Friday, May 3, 2019

-පොදු සිහිනය තනිව දැකීම හෙවත් අප්පච්චිගේ ඛේදය-



නාමල් ජයසිංහයන් ලියූ සටහනකි.

"තත්ත්වයන් නැවත ගොඩ නැගිය නො හැකි ලෙස කඩා බිම පතිත මොහොතකදී පවා නැවත ගොඩ නැගිය හැකිය" යන විශ්වාසය ද සිහිනයක්ව අවසන් වු වකවානුවක, නැවත සිහිනය හා යථාව පටලවාගෙන ඇය ආවා ය.

දෑස් හැර අවට බලන කල, මට නො තිබු පොත් රාක්කය, මම මගේ දුවට තනා දෙමි. ඒ පොත් පිටු අතරේ ඇත්තේ ජිවිතයේ අඳුරු අහුමුළුවල වූ ක්ෂුද්‍ර ආලෝකය කෙරේ විශ්වාසය තැබූ අතීත මිනිසුන්ගේ දා ලේ වැකුණු ප්‍රයත්නයන් බව ඇයට වටහා දිය යුතු ය.

ඇගේ මේ වයසේදි මා නො ඇසූ සංගීතය මම මගේ දුවට අසන්නට සලස්වමි. සිය අභ්‍යන්තරික කැකෑරීම් හා ප්‍රමෝදයන් ස්වර කිහිපයක් මත ඇණ ගසා ගොඩනැගූ සංධ්වනිවලින් ඇයව ප්‍රහර්ෂයට පත් කරමි. ප්‍රමෝදය සේ ම ඛේදයන් ජීවිතයට ආශිර්වාදය ගෙන පැමිණෙන අඳුරේ පණිවිඩකරු බව ඉන් ඈ වටහා ගන්නවා ඇත.

මම මගේ දුවට සෘතුන්හි වෙනස කියා දෙමි. වස්සානයේ වැසි දියෙන් බරිත වන්නටත්, ගිම්හාන දාහයෙන් දැවෙන්නටත් සලස්වමි. එවිට ඈ දිනෙක, ජිවිතයේ සෘතුන්හි නියත ගලායාම වටහා ගන්නවා ඇත.

මම මගේ දුවට මම දන්නා ඉංග්‍රීසි වචන කිහිපය උගන්වමි. අතීත ද්විභාෂික මුගධයින්ගේ උවමනාවට ඒකභාෂික වු අපේ පරම්පරාව මෙන්, ඉංග්‍රීසි වචනයක් ඇසුණු සැණින් උන්හිටි තැන් අමතක කරවන විකල් බවෙහි ස්වයං වහලා ඇයට හමුනොවනු ඇත.

මම මගේ දුව වෙනුවෙන් උපයා වත්කමක් ඉතිරි කරමි. එවිට ඇයට, සිය අප්පචිචී මෙන් "යායුතු මානය පෙන්වා ඉතිහාසය බල කරද්දිත්", එදිනෙදා සිල්ලර ඉදිරියේ දීනව සිය අභිලාශයන් දවා හළු කර ගන්නට සිදූ නොවනු ඇත.

මම මගේ දුව ඉදිරියේ නොසඟවා ඇඳුම් උනා දමමි. හඳිමි. එවිට ඇය ශරීරය යනු ජීවිතයේ එකම ආශ්චර්යය, විශ්මය හෝ ස්වර්ගයේ දොරටුව ලෙස මා මෙන් වරදවා නොගන්නවා ඇත.

මම මගේ දුවට අවංක වෙමි. ඇගේ මව හා මගේ වූ ප්‍රේමය, පෙනුණු තරම් අවංකව පවත්වා ගත නොහැකි වූ වරදකාරී පශ්චාත්තාපය නො සඟවා පවසමි. ඉන් ඈ මා පරමාදර්ශී ලෙස වරදවා වටහා නො ගන්නවා සේම, ඇගේ නිසි කලදී පරමාදර්ශි ජිවිත සොයන නිරර්ථක තෙහෙට්ටුවෙන් කෙඩෙත්තු නොවනවා ඇත.

මම මගේ දුවට සියලු ආගමික ශාස්තෘවරුන් ගැන උගන්වමි. සියලූ ශාස්තෘවරුන්ගෙන් පසුව ආගම සේවය කළේ 'ආධ්‍යාත්මයට නොව රාජ්‍යයට' බැව් ඇයට වටහා දෙමි. එසේම නැවත උත්පත්තිය හා ස්වර්ගය, යන හිතළු මුලාවෙන් ඇයව ගලවා ගමි. එවිට ඇය අප මෙන් ඒ වෙනුවෙන් කරන පාප-පාරමී පුජාවන් ගෙන් මිදී, සිය අනෙකා නොරිදා තම ආත්මය සනහා ගන්නා ආගම තමන්ම තනා ගන්නවා ඇත.

මම මගේ දුවට පාර්ලිමේන්තුව හා උසාවිය ගැන උගන්වමි. ඒවා පිටත සමාජයේ ප්‍රතිබිමිබ බව ඇයට එත්තු ගන්වමි. එවිට ඇය, අප මෙන් පිටත සමාජයට වඩා යහපත් පාර්ලිමේන්තුවක්, උසාවියක් බලාපොරොත්තු වන්නට තරම් අදේශපාලනික නොවනු ඇත.


මම මගේ දුවව දණ්ඩනයට ලක් කරමි. රළු උස් හඬින් බැණ වදිමි. ඇගේ මෘදු දෑස්හි උතුරන කඳුළු කෙරේ මගේ තුන් සිතක සතුටක් නැති වුවත් "රළු පරළු ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලය" ඈ හඳුනා ගනු ඇත. මෘදූ බවෙහි හා ආදරයේ ආශ්චර්යය වඩා හොඳින් තේරුම් ගනු ඇත.

ඇය කුමන වරදක් කලද, මම ඇය වෙනුවෙන් සිටින බව මම මගේ දූවට පවසමි. ඈ මගේ නිර්මිතය නිසා, ඇගේ වරදෙහි දණ්ඩනය මට හිමි බැව් ඇයට පවසමි. එවිට ඇය, "පව් නොකළ ශිෂ්ටයින්" ගල් ගසද්දී මා ඇයව මුවා කරගන්නා බැව් දන්නා නිසා, කනේරු ඇට, කෘමිනාශක හෝ ටයිපටි ගැන සිතන්නට වධ නො වනු ඇත.

ඇගේ නැදෑ සමූහයා ගැන මම මගේ දුවට කියා දෙමි. මේ සුවඳ හමන මල්, අර ඈත පියඹන කුරුල්ලන්, මේ ඇවිද යන තරුණයා, අර තෝසේ කඩේ වෙහෙසෙන සහෝදරයා ඇගේ නෑදෑයින් බැව් මම ඇයට පවසමි. එවිට ඇය අප මෙන් සිය නෑදෑයින්ගේ වියෝවකදි ප්‍රමෝද-සැණකෙළි නොපවත්වනවා ඇත.

අවැසි විටෙක තමන් තුළ ම ඝෝෂාකාරී වීමටත්, තවත් විටෙක සියලු ඝෝෂා මැද සමාධිගත වීමටත් මම ඇයට උගන්වමි.

විටෙක පැහැදිලි අහස මෙන් සියලු හැඟීම් විහිදාපාන්නටත්, විටෙක ගැඹුරු සයුර මෙන් සියලු රහස් පතුලෙහි ම සඟවා ගන්නටත් මම ඇයට උගන්වමි.

අවසානයේ........!!!

ඉතිහාසයේ පටන් ම අන්කිසිවකට නොව සිය හෘදසාක්ෂියට පමණක් එකඟ වූ මිනිසුන්ට, සිය මිනීවල සියතින් ම හාරාගැනීමට සිදූ වූ බව මමද දනිතත්, අකමැත්තෙන් වුව මම මගේ දූවට හෘදසාක්ෂිය ගැන උගන්වමි.

තව මොනවද මට කළ හැක්කේ....?

මම මගේ දෑස් ගෙවෙන තුරු ඈ දෙස බලා සිටිමි. සියල්ල පූර්ණය. සුදානම් ය.

අහස් කුස පා වූ පිහාටුවක සැහැල්ලූවත්, පෘථිවියෙහි බරත් එක වර දරා සිටින "අරුම පුදුම කැරලිකාර දැරිය" දැන් මා සතුය.

ධනුර්ධයාණෝ..., සිය ආත්මයේ ම ශක්තිය හා ප්‍රාර්ථනය තම හිත මත තැන්පත් කර අවකාශයට මුදාහරින්නාක් මෙන් මම ඇයව මුදාහරිමි. දැන් මේ සිහිනය තුළ ම තෘප්තියේ ආහ්ලාදය සමග නිද්‍රාවට....... සිතන්නටත් පෙර මට නින්ද ගොස්ය.
.........................................................

දොරට තට්ටු කරන හඬ ......

සිහිනයත් යථාවත් පැටලෙමින් මම දොර හරිමි. මුදාහැර හෝරාවක් ගෙවෙන්නටත් පෙර මගේ දුව මා සොයා පැමිණ ඇත. සිය ආත්මයේ සියලු දිය උල්පත් සිඳීගියෙකු සේ මගේ දුව මා දෙස බලා සිටී. කඳුළු වස්සන දෑස් චෝදනා වගුරන සුළු වුවද, බිඳුණු අභ්‍යන්තරික වෙව්ලිල්ලක් සමඟ ඇය මට කතා කරයි.

"අප්පච්චි....... මම තනියම...!!! ඔයා හදපු ලෝකෙ ඉන්නේ මම විතරද ...?"

මම සිහිනයෙන් ඇහැරෙමි. පොදුවේ දැකිය යුතු සිහිනය තනිව දැකීමේ ඛේදය සමඟ ඇහැරෙමි. මම දැන් කුමක් කරන්නද.......? මම මගේ ම දියණිය මුලාකිරීමේ සාපරාධය කර ඇත්තෙමි.

ඇය කොතරම් සොඳුරු දැරියක්ව වැඩී ඇත්දයත්, කඳුළු උතුරන දෑසින් හිස් අහස දෙස බලා නිහඬව සියලු වේදනා සිය ගැඹුරේ ම සඟවා ගනිමින් සිටී.

දැන් සියල්ලටම මම ප්‍රමාද වැඩිය. නමුත් ඇගේ ඛේදයේ කඳුළු අමුණා තැනූ කටු ඔටුන්න පැළැඳ ස්වයං කුරුසගත වීමකට තවමත් මම ප්‍රමාද නැත.

පොදුවේ දැකිය යුතු සිහිනය තනිව දැකීමේ ඛේදය සමඟ මිය යාමට තවමත් ප්‍රමාද නැත.


4 comments:

  1. Replies
    1. මං දන්න තරමින් මේක සෑහෙන පරණ සටහනක්. ‘‘අප්පච්චි‘‘ ටෙලිය යන කාලෙ. එතකොට නාමල් අයියගෙ දුව පුංචියි...

      Delete
  2. පරණ වුණාට කොච්චර හෘදයංගම ලියවිල්ලක්ද?

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...