය කියන හැටියට අබසිරි හා විවාහ වී අවුරුදු පහලොවක් ගත වී ගියද අබසිරි ඇගේ සම්පූර්ණ නිරුවත් සිරුර දැක ඇත්තේ "අද"ය. එහෙත් ඒ අද ඇය මිය ගොසිනි. මිනිය එම්බාම් කරන මල්ශාලාකරුගේ එම්බාම් මේසයේ දිගා කර තිබෙන මළමිනියෙනි ඔහු ඇගේ සම්පූර්ණ නිරුවත දැක ඇත්තේ. ඇය විවාහ ජීවිතය ගෙවූ අබසිරිගේ මහගෙදර ඇයට පූර්ණ ලිංගික ජීවිතකට ඉඩ තිබී නැත. අවුරුදු 38 දී මරණයට පත් වන ඇගේ ගමන ආරම්භ වන්නේ ඒ නිදන කාමරයේ විය හැකිය. එය නිදන කාමරයක් නොව නිදාගැනීමටද පාවිච්චි කරන කාමරයක් බව ඇය කියන දේවලින් පෙනේ. සාලයේ හෝ ආලින්දයේ ශිෂ්ටත්වය පවතින්නට නම් සෑහෙන තරම් "අශිෂ්ට" නිදන කාමරයක්ද පැවතිය යුතුය. විවාහ ජීවිතයේ මුල් කාලයේදී වත් ජීවන ලාලසාව සහ මනුෂ්‍ය ලිබිඩෝ ශක්තියද ගැලපෙන නිදන කාමරයක් පැවතීම උචිතය. එය සදාචාර සළුපිළිවලින් අන්ධකාර නොකරන ලද නිදන කාමරයක් විය යුතුය.
      ලිංගිකත්වය පිළිබද ප්‍රශ්නයට අවංකව මුහුණදීම අතින් අප තවමත් අප ගැනම ඉගෙන ගෙන නැත. ඒනිසා ආදරවන්තියන්ගේ බිරින්දෑවරුන්ගේ සිරුරු සම්පූර්ණයෙන් දකින්නට ඇගේ මිනිය කපන මේසය දක්වා යන්නට බලා සිටින පිරිමි වෙති. තම සරාගයේ සිරුර සැමියාට සම්පූර්ණයෙන් පෙන්වන්නට ඒ දවස එන තෙක් බලා සිටින ගැහැනු සිටිති. සුද්දීගේ නිරුවත් මළ සිරුරට අබසිරි කළ දේ සුද්දී අපට කියන්නේ ඔහු ගැන පමණක් නොව ඇය ගැනමද අනුකම්පාවකිනි.
      ඇගේ මිනිය රැගෙන එන අයිසික්‍රීම් වෑන් එකේ රියදුරු ලෙනින්(සරත් කොතලාවල)ද සුද්දී යම් ඇසුරක් පවත්වා ඇති බව පෙනේ. වෑන් මිනියෙන් බිමට වැටෙන මිනී පෙට්ටිය ඔසවාගෙන යන ලෙනින් ඒ කාර්ය කරන බාරදූර ආකාරයෙන් පෙනෙන්නේ ඔහුද ඇගේ ජීවිතයට තමා සම්බන්ධ වූ කොටසට වන්දියක් ගෙවන බවයි.
      මිනිය රැගෙන එන්නට නගරයට යන අබසිරිට වාමාංශික සටන් පාඨ කියන විරෝධාතාකරුවන් දකින්නට ලැබේ. මහේක්ෂ දේශපාලනයෙහි මහා සටන් පාඨ කියන ඒ විරෝධතාකරුවන් තමන්ද ඇතුළු සමාජයේ ක්ෂුද්‍ර දේශපාලනය/ලිංගික දේශපාලනය අාදිය ගැන සටන් පාඨ නැත. ඔවුන්ගේ මනුෂ්‍ය විඥානයෙහි අභ්‍යන්තරය පරීක්ෂා කරන්නේම නැත.
      මිනිය පටවා ගෙන එන වෑන් එකේ රතු කොඩිවැල් පැටලීමද. වෑන් එකේ අය ඒ කොඩි ගලවා විසි කිරීමද, ඒ කොඩි දමන තරුණයන් මේ වෑන් එකේ සිද්ධ කතාවට අන්ධවීමද සිත්ගන්නා උත්ප්‍රාසයකි.

      Delete
    2. සිරි ගුනසිංහ හෙවනැල්ල වැනි නවකතාවකිනුත්, ගුණදාස අමරසේකර කරුමක්කාරයෝ, යළි උපන්නෙමි, දෙපා නොලද්දෝ වැනි නවකතාවලිනුත් ඒ අභ්‍යන්තරය ගවේෂණය කිරීම ආරම්භ කළත් ගුනසිංහ වැඩිපුර නොලිවීමෙන් ඒ ගවේෂණය අතරමග නතර කළේය. අමරසේකර අභ්‍යන්තරය වෙනුවට බාහිර බදා ගත්තේය. මනුෂ්‍යයත්වය වෙනුවට ජාතිය බදා ගත්තේය. ඒ නිසා කලින් කැණීම් කළ තැනුත් ලස්සනට වසා දැම්මේය. වැදගත් කලාත්මක විඥානයක් ඒ නිසා වැසිණි.
      28 සිනමා කෘතිය අවසන් වන්නේ අවුරුදු 38 දී මරා දැමෙන සුද්දී වැනි ස්ත්‍රීන් සම්බන්ධ විනිශ්චයකාරයන් වීමට ඉඩ ඇති අප සියලු දෙනා මළ ගෙදරින් එළවා දමමනි. අප අවසානයේ ඒ යුවළට තනිවීමට ඉඩ දී ඇතත් ඔහු තනි වන්නේ මළමිනියක් සමගය. ඇය මළ මිනියක් සේ විවාහ ජීවිතය ගත කරන ලිංගික මළමිනියක වී නම් සමහර විට ඇය තවත් ජීවතුන් අතරය.
      මෙය සිත්ගන්නා සිනමා කෘතියකි. සුද්දී නිවසින් පිටව යාමේ කතාව ගැන තව ටිකක් ඒත්තු යන හේතු තිබිණි නම් මැනවියි, ඇගේ පිටව යාම ගැන අබසිරිගේ ප්‍රතිචාරය ගැන තව ටිකක් විස්තර දැන ගැනීමට තිබිණි නම් මැනවියි, මට සිතිණි.
      සිනමා කෘතියේ සංගීතයද කැමරාකරණයද අමුතු ශෝකමය රිද්මයක් ගනියි. වංගු වංගු හැරි හැරී යන පාරවලින් යුතු දැවැන්ත කදුකරය හසු කරගන්නා දුරස්ථ රූප මේ ක්ෂුද්‍ර මිනිසුන්ගේ ජීවිතය යන්න කුඩා චිත්‍රය "පැවැත්ම", "සංසාරය", හෝ "ශිෂ්ටාචාරය" යැයි නම් කළ හැකි දැවැන්ත පසුතලයක තබා පෙන්වයි. ඒ දැවැන්ත පරිසරයටත්, තමන්ගේම අභ්‍යන්තරයටත් ආගන්තුකයන් සේ වන මිනිසුන් ලෙස සරත්, මහේන්ද්‍ර සහ රුක්මාල් කරන රංගනය සිත්ගන්නාසුලුය. මේ සිනමා කෘතිය නැවත නරඹන සිතින් මේ සටහන නිමා කරමි.
      මේ සුද්දී සුද්දිලාගේ කතාවේ සුද්දී සමග ඇති කරන අන්තර්පඨිතත්වයද වැදගත්ය. ඉතා ලාලාසාත්මක වූද ලිංගිකව අතිශය ක්‍රියාකාරී වූද ඒ සුද්දීද අකාලයේ මරා දැමුණාය. සමහර විට මේ එවැනි සුද්දිලා කාගේත් අනිවාර්ය ඉරණමයි. එසේ වන්නේ ඇයී?

      ලියනගේ අමරකීර්ති

      Delete
  8. ලිපිය මරු
    කමෙන්ට් වල තියන ලියනගේ අමරකීරති මහත්මයගෙ සටහනත් මරු
    ස්තූතියි තරු අක්කා

    ReplyDelete
  9. ජනයුගය පත්තරේ 'හොඳ' ලිපියක් තිබුනා මේ ගැන පලවෙලා. මට විවේචනයක් කරන්න බැහැ බලලා නැති නිසා. නමුත් ඇතුලේ එකෙක් නම් ඔන්න මොකද්ද විවේචනයක් 'පුටු පුටු' ගගා කියෝනව ඇහුන.. පිස්සුද කොහේදෝ


    ස්තුතියි මේ ගැන ලිව්වට.

    ReplyDelete
    Replies
    1. ආ.. කියන්න මතක බැරි උනා.. ඒ ආටිකල් එකේ නම් 28ට අර්ථකතනයක් දීලා තිබුනා.

      Delete
  10. බලන්න ආසා හිතුනා.. දැන් බටහිර ආරට චිත්‍රපට හදනවා නේ...

    ReplyDelete
  11. විග්‍රහය දැක්කම බලන්න ආස හිතුනා. බලනකන් ඉතින් මුකුත් කියන්න බැහැ නේ

    ReplyDelete
  12. විචාරය කියෙව්වාම චිත්‍රපටිය නොබලාම බැරිවන පිපාසයක් ඇති වෙනවා
    ලියනගේ අමරකීර්ති මහතාගේ සටහනත් අපූරුයි

    ReplyDelete
  13. මට මතකයි පොත බැලුව. සුද්දිලාගේ කටහ්ව කියල සිංහල චිත්‍රපටියක් මිට කලින් ආවේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. සුද්දිලාගේ කතාව කියල චිත්‍රපටයක් තියෙනවා අයියේ... මේකෙ නම ‘‘28‘‘ ප්‍රධාන ගැහැනු චරිතය හැඳින්වෙන්නෙ සුද්දි කියල. ඒ නිසයි මම මේ ලිපියට සුද්දි කියල දැම්මෙ.

      Delete
  14. Mama me lipiya saha comment tika copy karala mage fb ekata share karanwaa eetharamma vatinawa comment tika varadhak nane

    ReplyDelete
  15. පරක්කු වෙලා හරි මං මේ බ්ලොග් එකට ආපු එක ගැන සතුටුයි.. මං තරුරසීගේ බ්ලොගය හොයහොයා උන්නේ... මං අලුත් කෙනෙක්නේ.. ඒකයි...
    මේ හොඳ ලිපිය නිසා චිත්‍රපටය ගැන අදහසක් ආවා.. ඒකට ස්තූතියි

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...