Wednesday, September 28, 2016

‘‘තරු ඇස් රහස් කතිකාවෙන්‘‘


‘‘තරු ඇස් රහස් කතිකාව‘‘ - මහින්ද නාමල්
2016 ජුනි 05 - මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල

‘‘පළමුවෙනි කවි පොත දොරට වැඩීමක් වශයෙන් පෙරවදන ලියන්න මට ආරාධනා කළාම දේවල් ටිකක් මම ලිව්වා. මෙතනදි මට ගොඩක් වැදගත් වෙන්නෙ ස්ත්‍රීයක් ලියන්න ආව එක. ඊළඟ එක තමයි මනුෂ්‍යෙයක් කවියක් ලියන්න උත්සාහ කරන එක. ඒක දෙවෙනි කාරණය. මොකද ඒව වැදගත් වැඩ ලෙස නෙවෙයිනෙ තියෙන්නෙ. කිසිසේත්ම වටිනාකමක් සහිත දේවල් ලෙස නෙවෙයි සැලකෙන්නෙ. විපුලිත් කිව්ව ඒ කාරණය.  නමුත් මේකෙ වටිනාකම කියන එක අපිට අවබෝධ කරගන්න වෙන්නෙ ගොඩාක් පස්සෙ හිතන කොට.

මම තරංගි නංගිව ගොඩක් දැක්කේ ළක්‍රිවි කියන ළමා සමාජ ක්‍රියාවලිය තුළ ඉන්න කොට. මම දැක්කා එයා තුළ තියෙනවා දෙයක්. ඉතින් මං හිතනවා මේක පළවෙනි පොත නොවෙන්න ඕන. ඒ වගේම ඉක්මණින් තව පොතක් එන්න ඕනෙත් නැහැ කියල. ඒ වගේම අපට වැදගත් මෙවැනි ලිවීම්.

සාමාන්‍යයෙන් ලංකාව තුළ  (මම මේ ස්ත්‍රීවාදය ගැන කතා කරනව නෙවෙයි.) පහුගිය කාලෙ මම දැක්කා ස්ත්‍රීන් තමයි දේශපාලන රැස්වීම්වල පවා වැඩි වශයෙන් හිටියෙ. අති විශාල පිරිසක්. ජනප්‍රිය දේශපාලනයෙ දේශපාලකයො ගොඩක් හදපු සංවිධාන තමයි ස්ත්‍රී සංවිධාන. අපේ ප්‍රදේශයෙ ඉන්න ජනප්‍රිය දේශපාලකයො වැඩි දෙනෙක්. ඒ වගේම ජාති වාදය සහ ආගම්වාදය තමන්ගෙ දේශපාලන ගමනෙ ප්‍රබල සාධක වශයෙන් පාවිච්චි කරපු අය තමයි ස්ත්‍රී සංවිධාන වැඩියෙන් හැදුවෙ. දේශපාලකයින්ගෙ ලේකම්ල වගේ මේව සංවිධානය කරන අය එක්ක, මචං ලෙවල් එකේ හමුවුණාම මං මේ ගැන කතා කළා ‘‘මොකද බං උඹලගෙ ලොක්ක මේ ස්ත්‍රී සංවිධානම හදන්නෙ. ඒ ගොල්ලන්ව විතරමනෙ සංවිධානය කරන්නෙ.‘‘ කියල. අන්න එහෙම දෙයක් තිබුණා. මොකද ඔවුන්ව තමයි පාවිච්චි කරන්න පුලුවන් මේ මතවාදය, මූලධර්මවාදය වැනි දේවල් ගෙනියන්න.


තරංගි නංගිගේ කවියෙ මම දකිනවා ‘නෑ ඊට වඩා ස්ත්‍රිය කියන්නෙ පොදු මානවභාවය ඉහළින්ම ප්‍රකාශ කරන්න පුලුවන් කෙනෙක්, පුරුෂයටත් වඩා.’ කියන කාරණය. ලංකාවෙ ස්ත්‍රීභාවය අවභාවිත වෙනකොට ඇය සමාජයේ සමහර ප්‍රශ්න කෙරෙහි දක්වපු සංවේදීතාවය සමහර කවිවල විපුලි කතා කළ දෙයට එහා ගිහින් කතා කරන්න මම කැමතියි.

ඒ මගේ පණ

දැන් ඒ වචනෙම අද කොහොමද අර්ථ දැක්වෙන්නෙ. ඉස්සර ‘ඒ මගේ පණ‘ කිව්වම අම්මව තමයි මතක් වෙන්නෙ. දැන් මේ වචනය බොළඳ ප්‍රේම ගීතවල ද, නව යොවුන් පෙම්වතුන්ගේ ප්‍රේමාලාපවල ද මාර වචනයක් වෙලා. මේ වචනය අද ඇහෙද්දි දැනෙන්නෙ වෙනස් හැඟීමක්. දැන් මේ කවිය බලන්න.

‘‘ඒ මගේ පණ කවදා නම් ඇස් දෙකට දකින්නද?‘‘ - ඒ ටික ඉතාම පුංචිවට තියෙන්නෙ කවියෙ අනිත් වචන එක්ක බලද්දි.

පාට එරන් වන් පුතුනේ
ඈත දුරක වහන් වුණේ
දෑසෙ කඳුළුම ය නිතිනේ
කාට කියම් මෙදුක අනේ...

සරැලිය මුදු කෙහෙරැල්ලේ
අතැඟිලි පටලා ලොල්ලේ
පිරිමදිනුව සැනසිල්ලේ
කෙදිනද සිත ළතැවිල්ලේ...

කල්වරි පාමුල ඉතිනේ
මව්මරි ළය සෝ දුකිනේ
ඇවිලුණු ගිනි දලුලමිනේ
දැවුණි ද මා හද පුතුනේ...

දහසක් මව් ඇස කඳුළා
පිසිනුව තම දිවි හකුළා
පුද කළ මපුතුන් විපුලා
මට රන් කඳෙකිය උදුලා...

මවුන් ළමැද ගිනිලමිනා
රජ මැති වැජඹෙත යෙහෙනා
මෙවන් මව්බිමක ඉතිනා
කෙලෙස වේද දෙවි කරුණා...

මරියාවන් සේ බැතිනී
උදාන ගීයක් ගොතමී
පුතු එන පෙරමඟ බලමී
දෑසෙ කඳුළු පිස හරිමී...


දැන් මේක මේ රිද්මයෙන් කියාගෙන යනකොට අප තුළ ඇතිවන භාවයන් මං හිතන්නෙ ඔබට පැහැදිලියි. මොකක් ගැනද කියනවා ඇත්තෙ මේ. කොයි වගේ අත්දැකීමක්ද මේක අස්සෙ තියෙන්නෙ. පුතෙක් ගැනනෙ කියන්නෙ. අම්මාට ඒ පුතා අහිමිවෙලා කියල පැහැදිලියි. ‘ඒ මගේ පණ කවදා නම් ඇස් දෙකෙන් දකින්නද?‘ අපේ සමාජයෙ 71 ත්, 89 ත් ඉන්පස්සෙ දකුණෙත් උතුරෙත් විශාල මව්වරු පිරිසක් මගේ පණ කවදා දකින්නද කියල බලාගෙන ඉන්නවා. එහෙම අපේ යාළු මිත්‍රාදීන්ගේ මව්වරුත් ඉන්නවා. ඒක මහ විසාල අත්දැකීමක්. ඒ මව්වරුන්ට බලාපොරොත්තු විරහිත වෙලා ඉන්නෙ නැතිව පොඩි හිත හදාගන්න පුලුවන් එකක් තමයි මේ තරංගි නංගිගෙ කවියෙ තියෙන්නෙ. ඒ මව්වරු බොහෝ දෙනෙක්ගෙ දරුවො නිකම් අතුරුදහන් වුණෙත් නැහැනෙ. එක්කෝ මිය ගිහින් විශාල පිරිසක්.  මේක මේ දහයක් පහළොවක් ගැන කතාවක් නෙවෙයිනෙ. පහුගිය දශක දෙක තුනේ ගත්තම ලංකාවෙ දස දහස් ගණනක්. ලක්ෂය ඉක්මවන විශාල ගණනක්.
සන්ධ්‍යා, මනෝරානි රිචඩ් සොයිසා ගෙ අම්මා - හැබැයි ඒ අම්මල තමයි අතහැරියෙ නැත්තෙ තමන්ගෙ දරුවන්, ස්වාමිපුරුෂයන් එක්ක දිගටම හිටියෙ. රොෂේන් චානකගෙ අම්ම අවුරුදු පහක් ගිහිල්ලත් දරුව අතහැරල නෑ. තාත්තලා සමහර වෙලාවට හිත හදන් ඉන්නවා. නමුත් මවුන් අපේක්ෂා දල්වා බලන් ඉන්නවා. තරංගි කරන්නෙ ඒ අම්මගෙ වේදනාවට, ඒ බලා හිඳීමට අර්ථයක් දෙන එක. මේ දරුවො කිසියම් විදියක සමාජීය කාරණාවක් නිසා තමයි අහිමි වුණේ හෝ අතුරුදහන් වුණේ. ඒ නිසා මේක ඇවිල්ල කරෝල වාඩියකට උස්සන් ගියා වගේ එකක් පිළිබඳව නෙවෙයි. එහෙම ගියා වුණත් අම්ම කෙනෙකුට වේදනාවක් තියෙනවා. අම්මා කියන්නෙ ඒකයි.

ඒ හැම තරුණයෙක් හෝ වැඩිහිටියෙක්ම සමාජයේ තිබුණු කිසියම් තත්වයක් තුළ ප්‍රතිචාර දක්වපු පිරිසක්. සමාජය අපේක්ෂා කළ යහපතක්, සාධාරණයක් හෝ සමාජ කාරණාවක් වෙනුවෙන් උතුරේ තාරුණ්‍යය වේවා, දකුණේ තාරුණ්‍යය වේවා. පෙරළා කිසිවක් නොලැබුණු මරණ සාක්ෂි නැති  මිය ගිය, අතුරුදහන් වුණු දරුවන්. තරංගිට හමුවුණු විශිෂ්ට අම්ම කෙනෙක් ඉන්නවා එයාගෙ විශ්වාසය තුළ මරියාවන් කියල. ඒ අම්මගෙ ආදරය එයාට සමීපයි. ඒ අම්ම තුළ ඉඳල මේ දරුවන්ගෙ අම්මලට වටිනාකමක් එක්කරන එක තමයි තරංගි කරන්නෙ. කවියක් කිසියම් වූ ජීවිත අරුතක් නිෂ්පාදනය කරනවා. වේදනා විඳින අම්මට ලොකු අර්ථයක් ගේනවා මරියාවන්ගෙ ජීවිත අත්දැකීම ගෙනල්ලා.
මරියාවන් සේ බැතිනී
උදාන ගීයක් ගොතමී
පුතු එන පෙරමඟ බලමී
දෑසෙ කඳුළු පිස හරීමී...

මේක ඉතාම ගැඹුරින් තේරෙන්නෙ උදාන ගීය කියන එක හරියට ම දන්නවනම්. මරියාවන්ගේ උදාන ගීය කියල එකක් තියෙනවා, ජේසුගෙ අම්මා ජේසු උපදින්න ඉන්න කොට ගායනා කළ. මානව ඉතිහාසය ගත්තම ස්ත්‍රීයක් විසින් කියපු ඉතාම විශිෂ්ට විප්ලවීය, මහා රැඩිකල් ගීතයක්. එයා කියනවා මගේ පුතා ආවට පස්සෙ සිහසුන්වලින් නරපතීන් පහකරලා, දීනයන්ව උසස් කරනවා කියල. ඒ වගේ විශාල සමාජ ආර්ථික වෙනසක් ගැන කියන්නෙ. මේ අම්මට එයා කියනවා මේ අම්ම නිකම්ම අම්ම කෙනෙක් නෙවෙයි, සමාජ ආර්ථික වෙනසක් අපේක්ෂාවෙන් කැප වූ අම්ම කෙනෙක් කියන කාරණය. ‘‘උදාන ගීයක් ගයමී‘‘ කියන කතාව එනකොට මේ අම්මගෙ අත්දැකීම විශාල තලයකට ගෙනල්ල  තියෙනවා.
කල්වරි පාමුල ඉතිනේ
මව් මරි ළය සෝ දුකිනේ
ඇවිළුනු ගිනි දලුලමිනේ
දැවුණි ද මා හද පුතුනේ...

මම පොතේ පෙරවදනෙ මේ ගැන යමක් කිව්වා. මට ඒක ඒ විදියට ස්ථානගත කරන්න ඕන කළා. ක්‍රිස්තියානියෙ නිකම් වචන ටික නෙවෙයි, ක්‍රිස්තියානි විමුක්තිදායක හරය කැටි කරගත්ත කිවිඳියකගේ ආගමනයක පොඩි ඉඩක් තරංගි තුළ මා දකිනව කියල මම පෙරවදනේ කියනවා. ඒක මංජුල ගෙනාවා යම් තලයකට. තරංගිට ස්ත්‍රීයක් ලෙස ඒ සලකුණ සටහන් කරන්න පුලුවන්කමක් තියෙනවා.

සුධාකරන්ගෙ කවිය ගැනත් මං කතා කරන්න කැමතියි විපුලි කතා කළ තැනින් චුට්ටක් එහාට.  වරදකාරී හද රිදුම, දැන් මේ හෘද සාක්ෂිය රිදෙන එක නම් හොඳයි. රිදුන්නැති එක ලොකු ගැටළුවක් තමයි.  පසුව හෝ රිදෙන එක හොඳයි. මම මේ කවියට ආදරය කරන්නෙ මුල්ලිවයික්කාල්වලින් පසුව හෘද සාක්ෂියක සටහනක් විදියට. අපි දන්නවා මුල්ලිවයික්කාල් කියන්නෙ අපේ රටේ සංකේතයක්.

යුද්ධය ආරම්භ වන මුල්භාගයේ මට මතකයි අපේ රටේ කවියො, ගීත රචකයො මහා මානව දයාවකින් ඒ ගැන ලිව්වා. හැබැයි යුද්දය අවසන් වුණායින් පස්සෙ ඒ ප්‍රේම කවි හුඟක් නැති වුණා. ප්‍රේමයත් මට පේන්නෙ නන්දිකඩාල් කලපුවෙ ගිලුණා වගේ. මොකද එතකන් අපට පේනවා උතුරු දකුණු ප්‍රේම ගීත තොගයක්. පිච්ච මල් සුවඳ ගැන, 83 ගැන අපේ මහා කවියා රත්න ශ්‍රී කියනවා ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන්, රත්න ශ්‍රී ගෙ සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී.. ඒවා විශිෂ්ට නිර්මාණ. හැබැයි ඒ නළලේ තිලක තියන කිරිල්ලි නැතිවුණායින් පස්සෙ ගීතයක් උපදින්නෑ. නළලේ තිලක තියන කිරිල්ලිව එහෙට ගිහිල්ල හමුවුණාම ( ඈ නඩේසන්ගෙ බිරිඳ. ඈ සිංහල කාන්තාවක්) ඇය හමුවුණාම එදා ඇතිවෙනවනෙ කම්පනයක්. ඒ කම්පනයෙන් ඒ ගීතය ලියවෙනවා. නමුත් ඊට වඩා ප්‍රබල කම්පනයක් ඇති වෙන්න ඕන නැද්ද ඒ නළලේ තිලක තියන කිරිල්ලි යුද්ධය අවසානයෙදි අහිමි වුණාම. එතකොට අපට කොච්චර කම්පනයක් ඇති වෙන්න ඕනද? එතනදි ලංකාවෙ කවි සිත, කලා සිත එක තැනක ගල්වෙනවා. මේ කවියට මං කැමති වෙන්නෙ අන්න ඒ ගල් හිත දැන් ටික ටික හරි බුරුල් වේගෙන එනවා කියන අදහසින්. ඒක හොඳයි. ඒක අවශ්‍යයි. සංහාරයෙන් පසු ලියවෙන කවි කියල සත්හඬේ කවි පිටුවක් යනවා. ඒකෙ විවිධ අර්ථයන් තියෙනවා. මෙතනදි මේ සුධාකරන් කියන දෙමළ දරුවා, යෞවනයා ගැන හිතල තමයි ඇය මෙහෙම කියන්නෙ.
දෑස් ගැඹරෙහි කෙවෙන මැතිරිල්ල
විස හී සර හිතේ ඇමිණිල්ල
දෙදරවා ළය මවා කැළඹිල්ල
උදුරගනු ඇයි මෙලෙස සැනසිල්ල...

මෙතනදි මම විපුලි එක්ක එකඟ වෙනවා. තරංගි නංගි මේ කවිය කාව්‍යමය කරන්න ගිහිල්ලා මැතිරිල්ල, ඇමිණිල්ල, කැළඹිල්ල, සැනසිල්ල... භාෂාව ලෙස ඒ ගැළපිල්ල කරන්න නොගිය නම් හොඳයි කියලයි මං හිතන්නෙ පුද්ගලිකව. අත්දැකීමේ බර, කාව්‍යමය වෙන්න වචන තෝරගන්න ගන්න උත්සාහයෙදි ගිලිහී යනව වගේ එකක් මට දැනුණා.

තරුණයව යුද්ධයට පසු දකිනකොට, ‘අනේ මේක ඉවරයි‘, ‘යුද්දෙ ඉවරයි‘ කියල අපි යම් සැනසිල්ලක උන්නනෙ, ඒ සැනසිල්ල උදුරගන්නවා. ඇත්තටම එහෙම සැනසෙන්න පුලුවන්කමක් නෑ මේක අස්සෙ. මෙලෝ සැනසිල්ලක් නෑ. මොකද යුද්දයට හේතු වෙච්ච කාරණා තාමත් එසේම තියෙනවා. ඒ බවට සාක්ෂිකාරයො තමයි දැනට ඉතුරු වෙලා උතුරෙ ඉන්න හැම කෙනෙක්ම. ඒ නයින් පාර දිගේ ගිහිල්ල නටබුන් බැලුව කාගෙවත් සැනසිල්ල කැඩුණෙ නෑ. දකුණෙ ඉඳන් උතුරට ගිය ආතල් කැඩුන්නෑ. ඒගොල්ලන්ට ආතල් ම තමයි ලැබුණෙ ඒ පාර දිගේ ගිහිල්ලා. නමුත් ඒ පාරෙන් එහාට ගිහිල්ල සුධාකරන්ල හමුවෙනකොට, අනූදාහක් වැන්දඹුවො හමුවෙනකොට ඇත්තටම ආතල් කැඩෙනවා. ඒගොල්ලන්ව හමුවෙන්න ඕන, එතකොට තමයි මේක කැඩෙන්නෙ. දැනෙනවා ඒ ප්‍රශ්න එහෙම ම තියෙන බව. ආයෙ අපට යුද්ධයක් එන්න පුලුවන්. ‘උදුරගනු ඇයි මෙලෙස සැනසිල්ල‘ දකුණේ සමාජය, සිංහල සමාජය යම් සැනසිල්ලක් ලැබුව නම් ඒ සැනසිල්ල උදුරගන්න සැනසිල්ලක් බවට පත්වෙනවා මේකට අදාළ ඊළඟ වැඩ ටික උනේ නැත්නම්. ඒ නයින් කාපට් පාරෙ නටබුන් හෝ ඒ විශිෂ්ට ජයග්‍රහණයේ සැමරුම්, සුන්දරත්වය බලන්න යන මිනිහෙක් කිසිවක් දකින්නෙ නෑ. නමුත් කවියෙක්ට ඒ දුර යනකොට එයාට දකින්න පුලුවන් බොහෝ දේ තියෙනවා.

‘‘මටත් හිම‘‘ මේ කවිය අතිශය සරල එකක්නෙ. මේ පුංචි දූල පුතාල එක්ක මේ ගැන කතා කරන්න ඕන නිසයි මම මේ කවිය ගැන වැඩිපුරම කතා කරන්නෙ. මේ කවිය ලියපු අක්ක හෝ නැන්දා කොළඹ ඉගෙන ගෙන හෝ රැකියාව කරල නිවාඩුවට ගමට යනකොට දකිනවා ගමේ පුංචි පුංචි සුදු පාට පොඩිසිඤ්ඤමරං මල් වටේට පිපිල තියෙනවා. එතකොට එයා ඒක තමයි හිම කියල දකින්නෙ. අන්න ඒක තමයි දැකීම. කුලියාපිටියෙ කබලෑ දෙවිගමට හිම වැටෙන්නෙ නෑනෙ මළාට. අපි දන්නවනෙ. එතකොට එයා දකිනවා හිම බිඳිති, හිම බිඳිති. හැබැයි මේ හිම බිඳිති ඉවර වෙලා අන්තිම කවිය ලිව්වෙ නැත්නම්!

කලෙකින් ගම් බිම් බලා එන මං
පිළිගන්න පේ වෙලා වාගේය දැන්
ගුරු පාර දෙවැට දිග
ලන්ද මැද බැද්ද වට
හිම සේල ඇතිරිල්ල එළාගෙන
සඳ සිනා සලා මඟ බලාගෙන

පිනි ඉහෙන හිමිදිරියෙත්
ගිනි දැවෙන මද්දහනෙත්
හිරු මියෙන හැන්දෑවෙත්
පිනි බිඳිති පිනි බිඳිති
සුදු මොට්ටු මල් කිනිති

දැන් කවිය මෙතිනින් නැවතුණා නම්, එහෙම වුණා නම් මේ කවියට ලැබෙන වටිනාකම හරිම අඩු එකක්. එතනින් එහාට ගිහිල්ලා ‘දැන් මේ මොන ගහේ මල් ද සුදු පාට කියල මේ කවිය ලියන අක්ක, නැන්ද කල්පනා කරනවා. ඒ කල්පනාව තුළින් තමයි දැකීම උපදින්නෙ. මේ කවියෙ මුල් කොටසෙ ආනන්දය තියෙනවා, ඒකෙන් ප්‍රඥාවකුත් දෙන්න ඕන. ආනන්දයේම ප්‍රඥාවකුත් තියෙනවා. ආනන්දයයි, ප්‍රඥාවයි වෙන් කරන්න ඕන නැහැ. දැන් ඔන්න බලන්න අතනින් පස්සෙ මෙන්න මෙහෙම කෑල්ලක් මේ කවියට තියෙනවා.
පොඩි සිඤ්ඤො නැසුවාද හැබෑටම
මේ හැටිම සුදු සිනා සලාගෙන
කරුමයෙන් උරුමයට ආ නමක
වග වාසගම් රිදුම් නොගෙනේද...

අන්න එතැනදි හිම බිඳිති වලින් එහාට ගිය හිතන්න දෙයක්, මහා ප්‍රඥාවක් තියෙනවා. මේ සුදු පාට මල් පිපිල තියෙන්නෙ කොහෙද? පොඩිසිඤ්ඤ මරං කියන ගස්වල. ඒ නම ඇහෙද්දි ගස් මිනිස්සු මරනවද කියල ප්‍රශ්නයක් එනවා. පොඩි සිඤ්ඤො කියන කෙනාගෙ කකුලෙ ඇනිල මේ කෝටුවක් පොඩි සිඤ්ඤො මැරෙනවා. මෙච්චර ලස්සන මල් පිපෙන ගහට ඇයි දෙයියනේ අපි එහෙම නමක් දැම්මෙ, නේද? ඕකෙ කෝටු ඇනුනු දාස් ගාණක් ඉන්නවනෙ. මටත් ඇනිල තියෙනවා. මං මේ ඉන්නෙ. මං හරියට බය වුණා පොඩි සිඤ්ඤො මරං කෝටුව ඇනුණ දවසෙ. ඇයි මැරෙනව කියලනෙ හිතන්නේ. කොහොමද මේ සිනා සලන මල් ගහ පොඩි සිඤ්ඤො මැරුවෙ. ‘කරුමයෙන් උරුමයට ආ නමක වග වාසගම් රිදුම් නොගෙනේද‘ නම්, වාසගම් කොයි තරම් මිනිසුන්ව රිදවනව ද?

රත්න ශ්‍රී විජේසිංහ කවියා ලියන්නෙ ගීතයක් ‘ලෙංචිනා මගෙ නංගියේ‘ කියල. එයා ඡන්දෙට ගියාම නම් මිනිසුන්ව රිදවන හැටි දකිනවා. ඡන්ද පළේදි නම කියවෙන කොට අඩුකුලේ කියන අය කැළඹෙන හැටි දැකල තමයි ඔහු මේ ගීතය ලියන්නෙ. නම් ගම් කොච්චර මිනිස්සුන්ව රිදවනවද? පුදුම විදියට රිදවනවා. අපි ගොඩක් නම් දාල තියෙන්නෙත් නරක විදියට. අපට කුරුල්ලෙක් ඉන්නවා කැහිබෙල්ලා. කොච්චර ලස්සන කුරුල්ලෙක්ද කියල බලන්න.  ඒ නම ගැළපෙනවද? එහෙම කරන්න හොඳ නෑ. අන්තිම නරකයි. රටේ බහුතරයක් සිංහල ප්‍රදේශවල දෙමළ සහෝදරයන් සිංහල ඉගෙනගෙන සිංහල නම් දාගන්නවා. ඒ ජාතික සමඟිය වෙනුවෙන් නෙවෙයි. ඇයි ඒ නම් ගම් මිනිසුන්ව රිදවන නිසා, ප්‍රතික්ෂේප කරන නිසා. ඒ සංස්කෘතියේ සුන්දරත්වයට කැමති අපට මේක හරි වේදනාවක්. හිම බිඳිති අස්සෙ මේ අවසන් කෑල්ල එකතුවීමෙන් කවිය හුදු සෞන්දර්යාත්මක කාරණාවකින් එහාට ගිහිල්ලා අපට මාර දේවල් හිතන්න පුරුදු කරනවා. අන්න ඒක තමයි කවියේ ලක්ෂණය, කවියේ මෙහෙවර. අන්න ඒ දැකීම තමයි කවිය කවියක් බවට පත්කරන්නෙ.

ප්‍රබෝධනයේ, ප්‍රදීපයෙ කිතුනු කවි ලියන බොහෝ අය ඉන්නව උණාට ක්‍රිස්තියානියෙ තියෙන සංකල්ප රූප ඉතාම කාව්‍යාත්මක ලෙස ගෙනාපු ස්ත්‍රී චරිතයක් වශයෙන් මම තරංගි නංගිව දකිනවා. මේ කවි පොතේ ඒ ලකුණු තියෙනවා. සමහර විට අන්‍යාගමිකයකුට මේක මුළුමනින් අල්ලා ගන්න බෑ. මෙන්න මෙතනදි විපුලි කියපු එක කාරණයක් හරි වැදගත්. කලාව විඳින්න අපි අදහන ආගමින් එහාට ගිහිල්ල අනිකුත් ආගම් හදාරන්නම ඕන, මිනිහෙක් වෙන්න, කලාකරුවෙක් වෙන්න, හොඳ සහෘදයෙක් වෙන්න. පැහැදිලියි? අපට සමහර ගීතයක්, සමහර කවියක්, සමහර චිත්‍රපටයක් ගැඹුරින් විඳගන්න පුලුවන් වෙන්න ඒක හරි වැදගත්. ඒ ගැන මං කතාවක් පවත්වන්න යන්නෑ. අපි අහන ජනප්‍රිය ගීත ගොඩක් තියෙනවා ඒ ගීත අපි තේරුම් ගන්න නම් ඒ කතාව දැනගෙන ඉන්න එපායැ නේද? ‘නව දැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා‘  නන්ද වස්තුව දන්නෙ නැත්නම් මේ ගීතය තේරෙන්නෙ නෑනෙ නේද?

පාරාවොන්ගෙ දේශයේ

මේ මාතෘකාව තේරුම් ගන්නත් පාරාවො කියන්නෙ කවුද දැනගන්න වෙනවා. මෙතන ක්‍රිස්තියානි සාහිත්‍යයික කාරණාවක් තියෙනවා.
දෙවිඳුනි වහලුන් ය අප
පාරාවොන් ගෙ දේශයේ
මොසෙස් ද නිහඬය...

පාරාවොන්ගෙ දේශයෙ තමයි ඊශ්‍රායල් ජනතාව වහලුන් වෙලා හිටියෙ. ඒ ගොල්ලන්ව ගළවගත්තෙ කවුද, මෝසෙස්. දැන් තේරෙනවනෙ. හැබැයි මෝසෙස් ද නිහඬ ය.
කාසි සිලි සිලියට
ආරොන් ද වසඟ ය...

ජනතාව ගළවගන්න මෝසෙස් එක්ක ගිය අනිත් මනුස්සයා තමයි ආරොන්. කැඳවීම ලබපු මෝසෙසුත් නිහඬයි. මෝසෙස්ගෙ සහායකය ආරොනුත් සල්ලිවලට යටත් වෙලා. ආරොන් කියන්නෙ පූජකයෙක්.
රජ මැතිඳුන්ට කිත් යසස් පතුරන්ට
මළ සොයුරන්ගෙ සොහොන් මතින්
පිරමීඩ තනන්නෙමු අපි...


මේකෙ කාව්‍යමය භාවයෙ යම් අඩුලුහුඬුකම් තියෙන්න පුළුවන්. කවිත්වය පිළිබඳව. මම මින්පෙරත් ඒ ගැන කියල තියෙනවා. සමහර වෙලාවට අපි ඉන්න දේශපාලන සමාජ යථාර්ථය හරිම ගොරතරයි. අපි ඒක කතා නොකරම ඉන්නවනම් සමහරවිට මුළුමනින්ම කවියේ කන්‍යාභාවයන් රැකගන්න හැකි වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කටුකභාවය කොච්චරද කියනවනම් ඒක කවියට එද්දි වචන සොයාගන්න ලේසි වෙන්නෙ නෑ. ඒක අරගලයක්. මම ඒ පිළිබඳව නිපුණයෙක් නෙවෙයි. නමුත් අද තියෙන ගොරතර, මහ කටුක, දැඩි පීඩාකාරී යථාර්ථය, ජනප්‍රිය වචනවලින් කිව්වොත් නව ලිබරල්වාදී, ධනවාදී මේ තත්ත්වය මුළුමනින් හසුකරගන්න ලංකාවෙ කවියො ගන්න උත්සහය මදි කියන එකයි මගේ පෞද්ගලික අදහස. මෑතකාලීනව බිහිවුණු කවිවල මානවවාදය හොඳයි. නමුත් ධනවාදී සමාජයෙ මේ අත්දැකීම් සමුදාය කාව්‍යමය වචනවලින් ගන්න අමාරුයි. මේ සමාජය ඇතුළෙ මිනිහෙක්ගෙ තියෙන නන්නත්තාරභාවය ගන්න අලුත් වචන නිෂ්පාදනය කරන්න වෙනවා. දැනට ආව කලාවෙ, සාහිත්‍යයේ තියෙන වචනවලට බෑ මේක ගේන්න. මං දකින්නෙ ලංකාවෙ කවිය මේ වෙලාවෙ අත්දකින ලොකුම සීමාව ඒක කියල. මට හැඟෙන විදියට ඒ දුප්පත්කම. මේ කවිය අමු වැඩියි, රළු වැඩියි කියල හිතෙන්නෙ පුළුවන්. නමුත් මේකෙ තියෙන්නෙ ලොකු ඇත්තක්.
මළ සොයුරන්ගෙ සොහොන් මතින්
පිරමීඩ තනන්නෙමු අපි...  

පිරමීඩ මහ විශිෂ්ට නිර්මාණ වුණාට, ඒව ඇතුළෙ තියෙන්නෙ සොහොන්. පහුගිය කාලෙ අපි දැක්කා සමාජයට ගැටලුවක් තිබුන්නෑ නොවැම්බර් මාසෙ මළවුන්ට පහන් පත්තුකරන්න යන ක්‍රිස්තියානිකාරයො ගැන. වෙසක් දවසෙ සොහොනට ගිහින් තමන්ගෙ දෙමව්පියන්ගෙ සොහොන ළඟ බකට් ලාම්පුවක් පත්තු කරන බෞද්ධාගමිකයින් ගැන. එවැනි මහා ආගමික ශ්‍රද්ධාවන්තකමකින් පෙළෙන සමාජයකට උතුරේ සොහොන් කොත් පොඩිපට්ටම් කරල දමනු ලැබීම දැනුන්නැති එක මාර කතන්දරයක්. අපි ඉන්නෙ පාරාවොන්ගෙ දේශයේ නමුත් මේ කවිය අස්සෙ වර්තමාන කතාවකුත් තියෙනවා. අද ඒ සොහොන් කොත් අසල තියෙන්නෙ යුද ස්මාරක, ඇතැම් විට බුදු පිළිම. පිරමීඩ තනනවයි කියන්නෙ මොකක්ද? අධිරාජ්‍යයගෙ මහේශාඛ්‍ය විශිෂ්ටභාවයට ස්මාරක හදන එක. හැබැයි ඒ විශිෂ්ටභාවය අස්සෙ තියෙන්නෙ මොකක්ද? මළ සොහොයුරන්ගෙ මළ මිනී.
රජ මැතිඳුන්ට
යසිසුරින් වැජඹෙන්නට
දුගියන්ගෙ දුක් කඳුළු
නයිල් ගඟේ පා කර
ප්‍රශස්ති ගීත ම අසන්නෙමු අපි...

මේ තමයි අපි පහුගිය කාලෙ කරපු දේ. මේ කවිය අස්සෙ තියෙන්නෙ අපි පසුකරපු අවුරුදු පහ හයක දේවල්. අර කඳුළු අපි අමතක කරලා අපි ඇහුවෙ යුද්ධයේ රජ මැතිඳුන්ට ගැයුණු ප්‍රශස්ති ගී. කොයිතරම් මේක බරපතල ද කිව්වොත් ශාන්තිනී, පාතිමා ගැන, සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලි ගැන ලියපු අයට පවා ආයු රක්ඛන්තු ආ වඩා ලියන්න සිද්දවෙනවා. මේක අතිශය බරපතල කාරණාවක්. අතිශය බරපතල කාරණාවක්. විශ්වීය සහෝදරත්වය ඉල්ලපු සැමට උරය පළා සැතකින් බලන් රුහිරු.. මොංගෝලියානුවන්ටයි, පොටේසියානුවන්ටයි, උතුරටයි දකුණටයි දීපු මහා විශ්වීය මානව ධර්මයක් ගැන ලියපු සියලු දෙනාත් ප්‍රශස්ති ගීතවල නතර වෙන තැනකට ආවා. මේක අතිශය වේදනාකාරීයි.
දහක් යාදිනි
පපු කැනැත්තේ හිර කරගෙන
මුව අගුළු ලා  ඇත්තෙන්
සුසුම් ගිනි පිට කරන්නෙමු අප

දෙවිඳුනි,
රතු මුහුද තව කොතරම් දුර ද?

ඇතැම් ක්‍රිස්තියානි ආගමිකයින්ම උතුරේ ජනතාව යුද්ධය නිම වෙලා මේ පැත්තට ගමන් කරනකොට පල්ලිවල පුවත්පත්වල ලිව්වෙ රතු මුහුදෙන් එතෙර වී මේ ජනතාව ආවා කියන එක. එයින් අදහස් කළේ ඔවුන් නිදහසට නික්ම ගියා කියන එක. අපි දේශයක් විදියට රතු මුහුද අසලටවත් ඇවිල්ල නැති බව තරංගි කියනවා. එය තමයි සත්‍යය.

කාලය ඉක්මගිහින් නිසා අපි කතාබහට ඉඩදෙමු. මම තවත් කවි කිහිපයක් ගැන කතා කරන්න හිතුවා. නමුත් කාලය ඉක්ම ගිහින් නිසා එය අත්හරිනවා. මම කතා කළේ එක් විෂය ධාරාවක කවි නිසා ඉතාම පෞද්ගලික අනුභූතියක් ගැන කතා කරන්න හිතුවා. අපට මේ සමාජයෙන් වෙන්වෙන්න බෑ කියන එක පෙන්වන පුංචි කවියක්.
මැයි මහේ මල් වැස්ස අදත් ඇද හැලෙනවා
ගාලු මුවදොර පිටියෙ ඔබත් ඇති හිතෙනවා
ඇසිල්ලක හෝ ඒවි දෑස් මඟ බලනවා
අපි අපේ නොවන බව ඒත් හිත දන්නවා

මේක අතිශය පෞද්ගලික කාරණයක්. ගාලු මුවදොර පිටියෙ විජයග්‍රහණයේ යුද සැමරුම තමයි තියෙන්නෙ. පෞද්ගලික සම්බන්ධයක් තියෙන තමන් ආදරය කළ කෙනෙක් එතන ඉන්නවා. සොල්දාදුවෙක්. නිමිත්ත තමයි ඒක. ඇසිල්ලක හෝ ඒවි දෑස් මග බලනවා. ඇය යනවා ගාලු මුවදොර පිටියෙ මේ සැමරුම බලන්න. එයා යන්නෙ යුද ජයග්‍රහණය සමරන්න නෙවෙයි. එයා ආදරය කළ කෙනා ඇසිල්ලක හෝ මේ පෙරෙට්ටුවෙ ගමන් කරයි, දකින්න ලැබෙයි වගේ බලාපොරොත්තුවක්.
රුහිරු කඳුළැලි ගඟක පාවෙලා ආ ජයට
ආ වඩන සැමරුමක නැගුණ වෙඩි හඬ සැරට
විඩාපත් වත පිපුණි වැහි අඳුරු අහස යට
නිලැති නිල ඇඳුමෙ තරු දිලිසුණා ස්නේහයට...

මේ යන ආදරවන්තිය දන්නවා මේක විජයග්‍රහණයක් නෙවෙයි. ඒ නිසා මම එන්නෙ නෑ මේක බලන්න නෙවෙයි, පෞද්ගලික ජීවිතේ කාරණා අස්සෙ ඇයට ඔහුව දකින්නත් ඕන. මං කියන්නෙ මේ දෙක අතර තමයි මනුෂ්‍යත්වය තියෙන්නෙ. මනුෂ්‍යත්වයේ ගැටුම තියෙන්නෙ. ඇය එය බලන්න යන්නෙ මහ විජයග්‍රහණයට ආවඩන්නියක් ලෙස නෙවෙයි. මං මෙතනදි කියන්න උත්සාහ කළේ අතිශය පෞද්ගලික අනුභුතීන් පවා සමාජයේ පොදු අත්දැකීමෙන් තොරව විවරණය කරන්න බෑ කියන එක. ‘මම කියන්නෙ මුළු සමාජයමයි. ඒකෙන් තොරව ‘මම කෙනෙක් හොයනවනනම්  අපිට ඇත්ත මම කෙනෙක් ලැබෙන්නෙ නැහැ.

විපුලි ආදරය සම්බන්ධ කාරණා මතුකළා. මම ඇයගේ ක්‍රිස්තියානිය ඇය කොහොමද ඒවා අනුභූතීන් කළේ, ඇය කොහොමද සමාජ කාරණා ප්‍රකට කරන්න උත්සාහ ගන්නෙ කියන කාරණා මතුකරන්න උත්සාහ කළා. ඒ ප්‍රකාශ කිරීම හරි වැදගත්. එතනදි ඇයට තියෙන ගැටලුව  කවි බස. තරංගිට විතරක් නෙවෙයි මේ අත්දැකීම් සමුදාය ප්‍රකාශ කරන්න හදන හැමෝටම ඒ ගැටලුව තියෙනවා. සාහිත්‍යකරුවන් ඒ පිළිබඳව අවදි විය යුතුයි. තරංගි එයට අවදි වීම ගැන මම ගරු කරනවා. අපි ඉන්නෙ එහෙම සමාජයක. අවුරුදු පහකට එහාට ගියාට පස්සෙ ඒ අත්දැකීම් නිර්මාණවලට එන්නෙ නෑ. අපි දන්නවා සමහර රටවල් එවැනි අත්දැකීම් පසුකළාට පස්සෙ ඒ පිළිබඳ සංවේදී නිර්මාණ බිහිකරනවා. නමුත් ලංකාවෙ බිහිවුණේ යුද ජයග්‍රහණය උත්කර්ශයට නංවන චිත්‍රපට. රුවන්ඩාව වැනි රටක ඒ යථාර්ථය එළිදකින චිත්‍රපට තුනක් ආවා අවුරුදු තුනක් තුළ. හොටෙල් රුවන්ඩා, සම්ටයිම්ස් ඒප්‍රියල් වගේ. ලංකාවෙ ඒ ගැටලුව තියෙනවා. මං තරංගිට ගරු කරනවා, තරංගි තමන්ගෙ මාධ්‍යය යොදාගෙන යම් අඩුපාඩුකම් සහිතව හරි මේ සමාජීය කාරණා ඉස්මතු කරන්න දරපු උත්සාහය ගැන.

මෙතනදි මං මතක් කරන්න කැමතියි මං පටන් ගත්තු තැන. ස්ත්‍රීය කියන්නෙ අන්තවාදී මතවාදවලට බැතිබරව දක්කාගෙන යන්න පුළුවන් කොට්ඨාශයක් කියල ස්ත්‍රී සංවිධාන හැදූ දේශපාලකයින් හිතද්දි, නෑ එසේ නෙවෙයි කියන හඬත් මට මේ තුළ ඇහෙනවා. ඒ තමයි සැබෑ ස්ත්‍රී ස්වරය. එය ඉදිරියට ගෙනයන්න විපුලිලා, තරංගිලා වගේ තවත් ස්ත්‍රීන් ඉදිරියට එනව නම් වඩාත් මානවවාදී කවියක් අපට හොයාගන්න පුළුවන් වෙයි.



Friday, September 2, 2016

ගී දාසයේ ඉතිරි අඩ...







බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
තුරුළු කරගන්නනම් එපා ඉක්මන් වෙලා
බත් කටක් කවන්නට හිත ගියත් ළං වෙලා
එපා සිල් ඇවැත්වෙයි මවු සෙනෙහෙ සිහි වෙලා

බණ කතා කියන කොට හුරතලෙන් මුව විදා
කඳුළු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා
හැඬුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා

ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - ආනන්ද හේවා රංහිඳ
 
මේ ගීතයත් මගේ හිතේ ඇඳුණු එඩ්වඩ් ජයකොඩිගේ අපූරුතම ගීතයක්. මේ ගීතය හිතේ කැටයම් කළ අතීත සිදුවීමක් තියෙනවා. ඒ 1998 වසර. උසස්පෙළින් පසුව බැහැලම ගමේ, පල්ලියේ වැඩවල උන් කාලය. එක් දවසක් අපි මීසම් භාර පියතුමා සමඟ කුමක් හෝ වැඩකට යමින් හිටියා. ඒ වෙද්දි වෑන් රථය තුළ වාදනය වෙමින් පැවතුණේ පියතුමා ( කුරුණෑගල පදවියේ ගරු ජෙරොම් පෙරේරා පියතුමා) ඉතාම ප්‍රිය කළ ගීත එකතුවක්. ‘‘ළමයි මේ සින්දුව අහන්න හොඳට.‘‘ එතුමා ගීතයක් වෙත අපේ අවධානය යොමුකළා. ‘‘මේ සින්දුව අහන හැම වෙලාවකම මට මම පූජාත්වරය ලබපු දවස මතක් වෙනවා. පූජාත්වරයෙන් පස්සෙ අම්මට ආශිර්වාද කරල කතා කළ වෙලාවෙ අම්මා ඉකිගගහ අඬපු හැටි මතක් වෙනවා. මට හිතාගන්න බෑ, ඇයි අම්ම ඒ තරම් ඇඬුවෙ කියල. මං ස්වාමි කෙනෙක් වෙන එක ගැන ගොඩක්ම සතුටු වුණෙත් අම්මා.‘‘

ඉන්පසුව දවසක තවත් පියතුමෙක් මෙහෙම කිව්වා. ‘‘අම්ම නැතිවුණ දවසෙ මට දැනුණෙ මුළු ලෝකෙම නැති වුණා වගේ. එදා දැනුණ හිස්කම තරම් දරුණු තනිකමක් කවදාවත් දැනිල නැහැ. අම්මා නැතිවුණාට පස්සෙ ගෙදර යනවා කියල ආශාවෙන් යන්න ගෙදරක් නෑ වගේ දැනෙනවා.‘‘ මේ ගීතය දුර්ලභ සංවේදී, අපූරු මානව ගුණයකින් පිරිපුන් ගීයක් කියලයි මට හිතෙන්නේ... ( ගී දාසය අංක 09 )


‘තීර්ථය - කුමාරදාස සපුතන්ත්‍රී ගීතාවලෝකනයට‘ සූදානම් වන අතරතුර වඩාත් හිතේ ඇඳුණු ගීතයක් මේ. තීර්ථය බ්ලොග් අඩවියේ මේ සටහන බලන්න. ( ගී දාසය අංක 10 )

මල් මාලතී ලතා අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ නොපිපී බලා හිඳී

හැඬූ සිතේ විඩා නිවා ඇදේ මාරුතේ
හැපී බිඳෙන ප්‍රේමයේ සෝ සුසුම් ලෙසේ..
කිසිදාක නොමැත ආදරේට
ලැබී ආදරේ....

ගැලූ සිනා ගඟේ ගිලී ගියෙද ආදරේ
හඬා වැටේ ප්‍රාර්ථනා පෙම් උයන් තෙරේ..
කවදාක සුවඳ යලි දැනේද
නැවුම් ස්නේහයේ..

පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - සරත් ද අල්විස්

‘කිසිදාක නොමැත ආදරේට ලැබී ආදරේ‘ මං හිතන්නෙ මං වැඩියම මේ ගීතයට ආදරේ මේ සත්‍යතාව හිතට හරි සමීප හින්දයි.


ගැමි සුවඳ පිරුණු නමුත් වියෝගයේ සංවේදනා කැටිවුණු ගීතයක් මේ.  ( ගී දාසය අංක 11 )

බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා
ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී

ආල හැඟුම් මං හින්දා පිපෙන්නට එපා
දෑස තෙමාලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවි

නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් පිපෙනවා
වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා
හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා

ආල හැඟුම් මං හින්දා පිපෙන්නට එපා
දෑස තෙමාලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවි

ගමින් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා
මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා
දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා
සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා

ගායනය - එඩ්වඩ් ජයකොඩි සමඟ නන්දා පතිරණ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුලරත්න ආරියවංශ





පෙර කී ගීතයට ප්‍රතිවිරුද්ධ ගැමි සුවඳින් පිරුණු සෙනෙහස් කතාවක් ගැනයි මේ ගීතයෙන් කියවෙන්නේ. කොතරම් සොඳුරු ද? ( ගී දාසය අංක 12 )

බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ

කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිළිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ
දෙමාපියන්නේ වරද නොවන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ

සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ //
හනිකට එන්නේ හනිකට එන්නේ

බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ

කවදද එන්නේ
කවදද එන්නේ
හනිකට එන්නේ
හනිකට එන්නේ //

ගායනය - නන්දා පතිරණ, එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ 




තවත් සොඳුරු ගීතයක්. ( ගී දාසය අංක 13 )

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නේ ජීවිතේ කතාවදෝ
හෙලන්න බැරිව ළතවෙනා සුසුම් සදා
කියන්නේ ජීවිතේ මුළාවදෝ

තරු ඇසක් ඇරී උදා ගිරේ
පෙම් මලක් මුවින් හිනා නැගේ
තරු ඇසේ කතා මියේද
පෙම් මලේ හිනා මැකේද
මේ වෙනසදෝ ආදරේ

සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් එ මල් දවාද
ඒ දුකත් වසන්ව යාද
මේ අරුතදෝ ආදරේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි, ධම්මිකා බණ්ඩාර
ගී පද - බන්ධුල නානායක්කාරවසම්



 
ළමා වියේ නිතර ගෙදරදි ඇහිල, විශේෂයෙන් සංගීතයත් එක්ක හිතේ ඇඳී, බැඳී තියෙන ගීතයක් මේ. ( ගී දාසය අංක 14 )

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ළංවෙලා
රෑ තරු වාගේ නිවුණා මැළවීලා
මා දෑසේ දී වේදනා

මා දෑතේ වෙලිලා එදා
රෑ සීතේ සඳපානේ පියනැගුවා
ඒ චායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දෑලේ දුක සෑදුවා

සෝ ගීතේ සවනේ යාවී
මා ලොකේ තනිවූ සේ මට හැඟුනා
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා



මේ ගීතයට ඇයි කැමති වෙන්නෙ කියල අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ. ඇහෙන හැම මොහොතකම වසර ගණනාවකට කළින් බඳගිරිය විහාරයක හමුවුණු පුංචි සාමනේර පැටව් ටිකමයි සිහිපත් වෙන්නෙ. දුප්පත් ගම්මානයක පුංචි මැටි ගෙවල් කිහිපයක ඒ සාමණේර ජීවිතය මොන විදියකින් ගෙවෙනවද කියල හිතද්දිත් දුකයි. ( ගී දාසය අංක 15 )

ඉස්සර විදියට දුවපැන යන එක
මතකද තහනම් කරපු දිනේ...
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ...

කරඹ කැළෑවට වවුලෝ ඇවිදින්
රෑ තුන්යම රජ මඟුල් කතී..
පාළුව දැනුනම මෙරු රැළ තරහින්
වැලි මාලිග වට කුලල් කති...

රෑ කල තනි යහනේ සැතපෙන විට
දැනුනිද මවකගෙ සෙනෙහෙ ගුණේ..
බුදු බණ එතකොට සිහියට එනවද
කියන්න පොඩි හාමුදුරුවනේ...

පද රචනය - අමරසේන කංකානම්ගේ
තනුව - රෝහණ වීරසිංහ


ඉහත දැක්වූ ගී සියල්ල මෙදා ‘මාරම්බරි‘යේ ගැයුණෙ නැහැ. නමුත් මේ ගීතය නම් සජීවීව රස විඳින්නට තරම් මා භාග්‍යමත් වුණා. පෙර නිමැවූ තනුවකට එක රැයකින් අජන්තා රණසිංහයන් මෙම වචන යොදා ගීතය නිර්මාණය කළ බවයි කියවුණේ.  කොතරම් විස්මිත නිමැවුමක්ද? පද රචනය, සංගීතය, ගායනය සියල්ල එක්ව ගත් කළ ශෘංගාර රස වෑහෙන අනර්ඝ ගීතයක්. එත් කොතරම් සෞම්‍ය සංයමයකින් පද ගළපා තියෙනවද!! ඔන්න වැසි දැරියත් කැමති ගීතයක්. ( ගී දාසය අංක 16 )

මුව මුක්තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ

මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රාසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා

ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
(
ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ)
තනි වෙන්න යං පෙම් රසෝජාවේ
(
තනි වෙන්න යං පෙම් රසෝජාවේ)
රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රි‍යේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී

l
නිස සනි සග ගම l පම පධ නිනි සරි lග - - -l - - රිග lසගරිස l
l
නිපනිස l රි - - - l- - නිප lමධපග lමපගරි l නිනි සරි l
l
ස - - - l

හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
(
හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ)
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
(
හා හා ගයන් සෞම්‍ය සංගීතේ)
ඒ හිරු නොනගීවා
රෑ තව දිගු වේවා
ඔබෙ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ

පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ආනන්ද පෙරේරා


විශාරද එඩ්වඩ් ජයකොඩි හරිම වාසනාවන්ත ගායකයෙක්. අර්ථවත්, සොඳුරු, මධුර ගීතවලින් ඔහු මහා පොහොසතෙක්. එයින් 16 ක් තෝරාගැනීම හරිම අසීරු කාරණයක්. ගී දාසයේ ඒවා දාසයක් තෝරාගන්න තරම් ඔහු ගීතයෙන් පොහොසත් කියල මට හිතෙනවා.