පිටු

Monday, May 26, 2014

රිදුම් දුන් ‘‘වේ” කවි...


 

 
අන්න ඒ සහතිකය
පුංචිම සන්දියෙ
ඉස්ඉස්සිල්ලම අත රැඳුණු
වටිනාම සහතිකේ

සර්වෝද සිඟිති පාසල් අතර
ලංකාවෙන් පළමු තැන
සිඟිති ගෙවිලියන්ගෙ නැටුමට...

ගොවි නැටුමෙ ඉස්සරහම උන්නෙ මං

නෙවෙයි වෙන්න ඇති මිටි හින්දාම නම්
ළා තැඹිලි චීත්තෙ උන් හංසයා මෙන්
බටිති පා පොඩි හැඩට තියන්නැති මං....

දැන් ඉතින් ඉතිරි
මතකය ම පමණි....

කවි ලිව්ව හපනිට ලංකාවෙන් තුන්වැනියට

දුන්නු සහතිකයෙ තනියට
පොත් ගොන්නකුත් ලැබුණා දෝතට ...
පිප්පි ත් උන්නෙ එතන හුරුබුහුටියට
නැව් නගින්නට ඉස්සර...

‘‘
පිප්පී.. ලොක්කී ලටපට සපයන්නී පටකම්බිලි සැවැන්දරාගේ දෝන දිග මේස් කැකුලී..”
පිප්පි යන්නම ගියේ පුංචිම සන්දියේ
සහතිකය වේ කුසට රස බොදුන් වී තියේ...

බිහිදොර අබියස’ කලා උළෙල
නම විතරම ද මට හිමි...

සිංදුවක් හෙම අහන්නෙම නැද්ද
ගීතයක අගය දන්නේ ම නැද්ද
ගී ලියා සරසවි බිමේ දිනුම් ලද
සහතිකය තලු මැරුවෙ කුසගින්දරෙන් ම ද?

පුරාගෙන සපැමිණි හීන කන්දම දිය වෙවී

ගෙවුණු සරසවි දිවියෙ අවසාන වසරෙදි
ලියා තැබූ පොත සීගිරි කුරුටු ගී හා බැඳී
කා දමන්නට දුකක් හිතුණාද වේයනී.....

පාසැල් සන්දියේ සුරුවිරු මතක

දහම් පාසලේ ළ.ක්‍රි.වී.යෙ සහතික

දුක තමයි ඒත් හිත හදාගත හැක
ඇයි ගිල දැම්මෙ මගේ කවි පොත....

නව යෞවනේ සුන්දරම හීනවල
පාට ගත් අතකුරින් ලියූ කවිපද අතර
දැවටී තිබුණාද රසබර යමක්
මෙතෙක් ආ ජීවිතේ මට ම මඟ හැරී ගිය....

අනියත ලෝ දහම දැන උන්නත් බණේ
නොගැලූ කඳුලකිය දැවි දැවී ඇස් කොණේ
අනේ වේයනේ ඇයි කළේ මේ විනේ

මතක හදවත තබා සමරුපත් ගිලිහුණේ....
 
 
 

 

2014.05.23

Thursday, May 22, 2014

ඈ මගේ දෙවැනි අම්මා...




බුත්තල සුබසෙත්ගෙදර අනුශාසක සොයුරු සොයුරියන් ළ.ක්‍රි.වී. ලාංඡනය නිර්මාණය කළ අයුරු


මගේ ලිපිවලදි මට නිතරම ලියවෙයි ළමයි ගැන... නව යොවුන් පිරිස ගැන.. ඒ වගේම ළමා සංවිධානයක අත්දැකීම් ගැන... ඒ තමයි ළ.ක්‍රි.වී. ය.

1988 සිට ‍ගමේ ළ.ක්‍රි.වී සමිතියේ සාමාජිකාවක් ලෙසත්, 1997 සිට ඒ සමිතියේම අනුශාසිකාවක ලෙසත් 2000 න් පසුව එහි ජාතික මට්ටමේ වැඩ කටයුතුවලට සම්බන්ධ වීම නිසාත්  ළ.ක්‍රි.වී ය මගේ ජීවිතේම කොටසක් වෙලා.... එයින් තොරව ලිවීම අසීරුයි. මොකක්ද මේ ළ.ක්‍රි.වී. කියල විමසීම් තියෙන නිසා ඒ ගැන පුංචි විස්තරයක් ලියන්නම්...

ළ.ක්‍රි.වී. කියන්නේ......

ළ.ක්‍රි.වී. කියන්නෙ කෙටි කළ නම... දිගු කළාම '' ළමා ක්‍රියාකාරී වීරයෝ '' මේ ළමා ව්‍යාපාරය ලංකාවෙ ආරම්භ වෙලා තියෙන්නෙ 1954 වසරේ.... ප්‍රංශයෙන් ධර්මදූත සේවය සඳහා ලංකාවට ආව ගරු ෆීලික්ස් මෙවල් පියතුමා තමයි මේ ළමා එකමුතු ක්‍රමය හඳුන්වල දීල තියෙන්නෙ. එතුමාට මේ කටයුත්ත වෙනුවෙන් මගපෙන්වීමක් වෙලා තියෙන්නෙ 1936 දී ප්‍රංශයේ ගරු ගස්ටොන් කුර්තුවා පියතුමා ආරම්භ කළ  '' ප්‍රීතිමත් හමුදාව'' කියන ළමා එකමුතු ක්‍රමය..  

මුලින්ම ලංකා ක්‍රිස්තු වීරයෝ ලෙසින් මෙය කිතුනු දරුවන්ට පමණක් සීමා උනත් පසු කලෙක ''සියලුම දරුවන් දේව දරුවන්'' කියන ගරු මෙවල් පියතුමාගේ දැක්ම අනුව ළමා ක්‍රියාකාරී වීරයෝ ලෙසින් වෙනස් උණා. ඒ සමගම ජාති, ආගම් ආදි වූ කිසිදු භේදයකින් තොරව අවුරුදු 5 - 13/15 ත් අතර සියලුම ළමුන්ට ළමා එකමුතුව විවෘත වුණා..



ළ.ක්‍රි.වී යේ දැක්ම

'' බාලයන් තුළින් නව ලොවක්''

ළ.ක්‍රි.වී යේ පැතුම

'' ක්‍රියාකාරිත්වය පදනම් කර ගත් භෞතික හා මානව වෙනසක් තුළින් ළමුන්ගේ අධ්‍යාත්මය ගොඩ නැංවීම"

මේ පැතුම ඉටු කර ගන්න ගම්දනව්වල, දේවස්ථාන, දහම්පාසල්, පාසල් ආශ්‍රිතව ක්‍රියාත්මක වන ළමා සමිති ක්‍රමයට තමයි මූලිකත්වය ලැබෙන්නෙ. ‍

ළමා සමිති ක්‍රියාත්මක වන ක්‍රමවේදය

·         සතියකට වරක් අවම වශයෙන් පැයක් අනුශාසක සමග රැස් විය යුතුයි
·         මාසයේ සති හතර වෙන් වෙලා තියෙන්නෙ නිළ සමිතිය, ක්‍රීඩා සතිය, නිර්මාණ සතිය හා පොදු ක්‍රියා සතිය ආදී වශයෙන්... මේ තුළ විවිධ ක්‍රියාකාරකම්වලට ඉඩකඩ සැලසෙනවා...
·         සෑම ක්‍රියාකාරිත්වයකම පදනම කාඩයින් දර්ශනය.... මේ තමයි ළ.ක්‍රි.වී.යේ අධ්‍යාපන ක්‍රමවේදය

නිරීක්ෂණය

සැමරිම

ක්‍රියාකාරිත්වය

සාකච්ඡාව/තීරණය

විග්‍රහය

සැමරිම


·         ක්‍රියාකාරකම් සිදුවිය යුත්තේ ළමුන්ගේ මූලිකත්වයෙන්. ක්‍රියාව සාර්ථක වුවත්, අසාර්ථක වුවත් විග්‍රහය සිදු කිරීම අනිවාර්යයි. ඒ තුළයි ළමුන් තුළ අධ්‍යාත්මික වෙනසක් ඇති වෙන්නෙ.

මීට අමතරව ළමුන් වෙනුවෙන් නායකත්ව පුහුණු, සන්නිවේදන වැඩමුළු ආදි වු විවිධ පුහුණු වැඩසටහන්, කුසලතා ඇගයීම් ආදියත් සිදුවෙනවා...

ළමා සමිතියට උදව්වෙන්න අනුශාසකවරු ඉන්නවා. ඔවුන් හඳුන්වන නිළ නාමය '' ළමුන් කැටුව යන්නා".  අනුශාසකත්වය වයස් සීමාවක් හෝ ජාති, ආගම් කිසිදු භේදයක් නැහැ.. ළමුන් සමග වගකීමෙන්, ආදරයෙන් කටයුතු කරන්න හැකි වීම අත්‍යවශ්‍ය සුදුසුකමක්.. අනුශාසකවරුන් වෙනුවෙනුත් අනුශාසක පුහුණු, ජීවිතාවබෝධ වැඩමුළු, සම්මේලන ආදි වූ විවිධ වැඩසටහන් තියෙනවා...


ළ.ක්‍රි.වී. වාර්ෂික අනුශාසක සම්මේලනයකදී..


ළ.ක්‍රි.වී. ළමයෙක් වගේම ළ.ක්‍රි.වී.යට සම්බන්ධ සැම කෙනෙක්ම ප්‍රගුණ කළ යුතු ගුණාංග 05
1.      ප්‍රීතිමත් කෙනෙක් වීම.
2.      නීතිගරුක කෙනෙක් වීම.
3.      සොබාදහමට ආදරය කිරීම.
4.      සැමට සොයුරෙක් සොයුරියක් වීම.
5.      තමා අදහන දහමට ළැදි අන් ආගම්වලට ගරු කරන අයෙක් වීම.

ළ.ක්‍රි.වී.ය ජාත්‍යන්තර  IMAC ( International Movement of Apostolate of Children ) ළමා ව්‍යාපාරයට සම්බන්ධයි. ජාත්‍යන්තර සංවිධානයේ වෙබ් ලිපිනය - http://www.midade.org/ මේ තුළ අපේ ළ.ක්‍රි.වී.ය අයිමැක් ශ්‍රී ලංකා වෙනවා..

·         පුංචි වැලිකැටයේ, කුරා කුහුඹුවාගේ ඉඳන් විශ්වයේ සියල්ලටම ආදරය කරන්න.. ගරු කරන්න.
·         අඩුපාඩු තිබුණා උණත් තමන්ගෙ අම්මා තාත්තව පිළිගන්න. දැනෙන්න ආදරය කරන්න.. ජීවිතය දුන් එකම ඇති ඔවුන්ට ගරු කරන්න.
·         වතුර බිංදුවටත් ආදරය කරන්න. නාස්ති කරන්න එපා.
·         ජීවිතයට ගුරුහරුකම් දුන් කිසිකෙනෙක් අමතක කරන්න එපා. කෘතගුණ දක්වන්න.
·         හොඳ ගීත අහන්න.
·         හොඳ පොතපත යාළුවො කර ගන්න.

මේ වගේ කාරණා පුංචි කාලෙ ඉඳන්ම මගේ හිතට ඇතුළු උණේ ළ.ක්‍රි.වී.යෙන්. පවුලෙන්, පාසලෙන්, විශ්ව විද්‍යා‍ලයෙන් ඉගෙන ගත නොහැකි බොහෝ දේ ළ.ක්‍රි.වී.ය හරහා මගේ ජීවිතයට එක් වුණා. ඒ නිසා මම හිතන්නෙ ළ.ක්‍රි.වී.ය මගේ ජීවිතේට නව උපතක් දුන්න දෙවැනි අම්මා ලෙසයි.

ළ.ක්‍රි.වී. ගැන කියන්න බොහෝ දේ තිබුණත් සුළු දැනුවත්වීමකට මේ ඇතැයි සිතනවා... ඉදිරියේදී අවස්ථානුකූලව තවත් ළ.ක්‍රි.වී.ය ගැන කාරණා එකතු කරන්නම්.

අප සමග අත්වැල් බැඳගෙන ළමුන් කැටුව යන අනුශාසක හැමෝම තමන්ගෙ පොකට්ටුවෙන් වියදම් කරගෙන පිරිසිදු හිතකින් මේ වැඩේ කරන්නෙ. ඒ නිසා මේ සොඳුරු ක්‍රියාදාමය තවත් NGO වැඩක් විදියට සලකන්න එපා කියල ආදරයෙන් ඉල්ලන්න කැමතියි.