Monday, November 6, 2017

මා දන්නා ‘නාමල්‘ ලා සහ ‘සහෝදරයා’



මා දන්නා ‘නාමල් ලා දෙදෙනෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘නාමල්ය. මනුස්සකමින්ද, කලාකාමිත්වයෙන්ද, නිර්මාණශීලිත්වයෙන්ද ඒ මනුෂ්‍යාත්ම සුවඳ ය. සිලිටි ය. පැහැදුල් ය.

එක්කෙනෙක් මහින්ද නාමල් ය. ඔහු ගුරුවරයෙකි. ගුරුවරයෙකැයි කීවාට අමුතුම තාලයේ ගුරුවරයෙකි. ඔහු උගන්වන්නේ සිලබස් එක පමණක් නොවේ. ඉන් ඔබ්බෙහි වන ජීවිතයද, සමාජ යථාර්ථයද කාලච්ඡේදවල අමුණා දරුවන්ගේ දෑස් මත, දෑත් මත, සිත් මත තබන්නට සමතෙකි. ඔහු ඇසුරේ උගන්නා දරුවන් ස්වකීය හැකියාවන් ඔපමට්ටමට් කරගනිමින් කළඑළි ගන්වන අපූරුව මා කොතෙකුත් දැක ඇත.

ඒ මහින්ද නාමල් කවි ලියන්නේය. ගී ලියන්නේය. කතා ලියන්නේය. දේශපාලනික, ආගමික ලිපි ලියන්නේය. සාහිත්‍ය කලා විචාර ලියන්නේය. ‘‘කිතුසර‘‘ ප්‍රධාන සංස්කාරකද වන්නේය. රට වටා ඇවිදිමින් මිනිසුන් හමුවන්නේය. කතා කරන්නේය. මහප්‍රාණ සමාජ, දේශපාලන කතා වුව සරලව, හෘද සංවේදීව පහදාලීමේ අපූරු සංයමයක් ඔහු සතු වන්නේය. ලංකාවේ කොයිකොණක හෝ භාරගන්නා වැඩකට වෙලාව නොවරදවා එන ඔහු ජංගම දුරකථනයක් හෝ යතුරු පැදියක් තරමවත් භාවිත නොකරන බව ලියා තබන්නේ ඔහුට ගෞරවයක් ලෙසිනි. මා ඒ මහින්ද නාමල්ට ගරු කරන්නේ මගේ ජීවිත ගමනේ ඥාන පියකු සේ මඟ පෙන්වා දෑස පෑදූ නිසාම පමණක් නොවේ. ඔහු  එකක් සිතා, තවත් එකක් කියා වෙනකක් කරනා තාලයේ මිනිසකු නොවන නිසාමය.

මා දන්නා තවත් නාමල් කෙනෙකි. හේ නාමල් ජයසිංහ ය.

ලියන්නෙකු, නළුවෙකු ලෙසින් නමින්, රුවින් පමණක් දැන සිටි ඔහු ගැඹුරින් මවෙත හඳුන්වා දෙන්නේ ශානක මල්ලී ය. එවකට ළක්‍රීවි කාර්යාලයේ මසකට වරක් පැවති නාට්‍ය වැඩමුළුවට නාමල් අයියා මඟ පෙන්වමින් උන්නේය. ස්වර්ණවාහිනියේ විකාශය වූ ‘අප්පච්චි ගැන කියා මා අවුළුවා එය බලන තැනට වැඩ සැලැස්සූයේ ශානක මල්ලී ය. එහි අප්පච්චී දරුවන් සමඟ නිධානයක් ගොඩගන්නා දර්ශනය ළක්‍රීවි සන්නිවේදන හා නායකත්ව පුහුණු වැඩමුළුවලදී පොත් කියවීමේ අගය ගැන දරුවන් දැනුවත් කරන්නට අපි යොදාගතිමු. නාමල් තුළ ජීවත් වන ‘අපූරු අප්පච්චි ගැන ශානක මල්ලිත්, මමත් සංවාද වූයෙමු.


‘ග්ලැඩියේටර් ප්‍රේමය‘ ගැන කියා යූබටයෙන් එය පරිගණක තිරයට ගෙන දර්ශනයෙන් දර්ශනය සංවාද වෙමින් මා සමඟ එය නැරඹූයේ ශානක මල්ලී ය. පරිගණක වේදිකාව මත දිගහැරුණු ග්ලැඩියේටර් ප්‍රේමය කොතරම් මා ආසක්ත කළේද යත් ‘ග්ලැඩියේටර් පෙම්වතී‘ මැයෙන් මාතින් ලියැවුණු කවිය මගේ කුළුඳුල් කවි පොතටද ඇතුළත් වන්නේය. නමුත් ඒ කවිය නාට්‍යයේ තේමාව හා සම්බන්ධයක් නැති වෙනම කතාවකි.


ඉන්පසුව අපි හමුවන හැම අවස්ථාවකම අපේ කතා බහේ එක් ප්‍රධාන මාතෘකාවක් වූයේ ‘නාමල් සහ ඔහුගේ නිර්මාණ ය. මේ අතර නාට්‍ය කණ්ඩායම සමඟ කළ මුල්ම කෙටි නාට්‍යය ‘‘ධර්මිෂ්ට සමාජයක් ගොඩනගමු. නාට්‍යය ළක්‍රිවී වාර්ෂික අනුශාසක සම්මේලනයේදී වේදිකාගත වීමත්, ඒ හරහා ඇතිවුණු සංවාදයත් සමඟ මට ඔහු - ‘නාමල් ජයසිංහ පෞද්ගලිකව දැන හඳුනාගන්නට හැකි විය.



නාමල් විසින් තිර පිටපත ලියූ ‘‘තාරා ටෙලි වෘතාන්තය පිළිබඳව කළින්ම ආරංචිය ලැබුණෙන් එය මුල සිට ම නරඹන්නට ඉඩප්‍රස්ථාව උදා විය. ‘තාරා‘ ගැන මා ලියූ බ්ලොග් සටහන කියවා විදෙස්ගත බ්ලොග් මිතුරන් කිහිපදෙනෙකුම එය නැරඹූ බව ආරංචි විය. ආදරය, ජීවිතය සහ සමාජය සම්බන්ධව නාමල් ජයසිංහ නම්වන කලාකරුවාගේ දැක්ම, සංවේදී බව ඔහුගේ ලියවිලි හරහා මා වසඟ කළ බව ඇත්තකි.



‘‘බොහීමියානුවා‘‘ මුල සිට නැරඹීමට මා උනන්දු වන්නේද එහෙයිනි. ඇත්තෙන්ම ‘තාරා‘, ‘බොහිමියානුවා‘ හැරුණු විට මෑතක මා සම්පූර්ණයෙන්ම නැරඹූ අනෙක් ටෙලි සිත්තමක් ඇත්නම් ඒ  ‘බැද්දේ කුලවමිය ය.


‘බොහිමියානුවා‘ සුමති ටෙලි සම්මාන උළෙලේ සම්මානයට පාත්‍ර වී ඒ ගැන සංවාදයක් මතු වන විට තිසර මගෙන් ඇසුවේ ‘‘තරූ බොහිමියානුවා බැලුවද? මං අද උදේ ඔයාගෙ බ්ලොග් එක බැලුවා ඔයා ඒ ගැන මොනව හරි ලියල තියෙනවද කියල. ඒක බලල පිස්සු හැදිල වගේ ඉන්නෙ මේ දවස්වල.‘‘ කියාය. ඒ ගැන ලියන්නට බැරිවීම අඩුවක් බව දැනුණේ තිසරගේ පණිවිඩයත් සමඟ ය. ඇත්තෙන්ම බොහිමියානුවා නාට්‍යෙය් දෙබස් කීප වතාවක මූණූපොතේ ලිව්වද, නාට්‍යය නිමවීමෙන් පසුව ඒ ගැන සටහනක් ලිවීමේ අවස්ථාව මඟහැරුණේ මා පොත් වැඩවල සිර වී සිටිය බැවිනි.

ඒ අතීත කතා එබඳු ය. මේ වර්තමාන කතාව ය.

පසුගිය ඔක්තෝම්බර් 31 වන දා සැඳෑවේ තරංගනී සිනමා ශාලාවේ දී, තරංගනී නම් වන මට ද නාමල් අයියාගේ අලුත්ම ටෙලිසිත්තම වන ‘සහෝදරයා‘ ටෙලි නාට්‍යෙය් තෝරා ගත් කොටස් 10 ක් එකදිගට නැරඹීයේ දුර්ලභ වරම ලැබිණි. කඳුළු ය. සතුටු ය. සතුටු කඳුළු ය. විශේෂත්වය වන්නේ මෙවර තිර පිටපත ලියූ නාමල් ම එය අධ්‍යක්ෂණය කර තිබීම ය. ‘තාරා‘ පිටපතෙහි ගැඹුර අධ්‍යක්ෂකට හසු වී නැති බව එදවස මට ද හැඟුණි. ‘බොහිමියානුවා‘ අධ්‍යක්ෂණය ‘තාරා‘ ට වඩා ඉදිරියෙනි. මෙවැනි පසුබිමක් තුළ නාමල් අයියා ලියූ තිර පිටපත ඔහු විසින්ම අධ්‍යක්ෂණය කිරීම වඩා හොඳ බව මට ද දැනෙයි. එහි සාර්ථකත්වයේ සේයා තරංගනියේ දිගහැරිණි. මෙබඳු නාට්‍ය වෙනුවෙන් ජාතික නාලිකාවන්හි දොර විවර වීමද අපේක්ෂාසහගත අත්දැකීමකි.

‘‘අක්කෙ, නාට්‍යය අතරමඟ නවත්තලදායිද අයිටීඑන් එකෙන්...? නාට්‍ය දර්ශනය අවසානයේ සංවාදය අතරතුර මගෙන් එසේ ඇසුයේ තවත් සහෝදරයෙකි.

‘‘නෑ... එහෙම වෙන්නෙ නෑ. මට ෂුව. මම කීවෙමි. අයිටීඑන් එක ගැන විශ්වාසයක් ඇත. ඒ එහි සමන් මෙන්ම කැටිපෙ ද සිටින බැවිනි. ඒ විශ්වාසය නොබිඳී පවතීවායි මම ප්‍රාර්ථනය කරමි.

නාට්‍යයේ එන සහෝදරයාගේ ( රොෂාන් රවීන්ද්‍ර) කරේ කුරුසියකි. කුරුසිය අවධාරණය වන අවස්ථා කීපයක්ම දකින්නට ලැබිණි. සංවාදය අවස්ථාවේ කෞශල්‍යා කුරුසිය මතුකරන්නේ කුමන අර්ථයකින්දැයි ඇසූ විට නාමල් පිළිතුරු දුන්නේ එය ආගමික අර්ථයකින් නොව, සංඥාර්ථයකින් යොදා ගත් බව ය. මට සිහිපත් වූයේ ‘අප්පච්චි නාට්‍ය යේ එන ‘නාසරතයේ සහෝදරයා ගීතය ය.

නාසරතයේ සහෝදරයා
සත්‍යයේ පූජාවට ඒ කාලේ නුඹ දරාපු
එවැනි කුරුස තව තියෙනවා



‘සහෝදරයාට‘ ඔබ ද අනිවාර්යයෙන්ම ආදරය කරන බව විශ්වාසය. වසර ගණනාවක් පුරා ලංකාවේ බල අරගල නාමයෙන්, පවතින ක්‍රමය ප්‍රශ්න කිරීම සහ අභියෝගයට ලක්කිරීම හේතුවෙන් මිනිසුන් මරාදැමිණි. ක්‍රම වෙනසක් ඇති කර සමාජය යහපත් කරනු වෙනුවට පහසු විසඳුම් ලෙස ප්‍රශ්න කරන හඬ නිහඬ කිරීම, මනුෂ්‍යත්වය වළලා දැමීම දිගින් දිගටම සිදු විය. ‘සහෝදරයා‘ සහෝදරත්වයෙන් ගෙන එන්නේද මේ සමාජ ඛේදවාචකයේ මගහැරිය නොහැකි පැතිකඩකි.

‘සහෝදරයා‘ ‘කූඹියෝ‘ වගේ හිට් වෙයිද? මේ බොහෝ දෙනෙක් අසන පැනයකි.

මට හැඟෙන පරිදි මේ නාට්‍ය දෙකම දෙපා තබන්නේ එකම සමාජ, දේශපාලන මඩ ගොහොරුවක ය. නමුත් ඒ හද ගැස්ම එකිනෙකින් වෙනස් ය. අනිල් හේරත් පවසා තිබුණේ කූඹියෝ ට්‍රැජි කොමඩියක් බව ය. මට දැනෙන්නේ සහෝදරයා මුළුමනින්ම ට්‍රැජඩියක් බව ය. එනිසා කූඹියෝ දකින ඇස්වලින්ම, ඒ හදින්ම සහෝදරයා අල්ලාගන්නට තැත්දැරීමෙන් ඒ නිර්මාණයට අසාධාරණයක් වේයැයි බියක් මා තුළ ඇත. මෙම නාට්‍ය දෙක හැඟීම් ධාරාවන් දෙකකි. වෙනස් වැඩ දෙකකි. නමුත් ඒ වෙනස්කම තුළ වන ඒකමිතිය අල්ලා ගැනීම සංවේදී සහෘදයකුට අසීරු නොවනු ඇත.


නොවැම්බර් 18 වන දා සිට සති අන්තයේ රාත්‍රී 8.30 ට ස්වාධීන රූපවාහිනියෙන් සහෝදරයා නරඹන්න යැයි ඇරයුම් කරමි. 






16 comments:

  1. මං දන්න නාමල්ල ගැනත් ලියන්න ඕන.. හැක්..

    කොච්චර හොද නාටිටි තිබුනත් දැං නං එකක් වත් බලන්නෑ.. ඒ තරං ටීවී එපා වෙලා. සිරස, හිරු, දෙරණ උන් රටට කරන අපරාදේ දැක්කම ටීවී එක පොළවේ ගහන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. සෙහා්දරයා බලන්න. යුටියුබ් ඒෙකන් බලන්න පුළුවන්ෙන්...

      Delete
    2. මා දන්න තවත් නාමල්ල ඉන්නව තමයි ලිව්වෙ නැති වුණාට...

      Delete
  2. මා දන්නා නාමල් කෙනෙකුත් ඉන්නවා.ඇත්තටම හොඳම යාලුවෙක්.

    තරු අක්කා පොතක් ගැන ලිව්වා නම් කියවන්න ඉඩ තිබ්බා හොයාගෙන.එත් මේ ටෙලි නාට්‍ය ගැන නම් එහෙම සහතිකයක් දෙන්න බැහැ බලන්න පුලුවන් වේවිද කියලා.ටෙලි නාට්‍ය ගැන මාගේ තියෙන්නේ ඇල්මැරුණු උනනන්දුවක්.

    එක නෙමේ තරු අක්කේ
    මම දැක්කා ගුණදාස කපුගේ ගායනා කරන "කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල්පෙති විසිරුණු මල් පාරේ කියන" ඒ ජනප්‍රිය සින්දුවේ මුල් කොටස ලියලා තියෙන්නේ සමන් අතාවුදහෙට්ටි නෙමෙයි "රසිකා"කියා ඔහුගේ මිතුරුයක් විසින් ලියු කවියකට ඉතිරි පද ලියා ඒය ගීතයක් කල බව සමන් ආතාවුදහෙට්ටි විසින් කියා තිබෙනවා පුවත්පතකට.ඒ රසිකා කියන නම දැක්කාම මට හිතුනා ඒ ගීතයේ මුල් කොටස ලියන්න ඇත්තේ තරු අක්කාවත්ද දන්නේ නැහැ කියලා.

    ඇත්තටම අක්කාද ඒ කොටස ලිව්වේ...?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මල්ලි... ඒ මුල් පද ටික ලියල තියෙන්නෙ අපේ රසී... රසිකා ගුණවර්ධන. එෆ්බී එකේ ප්‍රසිද්ධ කවිකාරි...

      යූටියුබ් එකෙන්වත් නාට්‍යය බලන්න.

      Delete
  3. නාමල් ව මට දැනෙන්නේ දා ගිය හේන් වල ඉතිරි බිජු රකින්නෙකු ලෙස ය.
    එහෙයින් ම මේ දුක්ඛ දායී සිදුවීම් මාලාව තුල ඔහු ආදරය තවරනු ඇති බව නම් නිසැක ය.
    ඒ නිසා මා 'සහෝදරයා' එනතුරු බලා හිඳිමි. බලාපොරොත්තුවෙන්. ආදරයෙන්.

    ReplyDelete
    Replies
    1. ‘‘නාමල් ව මට දැනෙන්නේ දා ගිය හේන් වල ඉතිරි බිජු රකින්නෙකු ලෙස ය.‘‘ මේ කතාව නම් සහතික ඇත්ත මල්ලි... මිනිස්කමින් පිරුණු සමාජයක් ගැන නොනවතින සිහින දකින්නෙක්...

      Delete
  4. නාමල්ව මට හඳුන්වාදුන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන මගේ මිතුරෙකු විසිනි. බොහීමියානුවා බලනවාදැයි අසා පටන් ගත් සංවාදය අතරතුර ඔහු කිව්වේ ඔහු නාට්‍යක් බැලීමට තෝරාගන්නේ අධ්‍යක්ෂක හෝ නළුනිළියන් මත නොව එහි පිටපත් රචකයා මත බවයි. මීට කලින් නාමල් ජයසිංහගේ නම කොහේදි හෝ අසා පුරුදු බව මතක ඇති වුණත්, මෙසේ පැහැදිලිව නාට්‍ය පිටපත් රචකයෙකු ලෙස නාමල් ජයසිංහ කියන නම මගේ හිතේ තැම්පත් වන්නේ එලෙසිනි.

    බොහීමියානුවා ටෙලිනාට්‍යය ජනප්‍රිය තලයට නොඒම මට නම් ලොකු ගැටළුවකි. මා එක යූටියුබයේ එක දිගට නරඹනවිට, දින 3, 4කින් සියළුම කොටස් නරඹා අහවර කලෙමි. නාට්‍යයේ ගැඹුර අමතක කලද ජනප්‍රිය තලයේ පවතින්නට අවශ්‍ය අංග වලින්ද එය සමන්විතව තිබුණි. සමහර විට මේ ජනප්‍රිය නොවුණා යැයි හැඟීමද මාධ්‍ය මගින් නිර්මාණය කරන ලද එකක් විය හැකිය. කූඹියෝ බලන්නට කලින් සම්පූර්ණයෙන්ම නැරඹූ නාට්‍ය නම් කරන ලෙස මුහුණුපොතේ තිබූ ආරාධනාවකට ලැබී තිබුණු පිළිතුරු අනුව බොහෝ දෙනෙකු බොහීමියානුවා නරඹා තිබුණි. බොහීමියානුවා නාට්‍යයේ දෙබස් සහ එහි අවසානය, ඉතා පරිණත තිර රචනයක ප්‍රතිඵලයකි. ඒ වගේම උමාලි තිලකරත්නගේ රංගනයද විශිෂ්ට එකකි.

    ඉතිං ඒ අනුව සහෝදරයා, නවමු බලාපොරොත්තුවකි. නාට්‍යයට ප්‍රචාරය ලබාදීමේ අරමුණෙන් කූඹියෝ සමග එය ගලපන්නට යාම කාගේ අදහසක්දැයි නොදනිමි. කෙසේ වෙතත් එයින් නාට්‍යයට යහපතක් වේ යැයි සිතිය නොහැක. දැනට නාට්‍ය කීපයක් නරඹා මා හඳුනන නාමල් ජයසිංහගේ ශෛලිය කූඹියෝ සමහ සමපාත නොවේ. කූඹියෝහි ජනප්‍රියත්වය සමග සහෝදරයා මත කූඹි සෙවනැල්ල වැටීමට බොහෝ ඉඩ ඇත. රොෂාන් රවීන්ද්‍ර මෑත කාලයේදී මගේ බලාපොරොත්තු යම් තරමකින් කඩ කල නළුවෙකි. නාමල් ජයසිංහ මේ අභියෝග වලට කේසේ මුහුණ දෙන්නේ දැයි ඉතා ඉක්මනින් අපට දැනගත හැකි වනු ඇත.

    ReplyDelete
    Replies
    1. සත් සමුදුරෙන් එතෙර උන්නට මෙතෙර පණ ගැහෙන හිතක්... තිසර!!!

      Delete
  5. කූඹියෝ හොඳ ටෙලි ෆැන්ටසියක් බව හැබෑව, ටෙලිකතා නොබලා හිටපු මට ආපහු ටෙලියක් බලන්න හිතවපු නාට්‍යයක් . එත් මට දැන් හිතෙනවා කූඹියෝ නිසා අනාගතයේ බිහිවෙන හොඳ ටෙලිනාට්‍ය අසාධාරණයකට ලක්වෙනවාදෝ කියල . මොකද දැන් හැමෝම පුරුදුවෙලා ඉන්නේ කූඹියෝ එක්ක සසඳන්න .
    නාමල ජයසිංහ කියන්නේ තමන්ගේ අනන්‍යතාව ගොඩනගාගත්ත චරිතයක් . එහෙව් එකේ කූඹියෝ එක්ක සසඳන්න එපා . කූඹිනට වෙනම ඉන්න දෙන්න සහෝදරයට වෙනම ඉන්න දෙන්න. ආපහු නිර්මාණාත්මක දෙයක් දකින්න බලාගෙන ඉන්නවා , ජය නාමල්

    ReplyDelete
    Replies
    1. ‘‘කූඹිනට වෙනම ඉන්න දෙන්න සහෝදරයට වෙනම ඉන්න දෙන්න‘‘

      මටත් කියන්න ඕන මේ කතාවමයි...

      Delete
  6. අන්තිම වතාවට වීවි පෙට්ටිය ඉස්සරහ වාඩි වෙලා පිළිවෙළකට ටෙලිනාට්ටියක් බැලුවෙ කවදද කියල මතක් කරාට මතක් වෙන්නෙ නෑ..එ තරමට මේකෙන් අපි ඈත් වෙලා දැන්....කූඹියෝ මට මගඇරුණ..මේකවත් බලන්න ඕන හරියට..

    ReplyDelete
    Replies
    1. මටත් ටීවී බැලෙන්නෙම නැති තරම්... යූ ටියුබ් සරණ තමයි.

      Delete
  7. සාමාන්‍යයෙන් මැදමුනනෙ අප්පොච්චිගේ ලොකු කොලුවා නා+මෝල් ගැන විතරමයි කතා බහ, ඒ නිසා හැබෑ නාමල් ගැන කතා කිරීම හොඳයි !

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...