Monday, May 19, 2014

වෙසක් පුන් පොහෝ දා මනුෂ්‍යත්වයේ වන්දනා ගමන...

By Pon Raghunathen

විසල් කෙත් යායවල් මන්ද අඳුර මැද නිසොල්මනේ නිදිගත්වනම ය. අඳුරු කුට්ටි මෙන් තැනින් තැන ළඳු කැලෑ ය. අතරින් පතර නිවෙසක විදුලි බුබුලක් දැල්වේ. වෙසක් සඳ උන්නේ පලෙයි බලා ඇදෙන රාත්‍රී තැපැල් දුම්රියට මුවා වී ගෙන ය. මා සමඟ අමනාපයෙන් මෙනි. ඒ සඳ වුව මන්දාරම් වලාකුළක සැඟවී ඇතිවාට සැක නැත. හාත්පස වැතිර තිබුණේ ඈලි මෑලි දුබල සඳ එළියකි. හද සන්තානයම ගිලී තිබුණේ දරා ගත නොහෙන කාන්සියකිනි. නෙත් පියවුණේ කිනම් මොහොතක දැයි වැටහීමක් නැත.

‘‘යුද්දෙ තිබුණ නම් මීට වඩා හොඳයි.. දැන් හැම එකාම කියන දේ කරන්න ඕන.. අතෙන්ට කියද්දි අතෙන්ට.. මෙතෙන්ට කියද්දි මෙතෙන්ට... රග්බි මැච් එකකට කියල කොළඹට එන්න කිව්වා.. දැන් කිලිනොච්චි වෙසක් උත්සවේට කියල එහෙට යවනවා.. ආයෙම යාපනේ.. පාරවල් අතුගාන්නයි, සුද්ද කරන්නයි හැම පර වැඩක්ම කරන්න ඕන.. ගමේ මනුස්සයෙක්වත් දැක්කොත් වසල හමාරයි....” සොල්දාදුවකුගේ නෝක්කඩු වචන සවන ගැටුණේ නින්දත් නොනින්දත් අතරේය.

වෙසක් සඳ සමග වන්දනාවක...

නිදිබර ඇසිපිය ලිහුණු මොහොතක මෙන්න සඳ මා අසල ම සිනා වීගෙන... ඒ වන විට දුම්රිය අනුරාධපුරයට ආසන්න ය. නිදිබරින් පියවෙන, ලිහෙන ඇහි පිය අග ම එල්ලීගෙන සඳ මාත් එක්ක ම දිගු ගමනක...  ගමනාන්තය පරන්තන් ය.

ඒ වෙසක් පුන් පොහෝ දින හිමිදිරියයි. අප පිළිගත්තේ නැවුම් සිහිලැල් සුළං දහරකි. ඒ සුළං දහර එතරම්ම සිහිලැල්, එතරම්ම ළෙංගතු අම්මාවරුන්ගේ ඇස්වලින් ගැලූ කඳුලින් සේදීමෙනැයි ඒ මොහොතේ මට නොසිතුණි.  පරන්තන් සිට මුලතිව් මග දිගේ ඉදිරියට ඇදුණු අපි සුවපහස් කාපට් මාවතින් මිදී අබල දුබල වැලි පාරකට සේන්දු වුණෙමු. එහි අතරමගක මෙතෝදිස්ත දෙව් මැදුරකි. දෙව් මැදුර යැයි කීවාට එහි ඉතිරිව තිබුණේ අල්තාරය පසුපස බිත්ති කණ්ඩියත් එහි විසල් කුරුසියත් පමණි. හාත්පස කැඩුණු බිඳුණු ගොඩනැගිලි ය. යුද්දයේ දරුණු බව කොතරම්ද, එය සිතීමත් අසීරු ය.

අපේක්ෂාවේ වසන්තය..

මෙතෝදිස්ත දෙව් මැදුරු සෙවණේ විඩා නිවා ගත් අපි සංවර්ධනයේ අරුණලු පොදක්වත් නොවැටුණු දුෂ්කර මාවතක් ඔස්සේ  කිලිනොච්චි නගරයෙන් දුර බැහැරක වු ගම්මානයක් වෙත පිවිසියෙමු. නමින් ආනවිළුන්ඳාන් ය. යුද්දයේ දරුණුම ප්‍රතිවිපාකයන්ට මුහුණ දී පණකෙන්ද රැකගත් දෙමළ ජනතාව සමඟ එක්ව දිවි ගෙවන දිරිය කාන්තාවක් එහි වෙසෙන්නීය. ඇය පැවිදි සොයුරියකි. ඇඳිවතට පමණක් උරුමය ඇතිව සන්තකයම අහිමි වූ, ජීවිතයම කඳුලක් වූ මිනිසුන් සමඟ ඇය ‘‘අපේක්ෂාවේ වසන්තය”( Springs Of Hope ) නමින් සෙනෙහසේ නවාතැනක් ගොඩ නංවා ඇත. කුකුල් කූඩුවක් බඳු කුඩා පොල්අතු පැලක දිවි ගෙවමින් යුද්ධයෙන් පෑරුණු සිත්සතන් සුවපත් කරමින් අපේක්ෂාවේ වසන්තයක් උදාකරලීමට වෙර දරන්නීය.




‘‘ඇයි සිස්ට තනියම.. උදව්වට තව සිස්ටර්ස්ල නැද්ද?”

‘‘සත්තු සර්පයො, කිසිම පහසුකමක් නෑ.. ඉතින් සිස්ටර්ස්ල ඉන්න කැමති නෑ... මම අවුරුදු විස්සක් විතරම මේ පළාතෙ ඉඳල තියෙනවා. ඒ නිසා මට පුරුදුයි.” ඇය සිනහවකින් පවසන්නීය.

අම්මාවරුන්ගේ නොසිඳෙන කඳුළු උල්පත්...

වැන්දඹු කාන්තාවෝ 107 දෙනෙක් ( මාතෘ මූලික පවුල් 107 ) එම නවාතැන හා සම්බන්ධව නොනිම් ජීවන අරගලයට යම් සහන් එළියක් ලබමින් හිඳිති. කුලී වැඩක් කර ගත නොහැකි වයස්ගත මව්වරුන් මෙන්ම තරුණ මව්වරුන් කිහිපදෙනෙකුගෙන්ද සමන්විත මව්වරුන් 25 දෙනෙකුගේ පමණ දුක්බර ජීවන අන්දරයන්ට ඇහුම්කන් දෙන්නට අපට ඉඩ ලැබිණි. පුදුම ය. ඒ වයස්ගත අම්මාවරුන්ට හොඳින් සිංහල බස හසුරුවන්නට හැකි වීමය. ඒ කෙසේදැයි පසක් වූයේ ඔවුන්ගේ ජීවිත දිගහැරුමේදී ය.

‘‘ 83 කලබල වෙලාවෙ අපිව මෙහෙ ගෙනත් දැම්මා.. අපි කැලෑ කොටාගෙන ගෙවල් හදාගෙන, වගාවක් කරගෙන ජීවත් වුණා.. එහෙම ඉද්දි තමයි යුද්දෙට අහු වුණේ.. එල්ටීටීඊ එකත් එක්ක පුදුමාතලාන් වෙනකල් යන්න වුණා. ඒ ගමනෙදි කී දෙනෙක් නම් මග මැරුණද? අපේ අත්වලින් වලදාල යන්න ගියා. සමහර වෙලාවට පණ ඇද ඇද ඉන්න අපේම අය දාලා යන්න වුණා. මැරුණු කෙනෙක් වළලන්නවත් ඉස්පාසුවක් තිබුණෙ නෑ... හැමදේම නැති වුණා. පුදුමාතලන් වෙද්දි තවත් අපට දරාගන්න පුලුවන්කමක් තිබුණෙ නෑ. බැරිම තැන අපි ආපහු හැරුණා... ”

අම්මලා වැඩි දෙනෙකුගේ කතාවල මහා පොදු කඳුළු සාධකය එසේ විය. 83 ජාතිවාදී කලබල වලට පෙර ඔවුන්ගේ ගම්බිම් ලෙස කොළඹ, දෙහිවල, රත්මලාන, හුණුපිටිය, ගාල්ල, අනුරාධපුරය වැනි දකුණේ පෙදෙස්වල නම් කියැවිණි. මසිත හිරි වැටිණි. ඔවුන් මරු කටට එළවා දමා ඇත්තේ අප ම නොවේ ද? ඔවුන් විඳි සියලු දුක් ගැහැට වලට මුල් වූ අපරාධකරුවෝ අප ම නොවෙත් ද? 83 සිට නොනවතින කඳුළු උල්පත් දරා සිටින ඒ අම්මලාගේ පපු කුහරවල තවමත් සිංහල අපි වෙනුවෙන් සෙනෙහසක් ඉතිරිව පැවතීම කොතරම් පුදුමයක් ද? මෙතරම් වධ ගාවිනාවන් වින්දායින් පසුත්??  මේ විනම්බෑසි සිදුවූයේ සිංහල අපට නම් ප්‍රතිචාරය කොතරම් දරුණු විය හැකි ද? කඳුළු පිරි නෙතින් දයාවන්ත සිතින් මගේ දෑත් ද, මුහුණ ද පිරිමදිමින් තම වියෝ වූ දරුවන් ගැන සිහි කළ ඒ අම්මලාගේ රුව හදවතින් මැකී නොයනු ඇත.

‘‘ඔයාල ආයෙම එන්න. බලන්න යුද්දෙ ඉවර වෙලා අවුරුදු පහක් ගත වෙලත් මේ අම්මලගෙ ඇස්වලින් තාමත් කඳුළු ගලන හැටි. ආධාර අරන් එනවට වඩා වැදගත් මේ විදියට ඇවිත් හැම අම්ම කෙනෙක් එක්කම කතා කරන එක. මේ මිනිස්සුන්ගෙ පපුවල කොයි තරම් දුක් කන්දක් හිර වෙලා තියෙනවද? ඒවට ඇහුම්කන් දෙන්න, කතා කරන්න, හිත් සුවපත් කරන්න.. ඒක තමයි වැදගත්ම දේ...” එලෙස පැවසුවේ පැවිදි සොයුරිය ය.

පුරුෂ ලෝකයේ බල අරගලයන්ට මැදිව ඉමහත් දුක් වේදනා උසුලනුයේ කාන්තාවන් සහ දරුවන්ම නොවේදැයි මට සිතිණි. පුරුෂ ලොවට යුද්ධය වීරකමකි. මැරීම මෙන්ම මරණය ද ආඩම්බරයට කරුණකි. දේශපාලන හයිකාරකම් පෙන්වමින් ලෝකයම වුව දවාහළු කරන්නට පෙරමුණ ගනුයේ පුරුෂයින්ම ය. කඳුළු උරුමය ගැහැණුන්ට සහ දරුවන්ට ය. තම පුතුන්, ස්වාමිපුරුෂයින්, සොහොයුරන්, පියවරුන් අහිමිව අපමණක් විඳවීම් පමණක්ම උරුම කර ගන්නේ කාන්තාවන් සහ දරුවන් නොවේද?

‘‘ත්‍රස්තවාදි වැඩ කළේ ටික දෙනෙක් විතරයි. ඒත් අපේ දරුවො හැමෝම ත්‍රස්තවාදියො ගානට සැලකුවෙ.. සමහර වෙලාවට අපේ දරුවො එල්ටීටීඊ එකට ගත්තෙ බලහත්කාරෙන්. කරන්න දෙයක් නැතිකමට ගිය අයත් උන්නා. අන්තිමට ඒ මැරුණු දරුවො සිහි කරන්නවත් අපට ඉඩක් නෑ.... ” එක් අම්මා කෙනෙක් කතා කළේ දෑතින්ම ළය මඬල මිරිකා ගනිමිනි. ‘‘ මට කියා ගන්න බෑ.. අනේ දෙයියනේ මේ පපුවෙ මොන ගින්දරක් ද?” තවදුරටත් වචන පිටනොවුණි. ඉරිතැලුණු කොපුල් තල දිග ගලා ගියේ කඳුළු ගංඟාවකි.

‘‘මේ මාසෙ ඔයාලට ජයග්‍රහණයේ මාසය වුණාට අපේ කඳුළු මාසෙ.. අපේ දරුවො නැතිව අපි හිනාවෙන්නෙ කොහොමද?” ඒ අම්මාගේ කඳුළු අසාධාරණ යැයි මට නොසිතේ. උතුරෙත් දකුණෙත් අම්මලාගේ කඳුළු තරාදියක ලා කිරා මැන බැලුවද උතුරේ අම්මලාගේ කඳුළුවල බර සිය දහස් ගුණයකින් වැඩි යයි මට සිතේ. 

යුද්දයට බලපෑ සැබෑ අක්මුල් නොසිඳ  සැබෑ සාමයක් උදා කරගත හැකිද?

‘‘යුද්දෙ ගැන කතා කරන කවුරුවත්ම හිතන්නෙ නැහැ ඇයි මෙහෙම යුද්දයක් ඇති වුනේ කියල.. ප්‍රභාකරන් කෙනෙක් ඉබේම බිහි වුණා නෙවෙයි. දෙමළ තරුණයින්ට අවි ගන්න තැනට වැඩ සැලසුවේ දකුණෙ දේශපාලන පොරපිටියෙ තීන්දු තීරණ. යටත්විජිත පාලනයේ අවසන් කාලෙ වගේම, නිදහසින් පස්සෙත්  දෙමළ දේශපාලන නායකයො ගාන්ධි න්‍යායෙන් දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් හොයන්න මහන්සි වුණා. ඒත් දකුණෙ දේශපාලනය හිතුවක්කාර විදියට ඒ හැම පාරක්ම වහල දැම්මා. දෙමළ දරුවන්ටඅධ්‍යාපනයෙන් ඉස්සරහට යන්න තිබුණු අවස්ථා ටිකෙන් ටික කප්පාදු වුනා. මේ හැම දෙයක්ම හේතු වුණා එල්ටීටීඊ ය වගේ ත්‍රස්තවාදී සංවිධානයක් බිහිවෙන්න. අනික දෙමල සමාජය ඇතුළෙම තිබුණු කුල පීඩනයත්, පන්ති පරතරයත් එල්ටීටීය ශක්තිමත් වෙන්න බලපෑවා.....

මේ මූලික හේතු ගැන දැන් කවුරුත්ම කතා කරන්නෙ නැහැ. ඒ පසුබිම තේරුම් අරන් ආයෙම එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වගන්නයි වැඩ කරන්න ඕන.. ඒක භෞතික සංවර්ධනයෙන් විතරක් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි...

.... ඒ ප්‍රශ්නෙ එහෙමම තියෙද්දි දැන් මුස්ලිම් විරෝධී සමාජයක් ගොඩනගමින් පවතිනවා. එක ජාතිවාදී අරගලයකින් පාඩම් ඉගෙන නොගෙන තවත් ජාතිවාදී අරගලයකට පිඹුරුපත් හදන වාතාවරණයක් තමයි දකින්න තියෙන්නෙ. ”

අම්මලාගේ කතාබහ අතරතුර අප අතර මතු වූ අදහස් එලෙසිනි.

‘‘අපේක්ෂාවේ වසන්තය” උදා කරලීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. විශේෂයෙන්ම වැන්දඹු අම්මලා සහ දරුවන් රැසක් සමඟ. නමුත් ඔවුන් පසුබටව නැත. ආයතනය අවට කුඩා ගොවිපළකි. අන්නාසි, කුරුඳු, කෝපි වගාවන් දකින්නට හැකි ය. ගවයන් කිහිප දෙනෙක්ද වේ. කොම්පෝස්ට් පොහොර සෑදිම ද සිදු වේ. ඒ ගෙවත්තේ භාවිතයට මෙන් ම අලෙවිය ද සඳහා ය.

‘‘කුලියක් කරගන්න බැරි වෙන දවසට අපි මෙතෙන්ට එනවා. සිස්ට දෙන වැඩක් කරනවා.. මෙහෙම්ම කෑම ටිකක් කාල සිස්ටගෙන් ලැබෙන කීයක් හරි අරන් යනවා.. දැන් හාල් කිලෝ එකක් අසූවයි අනුවයි.. පොල් ගෙඩියක් හතළිහයි.. පණහයි.. අපි කොහොම ජීවත් වෙන්නද?” ඒ සාධාරණ පැනය දකුණේ දුප්පත් අසරණ ජනතාව වුව ද දෛනිකව මුහුණ දෙන විසඳුමක් පෙනෙන මානයක නොමැති ගැටලුවක් නොවේද?

‘‘ හැම අම්ම කෙනෙකුටම වැඩ දෙන්න අමාරුයි. අපේ ගොවිපළ පොඩියිනෙ. මේ තැන දියුණු කර ගන්න උදව් ලැබෙනවනම් හොඳයි. අම්මලාට ස්වයං රැකියා පුහුණුවක් දෙන්න පුලුවනි. මහන්න පුහුණුවක් දෙනවා. මහන මැෂින් ටිකක් ලැබුණොත් ටික දෙනෙකුට හරි රැකියාවක් කර ගන්න පුළුවන්. කුලී වැඩ කරන්න බැරි අම්මලට කුකුල් පැටව් ටිකක් දෙන්න පුළුවන් නම් හොඳයි.. හැමදේටම කළින් මේ මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනනේ.. ”

එලෙස පැවසුයේ පැවිදි සොයුරියට සහය වෙමින් ඇය සමඟම වෙසෙන තනිකඩ මවකි. රන්භාණ්ඩ අලෙවිසලක හිමිකරුවකු වූ ඇගේ ස්වාමියා නාඳුනන කප්පම්කරුවන්ගේ කරදර ඉවසනු බැරිව මාලදිවයිනට ගිය බව ද ඉන්පසු කිසිදු තොරතුරක් නැති බව ද දැන ගන්නට ලැබිණි. තම දුක් වේදනා හදවතටම සීමා කර ගනිමින් ඇය අන්‍යයන්ගේ දුකට පිළිසරණ වන්නී ය. ගැහැණියක සතු ධෛර්යයට, මනුෂ්‍යත්වයට, සෙනෙහසට තවත් උපමා කුමකටද?

සිනා මල් පර නොවූ දිරිමත් දරුවෝ..

අම්මලා සමඟ කතාබහෙන් අනතුරුව අපට දූ දරුවන් පිරිසක් හමුවන්නට ඉඩ ලැබිණි. එම බිම්කඩේම කුඩා ශාලාවක් ගොඩ නගා ඇත්තේ දරුවන්ට අමතර අධ්‍යාපන පහසුකම් ලබා දෙනු සඳහා ය. අතිරේක පන්ති සඳහා කිලිනොච්චියට යාම ඔවුන්ට දැරිය නොහැකි බරකි. දුෂ්කර ව්‍යායාමයකි. 9 – 11 පන්තිවල පමණක් දරුවන් 112 දෙනෙකි. පන්ති කාමර ඔවුන් සඳහා කිසිසේත් ප්‍රමාණවත් නැත. ගස් යට වැලි පොලව මත හිඳ ඔවුහු අකුරු උගනිති. යුද්දයෙන් මෙතරම් පීඩාවට පත් ව සිටිය ද දරුවන්ගේ මුහුණුවල සිනාව වියැකී නැත. ධෛර්යය සිඳී ගොස් නැත.



අම්මලාගේ සෙනෙහෙ පිරි හදවත් සේම, දරුවන්ගේ සිනා සපිරි අවිහිංසක මුහුණු ද විනාශ කර දමන්නට යුද්දයට හැකි වී නැත. නමුත් ස්වභාවයෙන්ම ආවේගශීලී තරුණ පරපුර යුක්තිගරුක, සාධාරණ සමාජක්‍රමයකින් මිස හුදු සාමය පිළිබඳ වචන මාලාවකින් පමණක් තෘප්තිමත් කළ නොහැකි බව දකුණේ අප වටහා ගත යුතුය. එය උතුරට මෙන් ම දකුණට ද පොදු ය.


අපි දරුවන් සමඟ ගී ගැයුවෙමු. ක්‍රීඩා කළෙමු. කතාබහ කළෙමු. 

‘‘අපි පොත් කියවන්න ආසයි. ඒත් අපිට පුස්තකාලයක් නැහැ. කිලිනොච්චියටම යන්න ඕන පුස්තකාලෙකට.. අපිට පුස්තකාලයක් තියෙනවනම් හොඳයි..” කතාබහ අතරතුර දරුවන් වෙතින් යොමු වූ ප්‍රමුඛතම ආයාචනය එය ය.

‘‘කොයි තරම් දුෂ්කරතා තිබුණත් මේ දරුවො ඉගෙන ගන්න හරිම කැමතියි.” ස්වේච්ඡාවෙන් දරුවන්ට අතිරේක අධ්‍යාපනය ලබා දෙන ගුරු භවතුන් දෙපළ පැවසීය. ඒ මොහොතේ අප සමග සිටි කණ්ඩායමෙන් මුදලක් එකතු වූ අතර පුස්තකාලයක් ආරම්භ කිරීම සඳහා අපි ඒ මුදල ප්‍රදානය කළෙමු.

‘‘පුංචියට පුස්තකාලය පටන් ගන්න. පුස්තකාලයක් කියන්නෙ දුවේ පුතේ ලොකු ගොඩනැගිල්ලක් නෙවෙයි. ලොකු රාක්ක නෙවෙයි. පුස්තකාලයක් කියන්නෙ පොත්... පොත්වලට ආදරය කරනවනම්, පොත් කියවනව නම් අපි පොහොසත් මිනිසුන් වෙනවා. මේ මුදලින් පොත් ටිකක් අරගෙන බෙදාහදාගෙන කියවන්න” අප කණ්ඩායමේ ජූඩ් සොහොයුරා දරුවන් දිරිමත් කළේ, කළුතර ප්‍රදේශයේ දරුවන් කොළකැඳ විකුණා පුස්තකාලයක් ගොඩ නැංවීමේ කතාවද සිහිපත් කරමිනි.

සැම දරුවෙකුටම තමන්ගේ ම ගෙවතු වගාවක් ඇති බව ද දැනගන්නට ලැබිණි. ඉදිරියේදී ගෙවතු වගා ඇගයීමක් සිදු කිරීමටද, සාහිත්‍ය කලා උළෙලක් පැවැත්වීමට ද සූදානම් වන බව කියා සිටියේ ගුරුභවතුන්ය. දරුවන් අප යනෙන තැන පසුපස පැමිණෙමින් දෑතේ එල්ලෙමින් සෙනෙහස පෑහ. මඳහසක් නඟනු, නම ගම විමසනු හැර අන් යමක් පැවසිය නොහැකි වීම පිළිබඳව දැණුනේ අසරණ හැඟීමකි. දෙමල බස උගෙනීම දිනෙන් දින කල් දැමීමේ වරදට මම මට ම දොස් පවරා ගතිමි.

‘‘ දකුණෙ දරුවන්වත් මෙහෙට එක්කරගෙන එන්න. මෙහෙ දරුවන්ටත් එහෙ ළමයි එක්ක එකතු වෙන්න අවස්ථා හදල දෙන්න. අපි දරුවන් අතර ආදරය, සමගිය ගොඩනගන්න ඕන. ඉදිරියෙදි මේ වගේ විනාශයන් සිද්ද නොවෙන්න යහපත් සමාජයක් ගොඩ නගන වැඩේ අපි පටන්ගන්න ඕන දරුවන්ගෙන්.....”

ඒ ඉල්ලීම පැවිදි සොයුරිය වෙතිනි. සැබවින්ම අප විසින් ඉටු කළ යුතු මහා යුග මෙහෙවරත් එයම නොවේද? වැඩිහිටි ලොවේ ජාතිවාදී වස විසින් දූෂණය වන්නට නොදී දරුවන්ගේ සිත් තුළමනුෂ්‍යත්වය පුබුදු කිරීම අප සැමගේ වගකීම විය යුතු ය.

‘‘යුද්දෙ ඉවර වෙලා අවුරුදු පහක්.. ඒත් තාමත් මිනිස්සුන්ගෙ හිත් සුවපත් වෙලා නෑ. හැමදේම නැති වෙලා.. තමන්ගෙ ඉඩකඩම් වෙනුවට සමහරුන්ට ලැබිල තියෙන්නෙ පොඩි ඉඩම් කෑල්ලක්.. වගා කරන මිනිස්සුනෙ. ඉඩම් නැතිව කොහොමද ජීවත් වෙන්නෙ. අපිට කමක් නැහැ සිංහල අය මෙහෙ පදිංචි කළාට. අපිට සිංහල අය එක්ක තරහක් නෑ. ඒත් අපේ ඉඩකඩම් අපිටම ලැබෙනවනම් හොඳයි. කරන්න රස්සාවල් නැහැ. වැස්සෙ නැත්නම් වතුර නැහැ. වගාවක් කරගන්නත් අමාරුයි... මේ වගේ ප්‍රශ්න තියෙනවා. අපි ඒ හැමදෙයක්ම දරාගෙන අවුරුදු පහක්ම ජීවත් වුණා. අපේ මූලික ප්‍රශ්නවලට විසඳුම් නැතිව කොයි තරම් පාරවල් හැදුණත්, නගර සංවර්ධනය වුණත් වැඩක් නැහැනෙ. දැන් බලන්න දෙමල අපිට යුද්දය නිසා මැරුණු අපේ මිනිස්සු සමරන්නත් තහනම්නෙ.. කොයි තරම් අසාධාරණද?” ඒ තරුණ සොයුරෙකුගේ අදහසකි.

රිදුම් දෙන හදකින් මතුවන එවදන්වලට එරෙහි වන්නේ කෙසේද? යුද ජයග්‍රහණය සැමරුමකට වඩා එදා මෙදා තුර යුද්දය නිසා ජීවිත අහිමි වූ සියලුම මිනිසුන් සිහිපත් කරමින්, නැවත ජාතිවාදී, ආගම්වාදී අරගල ඇති නොවීමට අවශ්‍ය අධ්‍යාත්මික මානසික පසුබිමක් ගොඩනගනු සඳහා වැඩපිළිවෙලක් සකස් වී නම් කොතරම් අගනේ ද?

සැන්දෑ යාමයේ දරුවන් සමග අප කණ්ඩායම සෙල්ලමෙහි යෙදුණහ. භාෂාව නොදැනීම ක්‍රීඩාවට බාධාවක් නොවුණි. හාත්පස සිනාවෙන් කතාවෙන් ගිගුම් දෙමින් තිබියදී තවත් නැගණියක සමග මම යුද නටබුන් මැදින් පටු ගුරු පාරක් දිග ඈතට ඇවිද ගියෙමු. ළඳු කැලෑව මැද විසල් තල්ගසකට යා වී, හා වී සශ්‍රීකව පණ ලැබූ බෝ ගසකි. ගස් දෙක වෙන්ව හඳුනා ගත නොහැකි තරමට ම එකිනෙක බැඳී වෙළී පැටලී වැඩී ඇත.

‘‘සොබාදහමට ජාති ආගම් භේද නෑ.. ඒත් සොබාදහමේ උතුම්ම සම්පත වෙන මනුස්සයො මේ හැටි ඇණ කොටා ගන්නෙ ඇයි කියල හිතෙනවා, අර ගස් දෙක ජීවත් වෙන හැටි දකිද්දි.”

එදිනම රාත්‍රී තැපැල් දුම්රියට අපි පරන්තන්වලින් ගොඩවීමු. වෙසක් සඳ අහසේ ය. උතුරටත් දකුණටත් වෙනසක් නැතිව පායන වෙසක් සඳ අප දෙස බලා කුමක් සිතනු ඇත්ද?

‘‘මට උඹලට එක දෙයක් කියන්න තියෙනවා. අනික් වතාවෙවත් මෙහෙම ගමනක් එද්දි දෙමළ වචන දෙක තුනක් කතා කරන්න ඉගෙන ගෙන වරෙල්ලා. උඹල දන්නෙ දෙමලෙන් හිනා වෙන්න විතරයි.”

දවසේ මෙහෙවර නිමා වෙන මොහොතේ ජූඩ් සොහොයුරා අප අමතා තරවටු කළ අයුරු මතක් වී මා මුවගට සිනාවක් නැඟිණි.

ඉරිතැළුණු වුවනත සිනාවෙන් පුරවාගෙන වෙසක් සඳ මා දෙස ම බලා සිටියේ ය. දහසක් දුක් වේදනා පපුකුහරවල සිර කරගෙන සෙනෙහබර සිනාවෙන්, දෙනෙත රැඳි කඳුලින් කොපුල්තල සිප සමුදුන් අම්මලාගේ මුහුණු ඒ සඳ සේ මැයි.... ඒ අම්මලාගේ සෙනෙහස සඳ රැස් සේමැයි.. අප මව්බිම යළි ගිනි නොගන්නට නම් මිනිස්කමේ සඳක්ව පායන්නට වෙහෙස දැරිය යුතු නොවේද නිබඳවම....

''''''''''''''''''''*''''''''''''''''''''''''
වැන්දඹු මව්වරුන්ගේ ජීවන අරගලයට සහය දීමට ද, දූ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් යම් මැදිහත් වීමක් සිදු කිරීමට ද අපි බලාපොරොත්තු වෙමු. ඒ සඳහා කැමති නම් ඔබට ද දායක විය හැකි ය.





13 comments:

  1. යහපත් සිතින් කරනා දැ යහපත්ය..

    ReplyDelete
    Replies
    1. යහපත් සිතකින් තොරව මෙහෙම වැඩ කරන්නත් බැහැනෙ අයියෙ...

      Delete
  2. දැන් හැම එකාම කියන දේ කරන්න ඕන.. අතෙන්ට කියද්දි අතෙන්ට.. මෙතෙන්ට කියද්දි මෙතෙන්ට... රග්බි මැච් එකකට කියල කොළඹට එන්න කිව්වා.. දැන් කිලිනොච්චි වෙසක් උත්සවේට කියල එහෙට යවනවා.. ආයෙම යාපනේ.. පාරවල් අතුගාන්නයි, සුද්ද කරන්නයි හැම පර වැඩක්ම කරන්න ඕන..////

    මේ කතාව නං 100% ඇත්ත ඒක නං මහ ජරා දුකක් අපි ගියෙ යුද්ධෙට මිසක් පාරවල් අතුගාන්න නෙවී

    අනික් ඒව ගැන කාත කරන්න කැමති නෑ... මොකද අපේ බෙරට් එක තාම එක පැත්තකට නැමිල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. තව ගොඩාක් දේවල් ඒ සොල්දාදු පිරිස කතා කළා... ඒ ගැන ලිව්වෙ නැහැ ඉතින්..

      Delete
  3. යහපත් වැඩක්. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. මනුෂ්‍යත්වයට ජය වේවා..

      Delete
  4. දකුණේ වගේම උතුරේත් හැලුණේ එකම ලේ එකේ වෙනසක් නැහැ.එක තේරුම් ගන්න බැරි තරම් මිනිස්සු පටු මානසිකත්වයක හිර වෙලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. හැමෝම මිනිස්සු කියල හිතන්න පුලුවන් වෙන දවසක් එන කල් අපට මේ වාර්ගික අර්බුදවලින් ගැළවීමක් නැති වේවි..

      Delete
  5. ඔබගේ ක්‍රියාව අගය කරමි, ඔබට ජය වේවා

    ReplyDelete
  6. අගය කරන්න ඕන මේ තරම් දුක් කන්දරාවක් විඳගෙනත් ජීවිතය අත් නොහැර ධෛර්යයෙන් ජීවත් වෙන ඒ මිනිස්සුන්වයි. ඇත්තටම අපි ඒ අතින් හරිම දුප්පත්..

    ReplyDelete
  7. dan oyata therenewa athi pipena mala gana, wetena wahi bidu gana kawi liyala wadak nathi bawa.minis hadawath duk dahak ekama welawaka ekama awkashayaka uhuladdi ewa yatharthawadiwa prakasha kale sulutharayai.ada a ayata thamange ratath ahimi wela.
    mama uthara gana hithuwe yuddeta issella.yudden passe wada patan gaththa eyala ekkama.ada ehema karanna idak nathi unata oyala karana dewal diha balala sansimak athi wenawa.mama nathi unata thawa kenek innawane kiyala dakkama sathutui.me dewal mama katha kale godak balaporoththu thiyagena.eth anthimedi mage pujathware thahanam kala.ada mata uthurata yannawath eyala ekka wenada wage adren ekathuwela wada karannawath idak na.

    ReplyDelete
    Replies
    1. බ්‍රද... දවසක පූජාත්වරය ලබල ලංකාවට ඒවි.. එදාට අපි හැමෝම එකතු වෙලා අපි තේරුම් ගත්ත මනුෂ්‍යත්වය වෙනුවෙන් වැඩ කරමු. අපි අදහන සත්‍යය වෙනුවෙන් වැඩ කරමු.

      Delete
  8. පපුවටම ෂෙල් එකක් වැටුනා.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...