Thursday, April 10, 2014

ප්‍රේමය නම් කිමැයි.. ඔබ මට කියා දුන්නෙහි ය...


ලියන්නට අවැසි ප්‍රේමය ගැන ය. ප්‍රේමයේ අපූර්වත්වය ගැන ය.

වඩාත් සිත අයදින්නේ කවියකි. නමුත් එකී ප්‍රේමයෙහි අපූර්වත්වය අකුරු අතර දවටා පද පෙළක රඳවන්නට තරම් මගේ කවි සිත පොහොසත් නැත. කෙතරම් දිළිඳු හදවතක් ද?

කෙසේ නමුත් ඒ මගේ ප්‍රේමයක් නම් නොවේ. මා එතරම් වාසනාවන්තියක ද නොවේ. නමුත් ඒ ප්‍රේමයෙහි කුළුඳුල් ඵලය මා වන බැවින් සැබවින්ම මා අවාසනාවන්තියක ද නොවේ.

ඒ මට ප්‍රාණය දුන් ප්‍රේමය ගැන ය. මගේ අම්මාගේත්, තාත්තාගේත් අපූරු ප්‍රේමය ගැන ය.

ඒ ගැමි පෙමකි. ගමෙන් උපන්, ගමේම මුල් ඇදි සොඳුරු ගම්බද පෙමකි. අම්මා ජංගි කොටයක් ඇඳ දුව ඇවිද්ද කාලයේ සිට තාත්තා එහි ආ ගිය වගකි පැවසෙන්නේ. දැන් ඔවුන්ගේ විවාහ දිවියට තිස් හත් වසකි.

පසුගිය දින කිහිපයේ තදබල ලෙස රෝගාතුරවූ අම්මා රෝහල් ගත කරන්නට සිදු විය. තාත්තා ඈ බලන්නට නොආ දිනක් නැති තරම් ය. අන්කිසිවකු ආවත් ඵලක් නැත. අම්මාගේ හිත පිරෙන්නේ තාත්තාගේ රුව දැකීමෙනි. තාත්තා නොආ දිනක අම්මා හැඬූ බව පවසන්නී ලොකු නංගී ය.

ගිලන් සයනය අසලටම පැමිණ තාත්තා වාඩි ගන්නා ඇසිල්ලෙන් අම්මා ඔහු අසලට සිය හිස ළං කරන්නී ය. ඉනික්බිති තාත්තා හිස පිරිමදින්නේ ය. සෙනෙහසිනි. සුවය පතා ඔහු සිතින් දෙවිඳුන් යදින බව අප මෙන්ම අම්මා ද දන්නී ය. ඇයට අවැසි ඒ පිරිමැදුම ය. ඒ යැදුම ය. ඒ සෙනෙහස ය.

රෝහලෙන් නිවසට කැඳවා පැමිණි දින  අම්මා මුලින්ම කළේ තාත්තාගේ උකුලේ හිස සතපවා ගැනීම ය. තාත්තා ඇගේ හිස පිරිමදිමින් උන්නේය. මොහොතකින් දෙදෙනම නිදි සුවයෙනි. උනුන් අසල නොමැතිව නින්දක් නොවන බව දෙදෙනාගෙන්ම වන පැමිණිල්ලකි.

‘‘මේ නම් පුදුම ලව් එකක්...” අපි එකිනෙකා සිනාවෙන් කියාගතිමු.



යෞවනයේ දීප්තිය දැල්වෙන ඔවුන්ගේ මංගල පින්තූරය පවා කොතරම් ස්නේහවන්තද? සුන්දරද? අම්මාගේ ශීර්ෂ පළඳනාව වේල්පට සමඟ ඉද්ද මල්දමකි. ඈ අත වූයේ වර්ණ ගන්වන ලද ඇන්තූරියම් මල් කිහිපයකි. බතක් මාළුවක් සකසන්නට පවා නොදැන සිටි අම්මා එතරම්ම සතුටින්, විශ්වාසයෙන්, ආදරයෙන් හිනැහෙන්නේ තාත්තාගේ දෑත මත තම ජීවිතයම පවරා නොවේද? ජීවිතය පුරාම තාත්තා ඒ විශ්වාසය සුරැකියා නොවේද?

පසුගිය දෙසැම්බරයේ අම්මා මුල්වරට සතියක් පමණ නිවසින් බැහැරව රෝහල්ගතව සිටි මොහොතක නිදි නැති රෑ පුරා අතීතයේ සැරිසෑරූ තාත්තා පැවසුවේ මෙබඳු කතාවකි.

‘‘මට මෙයා නැතුව නින්ද යන්නෙ නෑ... මං ඉතින් කල්පනා කළා අපේ අතීතය ගැන. ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලො කී දෙනෙක් එක්ක නම් යාළු වුණාද? ඒත් අන්තිමට මා එක්ක ඇවිත් හැම දුකකටම කර දුන්නෙ මෙයානෙ...” ඒ ස්වරයෙහි ඇත්තේ ප්‍රේමය ද? ශෝකය ද? මේ සියල්ල එක්තැන් වූ අනුපමේය කරුණාවක් ද? ඒ සියල්ලම විය හැකි ය.

ඉතා ළාබාල වයසින් විවාපත් වී දරු සිව් දෙනෙකු හදා වඩා ගත් අම්මා, පසුකලෙක මුණුබුරු මිණිබිරියන් ද රැක බලා ගත්තාය. අතීතය හාරා පාදා බලන මට, එය කිසිසේත් සුවපහසු ජීවන අරගලයක් නොවූ බව පසක් වේ. මුළුතැන්ගෙයින් එහා ජීවිතයක් නොදුටු ඇය දැරූ ජීවන බරෙන් අංශුවක්වත් දරන්නට මට නම් හැකියාවක් නැතැයි සිතේ.

ඔවුන් අතර හැලහැප්පීම් නොතිබුණා ද නොවේ. නමුත් මැදි විය ඉක්මවා ජීවන වන්දනාවේ මෙතෙක් ආ ගමන තුළ දැන් උනුන් අතර ඉතිරිව ඇත්තේ අප්‍රමාණ ස්නේහයක් සහ අන්‍යෝන්‍ය අවබෝධයක් බව බැලු බැල්මට වුව ද පැහැදිලිය. එය හිත නිවා සනහන ප්‍රේමයකි. කල්ඉකුත් වත්ම ප්‍රේමය පිළුණු වන්නේ යැයි කිව හැක්කේ කාට ද? සැබෑ ප්‍රේමයක් නම් එය නිවී සැනහී, මුනිවර සංයමයක සමාධි ගත වන්නේ නොවේද?  

බාහිර ආකර්ෂණයෙන්, අනුරාගී බැම්මෙන් බැඳෙන යුවළක් අතර විවාහ ජීවිතයේ මුල් අවදියේ පවතින ප්‍රේමය පසුකලෙක මෛත්‍රීසහගත හැඟුමක් බවට, කරුණාවක් බවට  පෙරළෙන බව සෝමා ජයකොඩිගේ නවකතාවකින් කියවූ බව මතකය. අම්මා සහ තාත්තා අතරද දැන් ඇත්තේ එබඳු මෛත්‍රී සහගත අධ්‍යාත්මික බැඳීමක් නොවන්නේ ද?

ප්‍රේමය අසිරියක් වන්නේ මෙබඳු පෙම්වතුන් ඇසුරේ ය. ප්‍රේමය නිවනක් වන්නේ මෙබඳු මව්පියන් සෙවණේ ය.

කප්පරක් දුෂ්කරතා විඳ දරා ගත් අම්මාට දූ දරු මුණුබුරු මිණිබිරියන් ඇසුරේ දැන් සැනසුම් සුසුමක් හෙළිය හැකි කාලය උදා වී ඇත. ඒ වෙනුවෙන් අවැසි එකම දෙය නිරෝගී සුවය ම මිස අන් කුමක්ද?

බාල වියේ ඔවුන් අපමණ ස්නේහයෙන් අප රැක බලා ගන්නට ඇත. දැන් ඒ භූමිකා වෙනස් ය. දැන් උදා වී ඇත්තේ අප මව්වරුන් වී මව්පියන් දරුවන් සේ රැක බලා ගන්නා කාලයයි. අම්මා ඉන්නේ ලොකු නංගීගේ සෙවණේ ය. අම්මාගේ නිරෝගී බව වෙනුවෙන් ඇය අකුරටම සියල්ල ඉටු කරන බව නිසැක ය.

‘‘මේ නර්ස් හරි වසයි.... මේ ඉස්පිරිතාලෙන් නම් දැන්ම ටිකට් කපන පාටක් නෑ... ”

අම්මා පවසන්නේ ලොකු නංගී ගැන ය. මම සිනාසෙමි. සැබවින්ම කලකට පසු සැනසිල්ලේ සිනාසෙමි.


33 comments:

  1. බොහොම අගෙයි තරූ... එක්ව ජීවිත ගමනට මුහුන දීලා, ඒ මත ගොඩ නැගෙන අන්‍යෝන්‍ය අවබෝධයත් එක්ක, එකිනෙකා කෙරෙහි ඇතිවන ආදරය හරිම ලස්සනයි. වයසක සීයා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි අත් අල්ලගෙන යනවා දකිද්දි අපිට දැනෙන හැඟීමත් රාගයෙන් තොර වූවක් කියලා මට හිතෙන්නේ... තමාගේ ජීවිතය බෙදාහදාගත් කෙනෙක්, නැතිනම් ඒ ජීවිතයට සාක්ෂිකාරයෙක් සිටීම කියන එක තනිකමත් එක්ක උපන් මිනිස්සුන්ට සතුටු වෙන්න පුළුවන් ලොකු කාරණයක්...

    ReplyDelete
    Replies
    1. අතීතය එක්ක අරන් බලද්දි පුදුම හිතෙනවා ඇත්තටමම අද මේ දෙන්නගෙ බැඳීම ගැන... කාලය විසින් ශක්තිමත් කළ ප්‍රේමයක් කියලයි හිතෙන්නෙ...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. තරු...!
    January 15, 2014 at 2:26pm
    පියස්සකි අහස යට
    කුළුණු හතරක උරිස් මත
    හෙවනැල්ලක් ඇතත් හෙවණට
    පෙනේ අහසත් සඳ තරුත් විනිවිද

    අත වනමි සකුණට
    පෙම් බඳිමි මද සුළඟට
    අසෙනි සර කෙළවර
    දිදුල් දෙන සිළුවට

    එක දෙක හැලෙන කඳුලක
    හෝ ගා වැටෙන හැඬුමක
    බොඳව යන සිතුවමක
    අඳිමි හැඩතල පිසදමා මීදුම

    පිරෙන දිය බඳුනක
    මුවවිට පුරා ඉහිරෙයි
    ඉරිතැළුණු පොළවක
    හි‍ඩැසි පුරවා ගලයි

    තණ බිමක් වී අහස
    බැටළු පොව්වෝ පි‍රෙත්
    වියගහක දෙකෙළවර
    හිරු සඳුය පියවර මනින

    පලා පැහැ මිලින වී
    රන්වනින් පිරෙන
    වියැට එකින් එක සොරාගෙන
    පියාඹති ගිරව් රැල

    නින්ද නැති සැඳෑවල
    තරු පිපෙයි වළාකුළු යට
    නොපියවෙන නෙතුපිය අග
    මෝදුවෙන හෙන්දිරික්කා මල්වල
    තවරන්න යන්තමට හීනයක මුදු සුවඳ...!

    ReplyDelete
    Replies
    1. ඔබගේ පබැඳුම අනර්ඝයි! ජයම වේවා!

      Delete
    2. ඔබගේ පබැඳුම අනර්ඝයි! ජයම වේවා!

      Delete
    3. ලස්සනයි කවි පෙළ.... කළින් දුටු බව මතකයි...

      Delete
  4. නෙතට කඳුලු ගෙනා මේ පෙම් කතාව අගෙයි. ඔබේ මා පියන්ගේ පෙම තව බොහෝ කල් පවතීවා. නිදුක් නීරෝගී සුව පතමි ඔවුන් දෙපලටම

    ReplyDelete
    Replies
    1. මගේ පැතුමත් එයමයි.. ස්තුතියි ඔබට...

      Delete
  5. ලස්සන කතාවක්... ටිකක් විතර දුකකුත් හිතුනා

    ReplyDelete
    Replies
    1. හැම ජීවිත කතාවක්ම මේ වගේ ලස්සනයි..... නේද?

      Delete
  6. ඇසට කඳුළක් ගෙනාවා.. නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතනවා ඔබේ මවුපියන් දෙපළටම..

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.... තුති..

      Delete
  7. බොහොම අගෙයි තරු අක්කේ.ප්‍රේමයට හැබෑ උපහැරණයක්.
    අම්මාට වගේම තාත්තාත් නිදුක්,නිරෝගී සුවය මමත් පතනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රේමයට උපහැරණ දුර ඈතින් හොයන්නෙ මොකටද? ජීවිතේ ළගම තියෙද්දි...

      Delete
  8. හරිම සොඳුරැ ලියවැලක් තරෑ. හදවතින්ම ගලා ආ බැව් පෙනෙනවා. ඔබට මෙය කවියක් කල හැකියි. ඔබටත් නොදැනීම එය කවියක් වේවි. ඒ උත්තරීතර ආදරයට මගේ ප්‍රණාමය සමඟ ඔබගේ දෙමාපියන්ට නිරෝගී සුවයද පතමි! ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. කවියක් ලියන්නයි ඕනකම තිබුනෙ... නමුත් පද ගැළපුණේම නැහැ...

      Delete
  9. //සැබෑ ප්‍රේමයක් නම් එය නිවී සැනහී, මුනිවර සංයමයක සමාධි ගත වන්නේ නොවේද? //
    මේ වගේ ප්‍රේමයක් ලබනට පෙරුම් පුරලා තියෙන්ට ඕනි.

    ප්‍රේමය ගැන නම් පොත්, කවි, ලිපි, කීයක් ලියවිලා ඇද්ද? ඒත් තාම කාටවත් එය හරියට විග්‍රහ කරන්ට බැරිවෙලා ඇති. ජීවිතයට ඇතුවත් බැරි නැතුවත් බැරි ප්‍රේමය....:)

    ReplyDelete
    Replies
    1. ‘‘ජීවිතයට ඇතුවත් බැරි නැතුවත් බැරි ප්‍රේමය..‘‘
      හ්ම්... හ්ම්..

      Delete
  10. ඒ වගේ ආධ්‍යාත්මික බැඳීම් අද හරි අඩු යි. අහන්න ලැබීමත් වාසනාවක්!

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක සවිමත් වුණු අධ්‍යාත්මික බැඳීමක්... හරි අපූරුයි...

      Delete
  11. ඉහලයි..අනර්ගයි

    ReplyDelete
  12. ලස්සන නිර්මානයක්...

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක් ම නොවේ.. මේ සත්‍යය යි.

      Delete
  13. සේරම වැඩ තියෙද්දී මාව මේ පැත්තට ගෙනාවේ අර උඩින්ම දාලා තියන පින්තුරේ. හරිම නිවිච්ච ගතියක් ඒකෙ තියනවා. එතකොට කතාව ඊට එහා. හරිම සංවේදී සුන්දර කමක් තියනවා. ඔයාගේ අම්මටයි තාත්තටයි නිරෝගී සුව වගේම දීඝායු පතනවා තරු අක්කේ.

    ReplyDelete
    Replies
    1. පින්තූරය හොයා ගත්තෙ අන්තර්ජාලයෙන්... මටත් ආස හිතුණා...

      එයාලගෙ ආදරය ළඟ අපි කොයි තරම් දුප්පත්ද කියල හිතෙනවා නංගි.. ස්තුතියි පැතුමට...

      Delete
  14. සුන්දර ජිවිත යුගලයක්....දෙපලට නිදුක් නිරෝගී සුවය පතමි...
    මගේ දෙපලව මතක් වුනා කියවද්දි .... තවත් ජෝඩු ඉන්නව මෙහෙම කියල....
    දරුවොත් වාසනාවන්තයි එවැනි මා පියන් ලබන්නට තරු....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මමත් හිතනවා අයියෙ මම හරිම වාසනාවන්තයි මෙවැනි ආදරවන්ත පවුලක උපදින්නට තරම්...

      Delete
  15. සැබෑ ප්‍රේමයක් නම් එය නිවී සැනහී, මුනිවර සංයමයක සමාධි ගත වන්නේ නොවේද?

    අත්දැකීම් නැතිව මුත් හදවතින් ම පිළිගනිමි... පිහි ඇනුම් වෙනුවට හැම තැනින් ම මෙවන් ආදර කතා ම අහන්නට ලැබේවා!!

    ReplyDelete
  16. අපූරුම එකිනෙකා උදේසාම කැපවූ සාංසාරික ආත්මීය ආදරයක් සුනදර මතක සටහනක්, වාසනාවන්ත බිරිදක් ඔබ තුමායගෙ මෑ්ණියන්, කප්පරක් හිතේ බර නිදහස් කරගන්න ආදරණීය උරහිසක හිස තබාගන්න මුදු මොලොක් ආදරනීය හිස් සම්බාහනයක් ලබන්න ඈ මොන තරම් වාසනාවන්තද, ඒ වාසනාව ඇයට උරුම කරදුන් උත්තරීතර සැමියෙකු නොවේද ඔබේ පියතුමන්, ඒ බැදීම සවිමත් කල පලමු පුරුක ඔබ කෙතරම් වාසනාවන්තද, මමත් ඒ වගේමයි, දෙන්න දෙමහල්ලන්ගෙ රණ්ඩුත් ආදරනීයයි, වෙලාවකට රන්ඩු වෙන්නෙ අනිත් කෙනාට සිනහවක් ගේන්නයි, ඒ දෙන්නා මැද මං පවුලේ බඩ පිස්සා :D , ලස්සන ලිපියක්, අපූරුයි රස වින්දා ගොඩක්, ඉතින් පතන්නේ ඔබේ දෙමාපියන්ට සේම ඔබටත් නිදුක් නිරෝගී චිර ජීවනය.

    ReplyDelete
    Replies
    1. මෙවන් පුතු ඇති යම්
      මවු පිය දෙදෙන නිවියහ
      බිරිඳ ද මෙවැනි හිමි සතු
      නිවුනිය ඕ සැනසී

      නිබ්බුතා නූන සා මාතා
      නිබ්බුතා නූන සො පිතා
      නිබ්බුතා නූන සා නාරී
      යස්සායං ඊදිසො පති

      ආයිි තක මොන උපහැරණද නේද :D

      Delete
  17. මෙවන් ආධ්‍යාත්මික බැඳීම් හරිම විරලයි දැන්.අම්මාටත් තාත්තාටත් නිරෝගී දිගාසිරි පතන්නම්......

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...