Tuesday, April 23, 2019

මේ විනාස වෙලා යන්නෙ අපේ දරුවන්ගෙ හෙට දවස.


ඊයෙ උදේ වරුව ගෙවුණෙ කටුවපිටියෙ.

ගම ම එකම මළ ගෙයක්. අඩියෙන් අඩියට මළ ගෙවල්. ඒ වේදනාවන්, අඳෝනාවන් ගැන කියන්න වචන නෑ. අම්මල, තාත්තල ඉද්දි දරුවො නැති වෙලා. සමහර දරුවො ඉද්දි අම්මල, තාත්තල නෑ. තවත් අය පවුල් පිටින්. තවත් තැන්වල මළ සිරුරක්වත් නැහැ හඳුනාගන්න.

මේ හැමදේම එහෙම වෙද්දි ඒ අතර නිරීක්ෂණය කළ කාරණා කීපයක් ගැන ලියන්නයි  මේ වෙව්ලන අත්වලින් උත්සාහ කරන්නෙ.

කටුවපිටිය පල්ලිය දෙසට තුන් පැත්තකින් එන පාරවල්වල හැම තැනම මළ ගෙවල්. වාහන තදබදයන්. මේ හැමදේම අස්සෙත් තොරන් බලන්න එනවා වගේ මිනිස්සු එනවා පල්ලිය බලන්න. පාරවල් අවහිර කරගෙන. ආරක්ෂක අංශවලට වුණත් අසීරුයි එන පිරිස පාලනය කරන්න. කටාන පැත්තෙන් සෙබස්තියන් පාරට හැරෙන තැන ගමේ තරුණ පෙළක් හැකි තරම් වාහන හරවා යවන්න හදනවා. නමුත් එතනිනුත් මළගෙවල්වලට යන විදියට බොරු කරල මිනිස්සු එනවා මේ ඛේදවාචකය නරඹන්න.

පුළුවන් තරම් ජනතාව රැස්වන තැන්වලින් ඈත් වෙලා ඉන්න එක තමයි මේ වෙලාවෙ කළ යුත්තෙ. ඒ වගේම නැරඹීම් ආශාව පැත්තක තියල තමන්ගෙ ගම්බිම්වල ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරන එක. නාඳුනන පුද්ගලයින් ගැවසෙනවද? කුලී ගෙවල්වල ඉන්නෙ කවුද? මගතොට ආරක්ෂා සහිතද?

යුද්දය පැවති කාල වකවානුවේ වගේම විශාල මිල ගණන්වලට ගෙවල් කුලියට අරගෙන තාවකාලිකව පදිංචි වෙලා ඉන්න පිරිස් ගැන සැලකිලිමත් වීම වැදගත්.

ඉතාම පැහැදිලියි, ඉහළ ඉන්න හැමෝම දැනන් ඉඳලත් තමන්ගේ ආරක්ෂාව සලසගෙන අහිංසක ජනතාව අමතක කරල උන්නු බව. මාධ්‍ය ඉදිරියේම කියන කරන මෝඩ කතාවලින් ඒ බව පැහැදිලි වෙනවා. දෙතුන් සීයක ජීවිත වන්දියකින් පස්සෙ නින්දෙන් නැගිටල ඉන්න  රජය හරි ආරක්ෂක අංශ මත පමණක් විශ්වාසය තියල වැඩ කරන්නෙ නැතිව අපටත් වගකීමත් තියෙනවා අප අවට වටපිටාව ගැන සෝදිසියෙන් ඉන්න.

යුද්දය පැවති කාලවකවානුවේ වගේම ඒ ගැන ජනතාව සහ ප්‍රෙද්ශයේ පොලිසිය හෝ ආරක්ෂක අංශ සමඟ සැලසුමක් හදාගැනීම වැදගත්. යාම්තම් බෝම්බ පිපිරිලා ඉවරයි කියල සැනසීමෙන් ඉන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි මේ. රටේ හැම අස්සක මුල්ලකම ජනතාව අවදියෙන්, සෝදිසියෙන් සිටීම වැදගත්.

හැකි නම් ප්‍රෙද්ශයේ ආගමික නායකයන් එක්ක කතා බහ කරල තමන් ඉන්න පැතිවල ආගමික ගැටුම් ඇති නොවෙන්න වැඩ පිළිවෙලක් සකසන එකත් වැදගත්. ඊයෙ සවස මුස්ලිම් සහෝදර පිරිසක් සහ ක්‍රිස්තියානි සහ වෙනත් සමාජ කණ්ඩායම් අතර පැවති හමුවකදි දැක්ක දෙයක් තමයි ඒ අයත් පුදුමාකාර බයකින් ඉන්නෙ. කරන්නෙ මොනවද හිතාගන්න බැරි අවිනිශ්චිත තැනක ඉන්නෙ. කොටින්ම සුදු කොඩියක් දැම්මත් අනතුරක් වෙයිද කියන බය ඔවුන් තුළ තියෙනවා. උපන් දා ඉඳන් දන්න අඳුනන මුස්ලිම් සහෝදරත්වය අවස්ථාවාදයේ ගොදුරක් වෙන්නට ඉඩ නොදීමත් අපගේ වගකීමක්.

මට දුකයි... හරිම දුකයි. ඒ වගේම අපේ දරුවන්ගෙ අනාගතය ගැන බයයි. ඒ ගැන නම් ලියන්න වචන මතක් වෙන්නෙ නෑ. අවුරුදු නිවාඩුවට ගිය ගමන මේ සිදුවීම් වෙද්දිත් මම උන්නෙ ගමේ. අපි අඬා වැළපෙද්දි, බයේ ටීවී එක වටේ එක් රොක් වෙද්දිත් අපේ පුංචි පැටව් ටික කෑ කොස්සන් ගගහ සෙල්ලම් කර කර උන්නා. එයාල යුද්දෙට පස්සෙ උපන් අය. ඒ බිය ගැන එයාල දන්නෙ නෑ. මට දුක මේ විනාස වෙලා යන්නෙ අපේ දරුවන්ගෙ හෙට දවස.

තවත් මතක් වෙන විදියට පසුව ලියන්නම්.



Thursday, April 11, 2019

#PowerCutPoems


අඳුර ය... අඳුර ය
අන්ධ අඳුර ය සැමත
දෑස් වසා ගත්
නීතියේ දෙවඟන
නිරුවතිනි...

පන්සල්, පල්ලි, කෝවිල් ගැබෙන්
ශාස්තෲන් පළවා හැර
රජ කරයි
අධර්මයේ අඳුර...

නොමිනිස් විදුලි සැරෙන්
දා පිලිස්සී ගිය දේශයක
මිනිසිබවේ පහනක් දල්වනු රිසින්
මේ අන්ධකාරයේ
සුසුම හා එක්වන්න...


ගතු කියා කුමකටද
කළුවරට
නිවී ඇති දා
හදවතේ පහන...
අඳුරම මිස
වෙලාගත් දසත
ආලෝකයක් කොයි වෙද
තියුණු අසිපතක් ගෙන එන්න
ප්‍රේමයේ
කපන්නට මේ කට්ට කළුවර
කුට්ටි කුට්ටි...


ක්ලික් ක්ලික්
ඔරලෝසුවට නෑ වගක්
එළිය ඇතත් නැතත්
මදුරුවනේ
ඇයි මෙච්චරම කලබලේ
බිතෝවන් සිම්පනියක් තරම්
මිහිරියි කියා හිතුවාද
ඔය චර බරේ...
හිතුව මදි අල්ලාගන්න
දැල එළාගත්තේ කළින්ම
නා නාප්‍රකාර මදුරු සංගීත සාජ්ජ
කොයික වුව දැන්
හා හා දැලෙන් එපිට....


සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යනවද
රෑ තාරකා එළි
වැව් දියට පෙම් බැඳ
රටා මවනවද
කණමැදිරි රංගන
මුතු මුතු ඇමිණි
කලඑළි දැකලද...
නොදනිම්...
දොර ඇරන් එළියට එන්න
මේ රැයේ මිහිරිම වෙලාවයි
රත්න ශ්‍රී කිව්වත්
මේ අන්ධකාරේ දොර ඇරන්
කොහොමද
සොරුන්ගේ වෙලාවය...
තෙමාගෙන යම්තමින් මුණ
තුන්කාසෙන් දහදිය වැගිරි වැගිරී
ඉද්දී මෙහෙම කළුවරේ
ජීවිතේ සුන්දරද මෙතරම්
ගීතයම මතක් වෙන හැටි...

(ආණ්ඩුව කරන්ට් කපද්දි හොරුන්ට රජ මගුල්ලු. සැලකිල්ලෙන් ඉන්න. )


මං කැමති
මේ අන්ධකාරෙට
දොර ඇරන් එළියට
යා නොහැකි...
හද දොරගුළු ඇරන්
මට මා තුළටම
යා හැකි...


අන්ධකාරෙට වුණත්
ඇස් ඇති
හඳ එළියක්ව
තරු කිරණක්ව
ඒ නෙත් කැල්ම
දැල්වෙනු ඇති...
මුදු සුසුමක්ව
පිනි කඳුලක්ව
තෙත ඇස්වලින්
හඬනවත් ඇති...
තිත්ත කළුවරටත්
සත්තකට
කාටත් නොපෙනෙන්න
රහසින් හඬන
හිතක් ඇති...
පිච්ච සුවඳකටත්
අච්වු කරනට හැකි
දුක් කතාවක්
කට්ට කළුවර රෑකත්
ඉකිගසනු ඇති....


කවදාවත්ම
හමු නොවූ
නොනිවී දැල්වෙන බව කියූ
ඒ පහන...
දැන් ඉතින් 
කුමකට...

Monday, April 1, 2019

හිරු මියැදී නැත...

Abstract Painting - Women Power by Chetna Pandya

( රාජ්‍ය සේවයට පැමිණි අලුත කුමක් හෝ තරඟයකට ලියූ කෙටිකතාවකි. පරණ සීඩීයක තිබී හමුවිය. එදා තිබූ සිහින අදත් ඇත. වෙනසකට ඇත්තේ එදත්, අදත් සිහින වෙනුවෙන් වැඩ කරන බිම ඇත්තේ රාජ්‍ය සේවයෙන් පිටත වීම ය. එදා ලියූ කතාවේ කිසිදු වෙනසක් නොකළෙමි. මේ රාජ්‍ය සේවිකාවගේ කෙටි කතාවට බ්ලොග් මිතුරනි, සිනා නොවනු මැනවි. ☺)


වෙල් යාය කෙළවරේ පොල් රුප්පාවට ඉහළින් බැස යන හිරුගේ රැස් දහර තැවරී ඇත. ඉපනැල්ලෙන් වැසුණු ලියදිවල තවමත් ගවයෝ කිහිපදෙනෙක් උලා කමින් සිටිති. වෙල් යාය මැද කුඹුක් ගසින් වටවුණු කමතේ පිදුරු කඳු ගොඩ ගැසී ඇත. කෙත් යාය රන්වන් අස්වැන්නට සමු දුන්නත් හමනා මද සුළෙඟ් තවමත් නැවුම් අස්වනු සුවඳ රැඳී ඇත. 

ධරණී වෑකන්ද මතදී බයිසිකලයෙන් බැස තල්ලූ කරගෙන යන්නට සිතුවේ මේ සැඳෑ අසිරිය නෙත් පුරා, සිත් පුරා දකිනු විඳිනු රිසියෙනි. අගනගරයේ මුඩුක්කු පරිසරයක ඉපිද හැදී වැඩුණු ඇයට මේ ගම්බද සිරිය කොතෙක් නැරඹුවද එපා වීමක් නම් නැත. 

සැඳෑ හිරු රැස් විඳිමින් වෑ කන්ද දිග ඇවිද යාම අතිශයින් සුන්දර අත්දැකීමකි. වෑ කන්ද දෙපස මැයි ගස් කිහිපය සෙවණ ද, සිහිල ද, චමත්කාරය ද  නොඅඩුව ලබා දෙයි. ධරණීගේ අදහසක් අනුව ගොවි සමිතිය මගින් මෑතකදී සිටුවන ලද මැයි පැළ කිහිපය මද සුළෙඟ් නැළවෙමින් රංගනයක යෙදෙයි. 

වැවේ ජල මට්ටම අඩු වුව ද නිල්ලට වසා ගත් නෙළුම් කොල යාය මැදින් පෙති හකුලා ගන්නා නෙළුම් මල් ද, නෙළුම් පොහොට්ටුද කොතෙකුත් දැකිය හැකිය. වැව ප‍්‍රතිසංස්කරණයට ගමට වෙන් වූ මුදල් කාන්තා සමිති භාරයට ගෙන නිසි අයුරින් වැව සඳහාම යොදවමින් කටයුතු කළ බැවින් මෙවර අස්වැන්නද සරු විණි. අලුත විවාපත් මනාලියක් මෙන් වැව් කොමලියද සුන්දරත්වයෙන් පිරිපුන්ය.   

වෙල් යායට එපිට පොල් රුප්පාවේ අතු අතරින් පෙරී එන බැස යන හිරුගේ අවසන් රැස් දහර දෙස ධරණී බලා සිටියාය. 

...............................................................

‘‘ මෙහෙම දෙයක් වෙයි කියල මං හීනෙකින්වත් හිතුවෙ නැහැ ධරණී. ඔයාගෙ උගත්කම, තනතුර නිසාවත් අපේ ගෙදරින් කැමති වෙයි කියලයි මම හිතුවෙ.’’ 

මාධව කීවේ නගින බසින රළ දෙස බලාගත්වනමය. වසර කිහිපයක අතීතයට එක් වූ ඒ ඔවුන්ගේ අවසන් හමුවීමයි. ඒ මොහොතේද සිතිජය කෙළවර හිරු ගිළෙමින් තිබිණි. බැස යන හිරුගේ අවසන් රැස් දහර සයුරු දිය මත නෙක සිතුවම් මවමින් තිබිණි. 

‘‘ මගේ උගත්කමයි, තනතුරයි නිසා නම් මට ආදරය කරන්න එපා සර්. මට තේරෙනවා මමයි වැරදි. ආදරය සම්බන්ධයෙන් මම හරි තෝරා ගැනීමක් කරල නැහැ.’’ 

ධරණී හෙමිහිට වදන් ගොනු කළාය. හඬා වැටෙන්නට තරම් වේදනාවක් තිබුණද ඇය කඳුළු සඟවා ගත්තාය. විවාහය නම් වන සුර ලොව පිළිබඳ ඇය නෙක විසිතුරු සිහින ගෙත්තම් කළේ මේ උගත්, ධනවත්, කුලවත් පුරුෂයා කේන්ද්‍ර කර ගනිමින් නොවේද? ඒ සිහින බිඳී විසිරුණු කැට කැබිලිතිවලින් සීරුණු ඇගේ හදවතින් ලේ ගලයි.

‘‘ මට සමාව දෙනවද ඔයා. ’’ 

මාධවගේ බැල්ම ආයාචනාත්මකය. ඔහු ඇගේ දෑතම සිය දෑතට මැදි කර ගත්තේය. 

‘‘ කමක් නැහැ සර්. මගෙ හිතේ තරහක් නැහැ. හිත හදා ගන්න බැරි තරම් දුරදිග ගිය බැඳීමක් අපි අතර තිබුණෙ නැහැනෙ.’’ 

ධරණී හෙමිහිට සිය දෑත මුදා ගත්තාය. 

විශ්ව විද්‍යාලයෙන් පිට වී රැකියා විරහිත උපාධීධාරී ලේබලය යටතේ විවිධ සුළු සුළු රැකියාවන්හි නිරතව සිටින අතරතුර ධරණී ක‍්‍රම සම්පාදන සේවයේ විවෘත තරඟ විභාගයට පෙනී සිටියාය. සිහිනයක් ලෙස සිතූ රාජ්‍ය සේවයේ මාණ්ඩලික තනතුරකට පිවිසීමේ දොරටු විවර වූයේ එමගිනි. 

රජයේ ප‍්‍රධාන අමාත්‍යාංශයක මුල්ම පත්වීම භාර ගත් දා ඇගේ ආසන්නතම විධායක නිළධාරියා වූයේ මාධව දිසාසේකරය. ධරණීගේ උද්‍යෝගිමත් සේවා රටාවටත්, ළගන්නාසුලු කතාබහටත් මේ වැඩ බලන අධ්‍යක්‍ෂකවරයාගේ හිතේ මල් පූදින්නට විය. 

එමල් මැල වී ගියේ පිපුණාටත් වඩා ඉක්මණින් අකලටය.

ධරණී ස්ථාන මාරුවක් ලබා ගත්තාය. ඒ විශ්ව විද්‍යාල මිතුරියකගේ ගම්පියසටය. මිතුරිය විවාපත්ව අගනුවර ආසන්නයේ කුලී නිවසක වාසය කරද්දී, ධරණී මිතුරියගේ නිවසේ දියණියකගේ අඩුවද සපුරාලමින් නව දිවිය සතුටින් පිළිගත්තාය. ආසන්න නගරයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇගේ සේවා ස්ථානය විය. 

හිරු දිලී නිවී ගිය මාස කිහිපයක් අතීතයට එක් විය. මගතොටේදී, බස්රියේදී, කෙතේ කමතේදී, නාන තොටුපළේදී ගම්මුන් හා සුහද වීමට  ඕනෑ තරම් අවස්ථා ලැබිණි. විශේෂයෙන් ගැමි කාන්තාවන් ධරණීගේ සිත් ඇඳ බැඳ ගත්තාය. ඔවුන් ගෙන යන දුෂ්කර ජීවන අරගලය ඇගේ සිත සංවේගයෙන් පුරවන්නට විය. මේ අතර කාර්යාලයේ ඒකාකාරී ජීවන රටාවෙන් ධරණී විඩාපත් වූවාය. මිනිසුන්ගේ ජීවිතයට වඩාත් සමීපව කටයුතු කළ හැකි මගක් පිළිබඳව ඇගේ සිත නිරන්තරයෙන් විමසිලිමත් විය. 

‘‘ උපන්නාට ඔහේ නිකම්ම ජීවත් වෙලා වැඩක් නැහැ... අර්ථයක් ඇතිව ජීවත් වෙන්න  ඕනෙ..’’ විශ්ව විද්‍යාලයේ සමාජවාදී මිතුරකු කී කතාවක් ඇයට නිරන්තරයෙන් සිහිපත් විය. 

නාන මංකඬේදී හිතවත් වූ කාන්තාවන් කිහිප දෙනෙක් සම්බන්ධ කර ගනිමින් ඇය කුඩා කාන්තා සමිතියක් පටන් ගත්තේ කාර්යාලය තුළ සේවයෙන් තෘප්තිමත් නොවූ සිත සන්සුන් කර ගැනීමටය. එය ‘‘ වැව පාර ’’ සමිතියයි. මෙය ගමේ නව පිබිදීමක් ඇති වන සමාජ ව්‍යාපාරයක් වනු ඇතැයි ධරණී මුලදී නොසිතුවාය.  

උසස්පෙළ සමත්ව විශ්ව විද්‍යාල ප‍්‍රවේශය අපේක්‍ෂාවෙන් සිටිය දී රාජ්‍ය නොවන සමාජ සේවා ආයතනයක සේවය කළ ධරණී කාන්තා එකමුතු මෙහෙයවීම සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් අත්දැකීමක් ලබා තිබුණාය. ඇය එදවස සතියකට කාන්තා සමිති තුනක් කළේ කටේ දිවේ නොගෑවී කුණුහරුප වපුල, වත්තේ  ඕනෑම රණ්ඩුවකට නොපැකිල ඉදිරියට ගිය, කසිප්පු ගංජා විකුණමින් හෝ රෑ මනාලියන් ලෙස හෝ මුදල් හරිහම්බ කළ කාන්තාවන් සමගය. 

එය කොතරම් දුෂ්කර ව්‍යායාමයක් වීද? බොහෝ මානවහිතවාදී වූ වැඩිහිටි කාන්තාවක් ඈ සමග වූ බැවින් ධරණීට මේ කාන්තාවන් සමග කටයුතු කිරීම අසීරු වූයේ නැත. 

ඉදින්, වත්මනේ රාජ්‍ය සේවයේ මාණ්ඩලික තනතුරක් හොබවන ධරණීට ගැමි කාන්තාවන් හා කටයුතු කිරීම අපහසුවක් විය හැකිද? නිහතමානී ගුණයත්, නිරහංකාරබවත්, මානව දයාවත් මිස මිනිසුන්ට සේවය කිරීමට වෙනත් නිලතල, නම්බුනාම අවශ්‍ය නොවන බව ඇය ජීවිතයෙන්ම පසක් කර ගෙන තිබුණාය. 

ධරණීගේ කාන්තා සමිතියේ සාමාජිකයින් දහයකි. රැස්වන්නේ සතියකට එක් වරක් සැඳෑවේය. එයද පැයකට පමණි. ඒ පැය තුළ රුපියල් විස්සක සාමාජික මුදලක් ද, පාරිභෝගික ඉතුරුම් සඳහා තමන් කැමති මුදලක්ද එකතු කරනු ලැබේ. 

‘‘ මේ සල්ලි ඔයාලම හොයා ගන්න  ඕන... මහත්තයගෙ පොකට් එකෙන් ගෙනත් ඉතුරු කරන එක හරි නෑ... වගාවක් කරල... කඩයප්පන් ටිකක් හදල, පරණ පත්තර විකුණල හරි සමිතියට ගේන්න  ඕන තමන්ම හරිහම්බ කර ගත්ත මුදලක්...’’ ධරණී සෑම සමිතියකදීම මේ කතාව අවධාරණය කළාය. 

සමිති වේලාවෙන් පැය භාගයක් වෙන් වන්නේ දැනුවත්වීම සඳහාය. බොහෝ විට මේ අවස්ථාවේ දී කාන්තාවන්ගේ ජීවිතයට වැදගත් වන කරුණක් පිළිබඳව කතා කළේ ධරණී විසිනි. යම් අවස්ථාවල ඇය කාන්තාවන්ට අර්ථවත් ගීතයක්, පොතක් හඳුන්වා දුන්නාය. රූපවාහිනී වැඩසටහනක්, ටෙලිනාට්‍යයක් ගැන කතා කළාය. ගැමි කාන්තාවන්ගේ අවුල් තැවුල් හිදී දුක්ගන්නාරාළගේ වගකීමද දයාවෙන් ඉටු කළාය. 

මුල්ම කාන්තා එකමුතුවේ සාර්ථකත්වය මත තවත් සමිති තුනක් මැද පාර, බුලත්කොරටුව, වළං ගංගොඩ ලෙසින් ආරම්භ විය. වළං ගංගොඬේ සමිතිය නම් ධරණීගේම හිතුවක්කාර උත්සාහයක ප‍්‍රතිඵලයකි. අතීතයේ දී ගමට වළං සැපයූ කුල හීන පිරිස මේ ගංගොඬේ ජීවත් වුහ. දැන් මැටි වළං සාදන පවුල් දෙක තුනකට වඩා නැතත් ඔවුන් සමග අනෙක් කුලීන ගම්මුන්ගේ වැඩි පයුරුපාසානමක් නැත. එහෙව් වළං ගංගොඬේ කාන්තා සමිතියක් පිහිටුවන්නටද එම සමිතිය අනෙක් කාන්තා සමිති හා සම්බන්ධ කරමින් විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්නටද ධරණිට හැකි වීම සැබවින්ම ජයග‍්‍රහණයකි. 

ප‍්‍රදේශයේ කිසිවකු අමනාප කර ගනිමින්, සතුරන් කර ගනිමින් ගමේ දියුණුවක් පිළිබඳ සිතිය නොහැකිය. කාන්තා සමිති මාර්ගයෙන් වැඩිහිටියන්, ඔවුන් සමග බැහැ දැක්මෙන් ගමේ පන්සලේ හාමුදුරුවෝ, පන්සලේ පියතුමා දැන හඳුනා ගන්නාට ධරණි සමත්  වූවාය. 

මුඩුක්කුවේදී ගණිකාවන්, කුඩුකාරයින්, චණ්ඩින්, අන්ත දිළින්ඳන් ආදි වූ ජීවිතයේ අඳුරු කටුකත්වය ස්පර්ශ කරන සියල්ලන්ගේ දයාබර දියණිය, මිතුරිය, සොයුරිය වෙමින් විශ්වාසය දිනා ගත් ඇයට ගම්මුන් හා සමීපව කටයුතු කිරීම අසීරු වූයේ නැත. 

මතු පිටින් සිනාසෙන, ඇතුළතින් උගුල් අටවන සතුරන් රැසක්ද තමන් වපුරා ගන්නා බව ධරණී නොදැන සිටියා නොවේ.  

වසර දෙකක් ගත වූයේ තමා මුඩුක්කුවක ඉපදී හැදී වැඩුණු බව ද ධරණීට අමතක කරවමිනි. 


දිනක් සැන්දෑ යාමයේ සමිති හතරේම කාන්තාවන් දහයක් පමණ ධරණි හමුවන්නට පැමිණියහ. නිවස ඉදිරිපිට අඹ ගස් සෙවණේ තණ බිස්සේ වාඩි ගත් ඔවුහු සුහද කතාබහක් ඇරඹුහ. 

‘‘ අනේ නෝනෙ අපි හිතුවෙ නෑ මේ වැඬේ මේ තරම් සාර්ථක වෙයි කියල... දැන් අපේ ඉතුරුම් තියෙනවා.. රුපියල් පණස්දාහක් විතර.... අපි ගිය සතියෙ රුපියල් පන්දාහක ණයක් දුන්නා සිරියාවතීට කරවල වෙළඳාමක් පටන් ගන්න. රුපියල් දාහ දෙදාහ ණය දුන්න ඒව ටික ටික එකතු වෙනවා. සීයට දෙකක් පොලියට ණයක් ගන්න පුළුවනෑ කොහෙන්වත්. පාරිභෝගික ඉතුරුම් රුපියල් විසිදාහක් තියෙනවා... දන්නෙම නැතිව සල්ලි එකතු වුණා... ’’

‘‘ ඔව් නෝනෙ...’’ සමන්මලී කතාව පටන් ගත්තාය. ඇය තරුණ මවකි. වැව පාර සමිතියේ ලේකම්ය. 

‘‘ අපි දැන් කුස්සියට බඩු ගන්න සීට්ටුවකුත් දානව... මාසෙකට සැරයක් රුපියල් පන්දාහක් එකතු වෙනවා.. ඒක සැරින් සැරේ තියෙන හැටියට දෙන්න පුළුවන්.. සල්ලි අතට දෙන්නෙ නැහැ.. අපි දෙන්නෙක් ගිහින්  ඕන කරන දේ කඩෙන්ම අරන් දෙනවා... මේ සීට්ටුව ඉවර වුණාම මුදු සීට්ටුවක් දාන්න  ඕන නෝනෙ... අපේ කාගෙවත් අත්වල මගුල් මුද්දවත් නෑනෙ.... ’’

සිහින් සිනාවක් කාන්තාවන් අතරින් මතු විය. එය ලැජ්ජාශීලී, බලාපොරොත්තු පිරුණු අපූරු සිනා රැුල්ලකි. ධරණීගේ මුහුණ දැන් පිපුණු පියුමකි. 

‘‘ අපි සමූපෙ මැනේජර් එක්ක කතා කලා... අපේ පාරිභෝගික ඉතුරුම්වලින් අපි කිව්ව එක සැරේ රුපියල් විසිදාහක බඩු ගන්නවා.. අපිට හොඳම පරිප්පු, සීනි, කරවල වගේ බඩු  ඕන කියල... මැනේජර් කිව්වා තොග මිලටම වගේ දෙන්නම්  කියලත්...මේක හරි හොඳ වැඩක් මිස්... මිස්ට පින් සිද්ධ වෙනවා අපිව එකමුතු කරල මේ වගේ වැඩක් පටන් ගත්තට... නැත්නම් හැමදාම බත් හැලි තම්බ තම්බ කුස්සිය මුල්ලෙයි, අව්පූටකේ පිච්චි පිච්චි කුඹරුවලයි තමයි ජීවිතේ... ’’ 

එසේ කීවේ සඳමාලිය. ඇය උසස්පෙළ සමත් අවිවාහක තරුණියකි. එක් සමිතියක භාණ්ඩාගාරික ධූරය උසුලන්නීය. ධරණී අසා සිටියා පමණී. වසරක් පමණ කෙටි කාලයක් තුළ මෙවන් දියුණුවක් නූගත් ගැමි කාන්තාවන් වෙතින් ඇය බලාපොරොත්තු නොවූවාය. නමුත් ඔවුන්ගේ ජීවිතයට අවංක ආදරයකින් ළං වෙමින් නිසි මග පෙන්වන්නේ නම් උසස් අරමුණු කර කොතරම් පහසුවෙන් ළඟා විය හැකිද? 

ගම දියුණු කළ හැක්කේ ගම්වැසියන්ගේම හැකියාවන් හා සම්පත් එක්තැන් කිරීමෙනි. සංවර්ධනය හෝ දියුණුව මිනිසුන් පිට බලෙන් පැටවිය නොහැක.  එය මිනිසුන්ගේ සැබෑ අවශ්‍යතා, දේශයේ අවශ්‍යතා තුළින් පැන නැගී සොබාදහමද රැුක ගනිමින් ඉදිරියට යා යුතුය. ගම් පියසේ කාන්තාවන් හා එක්ව කළ සේවය තුළ ධරණී මේ සත්‍යය අවබෝධ කර ගත්තාය. 

‘‘ දැන් නෝනෙ දෙසැම්බර් මාසෙ අපි අර ගීත වැඩසටහන කරනවද? අපේ සමිති හතරම එකතු උණොත් නම්  ඕක මහ කජ්ජක් නෙමෙයි... ’’ 

උඳුවප් මහේ කරන්නට අදහස් කරන ගීත වැඩසටහන සිහි ගැන්වූයේ කමලාවතීය. කමලාවතී වැන්දඹුවකි. අවුරුදු හැට පහක් පමණ වනු ඇත. එකම දුවණියද දීග තල දී නිදහසේ දිවි ගෙවන ඇය තරුණ මව්වරුන් හා කරට කර වැඩ කරන්නේ  ‘‘ මම දැන් මේ පැත්තට වඩා ඒ පැත්තට නෝනෙ... උන්නත් දාහයි මළත් දාහයි. ’’ කියමිනි. 

‘‘ මගේ විශ්ව විද්‍යාල යාළුවො ටිකක් කරන්නෙ මේ වැඩසටහන.. පවුල් ජීවිතය, ආදරය, දරුවො, මහළු වයස මේ වගේ තේමා ගැන ගීත එක්ක කතා කරන වැඩසටහනක්... නිවහන නිවන ගී.... ලොකු වියදමක් යන්නෙ නැහැ.. කරන්න පුළුවන්... දැන් මේ යන විදියට නම් ඊට වඩා දේවල් උණත් කරන්න පුළුවන් වේවි.. බණ්ඩාර දෙවිගමට ’’ 

ධරණි සිනාමසුව පැවසුවාය. කාන්තාවන්ගේ ප‍්‍රීතිමත් සිනා හඬද සැන්ඳෑවේ කැදලි කරා පියා සලන කුරුළු කෙවිල්ලන්ගේ හඬ හා මුසු විය. 

සඳමාලි වට පිට බලා ධරණී වෙතටම බර වූයේ රහසක් කියන්නට මෙනි. ගැමි කාන්තාවන්ගේ සිනා මුහුණු මැළවෙන්නට වූයේ එක්වනමය. සැදැ අඳුරත් සමග වැවේ නෙළුම් මල් පෙති හකුලා ගන්නාක් මෙනි. 

‘‘ මිස් අපි වැඩියක්ම ආවෙ වැදගත් කාරණයක් ගැන කියන්න. ගමේ හැම වැඩක්ම කොන්ත‍්‍රාත් අරන් කරපු ජයසිංහ මහත්තයයි, මන්ත‍්‍රීතුමයි මිස් එක්ක හරිම කේන්තියෙන් ඉන්නෙ. පහුගිය ග‍්‍රාම සංවර්ධන සමිතියෙදි කෑ ගහල තියෙනවා මිස්ව මාරු කරනවා කියල. ඒ ගොල්ලො තරහයි වැව හදන වැඬේ අපි බාර අරන් කළාට. වෙනද කුට්ටි පිටින් එයාටලටනෙ. ඉතුරු සල්ලිවලින් අපි ළමයින්ට පුස්තකාලයක් හදන්න යන එකත් ආරන්චි වෙලා. ’’

ධරණී නෙත කඳුලක් උපන්නේ කාන්තාවන්ගේ ළෙංගතුකම දැකීමෙනි. කාර්යාලීය දුරකථනයට එන තර්ජනාත්මක ඇමතුම් මේ සංසිද්ධියේම දිගුවක් විය හැකිය. ඈ සිත බියක් උපන්නේ නැත. ප‍්‍රාදේශීය ලේකම්වරයා ඇයට අවවාද අනුශාසනා දුන්නේ වරක් දෙවරක් පමණක්ම නොවේ. ඈ සිටියේ නෑසුකන් ඇතිවය. 

‘‘ ධරණී මිස්.. මේ ඔයාගෙ වැඩ හින්ද මමත් නිකරුණේ අමාරුවෙ වැටෙනවා.. සභාපතිතුමාට හොඳටම කේන්ති ගිහින් ඉන්නෙ.. ඊයෙ හැන්ඳෑවෙ මගේ ක්වාටස් එකටම ඇවිත් කෑ ගහල ගියා. මිස්ව මේ වැඩවලින් අයින් කරන්නලූ... නැත්නම් මාරු කරල අරින්නලූ.. 

‘‘..... එක්කො ඔය බහුබූත වැඩ නවත්තනවා... නැත්නම් මාරුවක් අරන් යනවා... වැඩිහිටියෙක් විදියටයි මම මේ අවවාදය දෙන්නෙ... ඇමතිතුමාගෙ කණට මේ කුණුකන්දල් ගියොත් මටත් මෙහෙන් මාරු වෙලා යන්නයි වෙන්නෙ... ගෑණුත් එක්ක මොන සංවර්ධනයක්ද? ’’

ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ වදන් රළුය. දැඩිය. එය තර්ජනයකි. ප‍්‍රාදේශීය දේශපාලන බලාධිකාරයේ ගිනි පුපුරු එහි සැඟවී ඇතුවාක් මෙනි. නමුදු දෑස්වල දයානුකම්පාවක සේයාවක් දැවටී ඇත. ධරණීට ඔහු පිළිබඳව අමනාපයක් දැණුනේ නැත. 

අතීත මතකයෙන් සිහි කැඳවා ගත් ධරණී නැවතද කාන්තාවන්ගේ තැවුල් මුහුණු දෙසට සිත් යොමු කළාය. 

‘‘ අපි රාජ්‍ය සේවයට එන්නෙ ලංකාවෙ කොහේ උණත් වැඩ කරන්න එකඟයි කියලනේ. ඒ නිසා  ඕනැම තැනකට යන්න මම නම් ලෑස්තියි. කොහෙම උණත් මට නම් හරිම සතුටුයි, ඔයාලගෙ දියුණුව ගැන. දැන් මම නැති උණත් ඔයාලට පුළුවන් බණ්ඩාර දෙවිගම වෙනුවෙන් හොඳ වැඩ කොටසක් කරන්න. තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරනව කියල අපේ පැරැුන්නො කිව්වෙ ආවට ගියාට නෙමෙයිනෙ..... තමන්ගෙ හදවතට එකඟව යහපත් වැඩක් කරන්න පසුබට වෙන්න එපා... ’’

ධරණී පැවසුවේ තමා වෙතට එල්ල වී ඇති සෑම දෙනෙතක්ම තම දෑසින් ග‍්‍රහණයට ගනිමිනි. 

කාන්තාවන්ගේ අනාවැකිය තුන්මසක් ගත වන්නටත් පළමුව සැබෑ විය. ධරණීගේ මාරුව මොරවැව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයටය. ධරණීට නම් එය දඬුවමක් නොව ආශිර්වාදයකි. යුද්ධයෙන් පීඩා විඳි මායිම් ගම්මානවල ජනතාවට සේවය කරන්නට ඈ සිත කිසිදු පැකිලීමක් නැත. දුෂ්කර ප‍්‍රදේශයක සේවයෙන් ජීවිතයේ නවමු අත්දැකීමක් විඳීමේ අපේක්‍ෂාවෙන් ඇය කාර්යාලීය හිතවතුන්ගෙන් සමු ගත්තාය.

පන්සලේ පැවති සමුදීමේ උත්සවයෙන් පසුව නවාතැනට පැමිණෙන අතර ධරණී වෑ කන්දේ නැවතුණේ බණ්ඩාර දෙවිගමට ඉහළින් බැස යන හිරු අවසන් වරට ද දකිනු රිසියෙනි. 

ජීවිතය නිමා නොවන දිගු ගමනකි. බණ්ඩාර දෙවිගම එක් නවාතැන්පළක් පමණි. ධරණී එයින් සමුගන්නේ බොහෝ සිත්සතන්වල ප‍්‍රසන්න හැඟුමක් ඉතිරි කරමිනි. ධරණී සිත තුළ ශෝකයක් පැවතියද තෘප්තිමත්භාවය පරදවන්නට ඒ ශෝකයට නොහැකි විය. 

පොල් රුප්පාව තුළ හිරු ගිලී ගොසිනි. නමුදු නැවතත් හෙට හිරු පායනු ඇත. තල් රුප්පාවට ඉහළින් නැගෙන්නේත් මේ හිරුමය.