Thursday, August 29, 2019

වරල පළඳනාවෙහි නොමියෙන නින්නාදයට...



මිහිමතින් පළා යයි ආදරය
මානව ප්‍රේමය නපුරට හැරේ.
කසාවන් සන්ධ්‍යාලෝකයේ ඇද හැලෙන වැස්ස
නිරුවත් කරයි අතු ඉති
විසුරුවාලමින් විකසිත මල්.
හිමිදිර හමනා සුළඟින් වියැකී යනු ඇත
මගේ කඳුළු පැල්ලම්...

වෙර දරමි මම අකුරු කරන්නට
ම,සන්තානයේ සාංකාවන්.
කීමෙන් කිම ඵල, වෙහෙසපත් වනවා පමණි.
දුෂ්කරය... දුෂ්කරය එය...

තනියෙනි අප සැවොම.
අද ඊයේ නොවේ.
පැද්දෙයි කරදරකාරී හද මගේ
ඔන්චිල්ලාවක රැහැන සේ...

සීතලෙන් මිදුණු රාත්‍රියේ
හොරණෑ හඬක් නැගෙයි
ලෝකයාගේ නෙක විමසුම් කෙරෙන්
බියපත්ව
ගිලගනිමි කඳුළු කැටි
තුටින් යැයි හඟවමි.
මුලාවකි... මුලාවකි... මුලාවකි එය...


ටැන්ග් වොන් යනු කවුරුන්දැයි අපි නොදන්නේ යැයි සිතමු. ඇත්තෙන්ම මේ කාව්‍යය පරිවර්තනය කරන විට මා ඈ ගැන දැන සිටියේ නැත. මා සිත් ගත්තේ මේ පද පේළි අතර පැතිර පවත්නා ශෝකී ස්වරයයි.

කවිය පුරාම විහිද පැතිර ඇත්තේ සමාජයෙන් අවතැන් කොට හුදෙකලා කර දැමූ ස්ත්‍රී ආත්මයක ඉසියුම් සුසුම් ස්වර ය. ඒ වේදනාව කුමක්දැයි, වේදනාවට හේතුව කුමක්දැයි අපි නොදනිමු. නමුත් ඒ වේදනාවේ ගැඹුර, එය හිත කීරිගස්වන ආකාරය මේ පද පේළි තුළින් අපි හඳුනා ගනිමු.

මිනිස්කම ද, ප්‍රේමය ද මියැදුණු ලොවක ඇය සිටින්නේ හුදෙකලාව ය. ඇගේ හද රිදුම්, බිඳුම් කිසිවකුටත් කීමට නුපුළුවන. කීමෙන් ඵලක් නොවන බව ඈ දනී. තේරුම්ගන්නට කිසිවෙක් නැතුවා විය හැකිය. සියල් අවුල්, තැවුල් තනි සිතින් උසුළා දරා සිටිනා අතරම එය ලියා තබන්නට ද ඈ සිතයි. මේ කවිය ඒ සිතුවිල්ලේ ප්‍රතිඵලයක් විය හැකිය.
සැබවි, කියාගන්නට බැරි බොහෝ දෑ ලිවීම හිතට නිදහසකි. සැහැල්ලුවකි.

ලෝකයාගේ විමසුම් ඇස් ඇය සලිත කරවයි. තමා දුකින්යැයි, හුදෙකලාවෙන් යැයි ලොවට කියාපෑමේ උවමනාවක් ඇයට නැත. ලෝකයාගේ අනුකම්පාව ඇයට අවැසි නැත. පැතූ සෙනෙහස නොලැබෙන ලොවකින් කරුණාවක් බලාපොරොත්තු වන්නේ කෙලෙසින් ද? කුමකට ද? ඈ සිතනවා විය යුතුය.

එබැවින් රාත්‍රියේ හැඬූ කඳුළු හිමිදිරි හීත හුළඟේ මැකී යන්නට ඈ ඉඩහරියි. කඳුළු ගිලගෙන තමා තුටින් යැයි ලොවට අඟවයි. එය මුලාවක් බව ඇය දනියි. මායාවක් බව ඇය දනියි. ලෝකයා පමණක් නොව ඇය තමන්වමත් රවටා ගන්නා බව ඇය දනියි.

නමුත් කුමක් කරන්නද? මිහිමතින් ආදරය පළා ගිය විට, මානව ප්‍රේමය ද දුෂ්ටත්වයේ අඳුරින් වැසී ඇති විට.


Tang Wan

china 12th Century


To The tune "The Phoenix Hairpin"

The World's love runs thin.
Human love turns evil
Rain Strips, in the yellow twilight,
Flowers from the Branches.
The dawn wind will dry my tear stains.

I try to write down the trouble of my heart.
I can only speak obliquely, exhausted.
It is hard hard.

We are each of us alone.
Today is not Yesterday.
My troubled mind sways
Like the rope of a swing.

A horn sounds in the cold depth of the night.
Afraid of People's questions,
I will swallow my tears
And Pretend to be happy.
Deceit.  Deceit. Deceit.


Women poets of the world - Edited by Joanna Bankier and Deirdre Lashgari
page 21

උක්ත කව සිත තුළ ඇති කළ කම්පනය නිසා ම මට ටැන්ග් වොන් කවුරුන්දැයි සොයා බලන්නට සිතිණි.  ඇය 11 වන සියවසේ චීනයේ විසූ ලූ යූ නම් ප්‍රකට කවියෙකුගේ බිරිඳ ය. ඔවුන් ළමා වියේ සිට එක්ව දිවි ගෙවූ සමීප ඥාතීහූ වූහ. දෙපසම පවුල් පසුබිම් එවකට දැන උගත්, ප්‍රසිද්ධ කාව්‍යක්කාර උරුමයන් දෝතින් දරා සිටියහ. එහි බලපෑම සහ උත්තේජනය  ළමා වියේ සිටම ලූ යූ ට සහ ටැන්ග් වොන් ට ලැබිණි. දෙදෙනම එක සේ සාහිත්‍යය කලාවට, කවියට ඇල්ම පෑහ. එක්ව කවි ලියූහ. දෙදෙනා යෞවනයේ දී ප්‍රේමවන්තයන්ව විසි වයස් එළඹෙන විට විවාහ දිවියට ඇතුළත් වූහ. ඉතින්, ඔවුන්ගේ ප්‍රේමය කවියක් තරම්ම සුන්දරව ගලා ගියේද?


ලූ යූ සහ ටැන්ග් වොන් දැඩි ආදරයෙන් සහ සතුටින් දිවි ගෙවූව ද, ලූ යූ ගේ මව මේ විවාහයට කිසිසේත් මනාප නොවූවාය. ඔවුන්ට දරුවන් නොමැති වීම හේතුවෙන් කාලයත් සමඟ ඒ අකමැත්ත දික්කසාදය දක්වා දික්ගැහුණු බරපතල විරෝධයක් බවට පත් විය. පරපුර ඉදිරියට ගෙන යාමට පිරිමි පුතෙකුගේ අවශ්‍යතාව අප සමාජයට පමණක් ආවේණික අවශ්‍යතාවක් නොවූ බව පැහැදිලිය. සාම්ප්‍රදායික චීන සංස්කෘතිය තුළ දරුවන් මව්පියන්ට තදින් බැඳී සිටිය බැවින් මවගේ ඉල්ලීමට පිටුපාන්නට ලී යූ ට ද නොහැකි විය.

ලී යූ තම ප්‍රියම්බිකාව දික්කසාද කළ අතර, ඔවුන් දෙදෙනාම නැවත වෙනත් අය සමඟ විවාහ දිවියට එළඹුණහ. නීතිමය බැඳීමෙන්, සංස්කෘතික බැඳීමෙන් වෙන් වුවද හදවතින් වෙන් වීමට දෙදෙනාටම නොහැකි වූයෙන් සදාකාලිකව නොමැකෙන වේදනාවක් හදවත්හි දරාගෙන ඔවුන් කුටුම්භයන් දෙකක වෙන් වෙන්ව ජීවත් වූහ.

වෙන්ව යාමෙන් වසර අටකට පසු එක් වසන්ත සමයක ලූ යූ, ටැන්ග් වොන්ගේ නිවස පසුකර ගමනක යෙදී උන්නේය. මේ අතර ටැන්ග් වොන් සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන ෂෙන් ගෙවත්තේ හිඳිනු දකින ලී යූ ඔවුන් සමඟ සුහද සාමිචීයකට මඳකට නවතියි. ටැන්ග් තම ළමා වියේ මිතුරාට, යෞවනයේ පෙම්වතාට එසේත් නැත්නම් පෙර ස්වාමිපුරුෂයාට මධු බඳුනක් පිරිනමන්නට සිය සැමියාගෙන් අවසර පතයි. මී විත ලූ යූ අත පත් කරන විට ඔහු ඇයගේ දෑසෙහි පිරුණු කඳුළු දකියි. සැලෙන අතැඟිලි දකියි. ඔහුගේ හදවත බිඳී යයි. ඔහු මධු බඳුන බිඳුවක් ඉතිරි නොවන සේ හිස් කර දමයි.

ලූ යූ පවුර මත ලියූ කවිය....

ආපසු නික්ම යන ලූ යූ, ෂෙන් උද්‍යානයේ පවුරෙහි කවියක් ලියා තබයි. තම උද්‍යාන පවුරේ ලියා ඇති ලූ යූ ගේ කවිය කියවන ටැන්ග් වොන් ඒ අසලින්ම තමන්ගේ බිඳුණු සිතත් කවියක් කොට ලියා තබයි.  ‘‘වරල පළඳනාවෙහි නොමියෙන නින්නාදයට...“ යනු ඇය ලියූ ඒ පිළිතුරු  කවියයි.

ටැන්ග් වොන් ලියූ පිළිතුරු කවිය

මේ හමුවෙන් පසුව ලූ යූ පසමිතුරු යුද ආක්‍රමණයකට මුහුණ දීමට උතුරට යන අතර, වසරකට පසුව ටැන් වොන් බිඳුණු ප්‍රේමයේ රිදුම් සමඟ ම ජීවිතයෙන් සමුගනියි. මේ ප්‍රේම කතාව චීනයේ අදත් මතකයට නංවන චිරප්‍රසිද්ධ වියෝගයේ සොඳුරු අනුස්මරණ පිරි ආදර අන්දරයකි.

75 වන වියේ නැවතත් ෂෙන් උද්‍යානය වෙත යන ලූ  යූ අතීත මතක අතර අතරමං වෙමින් කවියක් ලියයි. ජීවිතය සේම ෂෙන් උයන ද  වියපත්ව, වෙනස්ව ඇති අයුරු එහි සටහන් වේ. තමා ද දිනෙක එලෙස දූවිල්ලක්ව මැකී යන අයුරු ඔහු සිහිකරයි. නමුත් තවමත් කඳුළින් ඈ එතැන සිටි අයුරු සිහිකරන බව ඔහු අවසන පවසයි.

අවුරුදු 85දී ලූ යූ මිය යන්නට පෙර නැවතත් දිනෙක ෂෙන් උද්‍යානයට පිවිසෙයි.  තම ප්‍රථම ප්‍රේමය වූ ටැන්ග් වොන් නමින් එදින ද ඔහු අතින් කවියක් ලියවෙයි. එය නම් කොට ඇත්තේ ‘‘ෂෙන් ගේ උද්‍යානය‘‘ නමින්.

The flowers of Sheng
Garden are fair as
brocade,

Many knew me in
times long past,

They knew too, that
Beauty in the dust in laid:
Why must our dreams
vanish so fast?

ලූ යූ මිය යන තුරුත් එදා ෂෙන් ගෙමිදුලේ ටැන්ග් වොන් යළි හමු වූ මතකය රිදුම් දෙමින් පැවතියා නිසැකය. පහත දැක්වෙන්නේ ෂෙන් උද්‍යානයේ දී මධු පිරූ දින ළය ඇමිණි වේදනාව ලූ යූ පවුර මත කවියක් කළ අයුරුය. 

Fonqhwang Hairpin

Pink soft hands, yellow rippling wine,
The town is filled with Spring, willows by palace walls.
The east wind is biting, happiness is thin,
heart full of sorrow, so many years apart.

Wrong, Wrong, Wrong!

Spring is as of old; the person is empty and thin.
Traces of tears show through the sheer silk.
Peach blossoms falling, glimmering pond freezing,
The huge oath remains, the brocade book is hard to hold.

Don't, Don't, Don't!

ටැන්ග් වොන් ලියූ පිළිතුරු කවියේ තවත් ඉංග්‍රීසි පරිවර්තනයක් මෙලෙසිනි.

Reply to “Phoenix Hairpin” (to the tune of) - Tang Wan


Human relationships are short.
Human intentions are evil.
When rain accompanies evening, flowers fall easily,
but morning wind is dry.
Tearstains remain.

I want to write you my feelings
but I only whisper to myself, leaning against banister.
Hard! Hard! Hard!

We are separate.
Today is not yesterday.
My sick soul moves like a swing between us.

A cold blast from a horn.
The night is late.
Afraid of questions,
I swallow my tears and smile.

Hide! Hide! Hide!

( තොරතුරු අන්තර්ජාලයෙනි. කාව්‍ය පරිවර්තනයෙහි අඩුපාඩු ඇත්නම් සටහන් කරන්න. තුති !)