පිටු

Tuesday, April 23, 2019

මේ විනාස වෙලා යන්නෙ අපේ දරුවන්ගෙ හෙට දවස.


ඊයෙ උදේ වරුව ගෙවුණෙ කටුවපිටියෙ.

ගම ම එකම මළ ගෙයක්. අඩියෙන් අඩියට මළ ගෙවල්. ඒ වේදනාවන්, අඳෝනාවන් ගැන කියන්න වචන නෑ. අම්මල, තාත්තල ඉද්දි දරුවො නැති වෙලා. සමහර දරුවො ඉද්දි අම්මල, තාත්තල නෑ. තවත් අය පවුල් පිටින්. තවත් තැන්වල මළ සිරුරක්වත් නැහැ හඳුනාගන්න.

මේ හැමදේම එහෙම වෙද්දි ඒ අතර නිරීක්ෂණය කළ කාරණා කීපයක් ගැන ලියන්නයි  මේ වෙව්ලන අත්වලින් උත්සාහ කරන්නෙ.

කටුවපිටිය පල්ලිය දෙසට තුන් පැත්තකින් එන පාරවල්වල හැම තැනම මළ ගෙවල්. වාහන තදබදයන්. මේ හැමදේම අස්සෙත් තොරන් බලන්න එනවා වගේ මිනිස්සු එනවා පල්ලිය බලන්න. පාරවල් අවහිර කරගෙන. ආරක්ෂක අංශවලට වුණත් අසීරුයි එන පිරිස පාලනය කරන්න. කටාන පැත්තෙන් සෙබස්තියන් පාරට හැරෙන තැන ගමේ තරුණ පෙළක් හැකි තරම් වාහන හරවා යවන්න හදනවා. නමුත් එතනිනුත් මළගෙවල්වලට යන විදියට බොරු කරල මිනිස්සු එනවා මේ ඛේදවාචකය නරඹන්න.

පුළුවන් තරම් ජනතාව රැස්වන තැන්වලින් ඈත් වෙලා ඉන්න එක තමයි මේ වෙලාවෙ කළ යුත්තෙ. ඒ වගේම නැරඹීම් ආශාව පැත්තක තියල තමන්ගෙ ගම්බිම්වල ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරන එක. නාඳුනන පුද්ගලයින් ගැවසෙනවද? කුලී ගෙවල්වල ඉන්නෙ කවුද? මගතොට ආරක්ෂා සහිතද?

යුද්දය පැවති කාල වකවානුවේ වගේම විශාල මිල ගණන්වලට ගෙවල් කුලියට අරගෙන තාවකාලිකව පදිංචි වෙලා ඉන්න පිරිස් ගැන සැලකිලිමත් වීම වැදගත්.

ඉතාම පැහැදිලියි, ඉහළ ඉන්න හැමෝම දැනන් ඉඳලත් තමන්ගේ ආරක්ෂාව සලසගෙන අහිංසක ජනතාව අමතක කරල උන්නු බව. මාධ්‍ය ඉදිරියේම කියන කරන මෝඩ කතාවලින් ඒ බව පැහැදිලි වෙනවා. දෙතුන් සීයක ජීවිත වන්දියකින් පස්සෙ නින්දෙන් නැගිටල ඉන්න  රජය හරි ආරක්ෂක අංශ මත පමණක් විශ්වාසය තියල වැඩ කරන්නෙ නැතිව අපටත් වගකීමත් තියෙනවා අප අවට වටපිටාව ගැන සෝදිසියෙන් ඉන්න.

යුද්දය පැවති කාලවකවානුවේ වගේම ඒ ගැන ජනතාව සහ ප්‍රෙද්ශයේ පොලිසිය හෝ ආරක්ෂක අංශ සමඟ සැලසුමක් හදාගැනීම වැදගත්. යාම්තම් බෝම්බ පිපිරිලා ඉවරයි කියල සැනසීමෙන් ඉන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි මේ. රටේ හැම අස්සක මුල්ලකම ජනතාව අවදියෙන්, සෝදිසියෙන් සිටීම වැදගත්.

හැකි නම් ප්‍රෙද්ශයේ ආගමික නායකයන් එක්ක කතා බහ කරල තමන් ඉන්න පැතිවල ආගමික ගැටුම් ඇති නොවෙන්න වැඩ පිළිවෙලක් සකසන එකත් වැදගත්. ඊයෙ සවස මුස්ලිම් සහෝදර පිරිසක් සහ ක්‍රිස්තියානි සහ වෙනත් සමාජ කණ්ඩායම් අතර පැවති හමුවකදි දැක්ක දෙයක් තමයි ඒ අයත් පුදුමාකාර බයකින් ඉන්නෙ. කරන්නෙ මොනවද හිතාගන්න බැරි අවිනිශ්චිත තැනක ඉන්නෙ. කොටින්ම සුදු කොඩියක් දැම්මත් අනතුරක් වෙයිද කියන බය ඔවුන් තුළ තියෙනවා. උපන් දා ඉඳන් දන්න අඳුනන මුස්ලිම් සහෝදරත්වය අවස්ථාවාදයේ ගොදුරක් වෙන්නට ඉඩ නොදීමත් අපගේ වගකීමක්.

මට දුකයි... හරිම දුකයි. ඒ වගේම අපේ දරුවන්ගෙ අනාගතය ගැන බයයි. ඒ ගැන නම් ලියන්න වචන මතක් වෙන්නෙ නෑ. අවුරුදු නිවාඩුවට ගිය ගමන මේ සිදුවීම් වෙද්දිත් මම උන්නෙ ගමේ. අපි අඬා වැළපෙද්දි, බයේ ටීවී එක වටේ එක් රොක් වෙද්දිත් අපේ පුංචි පැටව් ටික කෑ කොස්සන් ගගහ සෙල්ලම් කර කර උන්නා. එයාල යුද්දෙට පස්සෙ උපන් අය. ඒ බිය ගැන එයාල දන්නෙ නෑ. මට දුක මේ විනාස වෙලා යන්නෙ අපේ දරුවන්ගෙ හෙට දවස.

තවත් මතක් වෙන විදියට පසුව ලියන්නම්.



11 comments:

  1. 56දී සිංහල රාජ්‍ය භාශාව කලා ඊට පස්සේ 83 වෙනකම් දිගටම අහිංසක දෙමළ මිනිස්සුන්ට වධ හිංසා කලා අන්තිමට බැරිම තැන ඒ මිනිස්සු තුවක්කු අතට ගත්තා. සතෙක්ට වුනත් දිගටම ගහනකොට ඌ හපා කනවා.

    මෙතනත් වුනේ එහෙම දෙයක්. මේක තනිකරම උඹලගේ වැරැද්ද. උඹළත් මුස්ලිම් මිනිස්සුන්ට වැරදි කරලා තියෙනවා. ඒ නිසා තමයි ඒ මිනිස්සු රිටන් එක දුන්නේ. තොපිට සාදු. දැන් ඉතින් මුස්ලිම් මිනිස්සුන්ගේ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගනිල්ලා. පුළුවන්නම් "ද්‍රෝහියාගේ හෘද සාක්ෂිය" වගේ පොතකුත් ලියන්න.

    ReplyDelete
  2. Replies
    1. මෙ ලිපිය ඉතා වැදගත්. විනාස උනු පල්ලිය පරම්පරා ගණනක මිනිස් හදවත්වල වගා කරගත් ආගමික සාරධර්ම වල ශුද්ධ වූ සංකේතයක්. එය ආපසු ගොඩනැගිය යුත්තේ එහි සිටි අහිංසක මිනිස්සුන්ගේ ජීවිත පරිත්‍යාගයේ ස්මාරකයක් ලෙස මෙන්ම ඒ අහිංසක ජීවිත සහ එම ස්ථානය විනාශ කළ නොමිනිසුන්ගේ අපේක්ෂාවන්ට වඩා ඉහලින් නැගී සිටිමින් මෙවැනි දෑ නැවත සිදුවීම වලකාලන්නට අප තුළ ඇති අධිෂ්ඨානයේත්, කැපවීමේත් සංකේතයක් ලෙසමයි. දිවි සුන් නෑ සියන්ගේ වියෝගයෙන් උපන් දුකත් අනාගතය පිළිබඳ අවිනිශ්චිත භාවයත් මැද අසරණව සිටිනා කටුව පිටිය වැනි මේ අනතුරට මුහුණ පෑ ප්‍රදේශවල අප සහෝදර ජනතාවගේ යහපත සඳහා ක්‍රියාකිරීමයි අපකළයුත්තේ. මේ විනාශයේ වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම සඳහාත් තවත් මෙවැනි විනාස සිදුවීම වලකාලීමටත් කටයුතු කරමින් සිටින ආරක්ෂක අංශවල නිළදාරී මහත්ම මහත්මාවන්ට සහයක් ලෙස ඔබ කී පරිදි සංචාරක මානසිකත්වයෙන් පමණක් එහි යාමෙන් වැලකිය යුතුයි.

      Delete
  3. ලඟට ගිහින් දැනට මොකුත් කරන්න බැරි වුනත් මේ අසරණ වෙච්ච මිනිසුන් වෙනුවෙන් උපකාරී කල හැකි විදි තියෙනවනම් දැනුවත් කරන්න. ඔබ එහි ගිය නිසා නියම ස්භාවය තේරුම් ගන්න පුළුවන් ඇති. දුක් වීමත් කේන්ති ගැනීමත් ඇර තවත් බොහෝ දේ කරන්න පුළුවන් කියල හිතෙනවා

    ReplyDelete
  4. දුකයි තමයි තරු රසී. අපි හැමෝම ගැන දුකයි. අද එයාලා. හෙට අපි වෙන්න පුළුවන්. 'අපි වෙනුවෙන් අපි' කරන්න පුළුවන් දෙයක් ගැන හිතමු.

    ReplyDelete
  5. අගරදගුරු උන්නාන්සෙගෙ ඉවසීම නං අගේ කළයුතු දෙයක්. මේ දවස් ටිකේ උන්වහන්සෙගේ කතාවෙන් මේ රටේ ඇතිවන්නට ගිය මහා ව්‍යසනයක් නැවතුනා. උන්වහන්සේ හැබෑ ආගමික නායකයෙක්.

    ReplyDelete
  6. වෙච්චි දේට හරිම දුකයි නන්ගි . කියන්න වචන නැහැ, මේ දේශපාලන ගේම් එක නවත්වන්න ඕනේ කියල මේ මිනිස්සුන්ට හිතෙන්නේ නැත්ද ? ඔයාලටම තමා අන්තිමට වගකීම පැටවෙන්නේ සංහිඳියාව තබා ගන්නත් . ඔයාට මතකද ඔක්තෝබරයේ ආපු වෙලෙත් අපි ඔය පැත්තෙනේ හිටියේ. ඒ අහිංසක මිනිසුන්ටනේ මේක වුනේ

    ReplyDelete
  7. ඔයාට පුළුවන් දේශද්‍රෝහියාගේ හාද සාක්ෂිය-2 කියලා කතෝලික ගමක ඉන්න මුස්ලිම් පවුලක තරුනයෙක් ත්‍රස්තවාදියෙක් වුන හැටි කියැවෙන කතාවක් ලියන්න.

    ඒ වගේම ඔයාගේ NGO එකේ ඉන්න මුස්ලිම් කොල්ලෙක් එක්ක විවාහ වෙලා ජාතික සමඟිය ගැන ආදර්ශයක් දෙන්න.

    ReplyDelete
  8. බෝම්බයෙන් පස්සෙත් එන්නේ බොහෝ දෙනෙක්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර විතරයි. ෆේස්බුක් එකේ වුණත් වෙලාවේ හැටියට හිතලා මතලා කටයුතු කලේ ඉතාම සුළු පිරිසයි. හරිම අවසනාවන්ත තත්වයක්.

    ReplyDelete
  9. පෙරේදා උදෙත් අපේ ගෙවල් ළඟ ආගමික මධ්‍යස්ථාන බිමේ සැක කටයුතු යමක් ගැන පොලිසියට දන්වලා. ඒ එනතුරු, ඒ කිට්ටුවම මිනිස්සු පොදි කකා හිටියේ මරිමෝල් විදියට! මෙහෙම තමන්ගේ ජීවිතෙත් අනතුරේ දාගෙන නරඹන්න හදන්නේ මොනවද?
    1989 පාර අයිනේ දමා ගිහින් තිබුණු නිරුවත්, තරුණ මල සිරුරු දෙකක් බලන්නත් මිනිස්සු ආවේ පෝලිමේ. වැඩි දෙනෙක් ඒ තරුණ මල සිරුරු දිහා බැලුව හැටි මතක් වෙද්දීත් හිරිකිතයි!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...