Tuesday, March 20, 2018

උත්තරාදේවී සහ තවත් දේවිලා...

දරු ගැබට අත තියාගෙන සිටින උත්තරාදේවී සහෝදරයා ටෙලි නාට්‍යෙයන් 


ඒ අම්මා උන්නේ අමුතුම ඉරියව්වක. එතැන උන්නු පණහකට එහා පිරිස අතරෙ ඒ ඉරියව්ව විශේෂයෙන් කැපී පෙනුණෙ එයා එතන උන්නු පිරිස විතරක් නෙවෙයි, සමස්ත ප්‍රජාවම ප්‍රතික්ෂේප කරන්න වගේ, තවත් අතෙකින් ඒ කිසිවක් ගැන කිසිම හැඟීමක් නැති ආකාරයකින් උන්නු නිසා. මට ඒ අම්ම හමුවුණේ මෑතක කයිට්ස්වල ඇතුළත ගම්මානයක දරුවන් සමඟ වැඩකට ගිහින් හිටි අවස්ථාවක.


මම ඒ අම්ම ගැන ලියන්නමයි හිතන් උන්නෙ. ඒත් පහුගිය දවස්වල ඇතිවුණු කලබල එක්ක ලිවීම අතපසු වුණා. ආයෙම මතකය අලුත් වුණේ පහුගිය සති අන්තයේ ‘සහෝදරයා‘ බලද්දි.

උත්තරා දේවි දැන් දරු ප්‍රසූතිය ආසන්නයේ. ඇයත්, දරුවාත් වෙනුවෙන් කැපවෙන්න රජීව්ගෙ සොයුරියත් නැවත ගෙදර එනවා. රජීව් නැති අඩුව පුරවන්න බැරි බව ඇත්ත. ඒත් අජන්ත තමන්ගෙ උපරිමයෙන්ම උත්තරා දේවිට සුවපහසුව සලසන්න කැපවෙනවා. යුද්දය නිසාත්, බලලෝභී දේශපාලන අර්බුද නිසාත් තනිවුණු බොහෝ ගෑනුන්ට වඩා උත්තරාදේවි වාසනාවන්තයි කියල මට හිතෙනවා. ඒ එක් පැත්තකින් ඇයව ආරක්ෂා කරන ආර්ථික, සමාජ පසුබිමක් තිබීම. තවත් පැත්තකින් ඇයට සහය වෙන අජන්ත, අක්කා, යෙහෙළිය වැනි කීපදෙනෙකු හෝ සිටීම.

ගැබිණි උත්තරාදේවිගේ ඉදිමුණු දෙපා තවන අජන්ත  - සහෝදරයා ටෙලිනාට්‍යෙයන්

පෙර කී අම්මා මට හමුවුණේ පුංචි ගම්මානයක කිතුනු පිරිසක් එක්ව සංවිධානය කළ පාද නමස්කාරයකදි. අප නැවතී උන් දේවස්ථානයේ සිට පාදනමස්කාරය පැවති කුඩා පිට්ටනියට අපි ගියේ තල් ගස් යායවල් මැදින් වැටුණු අඩිපාරකින්. තැන තැන පාළුවට අත්හැරුණු අබලන් නිවෙස් දකින්නට තිබුණා. යුද සමයේ නටබුන්.

පාද නමස්කාරය අවසන් වුණේ පූජාවෙන්. පූජාව නිමවුණාම දේවස්ථානයේ පියතුමා එහි සිටි දමිළ කිතුනු පිරිසට අපේ කණ්ඩායම හඳුන්වා දුන්නා. ඒ හැමදෙනාම අප දෙස හැරී සිනා මුහුණින් අපව පිළිගත්තා. ඒවෙද්දිත් එතැන උන් දරුවන්ව අපේ වැඩසටහනේදි හමු වී තිබුණ නිසා ඔවුන්ගේ සිනා මුහුණු විශේෂයෙන් කැපී පෙනුණා. 

මා කළින් කී අම්මා සිටියේ දමිළ පිරිසත්, අපත් අතරමැද බිම වාඩි වී පියතුමා දෙස බලාගෙන.  පියතුමා අප ගැන හඳුන්වා දෙන විට පියතුමාට පසුපස හැරවූ ඈ අප දෙස බලනු වෙනුවට අප දෙපිරිස අතරින් කොහෙදෝ ඈතක බලා උන්නා. ඒ මුහුණෙ තිබුණෙ කිසිවකුත්, කිසි දෙයක් ගණන් නොගන්නා හිස්බවක්. පියතුමාගේ කතාවත්, අපේ කණ්ඩායමේ කතාවකුත් අවසන් වන තුරු ඒ ඉරියව්වෙන් එලෙසම සිටි ඈ සියල්ල අවසන් වනවාත් සමඟ කිසිවෙකු දෙස හෝ නොබලා නැගී යන්නට ගියා.

ජීවිත කාලය පුරාම වින්ද වධ වේදනාවල හැටියට ඒ අම්මල අපට වෛර කළත් සාධාරණයි කියන හැඟීමයි එවෙලෙ මට දැනුණෙ. කිසිම හැඟීමක් පළ නොකළ ඒ වියලි දෑසත්, මුහුණත්, ඒ අනපේක්ෂිත හැසිරීමත් මගේ හිතේ ඇඳිල තිබුණා.

අවසන් යුද්දයෙන් මිය ගිය ස්වකීයයන් සමරන දමිළ මවක් - සේයා රුව සම්පත් සමරකෝන්ගේ මූණුපොත් පිටුවෙන්


සියලු වැඩ අවසන්ව රාත්‍රියේ දවස පිළිබඳ සමාලෝචනයෙදි මගේ අදහස් දැක්වීමෙදි මම ඒ අම්ම ගැනත් මතක් කළා. ඒ මොහොතෙ පියතුමා කිව්ව කතාවත් එක්ක අපි හැමදෙනාගෙම හිත් ආයෙ අලුත් වටයකින් රිදුම් දෙන්න ගත්තා.

‘‘ඉන්දීය සාම සාධක හමුදාව ආව වෙලාවෙ මේ පැත්තෙන් ගහගෙන, ගහගෙන මේව හිස්කර ගෙන තමයි යාපනේට ගිහින් තියෙන්නෙ. මේවයෙ උන්න මිනිස්සු මරල, ගැහැනුන්ව දූෂණය කරලා, ගොඩක් කාන්තාවන්ට හිරිහැර වෙලා තියෙනවා. ඒ වගේම හමුදාව, පොලිසිය නිසා තාත්තලා නැති දරුවො ලැබුණු අම්මලත් මේ පැතිවල ඉන්නවා. ඒ අම්ම එහෙම කෙනෙක්. එයාට ඉන්නවා තාත්තෙක් නැති දරුවෙක්.‘‘ 

ඒ වියපත් දෑසේ පැවති මහා හිස්කම මට හරියටම කියවාගන්නට හැකිවූයේ ඒ මොහොතෙදි. යව්වනයෙදිම තාත්තෙක් නැති දරුවෙක් එක්ක ජීවන අරගලයට මැදිවුණාම, ඒ අතර උන් හිටි තැන් නැතිවුණු මහා යුද්දෙකටත් මුහුණ දෙන්න වුණාම ගැහැනියක් දරාගන්නේ කොහොමද? වැන්දඹු වුණු, වැන්දඹු කර දැමූ බෙහෝ ගැහැනු ලංකාවෙ ඉන්නවා. එයින් වැඩි දෙනෙක් ජීවිත සටනට උරදීමෙදි උත්තරාදේවි තරමටවත් වාසනාවන්ත වෙන්නෙ නැහැ.

අතුරුදහන්වූවන් පිළිබඳ යුක්තිය ඉල්ලා සිදුකරන සත්‍යග්‍රහයක සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු දමිළ මව්වරුන් පිරිසක්
සේයා රුව -  ලාල් ලක්ෂ්මන්
                                                

Thursday, March 15, 2018

දුවේ - අප දැන් කුමක් කරමුද? හඬමුද? සිනාසෙමුද?

සිනාවෙන් යුතුව ලිපියක් කියවන යුවතියක්. මම නම් නෙවෙයි.


නවකතාව පළවීමත් සමඟ අසන්නට, දකින්නට විඳින්නට ලැබෙන අත්දැකීම් හරි පුදුමාකාරය. විටෙක ඇස කඳුළු නංවන තරම් ආස්වාදනීය ප්‍රතිචාරය. මේ ලියමන එවන් බොහෝ ප්‍රතිචාර අතර සුවිශේෂී වන්නේ අත් අකුරින් ලියා, තැපෑලෙන් යොමු කළ සටහනක් ලෙස ලැබුණු එකම ලියමන වන බැවිනි.

..........................
..........................
15.02.2018

ඔබගේ දේශද්‍රෝහියා මා මිත්‍ර මහින්ද නාමල් ( මහින්ද සර්) වෙතින් මා අතට පත්විය. එය කියවූ මා දැඩි සේ සසල විය. මා නෙතට කඳුළක්ද නැංවිය. ඔබේ ආදිත්‍ය මගේද, අප සැමගේද ආදිත්‍ය සේය, මට දැනුණේ. මා විශ්‍රාම වැටුපක් පවා නොලබන විශ්‍රාමිකයකු බැවින් පොත පත මිල දී ගැනීමට අත මිට හිඟ නිසාම හොඳ පොත පත මට සපයා දෙන්නේ මහින්ද සර් ය. ඔබගේ ‘‘දේශද්‍රෝහියාගේ‘‘ ඇති සෑම වචනයක් පාසාම මම එකඟ වෙමි. මාද ඔබගේ සහෘදයෙකි. මා දැන් ජීවිතයේ අගිස්සටම පැමිණ සිටින මහල්ලෙක් වෙමි. ආපසු හැරී බලන විට මගේ තරුණ විය පිළිබඳව මට ඇත්තේ කලකිරීමකි. ඒ ඔබගේ ආදිත්‍ය වැන්නෙක් වීමට මට නොහැකි වූ නිසාය. එහෙත් මාද බොහෝ තරුණයින් මෙන් එකල 71 තරුණ නැගිටීමට උර දුන්නේය. එහෙත් එය පුස්සක්ම විය.

ඔබගේ ආදිත්‍ය මෙන් අපටද කළ යුතු වැඩ බොහෝ ය. එහෙත් අපේ සිරිත වන්නේ දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීමය. දුවේ, ( මා ඔබට මෙසේ අමතන්නේ ඔබ මට දුවෙකුටත් වඩා වටිනා බැවිනි.) අප දැන් කුමක් කරමුද? හඬමුද? සිනාසෙමුද? නැත්නම් විමුක්තිය උදෙසා අරගල කරමුද? මේ රට අපට අයිති රටක් නොවේ. මෙය අයිති උන්ටය. හොරුන්ටය. වංචාකාරයින්ටය. දූෂිතයන්ටය. හොර පූජකයන්ටය. තක්කඩි දේශපාලඥයන්ටය. අප මේ රටේ වහලුන් පමණි. අපේ රීරි මාංශ පූජා කර උන්ගේ ජීවිත සුඛිත මුදිත කළ යුතුය. අප මේ රටේ පනුවන් වැනිය. මේ වහල් බවෙන් අප මුදා ගැනීමට අපට මෝසෙස් කෙනෙක් අවශ්‍යය. එහෙත් අපට ලැබෙන්නේ මෝසස්ලා නොව ජුදාස්ලාය. පාවා දෙන්නෝය. දුවේ - අප දැන් කුමක් කරමුද? හඬමුද? සිනාසෙමුද? නැත්නම් විමුක්තිය උදෙසා අරගල කරමුද? ඒ සඳහා අපට ආදිත්‍යලා අවශ්‍යය. එක් ආදිත්‍ය කෙනෙක් නොව බොහෝ ආදිත්‍යලා අවශ්‍යය.

ලිවීමේදී ඔබ දක්වන නිර්භීතභාවය ගැන මා ඔබට හිස නමමි. එවැනිම ලියන්නියකි ශාන්ති දිසානායක මහත්මිය. මා මයිකල් පියතුමා ගැන කියවා ඇත. එවැනි පියතුමන්ලා අද බිහිවන්නේද නැති තරම්ය. අද බොහෝ කතෝලික පූජකවරුන් වන්දනා ගමන් සංවිධායකයන් පමණි.

ඔබ තව තවත් ලියනු ඇතැයි මගේ අදහස. ‘තරුරසී‘ නමින් ඔබ කිතුසරට ලියන ලිපිද මම ඕනෑකමින් කියවමි. මා මහින්ද නාමල්ට ඔබගේ ‘දේශද්‍රෝහියා‘ මට සොයා ගෙනවිත් දෙන ලෙස කීවෙමි. ඒ පොත මා සතු කරගැනීමේ ආශාවක් මට ඇත. එවිට මට එය නැවත නැවතද කියවිය හැකි.

අවසන ඔබ වෙතින් තව තවත් ආදිත්‍යලා බිහිවේවායි ප්‍රාර්ථනා කරමි. මා ඔබට මෙසේ ලියන්නේ ඔබ තව තවත් දිරිගැන්වීමට මිස ඔබව වර්ණනා කර පිට කැසීමට නොවන බවද සඳහන් කරන්නේ නිහතමානීවය. නැවතද මා ඔබගේ දේශද්‍රෝහියාට කැමතිය. ඒ මේ කුණු වූ සමාජය තුළ අප සැවොම දේශද්‍රෝහියන් වන නිසාය.

දුවේ, ඔබට ජේසු පිහිටයි.

මේ ජෝර්ජ් අංකල්.





Monday, March 12, 2018

බිල්ලට දෙන්නේ යෞවනයද?



අද සවස දුම්රියේදී ඇස ගැටුණු පාසල් සිසුන් කණ්ඩායමකි. බැලු බැල්මට උසස් පෙළ සිසුන් බව පෙනුණි. කතා බහ දුරකථනය මාර්ගයෙන් අන්තර්ජාලයට පිවිසීමය. අවහිර කර ඇති සමාජ මාධ්‍යවලට පිවිසීම පිළිබඳව නොදන්නා සිසුවකු දැනුවත් කරන්නට අනෙක් සිසුන් සියල්ලෝ පෙළ ගැසී උපදෙස් දෙමින් සිටිති. අන්තර්ජාලය පරතෙරට පිරික්සා ඇති බවට ලකුණුය ඒ කතා බහේ වූයේ. යෞවනය එබඳුය. කුතුහලයෙන් පිරී ඇත. අත්හදාබැලීම් කරන්නට කැමතිය. උද්වේගකාරීය. ඒ යෞවනය යහමඟට කැඳවනු මිස, ජාතිවාදී, ආගම්වාදී අදහස්වලින් ගිනි දැල්වීම කුමන අපරාධයක්ද? 

පසුගිය දින කිහිපය පුරා සමාජ ජාල ඔස්සේ ජාතිවාදී අදහස් පතුරුවා හැරීම පිළිබඳ චෝදනා එල්ල වූ බොහෝ පිරිස් නව යොවුන් වියේ බව පෙනේ. අත්අඩංගුවට ගත් පාසල් සිසුවට අදත් ඇප නොලැබුණු බව රාත්‍රී පුවත් විකාශයේදී අසන්නට ලැබිණි. 11 වෙනිදා පාන්දර ආනමඩුව කඩය කැඩීම සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගෙන තිබුණේද අවුරුදු 18 -22 අතර තරුණයින් කිහිප දෙනෙකි. මාධ්‍ය තුළ සංසරණය වූ කඩසාප්පුවලට ගල් ගසන සීසීටීවී දර්ශනවල සිටි වැඩි පිරිසක් යෞවනයන් බව පෙනුණි. උසස් පෙළ ලියන සහ ලියා අවසන් දරුවන්, යෞවනයන් ජාතිවාදී අදහස් පතළ කිරීමට, හිංසාකාරී ක්‍රියා සඳහා යෙදවීමට ආධාරක ලෙස භාවිත කිරීම කොතරම් ඛේදනීය තත්ත්වයක්ද? වඩ වඩාත් එයින් පිළිබිඹු වනුයේ ජාතිවාදී උන්මන්තකභාවයේ සැහැසිකමය. 

යෞවනයට උරුම උද්වේගකාරී බව, ජවය, කුතුහලය ජීවිතය අර්ථවත් කිරීමට මිස ජීවිතය විනාශ කර දැමීමට භාවිත කිරීම අනුවණකමකි. මනුෂ්‍යත්වය භේදබින්න කරවන සිතුවිලි, වචන, ක්‍රියා පතුරුවා හැරීමෙන් සමාජයට, රටට වන හානිය පිළිබඳව ඔවුන්ට අබ මල් රේණුවක තරම් අවබෝධයක් ඇති බවක් නොපෙනේ. දරුවන් මෙවැනි අපරාධ සඳහා පොළඹවන වැඩිහිටි සමාජය එහි වගකීම භාර ගත යුතුය. නමුත් බල ලෝභයෙන්, ජාතිවාදයෙන් අන්ධ වූ මිනිසුන්ට දරුවකුගේ ජිවිතයේ අගය වැටහේ යැයි සිතිය නොහැකිය. 



මෑතක තරුණ එකමුතුවක් තුළ වාර්ගික ගැටලු, ඒවාට බලපාන හේතු සහ එයින් සමාජයට සිදුවන හානිය පිළිබඳවත් ඒ තුළ මනුෂ්‍යත්වය රැකගැනීම වෙනුවෙන් අපගේ ක්‍රියාකාරිත්වය කෙබඳු විය යුතුද යන්න පිළිබඳවත් අපි කතාබහ කරමින් සිටියෙමු. ඒ කතා බහට එක් වූ යෞවනයකු කියා සිටියේ ඔහුගේ ටියුෂන් සර් පන්තියේ දී ‘‘දැන් සිංහල ජනගහණය සීඝ්‍රයෙන් අඩුවෙමින් යන බවත්, අවුරුදු අටට වඩා අඩු ළමයින්ගෙන් 60% වඩා මුස්ලිම් ළමයි බවත්‘‘ කියූ බවයි. මේ තත්ත්වය සිංහල සමාජයට තර්ජනයක් විය හැකි බැවින් ඒ සඳහා පියවර ගැනීම අවශ්‍ය බවයි යෞවනයාගේ අදහස. ඒ කතාව සත්‍යෙයන් තොර බව අප කියූ විට ඔහු කීවේ ‘‘තමන්ගේ සර් සාමාන්‍යෙයන් බොරු නොකියන“ බවයි. ඔහු අපද දන්නා ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකි. එසේම සාහිත්‍ය කලාව සම්බන්ධයෙන්ද යම් මැදිහත් වීමක් සිදුකරන අයෙකි. ඔහු දරන මතය දරුවන්ගේ මනසට එන්නත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? අනෙකා දෙස සැකයෙන්, අවිශ්වාසයෙන්, ද්වේශයෙන් බලන්නට යොවුන් දරුවන් පෙළඹවීමෙන් පෞද්ගලිකව ඔවුන්ටත්, පොදුවේ සමාජයටත් සිදු වන බලපෑම පිළිබඳව අප නැවත නැවත සිතා බැලිය යුතු නොවේද? මා පෙර කී යෞවනයාට ජන හා සංඛ්‍යාලේඛන දත්ත විමසා බලන්නැයි කී විට ඔහු පැවසුවේ ‘ඒවා සත්‍ය විය නොහැකි බවත්, පාලකයින් තමන්ට අවශ්‍ය පරිදි එම දත්ත වෙනස් කරනු ඇති‘ බවත්ය. 

වර්ගවාදී විස පොවා අවුස්සා මෙවර බිල්ලට දෙමින් ඉන්නේ නව යොවුන් විය ද? 

මේ දරුවන් ගළවා ගන්නට අපට කළ හැකි කුමක්ද?

Wednesday, March 7, 2018

අහිමි වීමක වේදනාව ඔබ දන්නවද?



නටබුන් කඳුළු දූපතක දින තුනක් 01

‘කයිට්ස්‘ උතුරු කොණේ යාපනය අර්ධද්වීපයේ වෙරළට ආසන්නයෙන් තියෙන කුඩා දූපතක්. දැන් ඒ දූපත දක්වා කලපුව අතරින් යන්න මාවත සකස් වෙලා තියෙනවා. සංවර්ධනය ඇවිත් පාරවල් දිගේ... ඒත් ඇතුළේ ගම්වල ජීවිතවලට තාමත් ඒ සංවර්ධනය ගොඩක් දුරයි.  

‘කයිට්ස්‘ කිවූ ගමන් සිත දිව යන්නෙ අතීතයට. අසූව දශකයේ අග යුද හමුදාවේ උන් ඥාති සහෝදරයකු උන්නෙ කයිට්ස්වල. ඔහු නිවාඩුවට එද්දි ගෙනත් දුන්නා ලස්සන නත්තල්, උපන්දින සුබපැතුම් පත් ගොන්නක්. ඒ අතර තිබුණා විදේශන්හි සිට එවූ පින්තූර තැපැල් පත්. තව පින්තූර පොත් දෙකක්. සංගීත නාද නැංවෙන ඒ සුබ පැතුම් පත් මගේ ළමාවියට අපූරු අත්දැකීමක් වුණ බව මතකයි. ඒවයෙ ලියා තිබුණෙ දෙමළෙන්. ඒ නිසා ලියා තිබුණෙ මොනවද කවදාවත් දැනගන්න ඉඩක් ලැබුණෙ නැහැ.

‘‘එහෙ මිනිස්සු නෑ. ගෙවල් අතෑරල දාල ගිහින්.‘‘ ඔහු කීවෙ එහෙමයි. ඒත් එදා මට දැනුණෙ නැහැ මේ තියෙන්නෙ කවුරුන් හෝ ආශාවෙන් එකතු කරපු සුබ පැතුම්පත් නේද කියල. සෑහෙන කලක් පින්තුර එකතුවේ තිබුණු ඒ සුබ පැතුම් පත්වලට මොකද වුණේ කියල දැන් හරියටම මතක නැහැ. ඒත් ඒ එක පින්තූර සගරාවක් මෑතක පොත් පෙට්ටියක තිබී හමුවුණා.

පස්සෙ කාලෙක ඒ මතකය අලුත් වුණේ කරුණාකරන්ගෙ ‘මතක වන්නිය‘ කියවද්දි. එහි එක් ලිපියක් තියෙනවා යුද්දය අතරතුර තමන්ගෙ ආදරණීයයන් එවපු ලියුම් මිටියක් පරිස්සම් කරගන්න දරන මහන්සිය.


මෙදා සැරේ අපි කයිට්ස් ගියේ ළමා සහ තරුණ වැඩසටහන් කීපයකට. නිස්කලංක වටපිටාවක් තිබුණත් එහි ජීවිතය කොතරම් දුෂ්කරද යන්න තේරුම් ගන්නට දවසක්වත් ගතවුණේ නැහැ. වියළි කාෂ්ටක බිම, පානීය ජල හිඟය, රැකියා ප්‍රශ්නය ඒ ජීවිත වෙළාගෙන. ඉන්දියන් සාම සාධක හමුදාව ඇවිත් ගහගෙන, ගහගෙන යද්දි පළා ගිය ජනතාව අතරින් ඇති හැකි හැම කෙනෙක්ම රටින් පිටවෙලා. ආපසු ගමට ඇවිත් තියෙන්නෙ දුප්පත්, කිසිම දෙයක් කරකියාගන්න බැරි අය. ඒ අයගෙ ප්‍රධාන ජීවනෝපායන් වෙන්නෙ දුම්කොල වතුවල වැඩ. නැත්නම් ධීවර රැකියාව. ගොම එකතු කිරීම. වෙනත් වෙනත් සුළු කුලී වැඩ.

තැන තැන අතැර දා ගිය නිවෙස් බොහොමයි. ළමා වියේ මා අත පත් වුණු සුබ පැතුම් පත් ඒ එක් නිවසක පුංචි දරුවෙකුගේ වන්නට ඇති නේද, කියා සිතෙන්නට වීම ඇත්තටම ලොකු දුකක්. නටබුන් වෙලා තියෙන විශාල නිවාස දකිද්දි හිතෙනවා 70 - 80 දශකයන් වෙද්දිත් ඒ ප්‍රදේශයේ ජනතාව කොතරම් දියුණු තත්ත්වයක ඉන්න ඇත්ද කියල.

පළමු දවසේ උදේ වරුවත් සවස් වරුවත් දරුවන් සමග ගතවුණේ. අපි දරුවන් වෙනුවෙන් එකතු කරගෙන ගිය දමිළ සහ ඉංග්‍රීසි පොත් පුංචි ප්‍රදර්ශනයක් තියල දරුවන්ට භාරදුන්නා. එයාල ඒ පොත පත අත ගෑවෙ, පෙරළල බැලුවෙ ගොඩක් සතුටින්. දෙමළ වචනයක්වත් නොදැන දෙමළ පොත් ඇති තැන් හොයාගෙන ගිහින් ඒ පොත් ගන්න දරපු මහන්සිය ගැන දැනුණෙ ලොකු සතුටක්.



දවස අවසානයේ අපි පොදු සංවාද මණ්ඩපයක වාඩිවුණා. මූදු හුළං හමා එන සිහිල් හැන්දෑවක දරුවන්ට උගන්වන ටකරම් මඩුවක සිමෙන්ති පොළවේ. ඒ සංවාදය වචනයෙන් වචනය ඔබ හා බෙදාගන්නට තිබුණ නම් සතුටුයි. නමුත් මේ මොහොතේ වඩාත් අත්‍යවශ්‍යමයැයි සිතෙන, සංවේදීම දෑ පමණක් පෙළගස්වන්නම්.

දෙමළ විමුක්ති අරගලයට පාර කැපූ ඉතිහාසය පියතුමා අප හා බෙදාගත්තෙ ඉතාම සරලව. පියතුමා දමිළ නමුත් ඔහුට හොඳින් සිංහල කතා කරන්න පුළුවන්. ඒත් ඒ කොහොමද කියල අපි දැනන් උන්නෙ නැහැ.

‘‘මම උතුරෙ කෙනෙක් නෙවෙයි දකුණෙ. ඉපදුණේ මීගමුවෙ. ඉස්කෝලෙ ගියේ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට. පහ වසර වෙනකල් මං ඉගෙනගත්තෙ සිංහල භාෂාවෙන්. 83 කලබලවලින් පස්සෙ අපට යාපනයට එන්න සිද්දවුණා. ඒ වෙනකල් මම යාපනේ කොහොඹ කොලයක්වත් දැකල තිබුණෙ නැහැ. දෙමළ වචනයක්වත් දැනගෙන උන්නෙ නැහැ.‘‘

පියතුමා තමන්ගෙ අතීත කතාව කිව්වෙ බොහොම තැන්පත්ව.

දෙමළ ජනතාවට දීර්ඝ කාලයක් අසාධාරණකම් වෙද්දි සාකච්ඡා මාර්ගයෙන්, අවිහිංසාවාදීව ඒ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න මහන්සිවුණ හැම අවස්ථාවකම දකුණේ දේශපාලනයත්, බහුතර ජනමතයත් විසඳුම් වෙනුවට දුන්නෙ මර්ධනය. හැත්තෑව දශකය, අසූව දශකයේ මුල වෙද්දි යාපනය මුල් කරගෙන තරුණ පිරිස් එකමුතු වෙලා උන්නා මේ අසාධාරණකම් ගැන කතා කරන්න. ඔවුන් අත ආයුධ තිබුණෙ නැහැ. වරින් වර පොලිසිය, හමුදාව අතින් හිරිහැර වෙද්දි ඔවුන් මුලින්ම අතට ගත්තෙ ගල්, පොළු. ඒ වෙනුවට ආපහු ලැබුණෙ උණ්ඩ. උණ්ඩෙට මුහුණ දෙන්න ආයුධ නැතිව බෑ කියන අදහස ඇතිවෙන්නෙ එහෙම. මුලදි පොලිසියෙන්, හමුදාවෙන්ම පැහැර ගන්න කුඩා තුවක්කු තමයි ඔවුන් භාවිත කරල තියෙන්නෙ. මහා යුද්දයක් දක්වා දික්ගැස්සෙන්නේ මේ මතවාදීව ඇරඹුණු අවිහිංසාවාදී අරගලයම තමයි.

එහි වරද සිංහල අපි භාරගන්න ඕන කියලයි මට හිතෙන්නෙ.  හරියට අද වගේම.

මෑත භාගයෙත් සිදුවෙමින් තිබුණෙ ඒ දේමයි මුස්ලිම් ජනතාවට එරෙහිව. අන්තවාදීන් කොතැනත් ඉන්නවා. කොයි ආගමෙත් ඉන්නවා. හෙමිහිට හෙමිහිට ජන මනසට විස කවපු අන්තවාදීන්ගේ උවමනාවන් තමයි මේ ඉටුවෙමින් තියෙන්නෙ. අද නිරායුධ මිනිස්සුන්ට ගහල, ගෙවල් කඩල, ජීවනෝපාය වනසල දැම්මම හෙට ඒ මිනිස්සු ආයුධ අතට ගත්තොත් ඒකට වගකියන්න ඕන කවුද?

‘‘යුද්දය නිසා නැතිවුණ දේවල් කාටවත්ම ආපහු දෙන්න බෑ. නැතිවුණු අභිමානය, නිදහස, අපේ පවුල් බැඳීම්, ගේ දොර, ඉඩකඩම් මේව කොහොමද ආපහු දෙන්නෙ. මම උසස්පෙළ පන්තියෙ ඉද්දි මගෙ හොඳම යාළුවා මගෙ ඇස් ඉස්සරහම වෙඩි වැදිල මැරුණා. ඒ යාළුවව මට ආපහු දෙන්න පුළුවන්ද? මේ එක ගෙදරකවත් නෑ තමන්ගෙ පවුලෙ පින්තූර. ආච්චිල සීයලගෙ පින්තූර. පින්තූර ඇල්බම්. දරුවන්ට එයාලගෙ ආච්චිල, සීයලව, නෑදෑයින්ව පින්තූරෙකින්වත් දකින්න ඉඩක් ඉතිරි වෙලා නෑ. තමන්ගෙ අය නැතිවුණු මිනිස්සුන්ගෙ හිත්වල තියෙන වේදනාව කවදාවත් ඉවරවෙන දෙයක් නෙවෙයි. ඔයාල අද පොත් අරන් ආවා අපේ දරුවන්ට. ඒක ගොඩක් හොඳ දෙයක්. ඒත් මගේ පොත් එකතුව විතරක්ම පස් වතාවක් මට නැති වෙලා තියෙනවා. මං අදටත් කිසි දෙයක් එකතු කරන්නෙ නෑ. ඕනෑම වෙලාවක ආයෙ යුද්දයක් පටන් ගනියි කියන බය මගෙ හිතේ තියෙනවා. ඕනම වෙලාවක අවතැන් වෙන්න වෙයි කියන හැඟීම මගෙ හිතේ තියෙනවා.‘‘

අද ලංකාවෙ තැනින් තැන ඇවිළෙන ගිනි දැල්වල රස්නෙ දැනෙද්දි මට මතක් වෙන්නෙම පියතුමාගෙ කතාව. කාර්යාලයේ මගේ අසුනට අල්ලපු අසුනෙ ඉන්නෙ මුස්ලිම් සහෝදරයෙක්. ඔහුගේ මුහුණෙ තියෙන බිය, අවිනිශ්චිත බව, කැළඹීම මගෙ හිතට තදින්ම දැනෙනවා. කයිට්ස් ඉඳන් ආපහු එද්දි මගේ හිත වරදකාරී හැඟීමකින් දැවි දැවී තිබුණෙ. දැන් ඒ හැඟුම දෙගුණ තෙගුණ වෙලා දැනෙනවා. ඒ තරම්ම අපි වැරදියි.