Monday, August 13, 2018

අලුත් වුණු ශ්‍රී මහල් සහ ගෝල්....



සැලසුම තිබුණෙ නම් වටේ පිටේ ළමයි ඔක්කොමත් එක්කගෙන තාත්ත ලව්ව ලොරියෙන් දම්මගන්න. ඒත් ඩැයිවර මහත්තයට වැඩ වැඩි වුණ නිසා පවුලෙ පොඩි සෙට්ළ එක එක්ක බයික්වල ගිහින් තමයි ගෝල් බැලුවෙ. ( අනිත් පොඩි සෙට් එක එක්කගෙන යන්න ආයෙ පිළිවෙලක් යොදන්න ඕන.) චිත්‍රපටිය ගැන කියන්න වගේම වෙන වෙන කතා ටිකක් කියන්නත් එක්කයි මේ සටහන ලියන්න හිතු‍වෙ.

කුලියාපිටිය නගරයේ සිනමා ශාලා තුනක් තියෙනවා. එයින් ඉපැරණිම හෝල් තමයි ශ්‍රී මහල් සහ මහලේකම්. මේව  පණ ඇද ඇද හරි අඛණ්ඩව දිව්ව එක ගැන ස්තුතිවන්ත වෙන්න ඕන. අලුතෙන් හැදූ හෝල් එකක් තියෙනවා ලක්බිම කියල. අලුත් කිව්වට ඉතින් අලුත්මත් නැහැ. 

ඔයාලට මතක ඇති චිත්තර පටි විස්තර ලිපියෙ මම ලිව්වා ශ්‍රීමහල් එකේ ආදරණීය කතාවක් බැලූ හැටි. (ශ්‍රී මහල් එකේ ආදරණීය කතාව... ) ඒ වෙද්දි සිවිලිම වෙනුවට තිබුණෙ තැනින් තැන එල්ලුණු ගෝනි පඩංගු. කැඩිච්ච, බිඳිච්චි පුටු වටේට ගොඩගහල. ඒ මැද පුටු පේළි ටිකක් තියල තමයි චිත්‍රපට පෙන්නුවෙ. සත්තු සර්පයි ඇති කියල බයට එදා අපි ඉස්සරහ පුටු උඩ කකුල් තියන් තමයි චිත්‍රපටිය බැලුවෙ.

හැබැයි මෙදා යද්දි නම් ශ්‍රී මහල් සෑහෙන්න ශ්‍රීයක් පෙන්නුවා. සිවිලිම ගහල අලුතෙන්, ඒක දුප්පත් සිවිලිමක් වුණත් ගෝනි එල්ලෙන්නෙ නැති එක සතුටක්. සම්පූර්ණ ශාලාවෙම පුටු පිළිවෙලට සකස් කරලා. ගැලරියෙ ඉඳලම ආසන පනවලා. බිත්තිත් අලුතෙන් පාට කරලා. සෑහෙන හොඳ මට්ටමක වටපිටාව තිබුණා. ආ... කියන්න අමතක වෙනවා තව ඩිංගෙන් දැන් බොක්සුත් පේළියක්ම අලුතෙන් හදල තියෙනවා. ඉස්සර ඒව තිබුණෙ නැහැ. 


ඉරිදා දවස නිසාද මන්දා ගෝල් බලන්න සෑහෙන පිරිසකුත් උන්නා. චිත්‍රපටය හොඳයි, කම්මැලිකමක් නැතුව බලා ඉන්න පුළුවන්. හැබැයි අවිශ්වසනීය තැන්, තවත් සැලකිලිමත් විය යුතු තැන් තියෙනවා. මට සැකයක් තියෙනවා අපිට පෙන්නුව චිත්‍රපටියෙ කොටස් අඩු වෙලාද කියලත්. චිත්‍රපටි ශාලාකාරයො එහෙම වැඩත් කරනවනේ...

දිළිඳු දුෂ්කර ගම්මානයක ජීවිත ඒ කාෂ්ටක ගතියෙන් තොරව බොහොම සුන්දරව පෙන්නන එකේ පොඩි අතාත්වික ගතියක් තියෙනවා. ෆුට්බෝල් ගැන මෙලෝ හසරක් නොදන්න ඒ වගේ මැරෑටි කොළු සෙට් එකක් කොහොමද මෙච්චර ඉක්මණට දක්ෂ ටීම් එකක් බවට පත්කරගත්තෙ. ඒක සෑහෙන දුෂ්කර වෑයමක් වෙන්න ඕනනෙ. චිත්‍රපටිය ඇතුළේ ඒ බව මතුවෙනවා අඩුයි. මේ වගේ තව සියුම්ව ඔපමට්ටම් කරගන්න පුළුවන් අවස්ථා ගණනාවක්ම තියෙනවා.

දඬුවම් මාරුවක් විදියට දුෂ්කර අඩවියකට යන පාපන්දු පුහුණුකරු සහ බිරිඳ ඒ දරුවන් එක්ක, ගම එක්ක ඇතිකරගන්න සම්බන්ධතාව, ළමයින්ගෙ ජීවිත ගොඩනගන්න දරන වෑයම, දරුවන් තුළ කැපවීම උනන්දුව ඇතිකරන්න ගන්න උපක්‍රම මේ හැමදේම එක්කම ගත්තම ලස්සන කතාවක් තියෙනවා. වන්නි වනන්තරේ කණිෂ්ටෙක දරුවන් පිරිසක් හිටිඅඩියෙ පාපන්දු පුහුණු වෙලා කොළඹ ඇවිත් රාජකීයයන් පරදවලා සමස්ත ලංකා ශූරතාවය දිනාගන්න එක කොයිතරම් දුරට ප්‍රායෝගික විය හැකිද කියන ගැටලුව තිබුණත් දරුවන්ට ඒ දෙන ඉලක්කයම හොඳ උත්සාහයක්. චිත්‍රපටයක් විතරක්ම නෙවෙයි,  සමාජ වැඩක් විදියට ගත්තමත්. 


චිත්‍රපටයට තෝරගත්ත වටපිටාව වගේම පොඩි කොලු පැටව් ටිකත් බලා ඉන්න හිතෙන තරම් හිතට සුවයක් ගේනවා. ඒ චරිතවල හැසිරීම් හරිම ආදරණීයයි. චිත්‍රපටයේ උසස්කම ගැන නෙමෙයි මම මේ කියන්නෙ ඒ චරිතවල තියෙන ආදරණීය බව. ඒවා හිතට දැනෙනවා. සංවේදීයි.  

දරුවන්ව එක්කරගෙන යන්න මේ චිත්‍රපටිය බලන්න. මට හිතෙනවා ඒක එයාලට වෙනස් අත්දැකීමක් වේවි.



Tuesday, August 7, 2018

තුන්දෙනෙකු ගැන කතාවක් පමණක්මද?




 ‘‘තුන්දෙනෙක්‘‘ නිමාවේ අඳුරු ගන්වා තිබූ ශාලාව විදුලි පහන් එකිනෙක දල්වාලද්දී පවා මා උන්නේ සාංකාවෙනි. ඒ මීගමුව මාරිස්ටෙලා විදුහල් ශාලාවේදී Her, Him The other සිනමා පටය තිරගත වූ සැඳෑවය. ඒ රූප රාමු එකින් එක ඇස් ඉදිරියේ ගලා යද්දී සැබෑ මිනිස් මුහුණු සිය ගණනක් මා සිතේ පෙළගැසෙමින් තිබිණි. 

අතීතයේ දවසක මට්ටක්කුලියේ හමු වූ මඩකලපුවේ වැන්දඹු අම්මලාද, ළක්‍රිවී වැඩවලට ආ මන්නාරමේ, වව්නියාවේ නෙදන්කර්නි, යාපනේ තරුණ තරුණියන් සහ දූ දරුවන්ද, කයිට්ස් දූ දරුවන්ද, වලෙයිපාඩු තරුණ පිරිසද, ආනවිළුන්දාන් වැන්දඹු අම්මලා සහ දරුවන්ද, කේපාපිලව් හමුදා කඳවුර ඉදිරිපිට කූඩාරම් ගසාගෙන තම ඉඩම් හිමිකම ඉල්ලා සිටින මිනිසුන්ද, තේ වතුවල හමු වූ දිළිඳු අසරණ මිනිසුන්ද... ඒ මුහුණු මේ රටේ අසරණ වූ ලක්ෂ සංඛ්‍යාත ජනකායකින් මට හමුවූ සිය ගණනක් පමණි.

ඒ ඇස් - මා ඇස්, ඉස්, මස් කළඹමින් තිබිණි. නිමාවූයේ තුන්දෙනෙකුගේ කතාවක් පමණක් නොවන බව හොඳින්ම දනිමි. එය අතීතයේ කතාවක් පමණක්ද නොවේ. වර්තමාන කතාවද, අනාගත කතාවද එයම වන බව සිතන්නට සිදුවීමත් වේදනාවකි. අප මහන්සි විය යුත්තේ ඒ කතාව වෙනස් කරන්නටය. වෛරයේ, ද්වේශයේ, ආත්මාර්ථයේ කතාව වෙනුවට එකිනෙකා තේරුම්ගැනීමේ, පිළිගැනීමේ ආදරයේ කතාවක් බවට පත්වීමටය. 

‘‘අපට අපේ කතාව කියාගන්න විදියක් නෑ...‘‘

‘‘අපට කියන්න කතා සියදාස් ගාණක් තියෙනවා. අපට අපේ කතාව කියාගන්න විදියක් නෑ‘‘ කියා පළමුව දිගහැරුණු ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඇය‘ කතාවේ කේසා හඳගමට කියද්දී එවන් කතා කොතරම් නම් මා ඇසුවේදැයි සිහිපත් විණි. ‘‘අපි උන්නෙ දෙමටගොඩ සමන්තා එක ළඟ. තාමත් අපේ අය ඒ අහළ ඇති. දුවේ හොයල බලනවද?‘‘ ආනවිළුන්දාන් බලාපොරොත්තුවේ නිවහනේ වැන්දඹු අම්මලා 107 දෙනෙකුගෙන් ඒ කතාව කීවේ එක අම්මා කෙනෙකි. ඒත් එදා මට ඇයට හරිහමන් පිළිතුරක් දෙන්නට ඉඩක් නොලැබිණි. ඒ වේදනාව තාමත් මා පාරවයි. මෙවන් ගමන්වලදී හමුවුණු බොහෝ වියපත් අම්මාවරුන් කී කතාවල මහා පොදු සාධකයක් තිබිණි. ඒ 83 කලබල හමුවේ දකුණේ කොහේ හෝ තැනකින් ඔවුන් උතුරුකරයට පිටුවහල් කර දැමූ බවකි.  

ඒ අම්මලාට වගේම සෑම දමිළයකුටම කියන්නට කතාවක් ඇති බව නිසැකය. ගැටලුව ඇත්තේ ඒවා අසන්නට අප සූදානම්ද යන්නය. ඔවුනට කියන්නට ඇති කතාවලින් නවකතා, කෙටිකතා, කවි සිය දහස් ගණනක් ලියනු හැකි. චිත්‍රපට සියදහස් ගණනක් තනනු හැකි. නමුත් එය තේරුම් ගන්නට අපට හැකි වනු ඇත්ද? අප ඒ කතාව තේරුම් ගනු ඇත්ද? ඔවුන්ගේ කතාව කියන්නට ඉඩ සාදාදීම අපගේ වගකීමකි. යුතුකමකි. එය පිළිගන්නට, දරාගන්නට, තේරුම් ගන්නට අපේ හදවත් විවෘත කරගත යුතුය. ඒ වගේම අපේ කතාවත් ඔවුන් හා බෙදා හදා ගත යුතුය. දේශපාලකයන් ලංසු තබන්නේ ඔවුන්ගේ අසරණ ජීවිත පමණක්ම නොවන බව අපේ කතාවලින් ඔවුන්ටද වැටහෙනු ඇත. ඉදින් අප එක්ව කළ යුතු අරගලයක් මිස බෙදී වෙන්ව ඇණකොටා ගැනීමෙන් සිදුවන සෙතක් නැති බව ඔවුන්ද, අපද වටහා ගත යුතුව ඇත. 

‘‘ඔයාල ආයෙම එන්න. බලන්න යුද්දෙ ඉවර වෙලා අවුරුදු පහක් ගත වෙලත් මේ අම්මලගෙ ඇස්වලින් තාමත් කඳුළු ගලන හැටි. ආධාර අරන් එනවට වඩා වැදගත් මේ විදියට ඇවිත් හැම අම්ම කෙනෙක් එක්කම කතා කරන එක. මේ මිනිස්සුන්ගෙ පපුවල කොයි තරම් දුක් කන්දක් හිර වෙලා තියෙනවද? ඒවට ඇහුම්කන් දෙන්න, කතා කරන්න, හිත් සුවපත් කරන්න.. ඒක තමයි වැදගත්ම දේ... නැවත එන්නැයි අපට ඇරයුම් කළේ ඒ නිවහනේ බලාපොරොත්තු දල්වන්නාවූ පැවිදි සොයුරියයි. ඒ 2014 වසරේ අත්දැකීමකි.

‘‘එළාර කියන්නෙ නරක වචනයක්‘‘

විමුක්ති ජයසුන්දරගේ ‘‘ඔහු‘‘ කතාවේ තමන්ගේ පෙර ආත්මය කතා කරන දරුවා ලාංකේය සිංහල බෞද්ධ උත්තමවාදයට පතිතකරන්නේ දරුණු අකුණු පහරක් නොවේද? සිංහල බෞද්ධ මවක කුසින් උපත ලදද ඔහු කතා කරන පෙරභවය උතුරේ සන්නද්ධ අරගලයට එක් වූ තරුණයකු ගැන කතාවකි. අපි මරාගන්නේ ජාතිය, ආගම ඉස්සර කරගනිමිනි. නමුත් ඇත්තටම ධාර්මිකව ජීවිතය දෙස බලන්නේ නම් එකිනෙකා සහෝදරත්වයෙන් වැළඳගනු මිස මරාගන්නට ඉඩක් ඇත්ද?

ජාතිය ගැන වගක් නැති දෙමළ බස කතා කරන සිංහල දරුවන් කල්පිටියේදීත්, එළුවන්කුලමේදීත් මට හමු වී ඇත. ඔවුන් සිංහලය. නමුත් ගයන්නේ දෙමළ ගීතය. කතා කරන්නේ දෙමළෙනි. චිත්‍රපටය තුළ සිටින සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන්නට කල්පිටියට යන තරුණ සිංහල ගුරුවරයාට අග මුල පටලැවෙන්නේ එබැවිනි. කොතරම් මනුස්සකමින් පිරුණු හදක් තිබුණද උගන්වන්නට සිදුවන්නේ දෙමළුන්, මුස්ලිමුන් නැති ඉතිහාසයකි. සාහිත්‍යයකි. ‘එළාර‘ නරක වචනයකැයි කියා ඔහුට කෑ ගාන්නට සිදුවන්නේ එබැවිනි. ඔඩු දුවා වණ වූ මේ වාර්ගික තුවාලය හදන්නටත්, එය සුවපත් වන මං වසා දමන්නටත් අපගේ අධ්‍යාපන රටාව කොතරම් බලපෑමක් සිදුකර ඇත්ද?

‘‘අපි උපන්දා ඉඳල එක ගෙයි උන්න සහෝදරයො වගේ. ඔයාල ඒ තමන්ගෙ සහෝදරයා එක්ක එක බිම බෙදාගන්න බෑ කියල ඒ සහෝදරයට ගහල, මරල නැති කරල දැම්මා. අපි දැන් නැත්තටම නැති වෙලා ඉවරයි. අපට තවත් නැතිවෙන්න දෙයක් නෑ. ඒත් ඔයාල මේ දෙමලව නැති කරල බේරගත්ත රට දැන් චීන්නුන්ට සින්නක්කර විකුණද්දි බලාඉන්නෙ කොහොමද? වරාය නගරය හදන්න රට මැද මහ ගල් පර්වත කඩනවා. රට වටේ මුහුදු වෙරළ හෝටල්වලට විකුණනවා. දූපත් බදු දෙනවා. පරිසරය විනාශ කරනවා. දෙමළට ගහල බේරගත්ත රට මේ විදියට විනාශ වෙලා යද්දි ඔයාල මොනවත්ම නොකරන්නෙ ඇයි?‘‘

දිනක් අපෙන් එලෙස ඇසුයේ උතුරුකරයේ දමිළ පියතුමෙකි. අපට කට උත්තර නැති විය.

‘‘ඔයාල තේරුම් ගන්නවනම් මගේ වයස තරම් දිගට ඇදෙන යුද්දයක් ඇතිවෙයිද?‘‘

අම්මලාට දරුවන් අහිමි වීම, දරුවන්ට දෙමව්පියන් අහිමිවීම තරම් අහිමිවීමක් තවත් ඇත්ද? හඳගමගේ ‘‘අනෙකා‘‘ අපෙන් විමසනුයේ අම්මා කෙනෙකුගේ ඇස්වලින් ගලා යන කඳුළුවලට අපි අරුතක් එක්කරන්නේ කවදාද යන්නයි. අතුරුදන් වූ තම පුතා සොයා කොළඹට එන අම්මාත්, සැමියා පිළිබඳ සත්‍යය සොයා එන වැන්දඹු තරුණ කාන්තාවත් අගනුවරදී මුහුණ දෙන අත්දැකීම් අප තේරුම් ගන්නේ කෙසේද? අපට ඇත්තේ මළ මිනී ගණන් කර, ඉලක්කම් සන්සන්දනය කර සතුටු වූ අතීතයකි. කැබිතිගොල්ලෑව, බුත්තල, කොළඹ බස් බෝම්බ ගැන කතා කරන අපට එවැනි බෝම්බ සිය ගණනක්, උණ්ඩ දසදහස් ගණනක් එකදිනකදී උතුරට වැටුණු  බව අමතක වේ. අහිමි වීම උතුරට වුවද, දකුණට වුවද වේදනාව එකමය. අප ඒ වේදනාවට සංවේදීවන්නේ කවදාද? 

‘‘අපිට අපේ දරුවො ඉන්නවද? නැද්ද කියල විතරක් කියන්න. ඉන්නවනම් එක පාරක් අපට බලන්න දෙන්න.‘‘ උතුරෙන් ආ අම්මා කෙනෙකු දරුවකුගේ පින්තූරයක් අත තියාගෙන කඳුළු පුරවන් කී කතාව අදත් මා පාරවයි. වව්නියාවේ අට්ටාලයක නැගී අතුරුදහන් වූ තම ආදරණීයයන් ඉල්ලා සත්‍යග්‍රහයක උන් පිරිස අතර එක් අම්මා කෙනෙකි. ඒ අම්මා අත වූයේ පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයා පාසල් දැරියන් පිරිසක් වට කොටගෙන ඉන්නා ඡායාරූපයකි. එහි ඉන්නා දැරිය තමාගේම යැයි ඇය පවසයි. නමුත් එය එසේ නම් දැරිය සොයා දෙන්නට හෝ ඒ ඇය නොවන බව තහවුරු කොට ඇගේ හිත හදන්නට හෝ කාටවත්ම උවමනාවක් නැත. අදටත් ඇගේ ප්‍රශ්නය විසඳුණාදැයි මම නොදනිමි. 

අම්මලා තරම් උහුළන පිරිසක් තවත් ඇත්ද? අසූ අට, අසූනවයෙ මරාදැමුණූ දූ පුතුන් කාටත් අමතකව යන පසුබිමක අම්මලා තාමත් හඬා වැළපෙති. උතුරු නැගෙනහිරද එසේමය. අම්මලාගේ ඇස්වල ඇත්තේ කවදාවත් නොසිඳෙන කඳුළු උල්පත්ය. දකුණය, උතුරය කියා එහි වෙනසක් නැත. අදත් ඔවුන් තම දරුවන් සොයමින්, ඉල්ලමින් රට වටේ ඇවිදින්නේ එබැවිනි. හඳගමගේ චිත්‍රපටයේ අතුරුදහන් වූ තම පුතා සොයා යන අම්මා වැනි අම්මාවරුන් සැබවින්ම මට හමු වී ඇත. තවමත් ඒ අම්මලා අට්ටාල මත නැග උපවාස කරති. කියනා කියනා පමාවට කොළඹ දිව එති. කොටුව දුම්රියපළ ඉදිරිපිට බැනර් අල්ලාගෙන වාඩි වී හිඳිති. සියල්ල අත්හැරී ගියද සිය දරුවන් දෑහින් දකිනා බලාපොරොත්තුව අත්හැර ගන්නට අම්මලාට නොහැකිය. යුද්දය පිරිමින්ට ආඩම්බරයකි. නමුත් ගැහැනුන්ට සහ දරුවන්ට එය වධ බන්ධනයක්, දරුණු වධ ගාවිනාවක් වන්නේ එලෙසිනි.  

‘‘ඇය, ඔහු සහ අනෙකා‘‘ ගේ කතාව අපි නැරඹිය යුත්තේ හඳගම කියන්නාක් මෙන් අපේ රටේ සංහිඳියාව ඇණ හිටින තැන හඳුනාගැනීමටය. යුද උන්මාදය, ජාතිවාදය විසින් කප්පාදු කර දැමූ සංවේදී නහර පුබුදුවා ගැනීමට නම් අප ඔවුන්ගේ කතාව ඇසිය යුතුය. දැකිය යුතුය. ‘‘අනෙකා‘‘හි වැන්දඹු තරුණිය ත්‍රීරෝද රථයේ රියදුරුගේ දුරකථන ඇමතුම නොසලකා හැරියා සේ ඉතා රළු ලෙස දමිළ සමාජයෙන් අප නොතකා හරින අවස්ථාද ඇත. 

මම එවැනි අත්දැකීම්වලටද මුහුණ දී ඇත්තෙමි.  ඔවුන් විඳ ඇති දුක්වේදනා දකින විට පුදුම විය යුත්තේ එසේ නොවන්නේ නම් පමණකැයි මම සිතමි. නිදහස, අභිමානය, ආරක්ෂාව, ජීවන අපේක්ෂාවන් බිඳී වැනසී යෑමේ ඛේදනීය විලාපය විටෙක වියළි බවින්ද, තවවත් විටක මුරණ්ඩුබවකින්ද, ද්වේශයකින්ද, තවත් විටක තෙතබරිත බවින්ද ඒ මුහුණු මත ඇඳී ඇත.  එබඳු අවස්ථාවල සමාව ඉල්ලන්නටද, ආදරෙන් වැළඳගන්නටද නොපැකිළෙමි. නමුත් බොහෝවර මට හමු වී ඇත්තේ සාමය සහ නිදහස වෙනුවෙන් දෑත් දිගුකරන අපේක්ෂාවෙන් පිරුණු ආදරවන්ත මුහුණුය. 

හදවත් විවෘත කිරීමේ යතුර ඇත්තේ තේරුම් ගැනීම තුළය. ආදරය තුළය. ඉනික්බිතිව අපට බොහෝ දේ කළ හැකිය. නමුත් අනතුර ඇත්තේ අපගේ ආදරයේ බලයට වඩා මේ සමාජය වෙළා පවත්නා බල තණ්හාවේ සහ අන්තවාදයේ බලය ප්‍රබල වීම තුළය. සැබවින්ම මනුෂ්‍යත්වය ඇත්තේ බරපතල අනතුරකය. ඒ අනතුර අපට සම්මුඛ වන මොහොත මෙම තුන් ඈඳුතු කතා අපට සිහිපත් කර දෙයි.



Wednesday, August 1, 2018

කතන්දරේ පටන් ගත්තෙ අන්න එතැනින්

Painting By Miho Hirano 


කතන්දරේ පටන් ගත්තෙ අන්න එතැනින්
අහඹු විදියට...
එකෝමත් එක රටක, එක කාලෙක
ඉනික්බිති කාලය ඝණීභූතව
කල්පයක්ම අසුරු සැණක්ව...

කවියක් විදුලි කොටන්නැහේ හිත පත්ළේ
ඔයා ඇවිත් සිරිස් ගාලා ඇස් ඉස්සරහ
සහළවා උණ ගත්ත ළය මත්තෙ
කහ පාට, සුදු පාට සමනල්ලු රෑන් පිටින්...

හැම කතන්දරයක්ම පටන් ගත්තාට එක විදියට
එකෝමත් එක රටක, එක කාලෙක
මොන බොරුද?
ඒ හැම ඇරඹුමක්ම අහම්බයක්
අහම්බයක් කියන්නෙම අසිරියක්...      

කවදාවත්ම නොපිරෙන
ආදර තටාකයක් පපුතුරේ හංගගෙන
ඉබාගාතේ පාවෙන
වරා මලකට අත පාන්නට තරම්
පිස්සු හැදුණේ කොහොමද                    
ඇත්තට ඔයාට?

නොකිව්වයි කියන්නෙපා ඔන්න           
වධක බාරියක් මං සත්තකට
බැන්දොතින් හෙම ඔයාට
එපාවෙයි මාව එක දවසින්ම...

තෘෂ්ණාධිකයි මේ හිත
නිවී සැනහී ඉන්න හිතුවාට
පා වෙවී උන්නාට
හිම පියල්ලක් ගාණට
අයිස් කන්දක් වගේ හිත
මතකනේ ටයිටැනික් නැව...

ආදර උල්පතක් හෙම
තියෙනවද ඔයා ළඟ
කවදාවත්ම නොහිඳෙන...