Friday, August 2, 2013

විප්ලවීය අප්පච්චිගේ පුත්‍ර ස්නේහය




සිඟිති සුරංගනාවිටත් නානාප‍්‍රකාර මව්වරු පියවරු දකින්න ලැබෙනවා. ඒ මව්පියන්ගෙ දරුවනුත් එක එක ආකාරයි. දරුවන් හැදීම වැඩීම විවිධාකාරයි. විටෙක සුන්දරයි. විටෙක අමුතුයි. විටෙක කටුකයි. සිඟිති සුරංගනාවි දන්න එක අප්පච්චි කෙනෙක් ඉන්නවා වාමාංශික දේශපාලන ව්‍යාපාරයක බල කණුවක්. අම්ම නම් බොහොම තැන්පත් සාම්ප‍්‍රදායික අම්ම කෙනෙක්. මේ විප්ලවීය අප්පච්චි දරුවන් සම්බන්ධව ක‍්‍රියා කරන්නෙත් අමුතුම තාලෙට. නිදහස උපරිම දීල තියෙනවා. වැරදි පෙන්නල දෙනවා මිස හරි වැරුද්ද තෝර ගන්න උදව් කරනවා මිස අණපණත් පනවන්නෙ නැහැ. සැරවැරත් නැහැ. දඬුවමුත් නැහැ.  


ඒ ගැන අම්මගෙන් බැනුම් අහන වාර නම් අනන්තයි. පුංචි පුතා පහ වසර වෙද්දිත් කියවන්නෙ බරපතළ පොත්. එයා වැඩියම කැමති ඉතිහාස පොත් කියවන්න.  අවුරුදු දහයෙදි අහන්නෙ zzමොකක්ද මේ ජීවිතේ තේරුම@ ඇයි අපි ජීවත් වෙන්නෙ@ ඇයි අපි ඉගෙන ගන්න  ඕනෙ@ZZ ඔන්න ඔය වගේ ප‍්‍රශ්න. 


ඔන්න එයාලගෙ ගමේ පල්ලියෙ මංගල්ලෙ. පල්ලියෙ මංගල්ලයක් වුණාම කඩ වීදි තියෙනවා. මේවයෙ පුංචි ළමයින්ව පිස්සු වට්ටන සෙල්ලම් බඩු අරුමෝසම් බඩු, රසකැවිලි පිරිලා. සමහරු මේ කඩවීදිවලට පල්ලි පොල කියලත් කියනවා. පුතා කොහොම හරි සීයට කන්කෙඳිරි ගාල ලොකු ගාණකට තුවක්කුවක් අරගෙන. 

අප්පච්චිගෙ හිතට හරි අමාරුයි. අප්පච්චි විප්ලවකාරයෙක් වුණාට කවදාවත් දරුවන්ට තුවක්කු අරන් දීල නැහැ. අනික විප්ලවය කියන්නෙ අවිආයුධවලින්ම කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. අප්පච්චි විශ්වාස කරන්නෙ මනුස්සකම ගැන මිස අවි ආයුධ ගැන නෙවෙයි. තුවක්කු අරන් දුන්න කියල සීයට මොනවත් කියන්නත් බැහැ. හිතේ අමාරුව ගැන අම්ම එක්ක කතා බහ කරල අප්පච්චි නිහඬවම උන්නා. අප්පච්චිගෙ නිහඬබව ගුටියකට වඩා දරුණුයි. පුතාට තේරුණා තමන් කළේ වැරැද්දක් බව.


''අපි ඔයාට කවදාවත් තුවක්කු අරන් දීල නැහැනෙ පුතා. තුවක්කුවක් කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි. අප්පච්චි කොයි තරම් මිනිස්සුන්ට ආදරේද, මිනිස්සුන්ගෙ ජීවිතවලට ගරු කරනවද කියල ඔයා දන්නවනේ. යහපත් මනුස්සයෙක් ගහකොල සතා සීපාවන්ටවත් හිරිහැරයක් කරන්නෙ නැහැනේ. ඔයා අප්පච්චිගෙන් සමාව ඉල්ලන්න." අම්ම පහදල දුන්නා.


"අප්පචිච් මට සමාවෙන්න. මං ආයෙ මේ වගේ දේවල් ඉල්ලන්නෙ නැහැ." අප්පච්චි තනියෙන් ඉන්න වෙලාවක් බලල පුතා ළං වෙලා කිව්වා.


"ඔයා හිතනවද ඔයා කළේ වැරැද්දක් කියල. තුවක්කුවක් ඔයාට අවශ්‍ය නැහැ කියල." අප්පච්චි ඇහුවා. 


"ඔව් අප්පච්චි දැන් මං මොකද මේ තුවක්කුවට කරන්නෙ" පුතා අප්පච්චිගෙන් ඇහුවා. 


"ඔයාට කැමති දෙයක් කරන්න. ඇයි අපිට තුවක්කු  ඕන නැත්තෙ කියන එක ඔයා තේරුම් ගත්ත නං මට ඒ ඇති." අප්පච්චි කිව්වා.


දවස් කීපෙකට පස්සෙ අප්පච්චි දකිනවා පුතා තුවක්කුව කෑලි කෑලි වලට ගළවලා. ඒ තුවක්කුවේ තිබුණු නිවි නිවි දැල්වෙන ආලෝක බුබුළ සහිත කොටස විදුලි පරිපථයකට සම්බන්ධ කරල අමුතුම සෙල්ලම් බඩුවක් හදාගෙන. එයා තුවක්කුව විසි කරලත් නැහැ. කාටවත් දීලත් නැහැ. නිර්මාණශීලී හැකියාවයි, නැවුම් අදහසුයි එකට එකතු කරල ජීවිත නසන තුවක්කුව ආදරය, සතුට ගෙන දෙන, ජීවිතය අලූත් කරන නිර්මාණයක් බවට පත් කරලා...


සිඟිති සුරංගනාවිටත් හරි සතුටුයි. දරුවන් සම්බන්ධයෙන් වැඩිහිටියන් කටයුතු කරන ආකාරයත් එක්ක දරුවන්ගෙ ක‍්‍රියා කලාපයන්, සිතුම් පැතුම් කොයි තරම් නම් වෙනස් වෙනවද, අර්ථවත් වෙනවද, ලස්සන වෙනවද, අනික් දෙමව්පියනුත් දරුවන් ගැන මේ විදියට අවබෝධයෙන් කටයුතු කරනවනම් කොයි තරම් හොඳඳ, සිඟිති සුරංගනාවිට හිතුණා.    

28 comments:

  1. කාලෙකට පස්සෙ අක්කෙ, කතාවක් බලන්න පුලුවන් උනේ. කතාව හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ඔයා ඇවිත් ගියේ නැත්නම් මේ ලිවිමෙන් වැඩක් තියේද? මගේ මුල්ම පාඨක සමාජයේ වැදගත් භුමිකාවක්නෙ ඔයා....

      Delete
  2. ඇත්ත මමත් විශ්වාශ කරනවා තුවක්කුව කියන්නෙ සෙල්ලම් භාණ්ඩයක් නොවන බව.
    ඇයි තුවක්කුවක් දීලා පොඩි උන්ගේ හිත් විනශ කරලා දන්නේ...

    ReplyDelete
    Replies
    1. ඉතින් එපා තාත්තෙ මට සෙල්ලම් පිස්තෝලේ
      යුද්ද ටැංකි යුද්ද භටයො තුවක්කු පතුරම්
      සෙල්ලමකටවත් කෙනෙකුන් මරන්න මම හිතන්නෙ නෑ
      පුංචි මගේ හිත සාමෙන් පුරවා ගන්නම්...
      ජීවිතයයි ලොව අනගිම වටහා ගන්නම්...

      Delete
  3. තවත් සංවේදී කතාවක්. අද කාලෙට හොදටම ගැලපෙන කතාවක් කියලයි මට හිතුනෙ. මොකද ඉස්සර වගේ පුංචි උන්ට තරවටුකරල යමක් කියල දෙන්න බැරි කාලයක් අද. හොදම දේ තමයි හොද නරක පෙන්නල දෙන ගමන් ජීවිතේ තමන්ටම අවබෝධ කරගන්න ඉඩ හරින එක.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාවක් මේ... ඒ අප්පච්චිම තමයි කිව්වෙ...

      Delete
  4. ලිපිය එක පාරක් කියෝලා ආයේ මුල බලන්න උනා :p 'සිඟිති සුරංගනාවි' කියන්නේ කවුද ඇත්තටම :D

    ReplyDelete
    Replies
    1. ( සුරංගනා ලෝ‍කෙ ගැන ඔයාල වැඩි දෙයක් දන්නෙ නැහැනෙ... සුරංගනා ලෝකෙ ගොඩක් සුරංගනාවියො ඉන්නව තමයි. ඒ වගේමයි සිඟිති සුරංගනාවියොත් මහ හුඟක් ඉන්නවා. සිඟිති සුරංගනාවියන්ගෙ රාජකාරිය තමයි මේ ලෝකෙ ඉන්න පුංචි ළමයිව බලා ගන්න එක.... එයාලව සතුටින් තියන එක... ඒක ලේසි වැඩක් නම් නෙවෙයි.. වැඩියක්ම ඒ රාජකාරිය අමාරු වෙලා තියෙන්නෙ අම්මල, තාත්තල, වැඩිහිටියො නිසාම තමයි.... සුරංගනා ලෝකෙ තියෙන දින පොතේ සිඟිති සුරංගනාවියො තමන්ගෙ අත්දැකීම් ලියනවා.. සුන්දර, දුක්බර, කටුක අත්දැකීම්... සිඟිති සුරංගනාවියක් කැමති උණා ඒ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න. ඇයි කියනවනම් අම්මල, තාත්තල, වැඩිහිටියන්ට පුංචි අයගෙ හිත් කියවන්න පහසු වෙන්නයි... අපිත් කියවල බලමු මොනවද එයාල ලියල තියෙන්නෙ කියල... )

      ''සිගිති සුරංගනාවිගෙ දින පොතෙන්'' කියන්නෙ කැඩපත සගරාවට ලියන ලිපි පෙළක්... ඇත්තටම මට ඕන පුංචි ළමයි ගැන මට දැනෙන හැගෙන දේ ලොකු ළමයින්ට ඒ කියන්නෙ වැඩිහිටියන්ට කියන්න...

      Delete
  5. හොද අදහසක් දිලා. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්... හ්ම්... ඇත්ත අත්දැකීමකින් ලිව්වෙ නංගි..

      Delete
  6. ළමයින්ට තුවක්කු අරන් දෙන එක නම් මටත් හිත හදාගෙන කරන්න බැරි දෙයක් . ලඟදි ආපු නර්ෆ් ගන් එක එයාලගේ යාළුවො ගොඩක් ගාව තියෙනව . ඒ ගෙවල්වල ගියාම සෙල්ලම් කරනවා . අපිත් බටලී තුවක්කු හදන සෙල්ලම් කලානේ .

    හොඳ අප්පච්චි කෙනෙක්

    ReplyDelete
    Replies
    1. අපිත් පුංචි කාලෙ බට තුවක්කු හදාගෙන කොල බෝලවලින්, පාට්ටා ගෙඩිවලින් වෙඩි තියල තියනවා තමයි.. සිංහල අවුරුද්දට උණ බට තුවක්කුත් හදල තියෙනවා.. ඒත් ඒ කාලෙ අද වගේ නෙවෙයි නේද බින්දි මනුස්ස ජීවිතේට, සතා සීපාවුන්ගෙ ජීවිතේටත් වටිනාකමක් තිබුණා... ඒ නිසාම අපේ තුවක්කු වුණත් අහිංසක සෙල්ලම් බඩු විතරයි....

      අද තත්වය හාත්පසින්ම වෙනස් ... ළමයි වුණත් දකින්නෙ වෙඩිතියන, කපන කොටන, මරන එක සාමාන්‍යකරණය වුණ, සාධාරණිකරණය වුණ සමාජයක්...

      ඒකයි භයානකම දේ...

      Delete
  7. පොඩි කාලෙ ළමයින්ට දෙමවුපියන් ගෙන් හොඳ අවධානයක් ලැබෙන්න ඕනෙ. නැත්නම් ජීවිතේ ම ඉවර යි.

    ReplyDelete
    Replies
    1. දෙමව්පියන් වගේම... දරුවන් වටේ ඉන්න අනිකුත් වැඩිහිටියන්...

      Delete
  8. තුවක්කුව දීල හමුදාවට යවන්න ඕන.. රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන්.. ආණ්ඩුව වෙනුවෙන්...
    ලොක්කට ගොට්ට අල්ලන්න පොඩි කාලෙ ඉඳන්ම පුරුදු කරන්න ඕන නැත්නම් ලොකු වෙලා විරුද්ධ උනොත් ..............ඩෝං........

    ReplyDelete
    Replies
    1. දරුවන්ගෙ හෙට දවස ගැන රතු එළි හැමතැනම... රතුපස්වල සිද්ධියත් හිතට හරි බරක්...

      Delete
  9. ළමයින්ට පොඩි කාලෙ අතට නුහුරු මෙවැනි ගිනි අවි අරන් දෙන එකේ බරපතල කම වැටහෙනවා නේද, පොඩි එවුන් යහමග ගන්න ඕනේ ඒ දරුවාටම ඒබව වැටහෙන්න ඉඩදීමෙන්

    ReplyDelete
    Replies
    1. ''පොඩි එවුන් යහමග ගන්න ඕනේ ඒ දරුවාටම ඒබව වැටහෙන්න ඉඩදීමෙන්''

      මේ කතාව ඇත්තම ඇත්ත... තමන් ජීවිතයෙන්ම අවබෝධ කර ගන්න දේ හැමදාටම පවතිනවා..

      Delete
  10. අගේ ඇති හිතන්න බොහෝ දේ ඉතිරි කළ කතාවක්..

    ReplyDelete
    Replies
    1. මේ රට යන විදිය ගැන බයක් දැනෙන්නෙ නැද්ද නලින්... අපි දරුවන්ට ඉතිරි කරන ලෝකය මොන වගේ එකක් වේවිද?

      Delete
  11. ළමයින්ට සෙල්ලම් තුවක්කු අරන්දීම සහ ළමයින්ගේ ගතිගුණ අතර සම්බන්ධතාවයක් නැති බව තමයි මට නම් හිතෙන්නේ. මමත්, මගේ නෑදෑ සහෝදරයන්ගෙත් ප්‍රියතම සෙල්ලමක්, තමයි තුවක්කු හදාගෙන හොරාපොලිස් වැනි සෙල්ලම් කිරීම. ඒ ඒක්කම මම දැන් ඉන්න රටේ මම දන්න කියන යාළුවන්ගේ ළමයි වෙඩි තියාගන්න වීඩියෝ ගේම් එක්ක සෑහෙන වෙලාවක් ගත කරනවා. නමුත් මේ කිසිම කෙනෙක් ප්‍රචණ්ඩ ගති ලක්ෂණ තියන අය නෙමෙයි. මම ඒක හොඳට නිරීක්ෂණය කරපු දෙයක්.

    මේ තාත්තගේ ක්‍රමවේදය එක්ක මම එකඟයි. එතැන සිද්ධවෙන්නේ ළමයාගෙන් තුවක්කු ඈත් කිරීම නෙවෙයි. ළමයින්ට තුවක්කු නොදී හිටියා කියලා ළමයි යහ මග යන්නෙ නෑ. ඒක අර සිදුහත් කුමාරයට දුක නොදැනෙන්න මාළිගා වල තිබ්බා වගේ වැඩක්. වයසින් වැඩෙනකොට ළමයින්ටම ඒවා තේරුම් ගැනීමට ඉඩ හැරීම තමයි වැදගත්. වලක්වන්න ඕනේ දේවලුත් තියනවා.. ඒ වුණාට බොහෝ දේවල් 'එපා' කියනවට වඩා තේරුම් ගැනීමට ඉඩ දීම තමයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. එකගයි තිසර එක්ක.... දරුවන්ගෙ ජීවිතේට ළංවෙන්න අපි දැන් අළුත් ක්‍රමවේද හොයන්න ඕන.. ආඥාදායකත්වය, නීතිරීති තවදුරටත් වලංගු නැහැ...

      Delete
  12. හරිම ලස්සන කතාවක්. හිතන්න දෙයක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හිතන්න සහ වෙනස්වෙන්න....

      Delete
  13. ඉතාම ලස්සන කතාවක්. මේකෙන් ගන්න ඕන පාඩම් ගොඩාක් තියනවා. ඇත්තටම මම තුවක්කුව සෙල්ලම් බඩුවක් හැටියට පිළිගන්නේ නෑ. මොකද තුවක්කුවක් අතට අරන් සෙල්ලම් කරන ළමයා මොනවාද රූපවාහිනියෙන් දකින්නේ. වැඩසටහන් වැඩි හරියක තියෙන්නේ ප්‍රචණ්ඩත්වය පෙන්නන දේවල්. ඉතින් අර ළමයා ගේ මනස නිරායාසයෙන්ම ඒ වගේ දේවලට කාලයත් එක්ක හැඩගැහෙනවා.

    ReplyDelete
    Replies
    1. අපේ පුංචි කාලෙයි අදයි ගොඩක් වෙනස් නිසා තමයි සෙල්ලම් තුවක්කුව උණත් භයානක...

      Delete
  14. සිඟිති සුරංගනාවිගේ කතා කොහොමත් ලස්සණයි. :)

    ReplyDelete
    Replies
    1. ඔයා සිගිති සුරංගනාවිගේ යාළුවෙක් නේද?

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...