පිටු

Thursday, May 22, 2014

තල් අරණට නෑ ගමනක්.. ( 01 )



නිදි නැති  රැයක අගිස්සෙ හිමිදිරියෙම මම පිටත් උණා කුලියපිටියෙන්.. මාරවිල හන්දියට එද්දි හතට කාලයි. වෙලාවටත් කළින් වැඩ කිරීමේ නරක පුරුද්ද නිසාම පැයක රස්තියාදුවක්. විවෘතව තිබුණ පුංචි කඩයකට ‍ගොඩ වෙලා ආප්පයක් කාලා නෙස්ටමෝල්ට් එකක් බිව්වෙ බඩගින්නටත් වඩා කාලය ගෙවා ගන්න. 

ඉන්පස්සෙ විවෘත නොවුණ සතොස ගොඩනැගිල්ලේ බිත්තියට හේත්තු වෙලා '' ඇහැල ඇමතුමකට ඇහැරෙමි '' කවි කිහිපයක කිමිදුණා. කොළඹ කටිටිය ආවෙ 7.45 ට. මොනා කරන්නද හිනාවක් පැළදගෙනම වාහනයට ගොඩ උණා...

ඉසුරුමුණියෙ පෙම් යුවළත් බැහැ දැකල, තිසා වැව් දියෙන් සැනහිලා මැදවච්චියෙ ළ.ක්‍රි.වී. නිවසකින් දිවා ආහාරයත් සප්පායම් වෙලා අපි යාපනයට එද්දි හැන්දෑවෙ පහට විතර ඇති.

ජනවාරි 25 - 27 දීර්ඝ සති අන්තය ගෙවුණ හැටි ලියන්නයි මේ හදන්නෙ. අපි යාපනේ ගියේ උතුරු නැගෙනහිර ළ.ක්‍රි.වී. ළමා එකමුතු ආරම්භ කරන්න මුල්ම අනුශාසක පුහුණුව පවත්වන්නයි. සටන් විරාම ගිවිසුම පැවති අවදියෙත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ළ.ක්‍රි.වී. ආරම්භ කරන්නට උත්සාහ කළත් එය එතරම් සාර්ථක උණේ නැහැ... (ළ.ක්‍රි.වී.  ගැන මෙතනින්  http://tharurasi.blogspot.com/2013/01/blog-post_30.html   )

වරින් වර යාපනයෙන් පැමිණි පූජාත්වරය අපේක්ෂාවෙන් සිටි නිර්මල මරිය නිකායික දමිළ සහෝදරවරු  දැනුම සහ අත්දැකීම් රැගෙන ගියත් උතුරුකරේ  ජීවිතයත් එක්ක හැප්පෙද්දි  ඔවුන්ට ළ.ක්‍රි.වී. අමතක වී ගියා. පසුගිය වසරේ උතුර දකුණ යා කරමින් දූ දරුවන් සම්බන්ධ කරමින් අවස්ථා කිහිපයකම වැඩසටහන් පැවැත්වුණත් නියමාකාරයෙන් ළ.ක්‍රි.වී. පිළිබඳ අවබෝධයක් ලබා දීමට හැකි වුණේ නැහැ...

ඉතින් මෙයයි පළමු දමිළ අනුශාසක පුහුණුව උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පැවැත්වූ...

යාපනයේදී අප හා එක් වුණා දමිළ සොයුරන් තිදෙනෙක් සහ මන්නාරම සිට පැමිණි දමිළ සොයුරියන් දෙදෙනෙක්.. යාපනය බස් නැවතුමට අපි ගියේ වව්නියාවේ සිට පැමිණි කන්‍යා සොයුරිය ඇතුළු නඩය හමුවන්න... එතැනත් දහයක් පමණ... දැන් වෑන් රථයට නම් හුස්ම ගන්නත් බැරි තරම්.

'' අනේ  ෆාද මේ දරුවො පැය තුනක්ම බස් එකේ හිටගෙන ආවා" සිස්ට කිව්වෙ දොම්නස් හැගීමෙන්... ෆාද අසීරුවක...

'' අපි පුංචි කැපකිරීමක් කරමු නේද? ඔයාලට පුළුවන්නෙ බස් එකේ එන්න. මම මේ කට්ටියව වෑන් එකේ අරන් යන්නම් '' ෆාද අපෙන් ඇහුවා. කට්ටිය එක පයින්. වෙනස් අත්දැකීමක්නෙ.

අපේ තනියට මන්නාරමේ නංගිලා දෙන්නා සහ යාපනයේ රොෂාන් මල්ලී ආවා. එවෙලෙ බයක් දැණුනෙ නැහැ. අපට යන්න තිබුණෙ පණ්ඩිතිරිප්පුවල දහම් මධ්‍යස්ථානයකට. ඒ පැත්තට යන අන්තිම බස් එක. පොල් පටවල වගේ සෙනග. අපිත් පැටවුණා. කෝච්චිවල තදබදයත් හුරු වෙලා නිසා ඒ තරම් ගාණක් උනේ නැහැ. බස් රථය පිටත් වෙද්දි හතයි... හොදටම කරුවල.

මා අසලම අසුනේ දෙමළ තරුණයෙක්. පිපිරෙන්නට ආසන්න මුහුණකින්. සිංහල අපි ගැනද? ප්‍රශ්නයක්....? ඒ වගේම මුල් වරට හිතට බියක් ඇතුළු උණා.. නඩයේම ලොකු අක්කා මම. සුළුපටු වගකීමක්ද? අතක් පයක් හොලවන්නවත්, හෙළවෙන්නවත් බැරි තත්වයක මන්නාරමේ ලක්ෂණා, රොක්සි නැගණියන් මා අසලම සිටීම සහනයක් උණා... සැබවින්ම.

'' වා වෙන්නිලා උන්නතානේ....'' එස්. පී. බාලසුබ්‍රමනියම්ගේ හඬ. මම ආසම ගීතයක්....

''එන්න සඳ.... මේ අහස ඔබව බලාපොරොත්තුවෙන් හිඳිනවා... වළා සළුවෙන් මුව මඩල වසාගෙන ඇයි මෙසේ ඈත්ව යන්නේ...''

සැනෙකින් අඳුරු වළා, බිය සංකා සියල්ල දුරු වී ගියා. සියුමැලි ගීතයකට පුළුවන් කාන්තාරයකදි උණත් සිහිල් දිය කඩිත්තක සුවය දෙන්න...


'' නල්ල සෝන්ග්. අයි ලයික් ඉට්" මගේ හඬට ලක්ෂණාගේ සහ රොක්සිගේ තිලක තැබූ මුහුණු විකසිත උණා... ඉන් අනතුරුවත් පැරණි දමිළ චිත්‍රපට ගී දිගටම පරණ රෝසා බස් රථයෙන් ගලා ගියා. ගමනේ අසීරුව මැකී ගියා. බස් එක යනවා යනවා... අපිත් සිංහලෙන්, දෙමළෙන්, අංගචලනයන්ගෙන් කතා බස් එකේ නැගල ගියා.

එක් තාත්ත කෙනෙක් කැඩුණු සිංහලෙන් ඇහුවා.. කොහෙද යන්නෙ කියල. අම්මේ දැණුනු සහනයක්. සිංහලෙන් කතා කරන කෙනෙක් හමු වුණා බස් එකේදී. අහිංසක හිනාවක් තිබුණ ආදරණීය දමිල තාත්ත කෙනෙක්. අපව සත පහකට ගණන් නොගත් රවා ගත් මුහුණු කිහිපයක් අතර ඒ හිනාව කැපිල පෙණුනා... අප යන කිට්ටුවටම යන බවයි ඔහුත් පැවසුවේ. ඒ තාත්තා බැස ගියා. අපි තාමත් බස් එකේ. අපේ මග පෙන්වන්නා යාපනේ තරුණයා රොෂාන් මල්ලී. ඔහු බහින්න කියන කල් අපිට බහින්න විදිහක් නෑ.. දුරද ළගද අහන්න තරම් පොහොසත් දෙමළ වචනත් සන්තකයේ නැහැ... ඉතින් නිසොල්මනේ යන්න තමයි උණේ...

ෆාදගෙන් ඇමතුමක්... '' ඔයාල ඇයි බැස්සෙ නැත්තෙ... තැන පහු උණා. බහින්න. බහින්න. '' ෆාද කෑ ගහනවා. අන්දුන් කුන්දුන් වූ මම දුරකථනය රොෂාන් මල්ලිට දුන්නා. පියතුමාට දෙමළ බස මැනවින් හසුරුවන්න හැකි. හොද වෙලාවට ෆාද කතා කළේ. නැත්නම් අපි කොහෙ ගිහින් නවතියිද දන්නෙ නැහැ. අන්ධකාරෙ රොෂාන් මල්ලිටත් පාර වරදින්න ඇති.

තුන්මන් හන්දියකදි අපි බසයෙන් බැස ගත්තා. ෆාද එක්කරන් යන්න එනකල් එතැනම ඉන්න ඕන.

හත්වලාමෙ වෙච්ච දේ... රෑ 8 යි... කොහෙද ඉන්නෙ කියල හිතා ගන්නවත් බෑ. කළුවරේ බෝඩ් ලෑල්ලක්වත් පේන්නෙ නෑ.. ඒත් මොකක්දෝ අමුතු සුන්දර හැගීමක්.. අපි කියව කියව හිටිය සිංහලෙන්... වයසක මනුස්සයෙක් අපි දිහා බලන් හිටියා. සිංහල තේරෙන්නෙ නැතිව ඇති. මට හිතුණා....

වෑන් එක ඈත එද්දි දෙවියො බුදුන් දැක්ක වගේ... දඩිබිඩියෙ නැග ගත්තා.. මෙන්න අර වයසක මනුස්සය ඇවිත් '' මම දොර වහන්නම් '' කියල වෑන් එකේ දොර වැහුවා... අපූරු මිනිස්කමක්.. සිහල දමිළ තරුණ නඩය දිහා උපේක්ෂාවෙන් බලා ඉන්න ඇති ඒ තාත්තා.. ඔහු සිංහලද දමිළද මා දන්නේ නැහැ.. නමුත් අප කෙරෙහි දයාවන්ත වූ බවක් ඒ හැසිරීමෙහි දක්නට ලැබුණා... බිමට බැස පා නැමද එන්නට තරම් ඕනැකමක් දැණුනත් වැසුනු වීදුරුවෙන් අත වනා සමුගැනීමෙන් සෑහීමකට පත් වන්නට සිදු වුණා.

පණ්ඩිතිරිප්පු දහම් මධ්‍යස්ථානයට එද්දි රෑ 8.30 යි. නිදි නැති රැයක වෙහෙස, ගමන් වෙහෙස සිරුර තලා පෙලා දමා තිබුණා. උණ වගේ... රෑ කෑමත් නොගෙනම පෙනඩෝල් දෙකක් බීල නිදා ගත්තා... කොහොම නමුත් සුන්දර දවසක්... මම ජීවිතේ පළමු වතාවටයි යාපනයට පය තිබ්බෙ.....


ප.ලි.
දින තුනක නිවාඩුවට ගමේ යන නිසා... එහෙදි අන්තර්ජංජාල නැති නිසා මේ ලිපියත් ඔබ හමුවේ තබා යනවා... දොස් කියන්න එපා එක දිගට ලිපි පළ කරනවා කියල. දෙවෙනි කොටස ගිහින් ඇවිත් ලියන්නම්. 

11 comments:


  1. හරිම සතුටු හිතෙන ගමනක් නොවැ ගිහින්
    තියෙන්නේ ...ස්තූතියි බෙදා ගත්තට තරුරිසි.....

    ReplyDelete
    Replies
    1. සතුටු හිතුණ ගමනක් වගේම දුකත් හඳුනා ගත් ගමනක්..

      Delete
  2. හොඳ අත්දැකීමක් නේද? තාමත් එයාල අපි එක්ක තරහින්ද ඉන්නෙ? ඒ මොකද, මට හිතෙන්නෙ වැරදි වැටහීමකින් තවමත් ඉන්නෙ.....

    ReplyDelete
    Replies
    1. වැරදි වැටහීම් ඇති කළෙත් අපිම තමයි නංගි.... හිත්වල තුවාල සුවපත් කරන එක ලේසි නැහැ.

      Delete
  3. අක්කට තියෙන්නෙ පුදුම සති අන්තනෙ.. මට පේන විදිහට සතියේ දවස්වලට වඩා සති අන්තය බිසී..

    ReplyDelete
    Replies
    1. සතියෙ දවස් පහ ඒකාකාරී කාලසටහනකට නැටවෙන රූකඩයක් වගේ.. ජීවත් වෙනව කියල දැනෙන්නෙ සති අන්තයේ තමයි.

      Delete
  4. සුහදත්වය සමඟ ඇතිවන ගමන් සුන්දරයි.මතක් කර කර රස විදිය හැකිය.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. මතක් කර කර රස විඳින්න පුළුවන් දේවල් බ්ලොග් පිටු අතර රදවල තියා ගන්න පුළුවන් එකත් හොදයි.. එහෙම නේද?

      Delete
  5. වෙඩි වැදුනු හිත් සුවපත් කරන්න පුලුවන් මෙවැනි සමාජ සේවාවවන් හරහා පමනයි. මමත් උතුරු නැගෙනහිර දි දුටුව එක දෙයක් තමයි. දෙමල මිනිසුන් හිනාවුනත් ඒ හිනාව ඇත්ත නෙවෙයි කියන කාරනය. ඒත් අපි විසින්ම නැවත ඒ මිනිසුන් සුවපත් කල යුතු කාලය එළඹ තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්තම ඇත්ත තමයි අයියේ... හිනා උණත් ඒ ඇත්ත හිනාවක් නෙවෙයි.

      Delete
  6. මිනිස්සු විවිධාකාරයි...මොන ජාතියේ ආගමේ වුනත් මනුස්සකම දන්න මිනිස්සු අතලොස්සක් හරි ඉන්නවා

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...