රතු පාට දවසක් වුණත් මගෙ උදේ වරුවම ගෙවුණෙ වෛවර්ණ
සමනල් ලෝකයක.. සමනල්ලු වගේ සුන්දර දරු පැටව් ටිකක් එක්ක... වෙන්නප්පුව දිසාවෙ ළ.ක්‍රි.වී.
දරුවන්ගෙ අවුරුදු උත්සවය. සුපුරුදු විදියට අනුශාසක සොයුරු සොයුරියන්, දෙමව්පියන්
එක්ව ලස්සනට, පිළිවෙලට සංවිධානය කරල...
දරුවන්ට මාව හඳුන්වල දුන්නෙ නම් පුරුදු
විදියට දිගු කාලයක් කැපවුණු ළ.ක්‍රි.වී. සේවයක් කළ තරංගි අක්කා කියලයි. ඒත් මම ම,
මාව හඳුන්වල දුන්නා තරංගි නැන්දා කියල. දැන් ඉතින් පුංචි උන් ලව්ව අක්කෙ කියාගන්න
හිත නැමෙන්නෙ නෑ... ඒ කාලය ගෙවිල ගිහින්..
ළ.ක්‍රි.වී.ත් එක්ක ගෙවුණු කාලය ගැන
හිතද්දි දැනෙන්නෙ හිත පිරෙන සතුටක්... ළ.ක්‍රි.වී. දරුවෙක් විදියට... අනුශාසක අක්ක
කෙනෙක් විදියට.. දැන් අනුශාසක නැන්දා කෙනෙක්... අප්පා අපි වයසට ගිහින්.. ඒත් හිත
තාම ළමයෙක් වගේ වෙන්නෙ ළමයි එක්කම උන්නු නිසා වෙන්න ඇති...
ක්‍රීඩා පිටියේ කොණක ගැමි ගෙදරක් ඉදි වෙලා..
ඇහැල මල් පිරිවරාගත් පොල් තෙල් පහනත් ලස්සනයි. පහන් දැල්වීමෙන් අනතුරුව පිළිගැනීමේ
කතා සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම කියවුණා... අපූරුයි..
ඉන්පස්සෙ මට තිබුණෙ සිංහල හින්දු අවුරුදු
උත්සවය ගැනත් අවුරුදු චාරිත්‍ර ගැනත් කියාදෙන්න. සංකේතාත්මකව අවුරුදු චාරිත්‍ර ඉටු
කරමින්ම ඒ සංවාදය ගොඩනැගුණා... අවුරුදු උදාවට රබන් පද වැයුණා.. රතිඤ්ඤා, අහස්කූරු
පත්තු කළේ දරුවන්ගෙ හඬින්..ඒ ලස්සන ක්‍රියාකාරකමක් පුංචි අය හරි කැමති. නැකතට ලිප
ගිනි දැල්වීම කළේ අම්මා කෙනෙක්.. අනිකුත් අවුරුදු චාරිත්‍ර ගැනත්, ඒවායේ
වැදගත්කමත් කෙටියෙන් කියාදුන්නා. හැමදෙනාටම කෙසෙල්කොලේ කිරිබත් කන්න ලැබුණා ලුණු
මිරිසුත් එක්ක...
නිවාස තුනක් ඉදිවෙලා පිටියේ තැනින් තැන...
දිනිඳු, දිනකර, දිනපති ... ඒ නිවාසවල නම්.. නම් දුන්නෙ මං... ඉතින් අවුරුදු ක්‍රීඩා
හරිම උණුසුම්.. තමන්ගෙ නිවාසයේ ජයග්‍රහණය වෙනුවෙන්...
1 වසරේ ඉඳන් 11 වසර දක්වාම එකදු දරුවෙක් මග
නොහැරෙන විදියට තරඟ සංවිධානය වෙලා තිබුණා.
එක වසරේ පුංචි පැංචන්ට තිබුණු එක් තරඟයක්
තමයි කූරටුවට මල් ඇමිණීම.. එක සමාන ඉරටුවලට අරලිය මල් අමුණන්නයි තිබුණෙ. බලන් ඉන්න
ලස්සනයි. සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා බොහොමයක්ම පෙළ ගැහිල තිබුණා. හරි අපූරුයි.
අපේ දරුවො ඒ වගේම අනුශාසක සොයුරු සොයුරියො
කොයි තරම් හැකියාවන්ගෙන් පිරිලද කියල හිතද්දි හරි සතුටුයි...
ළ.ක්‍රි.වී. අම්මා දිගුකල් දිනේවා...
************
සැන්දෑව.... මැයි එක ගීත ප්‍රසංගය සමග.. තම්මිට තෝමස්
කුරේ කාදිනල් මධ්‍යස්ථානයෙදි...
දන්නා අඳුනන හදවත් බොහොමයක හමුවීම නිසාම වේදිකාවේ ගී
ගැයෙන්නත් පෙරම හදවත ගීතයක් වෙලා ගැයෙමින් තිබුණෙ.
හැමදාමත් හිත නිවෙන සැනහෙන ගීතයකට නිස්කලංකෙ අරුත්
පැහැදුව නාමල් අයියත් දෙගිඩියාවෙන් වගේ උන්නා.. '' මෙහෙයවන්න එන්න කිව්වට, මොනා
කියන්නද හිතා ගන්න බැරුව ඉන්නෙ...'' කියල. ඒත් අවස්ථාව ආවම සුපුරුදු විදියට වචන
ගලාගෙන ගියා නිදහසේ හදවත, මනස ඇද බැඳ තබා ගත හැකි විදියට.... හදවත මනස අවදි කළ හැකි විදියට...
මුලින්ම වේදිකාව මත Skitzo..
මාධවගෙ ගීත හිත් ගන්නවා... අරුතත්, හඬත්, නර්තන
විලාසයත්... අමුතුයි.. ඒත් ලස්සනයි... සරලවම කියනවනම් මාධව ගයද්දි අහන් ඉන්න
ආසයි... මාධව නටද්දි බලන් ඉන්න ආසයි... අමුතු ගතියක් තියෙනවා... ගීතවල අර්ථයත් හිතා බලන්න වටිනවා.
ඔබ හිනාවෙන්නෙ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
අඬන්න විතරක් ඉඩ ඇති ලෝකෙක
මට කියාදෙන්න ඒ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
අඬන්න විතරක් ඉඩ ඇති ලෝකෙක
මට කියාදෙන්න ඒ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
යෞවනයේ හඬක් මතු වුණා වේදිකාවෙන්. ගීත ගැයුණා. වචන
පැහැදිලි වුණා නම් මදි. අපේ පරම්පරාවට නම් කොහෙත්ම හරියන්න නැතිව ඇති... ඒත් නව
යෞවනයටත් වේදිකාවක් අවශ්‍යයි තමන්ගේ සිතුම් පැතුම් කියාගන්න. ඇත්තටම ඔවුන්
දක්ෂයි... ඒ දක්ෂකම් කාලයත් එක්ක ඔප මට්ටම් වේවි... බලාපොරොත්තු තබා ගනිමු.
සිලනි තුමාරා ''දෝතට ගනිමු'' ගීතය ලස්සනට ගායනා කළා.
නමුත් සුනිලා අබේසේකර තරම්ම නෙවෙයි.. ඇය සුනිලා ඈ වෙනස්... මැය සිලනි.. මේ වෙනස්
ශෛලියක්... මම හිත හදා ගත්තා. සිලනිත් ගැයුමට දක්ෂයි විවාදයක් නැහැ.
දෝතට ගනිමු... සුනිලා අබේසේකර සහ සුනිල්
විජේසිරිවර්ධන හඬින් අහන්න...
කොයි තරම් හෘදයාංගමද? ආදරණීය ද?
අජිත් කුමාරසිරිගෙ කර්ණකඨෝර හඬට මුහුවෙන වචන හිත කොනිති
ගහන එක වළක්වන්න අමාරුයි... හරියට වැලි කඩදාසියකින් හිත මදිනව වගේ... මේ හිත් මානව
ප්‍රේමයෙන් දිස්නෙ වැටෙන්න තව කොයි තරම් නම් මදින්න වේවිද ඔබේ වැලි කඩදාසි
හඬින්....
අජිත්ගේ ගීත ඇතුළෙන් මතු වෙන කතන්දරය හරි ගැඹුරුයි.. අපේ
වටපිටාව විනිවිද දකින්න කැඩපතක් අල්ලනවා වගේ... ගී පැදුර බ්ලොග් අඩවියේ අජිත් කුමාරසිරි .. ගයන ගීතයන්හි
පද මාලා විමසා බලන්න. ආදරය, ජීවිතය, සමාජය ගැන ගැඹුරු අර්ථයක් වෙනස් විදියට අරන්
එන්න ඔහු දරන මහන්සිය... මං ඒ ගීතවලට කැමතියි.. ගීතවල රළු බවට යටින් මතුවෙන සෞම්‍ය හැඟීම් ගොන්නටත් කැමතියි.
කුමාරි කුමාරගමගේ ගීත ගයන බව දැනගත්තෙ ඔන්න මෙදා තමයි...
සමහර
ගීත මඟහැරුණා සමුගන්න, සමුදෙන්න ආ ගිය අතරතුර...
කොයි තරම් වෙනස් වැඩක් වුණත් හිත නිවෙන සැනහෙන ගී දැහැනක
අතරමං වෙන තරම් ගතියක් දැණුනෙ නැහැ මට නම්.. ඒ ඉතින් අපි හුරුවෙලා තියෙන විදිය... අහන්න,
විඳින්න වඩා අහන්න, හිතන්න, දකින්න, වෙනස් කරන්න ඇරයුම් කරන විදියෙ ගීත එකතුවක් මැයි එක ගීත ප්‍රසංගය...
ගීත අහන අතරෙ මට හිතුණෙ පවතින ක්‍රමය ගැන අපේ තියෙන
අමනාපය, කලකිරීම, උදහස, ශෝකය, කෝපය, උපහාසය... කවියක්, ගීතයක්, චිත්‍රයක්, චිත්‍රපටයක්,
නාට්‍යයක් වගේ කලා මාධ්‍යකින් හරි... ඇනුමක් බැනුමක් එක්ක කුණුහරුපයක් කියල හරි එහෙම
නැත්නම් කඳුලක් සුසුමක් පිට කරල හරි අපි අපේ විරෝධය පළ කරනවා... බොහෝ විට හුදකලා
සටන්... තැන් තැන්වල...
නමුත් සමාජ ක්‍රමය පවතිනව තව තවත් අපිව පීඩාවට පත්
කරමින්.. තව තවත් ශක්තිමත් වෙමින්... ඉතින් මේ හුදකලා අරගල එක් තැන් විය යුතුයි
නේද යහපත් වෙනසකට... හිස රදේට කොට්ට මාරු කරනු වෙනුවට හිස රදේ නිට්ටාවට සුව කර
ගන්න පුළුවන් විදියක් අපි හැමෝම එකතු වෙලා හොයන්න ඕන.. ජාති, ආගම්, පක්ෂ, පාට
භේදයකින් තොරව...
ඒත් හැමදාමත් වගේ මම තවමත් විශ්වාසය තබන්නේ ප්‍රේමය.. මෛත්‍රිය මත මිස හිංසාව, ප්‍රචණ්ඩත්වය මත නම් නෙවෙයි... ඒ වගේම මට හිතෙන දෙයක් තමයි වඩ වඩාත් මිනිසුන් අතරට ගිහින් ඔවුන් සමග හිඳිමින් සමාජ වෙනසක් වෙනුවෙන් වැඩ කරන්න පෙළ නොගැහෙන තාක් කල් කිසිම වෙනසක් සිද්ධ වෙන්නෙත් නෑ.. බරපතළ විදියට නිද්‍රාශීලී මේ සමාජය අවදි වෙන්නෙත් නෑ...
ගෙදර එද්දි රෑ අටයි...
''මේ තරං රෑ වෙනකල් මොකද කළේ..''
හොඳ වෙලාවට එහෙම අහන්න කෙනෙක් නෑ...
ඉතින් ඔන්න වෙනස් විදියක මැයි පළමුවෙනිදාවක්..
/වඩ වඩාත් මිනිසුන් අතරට ගිහින් ඔවුන් සමග හිඳිමින් සමාජ වෙනසක් වෙනුවෙන් වැඩ කරන්න පෙළ නොගැහෙන තාක් කල් කිසිම වෙනසක් සිද්ධ වෙන්නෙත් නෑ.. බරපතළ විදියට නිද්‍රාශීලී මේ සමාජය අවදි වෙන්නෙත් නෑ.../
ReplyDeleteඅපේ අය අැස් අරින්න කම්මැලියි, නැත්තනම් කැමතිම නෑ.. දකින හීන තුලම ජීවත් වෙන්න තමයි කල්පනාව..
මැයි දිනය පාරවල් ගානේ, රැස්වීම්වල, පෙළපාලිවල, අපතේ යවන් නැතුව වැදගත් වැඩක් වෙනුවෙන් කැපකරන්න යොදපු එකම කොච්චර අගෙයිද...
තරංගි නැන්දට,
ජය වේවා!!
අගේ ඇති වැඩක් තරු
ReplyDeleteනියම වැඩක් තරු...අපිට මේවා මිස් වෙනවා.
ReplyDeleteඅජිත් මම කැමතිම කළාකරුවෙක්...ඒ බොහෝමයක් ගීත මම මුල් කාලයේ පටන් එක් එක් අයට අහන්න සැලැස්වුවා. මම අම්බානක බැණුමුත් ඇහුවා. ස්කිට්සෝ ටොප්නේ. ඉතිරි ඒවාත් අහන්න ඕන.
තරංගි නැන්දා සුන්දර දවසක්නෙ ගතකරලා තියෙන්නෙ.. පොඩි අය එක්ක ගතකරන කාලය කොහොමත් සුන්දරයිනෙ..
ReplyDeleteඔබට මාගේ ආචාරය
ReplyDeleteනියම වැඩක්නේ... ජය වේවා!!
ReplyDelete//ඒත් හැමදාමත් වගේ මම තවමත් විශ්වාසය තබන්නේ ප්‍රේමය.. මෛත්‍රිය මත මිස හිංසාව, ප්‍රචණ්ඩත්වය මත නම් නෙවෙයි.//
ReplyDeleteතරු නැන්දා මෙහෙම කියනකොට මතක් වෙන්නේ මට බයිබලේ 1 කොරින්ති 13 පරිච්චේදය.ඇත්තටම ප්‍රේමයට,දයාවට,මෛත්‍රියට කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද..?එත් අපි අඩුවෙන්ම විශ්වාසය තියන්නේ ඒ දේවල් ගැන.එකත් හරි පුදුමයි නේද එක අතකට.?
ඔබ හිනාවෙන්නෙ කොහොමද
ReplyDeleteමට කියාදෙන්න ඒ කොහොමද
අඬන්න විතරක් ඉඩ ඇති ලෝකෙක
මට කියාදෙන්න ඒ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද??
සුන්දර දවසක්ම තමයි!!!
ReplyDeleteඅර උඩ පින්තූරේ ඉන්නේ තරුද? (පොඩ්ඩෙන් නැන්දා කියැවෙනවා හී හී...)
නියම වැඩක්නේ,ජය වේවා
ReplyDeleteමෙන්න කරනවානං වැඩ. එළකිරි
ReplyDeleteසටහන කියවලා ගොඩාක් කල්. වෙනදා වගේම ඔබේ සටහන් ළඟ දැනෙන ආදරය ප්‍රේමය එක්ක සමීප හැඟීම ගැන කියන්න ඕන නෑ නේ. ඒත් මේ ටික ආයෙත් හයිලයිට් කරන්නම්.
ReplyDeleteසමාජ ක්‍රමය පවතිනව තව තවත් අපිව පීඩාවට පත් කරමින්.. තව තවත් ශක්තිමත් වෙමින්... ඉතින් මේ හුදකලා අරගල එක් තැන් විය යුතුයි නේද යහපත් වෙනසකට... හිස රදේට කොට්ට මාරු කරනු වෙනුවට හිස රදේ නිට්ටාවට සුව කර ගන්න පුළුවන් විදියක් අපි හැමෝම එකතු වෙලා හොයන්න ඕන.. ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව...
ඒත් හැමදාමත් වගේ මම තවමත් විශ්වාසය තබන්නේ ප්‍රේමය.. මෛත්‍රිය මත මිස හිංසාව, ප්‍රචණ්ඩත්වය මත නම් නෙවෙයි... ඒ වගේම මට හිතෙන දෙයක් තමයි වඩ වඩාත් මිනිසුන් අතරට ගිහින් ඔවුන් සමග හිඳිමින් සමාජ වෙනසක් වෙනුවෙන් වැඩ කරන්න පෙළ නොගැහෙන තාක් කල් කිසිම වෙනසක් සිද්ධ වෙන්නෙත් නෑ.. බරපතළ විදියට නිද්‍රාශීලී මේ සමාජය අවදි වෙන්නෙත් නෑ...
අපි එකිනෙකා හරි වෙනස් වෙන එක ලොකු දෙයක් මේ නිද්‍රාශීලි සමාජයට තරූ.
තරු හැම තිස්සෙම මොකක් හරි කලාත්මක වැඩක. එහෙමත් නැත්නම් සමාජ සේවාවක. කාලය තෝරාබේරාගෙන මේ හැම එකක්ම කරන්න තරම් සුක්ෂම වන හැටි අගෙයි.
ReplyDeleteමැයි දි න සවස මීගමුවේ පැවති සංගිත වැඩසටහන බලන්න එන්න මගෙත් හිතේ තිබුණා ඒත් කාලය හරස් වුණා. කොහොම වුනත් බොරු අරගල කරනවට වැඩිය මිනිසුන්ගේ බුද්ධියට අමතන එක කොයිතරම් හොදද
තරංගනී නැන්දත් එක එක ක්‍රියාකාරකම් ගොඩක් කරනවා නෙහ්.. සතුටුයි ඒ ගැන හිතෙනකොටත්.
ReplyDeleteඅර උඩම පින්තුරේ ඉන්නේ තරු නැන්දා වෙන්න ඕනා... :) මේක කියෙව්වත් ඇති හිතට සතුටක් දැනෙන්න.
ReplyDelete