පිටු

Thursday, July 26, 2018

මිදුණා... මිදුණා... සිඳුණා... බිඳුණා...


                                                       
                                 

කෙසඟ තනි අතක් ගේට්ටුව උඩින් මතුවෙලා අමාරුවෙන් කොක්ක පන්නනවා පත්තර පිටුවට උඩින්, උපැස් යුවළට යටින් එබී බලපු සුමංගලා දැක්කා. 

‘‘අම්මේහ්...‘‘ ගේට්ටු පියන්පතක් තල්ලු කරගෙන ඇතුළට ඇවිත්, බඩුමලු ටික බිම තියපු හිමාලි වේගයෙන් හුස්ම ගත්තා. දෙකන්සෙන් ගලන දාඩිය පිටත්ලෙන් පිහ දැමුවා. ගේට්ටුව වසා දැමූ ඇය බඩු මලු නැවත උස්සාගෙන ආපසු හැරුණමයි සුමංගලාව දැක්කෙ.

‘‘ගෙයි අඩුපාඩු ගොඩයි අක්කෙ, ටවුමට ගියා බඩු ටිකක් ගේන්න.‘‘ ඒ හිනාවෙ අසරණකමට සුමංගලාගෙ පපුව පිච්චිලා ගියා.

‘ඇයි රාජිත බඩු ගෙනත් දැම්මෙ නැද්ද?‘ සුමංගලා එහෙම ඇහුවෙ නැහැ. හදිසියෙම ඇවිත් ගෙවල් කුලී දීලා ගියාට පස්සෙ සති ගාණක් රාජිත ආවෙ නැති බව සුමංගලා දැන හිටියා. ඒ ඇයි කියල අහන්නත් ඇගේ හිත නැමුණෙ නෑ. ගෑනියෙක්ගෙ පපුවෙ ඇවිළෙන ගින්දර දන්නෙ ගෑනියෙක්ම විතරනෙ.

‘‘මං නිතර ටවුමට යනවනෙ. හිමාලිට මොනවහරි ගේන්න ඕන නම් මට කියන්න. මං ගෙනත් දෙන්නම්.‘‘ ඒ වෙනුවට සුමංගලා  කිව්වා. හිමාලි හිනාවෙලා සුමංගලාගෙ ගේ පසෙකින් තියෙන ඇනෙක්සිය දිහාට හැරුණා.

...........

හිමාලිලා ඇනෙක්සියෙ පදිංචියට ඇවිත් අවුරුදු පහක් විතර ඇති. රාජිතයි, හිමාලියි දරු දෙන්නයි. කිසි කරදරයක් නැති පවුල. සුමංගලාගෙ තනි ජීවිතේටත් හරි හයිය. දරුවන්ගෙ හුරතල් කටහඬින් වත්ත හතරමායිමේ තිබුණු මූසල පාළුවත් නැති බංග වෙලා ගියා. දරු කළලයක් හදා වඩා ගන්න හයිය හත්තිය නැතිවුණ තමන්ගෙ කුස එක්කයි, දරු පැටියෙකුට කිරි නොඑරුණ තමන්ගෙ පයෝධර එක්කයි තිබුණ කේන්තිය හෙමිහිට දියකරල ඇරලා සුමංගලා තමන් අත්තම්මා කෙනෙක්ය කියල හිතන්න ගත්තා.

හිමාලි හැමදාම ලෙඩින්. හතිය කියලයි කිව්වෙ. අඩියක් තියල අඩියක් ගත්තත් නැවතිල්ලෙ හුස්ම අල්ලනවා. ආවත් හරි ගෙයින් පිටට අඩියක් තිව්ව නම් ඒ, එක්කො බේත් ගේන්න යන්න. නැත්නම් ගමේ යන්න. සමහර කාලවලට සති ගණන් ඉස්පිරිතාලවල. රාජිත තමයි ගෙදර හැම වැඩක්ම බලල හදල කරේ. ගෙදරට බඩු ගේන එක, ළමයින්ගෙ ඉස්කෝලෙ වැඩ ඒ ඔක්කොම. අනේ වාසනාවන් එහෙව් දරුවෙක්. සුමංගලා රාජිත ගැන හිතුවෙ තමන්ගෙ බඩින් වදාපු දරුවෙක් ගානට.  

............

කිසිම ඍතුවක් සදාකාලික නෑ. ජීවිතෙත් හැටි එහෙම තමයි. 

ටික කාලෙක ඉඳන් රාජිතගෙ රස්සාව ඇනෙක්සියෙ කාලසටහන අවුල්කරමින් තිබුණා. එක්කො හදිසි වැඩ, නැත්නං මීටිං. රෑ දහයට, එකොළහට, ගේට්ටුව ඇරෙනවා, කාරෙක එනවා සුමංගලාට ඇහෙනවා. සමහර වෙලාවට දවස් දෙක තුන ඔෆිස් එකේ වැඩට දුර යන්න වෙනවා. එහෙම දවස්වලට සුමංගලාගෙ ඇහැ පියවුණෙත් නෑ හරියට. දරු දෙන්නයි, හිමාලියි තනියම ඇනෙක්සියෙ... ඒ වගේ තනියෙන් ගෙවුණ රාත්‍රී කාල ගිනි පෙනෙලි වගේ ඇමිණි ඇමිණී ඇගේ හිත පුච්චා දමනවා.
‘‘රාජිත අලුත් රස්සාවකට ගියාද?‘‘ බැරිම තැන සුමංගලා ඇහුවා.

‘‘නෑ අක්කෙ, රස්සාවෙ වැඩ වැඩියි එන්න එන්නම. අනේ මන්දා...‘‘ හිමාලි එදත් අසරණ විදියට හිනාවුණා. ඉන්පස්සෙ හයියෙන් හුස්මක් ඇද්දා.

..........

ඊටත් ටික දවසකට පස්සෙ ඇනෙක්සියෙ උන්නෙ හිමාලියි දරු දෙන්නයි විතරයි.

‘‘රාජිතව මාරු කරල අක්කෙ අනුරාධපුරේට. නිතර යන්න එන්න අමාරුයිනෙ. එයා එහෙ නැවතිලා.‘‘

සුමංගලා මොනවත් අහන්නෙත් නැතිවම හිමාලි උත්තර දුන්නා. ඈ ඇවිත් උන්නෙ ගෙවල් කුලිය දීල යන්න. ඒ සල්ලි ටික අතට ගනිද්දි හිමාලිගෙ අතේ ගිනියම් රස්නයක් දැනිල සුමංගලා ඔලුව උස්සල බලද්දි ඒ ඇස් තද රතු පාට වෙලා තිබුණා.

ඊටත් ටික දොහකට පස්සෙ ඇනෙක්සියෙන් බිඳුණු හඬක් නැගුණා දවස පුරාම. හෝස් හෝස් ගාලා හුස්ම අල්ලන සද්දෙත් එක්කම.

‘‘මාව අතාරින්න, මං ඔයාගෙන් ඉල්ලන්නෙ එච්චරයි.‘‘ දෙහි ගෙඩියක් කඩාගන්න ගේ පිටිපස්සට ගියාම ඇනෙක්සියෙ ජනේලෙන් ඉකිබිඳුමක් එක්ක ඒ වචන ටික ඊයක වේගෙන් ඇවිත් සුමංගලාගෙ පපුවෙ ඇමිණුනා. දෙහි කට්ටක් අතේ ඇනුණා. ගැඹුරටම.හෝ ගාලා ලේ ගලන්න ගත්තා.

............

සුමංගලා පොල් සම්බෝල හැදිල්ල පැත්තක තියලා දෙහි කටුවට හිල් වුණ අත රෙදි පටියකින් වෙළාගත්තා.

පරණ ලට්ට ලොට්ට දාපු අල්මාරිය අවුස්සන්න ගත්තා.

උඩ ඉඳන් යටට, යට ඉඳන් උඩට. 

යටම තට්ටුවෙ පරණ දිනපොත්, පත්තර, ෆයිල් අස්සෙ හැංගිලා තිබුණු මගුල් පින්තූරය මතු වුණා. දෑතින්ම ගත්ත මගුල් පින්තූරයත් එක්ක සුමංගලා හාන්සි පුටුවට වැටුණා. දූවිල්ලෙන් වැහිලා වීදුරුව. තුවාල නොවුණු අතින් වීදුරුව පිහදාද්දි ආයෙම සුමංගලාගෙ අත බිඳුණු වීදුරු කෑල්ලකට හීරුණා.  දැනටමත් පින්තූරය පැත්තකින් දිරාගෙන. කැඩුණු වීදුරු කැබලි අතරින් ඒ යෞවන හිනාව නොදිරා තිබුණත් මනමාලයගෙ පපුව අද්දර මල් ඉත්තත් වේයන්ට ගොදුරු වෙලා තිබුණා. එදා ඒ පින්තූරය ගන්න වෙලාවෙ තමන්ගෙ හිතේ තියෙන්න ඇත්තෙ මොන වගේ හැඟීම්ද, අපේක්ෂා පිරුණු මනාලි දෑසයි, කෝලයෙන් ඇලළුණු මනමාලි හිනාවයි දිහා බලාගෙන සුමංගලා මතක් කරගන්න උත්සාහ කරා.  

‘‘අනේ මාව අතාරින්න, මං ඔයාගෙන් ඉල්ලන්නෙ එච්චරයි.‘‘ 

සුමංගලාට තමන්ගෙම නිදන කුටිය ඇතුළෙන් කවුදෝ ඉකිබිඳින හඬ ඇහෙන්න ගත්තා.


http://epaper.dinamina.lk/art.asp?id=2018/07/24/pg28_0&pt=p&h=#

Wednesday, July 11, 2018

එක ළඟට දෙක නෙවෙයි, කියන්නෙ ඇත්තද?



සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතා ක්ෂේත්‍රය එතරම් පුළුල්ව පැතිරුණක් නොවේ. සාහිත්‍ය අතීතය දිගේ ඈතට, ඈතට ගිහින් ළමා වියට එබුණම මට මුලින්ම මතක් වෙන පොත තමයි, ස්වර්ණලතා කිරිවත්තුඩුවගේ තිලකසිරි. එය තාමත් ආසාවෙන් කියවන්න හැකි පොතක්. ඉන්පස්සෙ මඩොල් දූව (මාටින් වික්‍රමසිංහ),  අඹ යහළුවෝ (ටී.බී. ඉලංගරත්න), මැටි ගෙදර ළමයි ( සිබිල් වෙත්තසිංහ) කතරක පිපුණු මල් දෙකක්, මිතුරෝ, අපට අපේ අත්, මකර කට ඇතුළු  දෙනගම සිරිවර්ධනගේ පොත් රැසක්, පරිවර්තන කෘති රැසක් නව යොවුන් සාහිත්‍යය ලෙස හමුවෙනවා.  

අභිරහස් සහ වීර කතා ලෙස ගත හැකි ගැටවර වියේ පසුවන්නන්ගෙ වීර වික්‍රමාන්විත චාරිකා, ක්‍රියාදාමයන් ගැන කියවෙන කතා යොවුන් නවකතා ලෙස දීර්ඝ කාලයක් පාඨක අවධානය දිනාගත්තත්, කාලීන සමාජය, යෞවනය ප්‍රස්තූත කරගත් මා මුලින් සඳහන් කළ කෘති වීරත්වයෙන් ඔබ්බට ගොස් යෞවනයට බලපාන සමාජය සහ ඒ ආශ්‍රිත ගැටලුත්, යෞවනයේ අසිරියත් තේමා කරගත් කෘති...

මේ අතර අප සහෝදර ප්‍රියාන් ආර් විජේබණ්ඩාරගෙ ‘එක ළඟට දෙක නෙවෙයි‘ යොවුන් නවකතාව අද   යෞවනයට බලපාන කාලීන සමාජ ගැටලු රැසක් තේමා කොට ගත් යාවත්කාලීන වූ යොවුන් නවකතාවක් ලෙස සැලකිය හැකියි.

ගැමි පරිසරයක දිළිඳු පවුලක උපත ලබන ශානි පවුල, පාසල සහ සමාජය තුළ මුහුණ දෙන ගැටලු, ඇය ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය, ඒ අත්දැකීම් සමඟ ඇගේ මානසික ස්වභාවය වෙනස්වන ආකාරය මේ නවකතාව තුළ මතු කරනවා. උපතින් ආබාධිත වීම නිසා රැකියාවක් කරගැනීමට අසීරු ශානිගේ පියා කසිප්පු වෙළඳාම තමන්ගෙ ජීවනෝපාය කරගන්නවා. ඉතාම ආදරවන්ත මව්පිය යුවළක් වුණත් පියාගේ රැකියාවත්, මව වඩාත් බාල සහෝදරයාට සමීප වීමත්, පියාගේ රැකියාව නිසා පාසලේ යහළුවන් අතර කොන්වන්නට සිදුවීමත් වැනි හේතු ගණනාවක් නිසා ශානි ඉගෙනුමට අදක්ෂ ප්‍රචණ්ඩ දැරියක් බවට පත්වෙනවා. ජීව විද්‍යාත්මකවත් ස්ත්‍රී ගති ලක්ෂණවලට වඩා කොලුකමක් ඇය තුළින් දිස්වෙන්නෙ. ඒ තත්වය තමන් තුළම විසඳා ගත නොහැකි ගැටලුවක් වෙද්දි, සමාජයත් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම, අපහාස උපහාස කිරීම ඇයට දරාගන්නට අසීරුවෙනවා. 
   
ඇගේ ජීවිතයට අරුණාලෝකයක් වෙන්නෙ පන්තියට ආ අලුත් යෙහෙළිය. ඇය කුෂාණි. දඬුවම් මාරුවක් ලබා පැමිණෙන පොලිස් නිලධාරියකුගේ දුවක්. ඇය නාගරික පාසලක අධ්‍යාපනය ලබපු දැනුවත්, උගත් සංවේදී දැරියක්. ( ශානි වැනි දැරියකට ඉතා අහම්බයකින් පමණක්ම ලැබිය හැකි මිත්‍ර සම්පතක්.)   ඉතින් මේ මිත්‍ර සමාගමය නිසා ඔවුන්ගේ ජීවිතවල සිද්දවෙන වෙනස්කම් මොනවද කියල දැනගන්න නම් පොත කියවන්නම වෙනවා.

අද යෞවනයට බලපාන ප්‍රශ්න ගණනාවක් මේ කෘතිය පාඨකයා හමුවේ පෙළගස්වනවා. සියලුම ප්‍රශ්න එක කතාවකින් කියන්න හදනවද වගේ හැඟීමක් ඇති වෙන එකත් වළක්වන්න බැහැ.  

·         පවුලට බාල දරුවන් පැමිණි විට වැඩිමහල් දරුවන් වෙත අවධානය යොමුකළ නොහැකි වීම නිසා ඒ දරුවන් තුළ ඇති වන මානසික පීඩනය

·  දෙමව්පියන්ගේ රැකියාවන් නිසා පාසල, පොදු සමාජය තුළ අපහසුතාවයට ලක්වන දරුවන් සමාජ පීඩකයන් බවට පත්වීමේ අවදානම

·      සුහදශීලී මිතුරු සමාගම් අහිමි වීමත්, නිවැරදි මඟපෙන්වීමක් ලබා දිය හැකි දැනුම් තේරුම් සහිත වැඩිහිටියන් අහිමිවීමත් නිසා යෞවනය මුහුණ පාන ගැටලු

· ජීව විද්‍යාත්මක වෙනස්කම් නිවැරදිව හඳුනාගැනීමට නොහැකිවීමෙන් ඇති වන මානසික කැළඹීම්

· යොවුන් දරුවන්ගේ විවිධ දක්ෂතා අගයමින් සහ පිළිගනිමින්, තමන් කැමති සහ දක්ෂතා දක්වන ක්ෂේත්‍රය තුළ ඉදිරියට යාමට ඔවුන්ට ඇති ඉඩකඩ අවම වීම

·    යොවුන් දරුවන් මුහුණ දෙන ලිංගික අතවර, ලිංගික අපචාර
ආදී ගැටලු ගණනාවක් කතාවට මුහුවෙලා තියෙනවා.

‘‘මෙම කෘතිය ඊනියා සීමා හෝ ව්‍යාජ සදාචාරයකන් ආරක්ෂා කරනු වෙනුවට යෞවනයන්ට තම සමාජය දෙස විචාරශීලීව බලන්නය ඇරයුම් කරයි.‘‘ කෘතියට පෙරසටහනක් ලියන චූලානන්ද සමරනායක සඳහන් කරනවා. යෞවනියන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුල් පරිසරය, ගම සහ වටපිටාව ගැන කතා කරන අතරම දේශපාලන, අධ්‍යාපන, නීති ආදි ක්ෂේත්‍රවල පවතින විෂමතාවන්, අසාධාරණයන් හෙළිදරව් කරන්නත් එය දරුවන්ගේ ජීවිතවලට බලපාන ආකාරය ගැන සංවේදීභාවයක් ඇති කරන්නත් කතුවරයා උත්සාහ දරා තිබෙනවා. මේ කෘතිය ඇසුරු කරන යොවුන් දරු දැරියන්ට තමන්ගේම ජීවිතය දෙසත්, සමාජය දෙසත් නව ඇසකින්  බලන්නට ඒ උත්සාහය වැදගත් වේවි.

තවදුරටත් කතාව රසවත්ව ගොතන්නට ඉඩ තිබුණා නේද කියා සිතුණත්, කතුවරයාගේ පෙරවදන කියවූ විට ඒ චෝදනාව ඉල්ලා අස්කරගන්නට හිතුවා. ජීවිත අභියෝග ජයගන්නට, ජීවිතේ දුෂ්කරම කාලයන් ගෙවාගන්නට සාහිත්‍යය කලාව උපයෝගී කරගන්නේ කෙසේදැයි සිතා බලන්නට ඒ පෙරවදනත් යෞවනයට ශක්තියක් වේවි.  

අගහස් ප්‍රකාශනයක්
මිල රු. 380.00


Thursday, July 5, 2018

නියාමාරිරා... අප්‍රිකානු සාහිත්‍යයෙන් දිය බිඳක්...

සැම්බියාවේ පාසල් සිසුවියන් පිරිසක් 


අප්‍රිකානු සාහිත්‍යය ගැන කතා කරද්දි මුලින්ම මගේ මතකයට එන නම චිනුවා අචිබි. චිනුවා අචිබිගෙ චිකීගෙ පාසල් සමය මට කියවන්න ලැබුණෙත් මගේ පාසල් සමයෙදි. දරුණු කාපිරියන් ගැන අසා තිබූ කතා බොරු කරමින් ශ්‍රේෂ්ඨ අප්‍රිකානු උරුමය, විචිත්‍ර සංස්කෘතිය ගැන මුලින්ම දැනගන්නට ලැබුණෙ පොත්වලින්. ඒ අතර චිනුවා අචිබිගේ පොත් විශේෂයි. යටත්විජිත ආධිපත්‍යය අවි බලයෙන් වගේම ආගමික ආක්‍රමණයෙන් අප්‍රිකානු ගෝත්‍රික සමාජවල අනන්‍ය සංස්කෘතික විචිත්‍රත්වය විනාශ කර දමන විදිය මේ අප්‍රිකානු මහද්වීපයේ ජන ජීවිතය පිළිබඳව මානවාදී දැක්මකින් ලියැවුණු බොහෝ කෘතිවල දකින්නට පුළුවන්. අප්‍රිකානු සාහිත්‍යය ඇසුරු කරද්දි පැහැදිලිවම දැනෙන අංශ දෙකක් තියෙනවා. එකක් අප්‍රිකානු ලේඛකයන් තමන්ගෙ ජනසමාජය ගැන ලිවීම, අනෙක අප්‍රිකානු නොවන ලේඛකයන් අප්‍රිකානු ජන සමාජය, ඔවුන් මුහුණ දෙන ගැටලු ගැන ලිවීම. ( කල්ලන් දකින කළු ජීවිතය සහ සුද්දන් දකින කළු ජීවිතය... )

මේ මොහොතේ මගේ මතකයට නැගෙන පොත් කිහිපයක් මේ. බෙවර්ලි නායිදුගෙ ජොහැන්නර්ස්බර්ග් කරා කෘතිය ( සුභාවි ) වර්ණභේදවාදය නිසා අප්‍රිකානු ජන සමාජය මුහුණ දෙන ගැටලු ළමා ඇසින් දකිමින් ලියූවක්...

මේ අතර සමහර කතා තමන්ගේම ජීවිත අත්දැකීම් නවකතාවට නැගුණු අවස්ථා... වාරිස් ඩයරිගෙ කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ, ( සුරස) ඉස්මායෙල් බේ A long way Gone (මේ අවිය බර වැඩියි. - සුභාවී ), හලීමා බෂිර්ගේ කාන්තාරයේ කඳුළු (සුභාවී). දැනට මතකයට නැගෙන පොත්. දිනපොතක් විදියට ලියැවුණු කැරොලිනාගේ සටහන් එකතුවත් මේ අතර විශේෂයි. සේනාරත්න වීරසිංහ පරිවර්තනය කළ සුරාලෝලයාගේ විපරීත ආපදානය ( ටුටූලා The Palm Wing - ප්‍රභා ප්‍රකාශන ) වෙනස්ම විදියේ අප්‍රිකානු කතාවක්. මෙය අප්‍රිකානු සාහිත්‍යයේ විශිෂ්ට ගනයේ මායා යථාර්ථවාදී නවකතාවක් ලෙස හැඳින්වෙනවා. 

අප්‍රිකානු වහල් ජීවිත කේන්ද්‍ර කරගෙන ලියවුණු පොත් අතර මුලින්ම මතකයට එන්නෙ ටොම් මාමාගේ කුටිය. ඉන්පස්සෙ මෑතක කියවූ ඉසබෙල් අයියන්දේ ලියූ නිලූක කදුරුගමුව පරිවර්තනය කළ මුහුද යට දිවයින. ( විදර්ශන) එවැනි තවත් පොත් කියවා ඇතත් මේ මොහොතෙ මතකයට එන්නෙ නැහැ. 

දකුණු අප්‍රිකානු නිදහස් සටන ගැන ස්ටීව් බීකෝ ලියන ‘‘හඬනු මැන නිදහස‘‘ ( ගොඩගේ) දේශපාලනිකව ඉතා වැදගත් පොතක් වගේම මනුෂ්‍යත්වය ගැන අප්‍රමාණ ආදරයක්, කම්පනයක් ඇතිකරන කෘතියක්. යටත්විජිත ආධිපත්‍යය කළු මිනිසුන් මත පතුරන ප්‍රචණ්ඩත්වය ගැන කියවෙන කෘති සිත කම්පා කරවන සුළුයි. ( අප්‍රිකානු සාහිත්‍යය ගැන ඔබේ අත්දැකීමත් මේ සටහනට එකතු කරන්න. )

අප්‍රිකානු සාහිත්‍යය ගැන මතක අහුමුළු අවුස්සන්න හිතුණෙ මේ දවස්වල තවත් ඒ වගේ පොතක් කියවමින් ඉන්න නිසා. ඒ ‘‘නියාමාරිරා‘‘ - Nervous Conditions by Tsitsi Dangarembga. පරිවර්තනය වෛද්‍ය ලංකා සිරිවර්ධන මහත්මිය. මෙය ලේඛිකාවගේ අර්ධ චරිතාපදානයක් ලෙසත් හැඳින්වෙනවා. 

නියාමාරිරා කෘතියේ කවරය 


මින් පෙර සාහිත්‍ය කෘතියකදි මට හමුනොවුණු රටක, එක් අප්‍රිකානු පවුලක් වටා ගෙතිල තියෙන්නෙ. ඒ සිම්බාබ්වේ, අතීතයේ හඳුන්වල තියෙන්නෙ රොඩේසියාව නමින්. සුදු ආධිපත්‍යයට නතු වීමෙන් කාලෙකට පස්සෙ ඔවුන් යටත්විජිත පාලනයට අනුගත වෙමින් ඉන්න අවධියක කතාවයි මෙයින් දිගහැරෙන්නෙ. කතාව කියවෙන්නෙ තාඹුද්සායි දැරියගේ හඬින්. මිෂනාරි අධ්‍යාපනයෙන් ඉහළට ගිය කළු ජාතිකයකු වූ බබාමූකුරු නායකත්වය දරණ විස්තීර්ණ පවුලක ඇය ජීවත්වෙන්නේ. ස්ත්‍රීයගේ අධ්‍යාපනය එතරම් වැදගත් ලෙස නොසැලකෙන, ගැහැනිය නිවසට, ගොවිපළට සහ ඇඳට සීමාවුණ පුරුෂමූලික සමාජයක ළාබාල වියේ සිට ඇය තමන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා. කතාව තුළ දිගහැරෙන්නෙ ඇය තමන්ගේ අධ්‍යාපන අයිතිය රැකගන්න දරන වෑයම වුණත් ඒ වටා ගොඩනැගෙන කාලීන සමාජ, ආර්ථික, දේශපාලන වටපිටාවත් හඳුනාගන්න පුළුවන්. 


යටත්විජිත පාලනය සහ මිෂනාරි අධ්‍යාපනය ස්වදේශීය ජනජීවිතය මත සිදුකරන බලපෑම මෙහි ගැඹුරින් සාකච්ඡා වෙනවා. බබාමූකුරුගේ එකම දියණිය නියාශා එලෙස අවුල් වූ ජනජීවිතයේ සංකේතාත්මක හැඩය නිරූපණය කරනවා. ඇගේ ළමා විය ගතවෙන්නේ එංගලන්තයෙ. ආපසු සැම්බියාවට පැමිණි පසුව ඇයට ඒ ජනසමාජය හා පෑහෙන්නට නොහැකි වෙනවා. ඇය තමන්ව හඳුන්වා දෙන්නෙ ‘එහෙටත් නැති මෙහෙටත් නැති‘ කෙනෙක් විදියට. මිෂනාරි අධ්‍යාපනයෙන් බිහිවෙන්නේ මුල් උදුරා දැමූ ගස් බඳු මිනිස්සු බවයි ඇගේ හැසිරීමෙන් අපට දැනෙන්නෙ. ඇය තමන් වෙත බලපවත්වන පීඩනය නිසා තමන්ගෙ පියා එක්ක ගැටෙනවා. එංගලන්තයේ නිදහසේ ජීවත්වුණු ඇයට තමන්ගෙම මව්බිමේ සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාවට අනුගත වෙන්න බැරිවෙනවා. පියා සමඟ වන සටනින් නිදහස ලබා ගත නොහැකි තැන ඇය, තමන්වම හුදකලා කරගනිමින් අවසන මානසික රෝගියකු බවට පත්වෙනවා.

නියාශාගේ ජීවිතය යටත්විජිත පාලනයට හසු වූ බොහෝ රටවලට සිදු වූ ඛේදවාචකයේ හැඟවුම්කාරකයක්. මේ තත්වය අපට අපේ රට තුළින්ම වුණත් හඳුනාගන්නට පුළුවන්.  

බහුතර පුරුෂ මූලික ජන සමාජවල පවතින ස්ත්‍රීය වෙත බලපවත්වන අධිකාරය, බලහත්කාරය මෙම කෘතිය තුළත් සාකච්ඡාවට ලක්වෙනවා. තාඹුද්සායි, නියාෂා වගේම නියාෂාගේ මව, තාඹුද්සායිගේ මව, ඇගේ නැගණිය ලුසියා යම් අවස්ථාවල එයට එරෙහිව  කැරලි ගසනවා. මෙම කාන්තාවන් මත බලපවත්වන සමාජ පීඩනය විටෙක ඔවුන් අරගලකාරියන් බවටත් තවත් විටෙක මානසික රෝගීන් බවටත් පත්කරන ආකාරය සියුම්ව මතුකරනවා. මේ කෘතිය මනෝවිශ්ලේෂණාත්මක නවකතාවක් ලෙසත් හැඳීන්වෙන්නෙ එනිසයි. 

කතාව අග වෙද්දි හදිසියෙන් අවසන් කළ බවක් දැනෙන්න ගන්නවා. තාඹුද්සායිගේ ජීවන ගමනේ තවත් දුර අපට ඇය එක්ක යන්නට උවමනා වුණත් එය එක්වනම නතර වෙනවා. කෙසේනමුත් විටෙක විප්ලවකාරීවද, තවත් විටෙක යටහත් පහත්වද, තවත් අවස්ථාවල ආත්මාර්ථකාමීවද තමන්ගේ අරමුණ කරා යන ගමන ජයග්‍රහණයෙන් මිස නොනවතිනු ඇති බවට අප තුළ හැඟීමක් ජනිත කරනවා. තාඹුද්සායිගේ ගමට ජීවය දුන්නු ‘‘නියාමාරිරා“ ගඟ වගේම ඇය නොනැවතී ඉදිරියට යනු ඇත. නමුත් නියාශා... ඇගේ ඉරණම කුමක් වනු ඇත්ද?   

පරිවර්තනයක් වුණත් එලෙස නොදැනෙන තරමට මටසිළුටු රචනා ශෛලියක් පරිවර්තිකාව භාවිත කරල තියෙනවා. කෘතිය කියවීම රසවත් අත්දැකීමක් වෙන්නේ ඒ නිසයි. වෛද්‍ය ලංකා සිරිවර්ධන කවි උරුමයක් සහිත පවුල් පසුබිමකින් පැවත එන්නියක්. ඒ ආභාසයත් ඇගේ භාෂාව හැඩවෙන්නට බලපාන්නට ඇති නිසැකවම. 

කෘතියේ ලේඛිකාව ට්සිට්සි ඩැන්ගරෙම්බා 

කෘතියේ ලේඛිකාව ට්සිට්සි ඩැන්ගරෙම්බා 1959 වසරේ උපත ලබන්නෙ
. ඇගේ ළමාවිය වසර දෙකේ සිට හය දක්වා ගතවෙන්නෙ එංගලන්තයෙ. සිම්බාබ්වෙදි උසස් අධ්‍යාපනය නිමකරල වෛද්‍ය විද්‍යාව හදාරන්න නැවත එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියට ඇතුළු වුණත්, ඇයට මුහුණදෙන්නට සිදුවන ජාතිවාදයේ වේදනාකාරී අත්දැකීම් නිසා ඇය අධ්‍යාපනය අතහැර මව්බිමට එනවා. මනෝවිද්‍යාව හදාරනවා. ඇය නැවතුම් ගන්නෙ සාහිත්‍ය කලා ක්ෂේත්‍රය තුළ. මේ වෙද්දි ඇගේ රටට නිදහස ලැබිලා. ඇය මුලින්ම නාට්‍ය කරනවා. පසුව කෙටි කතා ලියනවා. සිනමාව ගැන හදාරමින් සිම්බාබ්වේ කාන්තාවක් අධ්‍යක්ෂණය කරන පළමු  චිත්‍රපටය ලෙස Everyone's Child සිනමා කෘතිය එළිදක්වනවා. මෙම Nervous Conditions නවකතාව පළවෙන්නෙ 1988 දී. සිම්බාබ්වේ ජාතික කාන්තාවක්  ලියූ පළමු නවකතාව ලෙස මෙය හැඳින්වෙනවා.

පරිවර්තන සාහිත්‍යයට විශේෂයෙන් අප්‍රික්‍රානු සාහිත්‍යයට ළැදි අයට මේ කෘතිය රසවත් අත්දැකීමක් වේවි.

අන්තිමේ බැලුවම හැම ජීවිත කතාවක්ම නවකතාවක්... එය සුන්දර වුවත්, අසුන්දර වුවත්...